ක්‍රිස්තුස්ගේ මිදීමේ මිලය ගැළවීම සඳහා දෙවිගේ මඟයි
‘දෙවි ස්වකීය ඒකජාතක පුත්‍රයා දෙන තරම් ලෝකයට ප්‍රේම කළේය. එසේ කළේ ඔහු කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.’—යොහන් 3:16.
1, 2. මනුෂ්‍යවර්ගයා සම්බන්ධයෙන් උද්ගත වී තිබෙන අසීරු තත්වය විස්තර කරන්න.
ඔබට අසනීපයක් වැළඳී තිබෙනවායයි සිතන්න. තවද ඔබ ශල්‍යකර්මයක් නොකළොත්, එයට නිසැකවම ඔබගේ ජීවිතය බිලිගත හැකියයිද සිතන්න. ඒත් ශල්‍යකර්මය සඳහා යන වියදම ඔබට දැරිය නොහැකි තරම් විශාල නම් ඔබට මොන වගේ හැඟීමක් ඇති වෙයිද? ඔබේ පවුලේ අයගේ සහ මිත්‍රයන්ගේ මුළු සේසතම වියදම් කළත් එය ගෙවීමට ප්‍රමාණවත් නොවේ නම් තත්වය කුමක්ද? ජීවිතයට තර්ජනයක් එල්ල කරන එවැනි උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දීම ඉතාමත් වේදනාකාරි අද්දැකීමක් වේවි.
2 මනුෂ්‍යවර්ගයා සම්බන්ධයෙන් පැනනැඟී ඇති තත්වයක් මෙමගින් නිදර්ශනය වෙනවා. අපේ පළමු දෙමව්පියන් වන ආදම් සහ ඒවව මවනු ලැබුවේ පරිපූර්ණ ආකාරයකිනුයි. (ද්විතීය කථාව 32:4) “නුඹලා බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණකොට ඒක යටත් කර ගන්න” කියා පවසද්දී ඔවුන්ට සදාකාලයටම ජීවත් වීමටත්, දෙවිගේ අරමුණ ඉටු කිරීමටත් වූ එම බලාපොරොත්තුව තිබුණා. (උත්පත්ති 1:28) කොහොමවුණත්, ආදම් සහ ඒව තම මැවුම්කරුට විරුද්ධව කැරලි ගැසුවා. (උත්පත්ති 3:1-6) ඔවුන්ගේ අකීකරුකම හේතුවෙන් අත් වූ පව්කාර තත්වය ආදම් සහ ඒවට පමණක් නොවෙයි, නමුත් ඔවුන්ගෙන් පැවතෙන නූපන් දරුවන්ටත් හිමි වුණා. ඇදහිලිවන්ත මනුෂ්‍යයෙක් වූ යෝබ් පසු කලකදී මෙසේ පැවසුවා: “අපවිත්‍ර දෙයකින් පවිත්‍ර දෙයක් උපදවන්ට කාට පුළුවන්ද? කාටවත් බැරිය.”—යෝබ් 14:4.
3. මරණය සියලුම මනුෂ්‍යයන්ට පැතිරුණේ කොහොමද?
3 පාපය, හරියට රෝගයක් මෙන් අප සෑම කෙනෙකුටම බෝ වී තිබෙන නිසා “සියල්ලෝම පව්කොට” තිබෙන බව බයිබලය පවසනවා. මෙම තත්වයට මාරාන්තික ප්‍රතිඵල තිබෙනවා. ඇත්තෙන්ම ‘පාපයේ කුලී නම් මරණයයි.’ (රෝම 3:23; 6:23) අප කිසිම කෙනෙකුට එයින් ගැළවෙන්න බැහැ. සියලුම මනුෂ්‍යයන් පව් කරනවා. ඒ නිසා සියලුම මනුෂ්‍යයන් මැරෙනවා. ආදම්ගෙන් පැවතෙන්නන් හැටියට අප ඉපදුනේ මෙම අසීරු තත්වය යටතෙයි. (ගීතාවලිය 51:5) පාවුල් මෙසේ ලිව්වා: “එක් මනුෂ්‍යයෙකු කරණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්වුණාක්මෙන්, සියලු මනුෂ්‍යයන් පව්කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුණේය.” (රෝම 5:12) නමුත් අපට ගැළවීම සඳහා බලාපොරොත්තුවක් නොමැතිව සිටින බවක් මෙයින් අදහස් කරන්නේ නැහැ.
පාපය සහ මරණය තුරන් කිරීම
4. මනුෂ්‍යයන්ට, ලෙඩ රෝග සහ මරණය තමන්ගේම හැකියාවෙන් තුරන් කිරීමට නොහැක්කේ ඇයි?
