ගැළවීම පිළිබඳ බලාපොරොත්තුවක් තිබේද?
විසිවන සියවස, මිනිස් ඉතිහාසයේ ලෙයින් නැහැවුණු, දරුණුතම යුගයන්ගෙන් එකක් ලෙස හඳුන්වා ඇත. පසුගිය දශක කිහිපය තුළ විශේෂයෙන්ම අපරාධ, යුද්ධ, ජනවාර්ගික අරගල, මත්ද්‍රව්‍ය උවදුර, වංකකම සහ ප්රචණ්ඩත්වය වැනි ගැටලුවල ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබිණ. එපමණක්ද නොව අසනීප, මහලු විය හා මරණය හේතුවෙන්ද ජනයා වේදනා විඳ ඇත. මෙලොවෙහි පවතින මෙවන් දුක් ගැහැටවලින් නිදහස් වීමට කැමති නැත්තේ කවුද? අනාගතය ගැන කල්පනා කරද්දී අපට ගැළවීම බලාපොරොත්තු විය හැකිද?
අවුරුදු 2,000කට පමණ ඉහතදී ප්‍රේරිත යොහන් දුටු දර්ශනය ගැන මොහොතකට සලකා බලන්න. ඒ පිළිබඳව ඔහු මෙසේ ලීවේය. ‘මෙන්න, දෙවිගේ මණ්ඩපය මනුෂ්‍යයන් සමඟය. ඔහු ඔවුන් සමඟ වාසය කරන්නේය. ඔවුහු ඔහුගේ සෙනඟ වන්නෝය. දෙවිම ඔවුන් සමඟ සිට ඔවුන්ගේ දෙවි වන්නේය. ඔහු ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණය තවත් නොවන්නේය. වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේයයි සිංහාසනයෙන් කියන මහත් හඬක් මට ඇසුණේය.’ (එළිදරව් 21:3, 4) ප්‍රොපේත යෙසායාද මේ හා සමානම දෙයක් පුරෝකථනය කළේය. ‘ඔහු මරණය සදාකාලයටම ගිල දමන්නේය. ස්වාමි වූ යෙහෝවා සියලු මුහුණුවලින් කඳුළු පිස දමන්නේය. තමන් සෙනඟගේ නින්දාවද මුළු පොළොවෙන් පහ කරන්නේය. මක්නිසාද එය කීවේ යෙහෝවාය.’—යෙසායා 25:8.
දෙවිගේ මෙම පොරොන්දුවල ඉටුවීම ගැන මොහොතකට සිතා බලන්න. පීඩාවලට, ප්‍රචණ්ඩත්වයට හා දුක් වේදනාවලට හේතුපාදක වන සෑම දෙයකින්ම මිනිස්වර්ගයාව නිදහස් කරනු ලබනවා ඇත. එපමණක්ද නොව, අසනීප, මහලු විය හා මරණය පවා අපව තවදුරටත් පීඩාවට පත් කරන්නේ නැත. අපට පරිපූර්ණ තත්වයන් යටතේ පොළොවේ සදාකල් ජීවත් විය හැකි බවට දේවවචනය වන බයිබලයෙහි පොරොන්දු කර තිබේ. (ලූක් 23:43; යොහන් 17:3) ඇත්තෙන්ම, කැමති ඕනෑම කෙනෙකුට සදාකාල ජීවනය ලබාගත හැක. මන්ද ‘සියලු මනුෂ්‍යයන් ගැළවීම හා සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීම දෙවිගේ කැමැත්තයි.’—1 තිමෝති 2:3, 4, NW.
දෙවිගේ පොරොන්දුවේ ඉටුවීම අද්දකින්න නම් අපට ගැළවීම සලසා දීමේදී යේසුස් ක්‍රිස්තුස්ට හිමි කාර්යභාරය කුමක්ද කියා තේරුම්ගෙන ඔහු කෙරෙහි ඇදහිල්ල තැබිය යුතුයි. ‘දෙවි ස්වකීය ඒකජාතක පුත්‍රයා දෙන තරම් ලෝකයාට ප්‍රේම කළේය. එසේ කළේ ඔහු කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය’ කියා යේසුස්ම පැවසුවේය. (යොහන් 3:16) මේ කාරණය සම්බන්ධයෙන් යේසුස් ක්‍රිස්තුස්ට හිමි ප්‍රධාන කාර්යභාරය ගැන සඳහන් කරමින් ප්‍රේරිත පේතෘස් මෙසේ කීවේය. “වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය. මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍යවූ, මනුෂ්‍යයන් අතරේ දෙනලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේය.” (ක්‍රියා 4:12) ප්‍රේරිත පාවුල් සහ ඔහුගේ මිත්‍ර සීලස්ද ගැළවීම කෙරෙහි අව්‍යාජ උනන්දුවක් දැක්වූ කෙනෙකුට මෙසේ පැවසූහ. “ස්වාමිවූ යේසුස් [ක්‍රිස්තුස්] කෙරෙහි අදහාගන්න, එවිට නුඹ ගැළවෙන්නෙහිය, නුඹද නුඹේ ගෙයි වැසියෝද එසේමය.”—ක්‍රියා 16:30, 31.
ඔව්, “ජීවනයේ අධිපතියා” වන්නේ යේසුස් ක්‍රිස්තුස්ය. ගැළවීම ලබාගත හැක්කේ ඔහු තුළින් පමණි. (ක්‍රියා 3:15) එහෙත් අපට ගැළවීම ලබා දීමේදී එක් මනුෂ්‍යයෙකුට මෙතරම් ප්‍රධාන තැනක් හිමි වන්නේ කෙසේද? මේ පිළිබඳව ඔහුගේ කාර්යභාරය කුමක්ද කියා හොඳින් වටහාගැනීමෙන් ගැළවීම පිළිබඳ අපේ බලාපොරොත්තුව ශක්තිමත් කරගැනීමට අපට හැක.
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Page 3: Bombers: USAF photo; starving children: UNITED NATIONS/J. FRAND; burning battleship: U.S. Navy photo