ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w97 5/1 24-29 පි.
  • දෙවි මගේ සරණ හා ශක්තියයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවි මගේ සරණ හා ශක්තියයි
  • 1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අනාගතය සඳහා ශක්තිමත් වී
  • සතුරාගේ පිළිතුර—හිරේ දැමීම
  • ලිචන්බ’ග්වල
  • රැවන්ස්බ’ක්වලදී
  • යුද්ධයෙන් පසු දුෂ්කර අවුරුදු
  • තව වතාවක වැඩ තහනම යටතේ හා අත්අඩංගුවේ
  • යෙහෝවාගෙන් ශක්තිය හා උපකාරය
  • යෙහෝවා මගේ සරණ හා ශක්තියව සිටියි
  • යෙහෝවා දෙවිගේ උපකාරයෙන් අපි පීඩා ජයගත්තා
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මගේ බාලවියේ ඉඳලම ඉවසිලිවන්තව යෙහෝවා දෙස බලා ඉන්නවා
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවාගේ ප්‍රේමණීය සැලකිල්ල කෙරෙහි විශ්වාස කිරීම
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිට සේවය කිරීමට වූ මගේ පොරොන්දුව ඉටු කරමින්
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w97 5/1 24-29 පි.

දෙවි මගේ සරණ හා ශක්තියයි

ෂා’ලට් මූල’ පැවසූ පරිදි

“හිට්ල’ යටතේ ඔබ අවුරුදු නවයක් හිටියට ඔබට ප්‍රශංසා කරන්නම ඕනේ” යයි කොමියුනිස්ට් විනිශ්චයකාරයෙක් පැවසුවා. “ඔබ ඇත්තෙන්ම යුද්ධයට විරුද්ධව හිටියා; නමුත් දැන් ඔබ අපේ සාම ව්‍යාපාරයට විරුද්ධයි!”

ඔහු සඳහන් කළේ නාට්සීන් කලින් මාව හිරේට අරගත්ත එක ගැනයි; ජර්මන් ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවේ සමාජවාදය ගැනයි. මුලින්ම මට කට උත්තර නැතුව ගියා; නමුත් පස්සේ මෙහෙම පිළිතුරු දුන්නා: “ක්‍රිස්තියානියෙක්, වෙන අය කරන විදිහටම සැබෑ සාමය වෙනුවෙන් පරිශ්‍රමයක් දරන්නේ නෑ. දෙවිටත්, මගේ අසල්වාසීන්ටත් ප්‍රේම කරන්න කියන බයිබල් ආඥාව පවත්වන්න ඇත්තෙන්ම මම වෑයම් කරනවා. වචනයෙන් වගේම ක්‍රියාවෙන් සාමය පවත්වගන්න දේවවචනය මට උදව් කරනවා.”

එදා, 1951 සැප්තැම්බර් 4වෙනිදා, කොමියුනිස්ට්වාදීන් මාව අවුරුදු අටකට හිරේ දැම්මා—නාට්සි පාලනයේදී ඉන්න වුණාට වඩා එක අවුරුද්දයි අඩු.

ජාතික සමාජවාදීන්ගෙන් හා කොමියුනිස්ට්වාදීන්ගෙන් යෙහෝවාගේ සාක්ෂිකාරයන් වන අපි පීඩා වින්ද අවස්ථාවේ, මට ගීතාවලිය 46:1න් සැනසීමක් ලැබුණා: “[දෙවි] අපේ සරණ හා ශක්තියය, දුකේදී ඉතා ළංවූ පිහිටක්ය.” යෙහෝවාම තමයි මට විඳදරාගන්න ශක්තිය දුන්නේ; මම ඔහුගේ වචනය මගේම වචනය කරගන්න කරගන්න, මම තව තවත් ශක්තිමත් වුණා.

අනාගතය සඳහා ශක්තිමත් වී

මම ඉපදුණේ 1912දී, ජර්මනියේ තුරින්ජියාවල ගෝටා-සිබ්ලෙබෙන්වලයි. මගේ දෙමාපියන් රෙපරමාදු වුණත්, මගේ තාත්තා බයිබල් සත්‍යය හා ධර්මිෂ්ඨ ආණ්ඩුවක් හොයමිනුයි හිටියේ. මගේ දෙමාපියන් “මැවීම පිළිබඳ ඡායාරූප නාට්‍යය” (ඉංග්‍රීසියෙන්) දැක්කහම, ඒගොල්ලෝ ලොකු සතුටක් ලැබුවා.a තාත්තා හොයමින් හිටිය දේවරාජ්‍යය තාත්තාට ලැබුණා.

