82වෙනි පාඩම
යාච්ඤා කරන්න ඕන විදිහ යේසුස් ඉගැන්නුවා
පරිසිවරු හැම දේම කළේ මිනිස්සුන්ට පේන්න. එයාලා යාච්ඤා කළෙත් හැමෝටම පේන තැන්වල ඉඳන්. සිනගෝගවලත් පාරවල්වලත් එයාලා කටපාඩම් කරගත්ත දිග යාච්ඤාවන් ආයේ ආයේ කිව්වා. ඒ නිසා තමයි යේසුස් කියපු මේ දේ ගැන මිනිස්සු පුදුම වුණේ. ‘පරිසිවරුන් වගේ යාච්ඤා කරන්න එපා. එයාලාගේ යාච්ඤා ගැන දෙවියන් සතුටු වෙනවා කියලයි එයාලා හිතන්නේ. හැබැයි ඔහු ඒ ගැන සතුටු වෙන්නේ නැහැ. යාච්ඤා කරන්නේ යෙහෝවාට නිසා ඔයා තනිවම යාච්ඤා කරද්දී ඒක අනිත් අයට ඇහෙන්න කියන්න ඕනෙ නැහැ. එකම දේ ආයේ ආයේ කියන්න එපා. යෙහෝවා කැමති ඔයාට හැඟෙන දේ ඔහුට කියනවාටයි.
‘ඔයා යාච්ඤා කරන්න ඕනෙ මෙහෙමයි. “ස්වර්ගයේ ඉන්න අපේ පියාණෙනි, ඔබේ නම හැමදාටම ශුද්ධව පවතීවා! ඔබේ රාජ්‍යය පැමිණේවා! ඔබේ කැමැත්ත ස්වර්ගයේ ඉටු වෙනවා වගේ පොළොවෙත් ඉටු වේවා!”’ ඒ වගේම කෑම ගැන, වැරදිවලට සමාව දෙන එක වගේ අපේ ජීවිතේ අනිත් දේවල් ගැනත් යාච්ඤා කරන්න කියලා යේසුස් කිව්වා.
යේසුස් මෙහෙමත් කිව්වා. ‘දිගටම යාච්ඤා කරන්න. ඔයාගේ තාත්තා යෙහෝවාගෙන් හොඳ දේවල් දිගටම ඉල්ලන්න. දෙමාපියන් කැමති දරුවන්ට හොඳම දේ දෙන්න. ඔයාගේ දරුවා රොටියක් ඉල්ලුවොත් ගලක් දෙනවාද? මාළුවෙක්ව ඉල්ලුවොත් සර්පයෙක් දෙනවාද?’
ඊටපස්සේ යේසුස් මෙහෙම කිව්වා. ‘ඔයාගේ දරුවන්ට හොඳ දේවල් දෙන්න ඔයා දන්නවා නම් යෙහෝවා ඔහුගෙන් බලය ඉල්ලන අයට තමන්ගේ බලය නොදී ඉඳියිද? ඔයාට තියෙන්නේ දෙවියන්ගෙන් ඉල්ලන එක විතරයි.’ ඔයාත් යාච්ඤා කරන්නේ යේසුස් උගන්වපු විදිහටද? ඔයා යාච්ඤා කරන්නේ මොනවා ගැනද?
“දිගටම ඉල්ලන්න. එතකොට ඉල්ලන දේ ඔයාට ලැබෙයි. දිගටම හොයන්න. එතකොට ඔයාට හම්බ වෙයි. දිගටම තට්ටු කරන්න. එතකොට දොර ඇරෙයි.”—මතෙව් 7:7