හොඳම අධ්‍යාපනයෙන් ඔබත් ප්‍රයෝජන ගන්න
මිනිසා ඇතුළු සෑම දෙයක්ම මවා තිබෙන්නේ යෙහෝවා දෙවි බවයි බයිබලයේ පෙන්වා දී තිබෙන්නේ. (උත්පත්ති 1:27; එළිදරව් 4:11) ශ්‍රේෂ්ඨතම ගුරුවරයා වශයෙන් ඔහු මුල් මිනිස් යුවළ වන ආදම් සහ ඒවට බොහෝ දේ ඉගැන්වුවා. ඉතා අලංකාර වූ ඒදන් උයනේ ජීවත් විය යුතු ආකාරය ගැන ඔවුන් දෙදෙනාට ඔහු මඟ පෙන්වීම් ලබා දුන්නා. ඔහුගේ අරමුණ වුණේ ඔවුන්ට සැමදා උගන්වමින් ඔවුන්ව හොඳින් රැකබලා ගැනීමයි. (උත්පත්ති 1:28, 29; 2:15-17; යෙසායා 30:20, 21) එය මොන තරම් උතුම් අරමුණක්ද කියා සිතා බලන්න.
කෙසේවෙතත් මුල් යුවළ ඒ උතුම් අරමුණට පිටුපා ක්‍රියා කිරීම මොන තරම් කනගාටුදායකද! ඔවුන් දෙවිට අකීකරු වූ නිසා මුළු මිනිස් වර්ගයාම සාරධර්ම අතින් පමණක් නොවෙයි ශාරීරිකවද පිරිහෙන්න පටන්ගත්තා. (උත්පත්ති 3:17-19; රෝම 5:12) මිනිසාව මවා පරම්පරා කිහිපයක් ගතවීමෙන් පසු ජීවත් වූ අය ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “මනුෂ්‍යයාගේ දුෂ්ටකම පොළොවෙහි මහත් බවද ඔහුගේ හෘදයෙහි සියලු කල්පනා නිරන්තරයෙන් නපුර පමණක් බවද යෙහෝවා දුටුවේය.”—උත්පත්ති 6:5.
යෙහෝවා මිනිසුන් ගැන එසේ නිගමනය කළේ මීට අවුරුදු 4,500කට පමණ ඉහතදීයි. එදාට වඩා අද මිනිසුන්ගේ තත්වය නරක අතට හැරී තිබෙනවා. හුඟදෙනෙක් කිසිම ගානක් නැතිව බොරු කියනවා. සොරකම් කරනවා. අන් අයට පහර දෙනවා. සෑම දවසකම ප්‍රශ්න ගැටලු වැඩි වෙනවා. මිනිසුන් අනිත් අය ගැන දක්වන සැලකිල්ල අඩු වෙනවා. පවුලේ සාමාජිකයන් ඇතුළුව කිට්ටුම හිතමිතුරන් අතර පවා ආරවුල් ඇති වෙනවා. අද මිනිසුන් අද්දකින වේදනාකාරී තත්වයට දෙවි වග කිව යුතු නොවුණත් මිනිසුන් මුහුණපාන ප්‍රශ්න ගැන ඔහු සැලකිල්ලක් දක්වනවා. මිනිසුන්ගේ යහපත ගැන දෙවි නිතරම සැලකිලිමත් නිසා සන්තෝෂවත් ජීවිතයක් ගත කිරීම සඳහා ඔහුගේ මඟ පෙන්වීම් ලබාගැනීමට කැමති අයට ඒ සඳහා උපකාර කරන්න යෙහෝවා දෙවි සූදානම්. මීට අවුරුදු 2,000කට පමණ කලින් ඔහු සිය පුත්‍රයාව මේ පොළොවට එවා, සාර්ථක ජීවිතයක් ගත කිරීමට ආශාවෙන් සිටින අයට උගන්වන්න ඔහු කැමැත්තෙන් සිටින බව පෙන්නුවා. යේසුස් පොළොවට පැමිණෙන්න කලින් අපිට හරියටම කිව නොහැකි කාලයක් පුරා ශ්‍රේෂ්ඨතම ගුරුවරයා වන යෙහෝවා දෙවිගෙන් බොහෝ දේවල් ඉගෙනගෙන තිබුණා. මේ නිසා ඔහුගේ ඉගැන්වීම්වලින් හා ආදර්ශයෙන් හොඳම අධ්‍යාපනය මිනිසුන්ට දීමට යේසුස්ට හැකි වුණා.
