ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w08 7/1 4-9 පි.
  • වියෝ දුක දරාගැනීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වියෝ දුක දරාගැනීම
  • 2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දැඩි වේදනාවක්!
  • වියෝ දුක දරාගැනීම
  • දෙවිට ළං වෙන්න
  • නැවත නැඟිටීමේ බලාපොරොත්තුව
  • මම දුක දරාගන්නේ කොහොමද?
    ඔබ ආදරය කළ කෙනෙක් මිය ගිය විට
  • “හඬන අයත් සමඟ හඬන්න”
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • මේ සඟරාව: වියෝදුකට සහනයක්!
    2018 පිබිදෙව්!
  • හැඳින්වීම
    2018 පිබිදෙව්!
තව තොරතුරු
2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w08 7/1 4-9 පි.

වියෝ දුක දරාගැනීම

‘යාකොබ්ගේ දූ පුතුන් සියලුදෙනාම ඔහු වෙතට ඇවිත් ඔහුව සනසන්න උත්සාහ කළෝය. නමුත් ඔහු, මගේ පුත්‍රයා සමඟ මමත් මිනී වළට යනවා යයි කියමින් බොහෝ සෙයින් වැලපුණේය. මෙසේ, යෝසෙප්ගේ පියා ඔහු නිසා හඬා වැලපුණේය.’—උත්පත්ති 37:35, නව ලොව පරිවර්තනය, NW.

අතීතයේ සිටි ඇදහිලිවන්තයෙක් වූ යාකොබ්ට ඔහුගේ පුතාව අහිමි වූ විට ඔහු දැඩි සේ වැලපුණා. ඔහු සිතුවේ තමා මිය යන තෙක්ම ඒ දුකෙන් මිදෙන්න නොහැකි වෙයි කියායි. එසේ දුක්වීමෙන් පැහැදිලි වෙන්නේ යාකොබ්ට දෙවි කෙරෙහි විශ්වාසයක් නොතිබුණු බවද? කොහෙත්ම නැහැ.

බයිබලයේ යාකොබ්ව හඳුන්වා තිබෙන්නේ දෙවි කෙරෙහි නොසැලෙන විශ්වාසයක් තිබූ කෙනෙක් ලෙසයි. ඔහුගේ සීයා වූ ආබ්‍රහම් සහ පියා වූ ඊසාක් වැනි ඇදහිලිවන්තයන්ගේ ලැයිස්තුවට ඔහුවත් ඇතුළත් කර තිබෙන්නේ ඒ නිසයි. (හෙබ්‍රෙව් 11:8, 9, 13) එක් අවස්ථාවකදී දෙවිගේ ආශීර්වාදය ලබාගැනීමට තිබූ ආශාව නිසා යාකොබ් මුළු රැයක් පුරාම දේවදූතයෙක් සමඟ පොරබැදුවා. (උත්පත්ති 32:24-30) මින් පැහැදිලි වෙන්නේ දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් තිබෙන කෙනෙකු පවා තමන් ආදරය කළ කෙනෙකුගේ මරණයේදී වැලපීම සාමාන්‍යය දෙයක් බවයි.

දැඩි වේදනාවක්!

තමන් ප්‍රේම කළ කෙනෙකුගේ මරණය නිසා ඇති වන වේදනාව එක් එක් පුද්ගලයන්ට බලපාන්නේ විවිධ ආකාරවලිනුයි. උදාහරණයකට 14-හැවිරිදි ලෙයෝනාර්දෝගේ අද්දැකීම සලකා බලන්න. ඔහුගේ පියා දරුණු අසනීපයකින් මිය ගියා. ඔහුගේ ඥාතියෙක් ඒ ආරංචිය ඔහුට පැවසූ මොහොත ලෙයෝනාර්දෝට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඔහුගේ පියා මිය ගිය බව ලෙයෝනාර්දෝට විශ්වාස කරන්න බැරි වුණා. පියාගේ දේහය දුටුවත් එය සැබෑවක් බව පිළිගන්න ඔහු කැමති වුණේ නැහැ. ඔහුට කොතරම් කම්පනයක් ඇති වුණාද කියනවා නම් මාස හයක් යනතුරු ඔහුට ඇඬුණේ නැහැ. පියා මිය ගිය බව තේරුම්ගන්න ඔහුට අවුරුද්දක් පමණ ගත වුණා. පසුව ලෙයෝනාර්දෝට පුදුම තනිකමක් දැනෙන්න පටන්ගත්තා. සමහර දවස්වල ඔහු නිවසට පැමිණෙන විට පියා නැති බව දැනෙද්දී බොහෝ සෙයින් හඬා වැලපෙනවා. පියා නැති අඩුව ඔහුට තදින්ම බලපානවා.

