පවුලක් වශයෙන් නිතිපතා දෙවිගේ වචනය අධ්‍යයනය කරන්න
“මනුෂ්‍යයා [යෙහෝවාගේ] මුඛයෙන් නික්මෙන සියලු වචනවලින් ජීවත්වෙනවා මිස, රොටි පමණකින් ජීවත් නොවන්නේය.”—මතෙව් 4:4.
1. තම දරුවන්ට යෙහෝවාගේ මාර්ගයන් ඉගැන්වීමට ගෘහ මූලිකයන් සතු වගකීම ගැන බයිබලය පවසන්නේ කුමක්ද?
ගෘහ මූලිකයන් තම දරුවන්ට ඉගැන්වීම සඳහා වගකීමෙන් බැඳී සිටිනවා. යෙහෝවා දෙවි එම කාරණය ඔවුන්ට නිතරම සිහිගැන්වූවා. එලෙස උපදෙස් ලැබීම වත්මන් ජීවිතයට මුහුණ දෙන්න දරුවන්ට උපකාරවත් වන අතර, මතු ජීවිතයට සූදානම් වන්නත් ඔවුන්ට ප්‍රයෝජනවත් වෙනවා. දෙවිව නියෝජනය කළ දේවදූතයෙක්, තම පවුලට ‘යෙහෝවාගේ මාර්ගය රක්ෂා’ කරන පිණිස ඉගැන්වීමට තිබෙන වගකීම ආබ්‍රහම්ට පැහැදිලි කළා. (උත්පත්ති 18:19) දෙවි ඉශ්‍රායෙල්ව මිසරයෙන් ගළවාගත් ආකාරයත්, හොරෙබ්හි සීනයි කන්දේදී තම ව්‍යවස්ථාව ඔවුන්ට දුන් ආකාරයත්, තම දරුවන්ට පැහැදිලි කර දෙන්න කියා ඉශ්රායෙල් දෙමාපියන්ටද කියනු ලැබුවා. (නික්මයාම 13:8, 9; ද්විතීය කථාව 4:9, 10; 11:18-21) ක්‍රිස්තියානි ගෘහ මූලිකයන්ට තම දරුවන් “[යෙහෝවාගේ] හික්මවීමෙන්ද අවවාදයෙන්ද [මානසික ශික්ෂණයෙන්ද, NW]” ඇති දැඩි කිරීමට අවවාද ලැබී තිබෙනවා. (එපීස 6:4) යෙහෝවාට සේවය කරන්නේ එක දෙමාපියෙකු වුණත්, දරුවන්ට යෙහෝවාගේ මාර්ගයන් ඉගැන්වීම ඔහුගේ හෝ ඇගේ ප්රයත්නය විය යුතුයි.—2 තිමෝති 1:5; 3:14, 15.
2. පවුලක දරුවන් නැත්නම්, පවුලේ පාඩමක් පැවැත්විය යුතුද? පැහැදිලි කරන්න.
2 දෙවිගේ වචනය පවුලක් වශයෙන් අධ්‍යයනය කිරීම දරුවන් සිටින පවුල්වලට පමණක් සීමා වී ඇති බව මින් අදහස් කරන්නේ නැහැ. පවුලක දරුවන් නොසිටියත්, පුරුෂයා සහ භාර්යාව පවුලේ පාඩමක් කරනවා නම්, මෙයින් ආත්මික දේවල් සඳහා කදිම අගයක් පිළිබිඹු වෙනවා.—එපීස 5:25, 27ආ.
3. පවුලේ පාඩම නිතිපතා පැවැත්වීම වැදගත් වන්නේ මන්ද?
3 උපරිම ප්‍රයෝජන ලබාගැනීමට නිතිපතා උපදෙස් දිය යුතුයි. මෙය “මනුෂ්‍යයා ජීවත්වෙන්නේ රොටිවලින් පමණක් නොවන බවත් [යෙහෝවාගේ] මුඛයෙන් නික්මෙන සියල්ලෙන් මනුෂ්‍යයා ජීවත්වන බවත්” කියමින් යෙහෝවා පාළුකරයේදී ඉශ්රායෙල්ට ඉගැන්වූ පාඩමට එකඟව දිවයයි. (ද්විතීය කථාව 8:3) පවුලේ පසුබිමට අනුව, ඇතැම් පවුල් සතිපතා පාඩමක් සැලසුම් කළ හැකියි. වෙනත් පවුල් වඩාත් කෙටි වේලාවලට දිනපතා පාඩම් පැවැත්විය හැකියි. ඔබ කුමක් කළත්, නිකම්ම ඉඩ කඩ තිබෙන විට එය කරන්නම් කියා නොසිතා නිශ්චිත සැලැස්මක් අනුව ඒ සඳහා කාලය වෙන් කරන්න. ඒ සඳහා ‘කාලය මිල දී ගන්න.’ එලෙස කාලය වැය කිරීමට යම් පරිත්‍යාගයන් කිරීමට සිදු වුණත්, එය අපතේ යන්නේ නැහැ. ඔබේ පවුලේ සාමාජිකයන්ගේ ජීවිත ඊට සම්බන්ධයි.—එපීස 5:15-17, NW; පිලිප්පි 3:16.
