2026 අගෝස්තු 24-30
ගීතිකාව 65 දියුණු වන්න
ක්ෂේත්‍ර සේවා කණ්ඩායම් සැලැස්මෙන් ප්‍රයෝජන ගමු
‘මගේ මුළු හදවතින්ම මම යෙහෝවාට ප්‍රශංසා කරනවා. අවංක අය රැස් වෙලා ඉන්න තැන මම ඔහුට ප්‍රශංසා කරනවා.’—ගීතා. 111:1.
ලිපියේ අරමුණ
ක්ෂේත්‍ර සේවා කණ්ඩායම් සැලැස්මෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?
1-2. ක්ෂේත්‍ර සේවා කණ්ඩායමක ඉන්න ලැබුණ එක ගැන හුඟදෙනෙක්ට හැඟෙන්නේ කොහොමද?
ප්‍රචාරකයෙක් විදිහට සේවේ කරන්න පුළුවන් කියලා සහෝදරයන් ඔයාට කියපු දවස මතකද? යෙහෝවාගේ නමට ප්‍රශංසාව ගේන මිලියන ගාණකට එකතු වෙන්න ලැබුණ එක ගැන එදා ඔයා ගොඩක් සතුටු වෙන්න ඇති. (ගීතා. 148:1, 2, 12, 13) ඒත් එක්කම ඔයා තව පොඩි කණ්ඩායමකත් සාමාජිකයෙක් වෙන්න ඇති. ඒ තමයි සභාවේ ටිකදෙනෙක්ගෙන් හැදුණ ක්ෂේත්‍ර සේවා කණ්ඩායම. “පොළොව පුරාම මිනිස්සු ජීවත් වෙන හැම තැනකම” ශුභාරංචිය දේශනා කරන්න කියලා යේසුස් කියපු දේ කරන්න ඒ පුංචි කණ්ඩායමේ ඉන්න එක ඔයාට ලොකු හයියක්.—මතෙ. 24:14.
2 ක්ෂේත්‍ර සේවා කණ්ඩායම් සැලැස්ම ගැන ඔයාට දැනෙන්නේ කොහොමද? සහෝදරි වෙන්ඩිa මෙහෙම කියනවා. “මගේ කණ්ඩායමෙන් මං ගොඩක් දේවල් ඉගෙනගත්තා. දක්ෂ විදිහට දේශනා කරන්න, උගන්නන්න මං අනිත් අයගෙන් ඉගෙනගත්තා. නමස්කාරයේ ඉලක්ක තියලා ඒවා ජය ගන්න, නියම යාළුවෝ හොයාගන්න මට පුළුවන් වුණා.” සහෝදර රිච් මෙහෙම කියනවා. “කණ්ඩායම් භාර සහෝදරයා විදිහට වැඩ කරන්න ලැබුණ එක මං සලකන්නේ වටින පැවරුමක් විදිහට. ප්‍රචාරකයන්ට අවස්ථාව තියෙනවා කෙනෙක්ට බව්තීස්මය දක්වා දියුණු වෙන්න උදව් කරන්න. කණ්ඩායම් භාර සහෝදරයාට අවස්ථාව තියෙනවා ඒ කෙනාට දිගටම යෙහෝවාට ළං වෙලා ඉන්න උදව් කරන්න.” සහෝදරි ඩයිනා මෙහෙම කියනවා. “ක්ෂේත්‍ර සේවා කණ්ඩායම් සැලැස්ම නං නියමයි. මගේ කණ්ඩායම මට හරියට මගේම පවුල වගේ.”
3. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?
3 අපි මේ ලිපියෙන් මුලින්ම බලනවා කණ්ඩායම් භාර සහෝදරයාටයි, එයාට සහය වෙන කෙනාටයි තියෙන වගකීම් ගැන. කණ්ඩායමේ ඉන්න අයට උදව් කරන්න ඒ දෙන්නාට පුළුවන් කොහොමද කියලත් අපි බලනවා. කණ්ඩායමේ ඉන්න අයට උදව් කරන්න අපි එක් එක් කෙනාට පුළුවන් කොහොමද කියලත් මේ සැලැස්මෙන් ප්‍රයෝජන ගන්න අපිට පුළුවන් කොහොමද කියලත් ඊටපස්සේ අපි බලමු.
