යෙහෝවා ක්‍රියා කරයි පක්ෂපාතකමින්
පැවසුවේ පීට’ පැලස’
එය 1985 දෙසැම්බර් මාසයයි. අපි කෙන්යාවේ නයිරෝබි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩබසිත්ම අපේ කුතුහලය ඇවිස්සුණා. රථය නගරය තුළට ඇදී යද්දී හුරුපුරුදු දර්ශන සහ හඬවල් මගින් අවදි කළ මතකයන් අතීතයට දිව ගියා.
අපි කෙන්යාවට ආවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ “අඛණ්ඩතාව රක්ෂාකරන්නෝ” දිස්ත්‍රික් සමුළුවට සහභාගි වෙන්නයි. වසර දොළහකට ඉස්සෙල්ලා, අපේ දේශනා වැඩය තහනම් කළ නිසා මගේ බිරිඳටයි, මටයි කෙන්යාවෙන් යන්න සිද්ධ වුණා. අපි එහෙ බෙතෙල් එකේ ජීවත් වුණා; යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා ගොඩනැඟිලිවලට දීලා තියෙන්නේ ඒ නමයි. අපි ආයෙත් එහෙට එන කොට කොයිතරම් ප්‍රසන්න පුදුමයක්ද අප ඉදිරියේ තිබුණේ!
බෙතෙල් එකේ දවල් කෑම හදන්න උපකාර කර කර හිටිය යෞවන සාක්ෂිකාරියව, ඇයට අවුරුදු දෙකේදි ඉඳලා අපි දැනගෙන හිටියා. අඩුතරමින් බෙතෙල් පවුලේ හිටිය හයදෙනෙකුවත් ඔවුන්ගේ ළමා කාලේ ඉඳලම අපි දැනං හිටියා. ඔවුන් හැමදෙනාම යෞවන වැඩිහිටියන් බවට පත් වෙලා, තමන්ගේ පවුල් එක්ක තවමත් දේවසේවයේ ක්‍රියාශීලීව ඉන්නවා දකින්න ලැබීම මොනතරම් ප්‍රීතියක් වුණාද! අපේ දෙවි යෙහෝවා, බයිබලයේ මෙම පොරොන්දුවට අනුව ඔවුන්ව රැකබලාගෙන තියෙනවා: “පක්ෂපාත තැනැත්තෙක් සමඟ ඔබ පක්ෂපාතව කටයුතු කරන්නේය.” (2 සාමුවෙල් 22:26, NW) මගේ යෞවන කාලයත්, මේ යෞවනයන් ගත කරන ආශීර්වාද ලත් ජීවිතයත් අතර මොනතරම් වෙනසක් තියෙනවද කියලා මම දැනගත්තා!
අරමුණක් නැති යෞවන කාලය
මම ඉපදුණේ 1918 අගෝස්තු 14වෙනිදා එංගලන්තයේ ස්කාබරෝවලයි. වසර දෙකකට පස්සේ මගේ අම්මයි, සුළු සහෝදරියි කැනඩාවේ පදිංචියට ගිය නිසා ඊළඟ වසර තුනේදී මගේ තාත්තා, ඔහුගේ අම්මා සහ ඔහුගේ සහෝදරි එක්කයි මම ජීවත් වුණේ. මට අවුරුදු පහක් වුණහම, අම්මා මාව කැනඩාවේ මොන්ට්රියල්වලට පැහැරගෙන ගියා. වසර හතරකට පස්සේ, ඈ යළිත් මාව මගේ තාත්තා එක්ක ඉඳලා පාසැල් යන්න එංගලන්තයට එව්වා.
