අඹුවැද්ද සාධාරණ එකක් කතිකා කරගැනීම
බයිබල් කාලවල වගේ අදත්, පුරුෂයෙක් ස්ත්‍රියකව විවාහ කරගැනීමට කලින් අඹුවැද්දක් ගෙවීම සමහර සංස්කෘතීන්හි ඕනෑ කරනවා. “ඔබේ බාල දුව වූ රාඛෙල් වෙනුවෙන් අවුරුදු හතක් වැඩ කරන්න මම කැමතියි” කියා යාකොබ් තම අනාගත මාමණ්ඩිය වූ ලාබන්ට කිව්වා. (උත්පත්ති 29:18, NW) යාකොබ්ට රාඛෙල් කෙරෙහි තිබූ ආදරය නිසා ඔහු ඉතා අධික මිලක් පිරිනැමුවා—එය අවුරුදු හතක වැටුපකට සමානයි! ලාබන් ඒ පිරිනැමීම පිළිගත්තත් තම වැඩිමහල් දුවව මුලින්ම විවාහ කර දීමෙන් යාකොබ්ව රැවටුවා. යාකොබ් සමඟ ලාබන් කළ ඉදිරි කටයුතුත් දිගටම කපටි ආකාරයෙන් සිදු කෙරුණා. (උත්පත්ති 31:41) ලාබන් ද්‍රව්‍යමය ලාභ ප්‍රයෝජන කෙරෙහි දැක්වූ මහත් ඇල්ම තම දූවරුන් තමාට දැක්වූ ගෞරවය නැති කරදැමීමට හේතු කෙරෙව්වා. “අප වෙනුවෙන් දුන් මුදලින් පවා දිගටම කමින් බොමින් සිටින පිණිස ඔහු අපව විකුණා තිබෙන නිසා ඇත්තෙන්ම ඔහු අපව සලකන්නේ විදේශිකයන් හැටියට නෙවෙයිද?” කියා ඔවුන් ඇසුවා.—උත්පත්ති 31:15, NW.
මේ ද්‍රව්‍යවාදී ලෝකයේ සිටින බොහෝ දෙමාපියන් ලාබන් මෙන් වීම දුකට කරුණක්. සමහරුන් ඊටත් වඩා නරකයි. එක්තරා අප්‍රිකානු පුවත්පතකට අනුව, “ගිජු පියවරුන් විසින් අසාධාරණ ලාභ ලැබීමේ පරමාර්ථයෙන් පමණක්ම” සමහර විවාහයන් කතිකා කරගෙන තියෙනවා. තවත් සාධකයක් තමයි ආර්ථික පීඩනය; මෙය ආර්ථික අර්බුදය තුනී කරගැනීමේ මඟක් හැටියට තම දූවරුන්ව සැලකීමේ පරීක්ෂාවට සමහර දෙමාපියන්ව වට්ටවා තියෙනවා.a
සමහර දෙමාපියන් තම දූවරුන්ට ඉහළම ඉල්ලුම්කරුවෙක් එන තුරු ඔවුන්ගේ විවාහයන් කල්දමනවා. මෙය බරපතළ ගැටලු ඇති කරන්න පුළුවන්. නැඟෙනහිර අප්‍රිකාවේ සිටින පුවත්පත් වාර්තාකරුවෙක් වාර්තා කළේ මෙහෙමයි: “බේරෙන්නම බැරි තරමට විවාහයේ නෑදෑයන් ඉල්ලා සිටින දෑවැද්දෙන් ගැළවීම සඳහා රහසින් පැනයෑමට තරුණ අය තෝරාගෙන තිබෙනවා.” අධික අඹුවැද්දක් ඉල්ලීම මගින් ඇති කර තිබෙන එක් ගැටලුවක් තමයි ලිංගික දුරාචාරය. තවදුරටත්, සමහර තරුණ පුරුෂයන් බොහොම අමාරුවෙන් භාර්යාවක් මිල දී ගත්තත් පසුව ණයබරින් පෙළෙනවා. දකුණු අප්‍රිකානු සමාජ සේවකයෙක් කියා සිටියේ මෙහෙමයි: “දෙමාපියන් සාධාරණ විය යුතුයි. ඔවුන් අධික මිලක් ඉල්ලන එක වැරදියි. අලුත බැඳපු ජෝඩුව ජීවත් වෙන්න ඕනෙ . . . මේ විදිහට කරල තරුණ පුරුෂයාව බංකොලොත් කරන්නේ ඇයි?”
