නත්තල ක්‍රිස්තුස්ව අයින් කර ඇද්ද?
“නත්තල් සමයේ විනෝද වීම්වලට එකඟ වෙන්න මට කවදාවත් හැකි වෙලා නැහැ. මම ඒවා දැක තිබෙන්නේ යේසුගේ ජීවිතය හා ඉගැන්වීම්වලට සෑහෙන්න ප්‍රතිවිරුද්ධ ඒවා හැටියටයි.”—මොහන්දාස් කේ. ගාන්ධි.
බොහෝදෙනෙක් ගාන්ධිට එකහෙළාම විරුද්ධ වනු ඇත. ‘ක්‍රිස්තියානි නිවාඩුවක් සම්බන්ධයෙන් හින්දු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් මොනවද දන්නේ’ කියා ඔවුන් කල්පනා කළ හැකියි. එහෙත්, නත්තල ලොව පුරා පැතිර, සියලු ආකාර සංස්කෘතිවලට බලපා තිබෙන බව පිළිගත යුතුයි. සෑම දෙසැම්බර් මාසයකදීම, අස්සක් මුල්ලක් නෑර සැමතැනකටම නිවාඩුව පැතිර ඇති බවයි පෙනෙන්න තිබෙන්නේ.
උදාහරණයක් වශයෙන්, ආසියාතිකයන් මිලියන 145ක් පමණ නත්තල පවත්වනවා; මෙය දශකයකට පෙර තිබුණාට වඩා මිලියන 40ක වැඩිවීමක්. “විනෝද වීම්” කියා පවසද්දී ගාන්ධි අදහස් කළේ අදදින නත්තලේ ලෞකික පැත්ත, එනම් අප සියල්ලන්ටම දකින්න තිබෙන වියරු වැටුණු ආකාරයට බඩු මිල දී ගැනීම නම්, උත්සවයේ මේ අංගය බොහෝවිට බෙහෙවින්ම කැපීපෙනෙන්න තිබෙන බව ප්‍රතික්ෂේප කිරීම අපහසුයි. ඒෂියාවීක් සඟරාව මෙසේ දකිනවා: “හොංකොංවල උත්සවාකාරයෙන් දැල්වෙන ආලෝකවල සිට බේජිංහි හෝටල්වල දක්නට තිබෙන විශාල නත්තල් ගස් හා සිංගප්පූරුවේ ව්‍යාපාරික කලාපයේ ගවලෙනක් දක්වා දිවෙන ආසියාවේ නත්තල, හුඟාක් දුරට ලෞකික (ප්‍රධාන වශයෙන් වෙළඳාම සඳහා) උත්සවයක්.”
නත්තලේ නවීන දින සැමරීම්වලදී ක්‍රිස්තුස්ව අමතක වී ඇද්ද? සාමාන්‍යයෙන්, රෝමානු කතෝලික සභාව යේසුගේ උපතේ ආගමික සැමරීම සඳහා දෙසැම්බර් 25වනදා වෙන් කළ දා පටන්, එනම් පො.යු. හතරවන සියවසේ පටන් එම දිනය සමරා තිබෙනවා. නමුත් එක්සත් ජනපදයෙහි මෑතකදී සිදු කළ ජනමත විමසුමකට අනුව, නත්තලේ වඩාත් වැදගත්ම අංගය ක්‍රිස්තුස්ගේ උපත බව හැඟුණේ ජනමත විමසුමට සහභාගි වූවන්ගෙන් සියයට 33කට පමණයි.
ඔබ සිතන්නේ කුමක්ද? නිතර නිතර කෙරෙන වෙළඳ දැන්වීම්, තෑගි මිල දී ගැනීමේ කරදරය, ගස් සැරසීම, සාදයන් සංවිධානය කිරීම හා සහභාගි වීම, නත්තල් සුබපැතුම් පත් යැවීම යන සියල්ල සලකා බලද්දී, කොහොමනමුත් යේසුව පින්තූරයෙන් අයින් කර ඇති බවක් සමහරවිට ඔබට හැඟෙනවාද?
උපතේ දර්ශනයක් නැත්නම් ගවලෙනක දර්ශනයක් සාදා තිබීම, ක්‍රිස්තුස්ව නත්තලට යළිත් ඇතුළත් කළ හැකි මාර්ගයක්යයි බොහෝදෙනෙකුට හැඟෙන බව පෙනෙන්න තිබෙනවා. ගවලෙනක යේසු බිළින්දාව වට කරගත් මරියා, යෝසෙප්, ඇතැම් එඬේරුන්, “ප්‍රඥාවන්තයන් තුන්දෙනෙක්” එහෙමත් නැත්නම් “රජතුන් කට්ටුව,” ගවයන් සහ බූරුවන් වැනි සතුන් මෙන්ම බලාසිටින්නන් කීපදෙනෙක්ද නියෝජනය කරන කුඩා රූප ඔබ දැක තිබෙනවා විය හැකියි. නත්තලේ සැබෑ අර්ථය පිළිබඳව ජනයාට සිහි කිරීමට මේ ගවලෙන් උපකාරවත් වන බවට පොදු පිළිගැනීමක් තිබෙනවා. යූ. එස්. කැතලික් පවසන ආකාරයට, “යම් තනි සුවිශේෂයකට දිය හැකි පින්තූරයකට වඩා පුළුල් පින්තූරයක් ගවලෙනකින් දෙනවා; ඒ වුණත් මේ කතාවල ඓතිහාසික නොවන ස්වභාවයත් ඉන් අවධාරණය කෙරෙනවා.”
