ප්‍රීටෝරියානු බළඇණියට පාවුල් සාක්ෂි දරයි
අපි ක්‍රිස්තු වර්ෂ 59වෙනි අවුරුද්දට යමු. රෝමයේ පෝර්ටා කැපේනා නමින් හැඳින්වූ දොරටුවෙන් හමුදා භටයන් පිරිසක් ඇතුල් වෙනවා. සිරකරුවන් රැගෙන හුඟක් දුර ගමන් කරලා තියෙන නිසා ඔවුන් ඉන්නේ වෙහෙසට පත් වෙලයි. ඔවුන්ට පැලටීන් කන්දේ තියෙන නීරෝ අධිරාජ්‍යයාගේ මාලිගාව දකින්න ලැබෙනවා. ඒ මාලිගාව ආරක්ෂා කරන්නේ ටෝගා නම් ඇඳුම ඇඳ සිටින ප්‍රීටෝරියානු ආරක්ෂක භටයන්.a සිරකරුවන්ව රැගෙන එන හමුදා කණ්ඩායමේ ප්‍රධානියා වූ ජූලියස්, සිරකරුවන්ව රෝමයේ ප්‍රධාන මංසන්ධිය හරහා විමිනල් කන්දට එක්කගෙන යනවා. රෝම දෙවි දේවතාවන්ට හදපු පූජාසන ඇති උයනක්ද හමුදා පුහුණු පිට්ටනියක්ද ඔවුන් පසු කරනවා.
ක්‍රිස්තු වර්ෂ 51දී සෑදූ ක්ලෝදියස්ගේ ආරුක්කුවේ කැටයම් කර තිබූ ප්‍රීටෝරියානු සොල්දාදුවන්
ඒ සිරකරුවන්ගෙන් එක් කෙනෙක් පාවුල්. මාස කිහිපයකට කලින් ඔහු කුණාටුවකට අහු වෙච්ච නැවක ඉද්දී “ඔබ සීසර් ඉදිරියේ පෙනී සිටිය යුතුයි” කියලා දේවදූතයෙක් ඔහුට කිව්වා. (ක්‍රියා 27:24) සමහරවිට පාවුල්ට දැන් ඒ අවස්ථාව උදා වෙන්න යනවා වෙන්න පුළුවන්. පාවුල් රෝම අධිරාජ්‍යයේ අගනුවර දෙස හැරී බලද්දී යේසුස් යෙරුසලමේදී ඔහුට පැවසූ මේ දේ මතක් වෙන්න ඇති. “කිසි දෙයකින් අධෛර්යය වෙන්න එපා. ඇත්තෙන්ම ඔබ යෙරුසලමේදී මා ගැන ඉතා හොඳ සාක්ෂියක් දී තිබෙනවා. ඔබට රෝමයේදීත් මෙවැනි සාක්ෂියක් දරන්න සිදු වෙයි.”—ක්‍රියා 23:10, 11.
පාවුල්, කාස්ට්රා ප්රීටෝරියා නමින් හැඳින්වූ විශාල බලකොටුව දිහාත් බලන්න ඇති. ඒක හදලා තිබුණේ රතු පාට ගඩොල්වලින්. ඒකේ තැනින් තැන මුරටැඹවල් තිබුණා. මේ බලකොටුවේ ප්‍රීටෝරියානු භටයන් හා පොලිස් භටයන් වෙනුවෙන් හදපු නිවාස තිබුණා. ප්‍රීටෝරියානු බළඇණියේ සේනාංක 12කb සහ පොලිස් බළඇණි කිහිපයකම සොල්දාදුවන් දහස් ගණනක් ඒ නිවාසවල නතර වෙලා හිටියා. ඔවුන්ගේ අශ්ව ගාලුත් එහි තිබුණා. රෝම අධිරාජ්‍යයාගේ බලය කොයි තරම් ශක්තිමත්ද කියලා මේ විශාල බලකොටුවෙන් පැහැදිලි වුණා. සාමාන්‍යයෙන් පිට පළාත්වලින් ගේන සිරකරුවන්ව භාර දුන්නේ ප්‍රීටෝරියානු බළඇණියට. ඒ නිසා ජූලියස් ගෙනාපු සිරකරුවන්වත් ඔවුන්ට භාර දුන්නා.—ක්‍රියා 27:1-3, 43, 44.
