2026 මාර්තු 2-8
ගීතිකාව 97 අපගේ ජීවිතය රඳා පවතින්නේ දෙව් වදන් මතයි
යෙහෝවා දෙන “මඟ පෙන්වීම්වලින්” දිගටම ප්‍රයෝජන ගන්න
2026 වාර්ෂික පදය: “දෙවියන්ගේ මඟ පෙන්වීම් තමන්ට නිතරම ඕනෙ කියලා තේරුම් අරන් ඉන්න අය සන්තෝෂවත්.”—මතෙ. 5:3.
ලිපියේ අරමුණ
නියම සතුට අද්දකින්න ඕන කරන මඟ පෙන්වීම් යෙහෝවා අපිට දෙනවා. ඒවායින් ප්‍රයෝජන ගන්න නම් අපි මොනවාද කරන්න ඕනෙ කියලා බලමු.
1. අපිට ජීවත් වෙන්න ඕන කරන සමහර දේවල් මොනවාද? (මතෙව් 5:3)
යෙහෝවා දන්නවා අපිට ජීවත් වෙන්න නම් කෑම, ඇඳුම්, ඉන්න තැනක් වගේ දේවල් ඕනෙමයි කියලා. පොඩි කාලෙකට හරි ඒවායින් එක දෙයක් හරි නැති වෙද්දී අපිට ජීවත් වෙන්න අමාරුයි. ඒ දේවලට අමතරව අපිට ජීවත් වෙන්න තව අත්‍යවශ්‍ය දෙයක් තියෙනවා කියලත් යෙහෝවා දන්නවා. ඒ, ඔහුගේ මඟ පෙන්වීම්. (මතෙව් 5:3 කියවන්න.) නියම සතුට අද්දකින්න නම් යෙහෝවාගේ මඟ පෙන්වීම් ඕනෙමයි කියලා අපි තේරුම් අරන් ඒවා දිගටම ලබාගන්න ඕනේ.
2. අපි “හිඟමන් ඉල්ලන අය වගේ” වෙන්න ඕනෙ කියන්නේ ඇයි?
2 “දෙවියන්ගේ මඟ පෙන්වීම් තමන්ට නිතරම ඕනෙ කියලා තේරුම් අරන් ඉන්න” කෙනෙක් හරියට හිඟමනේ යන කෙනෙක් වගේ කියන අදහස මුල් භාෂාවේ තියෙනවා. හිඟමනේ යන කෙනෙක් ගැන හිතන්න. වැරහැලි ඇඳගෙන එයා පාරේ කොනක ඉඳගෙන ඉන්නවා. එයාට හරියට කන්න නැහැ. එයා දවල් වරුවේ අව්වට පිච්චෙනවා. රෑ සීතලේ ගැහෙනවා. මිනිස්සු එයා දිහා බලන්නෙත් නැහැ. ඒත් එයා දන්නවා තව දවසක් ජීවත් වෙන්න නම් එයාට අනිත් අයගේ උදව් ඕනෙමයි කියලා. ඒකයි එයා ලැජ්ජාව පැත්තකින් තියලා අත්හරින්නේ නැතුව හිඟමන් ඉල්ලන්නේ. දෙවියන්ගේ මඟ පෙන්වීම් තමන්ට ඕනෙමයි කියලා තේරුම් අරන් ඉන්න කෙනෙකුත් ඒ වගේ. එයා දන්නවා යෙහෝවාගේ මඟ පෙන්වීම් නැතුව එයාට නියම සතුට කවදාවත් අද්දකින්න බැහැ කියලා. ඒ නිසයි යෙහෝවා ඔහුට ආදරේ කරන අය වෙනුවෙන් දෙන මඟ පෙන්වීම් කොහොමහරි ලබාගන්න එයා මහන්සි වෙන්නේ.
3. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?
