ක්‍රිස්තියානි සභාව සැනසිල්ලේ උල්පතක්
විසිගණන්වල මුල් භාගයේ පසු වූ පොපි නමැති ස්ත්‍රිය ඇගේ දෙමව්පියන් සමඟ විවෘත අදහස් හුවමාරුවේ අඩුකම හේතුවෙන් ඇති වූ වේදනාකාරි පවුල් තත්වය නිසා, කලකිරීමෙනුයි සිටියේ.a ක්‍රිස්තියානි වැඩිමහල්ලෙකුට සහ ඔහුගේ භාර්යාවට ඇගේ සිතේ තිබුණු දේ වැගිරවීමෙන් පසු ඇය ඔවුන්ට මෙසේ ලිව්වා: “මාත් එක්ක කතා කරන්න කාලය ගත්තට ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි. ඔයගොල්ලන්ගේ සැලකිල්ල මට කොයිතරම් වැදගත් වුණාද කියලා සමහරවිට ඕගොල්ලෝ දන්නේ නැහැ. මට විශ්වාසය තබන්න පුළුවන් ඒ වගේම මට යමක් කියන්න පුළුවන් මනුෂ්‍යයන්ව දීම ගැන මම යෙහෝවාට ස්තුති කරනවා.”
මෑතකදී වැන්දඹුවක් වූ, නහඹර වියේ දරුවන් දෙදෙනෙකු සිටින ස්ත්‍රියක්, දුක්බර චිත්තවේගීය සහ මූල්‍යමය අපහසුතාවන් නමැති මඩ වගුරක එරී සිටියා. සභාවේ සිටි ක්‍රිස්තියානි විවාහක යුවළකගෙන් ශක්තිමත් කරවන බැහැදැකීම් ඇයටත් ඇගේ දරුවන්ටත් නිතිපතාම ලැබුණා. තම තත්වය සමඟ සාර්ථකව කටයුතු කිරීමෙන් පසු ඇය මෙසේ පවසමින් ඔවුන්ට කාඩ්පතක් යැව්වා: “මගේ යාච්ඤාවලදී මම නිතරම ඔයගොල්ලන්ව මතක් කරනවා. ඔයගොල්ලෝ මාත් එක්ක හිටපු ඒ වගේම මට උපකාර කරපු අනන්ත වාර ගණන මම හැම තිස්සෙම මතක් කරනවා.”
මේ ලෝකයේ වැඩි වන පීඩනයන්ගෙන් ඔබ ‘බර වී සිටින’ බවක් සමහර අවස්ථාවලදී ඔබට හැඟෙනවාද? (මතෙව් 11:28) “කාලයත් හදිසි කාරණාත්” ඔබේ ජීවිතය වේදනාත්මක අද්දැකීම්වලින් තුවාල කර තිබෙනවාද? (දේශනාකාරයා 9:11) එලෙස වී ඇත්නම්, එසේ සිදු වී තිබෙන්නේ ඔබට විතරක් නෙවෙයි. නමුත් පීඩාවට ලක්වූවන් දහස්ගණනක් දැනටමත් ලබාගෙන තිබෙන ආකාරයට, ඔබටත් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රිස්තියානි සභාව තුළින් අර්ථාන්විත උපකාර ලබාගන්න පුළුවන්. පොදු යුගයේ පළමු ශතවර්ෂයේ සිටි ඇතැම් සෙසු ඇදහිලිවන්තයන් තමාට විශේෂ “සැනසිල්ලක්” වූ බව ප්‍රේරිත පාවුල් වටහාගත්තා. (කොලොස්සි 4:10, 11) ඔබටත් ඒ හා සමාන අද්දැකීමක් තිබෙන්න පුළුවන්.
ආධාර, උපකාර
ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල “සභාව” යන වචනය පරිවර්තනය කර තිබෙන්නේ එකට කැඳවා ඇති මිනිසුන් කණ්ඩායමක් යන අර්ථය ඇති එක්·ක්ලෙ·සිʹආ කියන ග්‍රීක් පදයෙනුයි. සාමූහිකත්වය සහ අන්‍යොන්‍ය උපකාරය යන අදහස් එම වචනය තුළ ගැබ් වී තිබෙනවා.