සැබෑ ක්‍රිස්තියානි ආගමෙන් හොඳ අධ්‍යාපනයක් ලබා දෙයි
යේසුස් ක්‍රිස්තුස් පිහිටෙවූ සැබෑ ක්‍රිස්තියානි ආගම තුළ සෑම දෙයක්ම සිදු කරනු ලබන්නේ ප්‍රේමය මුල් කරගෙනයි. සැබෑ ක්‍රිස්තියානි ආගමේ සිටින සියලුදෙනාගේම සිතුවිලි හා ක්‍රියාවන් දෙවිගේ කැමැත්තට එකඟව තිබිය යුතු අතර ඔවුන් ජීවත් විය යුත්තේ දෙවිගේ නාමයට ප්‍රශංසාවක් හා ගෞරවයක් අත් වන ආකාරයටයි. (මතෙව් 22:37-39; හෙබ්‍රෙව් 10:7) අප ජීවත් විය යුතු ආකාරය සම්බන්ධයෙන් යේසුස් ඇත්තෙන්ම ඉගැන්වූයේ ඔහුගේ පියාගේ අදහස්. තමන්ගේ ඉගැන්වීම්වලදී දෙවිගෙන් ලැබුණු මඟ පෙන්වීම් ගැන යේසුස් මෙසේ පැවසුවා. “මාව එවූ තැනැත්තා මා සමඟ සිටින්නේය. මා සැමවිටම ඔහුට ප්‍රසන්න දේවල් කරන හෙයින් ඔහු මා තනි වෙන්න නොහැරියේය.” (යොහන් 8:29) යේසුස්ගේ එම වදන්වලින් පෙනී යන්නේ ඔහු මේ පොළොව මත දේවසේවය කළ කාලය පුරාම සිය පියාගේ උපකාරය හා මඟ පෙන්වීම් ඔහුට ලැබුණු බවයි. යේසුස්ගේ මුල් අනුගාමිකයන් ගැටලු ප්‍රශ්නවලට මුහුණ දුන්නත් ඒවා සාර්ථකව විසඳාගැනීම සඳහා නිවැරදි මඟ පෙන්වීම් ඔවුන්ට ලැබුණා. යෙහෝවා දෙවි ඔහුගේ පුත්‍රයා මාර්ගයෙන් ඔවුන්ට ඉගැන්වුවා. යේසුස් ඉගැන්වූ දේවලට එකඟව ජීවත් වීමෙන් හා ඔහුගේ ආදර්ශය අනුගමනය කිරීමෙන් වඩාත් යහපත් මිනිසුන් වීමට ඔවුන්ට හැකි වුණා. අදත් ඔහුගේ අනුගාමිකයන් සම්බන්ධයෙන්ද කිව හැක්කේ ඒ දෙයමයි.—6වන පිටුවේ තිබෙන “යේසුස් තම ආදර්ශයෙන් හා ඉගැන්වීමෙන් ඇති කළ බලපෑම” නමැති කොටුව බලන්න.