මගේ අම්මයි, සුළු සහෝදරියි මාස හයකට සැරයක් වගේ ලියුමක් එව්වා. ඒගොල්ලන්ගේ ලියුම් අවසන් කරන්නේ, මම හොඳ පුරවැසියෙක් වෙලා රජුටත්, රටටත් පක්ෂපාතව ඉන්නවා දකින්න කැමතියි කියලයි. ජාතිවාදය සහ යුද්ධ කරන එක වැරදි බව මම විශ්වාස කරනවා කියලා මම ලිව්ව නිසා, මගේ උත්තර සමහරවිට ඔවුන්ව අධෛර්යයට පත් කරන්න ඇති. ඒත්, පැහැදිලි මඟ පෙන්වීමක් නැතුව හිටිය මම මගේ නහඹර වියේදී ගත කළේ අරමුණක් නැති ජීවිතයක්.
ඊට පස්සේ 1939 ජූලිවලදී, IIවන ලෝක යුද්ධය පටන්ගන්න සති හයකට කලින් මාව බලෙන් බ්‍රිතාන්‍ය හමුදාවට බන්දගත්තා. එතකොට මට 20ක් විතරයි. වැඩි කල් නොගොස් මගේ රෙජිමේන්තුව උතුරු ප්‍රංශයට යවනු ලැබුවා. ජර්මන් අහස්යානා අපිට පහර දුන්නහම, යෞවන අපි, අපේ රයිෆල් ඔවුන්ට ඉලක්ක කරලා වෙඩි තැබුවා. අපි ජීවත් වුණේ හරිම භයෙන්. ඉදිරියට ඇදෙන ජර්මන් හමුදා ඉදිරියේ අපි පසුබැස්සා; ඒ වගේම 1940 ජූනි මාසයේ මුල් සතියේදී ඩන්ක’ක්වලින් පලාගියවුන් අතර මමත් හිටියා. මුහුදු වෙරළ හරහා තැනින් තැන මැරිලා වැටිලා හිටිය බලඇණියක දර්ශනය තාමත් මම මතක් කරන්නේ පුදුම බයකින්. ඒ බියකරු තත්වයෙන් මිදී, බඩු පරිවහන කුඩා නැවකින් නැඟෙනහිර එංගලන්තයේ හාර්විච්වලට සේන්දු වුණා.
ඊළඟ වසරේ, එනම් 1941 මාර්තුවලදී මාව ඉන්දියාවට යැව්වා. එහිදී මට යන්ත්‍ර කාර්මිකයෙක් වශයෙන් පුහුණුවක් ලැබුණා. ආසාදනයක් හේතුවෙන් කාලයක් රෝහල්ගතව හිටියට පස්සේ, මාව ඉන්දියාවේ අගනුවර වන දිල්ලියේ යුදහමුදා ඒකකයකට මාරු කළා. හොඳ සුවයක් නොලබා ගෙදරින් දුරබැහැරක සිටි මම අනාගතය ගැන හිතන්න පටන්ගත්තා. අපි මැරෙන කොට මොනවද වෙන්නේ කියලයි විශේෂයෙන්ම මම කල්පනා කළේ.
අලුත් පක්ෂපාතිත්වයක් පවත්වාගැනීම
සෙසු ඉංග්‍රීසි ජාතිකයෙකු වූ බ’ට් ගේල් දිල්ලියේදී මගේ කාමර සහකාරයාව හිටියා. “ආගම යක්ෂයාගේ” කියලා දිනක් ඔහු කිව්ව දෙයින් මගේ උනන්දුව ඇවිස්සුණා. ඔහුගේ භාර්යාව යෙහෝවාගේ සාක්ෂිකාරියක් වෙලා හිටිය නිසා කලින් කලට ඇය ඔහුට බයිබල් ප්‍රකාශන එව්වා. ඒවායින් එකක් වූ, බලාපොරොත්තුව (ඉංග්‍රීසියෙන්) පොත්පිංචය මගේ උනන්දුව අල්ලගත්තා. නැවත නැඟිටීම පිළිබඳ බලාපොරොත්තුව සම්බන්ධයෙන් එහි තිබූ විස්තරය ඇත්තෙන්ම මට සන්සුන්භාවයේ හැඟීමක් ගෙන දුන්නා.