ක්‍රිස්තියානි සභාව දෙවිගේ වචනයේ තිබෙන සත්‍යතාව තහවුරු කරන අතර ඔහුගේ රාජ්‍ය සම්බන්ධ ශුභාරංචිය ප්‍රකාශ කරනවා. (1 තිමෝති 3:15; 1 පේතෘස් 2:9) ඒ විතරක් නෙවෙයි, සභාව සමඟ ඇසුරු කරන අයට ආත්මික උපකාරත් ආධාරත් එය සපයනවා. පීඩනයකට පත්ව සිටින අවස්ථාවලදී, අනිත් අයට උදව් කිරීමටත්, සැනසීමක් ලබා දීමටත් සූදානමින් සහ කැමැත්තෙන් සිටින ප්‍රේමනීය, සැලකිල්ලක් දක්වන එමෙන්ම රැකබලා ගන්නාවූ මිතුරන් කණ්ඩායමක් එහිදී කෙනෙක්ට සොයාගන්න පුළුවන්.—2 කොරින්ති 7:5-7.
යෙහෝවාගේ නමස්කාරකයන්ට ඔහුගේ සභාව තුළම නිතරම ආරක්ෂාව හා රැකවරණය ලැබී තිබෙනවා. දෙවිගේ රැස් වූ සෙනඟ අතරෙහි සන්තෝෂය සහ ආරක්ෂාවේ හැඟීමක් තමා අද්දැක්ක බව ගීතිකාකරු ඇඟෙව්වා. (ගීතාවලිය 27:4, 5; 55:14; 122:1) අදත් ඒ හා සමානව ක්‍රිස්තියානි සභාව එකිනෙකාව ගොඩනංවන සහ ධෛර්යවත් කරන සෙසු ඇදහිලිවන්තයන්ගේ සංගමයක් වෙනවා.—හිතෝපදේශ 13:20; රෝම 1:11, 12.
“සියල්ලන්ටම, ප්‍රධානකොට ඇදහිල්ලේ පවුලට අයිතිවූවන්ට, යහපත්කම්” කරන මෙන් සභාවේ සිටින සාමාජිකයන්ට උගන්වා තිබෙනවා. (ගලාති 6:10) ඔවුන්ට ලැබෙන බයිබලය මත පදනම් වූ අධ්‍යාපනය, එකිනෙකාට සහෝදර ප්‍රේමය සහ මුදු මොළොක් සෙනෙහස විදහාපෙන්වීමට ඔවුන්ව පොලඹවනවා. (රෝම 12:10; 1 පේතෘස් 3:8) සභාවේ සිටින ආත්මික සහෝදර සහෝදරියන් කරුණාවන්ත වීමට, සාමකාමී වීමට සහ අනුකම්පාසහගත වීමට පෙලඹෙනවා. (එපීස 4:3) නමට පමණක් නමස්කාරකයන් නොවී ඔවුන් අනිත් අයට ප්‍රේමනීය සැලකිල්ල පෙන්වනවා.—යාකොබ් 1:27.
එමනිසා, තැළී හෙම්බත් වී සිටින අයට සභාව තුළ ඇති පවුලක් බඳු වාතාවරණය තුළින් උණුසුම් ආශ්‍රයක් ලැබෙනවා. (මාර්ක් 10:29, 30) සමීප බැඳීමකින් යුත් ප්‍රේමනීය සමූහයකට අයත්ව සිටිනවා කියන හැඟීම ඔවුන්ව ශක්තිමත් කරනවා. (ගීතාවලිය 133:1-3) සභාවන් තුළින් “විශ්වාසවූ නුවණ ඇති දාසයා” පෝෂ්‍යදායී ආත්මික ආහාර “නියම වේලාවට” සපයනවා.—මතෙව් 24:45.
