නිවැරදි වාර්තාවක් සකස් කිරීමට ඔබ දායක වෙනවාද?
1 බොහෝ බයිබල් වාර්තාවල නිශ්චිත සංඛ්‍යා ලේඛන ඇතුළත් කර තිබෙන අතර, සිදු වූ දෙය පිළිබඳව පැහැදිලි අදහසක් ලබාගැනීමට ඒවා උපකාරවත් වේ. නිදසුනක් හැටියට ගිඩියොන් පුරුෂයන් 300දෙනෙකු සමඟ මිදියන්වරුන්ගේ කඳවුර විනාශ කර දැමුවේය. (විනි. 7:7) යෙහෝවාගේ දූතයා අෂූරියේ සෙබළුන් 1,85,000දෙනෙකුව මරා දැමුවේය. (2 රාජා. 19:35) පොදු යුගයේ 33 පෙන්තකෝස්ත දවසේදී 3,000ක් පමණ බව්තීස්ම වූ අතර ඉන් ටික කලකට පසු ඇදහිලිවන්තයන්ගේ ගණන 5,000ක් පමණ දක්වා වැඩි විය. (ක්‍රියා 2:41; 4:4) පුරාණයේ විසූ දෙවිගේ සේවකයන් සම්පූර්ණ හා නිවැරදි වාර්තාවක් සකස් කිරීමට මහත් වෑයමක් දැරූ බව ඉහත වාර්තාවලින් පැහැදිලි වේ.
2 සෑම මාසයකම ක්ෂේත්‍ර සේවා ක්‍රියාකාරකම්වල අප නිරත වූ ආකාරය ගැන වාර්තාවක් සපයන්න කියා යෙහෝවාගේ සංවිධානය අද අපෙන් ඉල්ලා සිටී. අප විශ්වාසවන්තව මෙම විධිවිධානයට සහයෝගය දක්වනවා නම් දේශනා සේවය අධීක්ෂණය කිරීමේ කටයුතු වඩාත් හොඳින් කිරීමට හැකි වනු ඇත. දේවසේවයේ යෙදීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු පැති ගැනත් ක්ෂේත්රයේ ඇතැම් දේවල් ඉටු කිරීමට තවත් සේවකයන් අවශ්‍ය බවත් වාර්තාවලින් අනාවරණය විය හැකියි. සභාව සම්බන්ධයෙන් ගත් කල දේවසේවය පුළුල් කරගැනීමට ඉඩ කඩ තිබෙන අයව හා උපකාරය අවශ්‍ය කරන අයව හඳුනාගැනීමට ක්ෂේත්‍ර සේවා වාර්තාව වැඩිමහල්ලන්ට උපකාරවත් වෙයි. රාජ්‍යය පිළිබඳ දේශනා කිරීමේදී අත් කරගෙන තිබෙන වර්ධනය පිළිබඳව ලැබෙන වාර්තා ඇසීමෙන් සියලුම සහෝදරයන් දිරිගැන්වීමක්ද ලබයි. නිවැරදි වාර්තාවක් සකස් කිරීම සඳහා ඔබෙන් විය යුතු කොටස ඔබ කරමින් සිටිනවාද?