මනසෙහි තබාගත යුතු ඉලක්ක
4, 5. (අ) තම දරුවන්ට ඉගැන්වීමේදී යෙහෝවා මෝසෙස් තුළින් දෙමාපියන් ඉදිරියෙහි වැදගත් ඉලක්කයක් හැටියට තැබුවේ කුමක්ද? (ආ) අදදින මීට ඇතුළත් වන්නේ කුමක්ද?
4 පවුලේ පාඩම පවත්වන විට, හොඳින් පැහැදිලි කරගත් ඉලක්කයන් මනසෙහි තබාගත්තොත්, ඔබට උපරිම ප්‍රයෝජන නෙළාගත හැකියි. ඉලක්ක කරගත හැකි ඇතැම් දේවල් සලකා බලන්න.
5 හැම පාඩම් වේලාවකදීම, යෙහෝවා දෙවි සඳහා ප්‍රේමය ගොඩනංවන්න බලන්න. පොරොන්දු දේශයට ඇතුල් වන්න කලින්, ඉශ්රායෙල් ජාතිය මෝවබ් පාළුකරයෙහි එක්රැස්ව සිටිද්දී, යේසුස් ක්‍රිස්තුස් පසුව “ව්‍යවස්ථාවෙහි ඉතා උතුම් ආඥාව” ලෙස හැඳින්වූ ආඥාවට මෝසෙස් ඔවුන්ගේ අවධානය යොමු කළා. ඒ කුමක්ද? එනම්: “ඔබේ මුළු හෘදයෙන්ද ඔබේ මුළු ප්‍රාණයෙන්ද මුළු ජීව ශක්තියෙන්ද ඔබේ දෙවි වන යෙහෝවාට ප්‍රේම කරන්න” යන්නයි. (මතෙව් 22:36, 37; ද්විතීය කථාව 6:5, NW) ඉශ්‍රායෙලිතයන් මෙය තම හෘදයන්ට කාවද්දාගත යුතු බවටත්, ඔවුන්ගේ දරුවන්ට ඉගැන්විය යුතු බවටත් මෝසෙස් උනන්දු කළා. එයට නැවත නැවත කීම, යෙහෝවාට ප්‍රේම කිරීම සඳහා තිබෙන හේතුවලට අවධානය දීම, එවන් ප්‍රේමයක් ප්‍රකාශ කිරීමට බාධා විය හැකි ආකල්ප සහ හැසිරීම සමඟ කටයුතු කිරීම සහ තම ජීවිත තුළ යෙහෝවා සඳහා ප්‍රේමය නිරූපණය කිරීම ඇතුළත් වුණා. අපේ දරුවන්ට එයාකාර උපදෙස් අවශ්‍යද? ඔව්! තවද ‘ඔවුන්ගේ හෘදයන් චර්මච්ඡේදනය කිරීමට’ උපකාර, එනම්, දෙවි සඳහා ඔවුන්ගේ ප්‍රේමයට බාධා විය හැකි ඕනෑම දෙයක් ඉවත් කිරීමට උපකාර ඔවුන්ටත් අවශ්‍යයි. (ද්විතීය කථාව 10:12, 13, 16; යෙරෙමියා 4:4) ලෝකයේ දේවල් හෝ එහි ක්‍රියාකාරකම්වල ඇලී ගැලී සිටීමට ප්‍රස්තාවන් සඳහා ආශාවක් වර්ධනය කරගැනීම එවන් බාධාවන්වලට අයත් වෙනවා. (1 යොහන් 2:15, 16) යෙහෝවා සඳහා ප්‍රේමය සක්‍රීය, විවෘත මෙන්ම අපේ ස්වර්ගික පියාට සතුට ගෙන දෙන දේවල් කිරීමට අපව පොලඹවන යමක් විය යුතුයි. (1 යොහන් 5:3) ඔබේ පවුලේ පාඩමෙන් දිගු කාලීන ප්‍රයෝජන නෙළාගැනීමට නම්, එය පවත්වන සෑම අවස්ථාවකදීම මෙම ප්‍රේමය ශක්තිමත් කරන ආකාරයකින් පැවැත්විය යුතුයි.
