දෙවිගේ වචනයට ඔබ කොතරම් ඇලුම් කරනවාද?
“ඔබගේ ව්‍යවස්ථාවට මම කොතරම් ඇලුම් කරම්ද! දවස පුරාම මම මෙනෙහි කරන්නේ ඒ ගැනමය.”—ගීතාවලිය 119:97, NW.
1. දෙවිගේ වචනයට තමන් ඇලුම් කරන බව දේවභයැති අය පෙන්වන එක් ක්‍රමයක් කුමක්ද?
බයිබලය කියන්නේ කෝටි ගණන් මිනිසුන් සන්තක දෙයක්. එහෙත් බයිබලයක් ළඟ තිබීමත් එයට ඇලුම් කිරීමත් අතර වෙනසක් තිබෙනවා. කෙනෙක් බයිබලය කියවන්නේ ඉඳලා හිටලා නම් ඔහු දෙවිගේ වචනයට ඇලුම් කරනවා කියා කියන එක හරිද? වැරදියි! ඊට වෙනස්ව, කලින් බයිබලය ගණනකටවත් නොගත් සමහරුන් දැන් දිනපතාම එය කියවනවා. ඔවුන් දෙවිගේ වචනයට ඇලුම් කරන්ට ඉගෙනගෙන තිබෙනවා පමණක් නොව ගීතිකාකරුවා මෙන් දෙවිගේ වචනය “දවස පුරාම” මෙනෙහි කිරීමෙහි යෙදී සිටිනවා.—ගීතාවලිය 119:97.
2. දුෂ්කර තත්වයන් යටතේ ඇදහිල්ලේ ස්ථිරව සිටීමට එක් යෙහෝවාගේ සාක්ෂිකරුවෙකුට උපකාර කළේ කුමක්ද?
2 එසේ දෙවිගේ වචනයට ඇලුම් කරන්ට ඉගෙනගත් කෙනෙක් තමයි නේෂෝ ඩෝරි. අනිත් ඇදහිලිවන්තයන් සමඟ ඔහු තමාගේ උපන් රට වන ඇල්බේනියාවේ දශක ගණනාවක් පුරා විඳදරාගැනීමෙන් යුතුව යෙහෝවාට සේවය කළා. මේ අවුරුදුවලින් වැඩි හරියක් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව තහනම් කර තිබුණා. මේ ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන්ට බයිබල් පොත් පත් ලැබුණේ බොහොම අල්ප වශයෙන්. එහෙත් සහෝදර ඩෝරිගේ ඇදහිල්ල ශක්තිමත්ව තිබුණා. කොහොමද ඒ? “අඩුම තරමින් දවසකට පැයක්වත් බයිබලය කියවන එක මගේ ඉලක්කය වුණා. ඉතින් මගේ ඇස් පෙනීම නැති වෙනකම්ම අවුරුදු 60කට වැඩි කාලයක් මම ඒක කළා.” ඒ ඔහුගේ පිළිතුරයි. මෑතක් වන තුරුම, මුළු බයිබලයම ඇල්බේනියානු භාෂාවෙන් තිබුණේ නැහැ. එහෙත් සහෝදර ඩෝරි කුඩා කාලයේදී ග්‍රීක් භාෂාව ඉගෙනගෙන තිබූ නිසා ඒ භාෂාවෙන් බයිබලය කියෙව්වා. බයිබලය දිනපතා කියවීම විවිධ පරීක්ෂාවලින් ජයගන්ට සහෝදර ඩෝරිට උපකාර කළා. එයට හැකියි අපටත් උපකාර කරන්න.
දේවවචනය කෙරෙහි “දැඩි ආශාවක් ඇති කරගන්න”
3. ක්‍රිස්තියානීන් දෙවිගේ වචනය කෙරෙහි කිනම් ආකල්පයක් වර්ධනය කරගත යුතුද?
3 “අලුත උපන් බිළිඳුන් මෙන් වචනය සතු අමිශ්‍ර වූ කිරිවලට දැඩි ආශාවක් ඇති කරගන්න” කියා ප්‍රේරිත පේතෘස් ලිව්වා. (1 පේතෘස් 2:3, NW) බිළිඳෙක් තම මවගේ කිරිවලට මහත් ලොල්බවක් දක්වනවා වගේ තමන්ගේ ආත්මික අවශ්‍යතා ගැන සාවධානීව සිටින ක්‍රිස්තියානීන් දෙවිගේ වචනය කියවීමෙහි ඉමහත් ප්‍රීතියක් අද්දකිනවා. ඔබටත් හැඟෙන්නේ ඒ විදිහටමද? එහෙම නෙවෙයි නම්, අධෛර්යයට පත් වෙන්න එපා. දෙවිගේ වචනය කෙරෙහි දැඩි ආශාවක් වර්ධනය කරගන්න ඔබටත් පුළුවන්.