දිනක්, 1943 මුල්භාගයේදී, යුදහමුදා කඳවුරේ අපි එක්ක වැඩ කළ ටෙඩී ගෲබ’ට් නම් එංගලන්ත-ඉන්දියානු පුරවැසියෙක් එක්ක බ’ට් කතා කළා. ටෙඩී සාක්ෂිකාරයෙක් බව දැනගන්න ලැබීමෙන් අපි පුදුම වුණා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්රකාශනවලට 1941දී තහංචි පනවා තිබුණත්, දිල්ලියේ සාක්ෂිකරුවන් පැවැත්වූ රැස්වීම්වලට ඔහු අපිව ගෙන ගියා. ඒ කුඩා සභාවේ, මගේ ජීවිතයේ පළමු වතාවට මට අව්‍යාජ, උණුසුම් මිත්‍රත්වයක් හොයාගන්න ලැබුණා. ග්‍රීසියෙන් පැමිණි වයසක ක්‍රිස්තියානි සහෝදරයෙක් වූ බැසිල් ට්සාටොස් මා ගැන පුද්ගලික උනන්දුවක් දක්වලා මගේ ප්‍රශ්නවලට උත්තර දුන්නා. අපි මහලු වෙලා මැරිලා යන හේතුව, නැවත නැඟිටීම සහ දෙවි පොරොන්දු වූ ධර්මිෂ්ඨ නව ලෝකය පිළිබඳ ප්‍රශ්නවලට ඔහු බයිබලයෙන් පැහැදිලි උත්තර දුන්නා.—ක්‍රියා 24:15; රෝම 5:12; 2 පේතෘස් 3:13; එළිදරව් 21:3, 4.
සාමය—එය පැවතිය හැකිද? (ඉංග්‍රීසියෙන්) යන 1942දී පළ කළ පොත්පිංචය විශේෂයෙන්ම මගේ අවධානය ග්‍රහණය කරගත්තා. ඒක, ජාතීන්ගේ සංගමය හැඳින්වූයේ “රතු-පැහැති වනමෘගයා” හැටියටයි. (එළිදරව් 17:3, NW) එළිදරව් 17වන පරිච්ඡේදයේ 11වන පදය උපුටා දක්වමින් පොත්පිංචය මෙහෙම පැවසුවා: “ජාතීන්ගේ සංගමය තිබී නැති වී ඇති බව දැන් පැවසිය හැකියි.” තවදුරටත් එහි මෙසේ පැවසුවා: “ලෝක ජාතීන්ගේ එක්වීම යළිත් පැමිණෙනු ඇත.” වසර තුනකට වැඩි කාලයකට පස්සේ 1945දී, එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑදුණු විට සිදු වුණෙත් ඒ දේමයි!
සාක්ෂිකරුවන්ගේ පොත් පත් තහනම් කරල තිබුණ අවදියේදී මගේ අලුත හොයාගත්ත මිත්‍රයන්ට උපකාර කරන්න මට පුළුවන් වුණා. සාමය—එය පැවතිය හැකිද? කියන පොත්පිංච පෙට්ටිය ලැබුණාම, ආරක්ෂා සහිතව තියාගන්න සභාව මට ඒක භාර දුන්නා. තහනම් පොත් පත් යුද හමුදා කඳවුරේ තියෙනවාද කියලා බලන්නේ කවුද? මා රැස්වීම්වලට ගිය හැම අවස්ථාවේදීම, සහෝදරයන්ට බෙදා දෙන්න පොත්පිංච කීපයක් අරං ගියා. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ ගෙවල් පරීක්ෂා කරලා බලයි කියන බය තිබුණ සහෝදරයන්ගේ පුද්ගලික බයිබල් පොත් පත් පවා මම හැංගුවා. අන්තිමේදී 1944 දෙසැම්බර් 11වෙනිදා තහනම ඉවත් කළා.
