යෞවනයන්ට ප්‍රයෝජන ගෙන දෙන රැස්වීම්
1 “ජීවිතය හරිම දුෂ්කර එකක් කියල වැඩියෙන්ම හැඟෙන්නේ යෞවනයන්ට කියල සමහර වෙලාවට මට හිතෙනවා. අපිට නිතරම ආශ්‍රය කරන්න සිද්ධ වෙලා තියෙන්නේ වේශ්‍යාකම් කරන, මත්ද්‍රව්‍යවලට සහ මත්පැන්වලට ඇබ්බැහි වුණ අය එක්කයි” කියා නහඹර වියේ පසු වන ගැහැනු ළමයෙක් පවසනවා. ඔබටත් එහෙම හැඟෙනවාද? එහෙමනම් මේ නරක බලපෑම්වලට එරෙහිව සිටීම සඳහා ඔබට උපකාර කරන්නේ මොනවාද? යෙහෝවාගේ ධර්මිෂ්ඨ මාර්ග කෙරෙහි ශක්තිමත් ඇදහිල්ලක් ඔබට අවශ්‍යයි. මන්ද ‘ඇදහිල්ල නැතුව ඔහුව ප්‍රසන්න කළ නොහැකියි.’ (හෙබ්‍රෙ. 11:6) ඇදහිල්ල ඇතුව සිටීමට හා නරක දේවලින් වැළකී සිටීමට ඔබ ගන්න අධිෂ්ඨානය ශක්තිමත්ව තබාගැනීම සඳහා ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑම ඔබට මහත් උපකාරයක් වෙනවා.
2 රැස්වීම්වලින් ඔබට බොහෝ දේ ලැබෙයි: මිතුරන් සමඟ රසවත් ආහාරයක් භුක්ති විඳීම ප්‍රීතිමත් අවස්ථාවක් වීමට සලස්වන්නේ කුමක්ද? එයට හේතු වන්නේ විවිධත්වයෙන් යුත් පෝෂ්‍යදායී ආහාර හා ප්‍රීතිය ගෙන දෙන පරිසරයක් තුළ භුක්ති විඳින ඇසුර නොවේද? ඔව්, අපේ රැස්වීම්වලට යෑමෙන් ආත්මික ආකාරයෙන් එවැනිම ප්‍රීතිමත් අද්දැකීමක් අපිට භුක්ති විඳිය හැකියි.
3 රැස්වීම්වලදී සාකච්ඡා කරනු ලබන දේවල් ගොඩනංවනසුලුයි. එදිනෙදා මුහුණ දෙන ගැටලු සමඟ කටයුතු කරන ආකාරය හා බයිබල් අනාවැකි ගැන කෙරෙන රසවත් අධ්‍යයනයන් වැනි විවිධ කාරණා රැස්වීම්වලදී සාකච්ඡා කරනු ලබනවා. ජීවිතය සඳහා හොඳම මඟෙහි ගමන් කළ යුතු ආකාරය ගැනත් අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන ආකාරය ගැනත් ප්‍රායෝගික මඟ පෙන්වීම් රැස්වීම් මගින් සපයනවා. රැස්වීම්වලදී අපි භුක්ති විඳින ඇසුර වෙනත් කිසිම තැනකින් ලබාගත නොහැකියි. ක්‍රිස්තියානි රැස්වීමකදී පවතින වාතාවරණය සිතට සතුටක් මෙන්ම සුරක්ෂිතබවක්ද ගෙන දෙනවා. (ගීතා. 133:1) මේ ගැන තරුණියක් මෙසේ අදහස් දැක්වුවා. “මම දවසේ වැඩි හරියක්ම ගත කරන්නේ ඉස්කෝලේ. ඉස්කෝලේ ඉන්නකොට මම සෑහෙන පීඩනයකට ලක් වෙලා ඉන්නේ කියල මට දැනෙනවා. ඒත් රැස්වීම් කාන්තාරයක තියෙන ක්ෂේම භූමියක් වගෙයි. රැස්වීමකට ගියාට පස්සේ, ඊළඟ දවසේ ඉස්කෝලේදී ඇති වෙන අභියෝගවලට මුහුණ දෙන්න මට පුදුම ශක්තියක් ඇති වෙනවා.” තවත් තරුණියක් මෙසේ පැවසුවා. “යෙහෝවාට ප්‍රේම කරන අයත් එක්ක කිට්ටුවෙන් ආශ්‍රය කරන එක, ඔහුට ළං වෙලා ඉන්න මට ලොකු උපකාරයක් වෙලා තියෙනවා.”