4 පාපය සහ එහි ප්‍රතිඵලය වන මරණය තුරන් කිරීමට කුමක් අවශ්‍ය වේද? පැහැදිලිවම, මනුෂ්‍යයන්ට සැපයිය හැකි දෙයකට වඩා වැඩි යමක් අවශ්‍යයි. ගීතිකාකරු මේ සම්බන්ධව මෙසේ ශෝක වුණා: “මිනිසෙකුගේ ජීවිතය සඳහා ගෙවිය යුතු මිදීමේ මිලය ඉතා විශාල ය; මිනිවළට යාමෙන් වැළකෙන පිණිසත්, සදා ජීවත් වීමට වරයක් ලබන පිණිසත්, තමා විසින් ගෙවනු ලැබිය හැකි මිලය කිසිසේත් නොසෑහේ.” (ගීතාවලිය 49:8, 9, නව අනුවාදය) පෝෂ්‍යදායි ආහාර වේලක් ගැනීමෙන් සහ අපගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීමෙන්, අපගේ ජීවිතය තව අවුරුදු කීපයකින් දික් කරගැනීමට හැකි බව ඇත්තයි. ඒත් උරුම වූ අපගේ පව්කාර තත්වය සුව කරගැනීමට නම් අප කිසිවෙකුට හැකියාවක් නැහැ. වයස්ගත වීමෙන් ඇති වන මාරාන්තික ප්‍රතිඵල වෙනස් කිරීමටවත්, දෙවි මුලින්ම අරමුණු කළ පරිපූර්ණත්වය නැවත අත් කරගැනීමටවත් අප කිසිවෙකුට හැකියාවක් නැහැ. ආදම්ගේ පාපය නිසා, මනුෂ්‍ය මැවිල්ල ‘නිෂ්ඵලභාවයට යටත් කරන ලද’ බව පාවුල් ලියූ විට, ඔහු නිසැකවම අතිශයෝක්තියෙන් කතා කරමින් සිටියා නොවේ. වෙනත් විදියකින් කියනවා නම්, ජෙරුසලම් බයිබලය පෙන්නුම් කරන්නේ “අරමුණු කළ දේ අත් කරගත නොහැකි තත්වයක සිටිය” බවයි. (රෝම 8:20) ඒ වුණත් සන්තෝෂයට කරුණක් නම්, මැවුම්කරු අපව අත්හැර දමා නොතිබීමයි. ඔහු සදාකාලයටම පාපය සහ මරණය ඉවත් කිරීමට සැපයුමක් ඇති කර තිබෙනවා. ඒ කොහොමද?
5. ඉශ්‍රායෙලිතයන්ට දුන් ව්‍යවස්ථාවෙන් යුක්තිය සඳහා තිබෙන ගැඹුරු සැලකිල්ල පිළිබිඹු වන්නේ කෙසේද?
5 යෙහෝවා ‘ධර්මිෂ්ඨකමටත් යුක්තියටත් ප්‍රිය වන්නේය.’ (ගීතාවලිය 33:5) ඔහු ඉශ්රායෙල්වරුන්ට දුන් ව්‍යවස්ථා ගිවිසුම මගින් සමබරතාවට සහ අපක්ෂපාතී ලෙස පෙන්වන යුක්තියට ඔහු දී තිබුණු ගැඹුරු සැලකිල්ල පිළිබිඹු වෙනවා. උදාහරණයකට, මෙම නීති සංග්‍රහයේ ‘ජීවිතයට ජීවිතයක් දිය යුතු බව’ අපට කියවන්න තිබෙනවා. වෙනත් වචනවලින් කියනවා නම්, ඉශ්‍රායෙලිතයෙක් යම් කෙනෙකුව මරණයට පත් කළොත්, එම මියගිය තැනැත්තා වෙනුවෙන් තමන්ගේම ජීවිතයෙන් වන්දි ගෙවන්න ඔහුට සිදු වුණා. (නික්මයාම 21:24, NW; ගණන් කථාව 35:21) එමගින් දිව්‍ය යුක්තියේ තුලාව සමබර වුණා.—නික්මයාම 21:30 සසඳන්න.
6. (අ) ආදම් මිනිමරුවෙක් කියා කිව හැක්කේ කුමන අර්ථයෙන්ද? (ආ) ආදම් අහිමි කරගත්තේ මොන වගේ ජීවිතයක්ද? එමෙන්ම යුක්තියේ තුලාව සමබර කිරීමට අවශ්‍ය වන්නේ කුමනාකාරයේ පූජාවක්ද?