අපේ යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් සංවිධානය කළ 1943 නත්තල් උත්සව සමයේදී, ක්‍රිස්තියානි ඉගැන්වීම්වලට තිබූ මගේ පක්ෂපාතිත්වය පරීක්ෂණයට ලක් කෙරුණා. යේසු ඉපදුණේ දෙසැම්බර්වල සීතලේ නොවන බවත්, මුල් ක්‍රිස්තියානීන් නත්තල් පැවැත්තුවේ නැති බවත් මම ඉගෙනගෙන තිබුණ නිසා, මම සහභාගි වෙන එක ප්‍රතික්ෂේප කළා.—ලූක් 2:8-12, සසඳන්න.
වර්ෂ 1944 දෙසැම්බර් 27 සිට 31වෙනිදා දක්වා ජබල්පෝ’වල (ජබාල්පූර්වල) පැවැත්වූ “එක්සත් නිවේදකයන්ගේ” එක්රැස්වීමට පැමිණි 150ක් පමණ දෙනාගෙන් මමත් එක් අයෙක්. සමුළුවට පැමිණි බොහෝදෙනෙක් කිලෝමීටර් 600ක් පමණ දුරකතර ගෙවා දිල්ලියේ සිට කෝච්චියෙන් පැමිණියා. යෙහෝවාගේ සංවිධානය ක්‍රියාත්මක වෙමින් තිබෙනවා මම දැක්ක ඒ ලස්සන එළිමහන් වාතාවරණය මට කවදාවත්ම අමතක වෙන්නේ නෑ.
සමුළුවට පැමිණි අයට පාසැල් නිදන ශාලාවල නවාතැන් පහසුකම් දුන් අතර, අපි එහිදී රාජ්‍ය ගීතිකා ගයා, සන්තෝෂවත් ක්‍රිස්තියානි ආශ්‍රයක් භුක්ති වින්දා. ඒ සමුළුවේදී මං හුඟක් ආශා කළ ප්‍රසිද්ධ දේශනා වැඩයේ හවුල් වෙන්න මම පටන්ගත්තා.
එංගලන්තයේ පූර්ණ-කාලීන දේවසේවය
වර්ෂ 1946දී යළිත් එංගලන්තය බලා පැමිණි මම ඉක්මනින්ම වුල්ව’ටන් සභාව එක්ක ආශ්‍රය කරන්න පටන්ගත්තා. අපිට හිටියේ රාජ්‍ය ප්‍රචාරකයන් දහයක් විතරක් වුණත්, ඔවුන් හරියට මම ගෙදර ඉන්නවා වගේ මට හැඟෙන්න සැලැස්සුවා; ඉන්දියාවේ මගේ සහෝදරයන් අතරෙදි තිබුණ තෘප්තියම මට මෙහෙදිත් ලැබුණා. විර ක්ලිෆ්ටන් අවංක, උණු වෙන හදවතක් ඇති තැනැත්තියක් හැටියට සභාවේ කැපීපෙනුණා. පූර්ණ කාලීන දේවසේවකයන්ව හඳුන්වා තිබුණ විදිහට, පුරෝගාමියෙක් වෙන්න මා තුළ තිබුණ ආශාවම ඇයටත් තියෙන බව දැනගත්තහම 1947 මැයි 24වෙනිදා අපි දෙන්නා විවාහ වුණා. මම ලැඟුම් රථයක් නැත්නම් ජංගම නිවසක් හදාගත්තා; ඊළඟ වසරේදී පිටිසරබද නගරයක් වූ හන්ටිංඩන්වලට අපිට අපේ මුල්ම පුරෝගාමී පැවරුම ලැබුණා.