4. බයිබලය කියවීම දෛනික පුරුද්දක් කරගැනීමට අයත් වන්නේ කුමක්ද?
4 එසේ කරන්ට නම් බයිබලය කියවීම නිතිපතා, හැකි නම් දෛනික පුරුද්දක් කරගැනීම සඳහා මුලින්ම ඔබවම හික්මවාගත යුතුයි. (ක්‍රියා 17:11) නේෂෝ ඩෝරි කළා වගේ සෑම දවසකම බයිබලය කියවීමට පැයක් ගත කිරීමට ඔබට හැකියාවක් නැතුව ඇති. එහෙත් දෙවිගේ වචනය සලකා බැලීමට සෑම දවසකම යම් කාලයක් වෙන් කරන්න බැරිකමක් නැති බව නම් ස්ථිරයි. බයිබලයේ කොටසක් මෙනෙහි කිරීම සඳහා ක්‍රිස්තියානීන් බොහෝදෙනෙක් උදෑසන මිනිත්තු කිහිපයකට කලින් අවදි වෙනවා. දවසක් ආරම්භ කිරීමට ඊට වඩා හොඳ විදිහක් තිබෙනවාද? ඇඳට යෑමට කලින් බයිබලය කියවීමෙන් දවස අවසන් කිරීමට තවත් සමහරුන් කැමතියි. අනිත් අය තමන්ට පහසු වෙනත් වේලාවන්හිදී කියවනවා. වැදගත්ම දෙය වෙන්නේ, බයිබලය නොකඩවාම කියවීමයි. ඊට පසුව, ඔබ කියවූ දෙය මෙනෙහි කිරීමට ටික වේලාවක් ගන්න. දෙවිගේ වචනය කියවා මෙනෙහි කළ සමහරෙකුගේ ආදර්ශ කිහිපයක් අපි දැන් සලකා බලමු.
දෙවිගේ ව්‍යවස්ථාවට ඇලුම් කළ ගීතිකාකරුවෙක්
5, 6. ගීතාවලිය 119වන පරිච්ඡේදයේ ලේඛකයාගේ නම අප නොදන්නවා විය හැකි වුණත්, ඔහු ලියූ දෙය කියවීමෙන් සහ මෙනෙහි කිරීමෙන් ඔහු ගැන අපට දැනගත හැක්කේ කුමක්ද?
5 ගීතාවලිය 119හි ලේඛකයා තුළ දෙවිගේ වචනය කෙරෙහි නිසැකවම ගැඹුරු අගයක් මුල් බැස තිබුණා. ඒ ගීතිකාව ලිව්වේ කවුද? ලේඛකයා කවුද කියා බයිබලයේ සඳහන් කර නැහැ. කෙසේවෙතත්, පද සම්බන්ධය මගින් ඔහු පිළිබඳ කරුණු කිහිපයක් ඉගෙනගත හැකි අතර, ඔහු ගැටලුවලින් තොර ජීවිතයක් ගත කළේ නැති බව අපට දැනගන්න තිබෙනවා. ඔහුගේ මිතුරන්ගෙන් සමහරෙක් යෙහෝවාගේ නමස්කාරකයන්ව සිටින බව කියා සිටියත්, බයිබල් ප්‍රතිපත්ති කෙරෙහි මොහු තුළ තිබූ ඇල්ම ඔවුන්ට තිබුණේ නැහැ. කොහොමවුණත්, හරි දේ කිරීමෙන් තමන්ව වළක්වාගන්ට ගීතිකාකරුවා ඔවුන්ගේ ආකල්පයට ඉඩහැරියේ නැහැ. (ගීතාවලිය 119:23) ඔබ ජීවත් වන්නේ නැත්නම් වැඩ කරන්නේ බයිබල් ප්‍රමිතිවලට ගෞරව නොකරන කෙනෙක් සමඟ නම්, ගීතිකාකරුවාත් ඔබත් අතර සමානකම් දකින්න ඔබට හැකි වෙයි.
