තුඛීකස් විශ්වාසවන්ත හවුල් දාසයෙක්
තුඛීකස් බොහෝ අවස්ථාවලදී ප්‍රේරිත පාවුල් සමඟ සංචාරය කරමින් ඔහුගේ පණිවිඩ රැගෙන යන්නා හැටියට කටයුතු කළා. මුදල් මෙන්ම අවේක්ෂණය හා සම්බන්ධ වගකීම් විශ්වාසයෙන් යුතුව භාර දිය හැකි නියෝජිතයෙකු සේ ඔහු කටයුතු කළා. සියලුම ක්‍රිස්තියානීන් සඳහා අතවශ්‍ය ගුණාංගයක් වන ඔහුගේ විශ්වාසවන්තභාවය ශුද්ධ ලියවිලි කැපීපෙනෙන්න සලස්වන නිසා ඔහු ගැන වැඩි විස්තර දැනගන්න ඔබ කැමති විය හැකියි.
පාවුල් ඔහුව හැඳින්වූයේ ‘ස්වාමීන් තුළ ප්‍රේමවන්ත සහෝදරයාද විශ්වාස සේවකයාද හවුල් දාසයාද’ කියායි. (කොලොස්සි 4:7) ප්‍රේරිතවරයා ඔහුව එසේ සැලකුවේ ඇයි?
යෙරුසලමට සහනාධාර රැගෙන ගිය දූත මෙහෙවර
පොදු යුගයේ 55දී පමණ යුදයේ සිටි ක්‍රිස්තියානීන් අතර ද්‍රව්‍යමය දේවල හිඟයක් ඇති වුණා. යුරෝපයේ සහ සුළු ආසියාවේ පිහිටි සභාවල උපකාරය ඇතුව ඔවුන්ට ආධාර කිරීම සඳහා දේවල් එකතු කිරීමේ වැඩපිළිවෙළක් පාවුල් සංවිධානය කළා. ආසියාවට අයත් දිස්ත්‍රික්කයකින් පැමිණි තුඛීකස් සහනාධාර රැගෙන යෑමේ දූත මෙහෙවර තුළ වැදගත් වැඩකොටසක් ඉටු කළා.
මේ සම්මාදම් හැසිරවිය යුතු ආකාරය ගැන උපදෙස් දීමෙන් පසුව, ලැබුණු දේවල් ඇතුව විශ්වාසවන්ත පුරුෂයන්ව යෙරුසලමට යැවීමට හෝ තමා සමඟ ඔවුන් යෑම ගැන පාවුල් යෝජනා කළා. (1 කොරින්ති 16:1-4) පාවුල් ග්‍රීසියේ සිට යෙරුසලම දක්වා වූ දිගු ගමන යෑමට පිටත් වූ අවස්ථාවේදී පුරුෂයන් කිහිපදෙනෙක්ද ඔහු හා එක් වුණා; පෙනෙන විදිහට තුඛීකස් ඔවුන්ගෙන් එක්කෙනෙක් වෙන්න ඇති. (ක්‍රියා 20:4) සභා කිහිපයකින් ඔවුන්ට භාර දුන් මුදල් රැගෙන යමින් සිටි නිසා විශාල කණ්ඩායමක් යෑම අවශ්‍ය වුණා විය හැකියි. මංපහරන්නන්ගේ තර්ජනවලට ලක් විය හැකි නිසා ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම වැදගත් කරුණක් වුණා විය හැකියි.—2 කොරින්ති 11:26.
අරිස්තාර්කස් හා ත්‍රොපිමස් පාවුල් සමඟ යෙරුසලමට ගිය නිසා, ඇතැම්විට තුඛීකස් හා තවත් අය ඔහු සමඟ ගමන් කරන්න ඇති කියා සමහරු සිතනවා. (ක්‍රියා 21:29; 24:17; 27:1, 2) තුඛීකස් මේ සහනාධාර වැඩසටහනට සම්බන්ධ වූ නිසා, සහනාධාර එකතු කිරීම සැලසුම් කිරීමේදී ග්‍රීසියේ තීතස් සමඟ එක්ව වැඩ කළ “සහෝදරයා” හා “මෙයාකාර දීමනාවක් රැගෙන [පාවුල්ගේ] සංචාරක සහයකයෙක් හැටියට ගමන් කිරීමට සභාව විසින් පත් කරන ලද” තැනැත්තා ලෙස යෝජනා කර තිබෙන කිහිපදෙනා අතර ඔහුත් එක්කෙනෙක් වෙනවා. (2 කොරින්ති 8:18, 19, NW; 12:18) තුඛීකස් ඉටු කළ මුල්ම බලපැවරුම සැලකිය යුතු එකක් වූවා නම් ඔහුගේ දෙවන බලපැවරුමද ඊට වඩා අඩු එකක් නොවෙයි.