ඒ දවස්වල අපි පාන්දරින්ම බයිසිකල්වලින් දුරබැහැර බලප්‍රදේශයට යනවා. අපේ දවස පුරා දේශනා සේවය මදකට හෝ නතර වුණේ සැන්ඩ්විචස් කන්න විතරයි. විරුද්ධ අතට කොච්චර තදින් හුළඟ හැමුවත්, එහෙමත් නැත්නම් කොච්චර තදින් වැස්සත් අපි බයිසිකල් පැදගෙන ගෙදර ගියේ ස්වාමීන්ගේ වැඩයෙහි සන්තෝෂය හා සෑහීම ලබමිනුයි.
කල් යත්ම අපේ දේවසේවය පුළුල් කර, වෙනත් රටවල ජනයා එක්කත් “ශුභාරංචිය” බෙදාගන්න අපිට ආශාවක් ඇති වුණා. (මතෙව් 24:14) ඒ නිසා අ.එ.ජ., නියූ යෝක්වල දකුණු ලාන්සිංහි පැවැත්වෙන ගිලියද් මිෂනාරි පාසැලට යන්න අපි ඉල්ලුම් කළා. අන්තිමේදී, 1956 පෙබරවාරියේදී උපාධි දුන් 26වෙනි ගිලියද් පංතියට අපිව පිළිගත්තා.
අප්‍රිකාවේ පුළුල් කරන ලද මෙහෙය
අපේ මිෂනාරි පැවරුම ලැබුණේ අප්‍රිකාවේ උතුරු රොඩේෂියාවටයි (දැන් එය සැම්බියාවයි). අපි එහෙ ගිහින් වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා, ඒ රටේ බෙතෙල් එකේ සේවය කරන්න අපිව කැඳෙව්වා. මගේ බෙතෙල් සේවයේ කොටසක් වශයෙන්, මම පෙරදිග අප්‍රිකාව එක්ක ලිපි ගනු දෙනු කිරීම සම්බන්ධයෙන් වැඩකටයුතු බලාකියාගත්තා. උතුරු රොඩේෂියාවේ 24,000කට වඩා ඉන්දැද්දී, මේ අප්‍රිකානු රටවලින් එකක් වූ කෙන්යාවේ 1956දී හිටියේ සාක්ෂිකාරයන් හතරදෙනෙක් විතරයි. අවශ්‍යතාව ඇති තැනක සේවය කරන්න ලැබෙනවා නම් කොච්චර හොඳද කියලා විරයි, මමයි කල්පනා කළා.
ඊටපස්සේ, නොහිතුව විදිහට, මට ගිලියද් පාසැලට තවත් ආරාධනයක් ලැබුණා; මේ අවස්ථාවේදී අවේක්ෂකයන් සඳහා මාස-දහයක පාඨමාලාවක්. උතුරු රොඩේෂියාවේ විරට ඉන්ඩ ඇරලා, මම ගියා ගිලියද් පාසැල තිබුණ නියූ යෝක් නගරයට. එක්දාස් නවසිය හැටදෙකේ නොවැම්බර්වලදී පාඨමාලාව අවසන් කළාට පස්සේ, කෙන්යාවේ ශාඛා කාර්යාලයක් පිහිටුවන්න මට පැවරුමක් ලැබුණා. ඒ වෙන කොට කෙන්යාවේ සාක්ෂිකාරයන් 100කට වඩා හිටියා.
විර මුණගැහෙන්න මම උතුරු රොඩේෂියාවට ආයිත් යද්දී, මට කෙන්යාවේ නයිරෝබිවලටත් ගොඩබහින්න නියම වෙලා තිබුණා. නමුත් මම එහෙට ආවාම, 25වන පංතියේ ගිලියද් උපාධිධාරියෙක් වූ බිල් නිස්බට් මාව මුණගැහෙන්න ඇවිත්, ඒ අවස්ථාවේදීම කෙන්යාවට ඇතුල් වෙන්න රජයේ අවසර ලබාගන්න අවස්ථාවක් තියෙනවයි කිව්වා. අපි ආගමන විගමන කාර්යාලයේ නිලධාරීන් ළඟට ගියා; විනාඩි කීපයකින්, පස්-වසරකට එහි වැඩ කරන්න අවසර පත් ලැබුණා. ඒ නිසා ආපහු කවදාවත්ම මම උතුරු රොඩේෂියාවට ගියේ නෑ; ඒ වෙනුවට, නයිරෝබිවලදී විර මට එකතු වුණා.