ප්‍රේමනීය අවේක්ෂකයන්ගෙන් උපකාරය
ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන්ට ආත්මික උපකාර සහ දිරිගැන්වීම සපයන ප්‍රේමනීය, තේරුම්ගන්නාසුලු සහ සුදුසුකම් ලත් එඬේරුන්ව එහි සොයාගත හැකියි. එවැනි ගුණාංග තිබෙන එඬේරුන් හරියට “සුළඟෙන් මුවාවෙන ඉඩමක් සහ කුණාටුවෙන් ආවරණයක් මෙන්” වෙනවා. (යෙසායා 32:1, 2) ආත්මයෙන් පත් කරන ලද වැඩිමහල්ලන් නොහොත් අවේක්ෂකයන් දෙවිගේ බැටළුවන් වැනි මනුෂ්‍යයන් කෙරෙහි සැලකිල්ල දක්වනවා. අසනීපවලින් සහ විෂාදයෙන් පෙළෙන්නන්ව දිරිගන්වනවා. එමෙන්ම වැරදි කළ අයව නැවත පිහිටුවන්න උත්සාහ කරනවා.—ගීතාවලිය 100:3; 1 පේතෘස් 5:2, 3.
සභාවේ වැඩිමහල් මණ්ඩලය කියන්නේ, සෙසු ඇදහිලිවන්තයන් මුහුණ දෙන ශාරීරික හෝ මානසික සෞඛ්‍ය ගැටලු විසඳීමට හැකි වෘත්තීමය චිකිත්සකයන් හෝ සෞඛ්‍ය වෛද්‍යවරුන් මණ්ඩලයක් නොවන බව ඇත්තයි. මෙම දේවල පිළිවෙළ යටතේ තවමත් රෝගීන්ට “වෛද්‍යවරයෙක් අවශ්‍යයි.” (ලූක් 5:31, NW) එසේ වුවත්, එවැනි එඬේරුන්ට අවශ්‍යතාවක් තිබෙන අයට ආත්මිකව උපකාර කළ හැකියි. (යාකොබ් 5:14, 15) වැඩිමහල්ලන් හැකි සෑම අවස්ථාවකදීම අනිකුත් පිහිටෝපකාර සඳහාද කටයුතු පිළියෙළ කරනවා.—යාකොබ් 2:15, 16.
එවැනි ප්‍රේමනීය සැලසුමක් පිටුපස සිටින්නේ කවුද? යෙහෝවා දෙවිමයි! ප්‍රොපේත එසකියෙල් මෙසේ පවසමින් යෙහෝවාව විස්තර කරනවා: “මමම මාගේ බැටළුවන් ගැන විභාගකර, උන් බලාගන්නෙමි. . . . උන් විසිරගිය සෑම තැන්වලින් උන් ගළවාගන්නෙමි. . . . මමම මාගේ බැටළුවන් පෝෂ්‍යකර, මමම උන් ලග්ගවන්නෙමි.” දෙවි බෙලහීන සහ දුර්වල බැටළුවන් ගැනත් සැලකිලිමත් වෙනවා.—එසකියෙල් 34:11, 12, 15, 16.
නිසි වේලාවට නිසි උපකාර
ක්‍රිස්තියානි සභාව තුළ නිසි උපකාරය තිබෙනවාද? ඇත්තෙන්ම ඔව්. පහත දැක්වෙන උදාහරණවලින් සභාව උපකාරයක් බව ඔප්පු වන විවිධ තත්වයන් නිරූපණය කරනවා.