සැබෑ ක්‍රිස්තියානි ආගමේ එක් සුවිශේෂි ලක්ෂණයක් වන්නේ මිනිසුන්ගේ සිත් තුළ ප්‍රබල බලපෑමක් ඇති කරමින් ඔවුන්ගේ ජීවිත වෙනස් කර යහ මඟට ගෙන ආ හැකි ආකාරයේ අධ්‍යාපනයක් සැපයීමයි. (එෆීස 4:23, 24) මේ සම්බන්ධයෙන් එක් උදාහරණයක් සලකා බලමු. තමන්ගේ විවාහක කලත්‍රයාට විශ්වාසවන්තව සිටීම ගැන යේසුස් මෙවැනි දෙයක් ඉගැන්වුවා. “‘පරදාර සේවනයේ නොයෙදෙන්න’ යයි කී බව ඔබ අසා ඇත. එහෙත් මම ඔබට කියමි, කාම ආශාවක් ඇති වන ලෙස ස්ත්‍රියක් දෙස දිගින් දිගටම බලමින් සිටින සෑම කෙනෙකුම ඒ වන විටත් සිතින් ඇය සමඟ පරදාර සේවනයේ යෙදී ඇත.” (මතෙව් 5:27, 28) මෙම වචන පැවසීමෙන් යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට ඉගැන්වූයේ ඔවුන්ගේ සිතුවිලි පවා පවිත්‍රව තිබිය යුතු බවයි. එමෙන්ම නරක දෙයක් නොකළත් යමෙකුගේ සිතේ වැරදි ආශාවන් තිබුණොත් ඉන් හානිකර ප්‍රතිඵල ඇති විය හැකි බවයි. යම් කෙනෙක් තවත් කෙනෙකුට හානියක් කරන්නේ ඔහු තුළ නරක සිතුවිලි ඇතිවීමේ ප්‍රතිඵලයක් හැටියට නොවේද?
මේ නිසයි බයිබලයේ අපිට මෙසේ උපදෙස් දී තිබෙන්නේ. “මේ සමාජ ක්‍රමයට අනුව හැඩගැසීමෙන් වැළකී, දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ පරිපූර්ණ කැමැත්ත කුමක්දැයි තමුන්ටම ඔප්පු කරගන්නා පිණිස, ඔබේ මනස අලුත් කරගැනීමෙන් මුළුමනින්ම වෙනස් වන්න.” (රෝම 12:2) ‘අධ්‍යාපනය තුළින් යමෙකුගේ මනස අලුත් කරගන්න පුළුවන්ද?’ කියා ඔබ සිතන්න පුළුවන්. මනස අලුත් කරගැනීමේදී සිදු වන්නේ දේවවචනයේ සඳහන් ප්‍රතිපත්ති හා උපදෙස් මනසෙහි තැන්පත් කරගෙන තමන් සිතන විදිහ වෙනස් කරගැනීමයි. මෙය කළ හැක්කේ දෙවි ඔහුගේ වචනය වන බයිබලය මාර්ගයෙන් ලබා දෙන අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ගැනීමෙනුයි.
මිනිසුන්ව වෙනස් කරවන බලය
‘දෙවිගේ වචනය ජීවමානයි. එමෙන්ම බලවත්.’ (හෙබ්‍රෙව් 4:12) බයිබලය ලියා තිබෙන්නේ බොහෝ කාලයකට ඉහතදී වුණත් මේ කාලයේදී ජීවත් වන මිනිසුන් කෙරෙහි පවා ප්‍රබල බලපෑමක් ඇති කිරීමට එයට හැකියි. මෙයින් පෙනී යන්නේ එය යල්පැන ගොස් තිබෙන පොතක් නොවන බවයි. තමන්ගේ ජීවිතය වෙනස් කරගෙන සැබෑ ක්‍රිස්තියානියෙකු හැටියට වඩාත් යහපත් පුද්ගලයෙක් වීම සඳහා මිනිසෙකු තුළ පෙලඹීමක් ඇති කිරීමට එයට හැකියි. බයිබලයෙන් ලබන අධ්‍යාපනයේ වටිනාකම පහත සඳහන් අද්දැකීම්වලින් පැහැදිලි වෙයි.