3 ඔබේ පෞද්ගලික වගකීම: ඔබ දේවසේවයේ හවුල් වූ ආකාරය මාසය අවසානයේදී මතකයට නංවාගැනීම අමාරු දෙයක් කියා ඔබ සිතනවාද? එහෙමනම් ඔබ ක්ෂේත්‍ර සේවයේ හවුල් වන සෑම අවස්ථාවකදීම එය ලියාගැනීම හොඳ අදහසක් නොවේද? සමහරු මේ සඳහා දිනදර්ශනයක් හෝ දිනපොතක් පාවිච්චි කරති. තවත් සමහරු සේවයේ යන විට හිස් ක්ෂේත්‍ර සේවා වාර්තාපතක් රැගෙන යති. මාසය අවසානයේදී හැකි විගස ඔබේ පොත් පාඩම් අවේක්ෂකට ඔබේ වාර්තාව දෙන්න. එහෙම නැත්නම් ඔබ වඩා කැමති වන්නේ රාජ්‍ය ශාලාවේ තිබෙන ක්ෂේත්‍ර සේවා වාර්තා පෙට්ටියට ඔබේ වාර්තාව දැමීමට නම් එය හැකි විගස කරන්න. ඔබේ වාර්තාව දෙන්න ඔබට අමතක වුණොත් හැකි විගස ඔබේ පොත් පාඩම් අවේක්ෂකව අමතන්න. ඔහු ඔබෙන් වාර්තාව ඉල්ලන්න පැමිණෙන තෙක් බලා නොසිටින්න. ක්ෂේත්‍ර සේවයේ ඔබ හවුල් වූ ආකාරය ගැන සැලකිලිමත්ව වාර්තා කිරීමෙන් ඔබ පෙන්වන්නේ යෙහෝවාගේ විධිවිධානයට ඔබ ගෞරවය දක්වන බවයි. එමෙන්ම වාර්තා එකතු කරගෙන ඒවා සකස් කරන සහෝදරයන් කෙරෙහි ප්‍රේමණීය සැලකිල්ලක් දක්වන බවත් එයින් ඔබ පෙන්වයි.—ලූක් 16:10.
4 පොත් පාඩම් අවේක්ෂකගේ කාර්යභාරය: තමාගේ රැළ කෙරෙහි හොඳ අවධානයෙන් සිටින සැලකිලිමත් එඬේරෙක් හැටියට පොත් පාඩම් අවේක්ෂක මාසය පුරා තම කණ්ඩායමේ ක්‍රියාකාරකම් කෙරෙහි උනන්දුවක් දක්වයි. (හිතෝ. 27:23) සෑම ප්‍රචාරකයෙක්ම නිතිපතා, අර්ථාන්විතව හා ප්‍රීතිමත්ව සේවයේ හවුල් වෙනවාද කියා ඔහු දනී. යම් ප්‍රචාරකයෙක් සම්පූර්ණ මාසයක්ම සේවයේ හවුල් වී නොමැති නම් විගස ඔහුට හෝ ඇයට උපකාර කරන්න ඔහු කටයුතු කරයි. බොහෝ අවස්ථාවලදී කරන්න තිබෙන්නේ එවැනි අයව වචනයකින් දිරිගැන්වීම හෝ ප්‍රායෝගික යෝජනාවක් සැපයීම හෝ තමන් සමඟ සේවයේ යෑමට ආරාධනා කිරීම වැනි දෙයක් පමණක් විය හැකියි.
5 තම කණ්ඩායමේ සිටින සෑම ප්‍රචාරකයෙක්ම තමන්ගේ ක්ෂේත්‍ර සේවා වාර්තාව ලබාදීමට වූ තම වගකීම ඉටු කර තිබෙන බවට පොත් පාඩම් අවේක්ෂක සෑම මාසයකම වගබලා ගත යුතුයි. ඊළඟට පැමිණෙන මාසයේ හයවනදා වන විට නිවැරදි සභා වාර්තාවක් ශාඛා කාර්යාලයට යෑවීමට ලේකම්ට හැකි වන්නේ ඔවුන් එසේ කටයුතු කරනවා නම් පමණි. මාසය අවසානයේදී තම කණ්ඩායමට වාර්තාව ගැන මතක් කිරීමට හා පොත් පාඩම පවත්වන ස්ථානයේ වාර්තාපත් තැබීමට ඔහුට හැකියි. තමන්ගේ වාර්තාව ඉදිරිපත් කිරීමට යම් අයට අමතක වී ඇත්නම් ඔහුට පුළුවන් මතක් කිරීම් හා දිරිගැන්වීම් කරන්න.
6 ක්ෂේත්රයේ සිදු කර තිබෙන දෙය නිවැරදිව හෙළි කරන වාර්තාවක් පිළියෙළ කිරීමට හැකි වන්නේ අපේ ක්ෂේත්‍ර සේවා වාර්තා හැකි විගස ලබා දීමෙනි. සෑම මාසයකම ක්ෂේත්‍ර සේවයේ හවුල් වූ ආකාරය හැකි විගස වාර්තා කිරීමෙන් ඔබේ කොටස ඔබ කරනවාද?