◆ ප්‍රේමනීය කෙනෙක් අහිමි වීම. ඇනාගේ පුරුෂයා නිදන්ගත රෝගයකින් මරණයට පත් වුණා. ඇය මෙසේ පවසනවා: “එදා ඉඳන් මම ක්‍රිස්තියානි සහෝදරත්වයේ උණුසුම් ප්‍රේමය ලබපු කෙනෙක් වෙලා තියෙනවා. මගේ සෙසු ඇදහිලිවන්තයන්ගේ හෘදයාංගම වැලඳගැනීම් ඇතුළුව නොකඩවා ලැබුණු උපකාර සහ දිරිගැන්වීමේ කාරුණික වචන, මගේ හද තුළ මහත් වේදනාවක් ඇති කරනවා වෙනුවට සැනසිල්ලක් ඇති කළා. මේ ගැන මම යෙහෝවාට ස්තුති කරනවා. ඔවුන්ගේ ප්‍රේමයෙන්, මාව ඉසිලූ බවක්, මාව කොහොමහරි නඟාසිටවූ බවක් සහ මාව මෘදු ලෙස රැකබලා ගත් බවක් මට දැනුණා.” මරණය නිසා ප්‍රේමනීය කෙනෙකු නැතිවීමේ කම්පිත කරවන අද්දැකීම ඔබත් අද්දැක තිබෙනවා වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී දැඩි සේ අවශ්‍ය කරන සැනසිල්ල සහ චිත්තවේගීය උපකාරය සැපයීමට සභාවේ සිටින සාමාජිකයන්ට හැකියි.
◆ අසනීප. පෝලන්තයේ සිටින ආර්ටූර් නමැති සංචාරක අවේක්ෂකයෙක්, ආත්මිකව ශක්තිමත් කිරීම සඳහා නොකඩවාම මධ්‍යම ආසියාවේ තිබෙන සභාවන් බැහැදැක්කා. මේ එක් බැහැදැකීමක් අතරතුරේදී ඔහු බරපතළ ලෙස අසනීප වූ අතර, නැවත යථා තත්වයට පත්වීමේදී ඔහු බරපතළ දුෂ්කරතාවන්වලට මුහුණ දුන්නා. ආර්ටූර් ගැඹුරු අගය කිරීමකින් යුතුව මෙසේ මතක් කරනවා: “[කෂාක්ස්ථානයේ නගරයක සිටින] සහෝදර සහෝදරියන් මාව රැකබලා ගත්තේ කොහොමද කියලා මට ඔබට කියන්න ඕනේ. සහෝදර සහෝදරියන් මට සල්ලි, කෑම ජාති සහ බෙහෙත් හේත් ගෙනාවා. මේ අයගෙන් හුඟ දෙනෙක්ව මම අඳුනන්නෙවත් නැහැ. ඒ විතරක් නෙමෙයි, මේ අය අතර උනන්දුව දක්වන අයත් හිටියා. . . . මේ දේවල් ඒගොල්ලෝ කෙරුවේ පුදුම සන්තෝෂයකින්.
“සල්ලි ටිකකුයි පහත සඳහන් වන ලියුමයි දමා එවපු ලියුම් කවරයක් හම්බ වුණ අවස්ථාවේ මට ඇති වෙච්ච හැඟීම් හිතෙන් මවාගන්න. ඒකෙ මෙහෙම සඳහන් වෙනවා: ‘ආදරණීය සහෝදරය, මගේ උණුසුම් සුභපැතුම් මම ඔයාට එවනවා. අම්මි මට අයිස්-ක්‍රීම් කන්න සල්ලි දුන්නා. ඒත් මම හිතුවා ඒ සල්ලි ඔයාට බෙහෙත් ගන්න දෙන්න. අනේ ඉක්මනින් සනීප වෙන්න. යෙහෝවා කැමති අපි හුඟක් කල් ජීවත් වෙනවාටයි. මගේ සුභ පැතුම්. අපිට තවත් හොඳ, උපදෙස් තියෙන කතන්දර කියන්න. වෝවා’ ” ඔව්, මෙම සිද්ධියෙන් පෙන්නුම් කරන්නාක් මෙන් සභාවේ සිටින බාල මහලු සියලුදෙනාටම අසනීපයෙන් සිටින අවස්ථාවලදී සැනසීමේ උල්පත් වීමට පුළුවන්.—පිලිප්පි 2:25-29.