3 මුලින්ම අපි මේ ලිපියෙන් බලමු යේසුස්ගෙන් උදව් ඉල්ලලා බැගෑපත් වුණ ෆිනීෂියානු කාන්තාව ගැන. දෙවියන්ගේ මඟ පෙන්වීම් තමන්ට ඕනෙ කියලා තේරුම් අරන් ඉන්න කෙනෙක්ට තියෙන්න ඕන ගුණාංග තුනක් ගැන අපිට එයාගෙන් ඉගෙනගන්න පුළුවන්. ඊටපස්සේ අපි බලමු දෙවියන්ගේ මඟ පෙන්වීම් හරිම උනන්දුවෙන් හොයපු පේතෘස්ගෙන්, පාවුල්ගෙන් සහ දාවිත්ගෙන් අපිට මොනවාද ඉගෙනගන්න පුළුවන් කියලා.
අපිට ඕනම කරන ගුණාංග තුනක්
4. ෆිනීෂියානු කාන්තාව යේසුස්ගෙන් ඉල්ලුවේ මොකක්ද?
4 සැරයක් ෆිනීෂියානු කාන්තාවක් යේසුස්ව හම්බ වෙන්න ආවා. ඒ කාන්තාවගේ දුවට ‘භූතයෙක් ආවේෂ වෙලා හිටපු නිසා එයා දරුණු විදිහට හිරිහැර වින්දා.’ (මතෙ. 15:21-28) මේ කාන්තාව යේසුස් ළඟ දණින් වැටිලා හරිම බැගෑපත්ව යේසුස්ගෙන් උදව් ඉල්ලුවා. ඒ විදිහට උදව් ඉල්ලද්දී එයා පෙන්නපු ලස්සන ගුණාංග තුනක් ගැන දැන් අපි බලමු.
5. ෆිනීෂියානු කාන්තාව ළඟ තිබුණේ මොන වගේ ගුණාංගද? යේසුස් එයා වෙනුවෙන් කළේ මොකක්ද? ඒ ඇයි? (පින්තූරයත් බලන්න.)
5 මේ ෆිනීෂියානු කාන්තාව හරිම නිහතමානියි. මොකද යේසුස් එයාව පොඩි බලු පැටියෙක්ට සමාන කළාම එයා ඒ ගැන කේන්ති ගත්තේ නැහැ. සමහරවිට යේසුස් එයාව සමාන කරන්න ඇත්තේ ඒ කාලේ යුදෙව් නොවන ගෙවල්වල හුරතලේට ඇති කරපු බලු පැටියෙක්ට වෙන්න ඇති. හිතන්න, යේසුස් ඒ වගේ දෙයක් ඔයාට කිව්වා නම් ඔයා මොනවා කරයිද? යේසුස් ඔයාට අවනම්බු කළා කියලා හිතලා උදව් ඉල්ලන එක ඔයා අත්හරියිද? ඒ කාන්තාව නම් එහෙම කළේ නැහැ. එයා අත්හරින්නේ නැතුව දිගටම බැගෑපත්ව යේසුස්ගෙන් උදව් ඉල්ලුවා. ඇයි එයා එහෙම කළේ? මොකද එයාට යේසුස් ගැන ලොකු විශ්වාසයක් තිබුණා. “නැති වුණ බැටළුවන් වගේ ඉන්න ඊශ්‍රායෙල්වරුන්ට” උදව් කරන්නයි ඔහු ආවේ කියලා යේසුස් කලින් කියලා තිබුණත් මේ කාන්තාවට තිබුණ විශ්වාසේ දැක්කාම එයාට උදව් කරන්න යේසුස් පෙලඹුණා. යේසුස් ඒ කාන්තාවගේ දුවට ආවේෂ වෙලා හිටපු භූතයාව එයාගෙන් එළවලා දැම්මා.
ෆිනීෂියානු කාන්තාව නිහතමානීව, අත්හරින්නේ නැතුව ලොකු විශ්වාසෙකින් යේසුස්ගෙන් උදව් ඉල්ලුවා (5 ඡේදය බලන්න)
6. ෆිනීෂියානු කාන්තාවව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?