6 ගීතිකාකරුවා දේවභක්තික මිනිසෙක් වුණත් ආත්ම ධර්මිෂ්ඨයෙක් නම් නෙවෙයි. ඔහු තම අසම්පූර්ණකම් අවංකවම පිළිගත්තා. (ගීතාවලිය 119:5, 6, 67) කෙසේවෙතත්, ඔහුව පාලනය කිරීමට පාපයට ඉඩ දුන්නේ නැහැ. “තරුණයෙක් තමාගේ මාර්ගය පවිත්‍රකරගන්නේ කුමකින්ද?” කියා අසා ඔහු පිළිතුරු දෙන්නේ “ඔබගේ වචනය ප්‍රකාර පැවැත්මෙ[න්]” කියායි. (ගීතාවලිය 119:9) දෙවිගේ වචනය යහපත් දේ සඳහා කොතරම් ප්‍රබල බලයක්ද යන්න කාවද්දමින් ගීතිකාකරුවා ඒත් එක්කම පවසන්නේ “ඔබට විරුද්ධව පව් නොකරන පිණිස ඔබගේ වචනය මාගේ සිතේ නිධාන කරගතිමි” කියායි. (ගීතාවලිය 119:11) දෙවිට විරුද්ධව පව් කිරීමෙන් අපව ඉවත් කරන ඒ බලය ඇත්තෙන්ම බලවත්!
7. දිනපතා බයිබලය කියවීමේ අවශ්‍යතාව ගැන විශේෂයෙන්ම යෞවනයන් සාවධානී විය යුත්තේ මන්ද?
7 ක්‍රිස්තියානි තරුණයන් ගීතිකාකරුගේ වචන සලකා බලන එක හොඳයි. යෞවන ක්‍රිස්තියානීන් අද සිටින්නේ ආක්‍රමණය යටතේයි. යෙහෝවාගේ නමස්කාරකයන් අතරේ සිටින තරුණ පරම්පරාව දූෂිත කිරීමට සාතන් බොහෝ ආශාවෙන් සිටිනවා. මාංශික ආශාවන්ට යට වී දෙවිගේ ව්‍යවස්ථාව කඩ කිරීම සඳහා යෞවන ක්‍රිස්තියානීන්ව පෙලඹවීමයි සාතන්ගේ ඉලක්කය. චිත්‍රපටි සහ රූපවාහිනි වැඩසටහන් බොහෝවිට යක්ෂයාගේ සිතුවිලි පිළිබිඹු කරනවා. ඒ වැඩසටහන්වල රඟපාන තරු ආකර්ෂණීයයි, සිත් ඇදගන්නාසුලුයි. ඔවුන් අතර සිදු වන දුරාචාර සම්බන්ධකම් සාමාන්‍යයි කියා පෙන්වනවා. ඉදිරිපත් කරන පණිවිඩය? ‘අවිවාහකයන් එකිනෙකාට ඇත්තටම ආදරේ නම් ලිංගික සම්බන්ධකම් පැවැත්වීමේ වරදක් නැහැ’ යන්නයි. වසරක් වසරක් පාසා බොහෝ ක්‍රිස්තියානි යෞවනයන් එවැනි සිතුවිලිවල මලපතට ගොදුරු වීම කනගාටුදායක කරුණක්. සමහරුන් ඔවුන්ගේ ඇදහිල්ලේ නැව මුහුදු බත් කරගෙන තිබෙනවා. ඉතින්, පීඩනය ඔබ වටේ! එහෙත් ඒ පීඩනය යෞවන ඔබට පොරබැදීමට නොහැකි තරම්ම බලවත්ද? කොහෙත්ම නැහැ! අහිතකර ආශාවන්ගෙන් ජයගැනීම සඳහා මාර්ගයක් යෙහෝවා යෞවන ක්‍රිස්තියානීන්ට සපයා තිබෙනවා. ‘ඔවුන්ගේ හෘද දෙවිගේ වචනයට එකඟව ආරක්ෂා කරගෙන, දෙවිගේ වචනය ඔවුන්ගේ හෘදයේ නිධාන කිරීම’ මගින් යක්ෂයා එල්ල කළ හැකි ඕනෑම යුධ අවියකට එරෙහිව සිටින්න ඔවුන්ට පුළුවන්. නිතිපතා පෞද්ගලිකව බයිබලය කියවීමටත්, එය මෙනෙහි කිරීමටත් ඔබ කොපමණ කාලයක් ගත කරනවාද?
8. මෝසෙස්ගේ ව්‍යවස්ථාව කෙරෙහි අගය කිරීම වඩවාගැනීමට ඡේදයේ දක්වා ඇති උදාහරණ ඔබට උපකාර කරන්නේ කෙසේද?