6 ආදම් පව් කළ විට, ඔහු මිනිමරුවෙක් බවට පත් වුණා. කුමන අර්ථයෙන්ද? ඔහුගේ පව්කාර තත්වය උරුම කර දී, එමගින් ඔහුගෙන් පැවතෙන සියල්ලන්ටම මරණය අත් කර දීම මගිනුයි. එම මොහොතේ සිටම අපේ ශරීර පිරිහෙමින් අඛණ්ඩව මරණය දක්වා ගමන් කරන්නේ ආදම්ගේ අකීකරු වීම නිසයි. (ගීතාවලිය 90:10) ආදම්ගේ පාපයෙන් මීටත් වඩා බරපතළ දෙයක් අඟවනවා. ආදම්ටත් ඔහුගේ පැවතෙන්නන්ටත් අහිමි වුණේ අවුරුදු 70ක් හෝ 80ක් පමණ ජීවත් වන සාමාන්‍ය ජීවිතයක් නොවන බව මතක තබාගන්න. ඔහුට පරිපූර්ණ ජීවිතයක් අහිමි වුණා. ඇත්තෙන්ම එය සදාකාලික ජීවිතයක්. එමනිසා, ‘ජීවිතයට ජීවිතයක් දිය යුතු’ නම්, මේ කාරණයේදී යුක්තිය ඉෂ්ට කිරීම සඳහා මොන වගේ ජීවිතයක්ද දිය යුතුව තිබුණේ? තර්කානුකූලව, එය පරිපූර්ණ මනුෂ්‍ය ජීවිතයක් විය යුතුයි. එනම් ආදම්ට මෙන් පරිපූර්ණ දරුවන්ව බිහි කිරීමට හැකියාවක් තිබූ ජීවිතයක්. පරිපූර්ණ මනුෂ්‍ය ජීවිතයක් පුජාවක් ලෙස ඔප්පු කළා නම්, යුක්තියේ තුලාව සමබර වෙනවා පමණක් නොව, පාපය සහ එහි ප්‍රතිඵලය වන මරණය සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට හැකියාවක් ලැබෙනවා.
පාපයේ වන්දිය ගෙවීම
7. “මිදීමේ මිලය” යන වචනයේ අදහස විස්තර කරන්න.
7 අපව පාපයෙන් මුදාගැනීමට අවශ්‍ය වන මුදල “මිදීමේ මිලය” ලෙස බයිබලයේ හඳුන්වනවා. (ගීතාවලිය 49:8) ඉංග්‍රීසියෙන් එම යෙදුම, පැහැරගෙන යන්නෙක්, තමා පැහැරගෙන ගිය කෙනාව නැවත භාර දීම සඳහා ඉල්ලා සිටින මුදලකට යොමු දක්වන්න පුළුවන්. යෙහෝවා සපයා දුන් මිදීමේ මිලයට කිසිම ආකාරයක පැහැරගෙන යෑමක් සම්බන්ධ නොවන බව ඇත්තයි. එහෙත් මුදලක් ගෙවීමේ ප්‍රතිපත්තිය එලෙසම පවතිනවා. ඇත්තෙන්ම “මිදීමේ මිලය” ලෙස පරිවර්තනය කර තිබෙන හෙබ්‍රෙව් වචනයේ ක්රියාපදයෙන් පදගතාර්ථයෙන්ම “ගෙවීමක්” අදහස් කරනවා. පාපයට වන්දිය ගෙවීමට නම්, මිදීමේ මිලයෙන් ගෙවිය යුතු දෙය, ආදම්ගේ පරිපූර්ණ මනුෂ්‍ය ජීවිතයට සම්පූර්ණයෙන්ම සමාන විය යුතුයි.
8. (අ) නැවත මිල දී ගැනීමේ නියමය විස්තර කරන්න. (ආ) නැවත මිල දී ගැනීමේ නියමය පව්කාරයන් වන අපට සම්බන්ධ වන්නේ කොහොමද?
8 මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ තිබෙන නියමයකට, එනම් නැවත මිල දී ගැනීමේ නියමයට මෙය එකඟයි. ඉශ්‍රායෙලිතයෙක් දුගීභාවයට පත් වී අන්‍ය ජාතිකයෙකුට තමාව වහල්භාවය සඳහා වික්කොත්, ඔහුගේ ඥාතියෙකුට වහලාගේ වටිනාකමට සමානව සැලකූ මුදලක් ගෙවීමෙන් ඔහුව නැවත මිල දී ගන්න (හෝ මිදීමේ මිලයක් ගෙවන්න) පුළුවන්. (ලෙවී කථාව 25:47-49) අප අසම්පූර්ණ මනුෂ්‍යයන් වශයෙන් “පාපයේ වහල්භාවයේ” සිටින බව බයිබලය පවසනවා. (රෝම 6:6, NW; 7:14, 25) අපව නැවත මිල දී ගන්න අවශ්‍ය වන්නේ කුමක්ද? අප සාකච්ඡා කර තිබෙන ආකාරයට, අහිමි වූ පරිපූර්ණ මනුෂ්‍ය ජීවිතයක් සඳහා, ඊට කිසිත් අඩුත් නැති, වැඩිත් නැති, පරිපූර්ණ මනුෂ්‍ය ජීවිතයක් ගෙවීමට අවශ්‍ය වෙනවා.
9. යෙහෝවා පාපය ඉවත් කිරීම සඳහා, සැපයුම ඇති කර තිබෙන්නේ කෙසේද?