6 දෙවියන් දෙන මඟ පෙන්වීම්වලින් දිගටම ප්‍රයෝජන ගන්න නම් අපිටත් ඒ ගුණාංගම තියෙන්න ඕනේ. අපිත් නිහතමානීව, අත්හරින්නේ නැතුව දෙවියන්ගේ මඟ පෙන්වීම් ඉල්ලන්න ඕනේ. යේසුස් ගැනයි, අපිට මඟ පෙන්නන්න ඔහු පාවිච්චි කරන අය ගැනයි අපිට ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ. (මතෙ. 24:45-47) ඒ වගේ ගුණාංග තියෙන අය ගැන යෙහෝවායි, යේසුයි ගොඩක් සතුටු වෙනවා. ඒ වගේ අයට ඒ දෙන්නා කැමැත්තෙන්ම උදව් කරනවා, මඟ පෙන්නනවා. (යාකො. 1:5-7) දැන් අපි බලමු සතුටින් ඉන්න අපිට ඕන කරන මඟ පෙන්වීම් යෙහෝවා අපිට දෙන්නේ කොහොමද කියලා. ඊළඟට අපි බලමු පේතෘස්ගෙන්, පාවුල්ගෙන් සහ දාවිත්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා.
පේතෘස් වගේ දිගටම දේවවචනය අධ්‍යයනය කරන්න
7. යේසුස් පේතෘස්ට දුන්න පැවරුම මොකක්ද? පේතෘස් දිගටම කරන්න ඕනෙ වුණේ මොකක්ද? (හෙබ්‍රෙව් 5:14–6:1)
7 පේතෘස්ගේ ආදර්ශය ගැන හිතමු. යේසුස් මෙසියස් කියලා තේරුම්ගත්ත මුල් යුදෙව්වන් අතරේ එයාත් හිටියා. “සදාකාල ජීවිතය ලබාගන්න උදව් වෙන දේවල් උගන්නන්න” යෙහෝවා පාවිච්චි කරන්නේ යේසුස්ව කියලා එයා අඳුරගත්තා. (යොහ. 6:66-68) නැවත නැඟිට්ට යේසුස් ස්වර්ගයට යන්න කලින් පේතෘස්ට වැදගත් පැවරුමක් භාර දුන්නා. ඔහු එයාට කිව්වා “මගේ බැටළු පැටව් ටික පෝෂණය කරන්න” කියලා. (යොහ. 21:17) පේතෘස් විශ්වාසවන්තව ඒ පැවරුම කළා. සභාවල හිටපු අයව පෝෂණය කරන්න ලිපි දෙකක් ලියන්නත් යෙහෝවා එයාට මඟ පෙන්නුවා. පස්සේ ඒ ලිපි බයිබලේටත් ඇතුළත් කළා. හැබැයි පේතෘස්ගේ පැත්තෙනුත් කරන්න ඕන වුණ වැදගත් දෙයක් තිබුණා. ඒ, දේවවචනයෙන් දිගටම එයාවම පෝෂණය කරගන්න එක. උදාහරණෙකට දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් පාවුල් ලියපු ලිපි පේතෘස් හොඳට අධ්‍යයනය කළා. පාවුල්ගේ ලිපිවල තිබුණ සමහර දේවල් “තේරුම්ගන්න අමාරුයි” කියලා පේතෘස් පිළිගත්තා. (2 පේතෘ. 3:15, 16) හැබැයි එයා අත්හරින්නේ නැතුව ඒවා දිගටම අධ්‍යයනය කළා. මොකද එයාට ලොකු විශ්වාසයක් තිබුණා “ඝන ආහාර” වගේ තිබුණ ඒ මඟ පෙන්වීම් තේරුම්ගන්න, ඒවාට කීකරු වෙන්න යෙහෝවා එයාට උදව් කරනවා කියලා.—හෙබ්‍රෙව් 5:14–6:1 කියවන්න.
8. යෙහෝවාගෙන් අලුත් මඟ පෙන්වීමක් ලැබුණාම පේතෘස් මොකද කළේ?