අපිටම සූදානම් කරලා තිබුණු ස්වහීලී භාෂා පාඨමාලාවක් හැදෑරුවයින් පස්සේ, අපි දේවසේවය සඳහා නයිරෝබිවල කුඩා සභාවකට එකතු වුණා. සමහර අවස්ථාවලදී අපි අපේ ස්වහීලී ඉදිරිපත් කිරීම කියෙව්වාට පස්සේ ගෙවැසියා හඬ නඟා මෙහෙම කියනවා, “මට ඉංග්‍රීසි තේරෙන්නේ නෑ!” මේ තත්වය මැද්දේ අපි අඛණ්ඩ උත්සාහයක් දරමින් ක්‍රම ක්‍රමයෙන් භාෂා බාධකය ජයගත්තා.
අපේ බලප්‍රදේශයට යෙරුසලම හා යෙරිකෝව වැනි බයිබල් නම් තියෙන විශාල නිවාස සංකීර්ණ ඇතුළත් වුණා. මේ ප්‍රදේශවල හුඟදෙනෙක්ගේ උනන්දුව වර්ධනය වෙලා ඔවුන් අලුත් රාජ්‍ය ප්‍රචාරකයන් බවට පත් වුණා. බයිබල් සත්‍යය මේ අය මත ඇති කළ බලපෑමක මහත! රාජ්‍යයට පක්ෂපාතකම දැක්වීම යෙහෝවාගේ සෙනඟ අතර එකමුතුකම ඇති කළ නිසා, ගෝත්‍රික උස්පහත් භේදයේ හැඟීම් පහ වී ගියා. සාක්ෂිකරුවන් නොවන අය අතර ඉතාමත්ම අසාමාන්‍ය දෙයක් වන අන්තර් ගෝත්‍රික විවාහයන් පවා සිදු වුණා.
රාජ්‍ය ප්‍රකාශ කරන නවකයන් ජ්වලිතයෙන් සත්‍යය වැලඳගත්තා. උදාහරණයක් හැටියට, සැම්සන්ට එයාගේ නිවස අවට ප්‍රදේශයේ බයිබල් සත්‍යය පතුරන්න දැඩි ආශාවක් තිබුණ නිසා, එහෙට පුරෝගාමීන් එවන්න කියලා ඔහු නොනවත්වාම ඉල්ලුවා. ඔවුන් සඳහා නිවාස පහසුකම් සපයන්න උකම්බනි ප්‍රදේශයේ තිබුණ ඔහුගේ නිවසට අල්ලලා ඔහු වැඩිපුර කෑල්ලක් හැදුවා. වැඩිකල් නොගොස් එහි රාජ්‍ය ප්‍රකාශකයන්ගේ නව සභාවක් පිහිටුවනු ලැබුවා.
නැඟෙනහිර අප්‍රිකාවේ රටක් වන ඉතියෝපියාවේ අපේ සහෝදරයන්ව බැහැදකින්න මම කීප වතාවක්ම ගියා. හිරේ ඉන්න, පහර කන්න සිද්ධ වුණත්, නිරන්තරයෙන්ම මුර දාලා තිබුණත්, ඔවුන් මසකට පැය 20ක සාමාන්‍යයකට වඩා දේවසේවයේ ගත කරමින් හිටියා. වතාවක්, ඉතියෝපියාවේ සහෝදර සහෝදරියන් පිරි බස් රථ දෙකක් අනතුරුදායක ගිරිදුර්ග පසු කරමින් සතියක් පුරා ගමන් කළා, කෙන්යාවේ දිස්ත්‍රික් සමුළුවකට සහභාගි වෙන්න. ඔවුන්ගේ රටට පොත් පත් ලබාගන්න සැලසුම් කරද්දී ඔවුන් දක්වපු අතිදක්ෂභාවය විශිෂ්ටයි. කෙන්යාවේ ඉන්න අපි ඔවුන්ගේ සැපයුම් ලබාගන්න උපකාර කළේ සතුටෙන්.