6. (අ) ඒකාන්ත දැනුම ලබා දීමට අවශ්‍ය වන්නේ කුමක්ද? (ආ) ශුද්ධ ලියවිල්ලේ ඒකාන්ත දැනුමේ වැදගත්කම අවධාරණය කර ඇත්තේ කෙසේද?
6 දෙවිගේ අවශ්‍යතාවන් පිළිබඳව ඒකාන්ත දැනුමක් ලබා දෙන්න. මෙයට කුමක් ඇතුළත් වනවාද? සඟරාවකින් හෝ පොතකින් පිළිතුරක් නිකම්ම කියවන්න හැකිවීමට වඩා වැඩි දෙයක් මෙයට ඇතුළත් වෙනවා. මූලික වචන සහ ප්‍රධාන අදහස් පැහැදිලිව තේරුම්ගත්තාද කියා නිශ්චය කරගැනීමට සාමාන්‍යයෙන් සාකච්ඡාවක් අවශ්‍ය වෙනවා. අලුත් පෞද්ගලිකත්වය පැළඳගැනීමට, ජීවිතයේ ගැටලු සමඟ කටයුතු කරද්දී සැබවින්ම වැදගත් වන දේවලට මුල් තැන දීමට සහ ඒ අනුව සැබවින්ම දෙවිව සතුටු කරන දේවල් කිරීමට ඒකාන්ත දැනුම අතිවැදගත් කාර්යයක් ඉටු කරනවා.—පිලිප්පි 1:9-11; කොලොස්සි 1:9, 10, 12ආ; 3:10.
7. (අ) පාඩම් කරන තොරතුරු ප්‍රායෝගිකව අදාළ කිරීමට පවුලකට උපකාර කරන්න යන්නේ කුමන ප්‍රශ්න භාවිතයද? (ආ) එවැනි ඉලක්කයක වටිනාකම ශුද්ධ ලියවිල්ලේ අවධාරණය කර තිබෙන්නේ කෙසේද?
7 ඉගෙනගත් දේ ප්‍රායෝගිකව අදාළ කරගැනීමට උපකාර කරන්න. මෙම ඉලක්කය මනසෙහි තබාගෙන, පවුලේ පාඩම කරන හැම අවස්ථාවකදීම මෙසේ අසන්න: ‘මේ තොරතුරු අපේ ජීවිතවලට කොහොමද බලපාන්න ඕනෙ? ඒ හින්දා අප දැන් කරන දේ සම්බන්ධයෙන් යම් වෙනසක් කරන්න අවශ්‍යද? අපිට යම් ආකාරයේ සකස් කිරීමක් කරන්න ඇයි පෙලඹීමක් තියෙන්න ඕනෙ?’ (හිතෝපදේශ 2:10-15; 9:10; යෙසායා 48:17, 18) ඉගෙනගත් දේවල් ප්‍රායෝගික අදාළ කරගැනීමට ප්‍රමාණවත් අවධානයක් දීම, පවුලේ සාමාජිකයන්ගේ ආත්මික වර්ධනයට වැදගත් සාධකයක් විය හැකියි.
ඉගැන්වීමේ මෙවලම් ඥානවන්තව භාවිත කරන්න
8. බයිබල් අධ්‍යයනය සඳහා දාස පංතිය සපයා ඇත්තේ කුමන මෙවලම්ද?
8 අධ්‍යයනය සඳහා භාවිත කළ හැකි මෙවලම් රැසක් “විශ්වාසවූ නුවණ ඇති දාසයා” සපයා තිබෙනවා. බයිබලය සමඟ යොදාගත හැකි මුරටැඹ සඟරාව භාෂා 131කින් ලබාගත හැකියි. බයිබල් අධ්‍යයනය සඳහා පොත් භාෂා 153කින්ද, විවරණිකා 284කින්ද ශ්‍රව්‍ය කැසට්පට 61කින්ද, වීඩියෝ කැසට්පට 41කින්ද තිබෙනවා. බයිබල් ගවේෂණය සඳහා භාෂා 9කින් පරිගණක වැඩසටහනක්ද තිබෙනවා!—මතෙව් 24:45-47.