4 බයිබල් විෂයක් පිළිබඳ තොරතුරු එක්රැස් කර, ඒවා උපයෝගි කරගනිමින් කතාවක් ගොඩනඟා ගෙන, එය රාජ්‍ය ශාලාවක රැස්ව සිටින අය ඉදිරියෙහි සාකච්ඡාමය ස්වරූපයෙන් ඉදිරිපත් කරන ආකාරය, දිව්‍යාණ්ඩු සේවා පාසැලට ඇතුළත් වීමෙන් ඔබට ඉගෙනගන්න පුළුවන්. දේවවචනයේ සඳහන් ජීවිත ගළවන සත්‍යයන් අන් අයට දක්ෂ ලෙස ඉගැන්වීම සඳහා ලබන පුහුණුවේ ප්‍රයෝජන ගැන සිතා බලන්න! යෞවනයන්ට මෙවන් අනගි පුහුණුවක් ලබාගන්න පුළුවන් වෙන කොතැනින්ද?
5 රැස්වීම්වලින් ප්‍රයෝජන අත් කරගත හැකි ආකාරය: රැස්වීම්වලින් ප්‍රයෝජන ගැනීම සඳහා මෙම වැදගත් කරුණු තුන කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්වීම අවශ්‍යයි. එම කරුණු තුන වන්නේ සූදානම් වීම, සහභාගි වීම හා ඉගෙනගන්න දේවල් ක්‍රියාත්මක කිරීමයි.
6 සූදානම් වන්න: රැස්වීම්වලට සූදානම් වීම සඳහා කාලසටහනක් සකස් කරගෙන, එය නිතිපතා ක්‍රියාත්මක කරන්න. සෑම රැස්වීමකදීම සාකච්ඡා කරනු ලබන තොරතුරු කලින් සලකා බැලීම සඳහා අවශ්‍ය කරන කාලය සොරාගැනීමට පාසැලේ වැඩවලට, අර්ධ කාලීන රැකියාවක් කරනවා නම් එයට හෝ විනෝදාස්වාදවලට ඉඩ නොදෙන්න. කාලසටහනකට ඇලී සිටීමෙන් ප්‍රයෝජන රැසක් අත් කරගන්න පුළුවන්. දිව්‍යාණ්ඩු සේවා පාසැල් වැඩසටහනේ තිබෙන සතිපතා බයිබල් කියවීමට ප්රමුඛත්වයක් දෙන්න. සතියට නියමිත පරිච්ඡේද ගණන සතියේ සෑම දවසකටම බෙදාගන්නවා නම්, එය කියවා මෙනෙහි කිරීමට දවසකට ගත වන්නේ විනාඩි කිහිපයක් පමණයි. සභා පොත් පාඩමට හා මුරටැඹ පාඩමට සූදානම් වීම සඳහාද කාලය වෙන් කරන්න. සමහර අය අඩුම තරමින් මේ රැස්වීම්වලට දවසකට හෝ දෙකකට කලින් සූදානම් වෙනවා. හැකි ආකාරයට සෑම සතියකම සේවා රැස්වීමේ වැඩසටහනේ තිබෙන කොටස් සඳහාද කාලය වෙන් කරන්න.