8 ගීතාවලිය 119හි ලේඛකයා ආවේගයෙන් කියන්නේ “ඔබගේ ව්‍යවස්ථාවට මම කොතරම් ඇලුම් කරම්ද!” කියායි. (ගීතාවලිය 119:97) ඔහු යොමු දැක්වූයේ කිනම් ව්‍යවස්ථාවටද? මෝසෙස්ගේ ව්‍යවස්ථා සංග්‍රහය ඇතුළු යෙහෝවා එළිදරව් කර තිබූ වචනයටයි. බැලූ බැල්මට මේ ව්‍යවස්ථා සංග්‍රහය යල් පැනගිය එකක් ලෙස පසෙකලා ඊට ඇලුම් කරන්නේ කෙසේද කියාත් සිතමින් සමහරුන් එය නොසලකාහරින්ට ඉඩ තිබෙනවා. කෙසේවෙතත්, ගීතිකාකරු කළා වගේ අපත් මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ විවිධ අංග මෙනෙහි කරද්දී, ඒ ව්‍යවස්ථාව පිටුපස තිබෙන ප්‍රඥාව තේරුම්ගන්න පුළුවන්. බොහෝ අනාවැකිමය අංග ලක්ෂණවලට අමතරව, පිරිසිදුකමට සහ යහපත් සෞඛ්‍යයට අනුබල දුන් සනීපාරක්ෂාව සහ ආහාර පිළිබඳ නියමයන් ව්‍යවස්ථාවේ ගැබ්ව තිබෙනවා. (ලෙවී කථාව 7:23, 24, 26; 11:2-8) ව්‍යවස්ථාව මගින් ව්‍යාපාර කටයුතුවලදී අවංක වීමට දිරිගැන්වූ අතර, අඟ හිඟකම් ඇති සෙසු නමස්කාරකයන්ට අනුකම්පා කරන්ට ඉශ්රායෙල්වරුන්ගෙන් උදක්ම ඉල්ලා සිටියා. (නික්මයාම 22:26, 27; 23:6; ලෙවී කථාව 19:35, 36; ද්විතීය කථාව 24:17-21) විනිශ්චයමය තීරණ ගනිද්දී තරාතිරම් නොබැලීමට නියමිත වුණා. (ද්විතීය කථාව 16:19; 19:15) ගීතාවලිය 119හි ලේඛකයාගේ ජීවිතයේ අද්දැකීම් වැඩි වෙන්න වැඩි වෙන්න දෙවිගේ ව්‍යවස්ථාව අදාළ කරගත් අයට ලැබුණු ආශීර්වාද ඔහු නිසැකවම දකින්න ඇති. මෙසේ ව්‍යවස්ථාව කෙරෙහි ඔහුගේ ඇල්ම වඩාත් ශක්තිමත්ව වැඩුණා. ඊට සමානව අදදිනත් ක්‍රිස්තියානීන් බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගනිද්දී සාර්ථකත්වය අද්දකින අතර, දෙවිගේ වචනය කෙරෙහි ඔවුන්ට ඇති ඇලුම්කම සහ අගය කිරීම දෙගුණ තෙගුණ වෙනවා.
වෙනස් කෙනෙකුව සිටීමට භය නොවූ කුමාරයෙක්
9. දෙවිගේ වචනය කෙරෙහි හෙසකියා රජු වර්ධනය කරගත්තේ මොන වගේ ආකල්පයක්ද?
9 හෙසකියා තරුණ කුමරෙකුව සිටිද්දී ඔහු සම්බන්ධයෙන් අපට කියා තිබෙන තොරතුරු ගීතාවලිය 119යේ අඩංගු තොරතුරු හා එකඟ වෙනවා. ගීතාවලිය පොතේ ලේඛකයා හෙසකියායයි සමහර බයිබල් විශාරදයන් පවසනවා. මෙය අවිනිශ්චිත වුණත්, දෙවිගේ වචනය කෙරෙහි හෙසකියාට ඉමහත් ගෞරවයක් තිබූ බව අප දන්නවා. ඔහුගේ ජීවිතයෙන් ඔහු ගීතාවලිය 119:97හි ඇති වචනවලට හෘදයාංගමව එකඟ වූ බව පෙන්නුවා. හෙසකියා ගැන බයිබලය කියන්නේ, “ඔහු යෙහෝවාට ඇලී සිටියේය. යෙහෝවා පසුපස යෑම අත් නොහැර, ඔහු මෝසෙස්ට අණ කළ ආඥා රක්ෂා කළේය” කියායි.—2 රාජාවලිය 18:6. NW.
10. දේවභක්තික දෙමාපියන් සිටි පවුල් කවයක ඇති දැඩි නොවූ ක්‍රිස්තියානීන්ට හෙසකියාගේ ආදර්ශය තුළ ඇති දිරිගැන්වීම කුමක්ද?