කලින් ලිපියේ සඳහන් කළ එමීලියා මෙසේ පවසනවා. “මම තනියම කොච්චර උත්සාහ කළත් මගේ නිවසේ තිබුණු ගැටලු විසඳාගන්න මට බැරි වුණා. ඒත් මම යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය ඉගෙනගන්න පටන්ගත්තාම හොඳ බලාපොරොත්තුවක් අපිට තියෙනවා කියලා මම තේරුම්ගත්තා. මම හිතන විදිහ වෙනස් කරගත්තා. මම ඉගෙනගත්ත දේවල් නිසා වෙනදා වගේ කෝප වෙන්නේ නැතුව ඉවසිලිවන්තව ඉන්න මට හැකි වුණා. කාලයක් ගියාට පස්සේ මගේ ස්වාමිපුරුෂයාත් බයිබලය ඉගෙනගන්න පටන්ගත්තා. බොන එක නතර කරන්න එයාට ලෙහෙසි වුණේ නැහැ. ඒත් කොහොමහරි ඒක නතර කරන්න එයාට පුළුවන් වුණා. අපි බයිබලය ඉගෙනගන්න පටන්ගත්ත නිසා අපේ විවාහ ජීවිතය සාර්ථක කරගන්න අපිට හැකි වුණා. බයිබලයේ තියෙන අනර්ඝ ප්‍රතිපත්ති අපේ දරුවන්ටත් කියා දෙමින් අපි අද ඉන්නේ සන්තෝෂයෙන්.”—ද්විතීය කතාව 6:7.
නරක ජීවිතයක් ගත කළ ඇතැම් අය සැබෑ ක්‍රිස්තියානි ආගම මගින් සපයන අධ්‍යාපනය ලැබීම නිසා ඔවුන්ගේ ජීවිත වෙනස් කරගෙන යහපත් පුද්ගලයන් වී සිටිනවා. මෙය සත්‍යයක් බව මැනුවෙල්ගේa අද්දැකීමෙන් පෙනී යනවා. ඔහු වයස අවුරුදු 13දී ගෙදරින් පැනලා ගියා. මුලින්ම මරිජුවානා පාවිච්චි කළ ඔහු පසුව හෙරොයින් පාවිච්චි කරන්නත් පටන්ගත්තා. ඉන්න තැනක් හෝ මුදල් හෝ දෙන්න කැමති වුණ ස්ත්‍රී පුරුෂ ඕනෑම කෙනෙක් එක්ක ඔහු ලිංගික සම්බන්ධතා පැවැත්තුවා. සමහර අවස්ථාවලදී ඔහු මිනිසුන්ට පහර දී ඔවුන් සතු දේවල් පැහැරගත්තා. ඔහු හැමතිස්සේම වගේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලයි හිටියේ. ඔහු නොයෙක් අපරාධවලට සම්බන්ධ වුණ නිසා නිතරම වගේ ඔහුව සිරගත කළා. එක් අවස්ථාවකදී ඔහු අවුරුදු හතරක් සිරගෙදර සිටියා. එහි ඉන්න කාලේදී ඔහු අවි ජාවාරමකටද සම්බන්ධ වුණා. මැනුවෙල් විවාහ වුණාට පස්සේ ඔහු කරපු නරක දේවල ඵල විපාකවලට මුහුණ දෙන්න සිදු වුණා. ඔහු මෙහෙම කියනවා. “අපිට ජීවත් වෙන්න සිද්ධ වුණේ කුකුළන් ඇති කරපු කොටුවකයි. මට තාම මතකයි මගේ භාර්යාව ගල් ලිපක කෑම උයපු විදිහ. ඒ කාලේදී අපි කොච්චර කරදරවලට මුහුණ දුන්නාද කියනවා නම් මගේ නෑදෑයෝ මගේ භාර්යාවව උනන්දු කළා මාව දාලා යන්න කියලා.”