එහෙත්, බයිබලයේ සුවිශේෂ වාර්තාවල කතා ඓතිහාසික නොවන බව උපත පිළිබඳ දර්ශනයකින් අඟවන්නේ කෙසේද? ඇත්තෙන්ම, චමත්කාරජනක ලෙස නිර්මාණය කර තිබෙන කුඩා රූප ක්‍රිස්තුස්ගේ උපතට ප්‍රබන්ධ කතාවක හෝ සුරංගනා කතාවක හැඟීමක් දෙන බව පිළිගත යුතුයි. මුලින්ම 13වන සියවසේදී පූජකයෙකු විසින් ජනප්‍රිය කළ උපතේ දර්ශනය එක් කාලෙකදී තරමක් චාම් එකක්ව පැවතුණා. අදදින, මේ නිවාඩුවට සම්බන්ධව තිබෙන බොහෝ දේ හා සමානව, උපතේ දර්ශනත් විශාල ව්‍යාපාරයක් බවට පත් වී තිබෙනවා. ඉතාලියේ නේපල්ස්හි කඩසාප්පුවල වසර පුරාම උපතේ දර්ශන හෙවත් ගවලෙන් සඳහා රූප විකුණනවා. පෙනෙන්න තිබෙන වඩාත්ම ප්‍රසිද්ධ රූපවලින් සමහරක් වන්නේ, සුවිශේෂ වාර්තාවල පැමිණෙන චරිත නොව නමුත් ඩයනා කුමරිය, තෙරේසා මව්තුමිය සහ විලාසිතා නිර්මාණකරන්නෙක් වන ජාන්නි ව’සාචේ වැනි නවීන දින කීර්තිමත් පුද්ගලයන්ගේ රූපයි. වෙනත් ස්ථානවල, චොකලට්වලින්, පැස්ටාවලින්, මුහුදු බෙල්ලන්ගෙන් පවා ගවලෙන් සාදා තිබෙනවා. එවැනි ප්‍රදර්ශන කිරීම්වලින් ඉතිහාසය දැකීමට අමාරු මන්දැයි ඔබට තේරුම්ගත හැකියි.
එවැනි උපතේ දර්ශනවලට, “යම් තනි සුවිශේෂයකට දිය හැකි පින්තූරයකට වඩා පුළුල් පින්තූරයක්” දිය හැකි වන්නේ කෙසේද? සුවිශේෂවල තිබෙන වාර්තා ඇත්තෙන්ම ඓතිහාසික ඒවා නොවේද? දැඩි ලෙස සැකකරන්නන්ට පවා යේසු සැබෑ, ඓතිහාසික පුද්ගලයෙක් බව පිළිගන්න සිදු වෙනවා. එහෙමනම් ඔහු යම් කාලෙක සැබෑ ස්ථානයක ඉපදුණ, සැබෑ බිළිඳෙක්ව සිට තිබෙනවා. ඔහුගේ උපත වටා ගෙතී ඇති සිද්ධීන් පිළිබඳ පුළුල් පින්තූරයක් ලබාගැනීමට උපතේ දර්ශනයක් දිහා නිකම් බලනවාට වඩා හොඳ ක්‍රමයක් තියෙන්න ඕනෙ!
ඇත්තෙන්ම, තිබෙනවා. ඉතිහාසඥයන් දෙදෙනෙක් යේසුගේ උපත පිළිබඳව වෙන වෙනම වාර්තා ලියුවා. නත්තල් සමයේදී යේසුව බොහෝ සෙයින් නොසලකා හරිනවා කියා ඔබට හැඟෙනවා නම්, ඔබම මේ වාර්තා සෝදිසි කර නොබලන්නේ මන්ද? ඒවාවල තිබෙන්නේ ප්‍රබන්ධ හෝ මිථ්‍යා කතා නොව නමුත් හද බැඳගන්නා කතාවක්, එනම් යේසුගේ උපත පිළිබඳව සැබෑ කතාව බව ඔබ සොයාගනීවි.
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
3-6, 8 සහ 9 පිටුවල ලියවැල: Fifty Years of Soviet Art