කණ්ඩායම් භාර සහෝදරයා සහ සහයකයා
4. (අ) කණ්ඩායම් භාර සහෝදරයාගේ මූලික වගකීම මොකක්ද? (ආ) කණ්ඩායමේ අයව බලාගන්න එයාට පුළුවන් කොහොමද? (“කණ්ඩායම් භාර සහෝදරයාට උදව් වෙන යෝජනා” කියන කොටුව බලන්න.)
4 කණ්ඩායම් භාර සහෝදරයා විදිහට වැඩ කරන්නේ වැඩිමහල්ලෙක්.b එයාගේ වගකීම කණ්ඩායමේ ඉන්න අයට යෙහෝවාට තව ළං වෙන්න සහ සේවේ දක්ෂ වෙන්න උදව් කරන එක. කොහොමද ඒක කරන්නේ? (1) එයා කණ්ඩායමේ ඉන්න හැම කෙනෙක් ගැනම හොඳට හොයලා බලනවා. (හිතෝ. 27:23) එයාලා හොඳින්ද කියලා බලන්න එයා නිතරම එයාලත් එක්ක කතාබහ කරනවා. එතකොට එයාට පුළුවන් එයාලට ඕන කරන දිරිගැන්වීම් දෙන්න, එයාලා මනසින් වැටිලා ඉද්දී එයාලව ශක්තිමත් කරන්න සහ එයාලට අවශ්‍ය දේවල් තියෙනවා නම් ඒවා දෙන්න. (හිතෝ. 12:25; යෙසා. 32:2; යාකො. 2:15-17) (2) එයා කණ්ඩායමේ ඉන්න හැම ප්රචාරකයෙක්ටම උදව් කරනවා සේවේ උපරිමයෙන් හවුල් වෙන්න. ඒකට එයා පෙරමුණ අරන් සේවේ උද්යෝගයෙන් හවුල් වෙනවා. විශේෂයෙන්ම සති අන්තවලදී. එයා කණ්ඩායමේ ඉන්න හැම ප්‍රචාරකයෙක් එක්කම නිතරම සේවේ හවුල් වෙනවා. එහෙම කරද්දී එයාලව දිරිගන්නන්න, පුහුණු කරන්න එයාට පුළුවන්. එයාට කලාතුරකින් කණ්ඩායමේ අයත් එක්ක සේවේ යන්න බැරි වුණොත් සහයකට හරි සුදුසුකම් තියෙන වෙනත් ප්‍රචාරකයෙක්ට හරි කණ්ඩායම බලාගන්න එයා භාර දෙනවා. (3) එයා බව්තීස්ම වුණ සහෝදරයන්ට උදව් කරනවා සභාවේ වගකීම් දරන්න ඕන කරන සුදුසුකම් ලබාගන්න. (1 තිමෝ. 3:1) එයා එයාලාගේ හොඳ පැති අගය කරනවා. හදාගන්න ඕන පැති බයිබලේ පාවිච්චි කරලා පෙන්නලා දෙනවා. සහායක සේවකයන් වෙන්න, වැඩිමහල්ලන් වෙන්න එයා දිගටම සහෝදරයන්ව පුහුණු කරනවා. ඒ දේවලින් පැහැදිලියි කණ්ඩායම් භාර සහෝදරයාට තියෙන්නේ හරිම බැරෑරුම් වගකීමක් කියලා. ඒ නිසා වැඩිමහල් මණ්ඩලය කණ්ඩායම් භාර සහෝදරයන් විදිහට පත් කරන්නේ ඒ වගකීම් හොඳටම ඉටු කරන්න පුළුවන් වැඩිමහල්ලන්වයි.