මැනුවෙල්ගේ ජීවිතය වෙනස් කිරීමට හැකි වුණේ කුමකටද? මේ ගැන ඔහු මෙහෙම කියනවා. “දවසක් මම දන්න කෙනෙක් බයිබලය ගැන කතා කරන්න අපේ ගෙදර ආවා. මම එයත් එක්ක කතා කරන්න කැමති වුණේ මිනිසුන් ගැන සැලකිල්ලක් දක්වන දෙවි කෙනෙක් නැහැයි කියලා එයාට පෙන්නලා දෙන්නයි. ඒ වගේ දෙවි කෙනෙක් නැති බවට මගේ ජීවිතය හොඳම සාක්ෂිය කියලයි මම හිතුවේ. මාත් එක්ක සාකච්ඡා කළ සාක්ෂිකරුවා බොහොම ඉවසිලිවන්තව හා ගෞරවනීය විදිහට කතා කළා. ඒකට මගේ සිත ඇදී ගිය නිසා රාජ්‍ය ශාලාවේ පවත්වන රැස්වීම්වලට යන්න මම කැමති වුණා. මම මොන වගේ කෙනෙක්ද කියලා රැස්වීම්වලට ආපු අය දැනගෙන හිටියත් ඒ අය මාව බොහොම මිත්‍රශීලී විදිහට පිළිගත්තා. එයාලා මට සලකපු විදිහෙන් මමත් එයාලා වගේ කෙනෙක් කියන හැඟීම මා තුළ ඇති වුණා. ඒක මට ලොකු සැනසිල්ලක් වුණා. පසුව මම මත්ද්‍රව්‍ය පාවිච්චිය අත්හැර දමා මගේ හෘදය සාක්ෂියට එකඟව කරන්න පුළුවන් රැකියාවක් සොයාගත්තා. මගේ බයිබල් පාඩම පටන් අරං මාස හතරක් ගියාට පස්සේ දේශනා සේවයේ හවුල් වීමට මම සුදුසුකම් ලැබුවා. ඊට මාස හතරකට පස්සේ යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් හැටියට මම බව්තීස්ම වුණා.”
සැබෑ ක්‍රිස්තියානි ආගම මගින් සපයන අධ්‍යාපනය මැනුවෙල් සහ ඔහුගේ පවුලේ අයට බලපෑවේ කොහොමද? මේ ගැන ඔහුම මෙහෙම කියනවා. “බයිබලයෙන් දෙන අධ්‍යාපනය මම ලැබුවේ නැත්නම්, අද මම ජීවතුන් අතර නැහැ. කලින් වෙන් වෙලා හිටිය මගේ භාර්යාව හා දරුවෝ එක්ක මම අද සන්තෝෂයෙන් එකට ජීවත් වෙන්නේ යේසුස් ඉගැන්වූ දේවල් අපි අදාළ කරගත් නිසයි. තරුණ කාලේ මම අද්දැකපු දේවල් මගේ දරුවෝ දෙන්න අද්දකින්න අවශ්‍ය නැහැ. අද මම මගේ භාර්යාවත් එක්ක සන්තෝෂයෙන් ජීවත් වෙන එක ගැන මම යෙහෝවා දෙවිට හුඟාක් ස්තුතිවන්ත වෙනවා. කලින් මා ඇසුරු කළ සමහර අය මම දැන් ජීවත් වෙන විදිහ ගැන මට ප්‍රශංසා කරලා කියනවා, දැන් මම ගමන් කරන මාර්ගය තමයි හොඳම මාර්ගය කියලා.”