8 යෙහෝවාගෙන් ලැබෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙලා ඔහු ගැන ලොකු විශ්වාසයක් තියෙනවා කියලා පේතෘස් පෙන්නුවා. උදාහරණෙකට යොප්පාවේ ඉද්දී පේතෘස් දර්ශනයක් දැක්කා. ඒ දර්ශනයේදී දේවදූතයා පේතෘස්ට කිව්වා මෝසෙස්ට දීපු නීතියෙන් අපවිත්‍රයි කියලා සලකන සතුන්ව කන්න කියලා. ඒ වගේ මඟ පෙන්වීමකට කීකරු වෙන එක යුදෙව්වෙක්ට ලේසි නැහැ. ඒකයි පේතෘස් මුලින් කිව්වේ “ස්වාමීනි, මට ඒ දේ කොහොමටවත් කරන්න බැහැ. මං කවදාවත් පිළිකුල්, අපවිත්‍ර දෙයක් කාලා නැහැ” කියලා. එතකොට දේවදූතයා එයාට කිව්වා “දෙවියන් පවිත්‍ර කරලා තියෙන දේවල් අපවිත්‍රයි කියලා කියන එක නවත්තන්න” කියලා. (ක්‍රියා 10:9-15) පේතෘස් ඉක්මනින්ම ඒ මඟ පෙන්වීමට කීකරු වුණා. මොකද ඒ දර්ශනය දැකලා ටික වෙලාවකට පස්සේ පේතෘස් හිටපු තැනට මිනිස්සු තුන්දෙනෙක් ඇවිත් කිව්වා එයාලාගේ ස්වාමියා වුණ කොර්නේලියස් පේතෘස්ට එයාගේ ගෙදරට ආරාධනා කරනවා කියලා. සාමාන්‍යයෙන් නම් පේතෘස් වගේ යුදෙව්වෙක් කොර්නේලියස් වගේ වෙනත් ජාතිකයෙක්ගේ ගෙදරක පස් පාගන්නෙවත් නැහැ. මොකද යුදෙව්වන් එයාලව සැලකුවේ අපවිත්‍ර අය විදිහට. (ක්‍රියා 10:28, 29) හැබැයි පේතෘස් ඒ වෙලාවේ යෙහෝවාගෙන් ලැබුණ අලුත් මඟ පෙන්වීමට ඉක්මනින්ම කීකරු වුණා. (හිතෝ. 4:18) එයා කොර්නේලියස්ගේ ගෙදරට ගිහින් කොර්නේලියස්ටයි, එයාගේ ගෙදරට ඇවිත් හිටපු අනිත් අයටයි දේශනා කළා. ඒ නිසා එයාට පුළුවන් වුණා ඒ අය සත්‍යය පිළි අරන්, එයාලට දෙවියන්ගේ බලය ලැබිලා, එයාලා බව්තීස්ම වෙනවා දකින්න.—ක්‍රියා 10:44-48.
9. තේරුම්ගන්න අමාරු දේවල් දිගටම අධ්‍යයනය කරන එකෙන් අපිට ප්‍රයෝජන ලැබෙන විදි දෙකක් කියන්න.
9 පේතෘස් වගේ අපිත් නිතරම කිරිවලට සමාන බයිබලේ තියෙන මූලික ඉගැන්වීම්වලින් පෝෂණය වෙන්න ඕනේ. ඒ විතරක් මදි. තේරුම්ගන්න අමාරු ඝන ආහාරවලට සමාන ඉගැන්වීම් අධ්‍යයනය කරන්නත් අපි ආසාවක් ඇති කරගන්න ඕනේ. බයිබලේ තියෙන ඒ වගේ දේවල් තව හොඳින් තේරුම්ගන්න අපි කාලේ දෙන්න ඕනෙ වගේම ඒ වෙනුවෙන් මහන්සි වෙන්නත් ඕනේ. ඒක කවදාවත් අපතේ යන්නේ නැහැ. මොකද එහෙම කරන එකෙන් අපිට ප්‍රයෝජන දෙකක්වත් ලැබෙනවා. (1) යෙහෝවා ගැන අපි තව වැඩියෙන් ඉගෙනගද්දී ඔහු ගැන තියෙන ආදරේ, ගෞරවේ තව වැඩි වෙනවා. (2) අපි කලින් දැකලා තිබුණේ නැති ඔහුගේ පෞද්ගලිකත්වයේ ලස්සන පැති දකිද්දී ඒ ගැන තව වැඩියෙන් අනිත් අයට කියන්න අපි පෙලඹෙනවා. (රෝම 11:33; එළි. 4:11) පේතෘස්ගේ ආදර්ශයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් තව දෙයක් තියෙනවා. ඒ තමයි බයිබලේ තියෙන දෙයක් ගැන අපි කලින් අවබෝධ කරගෙන හිටපු දේ යම් වෙනසක් වුණාම අපි ඉක්මනින්ම ඒක පිළි අරන් ඒ අනුව අපි හිතන විදිහ, වැඩ කරන විදිහ වෙනස් කරගන්න ඕනේ. එතකොට තමයි යෙහෝවාට පුළුවන් අපිට දිගටම මඟ පෙන්නලා ඔහු කැමති විදිහට අපිව පාවිච්චි කරන්න.