5. කණ්ඩායම් භාර සහෝදරයන් මූණ දෙන සමහර අභියෝග මොනවාද?
5 කණ්ඩායම් භාර සහෝදරයෙක්ට හුඟක් අභියෝග තියෙනවා. ජර්මනියේ ඉන්න සහෝදර යෝර්ක්ටත් සභාවේ ගොඩක් වගකීම් තිබ්බා. එයා මෙහෙම කියනවා. “කණ්ඩායමක් බලාගන්න ගමන් අනිත් වගකීමුත් කරන එක ලේසි නෑ. ඉතිං කණ්ඩායමේ ඉන්න හැමෝටම කතා කරලා එයාලා ගැන හොයලා බලන්න මට අමාරු වුණා.” උගන්ඩාවේ අවුරුදු 70ක් වයස වැඩිමහල්ලෙක් වන ඒබල් මෙහෙම කියනවා. “අපේ සභාවේ වැඩිමහල්ලන්, සහායක සේවකයන් ඉන්නේ ටිකයි. ඒ නිසා අපේ කණ්ඩායම් සෑහෙන්න ලොකුයි. කණ්ඩායමේ හැම ප්රචාරකයෙක්වම හම්බ වෙලා එයාලව දිරිගන්නන්න හිතපු තරම් මට බැරි වුණා.” සූරිනාම්වල වැඩිමහල්ලෙක් වන ඕබෙද් මෙහෙම කියනවා. “මං ආසයි අනිත් අයව පුහුණු කරන්න. ඒත් ඒකට සෑහෙන කාලයක්, ශක්තියක් ඕනේ. සමහර වෙලාවට ඉක්මන් ප්‍රතිඵල ලැබෙන්නෙත් නෑ. ඉතිං වැඩ වැඩි වුණාම මං මුලින්ම කරන්නේ පුහුණු කරන එක පස්සට දාන එකයි.” ඒ වගේ අභියෝග ජය ගන්න වැඩිමහල්ලන්ට උදව් වෙන්නේ මොනවාද?
6. කණ්ඩායම පොඩි වෙන එක කණ්ඩායම් භාර සහෝදරයාට උදව් වෙන්නේ කොහොමද?
6 පුළුවන් හැම වෙලාවකම ක්ෂේත්‍ර සේවා කණ්ඩායම් පොඩි වෙන තරමට හොඳයි. එතකොට කණ්ඩායමේ ඉන්න හැම කෙනෙක්වම හොඳට අඳුරගන්නත් යෙහෝවාට ළං වෙලා ඉන්න එයාලට උදව් කරන්නත් කණ්ඩායම් භාර සහෝදරයාට පුළුවන්. ඒත් සභාවේ ඉන්නේ වැඩිමහල්ලන් කීපදෙනයි නම්? ඒ වගේ වෙලාවට ලොකු කණ්ඩායම් හැදුවොත් කණ්ඩායමේ හැම ප්රචාරකයෙක්වම බලාගන්න කණ්ඩායම් භාර සහෝදරයාට අමාරු වෙයි. ඒ නිසා කණ්ඩායම් පොඩියට තියලා ඒක බලාගන්න සහායක සේවකයෙක්ව පත් කරන්න වැඩිමහල් මණ්ඩලයට පුළුවන්. කණ්ඩායම පොඩියට තියෙද්දී ඒක භාර සහෝදරයාට එයාට තියෙන වැදගත්ම වැඩේ කරන්න පුළුවන්. ඒ, සහෝදරයන්ට විශ්වාසවන්තව ඉන්නත් පීඩා විඳදරාගන්නත් උදව් කරන එක.
7. වැඩිමහල්ලන් කීපදෙනෙක් විතරක් ඉන්න සභාවල කණ්ඩායමේ ඉන්න හැමෝම ගැන හොයලා බලන්න ඒක භාර සහෝදරයාට පුළුවන් කොහොමද? (1 පේතෘස් 5:2) (පින්තූරයත් බලන්න.)
