කෘතඥපූර්වක වීමේ ආත්මය වගා කරගන්න
නියූ යෝක් ජනපදයේ වෛද්‍යවරයෙක් හදිසි අවස්ථාවකදී මේරිගේ ජීවිතය බේරාගනියි. නමුත් පනස් හැවිරිදි මේරි වෛද්‍යවරයාට ස්තුති කරන්නේවත් නියමිත ගාස්තුව ගෙවන්නේවත් නැහැ. කෘතඥපූර්වක නොවීම පිළිබඳව මොනතරම් පැහැදිලි ලක්ෂණයක්ද!
එක්තරා අවස්ථාවකදී යේසු ගමකට ඇතුල් වෙමින් සිටියදී, භයානක රෝගයක් වන ලාදුරු වැළඳී තිබූ මිනිසුන් දහදෙනෙකුව හමු වුණා. ඔවුන් මහ හඬින් මෙසේ මොරගැසුවා: ‘යේසුනි, ආචාරිනි, අපට කරුණාව දක්වන්න!’ යේසු මෙසේ අණ කළා: “ගොස් පූජකයන්ට පෙනීසිටින්න.” ලාදුරු රෝගීන් ඔහුගේ මඟ පෙන්වීම පිළිගත් අතර, ඔවුන් ගමන් කරමින් සිටියදී තමන්ගේ රෝගය සුව වී තිබෙන බව ඔවුන්ට දැකගන්නත් දැනෙන්නත් පටන්ගත්තා.
සුවය ලැබූ ලාදුරු රෝගීන් නවදෙනෙක් දිගටම යන්න ගියා. නමුත් සමාරියයෙකු වූ අනිත් ලාදුරු රෝගියා යේසුව සොයාගෙන ආපසු ආවා. මේ ලාදුරු රෝගියා දෙවිට ප්‍රශංසා කළ අතර, යේසුව සොයාගැනීමෙන් පසුව, ඔහුගේ පාමුල වැටී ඔහුට ස්තුති කළා. ඊට ප්‍රතිචාරය දක්වමින් යේසු මෙසේ පැවසුවා: “දසදෙනාම පවිත්‍රවුණා නොවේද? නුමුත් [අනිත්, NW] නවදෙනා කොයිද? මේ විදේශිකයා හැර [දෙවිට] ගෞරවකරන්ට වෙන කිසිවෙක් හැරී [ආවේ නැත].”—ලූක් 17:11-19.
‘නමුත් අනිත් නවදෙනා කොයිද?’ යන ප්රශ්නය මගින් වැදගත් පාඩමක් අඟවනු ලබයි: මේරි හා සමානව, මේ ලාදුරු රෝගීන් නවදෙනා තුළත් බරපතළ දුර්වලකමක් තිබුණා; එනම් ඔවුන් කෘතඥතාව පෙන්නුවේ නැහැ. එවැනි කෘතඥපූර්වක නොවීම් අද සෑම තැනකම දකින්න තිබෙනවා. මෙයට හේතුව කුමක්ද?
කෘතඥපූර්වක නොවීමට මූලික හේතුව
කෘතඥපූර්වක නොවීමට මූලික හේතුව ආත්මාර්ථකාමිත්වයයි. අපේ මුල් මිනිස් දෙමාපියන් වන ආදම් සහ ඒව ගැන සලකා බලන්න. යෙහෝවා ඔවුන්ව දිව්‍ය ගුණාංග ඇතුව මවා, අලංකාර උයනක් බඳු නිවසක්, පරිපූර්ණ පරිසරයක් හා අර්ථාන්විත හා තෘප්තිය ගෙන දෙන වැඩ ඇතුළුව ඔවුන්ගේ සන්තෝෂය සඳහා අවශ්‍ය සෑම දෙයක්ම ලබා දුන්නා. (උත්පත්ති 1:26-29; 2:16, 17) ඒ වුණත්, තමන්ගේ ආත්මාර්ථකාමී ආශාවන් ඉටු කරගැනීම සඳහා සාතන්ගේ බලවත් ඉල්ලීම මගින් ඇති කළ පීඩනය යටතේ යුවළක් හැටියට ඔවුන් අකීකරු ලෙස කටයුතු කළ අතර, යෙහෝවාගේ ත්‍යාගශීලිත්වයට නිග්‍රහාත්මක ලෙස ප්‍රතිචාරය දැක්වුවා.—උත්පත්ති 3:1-5; එළිදරව් 12:9.