පාවුල් වගේ අලුත් පෞද්ගලිකත්වය පැලඳගන්න
10. කොලොස්සි 3:8-10 කියන විදිහට යෙහෝවාව සතුටු කරන්න අපි මොනවාද කරන්න ඕනේ?
10 යෙහෝවා සතුටු වෙන ගුණාංග අපේ ජීවිතේට එකතු කරගන්න විදිහ ගැන ඔහු අපිට මඟ පෙන්නනවා. පාවුල් කිව්වා ‘ඇඳුමක් ගලවලා දානවා වගේ අපේ පරණ පෞද්ගලිකත්වය අයින් කරලා අලුත් පෞද්ගලිකත්වය පැලඳගන්න’ කියලා. (කොලොස්සි 3:8-10 කියවන්න.) ඒක හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි. ඒකට අපි දිගටම මහන්සි වෙන්න ඕනේ. පාවුල් ගැන ටිකක් හිතන්න. එයා තරුණ කාලේ ඉඳලාම දෙවියන් සතුටු වෙන දේ කරන්න ලොකු උත්සාහයක් ගත්තා. (ගලා. 1:14; ෆිලි. 3:4, 5) හැබැයි දෙවියන් එයාගෙන් බලාපොරොත්තු වෙන දේ ගැන එයාට හරි දැනුමක් තිබුණේ නැහැ. ඒ වගේම ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම් එයා හරියට තේරුම් අරන් හිටියේ නැති නිසා එයා වැඩ කළේ හරිම ආඩම්බර විදිහට. එයා “කාටවත් ගරු කළේ නැහැ.” ඇත්තටම එයා ළඟ තිබුණේ නරක ගතිවලින් පිරුණු පරණ පෞද්ගලිකත්වය.—1 තිමෝ. 1:13.
11. පාවුල්ට මහන්සි වෙන්න වුණේ මොන අඩුපාඩුව හදාගන්නද? පැහැදිලි කරන්න.
11 ක්‍රිස්තියානියෙක් වෙන්න කලින් හොස්ස ළඟින් මැස්සා යන්න බැරි තරමට පාවුල් ගොඩක් කේන්ති ගත්ත කෙනෙක්. ක්‍රියා පොතේ කියනවා එයාට යේසුස්ගේ අනුගාමිකයන් එක්ක කොච්චර කේන්තියක් තිබුණාද කියනවා නම් “එයා දිගින් දිගටම එයාලට තර්ජනය කළා. එයාට ඕනෙ වුණේ එයාලව කොහොමහරි මරලා දාන්න” කියලා. (ක්‍රියා 9:1) ක්‍රිස්තියානියෙක් වුණාට පස්සේ එයාට තිබුණ මේ නරක ගතිය ජීවිතෙන් අයින් කරලා දාන්න පාවුල් ගොඩක් මහන්සි වෙන්න ඇති. (එෆී. 4:22, 31) හැබැයි සමහර අවස්ථාවලදී මේ ගතිය ආයෙත් මතු වුණා. පාවුලුයි, බානබසුයි යම් දෙයක් ගැන එකඟ නැති අවස්ථාවක පාවුල්ට “හොඳටම කේන්ති ගිහින් එයාලා අතරේ ලොකු වාදයක් ඇති වුණා.” (ක්‍රියා 15:37-39) ඒ වෙලාවේ දෙවියන් සතුටු වෙන විදිහට වැඩ කරන්න පාවුල්ට බැරි වුණත් එයා දිගටම යෙහෝවා සතුටු වෙන ගුණාංග එයාගේ ජීවිතේට එකතු කරගන්න ලොකු සටනක් කළා.—1 කොරි. 9:27.