9 මනුෂ්‍යයන් වන අප ඉපදෙන්නේ අසම්පූර්ණවයි කියන දේ අප හොඳින් දන්නා කාරණයක්. අප කිසිවෙක් ආදම්ට සමාන නැති නිසා, යුක්තිය ඉටු කිරීම සඳහා අවශ්‍ය මිදීමේ මිලය ගෙවීමට අපට බැහැ. කලින් සඳහන් කළ ආකාරයට, එය හරියට අප මාරාන්තික අසනීපයක් සුව කරගැනීමට අවශ්‍ය වන ශල්‍යකර්මය සඳහා යන වියදම දැරිය නොහැකි තත්වයක සිටිනවා හා සමානයි. එවැනි තත්වයකදී, යම් කෙනෙක් අප වෙනුවෙන් මැදිහත් වී එම මුදල ගෙව්වොත් අප කෘතඥපූර්වක වන්නේ නැද්ද? යෙහෝවා කර තිබෙන්නෙත් මෙයම තමයි! ඔහු අපව සදහටම පාපයෙන් මුදාගැනීම සඳහා සැපයුමක් ඇති කර තිබෙනවා. ඔව්, අපට කවදාවත් තනියම දැරිය නොහැකි මුදලක් දීමට ඔහු කැමැත්තෙන් සිටිනවා. ඒත් ඒ කොහොමද? පාවුල් මෙසේ ලිව්වා: ‘දෙවිගේ දීමනාව නම්, අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් තුළ සදාකාල ජීවනයය.’ (රෝම 6:23) යොහන් යේසුව, ‘ලෝකයේ පාපය දුරු කරන දෙවිගේ බැටළු පැටවා’ ලෙස විස්තර කළා. (යොහන් 1:29) යෙහෝවා තම ප්‍රේමනීය පුත්‍රයාව මිදීමේ මිලය ගෙවීම සඳහා යොදාගත්තේ කෙසේද කියා අපි බලමු.
“අනුරූප මිදීමේ මිලයක්”
10. ‘වංශයක්’ පිළිබඳව වූ අනාවැකි යෝසෙප් සහ මරියා වෙත යොමු වූයේ කෙසේද?
10 ඒදන් උයනේ කැරලිගැසීම සිදු වූ විට, මනුෂ්‍යවර්ගයාව පාපයෙන් මුදන ‘වංශයක්’ නැතහොත් පැවතෙන්නෙක්ව බිහි කිරීමට වූ ඔහුගේ අරමුණ ගැන යෙහෝවා ඒ මොහොතේදීම දැනුම් දුන්නා. (උත්පත්ති 3:15) දිව්‍ය එළිදරව් කිරීම් මාලාවක් තුළින්, යෙහෝවා මෙම වංශය පැමිණෙන්න යන පෙළපත හඳුන්වා දුන්නා. කල් යත්ම මෙම එළිදරව් කිරීම්, පලස්තීනයේ ජීවත් වූ විවාහ ගිවිසගෙන සිටි යෝසෙප් සහ මරියා වෙත යොමු වුණා. මරියා ශුද්ධාත්මය තුළින් ගැබ්ගෙන ඇති බව සිහිනයකින් යෝසෙප්ට දැනුම් දුන්නා. දේවදූතයා මෙසේ පැවසුවා: ‘ඇය පුත්‍රයෙකු බිහි කරන්නීය; ඔහුට යේසුස් යන නාමය තබන්න; මක්නිසාද තමන්ගේ සෙනඟ ඔවුන්ගේ පාපවලින් ගළවන්නේ ඔහුය.’—මතෙව් 1:20, 21.
11. (අ) යෙහෝවා තම පුත්‍රයාව පරිපූර්ණ මනුෂ්‍යයෙකු හැටියට බිහි කිරීම සඳහා සැලසුම් කළේ කොහොමද? (ආ) යේසුට “අනුරූප මිදීමේ මිලයක්” සැපයීමට හැකි වූයේ මන්ද?
11 මෙය කිසිසේත් සාමාන්‍ය ගැබ්ගැනීමක් වූයේ නැහැ. මන්දයත් යේසුට මනුෂ්‍ය පැවැත්මට පෙර පැවැත්මක් ස්වර්ගයේ තිබුණු නිසයි. (හිතෝපදේශ 8:22-31; කොලොස්සි 1:15) ඔහුගේ ජීවිතය යෙහෝවාගේ ප්රාතිහාර්යමය බලය තුළින් මරියාගේ ගර්භාශයට මාරු කර තිබූ නිසා, දෙවිගේ මෙම ප්‍රේමනීය පුත්‍රයාට මනුෂ්‍යයෙකු ලෙස ඉපදීමට හැකියාව ලැබුණා. (යොහන් 1:1-3, 14; පිලිප්පි 2:6, 7) යෙහෝවා දේවල් හැසිරෙව්වේ යේසු ආදම්ගේ පාපයෙන් කැළැල් නොවන ලෙසයි. ඒ හේතුවෙන් යේසු ඉපදුණේ පාප රහිතවයි. එමනිසා ආදම්ට අහිමි වී තිබුණු දේ වන, පරිපූර්ණ මනුෂ්‍ය ජීවිතය ඔහු සතුව තිබුණා. පාපයේ වන්දිය ගෙවීමට හැකි වූ මනුෂ්‍යයෙක් අවසානයේදී හමු වුණා! ඒ වගේම, පොදු යුගයේ 33, නීසාන් 14වනදා යේසු කළ දෙයින් එය මනාව පැහැදිලි වෙනවා. එම ඓතිහාසික දිනයේදී, විරුද්ධවාදීන්ට තමාව මරණයට පත් කරලීමට ඉඩහැරීමෙන් යේසු “අනුරූප මිදීමේ මිලයක්” සැපයෙව්වා.—1 තිමෝති 2:6, NW.