◆ විෂාදය. ටෙරීට පුරෝගාමියෙක් ලෙස හෝ පූර්ණ කාලීන රාජ්‍ය ප්‍රකාශ කරන්නියක ලෙස සේවය කිරීමට හෘදයාංගම ආශාවක් තිබුණා. එසේ වුවත්, දුෂ්කරතාවන් නිසා ඇයට පුරෝගාමී සේවය නැවැත්වීමට සිදු වුණා. “පුරෝගාමී සේවය අවුරුද්දක්වත් සම්පූර්ණ කරන්නේ නැතුව මේ තත්වය තුළ සේවය කිරීමට පටන්ගත්ත එක ගැන මට පුදුමාකාර වරදසහගතබවේ හැඟීමක් දැනුණා” කියා ඇය පවසනවා. යෙහෝවාගේ අනුමැතිය රඳාපවතින්නේ ඇය ඔහුට කරන සේවයේ ප්‍රමාණය මත පමණයි කියා ටෙරී වැරදි ලෙස විශ්වාස කළා. (මාර්ක් 12:41-44හි වෙනස සසඳන්න.) ඇය අධික ලෙස විෂාදයට පත්ව හුදෙකලා වී සිටියා. නමුත් එවිට, ඇයව නැවත ප්‍රාණවත් කරන උපකාර සභාවෙන් පැමිණියා.
ටෙරී මෙසේ සිහිපත් කරනවා: “වයසක පුරෝගාමි සහෝදරියක් ඉක්මනින්ම මගේ උපකාරයට ආවා. මගේ හිතේ හිර කරගෙන හිටපු ඔක්කොම දේවල් කියද්දී එයා මට ඇහුම්කන් දුන්නා. එයාගේ ගෙදරින් මම එළියට බහිද්දී ලොකු බරක් මගෙන් ඉවත් කර තිබුණා වගේ හැඟීමක් දැනුණා. ඒ වෙලාවේ ඉඳන් මේ පුරෝගාමි සහෝදරියයි, සභාවේ වැඩිමහල්ලෙක් වන එයාගේ මහත්තයයි වටිනා උපකාර මට දුන්නා. මම දැන් හොඳින් වැඩ කටයුතු කරගෙන යනවාද කියලා අසමින් මට ඒගොල්ලන්ගෙන් හැමදාම දුරකථන ඇමතුම් ලැබෙනවා. . . . ඒගොල්ලෝ සමහර අවස්ථාවලදී මට ඒගොල්ලන්ගේ පවුල් පාඩමට හවුල් වෙන්නත් ඉඩ දීලා තිබුණා. පවුල් දිගටම එකට සිටින එකේ වැදගත්කම ඒකෙන් මට තදින් කාවැදුණා.”
විෂාදයට පත්වීම, අධෛර්යයට පත්වීම සහ තනිකම බොහෝදෙනෙකුට එනම් කැප වූ ක්‍රිස්තියානීන්ට පවා නුහුරු අද්දැකීමක් නොවෙයි. දෙවිගේ සභාව තුළ ප්‍රේමනීය සහ පරාර්ථකාමී උපකාරය තිබීම ගැන අපට කොතරම් කෘතඥපූර්වක විය හැකිද!—1 තෙසලෝනික 5:14.
◆ ආපදාවන් සහ අනතුරු. තම නිවස ගිනිගැනීම හේතුවෙන් තමන් සතු දේපළ සියල්ල අහිමි වූ සාමාජිකයන් සිව්දෙනෙකුගෙන් යුත් පවුලක තත්වයට මදකට බහින්න. ඔවුන් එම අද්දැකීම හඳුන්වන්නේ “සදා නොමැකෙන ලෙස අපේ හිතට වැදුණු දිරිගන්වනසුලු අද්දැකීමක්” ලෙසයි. ඔවුන් මෙසේ පැහැදිලි කරනවා: “ඉක්මනින්ම, අපේ ආත්මික සහෝදර සහෝදරියන්ගේ උපකාරය සහ කනගාටුව දක්වමින් දුන් අවංක දුරකථන ඇමතුම්වලින් අපට ඉමහත් දිරිගැන්වීමක් ලැබුණා. නිතර නිතර දුරකථනය නාද වුණා. හැමකෙනාම පෙන්වපු අවංක සැලකිල්ල සහ ප්‍රේමය කොතරම් හැඟීම් දනවන දෙයක්ද කියනවා නම් අපි කෘතඥතාවයේ කඳුළු සැලුවා.”