9. පවුලක් වශයෙන් මුරටැඹ පාඩම පවත්වද්දී, මෙම ඡේදයෙහි සඳහන් බයිබල් පදවල උපදෙස් අපට කෙසේ අදාළ කරගත හැකිද?
9 පවුල් බොහොමයක් පවුලේ පාඩමට එක්රැස්වෙද්දී, එම අවස්ථාව සභාවේ මුරටැඹ පාඩමට සූදානම් වීම සඳහා යොදාගන්නවා. මෙය ඉතා ප්‍රයෝජනදායකයි! ලෝ වටා යෙහෝවාගේ සෙනඟව ගොඩනැංවීම සඳහා සපයන ප්‍රධාන ආත්මික ආහාර වේල මුරටැඹෙහි අන්තර්ගතයි. පවුලක් වශයෙන් මුරටැඹ පාඩම් කරද්දී, ඡේද කියවා මුද්‍රිත ප්‍රශ්නවලට උත්තර දීමට ඔබේ සාකච්ඡාව සීමා නොකරන්න. අවබෝධයක් ලබාගැනීමට හොඳ උත්සාහයක් දරන්න. සඳහන් කළත් උපුටා දක්වා නැති බයිබල් පද පෙරළා බැලීමට කාලය ගන්න. සාකච්ඡා කෙරෙන ඡේදයේ තොරතුරුවලට මේවා සම්බන්ධ වී ඇති අන්දම ගැන අදහස් දැක්වීමට පවුලේ සාමාජිකයන්ට ආරාධනා කරන්න. ඔව්, සාකච්ඡාවට හද පත්ලෙන්ම සම්බන්ධ වන්න.—හිතෝපදේශ 4:7, 23; ක්‍රියා 17:11.
10. දරුවන්ව පාඩමට සම්බන්ධ කර, එය ඔවුන්ට රසවත් අවස්ථාවක් කිරීමට කුමක් කළ හැකිද?
10 ඔබේ පවුලේ දරුවන් සිටී නම්, ඔබේ පාඩම කරන්නං වාලේ කරන යමක් නොව, නමුත් වර්ධනය ගෙන දෙන, උනන්දුව ඇති කරන, ප්‍රීතිමත් අවස්ථාවක් කිරීමට ඔබට කුමක් කළ හැකිද? පාඩම් කරන තොරතුරු වෙත දිගටම අවධානය යොමු කිරීම සඳහා සෑම කෙනෙකුවම යෝග්‍ය ආකාරයකින් පාඩමට සම්බන්ධ කරගන්න වෑයම් කරන්න. හැකි නම්, සෑම දරුවෙකුටම බයිබලයේ සහ පාඩම් කරන සඟරාවේ පෞද්ගලික පිටපතක් ලබා දෙන්න බලන්න. යේසුස් පෙන්නුම් කළ උණුසුම් ස්වභාවය විදහාපෙන්වමින්, දෙමාපියන්ට තම කුඩා දරුවා තමා ළඟම තබාගෙන, තුරුළු කරගන්න පවා පුළුවන්. (මාර්ක් 10:13-16 සසඳන්න.) පාඩම් ලිපියේ තිබෙන පින්තූරයක් විස්තර කරන්න කියා දරුවාට ආරාධනා කරන්න ගෘහ මූලිකයාට හැකියි. කුඩා දරුවෙකුට බයිබල් පදයක් කියවන්න කල්තියාම පවරන්න පුළුවන්. පාඩම් ලිපියේ තොරතුරු ප්‍රායෝගිකව අදාළ කරගත හැකි ආකාරය සඳහන් කිරීමට වයසින් වැඩි දරුවෙකුට පැවරිය හැකියි.
11. සපයා ඇති වෙනත් ඉගැන්වීමේ මෙවලම් මොනවාද? තවද මේවා ලබාගත හැකි නම්, පවුලේ පාඩම සම්බන්ධයෙන් ඒවා ප්‍රයෝජන ගෙන දෙන අයුරින් භාවිත කළ හැක්කේ කෙසේද?