10 තිබෙන වාර්තාවලට අනුව හෙසකියා හැදී වැඩුණේ දේවභක්තික පවුල් කවයක් තුළ නොවෙයි. ඔහුගේ පියා වූ ආහාස් රජ නොඇදහිලිකාර රූප නමස්කාරකයෙක්. අඩුම තරමින් ඔහු තමන්ගේ එක පුත්රයෙකුවවත්, එනම් හෙසකියාගේම සහෝදරයෙකුව බොරු දෙවියෙකුට පූජාවක් හැටියට පුච්චා දැමුවේ අමු අමුවේමයි! (2 රාජාවලිය 16:3) දෙවිගේ වචනය හොඳ හැටි දැනහඳුනා ගැනීම හේතුවෙන් මේ නරක ආදර්ශය මධ්‍යයේ පවා මිථ්‍යාදෘෂ්ටික බලපෑම්වලින් තම ‘මාර්ගය පවිත්‍ර කරගන්ට’ හෙසකියාට හැකි වුණා.—2 ලේකම් 29:2.
11. හෙසකියා බලා සිටියදීම, ඔහුගේ නොඇදහිලිකාර පියා කටයුතු කළේ කෙසේද?
11 හෙසකියා වයසින් මුහුකුරා යද්දී, තම රූප නමස්කාරක පියා රට පාලනය කළ ආකාරය ඔහුගේ ඇස් දෙකටම දැක්කා. සතුරන් යූදා දේශය වටලා තිබූ අතර, යෙරුසලම වැටලීමට සිරියේ රජ වූ රෙශීන් ඉශ්රායෙල් රජ වූ පෙකා සමඟ එකතු වී සිටියා. (2 රාජාවලිය 16:5, 6) ඒදොම්වරුන් සහ පිලිස්තිවරුන් සාර්ථක ලෙස යූදාව ආක්‍රමණය කළා. සමහර යූදා නගර පවා ඔවුන් අල්ලාගත්තා. (2 ලේකම් 28:16-19) මේ අර්බුදකාරි තත්වයන් සමඟ ආහාස් කටයුතු කළේ කෙසේද? සිරියාවට එරෙහිව සිටින්න උපකාරය ඉල්ලා යෙහෝවාගෙන් ආයාචනා කරනවා වෙනුවට, ආහාස් අෂූරියේ රජු වෙත හැරුණා. දේවමාළිගා භාණ්ඩාගාරයේ තිබූ ඒවා ඇතුළුව, රන් සහ රිදී අල්ලස් හැටියට ඔහුට දුන්නා. එහෙත් යූදා දේශයට දිගු කාලීන සාමයක් ගෙන ඒමට මෙය දායක වුණේ නැහැ.—2 රාජාවලිය 16:6, 8.
12. තම පියා කළ වැරදි නැවත කිරීමෙන් වැළකී සිටීමට හෙසකියාට හැකි වූයේ කුමක් කිරීමෙන්ද?
12 අන්තිමේදී, ආහාස් මැරෙද්දී වයස අවුරුදු 25ක්ව සිටි හෙසකියා රජකම ලැබුවා. (2 ලේකම් 29:1) ඔහු සාපේක්ෂ ලෙස තරුණ වයසේ සිටියත්, සාර්ථක රජෙක් වීමෙන් එය ඔහුව වැළැක්වූයේ නැහැ. තම නොඇදහිලිකාර පියාගේ හැසිරීම අනුකරණය කරනවා වෙනුවට, ඔහු යෙහෝවාගේ ව්‍යවස්ථාවට ඇලී සිටියා. රජවරුන් සඳහා වූ විශේෂ ආඥාවක් මීට ඇතුළත් වුණා: “ඔහු තමාගේ රාජ්‍යයෙහි සිංහාසනය පිට හිඳින කල, ලෙවීවරුන් වන පූජකයන් ඉදිරියෙහි තිබෙන පොතේ හැටියට ඔහු මේ ව්‍යවස්ථාවෙන් පිටපතක් ලියා, තමා ළඟ තබාගත යුතුය. . . . මේ ව්‍යවස්ථාවේ සියලු වචනද මේ නියෝගද පවත්වා රක්ෂාකරන හැටියට, තමාගේ දෙවිවූ [යෙහෝවාට] භයවෙන්ට ඉගෙන ගන්න පිණිස . . . තමාගේ ජීවිතයේ සියලු දවස්වලදී ඒ පිටපත කියවන්නේය.” (ද්විතීය කථාව 17:18-20) දෙවිගේ වචනය දිනපතා කියවීමෙන්, යෙහෝවාට භයවීමට හෙසකියා ඉගෙනගත් අතර, එය තම අභක්තික පියාගේ වැරදි නැවත කිරීමෙන් වැළකී සිටීමට උපකාර වුණා.
13. ආත්මික ආකාරයකින් තමා කරන සියල්ල සඵල වෙනවායයි ක්රිස්තියානිවරයෙකුට නිසැක විය හැක්කේ කෙසේද?