7 ඔයා සේවේ කරන්නේ වැඩිමහල්ලන් කීපදෙනෙක් විතරක් ඉන්න සභාවක නම් කණ්ඩායමේ අයව බලාගන්න ඔයාගේ සහයකයාව පුහුණු කරන්න. (1 පේතෘස් 5:2 කියවන්න.) කණ්ඩායමේ සමහර වැඩ එයාට භාර දෙන්න. කාලෙන් කාලෙට ක්ෂේත්‍ර සේවා රැස්වීම මෙහෙයවන්න, එදාට සේවේ සැලසුම් කරන්න එයාට භාර දෙන්න. කණ්ඩායමේ ඉන්න එක් එක් ප්‍රචාරකයාට සේවේ දියුණු වෙන්න ඔයාලා දෙන්නාට උදව් කරන්න පුළුවන් විදිහ ගැන කතා කරන්න. ඔයා සහෝදරයන්ව දිරිගන්නන්න යද්දීත් එයාව නිතරම වගේ එක්කන් යන්න. හම්බ වෙන්න යන අයව දිරිගන්නන්න පුළුවන් කොහොමද කියලා යන්න කලින් එයා එක්ක කතා කරන්න. ගිහින් ආවට පස්සේ සහයකයා කරපු හොඳ දේවල් ගැන, එයා දියුණු වෙන්න ඕන පැති ගැන එයාට කියන්න. ඒ විදිහට එයාව පුහුණු කරද්දී එයාට පුළුවන් කණ්ඩායම් භාර සහෝදරයෙක් වෙන්න ඕන කරන සුදුසුකම් ලබාගන්න. (2 තිමෝ. 2:2) කණ්ඩායමේ ඉන්න අයව පුහුණු කරන්න අවබෝධයෙන් වැඩ කරන අයගේ උදව් ගන්නත් ඔයාට පුළුවන්. උදාහරණෙකට පුරෝගාමීන්ට, අද්දැකීම් තියෙන ප්‍රචාරකයන්ට කියන්න අලුත් අය එක්ක, අද්දැකීම් අඩු අය එක්ක සේවේ යන්න කියලා. එතකොට එයාලට පුළුවන් කතාබහක් පටන්ගන්න, නැවත බැලීම් පටන්ගන්න, බයිබල් පාඩම් කරන්න ඒ අයව පුහුණු කරන්න. දැන් අපි බලමු කණ්ඩායමේ අයට උදව් කරන්න අපි එක් එක් කෙනාට කරන්න පුළුවන් දේවල් තුනක් ගැන.
කණ්ඩායම් භාර සහෝදරයෙක් එයාගේ කණ්ඩායමේ සහායක සේවකයෙක්ව ක්ෂේත්‍ර සේවා රැස්වීම මෙහෙයවන්න පුහුණු කරනවා (7 ඡේදය බලන්න)
ඔයාට කරන්න පුළුවන් දේ
8. ඔයාගේ කණ්ඩායමට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද? (රෝම 1:12)
8 කණ්ඩායම එක්ක සේවේ යන්න. අනිත් අයත් එක්ක සේවේ යද්දී ඔයාට එයාලාගෙනුත් එයාලට ඔයාගෙනුත් ලොකු දිරිගැන්වීමක් ලැබෙයි. (රෝම 1:12 කියවන්න.) එහෙම යද්දී මිනිස්සුන්ට කතා කරන්න ඔයාට තියෙන බයත් අඩු වෙයි. සමහර පැතිවලට යද්දී කණ්ඩායමේ අය ඉන්න නිසා ලොකු ආරක්ෂාවක් දැනෙයි. ඔයාගේ රස්සාව නිසා කණ්ඩායමේ අයත් එක්ක සේවේ යන්න බැරි නම් ඔයාට පුළුවන්ද බොස් එක්ක කතා කරලා ඒ දවසේ නිවාඩුවක් ඉල්ලගෙන ඒ වෙනුවට වෙන දවසක වැඩ කරන්න? සමහරවිට එයා ඒකට කැමති වෙයි. (නෙහෙ. 