පරිපූර්ණ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම
12. (අ) යේසුගේ මරණය සහ ආදම්ගේ මරණය අතර තිබෙන වැදගත් වෙනස විස්තර කරන්න. (ආ) යේසු කීකරු මනුෂ්‍යයන්ගේ “සදාතනික පියා” බවට පත් වී තිබෙන්නේ කෙසේද?
12 යේසුගේ මරණය සහ ආදම්ගේ මරණය අතර වෙනසක් තිබෙනවා. එම වෙනස තුළින් මිදීමේ මිලයේ වටිනාකම අවධාරණය කෙරෙනවා. ආදම් කැමැත්තෙන්ම තම මැවුම්කරුට අකීකරු වූ නිසා, ඔහු මරණය ලැබීමට සුදුසුව හිටියා. (උත්පත්ති 2:16, 17) ඊට වෙනස්ව යේසුගේ මරණය, ‘ඔහු කිසි පාපයක් නොකළ’ නිසා කොහෙත්ම ලබන්න වටිනා දෙයක් වුණේ නැහැ. (1 පේතෘස් 2:22) එමනිසා යේසු මියගිය විට, පව්කාරයා වන ආදම් මියගිය අවස්ථාවේදී ඔහුට නොතිබූ, මහත් වටිනාකමකින් යුත් යමක් තිබුණා. එනම් පරිපූර්ණ මනුෂ්‍යයෙකු ලෙස ජීවිතය ගත කිරීමට අයිතියක් ඔහුට තිබුණා. එමනිසා යේසු මරණයට යටත් වුණේ අතිවිශාල පරිත්‍යාගයක් කරමින්. ඔහු ආත්ම විෂයේ පුද්ගලයෙක් ලෙස ස්වර්ගයට නැඟුණු විට තම පූජාවේ වටිනාකම යෙහෝවාට ඉදිරිපත් කළා. (හෙබ්‍රෙව් 9:24) එසේ කිරීම තුළින්, යේසු පව්කාර මනුෂ්‍යයන්ව මිලයට ගෙන ආදම් වෙනුවට ඔවුන්ගේ නව පියා බවට පත් වුණා. (1 කොරින්ති 15:45) හොඳ හේතු ඇතුව, යේසුව “සදාතනික පියා” ලෙස හඳුන්වනු ලබනවා. (යෙසායා 9:6, NW) මෙයින් අදහස් කරන්නේ කුමක්ද කියා සිතා බලන්න! පාපතර පියා වන ආදම් ඔහුගෙන් පැවතෙන සියල්ලන්ටම මරණය උරුම කර දුන්නා. නමුත් පරිපූර්ණ පියෙක් වන යේසු, කීකරු මනුෂ්‍යයන්ට සදාතනික ජීවිතය පිරිනැමීම සඳහා තම පූජාවේ වටිනාකම යොදාගන්නවා.
13. (අ) ආදම් නිසා ඇති වුණ ණය යේසු ගෙවා දැම්මේ කෙසේද කියා නිදර්ශනය කරන්න. (ආ) යේසුගේ පූජාව මගින් අපේ පළමු දෙමාපියන්ගේ පාපය ඉවත් නොකරන්නේ ඇයි?
13 ඒත් නිකම්ම එක් මනුෂ්‍යයෙක්ගේ මරණය තුළින් බොහෝදෙනෙකුගේ පව් පහ කරන්න පුළුවන් කොහොමද? (මතෙව් 20:28) අවුරුදු කීපයකට ඉහත පළ වූ ලිපියක මිදීමේ මිලය අප මෙයාකාරයෙන් නිදර්ශනය කළා: ‘සේවකයන් සිය ගණනක් වැඩ කරන විශාල කර්මාන්ත ශාලාවක් ගැන කල්පනා කරන්න. කර්මාන්ත ශාලාවේ වංක කළමනාකරුවෙක් ව්‍යාපාරය බංකොලොත් කරයි; මෙනිසා කර්මාන්ත ශාලාව වසා දමන්න සිදු වෙයි. එමගින් සිය ගණනකට තම රැකියා අහිමි වීම නිසා තම බිල්පත් ගෙවාගැනීමට නොහැකිව ළත වෙයි; ඔවුන්ගේ විවාහක සහකරුවන්, දරුවන් සහ ණය හිමියන් යන සියල්ලෝම එක් මිනිසෙකුගේ දූෂණය නිසා දුක් විඳියි! දැන් එක් පරිත්‍යාගශීලී ධනවතෙක් සමාගමේ ණය ගෙවා කර්මාන්ත ශාලාව යළි විවෘත කරන්න ඉදිරිපත් වෙයි. මෙබැවින්, ඒ එක් ණයක් අවලංගු කිරීම කරණකොටගෙන පිළිවෙළින්, සේවකයන් බොහෝදෙනෙකුහට, ඔවුන්ගේ පවුල්වලට මෙන්ම ණය හිමියන්ට පූර්ණ සහනයක් ගෙන දෙයි. නමුත් පළමු කළමනාකරුට මෙම සඵලත්වයෙන් ප්‍රයෝජන ලැබෙයිද? නැහැ, ඔහු සිර ගෙදර සිටී, ඔහුව රැකියාවෙන් සම්පූර්ණයෙන්ම නෙරපනවා! මේ හා සමානව, ආදම්ගේ එක් ණයක් අවලංගු කිරීම තුළින් ඔහුගෙන් පැවතෙන්නන් මිලියන සංඛ්‍යාවකට ලාභ ප්‍රයෝජන අත් කර දෙයි—නමුත් ආදම්ට නම් නොවෙයි.’