13 දෙවිගේ වචනයට නිරන්තර අවධානයක් යොමු කරන්න කියා දිරිගැන්වූයේ ඉශ්රායෙල්හි සිටි රජවරුන්ට පමණක් නොව, නමුත් දේවභයැති ඉශ්රායෙල්වරුන් සියලුදෙනාටත් එසේ කරන්ට සිදු වුණා. ඇත්තෙන්ම ප්‍රීතිමත් මනුෂ්‍යයෙක් කියන්නේ “[යෙහෝවාගේ] ව්‍යවස්ථාවෙහි ප්‍රීතිවන්නාවූ, [ඔහුගේ] ව්‍යවස්ථාව රෑ දාවල් මෙනෙහිකරන්නාවූ” කෙනෙක් බව මුල් ගීතිකාව විස්තර කරනවා. (ගීතාවලිය 1:1, 2) එවැනි කෙනෙක් ගැන ගීතිකාකරු මෙසේ කියනවා: “ඔහු කරන සියල්ල සඵලවෙයි.” (ගීතාවලිය 1:3) අනිත් අතට යෙහෝවා දෙවි කෙරෙහි ඇදහිල්ල ඌනව සිටින කෙනෙක් ගැන බයිබලය කියන්නේ, “ඔහු දෙසිත් ඇති [තීරණයක් ගැනීමට නොහැකි, NW] මනුෂ්‍යයෙක්ව, තමාගේ සියලු මාර්ගවලදී අස්ථිරව [සිටින]” බවයි. (යාකොබ් 1:8) අප සියලුදෙනාටම ඕනෑ කරන්නේ සන්තෝෂ වීමට සහ සාර්ථක වීමටයි. අපේ සන්තෝෂයට රුකුල් දෙන්ට දිනපතා, අර්ථවත් බයිබල් කියවීමට හැකියි.
දෙවිගේ වචනය යේසුස්ට උපකාර කළා
14. යේසුස් දෙවිගේ වචනයට ඇලුම් කළේ කෙසේද?
14 වතාවක් යේසුස් යෙරුසලමේ දේවමාළිගාවේ පණ්ඩිතයන් මැද වාඩි වී කතා කරමින් සිටිනවා ඔහුගේ දෙමාපියන් දුටුවා. ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රවීණයන්ව සිටි මොවුන්, “ඔහුගේ තේරුම්ගැනීම සහ උත්තර ගැන නිරතුරුවම පුදුමයට පත් වුණා.” (ලූක් 2:46, 47, NW) ඒ වෙද්දී යේසුස්ට වයස අවුරුදු 12යි. ඔව්, තරුණ වයසේදී පවා දෙවිගේ වචනය කෙරෙහි ඔහුට ඇල්මක් තිබුණු බව පැහැදිලියි. පසුව, යක්ෂයාට තරවටු කිරීම සඳහා යේසුස් ශුද්ධ ලියවිලි පාවිච්චි කළා. ඔහු මෙසේ කිව්වා: “මනුෂ්‍යයා [දෙවිගේ] මුඛයෙන් නික්මෙන සියලු වචනවලින් ජීවත්වෙනවා මිස, රොටි පමණකින් ජීවත් නොවන්නේය.” (මතෙව් 4:3-10) ඒත් සමඟම, යේසුස් ඔහුගේ උපන් ගම වන නාසරෙත්හි වැසියන්ට ශුද්ධ ලියවිලි පාවිච්චි කරමින් දේශනා කළා.—ලූක් 4:16-21.
15. අනිත් අයට දේශනා කරද්දී යේසුස් ආදර්ශයක් තැබුවේ කෙසේද?
15 යේසුස් තම ඉගැන්වීම්වලට පිටුවහලක් ලෙස දෙවිගේ වචනයෙන් නිතර නිතර උපුටාගත්තා. ඔහුට ඇහුම්කන් දුන් අය ‘ඔහුගේ ඉගැන්වීම් ගැන විස්මයට පත් වුණා.’ (මතෙව් 7:28) ඒ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. මොකද යේසුස්ගේ ඉගැන්වීම්වල උල්පත යෙහෝවා දෙවිමයි! යේසුස්ම කිව්වේ, “මාගේ ඉගැන්වීම මාගේ නොව මා එවූ [තැනැත්තාගේය]. . . . තමාම උපදවන දේ කියන්නා තමාගේම ගෞරවය සොයයි. නුමුත් තමා එවූ [තැනැත්තාගේ] ගෞරවය සොයන්නා සැබෑවූ කෙනෙක්ය, ඔහු තුළ අධර්මිෂ්ඨකමක් නැත” කියායි.—යොහන් 7:16, 18.