ලෙයෝනාර්දෝගේ අද්දැකීමෙන් පැහැදිලි වෙන්නේ කෙනෙකුගේ මරණය නිසා ඇති වන වේදනාව ඉතා ප්‍රබල විය හැකි බවයි. බරපතළ තුවාලයක් සුවවීමට යම් කාලයක් ගත වෙනවා හා සමානව කෙනෙකුගේ මරණය නිසා ඇති වන වේදනාව තුනීවීමටත් යම් කාලයක් ගත වෙනවා. සමහරවිට ඒ සඳහා මාස ගණනාවක් හෝ අවුරුදු කිහිපයක් ගත වෙන්න පුළුවන්. එසේ කාලය ගෙවී යෑමත් සමඟම ජීවිතයේ තිබූ නීරසභාවයත් ක්‍රමානුකූලව අඩු වී ඇති බව ඔබට දැනේවි.

කෙනෙක් මිය ගිය විට දැනෙන වේදනාව දරාගැනීමට හඬා වැලපීම සුදුසු බව සමහරුන් අද්දැක තිබෙනවා. මිය ගිය කෙනාගේ අඩුව හදවතට තදින්ම දැනෙනවා. නමුත් ඒ තත්වයත් සමඟ ජීවත් වීමට අපි පුරුදු විය යුතුයි. හඬා වැලපීමෙන් සිදු වෙන්නේ හදවතේ තිබෙන එම වේදනාව තුනීවීමයි. නමුත් සෑම කෙනෙක්ම වේදනාව ප්‍රකාශ කරන්නේ එකම ආකාරයකින් නෙවෙයි. නමුත් මතක තබාගත යුතු වැදගත් කරුණක් නම් දුක ප්‍රකාශ නොකර එය සිතේ තද කරගෙන සිටීමෙන් කෙනෙකුගේ මනසට එය අහිතකර ලෙස බලපෑ හැකි බවයි. එසේනම් ඔබේ සිතේ තිබෙන දුක පිට කළ හැක්කේ කෙසේද? ඒ ගැන බයිබලයේ යම් මඟ පෙන්වීම් දී තිබෙනවා.a

වියෝ දුක දරාගැනීම

තමන්ගේ සිතේ ඇති ශෝකය තවත් කෙනෙකුට පැවසීමෙන් සහනයක් ලැබිය හැකි බව වියෝ දුකෙන් පෙළුණු අය අද්දැක තිබෙනවා. උදාහරණයකට පුරාණයේ සිටි යෝබ් ගැන සලකා බලන්න. ඔහුගේ දරුවන් දසදෙනාම මිය ගිය මොහොතේ තමන්ට ඇති වූ හැඟීම් ගැන ඔහු මෙසේ පවසනවා. “මට මාගේ ජීවිතය තිත්ත වී ඇත. හදවතේ දැවෙන දුක කියන්නෙමි. දරාගත නොහැකි වේදනාවකින් මම කතා කරන්නෙමි.” (යෝබ් 1:2, 18, 19; 10:1, NW) මෙහිදී තමාගේ දුක “කියන්නෙමි” කියා යෝබ් පැවසුවා. එය කළ හැක්කේ වේදනාව ගැන වෙනත් කෙනෙකු සමඟ ‘කතා කිරීමෙනුයි’ කියා ඔහුම පවසනවා.