2:4-6) ඔයාගේ අසනීප තත්වේ නිසා, මහලු වයස නිසා කණ්ඩායමේ අය සේවෙට රැස් වෙද්දී ඒකට හවුල් වෙන්න ඔයාට අමාරු නම් කණ්ඩායම භාර සහෝදරයා එක්ක ඒ ගැන කතා කරන්න. එතකොට එයා සූම් එක හරහා ඔයාව සම්බන්ධ කරගන්න සැලැස්මක් දායි. කණ්ඩායමේ අයත් එක්ක ලියුම් ලියන්න, ෆෝන් එකෙන් සාක්ෂි දරන්න එයා සැලසුම් කරයි. ඔයා හොඳ සෞඛ්‍යයක් තියෙන යෞවනයෙක් වුණත් නිතිපතා කණ්ඩායමත් එක්ක සේවේ යන්න ඔයාට බැරි වෙනවාද? එහෙමනම් කණ්ඩායමේ කෙනෙක් එක්ක සේවේ යන්න කලින්ම සැලැස්මක් දාගන්න. එතකොට හැම සතියකම සේවේ යන්න ඔයාට පුළුවන් වෙයි. වඩා වැදගත් දේවල් මොනවාද කියලා හිතලා ඔයාගේ කාලේ මීට වඩා හොඳට පාවිච්චි කරන්න පුළුවන් විදිහ ගැන ඔයාට හිතන්න වෙයි. (රෝම 12:11; කොලො. 4:5) අපි මොන තත්වයේ හිටියත් කණ්ඩායමත් එක්ක සේවේ යන්න අපි ගන්න මහන්සිය අපතේ යන්නේ නැහැ. යාච්ඤා කරලා යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න. එතකොට ‘ඒක කරන්න ඔයාට ශක්තිය දෙන්න වගේම ඔයාගේ හිතේ ආසාවකුත්’ ඇති කරන්න ඔහුට පුළුවන්.—ෆිලි. 2:13.
9. අපේ කණ්ඩායම ඇතුළේ පවුලක් කියන හැඟීම ඇති කරන්න අපිට පුළුවන් කොහොමද? (රෝම 12:13)
9 කණ්ඩායමේ අය එක පවුලක් කියලා දැනෙන විදිහට වැඩ කරන්න. අපි “අනිත් අයට ආගන්තුක සත්කාරය පෙන්නන්න පුළුවන් විදි” හොයනවා නම් කණ්ඩායමේ අයට අපේ ආදරේ දැනෙන්න සලස්වන්න අපිට පුළුවන්. (රෝම 12:13 කියවන්න.) ක්ෂේත්‍ර සේවා රැස්වීම තියන්න අපේ ගෙදර දොර විවෘත කරන්න පුළුවන්ද? සමහර සභාවල පිට සභාවලින් එන කථිකයන්ට ආගන්තුක සත්කාරය පෙන්නන්න එක එක කණ්ඩායමට භාර දීලා තියෙනවා. ඉතින් තමන්ගේ වාරය ආවාම සමහර කණ්ඩායම් ඒක අවස්ථාවක් කරගන්නවා එකට කෑමක් අරන් එකිනෙකාව ආශ්‍රය කරන්න. කථිකයාට ඒ අවස්ථාවට එන්න බැරි වුණත් එයාලා ඒක කරනවා. බලන්න විශේෂ පුරෝගාමියෙක් වුණ සේරා කියන දේ. “අනිත් අයට මගේ ගෙදරට එන්න කියද්දී මගේ මනසට බරක් දැනෙනවා. ඉතිං මං ලොකුවට දේවල් කරන්නේ නැතුව සරල දෙයක් ලෑස්ති කරනවා. මං හැම තිස්සේම හිතනවා මේක අනිත් අයව අඳුනගන්න ලැබෙන අවස්ථාවක් මිසක් කෑමට වැඩි අවධානයක් දෙන්න ඕන අවස්ථාවක් නෙවෙයි කියලා.” ඉතින් කණ්ඩායමේ අයට පවුලක් කියන හැඟීම දෙන්න අපි අපේ පැත්තෙන් හැම දේම කරද්දී අපි යෙහෝවාටත් එකිනෙකාටත් තව තවත් ළං වෙනවා.—නෙහෙ. 8:10; ක්‍රියා 20:35.