11 ඔබේ සාකච්ඡාවේ පදනම වශයෙන් මුරටැඹ භාවිත කළත්, පාඩම් කිරීම සඳහා වෙනත් මෙවලම් භාෂා රැසකින් ලබාගත හැකි බව අමතක නොකරන්න. අමතර තොරතුරු හෝ බයිබල් යෙදුමක් පැහැදිලි කරගැනීමට අවශ්‍ය නම්, ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය (ඉංග්‍රීසියෙන්) තුළින් එය ලබාගත හැකියි. මුරටැඹ ප්‍රකාශන සූචිය (ඉංග්‍රීසියෙන්) පෙරළා බැලීමෙන් හෝ සමිතිය සපයා ඇති පරිගණක ගවේෂණ වැඩසටහන සොයා බැලීමෙන් වෙනත් ප්‍රශ්නවලට උත්තර ලබාගත හැකියි. මෙම මෙවලම් ඔබේ භාෂාවෙන් ලබාගත හැකි නම්, ඒවා භාවිත කිරීමට ඉගෙනගැනීම පවුලේ පාඩමට සම්බන්ධ වටිනා අංගයක් විය හැකියි. දරු දැරියන්ගේ උනන්දුව පුබුදුවාලීමේ අදහසින්, ඔබේ පාඩම් වේලාවෙන් කොටසක් බොහෝ දෑ උගත හැකි සමිතියේ වීඩියෝ පටියක කොටසක් නැරඹීමට හෝ පටිගත කර ඇති නාට්‍යයකින් කොටසකට සවන් දී අනතුරුව සාකච්ඡා කිරීමටද ඔබට යොදාගත හැකියි. මෙම අධ්‍යයන මෙවලම් හොඳින් භාවිත කිරීම තුළින්, ඔබේ පවුලේ පාඩම මුළු පවුලටම වඩාත් උනන්දුව සහ ප්‍රයෝජන ගෙන දෙන්නක් බවට පත් කරන්න මහෝපකාරි විය හැකියි.
ඔබේ පවුලේ අවශ්‍යතාවලට අනුව සකස් වන්න
12. පවුලක හදිසි අවශ්‍යතාවන් සමඟ කටයුතු කිරීමට පවුලේ පාඩමෙන් යම් කාර්යයක් ඉටු විය හැක්කේ කෙසේද?
12 ඇතැම්විට ඔබේ පවුල සාමාන්‍යයෙන් සතියට නියමිත මුරටැඹ පාඩම කරනවා ඇති. කෙසේවෙතත්, ඔබේ පවුලේ වත්මන් තත්වය ගැන ඔබ අවදිව සිටිය යුතුයි. මවට වැඩට යන්න සිදු වන්නේ නැත්නම්, දරුවන් පාසැල් හැර නිවසට පැමිණෙන විට ඔවුන් සමඟ හැමදාම කාලය ගත කිරීමට ඇයට හැකි වෙයි. ඇතැම් කාරණා ඒ මොහොතේදීම හැසිරවිය හැකියි; වෙනත් ඒවාට ඊට වඩා වැඩි අවධානයක් පසුව දෙන්න සිදු වෙයි. පවුලේ යම් හදිසි අවශ්‍යතාවක් පැනනඟිනවා නම්, ඒවා නොසලකා හරින්න එපා. (හිතෝපදේශ 27:12) මීට පාසැලේ ගැටලු පමණක් නොව වෙනත් ප්‍රශ්නද ඇතුළත් විය හැකියි. උචිත තොරතුරු තෝරාගෙන, පාඩම් කරන්න යන්නේ කුමක්දැයි පවුලේ සාමාජිකයන්ට කල් ඇතුව දන්වන්න.
13. දුගීකමට මුහුණ දිය හැකි ආකාරය ගැන පවුලක් වශයෙන් සාකච්ඡා කිරීම ප්‍රයෝජනදායක විය හැක්කේ මන්ද?
13 නිදසුනක් ගතහොත්, පෘථිවි තළයෙන් වැඩි කොටසක් දුගීකමේ ග්‍රහණයට හසුව සිටී. එමනිසා, බොහෝ ප්‍රදේශවල එයට මුහුණ දෙන ආකාරය ගැන සාකච්ඡා කිරීම අවශ්‍ය විය හැකියි. සැබෑ ජීවිත තත්වයන් සහ බයිබල් ප්‍රතිපත්ති වටා කේන්ද්‍රගත වූ පවුලේ පාඩමක් ඔබේ පවුලට සුදුසු විය හැකිද?—හිතෝපදේශ 21:5; දේශනාකාරයා 9:11; හෙබ්‍රෙව් 13:5, 6, 18.
14. ප්‍රචණ්ඩකාරිත්වය, යුද්ධ සහ ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය ගැන පවුලක් වශයෙන් සාකච්ඡා කිරීම කාලෝචිත විය හැක්කේ කුමනාකාර තත්වයන්වලදීද?