පුරාණ ඉශ්රායෙලයේ විසූ මිනිසුන් ගැනද සිතා බලන්න; දෙවි තම අසහාය වස්තුව වීමට ඔවුන්ව තෝරාගෙන තිබුණා. පොදු යුගයට පෙර 1513 නීසාන් 14වන රාත්රියේදී ඉශ්රායෙල් දෙමාපියන් මොනතරම් කෘතඥපූර්වක වෙන්න ඇද්ද! සුවිශේෂ වැදගත්කමකින් යුත් එම රාත්රියේදී, දෙවිගේ දූතයා ‘මිසර දේශයෙහි සියලු කුලුඳුලන්ව’ මරණයට පත් කළත්, නිසියාකාරයෙන් සලකුණු කර තිබූ ඉශ්රායෙල්වරුන්ගේ නිවෙස් පසු කරගෙන ගියා. (නික්මයාම 12:12, 21-24, 30) රතු මුහුදේදී ඵාරාවෝගේ හමුදා අතින් ගැළවීම ලැබීමෙන් පසු, කෘතඥතාවෙන් පිරුණු හදවත්වලින් ‘මෝසෙස් සහ ඉශ්රායෙල් පුත්‍රයෝ යෙහෝවාට ගීතිකාවක් ගයන්න පටන්ගත්තා.’—නික්මයාම 14:19-28; 15:1-21.
කෙසේවෙතත්, මිසරයෙන් පිට වී සති කිහිපයක් පමණයි ගත වූයේ, ‘ඉශ්රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව කොඳුරන්ට පටන්ගත්තා.’ ඔවුන් මොනතරම් ඉක්මනින් කෘතඥපූර්වක නොවීමට ගොදුරු වුණාද! ඔවුන් දාසකම් කළ දේශය වූ මිසරයේදී භුක්ති වින්දාවූ “මස් භාජන ළඟ හිඳ සෑහෙන පමණ කෑම” ඔවුන්ට අහිමි වුණා. (නික්මයාම 16:1-3) කෘතඥතාව වගා කරගැනීමට හා විදහාපෙන්වීමට එරෙහිව ආත්මාර්ථකාමිත්වය ක්‍රියාත්මක වන බව පැහැදිලියි.
පව්කාර ආදම්ගෙන් පැවතෙන්නන් නිසා, සියලුම මිනිසුන් ඉපදී සිටින්නේ ආත්මාර්ථකාමිත්වය මුසු වූ මෙන්ම කෘතඥපූර්වක නොවීම කෙරෙහි නැඹුරුවාවක් ඇතුවයි. (රෝම 5:12) ස්තුතිවන්ත නොවීම, මේ ලෝකයේ සිටින මිනිසුන් කෙරෙහි බලපවත්වන ආත්මාර්ථකාමී ආත්මයේ අංගයක්ද වෙනවා. අප හුස්ම ගන්න වායුව මෙන් මේ ආත්මය සෑම තැනකම තිබෙන අතර, එය අපට බලපෑම් කරනවා. (එපීස 2:1, 2) එහෙමනම්, අපි කෘතඥපූර්වක වීමේ නැඹුරුවාවක් වගා කරගත යුතුයි. අපට එය කළ හැක්කේ කෙසේද?