10. තව දක්ෂ විදිහට සේවේ කරන්න කැමති නම් අපි කරන්න ඕනෙ මොනවාද? (හිතෝපදේශ 1:5; 27:17) (පින්තූරයත් බලන්න.)
10 සේවේ තව දක්ෂ වෙන්න ඔයාගේ පැත්තෙන් දේවල් කරන්න. දේශනා කරන්න, උගන්නන්න අපි තව දක්ෂ වෙන තරමට කණ්ඩායමේ අයත් එක්ක සේවේ ගිහින් ලොකු සතුටක් ලබන්න අපිට පුළුවන්. සේවේ දියුණු කරගන්න ඕන පැත්තක් තියෙනවා කියලා ඔයාටත් හිතෙනවා නම් ඔයාගේ කණ්ඩායමේ ඉන්න සේවේ කරලා හොඳට අද්දැකීම් තියෙන කෙනෙක්ගෙන් උදව් ගන්න. (හිතෝපදේශ 1:5; 27:17 කියවන්න.) ඔයා දියුණු කරගන්න ඕන පැත්ත ගැන කණ්ඩායම් භාර සහෝදරයාට කියන්න. එයාටත් පුළුවන් වෙයි ඔයාට උදව් කරන්න. ලැජ්ජාශීලී කෙනෙක් වුණ සහෝදරි හෙදර් කියන දේ බලන්න. “නැවත බැලීම් කරන්න මං පුරෝගාමියෙක්ගෙන් උදව් ඉල්ලුවා. එයා හරිම ආදරෙන් මට උදව් කළා. එයා නිතරම වගේ මාත් එක්ක සේවේ කළා. මගේ නැවත බැලීමක් බයිබල් පාඩමක් වෙන කල් දියුණු කරගන්න එයා මට උදව් කළා. එයාගෙන් උදව් ගත්ත නිසා මං අද ආයේ සතුටින් සේවේ කරනවා.” අපේ කණ්ඩායමට උදව් කරන්න අපි හැමෝටම හුඟක් දේවල් කරන්න පුළුවන්.
ක්ෂේත්‍ර සේවා කණ්ඩායම පොඩි වෙද්දී එකිනෙකාව අඳුරගන්නත් එයාලත් එක්ක සේවේ කරන්නත් ලේසියි (10 ඡේදය බලන්න)
ලැබෙන ප්‍රයෝජන
11-12. යෙහෝවාට ළං වෙලා ඉන්න කණ්ඩායම් සැලැස්ම ඔයාට උදව් වෙන්නේ කොහොමද? අද්දැකීමක් කියන්න.
11 යෙහෝවාට ළං වෙලා ඉන්න උදව් වෙනවා. කණ්ඩායම් සැලැස්මෙන් අපි එක් එක් කෙනාට ප්‍රයෝජන ලැබෙන පැති කීපයක් බලමු. උදාහරණෙකට මේ සැලැස්ම නිසා යෙහෝවා විශේෂ ආදරයක් පෙන්නන වැන්දඹුවන්ව, අනාථ දරුවන්ව, මහලු අයව බලන්න ගිහින් එයාලට අවශ්‍ය දිරිගැන්වීම් දෙනවා. (1 තෙස. 2:8; යාකො. 1:27) කණ්ඩායමේ අයත් එක්ක සේවේ යද්දී හොඳට දේශනා කරන්න, හොඳ ගුරුවරු වෙන්න අපි පුහුණු වෙනවා. බව්තීස්ම වුණ, ආදර්ශවත් සහෝදරයන්ට සභාවේ තව වගකීම් දරන්න අවශ්‍ය සුදුසුකම් ලබාගන්නත් මේ සැලැස්ම නිසා පුහුණුව ලැබෙනවා.—1 තිමෝ. 3:10.