වැඩි කල් යන්න මත්තෙන් සභාවේ වැඩිමහල්ලන් විසින් සහෝදරයන් විශාල කණ්ඩායමක් සංවිධානය කළ අතර දින කීපයකින් ඔවුන් මේ පවුල සඳහා අලුත් නිවසක් ගොඩනැඟුවා. අසල්වැසියෙක් මෙසේ ප්‍රකාශ කරනවා: “ඔයගොල්ලන්ට මේක බලන්න තිබුණා! එහෙ හැම ජාතියකම මිනිස්සු වැඩ කරනවා. ගැහැනු, පිරිමි, කළු ජාතිකයන්, ස්පාඤ්ඤ ජාතිකයන්!” මෙය සහෝදර ප්‍රේමය සම්බන්ධ පැහැදිලි සාක්ෂියක් වුණා.—යොහන් 13:35.
සෙසු ක්‍රිස්තියානීන් එම පවුලට ඇඳුම් පැළඳුම්, ආහාර සහ මුදල්ද දුන්නා. පියා මෙසේ අදහස් දක්වනවා: “මේක සිද්ධ වුණේ හැමකෙනාම තෑගි දෙන නත්තල් කාලයේදීයි. හැබැයි අපි අද්දැක්කා වගේ අවංක සහ අතිමහත් ත්යාගශීලීබවක් වෙන කිසි කෙනෙක් භුක්ති වින්දේ නැති බව නම් අපිට අවංකව කියන්න පුළුවන්.” එමෙන්ම ඔවුන් තවදුරටත් මෙසේ පවසනවා: “ගිනිගැනීම ගැන තියෙන මතකයන් හෙමිහිට බොඳ වී යද්දී ආදරයෙන් රැකබලා ගැනීම් පිළිබඳ මතකයන්ගෙන් සහ යහපත් මිතුරන්ගෙන් එය පිරී යනවා. එවැනි මවිතකර එක්සත් සහෝදරයන්ගෙන් යුත් පවුලක් දීම සම්බන්ධයෙන් අපේ ස්තුතිය යන්නේ අපේ ප්‍රේමනීය ස්වර්ගික පියා වන යෙහෝවාටයි. ඒ වගේම අප එහි කොටසක් වී සිටීම ගැන බොහෝ සෙයින් කෘතඥපූර්වක වෙනවා!”
එවැනි සෑම ඛේදවාචකයකදීම එයාකාර මැදිහත් වීමක් කළ හැකි දෙයක් නොවන බවත්, එසේම එය බලාපොරොත්තු නොවිය යුතු බවත් ඇත්තයි. නමුත් සභාවට සපයන්න පුළුවන් උපකාර මෙම සිද්ධියෙන් නිසැකවම නිදර්ශනය වෙනවා.
ඉහළින් පැමිණෙන ප්‍රඥාව
සභාව තුළ උපකාරය සහ ශක්තිය සැපයිය හැකි තවත් මාධ්‍යයක් බොහෝදෙනෙක් සොයාගෙන තිබෙනවා. එය කුමක්ද? එය නම් “විශ්වාසවූ නුවණ ඇති දාසයා” විසින් පිළියෙළ කරන ප්‍රකාශනයි. මේවා අතුරින් ප්රමුඛව තිබෙන්නේ මුරටැඹ සහ පිබිදෙව්! සඟරායි. තීක්ෂ්ණ බුද්ධියෙන් යුත් උපදෙස් සහ ප්‍රායෝගික මඟ පෙන්වීම් සැපයීම සඳහා මෙම ප්‍රකාශන බයිබලයේ තිබෙන දිව්‍ය ප්‍රඥාව මත මූලික වශයෙන් රඳාපවතිනවා. (ගීතාවලිය 119:105) මානසික විෂාදය, අයුතු ලෙස යොදාගැනීම්වලින් නැවත යථා තත්වයට පැමිණීම, විවිධාකාර සමාජීය සහ ආර්ථික ගැටලු, යෞවනයන් මුහුණ දෙන අභියෝගයන් සහ සංවර්ධනය වෙමින් පවතින රටවලට විශේෂිත වූ දුෂ්කරතා ආදි විෂයන් සම්බන්ධයෙන් වගකීමේ හැඟීමකින් කර ඇති, විශ්වාසවන්ත මූලාශ්‍රවලින් රැගත් පර්යේෂණවලින් ලබාගත් කරුණු ශුද්ධ ලියවිලිමය තොරතුරුවලට අනුබල දෙනවා. ඉහත සඳහන් කළ ප්‍රකාශන සියල්ලම ජීවිතයට තිබෙන හොඳම මඟ දෙවිගේ මඟ බව තහවුරු කරනවා.—යෙසායා 30:20, 21.
