ජෝර්ජියාව
සැබෑ ප්‍රේමය කවදාවත් නැති වෙන්නේ නැහැ
ඊගෝර්: ඇබ්කාසියාවේ ක්වාර්කෙලිවල තිබුණු කණ්ඩායමේ තමයි අපි හිටියේ. අපේ කණ්ඩායම බලාගත්ත සභාව තිබුණේ ජ්වාරි නගරයේ. පොත් පත් සඟරා ගේන්න අපිට හැම මාසෙම කිලෝමීටර් 85ක විතර දුරක් යන්න වුණා. 1992දී සෝවියට් පාලනය බිඳවැටුණාම ස්වාධීන නගරයක් වුණු ඇබ්කාසියාවේ බෙදීම් ඇති කරන්න සමහරු උත්සාහ කළා. ප්‍රතිඵලයක් විදිහට බෙදුම්වාදීන් සහ ජෝර්ජියානු හමුදාව අතර යුද්ධයක් ඇති වුණා.
ගීසෝ නාර්මානියා සහ ඊගෝර් ඔචිගාවා
ඇබ්කාසියාවේ යුද්ධය තිබුණු කාලේ මේ දෙන්නා සහෝදරයන්ට හුඟක් උදව් කළා.
ගීසෝ: යුද්දේ පටන්ගන්න අවුරුද්දකට කලිනුයි මම බව්තීස්ම වුණේ. ඒ වෙද්දී මට වයස 21යි. යුද්ධය නිසා සහෝදරයෝ දේශනා සේවයේ යන්න හුඟක් බය වුණා. දවසක් ඊගෝර් අපිට මෙහෙම කිව්වා. “මේ කාලෙදි තමයි මිනිසුන්ට සහනය ඕනේ. අනික සේවයේ ගියේ නැත්තං අපිට දෙවිත් එක්ක තියෙන බැඳීම දිගටම තියාගන්න පුළුවන් වෙන්නේ නැහැ.” ඒ නිසා එදා ඉඳන් අපි හිතාගත්තා මොන තරම් ප්‍රශ්න තිබුණත් පුළුවන් තරම් දෙනෙක්ට බයිබලයේ තියෙන පණිවිඩය කියන්න.
ඊගෝර්: යුද්දේ නිසා පොත් පත් ගේන්න වෙනදාට යන පාරෙන් යන්න බැරි වුණා. කඳු, තේ වතු හරහා තිබුණු පාරකිනුයි යන්න වුණේ. ඒත් ඒ පාරේ බිම් බෝම්බ තියෙයිද, හමුදාවේ අය ඉඳියිද කියලා මට ලොකු බයක් තිබුණ නිසා මම තනියම ගිහින් පොත් පත් අරන් ආවා. යෙහෝවා දෙවිගේ උදව් ලැබුණු නිසා කිසිම ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. දෙවි එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න ඕන හැම දේම අපිට ලැබුණා.
හැබැයි වැඩි කාලයක් යන්න කලින් ක්වාර්කෙලි නගරයෙන් පිටට යන එකත් ඇතුළට එන එකත් තහනම් කළා. ශීත කාලේ ළං වෙද්දී කෑමත් හිඟ වුණා. ඒ නිසා අපේ ජීවිත තිබුණේ අනතුරේ. ඒත් ජ්වාරිවල සහෝදරයන් අපිට සහනාධාර ලෑස්ති කරලා කියලා දැනගන්න ලැබුණාම අපිට පුදුම සතුටක් දැනුණා.
ගීසෝ: දවසක් ඊගෝර් අපෙන් ඇහුවා සහනාධාර අපේ ගෙදර තියලා බෙදුවාට කමක් නැද්ද කියලා. ජ්වාරිවලට ගිහින් ඒවා අරං එන්නයි එයා හැදුවේ. හැබැයි එහෙට යන එක හුඟක් අනතුරුදායකයි. මොකද හමුදාවේ අයට, හොරුන්ට එයාව අහු වෙන්න ඉඩ තිබුණා. ඒ නිසා අපි හිටියේ ලොකු බයකින්.—යොහ. 15:13.
වැඩි දවසක් යන්න කලින් එයා අපිට සහනාධාර අරන් කරදරයක් නැතුව ආවා. ඒවා නිසා ශීත කාලය පුරාවටම අපිට කෑමවලින් කිසිම අඩුවක් වුණේ නැහැ. සැබෑ ප්‍රේමය කවදාවත් නැති වෙන්නේ නැහැ කියලා අපි ඒ අමාරු කාලෙදි අද්දැක්කා.—1 කොරි. 13:8.