සැබෑ ක්‍රිස්තියානි ආගමට අනුව ජීවත් වන කෙනෙකු සදාචාරය අතින් පමණක් නොවෙයි, ශාරීරිකවත් පවිත්‍රව සිටිය යුතුයි. මේ බව දකුණු අප්‍රිකාවේ ඉතා දිලිඳු අය වාසය කරන ප්‍රදේශයක ජීවත් වන ජෝන් තේරුම්ගත්තා. ඔහු මෙසේ පවසනවා. “සමහර වේලාවට අපේ දුව සතියක් විතර ඇඟ පත සෝදන්නේ නැතුව ඉන්නවා. අපිට ඒක එච්චර ගානක් වුණේ නැහැ.” එයාලාගේ නිවස හරිම අපිළිවෙළකට තිබුණා කියා ජෝන්ගේ භාර්යාව පවසනවා. ඒ වුණත් සැබෑ ක්‍රිස්තියානි ආගම මගින් සපයන අධ්‍යාපනය ලැබූ නිසා ඔවුන්ගේ තත්වය දැන් හොඳ අතට හැරිලා තියෙනවා. කලින් ජෝන් වාහන සොරකම් කරන කල්ලියකට සම්බන්ධ වෙලා හිටියා. දැන් ඔහු ඒකෙන් ඉවත් වෙලා ඔහුගේ පවුලේ අය ගැන වැඩි සැලකිල්ලක් දක්වනවා. ඔහු තවදුරටත් මෙසේ පවසනවා. “ක්‍රිස්තියානීන් හැටියට අපේ ශරීරය වගේම ඇඳුම් පැළඳුම් පවිත්‍රව තියාගන්න ඕනෙ කියලා මම ඉගෙනගත්තා. පළමුවන පේතෘස් 1:16 කියන වචන මගේ සිතට කාවැදුණා. යෙහෝවා දෙවි ශුද්ධව සිටින නිසා අපිත් ශුද්ධව සිටිය යුතුයි කියලා එතැන කියනවා. අපේ ගෙය කුඩා වුණත් ඒක ලස්සනට තියාගන්න අපි දැන් උත්සාහ කරනවා.”
ඔබටත් හොඳම අධ්‍යාපනය ලබන්න පුළුවන්
කලින් සඳහන් කළේ සැබෑ ජීවිත අද්දැකීම් දෙක තුනක් පමණයි. ඒ වගේ අද්දැකීම් තව බොහොමයක් තිබෙනවා. බයිබලයේ සපයන අධ්‍යාපනය ලැබීම නිසා දහස් ගණනක් යහපත් පුද්ගලයන් හැටියට ජීවත් වෙනවා. මේ අය අවංකව හා කඩිසරව වැඩ කරන නිසා රැකියා ස්ථානවල ස්වාමිවරුන් ඔවුන්ව වටිනා සේවකයන් හැටියට සලකනවා. මොවුන් තමන්ගේ අසල්වැසියන්ට හා මිතුරන්ට කාරුණිකව සැලකිල්ල දක්වනවා. නරක ජීවිතවලින් මිදී හොඳ ජීවිත ගත කිරීමට ඔවුන් අධිෂ්ඨාන කරගෙන සිටිනවා. මේ නිසා ඔවුන් තමන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය ගැන පෙරට වඩා හුඟාක් සැලකිලිමත් වෙනවා. මුදල් ඇතුළු ඔවුන් සතු දේවල් නරක දේවලට යොදවන්නේ නැතිව තමන්ගේ මෙන්ම තම පවුලේ අයගේ යහපත සඳහා ඒවා යොදවනවා. (1 කොරින්ති 6:9-11; කොලොස්සි 3:18- 23) යෙහෝවා බයිබලය තුළින් පවසා තිබෙන දේවලට එකඟව සැබෑ ක්‍රිස්තියානීන් ජීවත් වීමෙන් පැහැදිලිව පෙනී යන්නේ සතුටෙන් පිරි යහපත් ජීවිතයකට මඟ සලසන හොඳම අධ්‍යාපනය සපයන්නේ සැබෑ ක්‍රිස්තියානි ආගමෙන් බවයි. බයිබලයේ සඳහන් නීති ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වන තැනැත්තා ගැන එහි මෙසේ සඳහන් වෙනවා. “ඔහු කරන සියල්ල සපල වන්නේය”—ගීතාවලිය 1:3.