අඹුවැද්දක් ගෙවීම හෝ ලැබීම ගැන කතිකා කරගැනීමේදී, ක්‍රිස්තියානි දෙමාපියන් සාධාරණකම පිළිබඳ ආදර්ශයක් තබන්නේ කොහොමද? මෙය බැරෑරුම් කාරණාවක්; බයිබලය මෙහෙම ආඥා කරනවා: “ඔබේ සාධාරණකම සියලු මනුෂ්‍යයන්ට දැනගන්න ඉඩ හරින්න.”—පිලිප්පි 4:5, NW.
සාධාරණ බයිබල් ප්‍රතිපත්ති
ක්‍රිස්තියානි දෙමාපියන් විසින් අඹුවැද්දක් ගැන කතිකා කරගන්නවාද නැද්ද කියා නිශ්චය කිරීම පෞද්ගලික තීරණයක්. එසේ කරන්න ඔවුන් තෝරාගත්තොත්, එවැනි කතිකා කරගැනීම් බයිබල් ප්‍රතිපත්තිවලට එකඟ විය යුතුයි. “ඔබේ ජීවිත මාර්ගය මුදලට ප්‍රේම කිරීමෙන් තොරව තිබේවා” කියා දෙවිගේ වචනය කියනවා. (හෙබ්‍රෙව් 13:5, NW) විවාහ කතිකා කරගැනීම්වලදී මේ ප්‍රතිපත්තිය දක්නට නැත්නම්, ක්‍රිස්තියානි දෙමාපියෙක් තමා යහපත් ආදර්ශයක් නොවන බව විදහාපාන්න ඉඩ තියෙනවා. ක්‍රිස්තියානි සභාවේ සිටින වගකීම් දරන පුරුෂයන් “සාධාරණ” මෙන්ම “මුදලට ප්‍රේමකරන්නන්” හෝ “අයුතු ලාභයට ගිජු” නොවූවන්ව සිටිය යුතුයි. (1 තිමෝති 3:3, 8, NW) ක්‍රිස්තියානියෙක් ගිජු ලෙස සහ පසුතැවීමකින් තොරව අධික අඹුවැද්දක් බලෙන් ඉල්ලා සිටිනවා නම් ඔහුව සභා ඇසුරෙන් කපාහැරීමට පවා හැකියි.—1 කොරින්ති 5:11, 13; 6:9, 10.
ගිජුකම හේතුවෙන් ඇති කරවන ගැටලු නිසා, අඹුවැද්ද පාලනය කිරීමට සමහර ආණ්ඩු නීති පනවා තියෙනවා. උදාහරණයක් හැටියට, ටෝගෝ කියන බටහිර අප්‍රිකානු රටේ ක්‍රියාත්මක වන නීතියක් ප්‍රකාශ කරන්නේ, අඹුවැද්දක් “මුදලින් හෝ බඩුබාහිරාදියෙන් හෝ දෙවිදිහෙන්ම හෝ ගෙවිය හැකි” බවයි. “කිසිම අවස්ථාවක ඒ මුදල F CFA 10,000 (රුපියල් 1,240) නොඉක්මවිය යුතුයි” කියා ඒ නීතිය තවදුරටත් ප්‍රකාශ කරනවා. නීති පිළිපදින පුරවැසියන් වෙන්න කියා බයිබලය ක්‍රිස්තියානීන්ට නැවත නැවතත් ආඥා කරනවා. (තීතස් 3:1) ආණ්ඩු එවැනි නීතියක් පැනවූයේ නැතත්, මේ ප්‍රතිපත්තියට කීකරු වෙන්න සැබෑ ක්‍රිස්තියානියෙකුට ඕනෑ කරනවා. එසේ ඔහු දෙවි ඉදිරියේ යහපත් හෘදය සාක්ෂියක් පවත්වාගන්න යන අතර, අනිත් අයට පැකිලීමට හේතුවක් වෙන්න යන්නේ නැහැ.—රෝම 13:1, 5; 1 කොරින්ති 10:32, 33.