මෙනෙහි කිරීම අත්‍යවශ්‍ය දෙයක්
වෙබ්ස්ට’ස් ත’ඩ් නියූ ඉන්ට’නැෂනල් ඩික්ෂනරි කෘතඥතාව විග්රහ කරන්නේ, “කෘතඥපූර්වක වීම හා සම්බන්ධ තත්වයක්: ප්‍රතිචාරයක් වශයෙන් ප්‍රසාදය පළ කිරීම සඳහා යමෙකුව පොලඹවමින් උපකාර කරන්නා කෙරෙහි ඇති වන උණුසුම් හා මිත්‍රශීලී හැඟීමක්” ලෙසයි. හැඟීමක් යන්ත්‍රයක් වගේ ක්‍රියාත්මක කරන්න හෝ ක්‍රියා විරහිත කරන්න බැහැ; එය පුද්ගලයෙකු තුළින්ම බාහිර පෙලඹවීමකින් තොරව හටගත යුතුයි. කෘතඥතාව හුදෙක් යහපත් ආචාර විධි නැතහොත් යම් සමාජ චාරිත්‍රයක ස්වරූපයකට වඩා වැඩි දෙයක්; එය හටගන්නේ හදවතින්.
හදවතින්ම කෘතඥපූර්වක වීමේ හැඟීමක් ඇති කරගැනීම සඳහා අපට ඉගෙනගත හැක්කේ කෙසේද? සිතුවිලි පිළිබඳව අපේ තෝරාගැනීම ගැන අපට හැඟෙන දේවල් බොහොමයක ලක්ෂණ බයිබලය දක්වනවා. (එපීස 4:22-24) කෘතඥපූර්වක වීමේ හැඟීම අද්දකින්න ඉගෙනගැනීම ආරම්භ වන්නේ, අප ලබන කරුණාව අගය කිරීමකින් යුක්තව මෙනෙහි කිරීම සමඟයි. මීට එකඟව, මානසික-සෞඛ්‍ය ක්ෂේත්රයේ සේවය කරන වෛද්‍ය වේන් ඩබ්. ඩය’ මෙසේ පවසනවා: “මුලින්ම සිතුවිල්ලක් අද්දකින්නේ නැතුව, (චිත්තවේගීය) හැඟීමක් ඇති කරගන්න ඔබට බැහැ.”
උදාහරණයක් හැටියට, අප අවට තිබෙන මැවිල්ල සඳහා ස්තුතිවන්ත වීම ගැන සලකා බලන්න. වලාකුළු නොමැති පැහැදිලි රාත්‍රියකදී තරුවලින් පිරුණු අහස දෙස ඔබ බලද්දී, ඔබ අද්දකිමින් සිටින දේවල් ගැන ඔබට හැඟෙන්නේ කෙසේද? දාවිත් රජ තමාට හැඟුණු ගරුබිය දනවන හැඟීම් මෙසේ ප්‍රකාශ කළා: “ස්වකීය ඇඟිලිවැඩයවූ ඔබගේ අහස්තලයත් ඔබ පිහිටෙවු සඳ හා තාරකාත් බලා කල්පනාකරන කල; ඔබ මනුෂ්‍යයා සිහිකිරීමට ඔහු කවරෙක්ද? ඔබ මනුෂ්‍යපුත්‍රයා සැලකීමට ඔහු කවරෙක්ද?” එමෙන්ම නිසසල රැයක පායා තිබූ තාරකා දාවිත්ට හඬගා පවසමින් මෙසේ ලිවීමට ඔහුව පෙලඹුවා: “අහස [දෙවිගේ] මහිමය ප්‍රකාශකරයි; ගුවන්තලය [ඔහුගේ] හස්ත කර්මාන්තය දක්වයි.” තරුවලින් පිරි අහස් තලය දාවිත් කෙරෙහි මේ තරම් ගැඹුරු බලපෑමක් ඇති කළේ මන්ද? ඔහුම එයට මෙසේ උත්තර දෙනවා: “ඔබගේ සියලු ක්‍රියා භාවනාකරමි. ඔබගේ හස්තකර්ම මෙනෙහිකරමි.”—ගීතාවලිය 8:3, 4; 19:1; 143:5.