14, 15. ආදම් සහ ඒව කැමැත්තෙන්ම පව් කළ අය කියා පැවසිය හැක්කේ ඇයි? එහෙත් අපගේ තත්වය ඔවුන්ට වඩා වෙනස් වන්නේ කොහොමද?
14 මෙය යුක්තිසහගතයි. ආදම් සහ ඒව කැමැත්තෙන්ම පව් කළ අය බව මතක තබාගන්න. ඔවුන් දෙවිට අකීකරු වීමට තෝරාගත්තා. ඊට වෙනස්ව අප ඉපදෙන්නේ පව්කාර තත්වය ඇතුවයි. අපට කිසිම තේරීමක් නැහැ. අප කොයි තරම් වෙර දැරුවත්, අපට සම්පූර්ණයෙන්ම පව් කිරීමෙන් වළකින්න බැහැ. (1 යොහන් 1:8) සමහර අවස්ථාවලදී අපට මෙසේ ලියූ පාවුල් මෙන් හැඟිය හැකියි: “එබැවින් යහපත කරන්ට කැමතිවූ මා හට නපුර තිබීම යන ව්‍යවස්ථාව ඇති බව මට පෙනේ. මක්නිසාද අභ්‍යන්තර මනුෂ්‍යයාගේ ප්‍රකාරයට මම [දෙවිගේ] ව්‍යවස්ථාවට ප්‍රියවෙමි. නුමුත් මාගේ සිතේ ව්‍යවස්ථාවට විරුද්ධව යුද්ධකරන්නාවූ, මාගේ අවයව තුළ තිබෙන පාපයාගේ ව්‍යවස්ථාව යටතෙහි මා වහල්කමට පමුණුවන්නාවූ අන්‍ය ව්‍යවස්ථාවක් මාගේ අවයව තුළ තිබෙන බව මට පෙනේ. අනේ, මම කාලකණ්ණි මනුෂ්‍යයෙක්ය!”—රෝම 7:21-24.
15 නමුත් මිදීමේ මිලය නිසා අපට බලාපොරොත්තුවක් තිබෙනවා! දෙවි පොරොන්දු වූ ආකාරයට ‘පොළොවේ සියලු ජාතීන් ආශීර්වාද ලබන්න’ යන වංශය වන්නේ යේසුයි. (උත්පත්ති 22:18; රෝම 8:20, 21ආ) යේසුගේ පූජාව, ඔහු කෙරෙහි ඇදහිල්ල තබන අය සඳහා පුදුමාකාර ආශීර්වාද රැසකට දොරටුව විවර කරනවා. මේවායින් සමහරක් අපි දැන් සලකා බලමු.
ක්‍රිස්තුස්ගේ මිදීමේ මිලයෙන් ප්‍රයෝජන ලබාගැනීම
16. අපගේ පව්කාර තත්වය තිබියදීත්, යේසුගේ මිදීමේ මිලය නිසා අපට දැන් භුක්ති විඳිය හැක්කේ කුමන ප්‍රයෝජනද?
16 බයිබල් ලේඛක යාකොබ් ‘බොහෝ වර අපි සියල්ලන්ම පැකිලෙන’ බව පිළිගන්නවා. (යාකොබ් 3:2) කොහොමවුණත් ක්‍රිස්තුස්ගේ මිදීමේ මිලය නිසා, අපගේ පව්වලට සමාව ලැබිය හැකියි. යොහන් මෙසේ ලිව්වා: ‘යමෙක් පව් කළොත් ධර්මිෂ්ඨ වූ යේසුස් ක්‍රිස්තුස් වන මැදහත්කාරයෙක් පියාණන් වෙත අපට සිටින්නේය. ඔහු අපේ පව් උදෙසා ශාන්තිකර පූජාවය.’ (1 යොහන් 2:1, 2) ඒ වුණත් අප පාපය සැහැල්ලුවට නොගත යුතුයි. (යූද් 4; සසඳන්න 1 කොරින්ති 9:27.) ඇත්තෙන්ම, අප වරදක් කළොත්, ඔහු ‘කමාව දීමට සූදානම්ව’ සිටිනවාය යන නිසැකභාවයෙන් යුතුව අපගේ හෘද යෙහෝවාට වගුරුවන්න හැකියි. (ගීතාවලිය 86:5; 130:3, 4; යෙසායා 1:18; 55:7; ක්‍රියා 3:19, 20) එනිසා මිදීමේ මිලය අපට පිරිසිදු හෘද සාක්ෂියකින් යුතුව දෙවිට සේවය කරන්න හැකි කරවන අතරම, යේසුස් ක්‍රිස්තුස්ගේ නාමය කරණකොටගෙන යාච්ඤාව තුළින් ඔහු වෙතට ළඟාවීමටද අපට හැකි කරවනවා.—යොහන් 14:13, 14; හෙබ්‍රෙව් 9:14.