කතිකා කරගැනීමේ වගකීම කාගේද?
සමහර සංස්කෘතීන්හි අඹුවැද්ද කතිකා කරගැනීමේ ක්‍රමය තවත් වැදගත් ප්‍රතිපත්තියක් සමඟ ගැටෙන්න ඉඩ තියෙනවා. බයිබලයට අනුව, ගෙවැසියන්ගේ කටයුතු සඳහා වගකීම පැවරෙන්නේ පියාට. (1 කොරින්ති 11:3; කොලොස්සි 3:18, 20) එමනිසා, ක්‍රිස්තියානි සභාවේ වගකීම් දරන අය, ‘තමුන්ගේ දරුවන්ද තමුන්ගේ ගෙදරවාසීන්ද හොඳහැටි හසුරුවාගන්න’ පුරුෂයන් විය යුතුයි.—1 තිමෝති 3:12.
කොහොමවුණත්, වැදගත් විවාහ කතිකා කරගැනීම් සඳහා පවුල් මූලිකයාගේ නෑදෑයන්ට පැවරීම ප්‍රජාවේ සිරිත වෙන්න පුළුවන්. එමෙන්ම මේ නෑදෑයන් අඹුවැද්දෙන් කොටසක් ඉල්ලා සිටින්න පවා ඉඩ තියෙනවා. මෙය ක්‍රිස්තියානි ගෙවැසියන්ට පරීක්ෂණයක් එල්ල කරනවා. චාරිත්‍රවල නාමයෙන් සමහර පවුල් මූලිකයන් අධික අඹුවැද්දක් බලෙන් ඉල්ලා සිටීමට නොඇදහිලිකාර නෑදෑයන්ට ඉඩහැර තියෙනවා. සමහර අවස්ථාවලදී, මෙහි ප්‍රතිඵලයක් හැටියට, නොඇදහිලිකාරයෙකු හා විවාහ වීමට ක්‍රිස්තියානි ගැහැනු ළමුන්ට මඟ පෙන්වා තියෙනවා. මෙය ක්‍රිස්තියානීන් “[ස්වාමීන්] තුළ පමණක්” විවාහ විය යුතුයි කියන අවවාදයට පටහැනියි. (1 කොරින්ති 7:39) තම දරුවන්ගේ ආත්මික ශුභසාධනයට හානි කර ඇති බවට ඔප්පු කර තියෙන තීරණ ගැනීමට නොඇදහිලිකාර නෑදෑයන්ට ඉඩහරින පවුල් මූලිකයෙකුව “තමාගේම පවුල හොඳින් හසුරුවාගනිමින්” සිටින කෙනෙක් කියා සලකන්න බැහැ.—1 තිමෝති 3:4.
දේවභයැති පිතෘමූලික ආබ්‍රහම්ගේ සිද්ධියේදී මෙන් ක්‍රිස්තියානි පියෙක් තම දරුවෙකුගේ විවාහ කතිකා කිරීම්වලට කෙළින්ම හවුල් වෙන්නේ නැත්නම් තත්වය මොකක්ද? (උත්පත්ති 24:2-4) වෙනත් කෙනෙකුව පත් කරනවා නම්, කතිකාකරන්නා බයිබලයේ ඇති සාධාරණ ප්‍රතිපත්තිවලට එකඟව උපදෙස් අනුගමනය කරන බවට ක්‍රිස්තියානි පියා වගබලා ගත යුතුයි. තවදුරටත්, අඹුවැද්ද කතිකා කරගැනීම සඳහා ඕනෑම දෙයක් කිරීමට කලින්, ක්‍රිස්තියානි දෙමාපියන් හේතුසාධක පරෙස්සමින් සලකා බලන්න අවශ්‍යයි; එමෙන්ම අසාධාරණ චාරිත්‍ර සහ ඉල්ලීම් නිසා කලබල වෙන්නත් තමන්ට ඉඩ නොහැරිය යුතුයි.—හිතෝපදේශ 22:3.