14 සාකච්ඡාවට ලක් කළ යුතු තවත් විෂයකි, ප්‍රචණ්ඩකාරිත්වය. අපේ මනස් සහ හෘදයන් තුළ එය පිළිබඳව යෙහෝවාගේ දෘෂ්ටිය හොඳින් පැලපදියම් කරගැනීමට අප සියලුදෙනාම වගබලා ගත යුතුයි. (උත්පත්ති 6:13; ගීතාවලිය 11:5) පවුලේ පාඩමේදී මෙය විෂයක් කරගැනීමෙන්, පාසැලේදී අනුන්ට හිරිහැර කරන අය සමඟ කටයුතු කළ යුතු ආකාරය, සටන්කාමී ශාස්ත්‍ර පුහුණු විය යුතුද යන්න සහ යෝග්‍ය විනෝදාස්වාදය තෝරාගත හැකි අයුරු ගැන සාකච්ඡා කිරීමට පදනමක් සැපයිය හැකියි. ප්‍රචණ්ඩකාරි ගැටුම් පොදු දෙයක් බවට පත්ව තිබෙනවා. සෑම රටකම පාහේ, එක්කෝ සිවිල් යුද්ධ නැතහොත් දේශපාලනික හෝ වාර්ගික ගැටුම් හෝ කල්ලි අතර සටන් දක්නට ලැබෙනවා. ප්‍රතිඵලයක් වශයෙන්, සටන්කාමී පිරිසකින් වට වී ඇති ඔබේ පවුලට ක්‍රිස්තියානි හැසිරීම පැවැත්විය හැකි ආකාරය පිළිබඳ සාකච්ඡාවක් අවශ්‍ය විය හැකියි.—යෙසායා 2:2-4; යොහන් 17:16.
15. දරුවන්ට ලිංගික කාරණා සහ විවාහය ගැන උපදෙස් ලබා දිය යුත්තේ කෙසේද?
15 දරුවන් වැඩෙත්ම, ඔවුන්ගේ වයසට යෝග්‍ය වන පරිද්දෙන්, ලිංගික කාරණා සහ විවාහය ගැන උපදෙස් අවශ්‍යයි. ඇතැම් සංස්කෘතීන්වල දෙමාපියන් තම දරුවන් සමඟ ලිංගික කාරණා කොහෙත්ම සාකච්ඡා කරන්නේ නැහැ. නොදැනුවත්කමින් සිටින දරුවන් වෙනත් යෞවනයන්ගෙන් විකෘති වූ අදහස් ලබාගත හැකි අතර, එහි ප්‍රතිඵල භයානක විය හැකියි. මෙම කාරණය සම්බන්ධයෙන් බයිබලය තුළින් ඍජු නමුත් ගෞරවාන්විත උපදෙස් සපයන යෙහෝවාගේ ආදර්ශය අනුකරණය කිරීම වඩා ඥානවන්ත දේ නොවේද? දිව්‍ය උපදෙස් ලැබීම අපේ දරුවන්ට තම ආත්ම-ගරුත්වය රැකගැනීමට සහ විරුද්ධ ලිංගයේ අයව ගෞරවයෙන් සැලකීමට උපකාර කරන්න යනවා. (හිතෝපදේශ 5:18-20; කොලොස්සි 3:5; 1 තෙසලෝනික 4:3-8) මෙම කාරණා දැනටමත් සාකච්ඡා කර තිබෙනවා වුණත්, නැවතත් එසේ කිරීමට පසුබට නොවන්න. අලුත් තත්වයන් පැනනඟින බැවින්, කාරණා නැවත නැවත සඳහන් කිරීම අත්‍යවශ්‍යයි.
16. (අ) විවිධාකාර පවුල්වල, පවුලේ පාඩම පවත්වන්නේ කුමන අවස්ථාවලදීද? (ආ) නිතිපතා පවුලේ පාඩමක් පැවැත්වීමට ඇති වන බාධා සමඟ ඔබ කටයුතු කර ඇත්තේ කෙසේද?