තම මවව අහිමි වූ පාවුලූ මෙසේ පවසනවා. “අම්මා ගැන වෙනත් අය එක්ක කතා කිරීම මගේ දුක දරාගන්න මට උපකාරවත් වුණා.” ඒ නිසා විශ්වාසවන්ත මිතුරෙකුට ඔබේ දුක ප්‍රකාශ කිරීමෙන් යම් සහනයක් ලබාගත හැකියි. (හිතෝපදේශ 17:17) යෝනේට ඇගේ මවව අහිමි වූ පසු ක්‍රිස්තියානි සභාවේ අයට නිතරම ඇවිත් තමන්ව බැහැදකින්න කියා ඇය ඉල්ලා සිටියා. මෙසේ එකිනෙකා සමඟ “කතා කිරීමෙන් දුක තුනී කරගැනීමට හැකි වූ බව” ඇය පවසනවා. ඒ හා සමානව ඔබව තේරුම්ගත හැකි කෙනෙකුට ඔබේ සිතේ තිබෙන වේදනාව ගැන පැවසීම එය දරාගැනීමට උපකාරවත් වේවි.

සමහර අයට තම සිතේ ඇති ශෝකය තවත් කෙනෙකුට පැවසීම අසීරු දෙයක් විය හැකියි. එවැනි අයට තමන්ගේ හැඟීම් ගැන ලීවීම උපකාරවත් වේවි. අතීතයේ සිටි දාවිත් රජ එසේ කළා. ඔහු සාවුල් සහ යොනාතාන්ගේ මරණය නිසා තමන්ට දැනුණු වේදනාව ප්‍රකාශ කරමින් ගීතිකාවක් රචනා කළා. එම දුක්බර ගීතිකාව බයිබලයේ සඳහන් වෙනවා.—2 සාමුවෙල් 1:17-27.

හැඬීමෙනුත් දුක තුනී කරගත හැකියි. අපි ආදරය කළ කෙනෙක් මිය ගිය විට අපිට ඇඬෙනවා. බයිබලයේද සඳහන් වෙන්නේ ‘ඕනෑම දෙයකට එනම් වැලපීමට පවා නියමිත කාලයක්’ තිබෙන බවයි. (දේශනාකාරයා 3:1, 4, NW) ඒ නිසා එවන් දුක්බර අවස්ථාවකදී ඇඬීම ලැජ්ජාවට හේතුවක් නෙවෙයි. කෙනෙක්ගේ වියෝව නිසා ප්‍රසිද්ධියේ ඇඬූ පුරුෂයන් හා ස්ත්‍රීන් ගැන බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 23:2; 2 සාමුවෙල් 1:11, 12) යේසුස් පවා ඔහුගේ කිට්ටු මිතුරෙකු වූ ලාසරුස්ගේ සොහොන් ගෙය අසලදී ‘කඳුළු සැලුවා.’—යොහන් 11:33, 35.

කෙනෙකුගේ වියෝව නිසා ඇති වන දුක විටෙන් විට මතු විය හැකියි. එවන් තත්වයක් සමඟ කටයුතු කිරීමට ඉවසීම අවශ්‍යයි. වියෝ දුක ඇතිවීමේදී හැඬීම එම තත්වය දරාගැනීමට උපකාරවත් වී ඇති බව බොහෝදෙනාගේ අද්දැකීමයි.