ක්‍රිස්තියානි විරෝධී ලක්ෂණ මඟහරින්න
උඩඟුකම සහ “ජීවිතයේ ආටෝපකාරි ප්‍රදර්ශනයක්” කිරීමත් බයිබලය හෙළා දකිනවා. (1 යොහන් 2:16, NW; හිතෝපදේශ 21:4) ඒ වුණත්, ක්‍රිස්තියානි සභාව ඇසුරු කරන සමහර අය තම විවාහ කතිකා කරගැනීම්වලදී මේ ලක්ෂණ විදහාපා තියෙනවා. විශාල අඹුවැද්දක් ගෙවීම හෝ ලැබීම සම්බන්ධයෙන් සමහරු ලෝකයටම කියාපානවා. මෙසේ ඔවුන් ලෝකයේ ක්‍රමය අනුගමනය කරනවා. අනිත් අතට, අප්‍රිකාවේ පිහිටි වොච් ටවර් සමිතියේ එක් ශාඛා කාර්යාලයක් මේ විදිහට වාර්තා කරනවා: “භාර්යාවගේ පැත්තේ නෑදෑයන් තම ඉල්ලීම් සාධාරණ ආකාරයෙන් කළාම, සමහර පුරුෂයන් තමන්ගේ භාර්යාවන්ව ‘එළුවෙකුගේ’ ගානට මිල දී ගත්තායයි පහත් ලෙස සලකමින් ඔවුන්ට අගෞරව කර තිබෙනවා.”
අධික අඹුවැද්දකට ඇති ගිජුකම සමහර ක්‍රිස්තියානීන්ව හසු කරගෙන දුක්ඛිත ඵලවිපාකවලට පමුණුවා තියෙනවා. උදාහරණයක් හැටියට, වොච් ටවර් සමිතියේ තවත් ශාඛා කාර්යාලයකින් ලැබුණු මේ වාර්තාව සලකා බලන්න: “තනිකඩ සහෝදරයන්ට විවාහ වෙන්නත් සහෝදරියන්ට සහකාරයෙක් සොයාගන්නත් සාමාන්‍යයෙන් දුෂ්කරයි. ප්‍රතිඵලය තමයි ලිංගික දුරාචාරය හේතුවෙන් සභා ඇසුරෙන් කපාහරිනු ලබන අයගේ සංඛ්‍යාව වැඩිවීම. සමහර සහෝදරයන් රන් හෝ දියමන්ති සෙවීමට ආකාරවල වැඩට යනවා; එහෙම කරන්නේ ඒවා විකුණා, විවාහ වීමට ඇති තරම් මුදලක් සොයාගැනීමටයි. මේ සඳහා අවුරුද්දක් දෙකක් හෝ ඊට වඩා ගත විය හැකි අතර, ඔවුන් සහෝදරයන්ගෙන් සහ සභා ඇසුරෙන් ඈත්ව සිටීමේ ප්‍රතිඵලයක් හැටියට බොහෝවිට ආත්මිකව දුර්වල වෙනවා.”
එවැනි කනගාටුදායක ප්‍රතිඵල මඟ හරවාගැනීමට ක්‍රිස්තියානි දෙමාපියන් සභාවේ සිටින මේරූ අයගේ ආදර්ශය අනුගමනය කළ යුතුයි. ප්‍රේරිත පාවුල් දෙමාපියෙක් නොවුණත්, සෙසු ඇදහිලිවන්තයන් සමඟ කටයුතු කරද්දී ඔහු සාධාරණ වුණා. කිසිම කෙනෙක් මත අධික බරක් තැබීමෙන් වළකින්න ඔහු වගබලා ගත්තා. (ක්‍රියා 20:33) අඹුවැද්ද ගැන කතිකා කරගැනීම්වලට එළඹෙන්න කලින්, පාවුල්ගේ පරාර්ථකාමී ආදර්ශය ක්‍රිස්තියානි දෙමාපියන් නිසැකවම සලකා බැලිය යුතුයි. ඇත්තවශයෙන්ම, මෙහෙම ලියන්න පාවුල්ට දිව්‍ය ආනුභාවය ලැබුණා: “සහෝදරයෙනි, එක්ව මා අනුව යන්නෝ වෙන්න. ඔබ අප තුළ දකින ආදර්ශයට එකඟව ඇවිදින අය දෙස නොකඩවා නෙත් හෙළා සිටින්න.”—පිලිප්පි 3:17, NW.