12. පෞද්ගලිකත්වය දිගටම වෙනස් කරගන්න පාවුල්ට උදව් වුණේ මොකක්ද?
12 ඒ වගේ නරක ගති එයාගේ ජීවිතෙන් අයින් කරලා දාලා අලුත් පෞද්ගලිකත්වය පැලඳගන්න පාවුල්ට පුළුවන් වුණේ එයා එයාගේ ශක්තිය මත රැඳිලා හිටියේ නැති නිසයි. (ෆිලි. 4:13) පේතෘස් වගේ පාවුලුත් රැඳිලා හිටියේ “දෙවියන්ගෙන් ලැබෙන ශක්තිය මතයි.” (1 පේතෘ. 4:11) පාවුල් අධෛර්යය වුණ වෙලාවලුත් තිබුණා. එහෙම වෙලාවලදී පාවුල් කල්පනා කළා ස්වර්ගයේ ඉන්න එයාගේ තාත්තා එයා වෙනුවෙන් කරලා තියෙන හොඳ දේවල් ගැන. ඒක එයාට උදව් වුණා දෙවියන් සතුටු වෙන විදිහට එයාගේ ජීවිතේ වෙනස්කම් කරගන්න එයා අරන් තියෙන අධිෂ්ඨානය තව ශක්තිමත් කරගන්න.—රෝම 7:21-25.
13. පාවුල්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?
13 අපි පාවුල්ව ආදර්ශයට ගන්නවා නම් අපි තේරුම්ගන්නවා සත්‍යයේ කොච්චර කාලයක් ඉඳලා තිබුණත් අපේ පරණ පෞද්ගලිකත්වය අයින් කරලා අලුත් පෞද්ගලිකත්වය පැලඳගන්න අපිත් දිගටම මහන්සි වෙන්න ඕනෙ කියලා. හැබැයි සමහර වෙලාවට අපේ පරණ පෞද්ගලිකත්වයේ ගති මතු වෙන්න පුළුවන්. උදාහරණෙකට හොඳටම කේන්ති ගිහින් අපි කෙනෙක්ගේ හිත රිදෙන දෙයක් කියන්න, කරන්න ඉඩ තියෙනවා. එහෙම වෙලාවලදී අපිට යෙහෝවාව කවදාවත් සතුටු කරන්න බැහැ කියලා හිතන්න හොඳ නැහැ. ඒ වෙනුවට අපි හිතන විදිහ, වැඩ කරන විදිහ වෙනස් කරගන්න අපි දිගටම මහන්සි වෙන්න ඕනේ. (රෝම 12:1, 2; එෆී. 4:24) එහෙම කරද්දී අපි මතක තියාගන්න ඕනෙ වැදගත් දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් ඇඳුමක් අපි අපේ ඇඟට හරියන විදිහට හදාගන්නවා. හැබැයි යෙහෝවා ලබා දෙන අලුත් පෞද්ගලිකත්වය කියන ඇඳුම අපිට ගැළපෙන විදිහට හදාගන්න බැහැ. ඒ වෙනුවට අපි තමයි ඒකට හරියන විදිහට වෙනස් වෙන්න ඕනේ.
දාවිත් වගේ දිගටම යෙහෝවාගේ රැකවරණය ලබන්න
14-15. යෙහෝවා ඔහුගේ සෙනඟට රැකවරණය දෙන්නේ මොන වගේ විදිවලින්ද? (ගීතාවලිය 27:5) (පින්තූරයත් බලන්න.)