මැවිල්ලේ විස්මයන් ගැන කල්පනා කර බැලීමේ වටිනාකම දාවිත්ගේ පුත් සාලමොන්ද අගය කළා. උදාහරණයක් හැටියට, අපේ පොළොව ප්‍රබෝධවත්ව තබාගැනීමේදී වැසි වලාකුළු මගින් ඉටු කෙරෙන කාර්යය ගැන ඔහු මෙසේ ලිව්වා: “සියලු ගංගා මුහුදට යති, එහෙත් මුහුද පිරෙන්නේ නැත; ගංගා පිටත්ව එන තැනටම නැවත යති.” (දේශනාකාරයා 1:7) එම ජලය මුහුදේ සිට වලාකුළු දක්වා නැවත ගමන් කරන්නේ, වැසි සහ ගංගා පොළොව ප්‍රබෝධවත් කිරීමෙන් පසුවයි. ජලය මෙසේ පවිත්‍ර වන්නේ හා චක්රාකාර ක්‍රියාවලියක යෙදෙන්නේ නැත්නම් මේ පොළොව මොන වගේ වෙයිද? මේ සිතුවිලි අතරේ සිටින විට, සාලමොන් මොනතරම් කෘතඥපූර්වක වෙන්න ඇද්ද!
කෘතඥපූර්වක තැනැත්තෙක් පවුලේ සාමාජිකයන්, මිත්‍රයන් හා දන්නා හඳුනන අය සමඟ තිබෙන තමාගේ සම්බන්ධතාව අගය කොට සලකනවා. ඔවුන්ගේ කාරුණික ක්‍රියා ඔහුගේ අවධානයට ලක් වෙනවා. ඔවුන්ගේ ප්‍රසන්න ක්‍රියා ඔහු අගය කිරීමෙන් යුක්තව සලකා බලද්දී, හදවතින්ම ස්තුතිවන්ත වීමේ හැඟීමක් ඔහු අද්දකිනවා.
කෘතඥතාව ප්‍රකාශ කිරීම
“ස්තුතියි” කියන්නේ මොනතරම් සරල වචනයක්ද! එවැනි ප්‍රකාශයක් මුවින් පිට කිරීම ඉතාමත්ම පහසු දෙයක්. ඒ වගේම එසේ කිරීම සඳහා අවස්ථා ඕනතරම් තිබෙනවා. අප ඇතුල් වෙන තෙක් දොරක් විවෘත කරගෙන සිටින කෙනෙකුට හෝ අපේ අතින් බිම වැටුණු දෙයක් අහුලා දෙන කෙනෙකුට උණුසුම්ව හා අවංකව ඔබට ස්තුතියි කියා කීමෙන් මොනතරම් ප්රබෝධයක් ඇති වෙයිද! එම ප්‍රකාශය ඇසීම මගින් වෙළඳසැලක සේවය කරන ලිපිකරුවෙකුට හෝ අවහන්හලක සංග්‍රහ කරන සේවිකාවකට හෝ ලියුම් බෙදා දෙන තැනැත්තාට තමාගේ රැකියාව වඩාත් පහසු මෙන්ම විපාකදායී එකක් බවට පත් කළ හැකියි.
කාරුණික ක්‍රියා සඳහා කෘතඥතාව ප්‍රකාශ කිරීමේ පහසු ක්‍රමයක් නම් ස්තුති කිරීමේ කාඩ්පතක් යැවීමයි. කඩ සාප්පුවලින් ලබාගත හැකි කාඩ්පත් බොහොමයක අලංකාර ලෙස හැඟීම් ප්‍රකාශ කර තිබෙනවා. නමුත් ඔබේම අත් අකුරුවලින් අගය කිරීමේ වදන් කිහිපයක් එයට එකතු කිරීම ප්‍රේමනීයව පෞද්ගලික යමක් එක් කිරීමක් නොවනු ඇද්ද? සමහරු මුද්‍රිත කාඩ්පත් වෙනුවට කෙටි ලිපියක් ලියන්න වැඩි කැමැත්තක් දක්වනවා.—හිතෝපදේශ 25:11 සසඳන්න.