සාධාරණකමේ ආදර්ශ
විවාහ කතිකා කරගැනීම් ගැන කතා කරද්දී, බොහෝ ක්‍රිස්තියානි දෙමාපියන් සාධාරණකමේ මහඟු ආදර්ශයක් තබා තියෙනවා. පූර්ණ-කාලීන එවැන්ජලිස්තවරුන් ලෙස සේවය කරන ජෝසෆ් සහ ඔහුගේ භාර්යාව වන මේ ගැන සලකා බලන්න.b අඹුවැද්ද කතිකා කරගැනීම සමහර අවස්ථාවලදී ගැටලුවක් වන සොලොමන් දූපත්වලින් එකකයි ඔවුන් ජීවත් වෙන්නේ. මෙවන් දුෂ්කරතා වළක්වාගැනීමට තම දුව වූ හෙලන්ව අසල්වැසි දූපතකදී විවාහ කර දීමට ජෝසෆ් සහ මේ සැලසුම් කළා. තවත් දුවෙක් වූ එස්තර් සඳහාත් ඔවුන් ඒ දේම කළා. තම බෑනා වූ පීටර්, සාධාරණයි කියා පිළිගන්න මට්ටමටත් වඩා බොහෝ අඩුවෙන් ගෙවූ අඹුවැද්දටත් ජෝසෆ් එකඟ වුණා. එහෙම කළේ ඇයි කියා ඇසුවාම ජෝසෆ් මෙහෙම පැහැදිලි කළා: “පුරෝගාමියෙක් වන මගේ බෑනාට බරක් පටවන්න මට ඕනකමක් තිබුණේ නැහැ.”
අප්‍රිකාවේ සිටින යෙහෝවාගේ සාක්ෂිකාරයන් බොහෝදෙනෙක් සාධාරණකමේ මහඟු ආදර්ශයක් තබා තියෙනවා. සමහර ප්‍රදේශවල, සැබෑ අඹුවැද්ද ගැන කතිකා කරගැනීමට කලින් පවුලේ ළඟම ඥාතීන්ට අත්තිකාරමක් හැටියට මුදල් සම්භාරයක් ගෙවීම, සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙනවා. මනාලියව ලැබෙනවාද නැද්දැයි කියා ස්ථිර කරගැනීම සඳහා යමක් කිරීම අවශ්‍යයි; එනම් තම අනාගත භාර්යාවගේ බාල සහෝදරයෙකුගේ අනාගත අඹුවැද්ද ගෙවන බවට මනමාලයාගේ කැමැත්ත බලාපොරොත්තු වෙන්න ඉඩ තිබීමයි.
ඊට පටහැනිව, කෝසේ සහ මාරා යන අයගේ උදාහරණය බලන්න. ඔවුන්ගේ දුව වූ බෙබෝකෝ මෑතකදී යෙහෝවාගේ සාක්ෂිකාරයන්ගේ සංචාරක අවේක්ෂකයෙක් සමඟ විවාහ වුණා. විවාහයට කලින්, විශාල අඹුවැද්දක තම පංගුව සඳහා නෑදෑයන් ඇගේ දෙමාපියන්ට මහත් පීඩනයක් එල්ල කළා. කොහොමවුණත්, දෙමාපියන් ස්ථිරව, එවැනි ඉල්ලීම්වලට එකඟ නොවී සිටියා. ඒ වෙනුවට, ඔවුන් තම අනාගත බෑනා සමඟ කෙළින්ම කතිකා කරගෙන තම දුව වෙනුවෙන් අවමයක් ඉල්ලා, එයින් පංගුවක් නැවතත් ඔවුන්ගේ විවාහ කටයුතු සඳහා පාවිච්චි කරන්න තරුණ යුවළට දුන්නා.