කෙන්යාවේ අපේ වැඩවලට 1973දී රජයේ තහනමක් පැනවුණ අතර, මිෂනාරිවරුන්ට රටෙන් යන්න බල කළා. ඒ වන විට අපිට කෙන්යාවේ සාක්ෂිකරුවන් 1,200කට වඩා හිටිය අතර, අපට සදා නොමැකෙන සමුගැනීමක් දෙන්න මොවුන්ගෙන් වැඩිදෙනෙක් ගුවන්තොටුපොළට ඇවිත් හිටියා. ඔවුන්ගේ පැමිණ සිටීම, අපි යම් විදිහක ප්‍රකට පුද්ගලයන්ද කියලා අපෙන් අහන්න සෙසු සංචාරකයෙකුව පෙලඹෙව්වා. විරයි, මමයි ආපහු එංගලන්තයට ආව අතර, අපිට එහිදී පැවරුමක් ඉදිරිපත් කළත් අපේ ආශාව තිබුණේ ආපහු අප්‍රිකාවට යන්නයි.
යළිත් අප්‍රිකාවට
මෙසේ, මාස කීපයකට පස්සේ, බටහිර අප්‍රිකානු රටක් වන ඝානාවේ අගනුවර වූ ඇක්රාවල බෙතෙල් එකට අපේ නව පැවරුම ලැබුණා. මෙහිදී මට ලැබුණු පැවරුම්වලින් එකක්, එහෙ ඉන්න අපේ සහෝදරයන් විඳින දුෂ්කරතාව ඇස්පනාපිටම දැකගන්න සැලැස්සුවා. බෙතෙල් පවුල සඳහා ආහාර හා අවශ්‍ය දේවල් මිල දී ගන්න මට භාරව තිබුණ නිසා, ආහාරවල අධික මිල ගණන්වලින් මම පුදුමයට පත් වුණා. බොහෝ වෙලාවට කෙනෙකුට අවශ්‍ය වූ හැම දෙයක්ම මිල දී ගන්න බැරි වුණා. පෙට්‍රල් හිඟය සහ වාහන අමතර කොටස්වල හිඟය අතිරේක කරදර ඇති කළා.
ඝානාවේ අපේ සහෝදරයන් වර්ධනය කරගෙන තිබුණ ඉවසීමේ වැදගත්කම මට ඉගෙනගන්න ලැබුණා. අල්ලස් දීමෙන් ජීවිතයේ අවශ්‍යතා ලබාගැනීමේ පරීක්ෂාවට නොවැටී ඔවුන් පවත්වාගත්ත ප්‍රීතිමත් ආකල්පය දකින්න ලැබීම අතිමහත් ධෛර්යයක්. ප්‍රතිඵලයක් වශයෙන්, ඝානාවේ යෙහෝවාගේ සෙනඟ අවංක අය බවට ප්‍රචලිත වුණ අතර, බොහෝ නිලධාරීන් අතර හොඳ නමක් ඇතුව ඉන්න පුළුවන් වුණා.