16 පවුලේ පාඩම පැවැත්විය හැක්කේ කවර අවස්ථාවේදීද? ලොව පුරා බෙතෙල් පවුල් ආදර්ශයට ගනිමින්, බොහෝ පවුල් ඔවුන්ගේ පවුලේ පාඩම සඳුඳා සැන්දෑවේදී පවත්වනවා. සමහරුන්ට වෙනම සැලසුම් තිබෙනවා. ආජෙන්ටිනාවේ දරුවන් 9දෙනෙකු ඇතුළු 11දෙනෙකුගෙන් යුත් පවුලක්, පවුලේ පාඩම පැවැත්වීමට හැම උදෑසනකම පහට නොවරදවාම නැඟිට්ටා. වැඩ සඳහා සැමට වෙනම කාලසටහන් තිබුණු නිසා, වෙන වේලාවක එය කරන්න බැරි වුණා. එය පහසු දෙයක් නොවුවත්, පවුලේ පාඩමක වැදගත්කම දරුවන්ගේ මනස් සහ හෘදයන් තුළට කාවද්දනු ලැබුවා. පිලිපීනයේ වැඩිමහල්ලෙක් තම වැඩෙන දරුවන් තිදෙනා හා තම භාර්යාව සමඟ නිතිපතා පවුලේ පාඩමක් පැවැත්වූවා. සතිය අතරතුරේදී, සෑම දරුවෙකුටම සත්‍යය තමාගේම එකක් කරගැනීමට හැකි වන පරිද්දෙන් දෙමාපියන් ඔවුන් සමඟ වෙන වෙනම පෞද්ගලික බයිබල් පාඩමක්ද පැවැත්වූවා. එක්සත් ජනපදයේ, සාක්ෂිකරුවෙකු නොවන පුරුෂයෙකු සිටින සහෝදරියක්, පාසැලට යන බසය ඇල්ලීමට හැම උදෑසනකම තම දරුවන් සමඟ පයින් ගමන් කරනවා. බසය එන තෙක් බලා සිටින අතරතුර, ශුද්ධ ලියවිල්ල මත පදනම් වූ උචිත තොරතුරු කියවා සාකච්ඡා කිරීමට ඔවුන් එකට විනාඩි දහයක් පමණ ගත කොට, ළමයින් බසයට නඟින්න කලින්, මව කෙටි යාච්ඤාවක් ඉදිරිපත් කරනවා. ප්රජාතන්ත්රවාදි කොංගෝ ජනරජයේ, තම පවුල අත්හැර ගිය නොඇදහිලිකාර පුරුෂයෙකු සිටි ස්ත්‍රියකට, තම සීමිත අධ්‍යාපනය නිසා අධ්‍යයනය කිරීමට සෑහෙන වෙහෙස මහන්සියක් දරන්න සිදු වෙනවා. වැඩිහිටියෙකු වූ ඇගේ පුත්‍රයා උපකාරයක් වශයෙන් තම මව සහ මල්ලිලා සමඟ පාඩමක් කිරීමට සතියකට වරක් පැමිණෙනවා. මව ඇගේ කඩිසර සූදානම තුළින් කදිම ආදර්ශයක් තබනවා. ඔබේ පවුලේ, නිතිපතා පවුලේ පාඩම පැවැත්වීම අසීරු කරවන යම් තත්වයකට මුහුණ දෙනවාද? අත්හරින්න එපා. නිතිපතා බයිබල් පාඩමක් පැවැත්වීමට ඔබ දරන වෑයමට අත්නෑර යෙහෝවාගේ ආශීර්වාදය පතන්න.—මාර්ක් 11:23, 24.
අඛණ්ඩ උත්සාහයක ප්‍රතිඵල
17. (අ) නිතිපතා පවුලේ පාඩමක් පැවැත්වීම සඳහා අවශ්‍ය වන්නේ කුමක්ද? (ආ) යෙහෝවාගේ මාර්ගයන් සම්බන්ධයෙන් පවුලක් නිතිපතා උපදෙස් ලැබීමේ වටිනාකම කුමන අද්දැකීමෙන් පැහැදිලි වේද?