එම රටේම තවත් උදාහරණයක් තමයි ඉටෝංගෝ නමැති තරුණ සාක්ෂිකාරිය. මුලින්ම, ඇගේ පවුලේ අය සාධාරණ අඹුවැද්දක් ඉල්ලා සිටියා. නමුත් ප්‍රමාණය වැඩි කළ යුතුයි කියා නෑදෑයන් කියා සිටියා. වාතාවරණය තියුණු වුණා; නෑදෑයන්ගේ ඉල්ලීම ඉටු වෙන ලකුණු පෙනුණා. සහජයෙන් බයාදු ගතියක් දැක්වූවත්, සැලසුම් කර තිබූ ආකාරයට තමා සොංසෙ නමැති ජ්වලිත ක්‍රිස්තියානිවරයා සමඟ විවාහ වීමට අධිෂ්ඨාන කරගෙන සිටින බව නැඟිට සිට ගෞරවාන්විත ලෙස ඉටෝංගෝ කියා සිටියා. ඉන්පසු ඇය ධෛර්යවත්ව “ම්බි කෙ” (අදහස් කරන්නේ, “කාරණාව මෙතනින් ඉවරයි” යන්නයි) කියමින් වාඩි වුණා. ඇගේ ක්‍රිස්තියානි මව වූ සම්බෙකෝ ඇයට සහය වුණා. තවදුරටත්, සාකච්ඡා පැවැත්වුණේ නැහැ; මුලින් සැලසුම් කළ ආකාරයට දෙදෙනා විවාහ වුණා.
අඹුවැද්දක පෞද්ගලික වාසිවලට වඩා දේවල් ප්‍රේමනීය ක්‍රිස්තියානි දෙමාපියන්ගේ සැලකිල්ලේ පවතිනවා. කැමරූන්හි සිටින ස්වාමිපුරුෂයෙක් පැහැදිලි කරන්නේ මෙහෙමයි: “අඹුවැද්දක් හැටියට ඇයට දෙන්න ඕන කරන මොනවා හරි දෙයක්, එයාගේ දුවගේ ඕනෑ එපාකම් පිරිමහන්න පාවිච්චි කරන්න කියල කියන්න මගේ නැන්දම්මා ඒ හැම අවස්ථාවක්ම පාවිච්චි කරනවා.” ප්‍රේමනීය දෙමාපියන් තම දරුවන්ගේ ආත්මික ශුභසාධනය ගැනත් සැලකිලිමත් වෙනවා. උදාහරණයක් හැටියට, දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමෙහි වැඩි කාලයක් ගත කරන සිම්බාබ්වේහි සිටින ෆාරයි සහ රූඩෝ ගැන සලකා බලන්න. රැකියාවක් නොකළත්, ඔවුන් ඔවුන්ගේ දූවරුන් දෙදෙනාව සාමාන්‍යයෙන් ඉල්ලන අඹුවැද්දටත් වඩා අඩු ප්‍රමාණයකට විවාහ කර දුන්නා. ඒ සඳහා ඔවුන්ගේ හේතුව තමයි, යෙහෝවාට සැබවින්ම ප්‍රේම කරන පුරුෂයන් සමඟ විවාහ වීමෙන් තම දූවරුන් ප්‍රයෝජන ගැනීම. “වඩා වැදගත් කියල අපි සලකන්නේ අපේ දූවරුන් දෙදෙනාගෙත් අපේ බෑනාවරු දෙදෙනාගෙත් ආත්මිකත්වයයි” කියා ඔවුන් පැහැදිලි කළා. මොනතරම් සහනයක්ද! තම විවාහක දරුවන්ගේ ආත්මික සහ ද්‍රව්‍යමය ශුභසාධනය උදෙසා ප්‍රේමනීය සැලකිල්ල පෙන්වන විවාහයේ නෑදෑයන් මහත් සේ ප්රශංසාකටයුතුයි.