බොහෝදුරට, අපේ කෘතඥතාව ලැබීමට වඩාත්ම සුදුසු අය වන්නේ, නිවසේ සිටින අපට සමීපතම අයයි. කාර්යශූර භාර්යාවක් ගැන බයිබලය මෙසේ පවසනවා: ‘ඇගේ පුරුෂයා ඈට ප්‍රශංසා කරයි.’ (හිතෝපදේශ 31:28) තම භාර්යාවට ස්වාමිපුරුෂයා හෘදයාංගම ස්තුතිය ප්‍රකාශ කිරීම, නිවසේ සාමකාමී මෙන්ම තෘප්තිමත් පරිසරයක් ඇතිවීමට උපකාර නොකරයිද? තම භාර්යාවගේ උණුසුම් මෙන්ම අගය කිරීමෙන් යුත් පිළිගැනීමක් සමඟින් නිවසට ඇතුල් වෙන්න ස්වාමිපුරුෂයාත් සතුටු වන්නේ නැද්ද? මේ කාලයේ විවාහ ජීවිතය කෙරෙහි ඇති වන පීඩන වැඩි වන අතර, පීඩන ගොඩගැසෙද්දී පහසුවෙන්ම කේන්ති යනවා. කෘතඥපූර්වක වීමේ එක් ලක්ෂණයක් නම්, ඉඩහැරීමට කැමති වීම හා අඩු පාඩු නොසලකා හැරීමට මෙන්ම සමාව දීමට ඉක්මන් වීමයි.
තම දෙමාපියන්ට හෘදයාංගම අගය කිරීමේ ප්‍රකාශයන් කිරීම ගැන යෞවනයන් සාවධානව සිටිය යුතුයි. දෙමාපියන් සම්පූර්ණ අය නොවේ කියා අමුතුවෙන් කිව යුතු නැහැ; නමුත් ඔවුන් ඔබ සඳහා කර තිබෙන දේවලට කෘතඥපූර්වක නොවීමට එය හේතුවක් නොවෙයි. ඔබ ඉපදුණු දා සිට ඔවුන් ඔබට දක්වා තිබෙන ආදරය හා අවධානය කවදාවත් මුදලට ගන්න බැහැ. ඔවුන් ඔබට දෙවි පිළිබඳ දැනුම ලබා දී තිබෙනවා නම්, කෘතඥපූර්වක වීම සඳහා ඔබට තවත් හේතුවක් තිබෙනවා.
‘දරුවෝ යෙහෝවාගෙන් ලැබෙන උරුමයක්’ කියා ගීතාවලිය 127:3 ප්‍රකාශ කරනවා. එනිසා දෙමාපියන් තම දරුවන්ගේ සුළු සුළු අඩුපාඩුකම් ගැන නිතරම ඔවුන්ට බැණ වදිනවා වෙනුවට, ඔවුන්ට ප්‍රශංසා කිරීම සඳහා අවස්ථා සොයා බැලිය යුතුයි. (එපීස 6:4) එමෙන්ම කෘතඥතාවේ ආත්මයක් වගා කරගැනීම සඳහා තම රැකවරණය යටතේ සිටින දරුවන්ට උපකාර කරන්න ලැබීම මොනතරම් උතුම් වරප්‍රසාදයක්ද!—හිතෝපදේශ 29:21 සසඳන්න.