16. යේසුස් දෙවිගේ වචනයට ඇලුම් කළේ කෙතරම් දුරකටද?
16 ගීතාවලිය 119හි ලේඛකයා මෙන් නොව, යේසුස් තුළ ‘අධර්මිෂ්ඨකමක් තිබුණේ නැහැ.’ ඔහු පව් රහිත, “යටහත් පහත් ලෙස වද කණුව මත මරණය දක්වා කීකරු” වූ දේවපුත්රයායි. (පිලිප්පි 2:8, NW; හෙබ්‍රෙව් 7:26) යේසුස් එතරම් පරිපූර්ණ වුණත්, දෙවිගේ ව්‍යවස්ථාව අධ්‍යයනය කර ඊට කීකරු වුණා. තම අඛණ්ඩ ස්ථාවරත්වය පවත්වාගැනීමට මූලික වූ කරුණ වූයේ මෙයයි. පේතෘස් තම ස්වාමියාව අත් අඩංගුවට ගැනීමෙන් වැළැක්වීමට උත්සාහ කිරීම සඳහා කඩුවක් පාවිච්චි කළ විට, “දේවදූතයන් ලෙගියොන් දොළොසකට වඩා මා ළඟට මේ දැන් එවන ලෙස මාගේ [පියාගෙන්] ඉල්ලන්ට මට බැරියයි නුඹ සිතනවාද? එසේ ඉල්ලුවොත්, මේ ආකාර වෙන්ට ඕනෑයයි කියන ලියවිලි සම්පූර්ණවෙන්නේ [ඉටු වන්නේ, NW] කොහොමදැයි” අසමින් යේසුස් ප්රේරිතයාට තරවටු කළා. (මතෙව් 26:53, 54) කෲර, නින්දිත මරණයකින් ගැළවෙනවා වෙනුවට, ශුද්ධ ලියවිලිවල ඉටුවීම යේසුස්ට ඉතා වටිනා දෙයක් වුණා. දෙවිගේ වචනය කෙරෙහි ඔහුට තිබුණේ මොනතරම් විශිෂ්ට ඇල්මක්ද!
ක්‍රිස්තුස්ව අනුකරණය කරන වෙනත් අය
17. දෙවිගේ වචනය ප්‍රේරිත පාවුල්ට කොතරම් වැදගත් වුණාද?
17 ප්‍රේරිත පාවුල් සෙසු ක්‍රිස්තියානීන්ට මෙහෙම ලිව්වා: “මා [ක්‍රිස්තුස්ව] ආදර්ශයට ගන්නාක්මෙන් නුඹලා මා ආදර්ශයට ගන්න.” (1 කොරින්ති 11:1) පාවුල් තම ස්වාමියා මෙන් ශුද්ධ ලියවිල්ල කෙරෙහි ඇල්මක් වැඩිවර්ධනය කරගත්තා. “මාගේ හද පත්ලෙන් මම [දෙවිගේ] ආඥාවට ප්‍රිය කරමි” කියා ඔහු ප්‍රකාශ කළා. (රෝම 7:22, නව අනුවාදය) පාවුල් නිතර නිතර දෙවිගේ වචනයෙන් උපුටා දැක්වුවා. (ක්‍රියා 13:32-41, 17:2, 3; 28:23) පාවුල් තම ප්‍රේමනීය සහකාර දේවසේවකයා වූ තිමෝතිට අවසාන උපදෙස් කිහිපය ලියද්දී, ‘දෙවිගේ මනුෂ්‍යයෙක්’ වන එක් එක් පුද්ගලයාගේ එදිනෙදා ජීවිතය තුළ දෙවිගේ වචනයට හිමි තැන ගැන කාවැද්දුවා.—2 තිමෝති 3:15-16.
18. අපේ කාලයේදී දෙවිගේ වචනයට ගෞරවය පෙන්වූ කෙනෙකු පිළිබඳ උදාහරණයක් දෙන්න.