කෙසේවුවත්, ද්‍රව්‍යමය හිඟකම් තිබියදීත්, ආත්මික සමෘද්ධිය වැඩි වෙමින් තිබුණා. රට පුරා හැම ගෙයකම පාහේ අපේ බයිබල් ප්‍රකාශන තිබුණා. ඒ විතරක් නෙවෙයි, අපි 1973දී එන කොට ඝානාවේ හිටිය රාජ්‍ය ප්‍රකාශකයන් 17,156දෙනාගේ ගණන, 1981දී 23,000කට වඩා වැඩි වෙලා තියෙන බව අපිට දකින්න ලැබුණා. ඒ වසරේ මගේ හමේ පිළිකාවක් ඇති වුණ අතර, නිසැකවම ඒක උග්‍ර වුණේ ඉන්දියාවේ සහ අප්‍රිකාවේ අව්වේ වැඩ කළ නිසයි; දිගටම ප්‍රතිකාර ගන්න ඝානාව අත්හැර ආපහු එංගලන්තයට එන්න සිද්ධ වුණා.
එංගලන්තයේ අලුත් තත්වයන්
අපේ පැමිණීමෙන් මට අදහස් කළේ මගේ සේවයේ සෑහෙන වෙනසක් කරන්න සිදු වන බවයි. දෙවිට හා බයිබලයට ගරු කළ මිනිස්සු එක්ක පහසුවෙන්ම කතා කරන්න මම පුරුදු වෙලා හිටියා. නමුත් ලන්ඩන්වලදී, එවැනි ආකල්පයක් සොයාගන්න මට පුළුවන් වුණේ කලාතුරකින්. බ්‍රිතාන්‍යයේ සහෝදරයන්ගේ අඛණ්ඩතාව දැකලා මට පුදුම හිතුණා. ආත්මිකව “හිරිහැර විඳිමින්” හිටිය අය කෙරෙහි වැඩි අනුකම්පාවක් වර්ධනය කරගැනීමේ අවශ්‍යතාව දකින්න මෙය මට සැලැස්සුවා.—මතෙව් 9:36.
අපි අප්‍රිකාවෙන් ආවට පස්සේ, 1991 සැප්තැම්බර්වල වයස 73දී විර මියයන තුරුම, විරයි, මමයි ලන්ඩන් බෙතෙල් එකේ එකට සේවය කළා. වසර ගණනක් පුරා මාත් එක්ක දේවසේවයේ උරෙන් උර ගැටී වැඩ කළ එවැනි විශ්වාසවන්ත සහකාරියක් අහිමි වීම පහසු දෙයක් වුණේ නෑ. මට ඈ නැති පාළුව හරියට දැනෙනවා. නමුත් අපේ බෙතෙල් පවුලේ සාමාජිකයන් 250කින් විතර මට ලැබෙන කදිම ධෛර්යය ගැන මම සතුටු වෙනවා.
යෙහෝවාගේ සංවිධානය ඉදිරියට ඇදී යෑම අද්දකින්න ලැබීමත්, හුඟදෙනෙක් පූර්ණ කාලීන දේවසේවය ඔවුන්ගේ ජීවිත මාර්ගය කරගන්නවා දකින්න ලැබීමත් ඇත්තෙන්ම මම වරප්‍රසාදයක් හැටියට සලකනවා. “[යෙහෝවා] . . . ස්වකීය ශුද්ධවන්තයන් අත් නාරින” නිසා මෙයිට වඩා හොඳ ජීවිත මාර්ගයක් තවත් නැති බව ඔබට සහතික කරන්න මට පුළුවන්.—ගීතාවලිය 37:28.
[23වන පිටුවේ පින්තූරය]
අපි 1947 සිට 1955 දක්වා එංගලන්තයේ පුරෝගාමී සේවය කළා
[23වන පිටුවේ පින්තූරය]
ඉන්දියාවේ සමුළුවකදී පළමු වතාවට දේවසේවයේ යෙදෙමින්
[23වන පිටුවේ පින්තූරය]
අපි උතුරු රොඩේෂියාවේ මිෂනාරිවරුන් හැටියට සිටි කාලයේදී
[23වන පිටුවේ පින්තූරය]
වසර 12කට අපි දැක්කේ නැති මිත්‍රයන් එක්ක 1985දී