ජීවනයට මඟ පාදන දැනුම
1 දේවවචනයේ සත්‍යතාව අවබෝධ වෙත්ම කෙනෙකුගේ ජීවිතයට ආලෝකයක් වැටීම මොන තරම් භාග්‍යයක්ද! දෙවි ගැනත් මිනිස් වර්ගයා සඳහා ඔහුගේ අරමුණ ගැනත් දැනුම අනුන්ට බෙදා දීමෙන් මහත් තෘප්තියක් ලැබිය හැකියි! මේ දැනුම කෙනෙකුගේ සදාකාල ජීවනයට හේතු වෙනවා.—යොහ. 17:3.
2 හොඳම දැනුම: අද ඕනෑම දෙයක් ගැන විවිධාකාරවලින් දැනුම ලබන්න පුළුවන්. (දේශ. 12:12) නමුත් මේ කිසිම ආකාරයක දැනුමක්, ‘දෙවිගේ මහිමාන්විත දේවල’ වටිනාකම සමඟ කොහෙත්ම සසඳන්නට බැහැ. (ක්‍රියා 2:11) මේ ලෝකයේ කිසිම ආකාරයක දැනුමකින් මිනිස් වර්ගයාව මැවුම්කරු වෙත ළං කර තිබෙනවාද? ඔහුගේ අරමුණ ගැන දැනුවත් කර තිබෙනවාද? මිය ගිය විට සිදු වන දේ ගැන හෝ මෙතරම් දුක් වේදනා පවතින්නේ මන්ද කියා හෝ පහදා දී තිබෙනවාද? අනාගතය ගැන බලාපොරොත්තුවක් දී තිබෙනවාද? පවුල් ජීවිත සාර්ථක කර තිබෙනවාද? පිළිතුර නම් නැත යන්නයි. නමුත් ජීවිතයේ වැදගත්ම ප්‍රශ්නවලට නියම පිළිතුරු ලැබෙන්නේ දෙවි ලබා දෙන දැනුමෙන් පමණයි.
3 මේ ලෝකයේ අද ඉතා විරල දෙයක් වූ උසස් සාරධර්ම උගන්වන්නේ දෙවිගෙන් ලැබෙන දැනුමෙන් පමණයි. යමෙක් දෙවිගේ උසස් ඉගැන්වීම් පිළිගෙන ඒවා අදාළ කරගනිද්දී, ජාතිවාදී හෝ වර්ගවාදී හැඟීම් සහ ආකල්ප තම හදවත්වලින් උදුරා දමන්නට ඔවුන්ට හැකි වෙනවා. (හෙබ්‍රෙ. 4:12) ඒ වගේම සෑම ආකාරයකම ප්‍රචණ්ඩත්වය ඉවතලා ‘අලුත් පෞද්ගලිකත්වය පැළඳගැනීමට’ ජනයාව පොලඹවන්නත් මේ දැනුමට හැකි වී තිබෙනවා. (කොලො. 3:9-11; මීකා 4:1-3) එපමණක්ද නොවෙයි මිනිසා තුළ ගැඹුරින් කාවැදී ඇති, දෙවි පිළිකුල් කරන නරක ගතිලක්ෂණ හා පුරුදු ඉවතලෑමටද මිලියන ගණනකට උපකාර කර තිබෙන්නේ දේවවචනයෙන් ලැබෙන දැනුමයි.—1 කොරි. 6:9-11.
4 ඉක්මනින්ම ගත යුතු පියවරවල්: අප ජීවත් වෙන්නේ දෙවිගේ විනිශ්චය ඉතා ළඟදීම පැමිණෙන කාලයකයි. මේ ගැන අපේ උතුම් මැවුම්කරුවාණන් අපව හොඳින් දැනුවත් කර තිබෙනවා. ඒ නිසා ඒ පිළිබඳ අලුත්ම තොරතුරු අප ලොව පුරා ප්‍රකාශ කළ යුතුයි. (එළි. 14:6, 7) ක්‍රිස්තුස් ස්වර්ගයේ සිට පාලනය කරනවා. බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය ළඟදීම විනාශ වෙනවා ඇති. දෙවිගේ රාජ්‍යය සියලු භූමික ආණ්ඩු විනාශ කිරීමට සැරසී සිටිනවා. (දානි. 2:44; එළි. 11:15; 17:16) මේ නිසා, ජනයා දෙවි විසින් පත් කර ඇති නව රජුගේ පාලනය පිළිගෙන, මහා බබිලෝනියෙන් ඉවත් වී, ඇදහිල්ලෙන් යුතුව යෙහෝවාගේ නාමයට යාච්ඤා කිරීම ඉක්මනින්ම ගත යුතු ක්‍රියාමාර්ගයක්. (ගීතා. 2:11, 12; රෝම 10:13; එළි. 18:4) ඒ නිසා ජීවනයට හේතු වන මේ දැනුම අපිට හැකි සෑම කෙනෙකුටම බෙදා දෙමු.