18 මීට සමානව, අපේ කාලයේ සිටින යෙහෝවාගේ ඇදහිලිවන්ත සේවකයන් බොහෝදෙනෙක් දෙවිගේ වචනය කෙරෙහි යේසුස්ට තිබූ ප්‍රේමය අනුකරණය කර තිබෙනවා. මේ සියවසේ මුල් කාලයේදී, තරුණයෙකුට ඔහුගේ මිතුරියකගෙන් බයිබලයක් ලැබුණා. මේ වටිනා තෑග්ගෙන් ඔහුට ඇති වූ බලපෑම ගැන ඔහු මෙහෙම විස්තර කරනවා: “සෑම දවසකම බයිබලයෙන් කොටසක් කියවීම මගේ ජීවිතයේ අත්‍යවශ්‍යම දෙයක් කරගන්න මම අධිෂ්ඨාන කරගත්තා.” ඒ තරුණයා සහෝදර ෆෙඩ්රික් ෆ්රාන්ස් මිස වෙන කවුරුත් නොවෙයි. බයිබලයට ඔහු පෙන්වූ ඇල්ම යෙහෝවාගේ සේවය තුළ දිගු කාලීන සාර්ථක ජීවිතයක් භුක්ති විඳීම සඳහා මඟ එළිපෙහෙළි කර දුන්නා. බයිබලයේ සමහර පරිච්ඡේද සම්පූර්ණයෙන්ම කටපාඩමින් කීමට තිබූ හැකියාව සම්බන්ධයෙන් ඔහුව සිහිපත් කරන්නේ ඉතා ආදරයෙන්.
19. සමහරුන් දිව්‍යාණ්ඩු සේවා පාසැල සඳහා ඇති සතියේ බයිබල් කියවීම සැලසුම් කරගන්නේ කෙසේද?
19 යෙහෝවාගේ සාක්ෂිකරුවන් දිනපතා බයිබලය කියවීම මහත් සේ අවධාරණය කරනවා. ඔවුන්ගේ එක් ක්‍රිස්තියානි රැස්වීමක් වන දිව්‍යාණ්ඩු සේවා පාසැලට සූදානමක් හැටියට බයිබලයේ පරිච්ඡේද කිහිපයක් සෑම සතියකම ඔවුන් කියවනවා. එම බයිබල් කියවීමේ විශේෂාංග රැස්වීම් වේලාවේදී සාකච්ඡා කරනවා. එම සතියේ බයිබල් කියවීම කොටස් හතකට බෙදාගෙන දිනපතා ඒ එක් කොටසක් කියවීම වඩා පහසු බව සමහර සාක්ෂිකරුවන් සොයාගෙන තිබෙනවා. ඔවුන් එය කියවන්නේ එහි අඩංගු දේ මෙනෙහි කරමිනුයි. හැකි අවස්ථාවලදී බයිබලය මත පදනම් ප්රකාශනවල උදව්වෙන් ඔවුන් අමතර පර්යේෂණ පවා කරනවා.
20. නිතිපතා බයිබලය කියවීමට කාලය ලබාගැනීම සඳහා අවශ්‍ය කරන්නේ කුමක්ද?
20 නිතිපතාම බයිබලය කියවීම සඳහා අනිත් වැඩකටයුතුවලින් ඔබට ‘කාලය මිල දී ගැනීමට’ සිදු විය හැකියි. (එපීස 5:16, NW) ඒ වුණත්, ඒ සඳහා අප කරන කැපවීම් ලබන්න යන ප්‍රයෝජන සමඟ සසඳා බලද්දී කිරා මැන බැලීමට තරම් විශාල වැඩියි. දිනපතාම බයිබලය කියවීමේ පුරුද්ද ඔබ වර්ධනය කරගැනීමත් සමඟ දෙවිගේ වචනය සඳහා ඔබට ඇති ඇල්ම වැඩෙන්ට යනවා. වැඩි කල් නොගොස්, ගීතිකාකරු කී දේ එසේම කියන්න ඔබත් පෙලඹේවි: “ඔබගේ ව්‍යවස්ථාවට මම කොතරම් ඇලුම් කරම්ද! දවස පුරාම මම මෙනෙහි කරන්නේ ඒ ගැනමය.” (ගීතාවලිය 119:97) එවැනි ආකල්පයක් ඊළඟ ලිපියේ පෙන්වන විදිහට දැනුත් අනාගතයටත් මහත් ප්‍රයෝජන නෙළා දෙන්න යනවා.
ඔබට මතකද?
◻ ගීතාවලිය 119හි ලේඛකයා දෙවිගේ වචනය කෙරෙහි මුල් බැසගත් ඇල්මක් විදහාපෑවේ කෙසේද?
◻ යේසුස් සහ පාවුල්ගේ උදාහරණවලින් අපට ගත හැකි පාඩම් මොනවාද?
◻ අප පෞද්ගලිකව දෙවිගේ වචනය කෙරෙහි ඇල්මක් වඩවාගන්නේ කෙසේද?
[10වන පිටුවේ පින්තූර]
දෙවිගේ වචනය නිතිපතා කියවීමට ඇදහිලිවන්ත රජවරුන්ට නියම වුණා. ඔබත් එසේ කරනවාද?
[12වන පිටුවේ පින්තූරය]
දරුවෙකුව සිටියදී පවා යේසුස් දෙවිගේ වචනයට ඇලුම් කළා