දෙවිට ළං වෙන්න

බයිබලයේ අපට උනන්දු කර තිබෙන්නේ “දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වන්නේය” කියායි. (යාකොබ් 4:8) එසේ දෙවිට ළං විය හැකි එක් ප්‍රධාන ක්‍රමයක් නම් යාච්ඤාවෙන් දෙවි සමඟ කතා කිරීමයි. ඒ සම්බන්ධයෙන් මෙවැනි සැනසිලිදායක පොරොන්දුවක් බයිබලයෙහි ඇතුළත් වී තිබෙනවා. “යෙහෝවා දෙවි බිඳුණු සිත් ඇති අයට සමීපව සිටියි. ඔහු තැළුණු හදවත් ඇති අයව බේරාගනියි.” (ගීතාවලිය 34:18, NW) එමෙන්ම “ඔබේ සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න. ඔහු ඔබව උසුලන්නේය” කියාද එහි සඳහන් වෙනවා. (ගීතාවලිය 55:22, NW) කලින් සඳහන් කළ ලෙස අපේ දුක වෙනත් කෙනෙකුට පැවසීම එය දරාගැනීමට මහත් උපකාරයක්. එසේනම් අපව සනසන බවට පොරොන්දුවක් දී තිබෙන දෙවිට අපේ දුක පැවසීමෙන් ඊට වඩා කොපමණ සැනසිල්ලක් ලැබේවිද!—2 තෙසලෝනික 2:16, 17.

කලින් සඳහන් කළ පාවුලූ මෙසේ පැවසුවා. “මගේ දුක තවත් දරාගන්න බැහැ කියලා හිතෙද්දී මට අවශ්‍ය ශක්තිය ලබා දෙන්න කියලා මම දණ ගහගෙන යෙහෝවා දෙවිට යාච්ඤා කළා.” යාච්ඤාව තමන්ට කොතරම් උපකාරවත් වුණාද කියා ඔහු අද්දැක්කා. ඔබත් දෙවිට යාච්ඤා කරනවා නම් “සියලු සැනසිල්ලේ දෙවි” ඔබේ දුක දරාගැනීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලබා දෙන බව ඔබත් අද්දකීවි.—2 කොරින්ති 1:3, 4; රෝම 12:12.

නැවත නැඟිටීමේ බලාපොරොත්තුව

“නැවත නැඟිටීමත් ජීවනයත් මමය” කියා යේසුස් පැවසුවා. (යොහන් 11:25) මිය ගිය අය නැවතත් ජීවත් වීමට යන බව බයිබලයේ සඳහන් වෙනවා.b යේසුස් පොළොවේ සිටි කාලයේදී මිය ගිය අයව තමාට නැවත ජීවත් කරන්න හැකි බව ඔප්පු කර පෙන්නුවා. උදාහරණයකට ඔහු මිය ගිය 12-හැවිරිදි දැරියක්ව නැවත ජීවත් කළා. ඒ අවස්ථාවේදී එම දැරියගේ දෙමව්පියන් ‘එය දුටු විගස ඉමහත් ප්‍රීතියකින් විස්මයට පත් වූ’ බව බයිබලයේ සඳහන් වෙනවා. (මාක් 5:42) ඉදිරියේදී පොළොව පාලනය කිරීමට නියමිත තැනැත්තා ලෙස යේසුස් මිය ගොස් සිටින ගණන් කළ නොහැකි සංඛ්‍යාවක් නැවත ජීවත් කරවීමට නියමිතයි. ඔවුන්ට සාමකාමී ධර්මිෂ්ඨ තත්වයක් යටතේ සතුටින් ජීවත්වීමට අවස්ථාව ලැබෙනවා. (ක්‍රියා 24:15; 2 පේතෘස් 3:13) මෙසේ මිය ගිය අය නැවතත් තම පවුලේ අය සමඟ එක්වීම මොන තරම් ප්‍රීතිමත් අවස්ථාවක් වේවිද!

ගුවන් යානා අනතුරෙන් තම පුතාව අහිමි වූ ක්ලෝදෙත්ති නම් මවට ඇගේ පුතාව යළි දැකීමට ලැබෙන බවට ස්ථිර විශ්වාසයක් තිබෙනවා. ඒ නිසා තම පුතාගේ පින්තූරය දෙස බලා ‘නැවත නැඟිටීමේදී හමු වෙමු’ කියා ඇය පවසනවා. එමෙන්ම දෙවි දී තිබෙන පොරොන්දුවට එකඟව ලෙයෝනාර්දෝද තම පියාව යළි දැකබලා ගැනීමේ බලාපොරොත්තුව ඇතුව සිටිනවා. ඔවුන් ඇතුළු තමන් ප්‍රේම කළ මිය ගිය අය ගැන සොවින් පසු වන දහසකුත්දෙනාට නැවත නැඟිටීමේ බලාපොරොත්තුව මහත් සහනයක් වී තිබෙනවා.