දෙවිට ස්තුතිවන්ත වීම
යෙහෝවා දෙවි “සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද” දානය කරන තැනැත්තායි. (යාකොබ් 1:17) විශේෂයෙන්ම වැදගත් වන්නේ, ජීවිතය නමැති ත්‍යාගයයි; මන්ද අපේ ජීවිතය අහිමි වුණොත්, අප සතු සෑම දෙයක්ම හෝ සැලසුම් කිරීමට ඉඩ තිබෙන දේවල් වැදගැම්මකට නැති දේවල් බවට පත් වෙනවා. ‘ජීවනයේ උල්පත යෙහෝවා දෙවි සමඟ’ බව මතක තබාගන්න කියා ශුද්ධ ලියවිල්ල අපෙන් ඕනෑකමින් ඉල්ලා සිටිනවා. (ගීතාවලිය 36:5, 7, 9; ක්‍රියා 17:28) දෙවි කෙරෙහි කෘතඥපූර්වක හදවතක් වගා කරගැනීම සඳහා, අපේ ශාරීරික හා ආත්මික ජීවිත පෝෂණය කරන ඔහුගේ ත්‍යාගශීලී සැපයුම් ගැන අප මෙනෙහි කළ යුතුයි. (ගීතාවලිය 1:1-3; 77:11, 12) වචනවලින් හා ක්‍රියාවලින් අගය කිරීම පෙන්වීම සඳහා එවන් හෘදයක් අපව පොලඹවන්න යනවා.
දෙවිට අපේ කෘතඥතාව ප්‍රකාශ කිරීමේ එක් පහසු මාර්ගයක් නම් යාච්ඤාවයි. ගීතිකාකාර දාවිත් මෙසේ ප්‍රකාශ කළා: “මාගේ දෙවිවූ [යෙහෝවා], ඔබ විසින් කළ පුදුම ක්‍රියාද, අප කෙරෙහි ඇති ඔබගේ සිතිවිලිද බොහෝය. ඒවා ඔබ ඉදිරියෙහි පිළිවෙළින් තැබිය නොහැකිය; ඒවා ප්‍රකාශකරන්ටත් ඒ ගැන කථා කරන්ටත් කැමැත්තෙමි, නුමුත් ඒවා ගණන්කරන්ට පුළුවන්වාටත් වැඩිය.” (ගීතාවලිය 40:5) අප තුළත් ඒ හා සමාන පෙලඹීමක් ඇති වේවා!
දාවිත් අනිත් අය සමඟ කතා කළ වචනවලින්ද දෙවි කෙරෙහි තිබූ තමාගේ අගය කිරීම පෙන්වීමට ඔහු අදිටන් කරගත්තා. ඔහු මෙසේ පැවසුවා: “[යෙහෝවාට] මාගේ මුළු සිතින් ස්තුති කරන්නෙමි; ඔබගේ ආශ්චර්ය ක්‍රියා සියල්ල දක්වා දෙන්නෙමි.” (ගීතාවලිය 9:1) දෙවි ගැන අනිත් අය සමඟ කතා කිරීම හා ඔහුගේ වචනයේ තිබෙන සත්‍යයන් ඔවුන් සමඟ බෙදාගැනීම, අපේ කෘතඥතාව ඔහුට පෙන්වීමට තිබෙන හොඳම මාර්ගය විය හැකියි. එමෙන්ම මෙය ජීවිතයේ වෙනත් පැති කෙරෙහිද වැඩියෙන් කෘතඥපූර්වක වීමට අපිට උපකාරවත් වේවි.
“ස්තුතිපූජා කරන තැනැත්තේ මට ගෞරවකරයි; ස්වකීය හැසිරීම හරිලෙස පවත්වා ගන්නාට [දෙවිගෙන්] ලැබෙන ගැළවීම දක්වන්නෙමි” කියා යෙහෝවා පවසනවා. ඔබගේ හෘදයාංගම කෘතඥතාව ඔහුට පෙන්වීමෙන් ලැබෙන ප්‍රීතිය ඔබ අද්දකීවා!—ගීතාවලිය 50:23; 100:2.
[7වන පිටුවේ පින්තූරය]
ජීවිතය දෙවිගෙන් ලැබුණු ත්‍යාගයක්. පෞද්ගලික යමක් එක් කරගැනීමට නිසැක වන්න