සාධාරණකමේ වාසි
තම දූවරුන්ගේ විවාහයන් ත්‍යාගශීලී ලෙස සහ පරෙස්සම් ආකාරයෙන් හැසිරෙවූ ආකාරය හේතුවෙන් සොලොමන් දූපත්හි ජෝසෆ් සහ මේ ආශීර්වාද ලැබුවා. මේ ආකාරයට, ඔවුන්ගේ බෑනාවරුන්ට ණය බර කරට පැටවුණේ නැහැ. ඒ වෙනුවට, මේ යුවළයන් දෙපළටම රාජ්‍ය පණිවුඩය පැතිරවීමේ පූර්ණ-කාලීන වැඩයේ අවුරුදු ගණනාවක් යෙදෙන්න හැකි වෙලා තියෙනවා. අතීතය ආවර්ජනය කරමින් ජෝසෆ් මෙහෙම කියනවා: “මමත් මගේ පවුලේ අයත් ගත් තීරණ ආශීර්වාද බොහෝමයකට මඟ පෑදුවා. මේ කාරණා තේරුම්ගත්තේ නැති අයගෙන් සමහර අවස්ථාවල ගොඩාක් පීඩන ආ බව නම් ඇත්තයි; ඒත් මගේ දරුවන් යෙහෝවාගේ සේවයේ කාර්ය බහුලව සහ ශක්තිමත්ව ඉන්නවා දකිද්දී මට හොඳ හෘදය සාක්ෂියක් වගේම තෘප්තියක් ලබා දෙනවා. ඔවුනුත් සතුටින්; ඊටත් වඩා මමත් මගේ භාර්යාවත් සතුටින්.”
තවත් වාසියක් වී තියෙන්නේ, විවාහයේ නෑදෑයන් සමඟ හොඳ සම්බන්ධතාවක් පවත්වාගැනීමයි. උදාහරණයක් හැටියට, සිම්බාබ්වේ වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලයේ ස්වේච්ඡා සේවකයන් වන සෝන්ඩායි සහ සිබූසිසෝ එක කුසේ උපන් සහෝදරියන් දෙදෙනෙක් වන තම භාර්යාවන් සමඟ එහි සේවය කරනවා. ඔවුන්ගේ මාමණ්ඩිය වන ඩාකරායි පූර්ණ-කාලීන එවැන්ජලිස්තවරයෙක් වන අතර වැටුප් ලබන්නෙක් නෙවෙයි. අඹුවැද්ද ගැන කතිකා කරගනිද්දී, ඔහු කියා සිටියේ ඔවුන්ට දිය හැකි ඕනෑම දෙයක් තමා පිළිගන්න බවයි. සෝන්ඩායි සහ සිබූසිසෝ මෙහෙම කියනවා: “අපි අපේ මාමාට පණ වගේ ආදරෙයි. ඒ විතරක් නෙවෙයි එයාට මොනවා හරි දෙයක් කරගන්න බැරි වුණොත්, එයාට උදව් කරන්න අපි අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා.”
ඔව්, අඹුවැද්ද ගැන කතිකා කරගැනීම්වලදී සාධාරණ වීම පවුලේ සන්තෝෂයට දායක වෙනවා. උදාහරණයක් හැටියට, අලුත විවාහ වූ අයට තම විවාහ ජීවිතයට හැඩගැසීම මෙය පහසු කරවනවා; මෙසේ ඔවුන් ණය බරින් මිරිකී සිටින්න යන්නේ නැහැ. දේශනා කිරීමේ සහ ගෝලයන් සෑදීමේ හදිසි වැඩයේ පූර්ණ-කාලීනව සේවය කිරීම වැනි ආත්මික ආශීර්වාද ලුහුබඳින්න බොහෝ තරුණ යුවළයන්ට මෙය හැකි කරවා තියෙනවා. ප්‍රතිඵලයක් හැටියට මෙය, විවාහයේ ප්‍රේමනීය ආරම්භකයා වන යෙහෝවා දෙවිට කීර්තිය ගෙනෙනවා.—මතෙව් 24:14; 28:19, 20.