14 නියම සතුට අද්දකින්න නම් අපිට යෙහෝවාගේ රැකවරණයත් ඕනෙමයි. යෙහෝවා අපිට රැකවරණය දෙන්නේ මොන වගේ විදිවලින්ද? ඔහුගේ රැකවරණය දිගටම ලබන්න නම් අපි මොනවාද කරන්න ඕනේ?
15 දාවිත්ට ලොකු විශ්වාසයක් තිබුණා අමාරු කාලවලදී යෙහෝවා එයාගේ රැකවරණය වෙනවා කියලා. (ගීතාවලිය 27:5 කියවන්න.) කොහොමද යෙහෝවා අද තමන්ගේ සෙනඟට රැකවරණයක් වෙන්නේ? ඔහුගෙන් අපිව ඈත් කරන්න ඔහු කිසිම කෙනෙක්ට, කිසිම දේකට ඉඩ දෙන්නේ නැහැ. ඔහු පොරොන්දු වෙනවා අපිට විරුද්ධව හදන කිසිම ආයුධයක් සාර්ථක වෙන්නේ නැහැ කියලා. (ගීතා. 34:7; යෙසා. 54:17) සාතනුයි, එයාගේ පැත්තේ ඉන්න අයයි බලවත් තමයි. හැබැයි එයාලා යෙහෝවාට වඩා බලවත් නැහැ. එයාලා අපේ ජීවිතේ නැති කළත් ඔහුට පුළුවන් ඒක අපිට ආපහු දෙන්න. (1 කොරි. 15:55-57; එළි. 21:3, 4) අපි කනස්සල්ලෙන් ඉන්න වෙලාවලදී සම්පූර්ණයෙන්ම වැටෙන්නේ නැතුව ඉන්න යෙහෝවා අපිට උදව් කරනවා. (හිතෝ. 12:25; මතෙ. 6:27-29) අපේ තාත්තා අපිට උදව් කරන්න ආදරණීය පවුලකුත් දීලා තියෙනවා. අපිව රැකබලා ගන්න වැඩිමහල්ලන්ව දීලා තියෙනවා. (යෙසා. 32:1, 2) යෙහෝවා අපිව ආදරෙන් බලාගන්න තව විදි ගැන රැස්වීම්වලදී අපි නිතරම ඉගෙනගන්නවා.—හෙබ්‍රෙ. 10:24, 25.
සහෝදරියක් අනිත් සහෝදර සහෝදරියන් එක්ක එකට රැස් වෙලා යෙහෝවාගේ රැකවරණය ලබනවා (14-15 ඡේද බලන්න)
16. යෙහෝවා දාවිත්ව ආරක්ෂා කළේ මොන විදිවලින්ද?
16 දාවිත් යෙහෝවාට කීකරු වෙද්දී හොඳ තීරණ ගන්න යෙහෝවා එයාට උදව් කළා. ඒ නිසා එයාට පුළුවන් වුණා වැරදි දේවල් කරලා ලැබෙන ප්‍රතිඵලවලින් ආරක්ෂා වෙන්න. (හිතෝ. 5:1, 2) ඒත් දාවිත් යෙහෝවාගේ මඟ පෙන්වීම් පැත්තකට දාලා වැරදි තීරණ ගත්තාම ඒවායින් ලැබුණ නරක ප්‍රතිඵලවලින් යෙහෝවා එයාව ආරක්ෂා කළේ නැහැ. (2 සාමු. 12:9, 10) හැබැයි සමහර අවස්ථාවලදී දාවිත් දුක් වින්දේ අනිත් අය එයාට නපුරු විදිහට සලකපු නිසයි. ඒ වගේ වෙලාවලදී යෙහෝවා එයාට රැකවරණයක් වුණේ කොහොමද? දාවිත් එයාට හැඟුණ දැනුණ හැම දේම යෙහෝවාට කියද්දී යෙහෝවා එයාව සැනසුවා. යෙහෝවා එයාට ආදරෙයි කියලත් එයාව බලාගන්නවා කියලත් දාවිත්ට පොරොන්දු වුණා.—ගීතා. 23:1-6.