17 කල්තියා සැලසුම් කිරීම අවශ්‍යයි. ඒත් සමඟම අඛණ්ඩ උත්සාහයක්ද අවශ්‍යයි. එනමුත් නිතිපතා පවුලේ පාඩමක් පැවැත්වීමෙන් ලබන ප්‍රයෝජන බොහෝ සෙයින් වටී. (හිතෝපදේශ 22:6; 3 යොහන් 4) ජර්මනියේ ෆ්රාන්ට්ස් සහ හිල්ඩා දරුවන් 11දෙනෙකුගෙන් යුත් පවුලක් ඇති දැඩි කළා. වසර ගණනාවක් ගත වූවායින් පසු ඔවුන්ගේ දුව, මාග්ඩාලේනා මෙසේ පැවසුවා: “අපි යම් ආත්මික උපදෙසක් නොලබා එක දවසක්වත් ගෙව්වේ නැහැ. වැදගත්ම දෙය හැටියට මම අද සලකන්නේ ඒකයි.” ඇඩොල්ෆ් හිට්ලර්ගේ පාලනය යටතේ ජාතිවාදී ආකල්පය ප්‍රබල වූ විට, ඉදිරියෙහි පැමිණෙන බවට තේරුම්ගත් පරීක්ෂණවලට මාග්ඩාලේනාගේ පියා තම පවුල සුදානම් කිරීමට බයිබලය භාවිත කළා. කල්යත්ම, පවුලේ වඩාත් ළාබාල සාමාජිකයන්ව පැහැරගෙන පුනරුත්ථාපන පාසැල්වලට දමනු ලැබුවා. පවුලේ වෙනත් සාමාජිකයන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරවල සහ ගාල් කඳවුරුවල රඳවනු ලැබුවා. සමහරදෙනෙකුව ඝාතනය කළා. එනමුත් සියලුදෙනාගේම ඇදහිල්ල ඔවුන්ගේ ස්ථිරත්වයට දායක වුණා. දරුණු පීඩා සමයේදී පමණක් නොව, නමුත් පසු කාලයේදී බේරී ජීවත්වූවන්ද ඇදහිල්ලෙන් ස්ථිරව සිටියා.
18. තනි මාපියන්ගේ වෑයම්වලට ප්‍රතිඵල ලැබී ඇති ආකාරය විස්තර කරන්න.
18 තනි මාපියන් බොහෝදෙනෙකු මෙන්ම එකම ඇදහිල්ලේ නැති කලත්‍රයන් සිටින අයද තම දරුවන්ට නිතිපතා බයිබල් උපදෙස් සපයා තිබෙනවා. ඉන්දියාවේ වැන්දඹුවක් වූ තනිකඩ මවක්, ඇගේ දරුවන් දෙදෙනා තුළ යෙහෝවා සඳහා ප්‍රේමයක් පැලපදියම් කිරීමට නොමද උත්සාහයක් දැරුවා. කෙසේවෙතත්, ඇගේ පුතා යෙහෝවාගේ ජනයා සමඟ ආශ්‍රය අත්හළ විට, ඇගේ හද බිඳීගියා. ඇගේ පුතාට දුන් පුහුණුවේදී යම් අඩුපාඩුකම් ඇගේ අතින් සිදු වී තිබුණා නම්, ඒවාට ඇය ඕනෑකමින් යෙහෝවාගෙන් සමාව අයැද සිටියා. එනමුත් පුතා ඉගෙනගත් දේ ඇත්තෙන්ම අමතක කළේ නැහැ. දශකයකට වැඩි කාලයකින් පසු, ඔහු නැවත පැමිණ, හොඳ ආත්මික දියුණුවක් ලබා, සභා වැඩිමහල්ලෙකු වුණා. දැන් ඔහුද ඔහුගේ භාර්යාවද පූර්ණ-කාලීන පුරෝගාමී සේවකයන් ලෙස සේවය කරනවා. පවුල් කවය තුළ නිතිපතා බයිබල් උපදෙස් සැපයීම සඳහා යෙහෝවා සහ ඔහුගේ සංවිධානය දී ඇති උපදෙස හෘදයට ගෙන ඇති දෙමාපියන්ට මොනතරම් අගයක් දැනෙනවා ඇද්ද! ඔබ එම උපදෙස් ඔබේ පවුලට අදාළ කරනවාද?
ඔබට පැහැදිලි කළ හැකිද?
◻ නිතිපතා පවුලේ පාඩමක් පැවැත්වීම වැදගත් වන්නේ මන්ද?
◻ පවුලේ පාඩම පවත්වන සෑම අවස්ථාවකදීම අපේ ඉලක්කයන් විය යුත්තේ මොනවාද?
◻ ඉගැන්වීම සඳහා අප වෙනුවෙන් පිළියෙළ කර ඇත්තේ කවර මෙවලම්ද?
◻ පාඩම පවුලේ අවශ්‍යතාවන්ට අනුව සකස් කළ හැක්කේ කෙසේද?
[15වන පිටුවේ පින්තූරය]
පැහැදිලි ඉලක්කයන්, ඔබේ පවුලේ පාඩමේ ගුණය උසස් කරවයි