රෝමයේ සිට කොලොස්සියට
අවුරුදු පහකට හෝ හයකට පසුව (පො.යු. 60-61), පාවුල් රෝමයේ පළමු සිරගත වීමෙන් නිදහස් වීමට බලා සිටියා. තුඛීකස් තමාගේ නිවසෙන් කිලෝමීටර් සිය ගණනක් දුර ප්‍රදේශයක ඔහු සමඟ සිටියා. මේ අවස්ථාවේදී තුඛීකස් ආපසු ආසියාවට ගමන් කරමින් සිටියා. ඒ ප්‍රදේශයේ පිහිටි සභාවලට ලිපි යැවීමටත් පිලෙමොන්ගේ පලාගිය දාසයා වන ඔනේසිමස්ව නැවත කොලොස්සියට එවීමටත් එමගින් පාවුල්ට හැකි වුණා. තුඛීකස් හා ඔනේසිමස් එකක් එපීසවරුන්ටද, තව එකක් කොලොස්සිවරුන්ටද, තවත් එකක් පිලෙමොන්ටද යනාදි වශයෙන් අඩුම තරමින් ලිපි තුනක්වත් රැගෙන ගියා; ඒවා දැන් බයිබලයේ පිළිගත් ග්රන්ථ සමූහයට අයත් වෙනවා. කොලොස්සියේ සිට කිලෝමීටර් 18ක් ඈතින් පිහිටි නගරයක් වූ ලවොදිකයේ සභාවටද ලිපියක් භාර දුන්නා විය හැකියි.—එපීස 6:21; කොලොස්සි 4:7-9, 16; පිලෙමොන් 10-12.
තුඛීකස් ලියුම් බෙදාහරින්නෙක් විතරක් නොවෙයි. පාවුල් ඔහු ගැන මෙසේ ලියූ නිසා ඔහු විශ්වාසවන්ත පණිවිඩකරුවෙක් හැටියටද කටයුතු කළා: “[ස්වාමීන්] තුළ ප්‍රේමවන්ත සහෝදරයාද විශ්වාස සේවකයාද හවුල් දාසයාද වූ තුඛීකස් මාගේ සියලු කාරණා නුඹලාට දන්වනවා ඇත. ඒ පිණිසම එනම් නුඹලා අපේ කාරණා දැනගන්න පිණිසත්, ඔහු නුඹලාගේ සිත් සනසන පිණිසත් . . . ඔහු නුඹලා ළඟට එවමි.”—කොලොස්සි 4:7-9.
ලිපියක් රැගෙනයන්නා “බොහෝ අවස්ථාවලදී, ලිපිය ලියූ පුද්ගලයා හා එය ලබන්නා අතර ලිඛිත සම්බන්ධතාවකට අමතරව පුද්ගල සම්බන්ධතාවක්ද ඇති කළ අයෙක් වුණා. . . . ලිපි රැගෙන යෑම සඳහා විශ්වාසවන්ත කෙනෙක් අවශ්‍ය වීමට [එක් හේතුවක් වූයේ], ඔහු බොහෝවිට අමතර තොරතුරු රැගෙන යෑමයි. ලිපියක් මගින් යම් තත්වයක් ගැන කෙටියෙන් විස්තර කළ හැකියි; එය බොහෝ අවස්ථාවලදී කර්තෘගේ අදහස්වලින් යුක්ත වුණත්, එහි අඩංගු සියලුම විස්තර ලිපිය ලබන්නාට සවිස්තරව පැහැදිලි කර දීම ලිපිය රැගෙන යන තැනැත්තාගෙන් අපේක්ෂා කෙරෙනවා” කියා විශාරදයෙකු වන ඊ. රැන්ඩොල්ෆ් රිචඩ්ස් පෙන්වා දෙනවා. ඉගැන්වීම් හා සම්බන්ධ කාරණා මෙන්ම හදිසි කාරණා ලිපියක ඇතුළත් විය හැකි වුණත්, වෙනත් දේවල් විශ්වාසවන්ත පණිවිඩකරුවෙකු මගින් වාචිකව ප්‍රකාශ කළා.