17. මිදීමේ මිලය නිසා කුමන අනාගතික ප්‍රයෝජන ලැබිය හැකිද?
17 කීකරු මනුෂ්‍යයන් පාරාදීස පොළොවක් මත සදහටම ජීවත් වීමට වූ දෙවිගේ අරමුණ ඉටු කිරීම සඳහා ක්‍රිස්තුස්ගේ මිදීමේ මිලය, මං විවර කරනවා. (ගීතාවලිය 37:29) පාවුල් මෙසේ ලිව්වා: ‘දෙවිගේ පොරොන්දු කොපමණ වුණත් ඔහු [යේසුස්] තුළ එසේය කියා වේ.’ (2 කොරින්ති 1:20) ‘මරණය රජකම් කර’ ඇති බව ඇත්තයි. (රෝම 5:17) නමුත් ‘අන්තිම සතුරාව’ සහමුලින්ම නැති කර දමන්න මිදීමේ මිලය දෙවිට පදනමක් සපයා දෙනවා. (1 කොරින්ති 15:26; එළිදරව් 21:4) යේසුගේ මිදීමේ මිලය, මියගොස් සිටින අයට පවා ප්‍රයෝජනවත් විය හැකියි. යේසු මෙසේ පැවසුවා: ‘සොහොන්ගෙවල්හි සිටින සියල්ලන් ඔහුගේ [යේසුගේ] හඬ ඇසෙන පැය පැමිණ පිටත්ව එන්නෝය.’—යොහන් 5:28, 29; 1 කොරින්ති 15:20-22.
18. පාපය මනුෂ්‍යයන් මත ඇති කර තිබෙන්නේ මොන වගේ දුක්ඛිත බලපෑම්ද? එමෙන්ම මෙය දෙවිගේ නව ලොවේදී නැති කරනු ලබන්නේ කෙසේද?
18 අද අපව පීඩාවට පත් කරන කාන්සාවන්ගෙන් නිදහස්ව, දෙවි මුලින්ම අදහස් කළ විදියේ ජීවිතයක් භුක්ති විඳීම මොනතරම් සතුටක් වේවිද කියා සිතන්න! පාපය, දෙවි සමඟ තිබෙන සම්බන්ධතාවට හානි පමුණුවා තිබෙනවා පමණක් නොවෙයි, නමුත් අපගේම මනසට, හෘදයට සහ ශරීරයටත් එය බලපා තිබෙනවා. කොහොමවුණත්, දෙවිගේ නව ලොව තුළදී ‘තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන’ බව බයිබලයේ පොරොන්දු වෙනවා. ඔව්, ශාරීරික සහ චිත්තවේගීය අසනීප තවදුරටත් මනුෂ්‍යවර්ගයාට හිරිහැර කරන්න යන්නේ නැහැ. ඒ ඇයි? යෙසායා මෙලෙස පිළිතුරු දෙනවා: “එහි වාසයකරන සෙනගගේ අයුතුකම කමාකරනු ලබන්නේය.”—යෙසායා 33:24.
මිදීමේ මිලය—ප්‍රේමයේ ප්‍රකාශයක්
19. අප පෞද්ගලිකව ක්‍රිස්තුස්ගේ මිදීමේ මිලයට ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද?
19 තම ප්‍රේමනීය පුත්‍රයාව එවීමට ප්‍රේමය යෙහෝවාව පෙලඹෙව්වා. (රෝම 5:8; 1 යොහන් 4:9) එහි ප්‍රතිඵලයක් හැටියට ‘සියල්ලන් උදෙසා මරණය විඳින්න’ ප්‍රේමය යේසුව පෙලඹෙව්වා. (හෙබ්‍රෙව් 2:9; යොහන් 15:13) ඒ නිසා හොඳ හේතු ඇතුව පාවුල් මෙසේ ලිව්වා: ‘ක්‍රිස්තුස්ගේ ප්‍රේමය අප කෙරෙහි බලපවත්වන්නේය; . . . ඔහු සියල්ලන් වෙනුවට මැරුණේ, ජීවත්වන්නන් තවත් තමුන් උදෙසා ජීවත් නොවී, ඔවුන් වෙනුවට මැරී නැවත නැඟුටුණාවූ තැනැත්තා උදෙසා ජීවත් වන පිණිසය.’ (2 කොරින්ති 5:14, 15) යේසු අප වෙනුවෙන් කළ දේ අගය කරනවා නම්, අපි ඊට ප්‍රතිචාරය දක්වන්න යනවා. මන්දයත් අපට මරණයෙන් ගැළවෙන්න හැකි වූයේ මිදීමේ මිලය නිසයි! අපගේ ක්‍රියාවලින්, යේසුගේ පූජාව සාමාන්‍ය වටිනාකමකින් යුත් දෙයක් හැටියට සලකන බව ඇඟවීමට අපට කිසිදු අවශ්‍යතාවක් නැති බව ස්ථිරයි.—හෙබ්‍රෙව් 10:29.