[පාදසටහන්වල]

a කෙනෙකුගේ මරණය දරාගැනීම සඳහා දරුවන්ට උපකාර කළ හැකි ආකාරය ගැන දැනගැනීමට මෙම සඟරාවේ 18 සිට 20 දක්වා පිටුවල ඇති “වියෝ දුකින් පෙළෙන ඔබේ දරුවාට සැනසිල්ල” යන ලිපිය බලන්න.

b නැවත නැඟිටීම සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් පොරොන්දුව ගැන තවදුරටත් දැනගැනීම සඳහා බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොතේ හත්වන පරිච්ඡේදය බලන්න.—යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

[7වන පිටුවේ කොටුව/පින්තූරය]

“සියලු සැනසිල්ලේ දෙවි”

“අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ දෙවිද පියාණන්ද වන තැනැත්තාට ආශීර්වාද වේවා! මොහු දයානුකම්පාවේ පියාණන්ද සියලු සැනසිල්ලේ දෙවිද වන්නේය.”—2 කොරින්ති 1:3.

ඉහත බයිබල් පදයෙන් හෙළි වන්නේ තම සේවකයන්ට මුහුණ දීමට සිදු වන ප්‍රශ්න ගැටලුවලට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය උපකාර සැපයීමට යෙහෝවා දෙවිට හැකි බවයි. ඒ සඳහා දෙවි තම නමස්කාරකයන්ව යොදාගන්නවා.

උදාහරණයකට ලෙයෝනාර්දෝට සැනසීමක් ලැබුණු ආකාරය සලකා බලමු. ඔහු නිවසට පැමිණෙද්දී එහි කිසිවෙක් නොමැති බව දැනුණු විට ඔහු බොහෝ සෙයින් හඬා වැලපුණා. එවැනි අවස්ථාවකදී ඔහු තම නිවස අසල තිබූ උද්‍යානයකට ගොස් බංකුවක වාඩි වී දිගින් දිගටම හඬමින් උපකාර ඉල්ලා දෙවිට යාච්ඤා කළා. එවිට හදිසියේම වාහනයක් ඔහු ළඟම නතර කළා. එහි සිටියේ ඔහුගේම ආගමේ කෙනෙක්. ඔහු ඒ උද්‍යානය අසලින් ගියේ ඔහුට පාර වැරදී තිබූ නිසයි. කොහොමවුණත් ඔහුව දැකීමෙන් සහ ඔහු සමඟ කතා කිරීමෙන් ලෙයෝනාර්දෝ මහත් සහනයක් ලැබුවා.

තම බිරිඳගේ වියෝව නිසා කනස්සල්ලෙන් සිටි එක් සැමියෙක් තමන්ට සෑම දෙයක්ම නැති වුණා යන හැඟීම නිසා නිතරම හැඬුවා. මෙම තත්වය නිසා ඔහුත් යාච්ඤා කරමින් දෙවිගෙන් උපකාර පැතුවා. එසේ යාච්ඤා කරමින් සිටියදී තම මිනිබිරියගෙන් ඔහුට දුරකථන ඇමතුමක් ලැබුණා. ඒ ගැන ඔහු මෙසේ පවසනවා. “අපි දෙන්නා කතා කරපු දේවලින් මම ලොකු සහනයක් ලැබුණා. මට හිතෙන්නේ ඒ දුරකථන ඇමතුම මම යෙහෝවා දෙවිට කරපු යාච්ඤාවට ලැබුණු පිළිතුරක් කියලයි.”

[9වන පිටුවේ කොටුව]

අන් අයට සහනයක් ලබා දීම

“අපේ සියලු පීඩාවලදී අපව සනසන්නේ ඔහුය. එසේ කරන්නේ, අපේ සැනසීම සඳහා දෙවිගෙන් අප ලබන සැනසීම තුළින් ඕනෑම ආකාරයක පීඩාවක් විඳින අයව සනසන්න අපට හැකි වන පිණිසය.”—2 කොරින්ති 1:4.