“කිසිම බාධාවක්” නැතුව පාවුල් දේශනා කරයි
පාවුල් රෝමයට එන්නේ මාස ගාණක දුෂ්කර ගමනකට පසුවයි. ඒ අතරතුර දර්ශනයකින් දෙවි ඔහුට දැනුම් දෙනවා ඔහු ගමන් කරන නැව මුහුදුබත් වුණත් කිසිම කෙනෙක් මැරෙන්නේ නැහැ කියලා. විෂ සර්පයෙක් ඔහුට දෂ්ට කළත් ඔහුට හානියක් වුණේ නැහැ. මෝල්ටා දූපතේදී අසනීප වෙලා හිටපු අයව ඔහු සුව කළා. ඒ නිසා දූපතේ හිටපු අය හිතුවා පාවුල් දෙවි කෙනෙක් කියලා. ඒ සිදුවීම් ගැන ප්‍රීටෝරියානු බළඇණියේ අයටත් දැනගන්න ලැබෙන්න ඇති. ඒ නිසා පාවුල්ට තිබුණු බලය ගැන ඔවුන්ට කුතුහලයක් තිබුණා වෙන්න පුළුවන්.
ඒ වන විටත් පාවුල්ට රෝමයේ සහෝදරයන්ව මුණගැහිලා තිබුණා. මොකද පාවුල්ව හමු වීමට ඔවුන් “තුන් තානායම” සහ “අප්පියස්ගේ වෙළඳපොළ” යන ස්ථානවලට ඇවිත් තිබුණා. (ක්‍රියා 28:15) නමුත් පාවුල් සිරකරුවෙක් නිසා රෝමයේ ශුභාරංචිය දේශනා කිරීමට ඔහුට තිබුණු ආශාව ඉටු වුණේ කොහොමද? (රෝම 1:14, 15) පාවුල් සහ අනිත් සිරකරුවන්ව භාර දුන්නේ ප්‍රීටෝරියානු බළඇණියේ ප්‍රධානියාට කියලා සමහරු කියනවා. ඒක ඇත්ත නම් පාවුල්ව භාර දෙන්න ඇත්තේ ආෆ්රානියස් බරස්ටයි. ඔහු රෝම අධිරාජ්‍යයාගේ දෙවෙනියා විය හැකියි.c එතැන් පටන් පාවුල්ව මුර කරන්නේ ප්‍රීටෝරියානු බළඇණියේ සොල්දාදුවෙක්. කුලී නිවසක පදිංචි වෙන්නත් ඒ නිවසට අමුත්තන්ව පිළිගෙන ඔවුන්ට “කිසිම බාධාවක්” නැතුව දේශනා කරන්නත් පාවුල්ට නිදහස ලැබෙනවා.—ක්‍රියා 28:16, 30, 31.
සෑම තරාතිරමකම අයට පාවුල් සාක්ෂි දරයි
කාස්ට්රා ප්රීටෝරියා බලකොටුවේ පවුර අද දින දැක්වෙන අයුරු
පාවුල් ගැන කාරණය නීරෝට ඉදිරිපත් කරන්න කලින් බරස්, ප්‍රීටෝරියානු කඳවුරේදී හරි නීරෝගේ මාලිගාවේදී හරි පාවුල්ගෙන් ප්‍රශ්න කරන්න ඇති. උසස් බලධාරීන්ටත් දේශනා කරන්න පාවුල් මේ අවස්ථාව යොදාගත්තා. (ක්‍රියා 26:19-23) බරස්, පාවුල් ගැන නීරෝට කිව්වේ මොනවද කියලා අපි දන්නේ නැහැ. ඒත් පාවුල්ව ප්‍රීටෝරියානු කඳවුරේ සිරගත කළේ නැහැ.d
‘යුදෙව්වරුන්ගේ ප්රධානීන්වත්’ එතැනට ආපු ‘විශාල පිරිසක්වත්’ තමන්ගේ නිවසට පිළිගත්ත පාවුල් ඔවුන්ට දේශනා කළා. ඒ වගේම හැමදාම මාරුවෙන් මාරුවට ඔහුව මුර කරන්න ප්‍රීටෝරියානු සොල්දාදුවෙක් හිටපු නිසා යුදෙව්වන්ට ඔහු “උදෑසන සිට සවස දක්වාම දෙවිගේ රාජ්‍යය පිළිබඳ ඉතා පැහැදිලි සාක්ෂියක්” දරද්දී සොල්දාදුවනුත් ඒකට ඇහුම්කන් දෙන්න ඇති.—ක්‍රියා 28:17, 23.