7 සහභාගි වන්න: යේසුස් අවුරුදු 12දී දේවමාළිගාවේ සවන් දෙමින්ද, ප්‍රශ්න අසමින්ද උත්තර දෙමින්ද සිටිනවා දැකගන්න ලැබුණු බව බයිබලයේ සඳහන් වෙනවා. (ලූක් 2:46, 47) වෙනත් වචනවලින් කියනවා නම් ඔහු පැත්තකට වී නිකම් බලාගෙන සිටියේ නැහැ. රැස්වීම්වලට සහභාගි වීමට වෑයම් කරනවා නම් ඔබට වැඩියෙන් ප්‍රයෝජන අත් කරගත හැකියි.—හිතෝ. 15:23.
8 රැස්වීම්වලදී උගන්වන දේවල් කෙරෙහි ක්‍රියාශීලීව ඔබේ මනස යොමු කර තබාගැනීම අවශ්‍යයි. සමහර අවස්ථාවලදී, කතාවක් ඉදිරිපත් කරනවාට වඩා කතාවකට සවන් දීම අමාරුයි. එයට හේතුව කුමක්ද? කතාවකට සවන් දෙමින් සිටින විට ඔබේ මනස එහා මෙහා යෑම එයට හේතුව විය හැකියි. ඔබට මෙය වළක්වාගන්න පුළුවන් කොහොමද? පසුව බැලීමට ඔබට අවශ්‍යයි කියා සිතෙන කරුණු ලියාගැනීමෙන් එය කළ හැකියි. ඔබේ මනස ඉදිරිපත් කරනු ලබන තොරතුරුවලට යොමු කර තබාගැනීමට කෙටි සටහන් ගැනීම උපකාරවත් වෙනවා. ඒ වගේම කථිකයා පෙරළා බැලීමට ආරාධනා කරන ශුද්ධ ලියවිලි පාඨ පෙරළා, ඔහු ඒවා කියවන විට ඔබේම බයිබලයෙන් ඒවා බලන්න.
9 මීට අමතරව, සෑම ප්‍රශ්නෝත්තර සාකච්ඡාවකටම හවුල් වීම ඔබේ ඉලක්කය කරගන්න. ඔබ කියන්න යන දේවල් ගැන කලින්ම හොඳින් සිතා බැලීමෙන් ඔබට වැඩි ප්‍රයෝජන ලබන්න පුළුවන්. හිතෝපදේශ 15:28 මෙසේ පවසනවා. “ධර්මිෂ්ඨයාගේ සිත උත්තරදෙන පිණිස විමසා බලයි.”
10 ඉගෙනගන්න දේවල් ක්‍රියාත්මක කරන්න: රැස්වීම්වලින් ප්‍රයෝජන ගැනීමේ අවසන් පියවර වන්නේ, ඉගෙනගත් දේවල් ‘ඔබ තුළ ක්‍රියාත්මක කරන’ බවට සහතික වීමයි. (1 තෙස. 2:13) සෑම රැස්වීමකින්ම ඉගෙනගන්න දේවල් ක්‍රියාත්මක කිරීමෙන් ඔබ යෙහෝවා දෙවිට වඩ වඩා ළං වෙන්න යනවා. ඔහු ඔබට සැබෑ පුද්ගලයෙක් වෙන්න යනවා. සත්‍යය ඔබටම අයත් වස්තුවක් කරගනිමින් ‘එහි දිගටම ගමන් කරන’ විට ඔබ මහත් සතුටක් ලබන බව නිසැකයි.—3 යොහන් 4, NW.
11 යොවුන් වියේ පසු වන සහෝදර සහෝදරයෙනි, නිතිපතා රැස්වීම්වලට සූදානම් වන්න; ඒවාට සහභාගි වන්න; ඉගෙනගන්න දේවල් ක්‍රියාත්මක කරන්න. ඔබ මෙසේ කරන විට රැස්වීම්වලින් ප්‍රීතියක් මෙන්ම ප්‍රයෝජන රැසක් ලබන්න යනවා. ඔබේ ස්වර්ගික පියා වන යෙහෝවා ඉදිරියෙහි පක්ෂපාත සේවකයෙකු වීම සඳහා ඔබ අධිෂ්ඨාන කරගන්න විට ඔබේ ඇදහිල්ල තවත් ශක්තිමත් වෙයි.—ගීතා. 145:18.