12 කලින් කතා කරපු සහෝදරි වෙන්ඩි කණ්ඩායම් සැලැස්මෙන් ප්‍රයෝජන ගත්ත විදිහ ගැන මෙහෙම කියනවා. “මගේ තාත්තා සත්‍යයට විරුද්ධයි. ඒ නිසා හුඟක් වෙලාවට අම්මාට සති අන්තේ කණ්ඩායමත් එක්ක සේවේ යන්න බැරි වුණා. ඒත් මට සේවේ යන්න තාත්තා ඉඩ දුන්නා. අපේ කණ්ඩායමේ වැඩිහිටි පුරෝගාමි සහෝදරියක් හිටියා. එයා මගේ හොඳ යාළුවෙක් වුණා. එයා නිතරම වගේ මාත් එක්ක සේවේ ගියා. සේවේ තව දක්ෂ වෙන්න, සභාවේ වැඩ හොඳට කරන්න එයා මාව පුහුණු කළා. ඒක මට උදව් වුණා යෙහෝවාට ළං වෙලා ඉන්න. මට මතකයි අපේ කණ්ඩායම් භාර සහෝදරයා කීප සැරයක්ම හරිම ආදරෙන් මට බයිබලෙන් මඟ පෙන්වීම් දුන්න විදිහ. අද වෙන කල්ම සත්‍යය ගමන දිගටම යන්න මට ඒවා ගොඩක් උදව් වෙලා තියෙනවා.”
13. අපිට ආදරේ කරන, උදව් කරන කිට්ටු යාළුවන්ව හොයාගන්න කණ්ඩායම් සැලැස්ම අපිට උදව් වෙන්නේ කොහොමද? (පින්තූරයත් බලන්න.)
13 අපිට ආදරේ කරන, උදව් කරන හොඳ යාළුවෝ හොයාගන්න පුළුවන් වෙනවා. කණ්ඩායමේ අයත් එක්ක “උරෙන් උර ගැටිලා” සේවේ කරද්දී අපි අතර කිට්ටු යාළුකම් ඇති වෙනවා. (ෆිලි. 1:27) සාමාන්‍යයෙන් ක්ෂේත්‍ර සේවා කණ්ඩායමක් පොඩි නිසා ලැජ්ජාශීලී අයට වගේම ලොකු සෙනඟක් අතරට ගිහින් කතාබහ කරන්න අමාරු අයට වුණත් හොඳ යාළුවෝ ඇති කරගන්න පුළුවන්. (2 කොරි. 6:13) අපි අසනීප වෙද්දී, දුකෙන් කනස්සල්ලෙන් ඉද්දී, ආදරේ කරන කෙනෙක්ගේ වියෝදුක දරාගන්න වෙද්දී අපේ කණ්ඩායමේ අය අපේ උදව්වට ඉන්නවා. (1 තෙස. 5:14) මහත් පීඩාව ළං වෙන්න වෙන්න අපිට තව වැඩියෙන් ඒ වගේ කිට්ටු යාළුවන් ඕනේ. (මතෙ. 24:21) ඇත්ත, දැන් අපි මූණ දෙන ප්‍රශ්න නැති වෙන්නේ නැහැ. ඒත් අපිට ආදරේ කරන, අපිට උදව් කරන යාළුවෝ අපි ළඟ ඉන්නවා කියලා දන්න නිසා ඒ ප්‍රශ්නවලට මූණ දෙන්න අපිට ලේසියි.—හිතෝ. 17:17.
කණ්ඩායමේ ඉන්න සහෝදරියන් දෙන්නෙක් එකට සේවේ යනවා (13 ඡේදය බලන්න)
14. හදිස්සියකදී, විපතකදී ක්ෂේත්‍ර සේවා කණ්ඩායම අපිට උදව් කරන්නේ කොහොමද?