[පාදසටහන්වල]
a සමහර සංස්කෘතීන්හි තත්වය ක්‍රියාත්මක වෙන්නේ අනිත් පැත්තට. පුරුෂයාගේ පැත්තෙන් මනාලියගේ දෙමාපියන්ගෙන් දෑවැද්දක් බලාපොරොත්තු වෙනවා.
b මේ ලිපියේ ආදේශක නම් භාවිත කර තිබේ.
[27වන පිටුවේ කොටුව]
ඔවුන් අඹුවැද්ද නැවත භාර දුන්නා
සමහර ප්‍රජාවන්හි, අඹුවැද්ද අවම එකක් නම් මනාලියවත් ඇගේ දෙමාපියන්වත් පහත් කර සලකනවා. මෙසේ, උඩඟුකම සහ පවුලේ තත්වය ලෝකයට කියාපෑමේ ආශාව හේතුවෙන් අධික මුදලක් කතිකා කරගැනීම සමහර අවස්ථාවල චේතනාව වී තියෙනවා. නයිජීරියාවේ ලාගෝස්හි පවුලක් සහනදායී වෙනසක් පෙන්වනවා. මේ ගැන ඔවුන්ගේ බෑනා වන ඩෙලෙ මෙහෙම පැහැදිලි කරනවා:
“මිල අධික මාරුවෙන් මාරුවට අඳින ඇඳුම් වැනි පාරම්පරික අඹුවැදි මංගල්‍යය සමඟ ඈඳී ඇති බොහෝ වියදම්වලින් මගේ භාර්යාවගේ පවුලේ අය මාව නිදහස් කළා. මගේ පවුලේ අය ඔවුන්ට අඹුවැද්දක් ඉදිරිපත් කළත්, මංගල්‍යයේ මූලිකත්වය ගත් තැනැත්තිය මෙහෙම ඇසුවා: ‘ඔයගොල්ලො මේ ගැහැනු ළමයාව භාරගන්නේ භාර්යාවක් හැටියටද නැත්නම් දුවෙක් හැටියටද?’ මගේ පවුලේ සියලුදෙනාම උත්තර දුන්නේ, ‘අපි භාරගන්නේ දුවෙක් හැටියට’ කියලයි. ඊට පස්සේ, අඹුවැද්ද එහෙම් පිටින්ම අපිට නැවත භාර දුන්නා.
“අද වෙනකම්ම, අපේ විවාහය කර දුන් ආකාරය සම්බන්ධයෙන් මම මගේ විවාහයේ නෑදෑයන්ව අගය කරනවා. ඒක ඔවුන්ව ඉහළින් සලකන්න මාව පෙලඹෙව්වා. ඔවුන් ආත්මික කෝණයකින් දේවල් දිහා බලන විශිෂ්ට ආකාරය, ඔවුන්ව මගේ ඉතා කිට්ටු නෑයන් හැටියට සලකන්න හේතු වෙලා තියෙනවා. ඒක, මම මගේ භාර්යාව දෙස බලන්නේ කොයි ආකාරයෙන්ද කියන එක මතත් පුදුමාකාර බලපෑමක් ඇති කළා. මම ඇය කෙරෙහි ගැඹුරු අගයක් වර්ධනය කරගෙන තියෙන්නේ, ඇගේ පවුලේ අය මට සැලකූ ආකාරය හින්දයි. අපි අතරේ නොඑකඟ වීම් ඇති වුණාම, ඒක ගැටලුවක් වෙන්න මම ඉඩ දෙන්නේ නැහැ. මම ඉක්මනින්ම ඇය හැදී වැඩුණු පවුල මතක් කරගන්නවා; එතකොට නොඑකඟ වීම තුනී වී යනවා.
“මගේ පවුලේ අයත් ඇගේ පවුලේ අයත්, දැඩි මිතුරු බැඳීමකින් ශක්තිමත් වී සිටිනවා. අපේ විවාහයෙන් අවුරුදු දෙකකට පසුවත්, මගේ තාත්තා මගේ භාර්යාවගේ පවුලේ අයට තවමත් තෑගි බෝගත් කෑම් බීම් ආදියත් යවනවා.”