පාවුල්ගේ සුව දුක් ගැන එපීසවරුන්ට, කොලොස්සිවරුන්ට හා පිලෙමොන්ට ලියූ ලිපිවල පවසන්නේ තොරතුරු ටිකයි. පෞද්ගලික තොරතුරු සපයන්න, පාවුල් රෝමයේ මුහුණ දෙමින් සිටි තත්වයන් පැහැදිලි කරන්න සහ දිරිගැන්වීම සැපයීම සඳහා සභාවල තත්වයන් හොඳින් වටහාගන්න තුඛීකස්ට සිදු වුණා. මේ ආකාරයේ පණිවිඩ හා වගකීම් පවරනු ලැබුවේ විශ්වාසවන්ත ලෙස ලිපිය යවන්නාව නියෝජනය කළ හැකි වූ තැනැත්තෙකුට පමණයි. තුඛීකස් එවැනි පුද්ගලයෙක්.
දුරස්ථ පැවරුම්වල අවේක්ෂණය කිරීම
රෝමයේ නිවාස අඩස්සියෙන් නිදහස් වීමෙන් පසුව, පාවුල් ක්‍රීතය නම් දිවයිනේ සිටි තීතස් වෙතට අර්තිමස්ව හෝ තුඛීකස්ව යැවීම ගැන කල්පනා කළා. (තීතස් 1:5; 3:12) පාවුල් දෙවන වරට රෝමයේ සිරගතව සිටි කාලයේදී, (ඇතැම්විට පො.යු. 65දී පමණ) ප්‍රේරිතවරයා නැවතත් තුඛීකස්ව එපීසයට යැව්වා; ඇතැම්විට එසේ කළේ තිමෝති කළ වැඩය භාරගැනීම සඳහා විය හැකියි, එවිට පාවුල්ට උපකාර කරන්න තිමෝති නිදහස් වෙනවා.—2 තිමෝති 4:9, 12.
තුඛීකස් ක්රීතයට හා එපීසයට ගියේ මේ කාල සීමාවේදීද යන්න පැහැදිලි නැහැ. කොහොමවුණත්, ප්‍රේරිත පාවුල්ගේ දේවසේවයේ අවසන් වසර කිහිපය දක්වා ඔහු පාවුල්ගේ කිට්ටු ආශ්‍රිතයෙකු ලෙස සිටි බව මෙවැනි යොමු දැක්වීම්වලින් යෝජනා කෙරෙනවා. තිමෝති සහ තීතස් වෙනුවට මොහුව බැරෑරුම් හා ඇතැම්විට දුෂ්කර වන දූත මෙහෙයන්වලට සම්බන්ධ කරගැනීම ගැන පාවුල් කල්පනා කරමින් සිටියා නම්, පෙනෙන විදිහට තුඛීකස් මේරූ ක්‍රිස්තියානි අවේක්ෂකයෙක්ව සිටියා විය හැකියි. (සසඳන්න 1 තිමෝති 1:3; තීතස් 1:10-13.) සංචාරය කිරීම සඳහා හා දුරස්ථ පැවරුම්වලට යොදවාගැනීම ගැන දැක්වූ ඔහුගේ කැමැත්ත නිසා ඔහු පාවුල්ට මෙන්ම මුළු ක්‍රිස්තියානි සභාවටම ප්‍රයෝජනවත් පුද්ගලයෙක් වුණා.
අදදින, ආත්ම පරිත්‍යාගශීලී ක්‍රිස්තියානීන්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රදේශීය සභාවල සිය කැමැත්තෙන්ම දෙවිට සේවය කරනවා, නැතහොත් වෙනත් ස්ථානවල රාජ්‍ය කටයුතු වැඩිවර්ධනය කිරීම සඳහා තමන්වම ඉදිරිපත් කරමින් සිටිනවා. දහස්ගණනක්දෙනා මිෂනාරිවරුන්, සංචාරක අවේක්ෂකයන්, ඉදි කිරීම් ව්‍යාපෘතිවල වැඩ කරන ජාත්‍යන්තර සේවකයන්, වොච් ටවර් සමිතියේ ලෝක මූලස්ථානයේ හෝ එහි ශාඛා කාර්යාලවල සේවය කරන්නන් ලෙස සතුටින් පැවරුම් භාරගෙන තිබෙනවා. තුඛීකස් හා සමානව ඔවුන් කැපීපෙනෙන පුද්ගලයන් නොවෙයි; නමුත් ඔවුන් දෙවිට ප්‍රිය වූ හා ‘ස්වාමීන් තුළ විශ්වාසවන්ත හවුල් දාසයන්’ හැටියට සෙසු ක්‍රිස්තියානීන්ගේ ප්‍රේමයට පාත්‍ර වූ ක්‍රියාශීලී වැඩකරුවන්, එමෙන්ම ‘විශ්වාසවන්ත දේවසේවකයන්.’