14 හදිස්සියකදී, විපතකදී උදව් ලැබෙනවා. වසංගතයක් පැතිරෙද්දී, ස්වාභාවික විපතක් වෙද්දී, හදිසි වෛද්‍ය ප්‍රතිකාරයක් ඕන වෙද්දී, විරුද්ධවාදිකම් එද්දී, ආර්ථික අර්බුදයක් ඇති වෙද්දී අපේ කණ්ඩායමෙන් අපිට ගොඩක් උදව් ලැබෙනවා. ඒ වගේ අවස්ථාවකදී කණ්ඩායම් භාර සහෝදරයා අපිට උදව් කරන්න ලෑස්ති පිට ඉන්නවා. උදාහරණෙකට ඒ වගේ විපතකදී එයා කණ්ඩායමේ ඉන්න හැම පවුලකටම කතා කරලා එයාලට වෛද්‍ය උපකාර, කෑම බීම, ඉන්න තැනක්, ඇඳුම් පැලඳුම් තියෙනවාද කියලා හොයලා බලනවා. කණ්ඩායමේ අයට ඕනෙ කරන්නේ මොනවාද කියලා දැනගත්තාම එයා ඒ උදව් දෙන්න සැලසුම් කරනවා. කණ්ඩායමේ ඉන්න වැඩිපුර උදව් ඕන අයට ඒ උදව් දෙන්න පුළුවන් මොන විදිවලින්ද කියලා එයා සභාවේ සේවා කමිටුවත් එක්ක කතා කරනවා. ඇත්තටම විපතකදී, හදිස්සියකදී ඔයාට උදව් කරන්න ක්ෂේත්‍ර සේවා කණ්ඩායම ලෑස්ති පිට ඉන්නවා.
15. යෙහෝවාගේ සංවිධානයේ ඉන්න අපි හැමෝටම ඕනෙ මොකක්ද?
15 යෙහෝවාගේ සංවිධානය හිතාගන්නවත් බැරි තරම් විශාලයි. ඒකේ ස්වර්ගයේ තියෙන කොටසේ මිලියන බිලියන ගණන් විශ්වාසවන්ත දේවදූතයෝ ඉන්නවා. පොළොවේ තියෙන කොටසේ මිලියන නමයකටත් වඩා සෙනඟක් ඉන්නවා. ඒ ගාණ දවසින් දවස වැඩි වෙනවා. (සෙක. 8:23; එළි. 5:11) යෙහෝවාගේ සංවිධානයේ ස්වර්ගයේ ඉන්න අයටයි, පොළොවේ ඉන්න අයටයි හැමෝටම ඕනෙ පුළුවන් තරම් දෙනෙක්ට ශුභාරංචිය කියන්න. (එළි. 14:6, 7) ඒ නිසා ක්ෂේත්‍ර සේවා කණ්ඩායම් සැලැස්මෙන් උපරිම ප්‍රයෝජන ගන්න අපි හැමෝම උත්සාහ කරමු. ඒ සැලැස්ම අපිට උදව් වෙනවා යෙහෝවාට මුළු හදවතින්ම ප්‍රශංසා කරන්න.—ගීතා. 111:1.
ගීතිකාව 61 සාක්ෂිකරුවෙනි ඉදිරියට යන්න!
a සමහර නම් වෙනස් කරලා තියෙනවා.
b අවශ්‍ය නම් සුදුසුකම් තියෙන සහායක සේවකයෙක්ට පුළුවන් වැඩිමහල්ලෙක්ට භාර දෙන කල් කණ්ඩායම බලාගන්න. ඒ වගේ සහායක සේවකයෙක්ට කියන්නේ කණ්ඩායම් සේවක කියලා. මොකද එයා වැඩිමහල්ලෙක් නෙවෙයි. එයා කරන්නේ කණ්ඩායම බලාගන්න වැඩිමහල්ලන්ට උදව් කරන එකයි. එයා කණ්ඩායමට සේවේ කරන්නේ වැඩිමහල්ලන්ගේ මඟ පෙන්වීම යටතේ.