සර්වබලධාරී දෙවි වන යෙහෝවා අපිට ඉගැන්වීමට ආශාවෙන් සිටින බව දැනගන්න ලැබීම ඇත්තෙන්ම සතුටට කරුණක්. ඔහුම ඔහු ගැන මෙසේ පවසනවා. “ඔබේ ප්‍රයෝජනය පිණිස ඔබට උගන්වන්නාවූ ඔබ විසින් යා යුතු මාර්ගයේ ඔබ ගෙන යන්නාවූ ඔබේ දෙවි වූ යෙහෝවා මමය.” (යෙසායා 48:17) යෙහෝවා දෙවි ඔහුගේ පුත්‍රයා වන යේසුස් තැබූ ආදර්ශයෙන් හා ඉගැන්වූ දේවල් මගින් ජීවිතය සඳහා හොඳම මඟ අපට පෙන්වා දී තිබෙනවා. යේසුස් මේ පොළොවේ ජීවත් වූ කාලයේදී ඉගැන්වූ දේවල් නිසා හුඟදෙනෙකුට හැකි වුණා වඩාත් යහපත් ජීවිතයක් ගත කරන්න. අදත් ඔහුගේ ඉගැන්වීම්වලට අනුව ජීවත් වෙන අය ගැන කිව හැක්කේ ඒ දෙයමයි. ඔහු ඉගැන්වූ දේවල් ගැන වැඩිපුර දැනගැනීම සඳහා කාලය ගන්න කියා ඔබට ආරාධනා කරන්න කැමතියි. බයිබලය මාර්ගයෙන් ලබා දෙන හොඳම අධ්‍යාපනය ලබාගැනීම සඳහා ඔබට උපකාර කිරීමට ඔබ ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් සතුටින් සිටිනවා.
[පාදසටහන]
a සමහර නම් වෙනස් කර තිබෙනවා.
[6වන පිටුවේ කොටුව⁄පින්තූරය]
යේසුස් තම ආදර්ශයෙන් හා ඉගැන්වීමෙන් ඇති කළ බලපෑම
බදු එකතු කරන්නන්ගේ ප්‍රධානියෙකු වූ සකෙවුස් පොදු ජනයාගේ මුදල් අයුතු ලෙස ලබාගැනීමෙන් ධනවත් වුණා. කෙසේවෙතත් ඔහු යේසුස් ඉගැන්වූ දේවලට එකඟව ජීවත් වෙමින් කලින් කළ වැරදි අත්හැරියා.—ලූක් 19:1-10.
කලින් ටාසස්හි සාවුල් කියා හැඳින්වූ පාවුල් ක්‍රිස්තියානීන්ට පීඩා කිරීම නතර කර දමා ක්‍රිස්තියානියෙකු බවට පත් වුණා.—ක්‍රියා 22:6-21; ෆිලිප්පි 3:4-9.
සැබෑ ක්‍රිස්තියානි ආගමට පැමිණෙන්න කලින් කොරින්තියේ සිටි සමහර ක්‍රිස්තියානීන් ‘වේශ්‍යාකම් කරන්නන්ව, රූප වඳින්නන්ව, පරදාර සේවනයේ යෙදෙන්නන්ව, සමලිංගික සේවනයේ යෙදෙන්නන්ව, සොරුන්ව, ගිජුකමක් ඇති අයව, බේබද්දන්ව, නිග්‍රහ කරන්නන්ව හා අනුන්ගේ දේ අයුතු ලෙස ගන්නන්ව’ සිටියා. එහෙත් සැබෑ ක්‍රිස්තියානි ආගම ඉගෙනගැනීමෙන් පසුව ඔවුන්ව ‘සෝදා පවිත්‍ර කර තිබෙනවා. විශුද්ධ කර තිබෙනවා. ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන් ඔවුන්ව ධර්මිෂ්ඨයයි ප්‍රකාශ කර තිබෙනවා.’—1 කොරින්ති 6:9-11.
[7වන පිටුවේ පින්තූරය]
සාර්ථක ජීවිතයක් ගත කරන ආකාරය ඔබටත් බයිබලයෙන් ඉගෙනගන්න පුළුවන්