පාවුල් ලියන්න කියපු දේවල් සොල්දාදුවන් අහගෙන ඉන්න ඇති
පාවුල් සිර අඩස්සියේ හිටපු අවුරුදු දෙක පුරා එෆීසවරුන්ට, ෆිලිප්පිවරුන්ට, කොලොස්සිවරුන්ට සහ හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට ලියුම් ලිව්වේ තවත් කෙනෙක් ලවායි. ලියන්න ඕනෙ දේවල් පාවුල් කියද්දී එතන හිටපු සොල්දාදුවන්ටත් ඒවා ඇහෙන්න ඇති. ඒ වගේම ෆිලමොන්ට පාවුල් ලියද්දී ඒ අය ඒක දකින්නත් ඇති. ඔනෙසිමස්ව ඔහුගේ ස්වාමියා ළඟට පිටත් කරන්න කලින් පාවුල් ඔහුට ‘පියෙකු මෙන් සැලකුවා.’ (ෆිලෙ. 10) තමන්ව මුර කරන්න හිටපු ප්‍රීටෝරියානු සොල්දාදුවන් එක්කත් පාවුල් හොඳින් ඉන්න ඇති. (1 කොරි. 9:22) ඔවුන්ගේ යුධ ඇඳුම හා යුද්ධායුධ කට්ටලය ගැන විස්තර අහන්නත් ඇති. පසුව ක්‍රිස්තියානියෙක් ළඟ තියෙන්න ඕනෙ යුද්ධායුධ කට්ටලය විස්තර කරන්න පාවුල් ඒ තොරතුරු පාවිච්චි කරන්න ඇති.—එෆී. 6:13-17.
“දෙවිගේ පණිවිඩය ගැන නිර්භීතව කතා” කරන්න
කාස්ට්රා ප්රීටෝරියා බලකොටුවේ ජීවත් වුණු අයට රෝම අධිරාජ්‍යය පුරාම සහ අධිරාජ්‍යයාගේ මාලිගාවේ ජීවත් වුණු අය අතර පවා නෑදෑ හිතමිතුරන් හිටියා. පාවුල් රෝමයේ සිරගත වෙලා හිටපු නිසා ඒ අයගෙන් හුඟදෙනෙක්ට ශුභාරංචිය දැනගන්න ලැබෙනවා. (ෆිලි. 1:12, 13; 4:22) ඒ වගේම පාවුල් නිර්භීතව සාක්ෂි දරපු නිසා රෝමයේ හිටපු සහෝදරයන්ටත් ඒක ලොකු දිරිගැන්වීමක් වුණා. ඒ නිසා “දෙවිගේ පණිවිඩය ගැන නිර්භීතව කතා කිරීමට” ඔවුන් පෙලඹුණා.—ෆිලි. 1:14.
අපි මොන තත්වයක හිටියත් අපිට යම් සේවාවන් සැපයීමට එන අයට සාක්ෂි දරන්න අපිටත් පුළුවන්
පාවුල් රෝමයේ දේශනා කරපු විදිහ, ‘හොඳ වාතාවරණයක් තිබුණත් නැතත් දෙවිගේ පණිවිඩය ගැන දේශනා කරන්න’ අපිටත් දිරිගැන්වීමක්. (2 තිමෝ. 4:2) අපෙන් සමහර අය යම් හේතු නිසා ගෙදරටම කොටු වෙලා ඇති. එහෙමත් නැත්නම් මහලු නිවාසවල, රෝහල්වල ඉන්නවා ඇති. තවත් අය දෙවිට දක්වන කීකරුකම නිසා සිර අඩස්සියේ ඉන්නවා ඇති. අපි ඒ මොන තත්වයේ හිටියත් අපිට යම් සේවාවන් සැපයීමට එන අයට සාක්ෂි දරන්න අපිටත් පුළුවන්. අපිට ලැබෙන හැම අවස්ථාවකදීම නිර්භීතව සාක්ෂි දරද්දී “දෙවිගේ පණිවිඩය බැඳ තැබීමට කිසිවෙකුට” බැරි බව අපටම තහවුරු වෙයි.—2 තිමෝ. 2:8, 9.
a “නීරෝගේ කාලයේ සිටි ප්‍රීටෝරියානු බළඇණිය” යන කොටුව බලන්න.
b රෝම සේනාංකයක සොල්දාදුවන් 1,000ක් පමණ හිටියා.
c “සෙක්ස්ටස් ආෆ්රානියස් බරස්” යන කොටුව බලන්න.
d ක්‍රිස්තු වර්ෂ 36, 37 අතර කාලය තුළ හෙරොද් අග්රිපාව මෙම කඳවුරේ සිරගත කරලා තිබුණා. ඒකට හේතුව ටයිබීරියස් සීසර් වෙනුවට අධිරාජ්‍යවරයා විදිහට කැලිගුලා පත් වුණා නම් හොඳයි කියලා හෙරොද් කියපු නිසයි. පසුව කැලිගුලා අධිරාජ්‍යයා වුණාම ඔහුගේ අධිරාජ්‍යය යටතේ තිබුණු රටක රජ ලෙස හෙරොද්ව පත් කළා.—ක්‍රියා 12:1.