ඉහත බයිබල් පදයේ සඳහන් වදන් සත්‍යයක් බව වියෝ දුකින් පෙළුණු යෙහෝවා දෙවිට නමස්කාර කරන අය අද්දැක තිබෙනවා. තමන් ලද සැනසිල්ල නිසා එවැනි තත්වයේ සිටින වෙනත් අයට අවශ්‍ය සහනය ලබා දීමට ඔවුන්ට හැකි වී තිබෙනවා.

බයිබල් සත්‍යය අන් අයට පැවසූ ක්ලෝදෙත්තිගේ අද්දැකීම සලකා බලන්න. ගුවන් අනතුරෙන් ඇගේ පුතාව අහිමි වීමට පෙර ඇය එක් කාන්තාවක්ව හමුවීමට නිතරම පාහේ ගියා. එම කාන්තාවගේ පුතා පිළිකාවකින් මිය ගොස් සිටියා. ක්ලෝදෙත්ති තමන් සිටින තත්වය හරි හැටි තේරුම්ගනියිද කියා එම කාන්තාවට යම් සැකයක් තිබුණා. නමුත් ක්ලෝදෙත්තිගේ පුතා මිය ගිය අවස්ථාවේ එම කාන්තාව ඇයව බැලීමට පැමිණියා. ඒ මොහොතේ ක්ලෝදෙත්ති තුළ දෙවි කෙරෙහි තිබූ විශ්වාසය ඇය දුටුවා. පසුව ඇය ක්ලෝදෙත්ති සමඟ බයිබලය පාඩම් කිරීමට පටන්ගත්තා.

තම පියාව අහිමි වූ ලෙයෝනාර්දෝ සංඥා භාෂාව ඉගෙනගැනීමට තීරණය කළා. එයට හේතුව වූයේ බිහිරි අයට බයිබලයේ තිබෙන ප්‍රීතිමත් සැනසිලිදායක පණිවිඩය දැනුම් දෙන්න ඔහුට ආශාවක් තිබූ නිසයි. එවැනි අයට උපකාර කිරීමට දැරූ වෑයමෙන් තමන්ටත් යම් සහනයක් ලැබුණු බව ඔහුට වැටහුණා. ඒ ගැන ඔහු මෙසේ පවසනවා. “බිහිරි අයට බයිබල් සත්‍යය කියා දීමට මම ලොකු වෙහෙසක් මෙන්ම කාලයක් යොදවනවා. ඒ තුළින් මට මගේ වේදනාවත් දරාගන්න පුළුවන් වෙලා තියෙනවා. මුල්ම වතාවට මගෙන් බයිබල් සත්‍යය ඉගෙනගත්ත කෙනෙක් බව්තීස්ම වුණු වේලාවේ මට ලොකු ප්‍රීතියක් දැනුණා. එදා තමයි තාත්තගේ මරණය නිසා මම අද්දකිමින් සිටි වේදනාව මහත් ප්‍රීතියකට පෙරළුණේ.”—ක්‍රියා 20:35.

[5වන පිටුවේ පින්තූරය]

ඔබේ හැඟීම් ගැන පැවසීමෙන් යම් සහනයක් ලැබිය හැකියි

[6වන පිටුවේ පින්තූරය]

තමන්ගේ හැඟීම් ගැන ලිවීමෙන් වේදනාව තුනී කරගත හැකියි

[6වන පිටුවේ පින්තූරය]

නැවත ජීවත් වීමේ බලාපොරොත්තුව ගැන බයිබලයේ සඳහන් තොරතුරු සලකා බැලීමෙන් මහත් සහනයක් ලැබිය හැකියි

[8, 9වන පිටුවේ පින්තූරය]

තමන් කෙරෙහි ඇදහිල්ල තබන අයව නැවත නැඟිටුවන බවට යේසුස් පොරොන්දු වුණා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න