17. දාවිත්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?
17 තීරණ ගන්න වෙද්දී අපි යෙහෝවාට යාච්ඤා කරලා ඔහුගේ මඟ පෙන්වීම්, උදව් ඉල්ලනවා නම් අපිටත් පුළුවන් දාවිත් වගේ වෙන්න. ඒ වගේම අපි තේරුම්ගන්න ඕනෙ සමහර වෙලාවලදී අපි දුක් විඳින්නේ යෙහෝවාගේ ආරක්ෂාව නැති නිසා නෙවෙයි අපි ගත්ත මෝඩ තීරණ නිසයි කියලා. (ගලා. 6:7, 8) සමහර වෙලාවලදී අපි යෙහෝවාට කීකරු වුණත් අපිට ප්‍රශ්නවලට මූණ දෙන්න වෙනවා. එහෙම වෙලාවලදී හැඟෙන දැනෙන හැම දේම යෙහෝවාට කියන්න. ඔහුගෙන් උදව් ඉල්ලන්න. එතකොට යෙහෝවා අපිව සනසනවා. ඔහුගේ ආදරේ අපිට දැනෙන්න සලස්වනවා.—ෆිලි. 4:6, 7.
දිගටම යෙහෝවාගේ මඟ පෙන්වීම් මත රැඳෙන්න
18. අපිට තියෙන අභියෝගය මොකක්ද? යෙහෝවාගේ මඟ පෙන්වීම් දිගටම ලබාගන්න අපි මොනවාද කරන්න ඕනේ? (පින්තූරත් බලන්න.)
18 “දෙවියන්ගේ මඟ පෙන්වීම් තමන්ට නිතරම ඕනෙ කියලා තේරුම් අරන් ඉන්න අය සන්තෝෂවත්.” ඒක තමයි 2026 අපේ වාර්ෂික පදය. යේසුස් කියපු ඒ දේ වෙන කවදාටත් වඩා අද අපි තේරුම්ගන්න එක ගොඩක් වැදගත්. මොකද අද අපි වට වෙලා ඉන්නේ දෙවියන්ගේ මඟ පෙන්වීම් එයාලට ඕනෙ නැහැ කියලා හිතන මිනිස්සුන්ගෙන්. තව හුඟදෙනෙක් දෙවියන්ව විශ්වාස කළත් එයාලා ඔහුට නමස්කාර කරන්නේ එයාලට ඕන විදිහට. තවත් අය විශ්වාසේ තියන්නේ මිනිස්සුන්ගෙන් ලැබෙන මඟ පෙන්වීම් මත. ඒ කිසිම කෙනෙක් ඉන්නේ සතුටින් නෙවෙයි. එයාලා වගේ වෙන්නේ නැතුව ඉන්න අපි පරෙස්සම් වෙන්න ඕනේ. ඒකට අපි දිගටම දෙවියන්ගේ වචනය අධ්‍යයනය කරන්න ඕනේ. ඔහු සතුටු වෙන ගුණාංග අපේ ජීවිතවලින් පෙන්නන විදිහ ඉගෙනගන්න ඕනේ. ඔහුට කීකරු වෙලා ඔහු දෙන ආරක්ෂාව ලබන්න ඕනේ.
යෙහෝවාගේ මඟ පෙන්වීම් මත අපි දිගටම රැඳිලා ඉන්න ඕනේ (18 ඡේදය බලන්න)a
ගීතිකාව 162 ඕනෑ මට දෙව් පෝෂණේ
a පින්තූරේ අදහස: කලින් පින්තූරේ හිටපු ‘මුරටැඹ’ පාඩම අධ්‍යයනය කරලා යෙහෝවාගේ මඟ පෙන්වීම් පතනවා. අනිත් අයට ආදරෙන් සලකලා යෙහෝවා කැමති ගුණාංග එයා පෙන්නනවා. එයා ආදරෙන් මඟ පෙන්වන, දිරිගන්වන එඬේරුන්ගේ රැකවරණය පතනවා.