20. අපට යේසුගේ “වචනය” පිළිපැදිය හැකි සමහර මාර්ග මොනවාද?
20 අපට මිදීමේ මිලය සඳහා හෘදයාංගම අගය කිරීමක් පෙන්වන්න පුළුවන් කොහොමද? යේසු තමාව අත්අඩංගුවට ගැනීමට මදකට කලින් මෙසේ සඳහන් කළා: “යමෙක් මට ප්‍රේමකරන්නේ නම් ඔහු මාගේ වචනය රක්ෂාකරන්නේය.” (යොහන් 14:23) යේසුගේ ‘වචනයට’ අප ජ්වලිතව ඉෂ්ට කළ යුතු මෙම මෙහෙය ඇතුළත් වෙනවා: ‘එබැවින් නුඹලා ගොස් සියලු ජාතීන් ගෝලයන් කරන්න, . . . ඔවුන්ව බව්තීස්මය කරන්න.’ (මතෙව් 28:19) අපේ ආත්මික සහෝදරයන්ට ප්‍රේමය පෙන්වීමත්, යේසුට කීකරුකම පෙන්වීමට අයත් වෙනවා.—යොහන් 13:34, 35.
21. අප්‍රේල් 1වනදා පැවැත්වෙන මරණය සිහි කිරීමේ උත්සවයට අප සහභාගි විය යුත්තේ ඇයි?
21 අපට යේසුගේ මිදීමේ මිලය සඳහා අගය කිරීම ප්‍රකාශ කළ හැකි හොඳම ක්‍රමයක් නම්, මේ අවුරුද්දේ අප්‍රේල් 1වනදා පවත්වනු ලබන යේසුගේ මරණය සිහි කිරීමේ උත්සවයට පැමිණීමයි.a මෙයත් යේසුගේ ‘වචනයේ’ කොටසක් වෙනවා. මන්දයත් යේසු මෙම උත්සවය ස්ථාපිත කරද්දී තම අනුගාමිකයන්ට, “මා සිහිකිරීම පිණිස මේක කරන්න” කියා අණ කළා. (ලූක් 22:19) මෙම වඩාත්ම වැදගත් උත්සවයට සහභාගි වීම තුළින් සහ ක්‍රිස්තුස් ආඥා කළ සියල්ලටම අපගේ දැඩි අවධානය දීම තුළින්, ගැළවීම සඳහා දෙවිගේ මඟ වන්නේ යේසුගේ මිදීමේ මිලය බවට වූ අපගේ ස්ථිර විශ්වාසය අප විදහාපෙන්වන්න යනවා. ඇත්තෙන්ම කියනවා නම් ‘වෙන කිසිවෙකු තුළ ගැළවීම නැහැ.’—ක්‍රියා 4:12.
[පාදසටහන]
a මෙම වසරේ අප්‍රේල් 1වනදා, යේසු මියගිය දිනය වන පොදු යුගයේ නීසාන් 14වනදාට අනුරූප වෙනවා. සිහි කිරීමේ උත්සවය පවත්වන ස්ථානය සහ වේලාව ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් දැනගන්න.
ඔබට මතකද?
◻මනුෂ්‍යයන්ට තමන්ගේම පව්කාර තත්වය උදෙසා වන්දි ගෙවන්න බැරි ඇයි?
◻යේසු, “අනුරූප මිදීමේ මිලයක්” වන්නේ කුමන ආකාරයෙන්ද?
◻යේසු, පරිපූර්ණ මනුෂ්‍ය ජීවිතයකට තිබෙන තම අයිතිය අපගේ ප්‍රයෝජනයට යෙදෙව්වේ කෙසේද?
◻ක්‍රිස්තුස්ගේ මිදීමේ මිලය නිසා මනුෂ්‍යවර්ගයාට ලැබෙන්නේ කුමන ආශීර්වාදද?
[15වන පිටුවේ පින්තූරය]
යුක්තියේ තුලාව සමබර කිරීමට හැක්කේ ආදම්ට සමාන පරිපූර්ණ මනුෂ්‍යයෙකුට පමණයි
[16වන පිටුවේ පින්තූරය]
යේසුට පරිපූර්ණ මනුෂ්‍ය ජීවිතයකට අයිතියක් තිබුණු නිසා ඔහු මරණයට යටත් වුණේ අතිවිශාල පරිත්‍යාගයක් කරමිනුයි