අගය ප්‍රකාශ කර එවපු ලිපි දහස් ගණනක් සෑම අවුරුද්දකම වොච් ටවර් සමිතියට ලැබෙනවා. උදාහරණයකට, සියදිවි හානි කරගැනීම ගැන සඳහන් වූ පිබිදෙව්! සඟරාවක් සම්බන්ධයෙන් රුසියාවේ සිටින තරුණයෙක් මෙසේ ලිව්වා: “විෂාදයට තිබුණු මගේ නැඹුරුවාව හින්දා, . . . හුඟක් අවස්ථාවලදී ජීවිතේ නැති කරගන්න හිතුවා. දෙවි මගේ ගැටලු හසුරුවාගන්න මට උපකාර කරනවා කියන මගේ විශ්වාසය මෙම ලිපිය ශක්තිමත් කළා. මම ජීවත් වෙනවා දකින්නයි ඔහුට ඕනේ. මෙම ලිපිය මාර්ගයෙන් දුන් ඔහුගේ උපකාරයට මම ඔහුට ස්තුති කරනවා.”
මේ ලෝකයෙන් නිමක් නැතුව එල්ල වන ප්‍රශ්න සමඟ කටයුතු කරන්න ඉතා අපහසු බව පෙනෙන්න තිබුණත්, ක්‍රිස්තියානි සභාව තුළ ආරක්ෂාවේ ක්ෂේම භූමියක් තිබෙන බව ඔබට නිසැක විය හැකියි. ඇත්තවශයෙන්ම ප්‍රේමයක් නොමැති මේ පිළිවෙළේ ශුෂ්ක කාන්තාරය ඔබේ ශක්තිය හීන කරනවා නම්, නැවත ශක්තිය ලබා දෙන ක්ෂේම භූමියක් යෙහෝවාගේ සංවිධානය තුළ ඔබට ලබාගන්න පුළුවන්. එවැනි උපකාරයක් අද්දැක්කාට පසු, තම පුරුෂයාගේ දරුණු අසනීපයත් සමඟ සාර්ථකව කටයුතු කළ ක්‍රිස්තියානි ස්ත්‍රියකගේ මෙම හැඟීමම ඔබත් ප්රතිරාවය කරන්න ඉඩ තිබෙනවා. ඇය මෙසේ ලිව්වා: “අපිට පෙන්වූ ප්‍රේමය හා සැලකිල්ල හින්දා, මේ අර්බුදය පුරා යෙහෝවා අපිව ඔහුගේ හස්තයෙන් උසුලගෙන ඉන්නවා වගේ මට දැනෙනවා. යෙහෝවාගේ පුදුමාකාර සංවිධානයේ කොටසක් වීමට ලැබීම ගැන මම කොයිතරම් ස්තුතිවන්ත වෙනවද!”
[පාදසටහන]
a නම් වෙනස් කර ඇත.
[26වන පිටුවේ පින්තූර]
අසනීපවූවන්ට, වියෝ දුකින් පෙළෙන්නන්ට සහ සෙසු අයට සැනසිල්ලේ උල්පතක් වීමට අපට හැකියි