තාත්තයි, අම්මයි, අපි දරුවෝ හයදෙනයි, 1923 මාර්තු 2වෙනිදා පල්ලියෙන් අයින් වුණා. සැක්සනි, කෙමිනිට්ස්වලයි අපි ජීවත් වුණේ; එහෙ ඉන්න කොට අපි බයිබල් ශිෂ්‍යයන් එක්ක ආශ්‍රය කළා. (මගේ සහෝදර සහෝදරියන්ගෙන් තුන්දෙනෙක් යෙහෝවාගේ සාක්ෂිකරුවන් බවට පත් වුණා.)

බයිබල් ශිෂ්‍යයන්ගේ රැස්වීම්වලදී, ශුද්ධ ලියවිලි පාඨ හා අගනා සත්‍යයන් මගේ සිතට කාවැදුණු අතර, මේවා මගේ බාල සිත සතුටෙන් පිරෙව්වා. ඉරිදා දවසේදී, පනස්දෙනෙකුට වැඩියෙන් හිටිය ක්‍රිස්තියානි යෞවන අය වන අපිට මුලින්ම උපදෙස් ලැබුණා; මගේ සහෝදරී කාත් සහ මටත් ටික වේලාවකට උපදෙස් ලැබුණා. ඇවිදින්න යන්න සැලසුම් කළ මෙන්ම අපිත් එක්ක සිංදු කියන්න පුරුදු වුණ යෞවන කොන්රාට් ෆ්‍රාන්ක අපේ කණ්ඩායමට ඇතුළත්ව හිටියා. පසුව, 1955 ඉඳලා 1969 වෙනකං, සහෝදර ෆ්‍රාන්ක ජර්මනියේ වොච් ටවර් ශාඛාවේ අවේක්ෂකයෙක් හැටියට සේවය කළා.

එක්දහස් නවසිය විසි ගණන්, දෙවිගේ සෙනඟ අතර පවා සමහර අවස්ථාවලදී දරුණු කාලයක් වුණා. මුරටැඹ “නියම වේලාවට කෑම” හැටියට තවදුරටත් පිළි නොගත් සමහරු, ගෙයින් ගෙට දේශනා වැඩයට විරුද්ධව හිටියා. (මතෙව් 24:45) මෙය ධර්මභේදයට පාර කැපුවා. නමුත් ඒ කාලයේදී අපිට අනිවාර්යයෙන්ම ශක්තිය සැපයුවේ එම ‘කෑමමයි’. නිදසුනක් හැටියට, “නිර්භීත වන්නෝ ආශීර්වාද ලද්දෝය” (1919) සහ “යෙහෝවාට කවරෙකු ගෞරව කරයිද?” (1926) යන මුරටැඹ (ඉංග්‍රීසියෙන්) ලිපි තිබුණා. නිර්භීත ක්‍රියාකලාපයක් මගින් යෙහෝවාට ගෞරව කරන්න මට වුවමනා වුණ නිසා, මම සහෝදර රද’ෆ’ඩ්ගේ පොත් සහ පොත්පිංච හුඟක් බෙදා දුන්නා.

මම 1933 මාර්තුවලදී යෙහෝවාගේ සාක්ෂිකාරියක් හැටියට බව්තීස්ම වුණා. ඒ අවුරුද්දේම, ජර්මනියේ අපේ එවැන්ජලිස්ත වැඩය තහනම් කරනු ලැබුවා. බව්තීස්මයේදී, අනාගතය සඳහා අවවාදයක් වශයෙන් එළිදරව් 2:10 ඉදිරිපත් කළා: “නුඹ විඳින්ට යන දේවලට භය නොවන්න. බලව, නුඹලා විමසනු ලබන පිණිස යක්ෂයා නුඹලාගෙන් සමහර දෙනෙකුන් හිරගෙයි දමන්ට යන්නේය; නුඹලා දස දවසක් පීඩා විඳින්නහුය. මරණය දක්වා විශ්වාසව සිටින්න, එවිට මම ජීවනයේ ඔටුන්න නුඹට දෙන්නෙමි.” ඉදිරියේදී දරුණු පීඩාවලට මූණ දෙන්න වෙන බවට නිසැක වුණ මම මේ පදය හිතට ගත්තා. මේක සත්‍යයක් වුණා.

අපි දේශපාලනමය දේවල් සම්බන්ධයෙන් මධ්‍යස්ථව හිටිය නිසා, අපේ අසල්වැසියන්ගෙන් කීපදෙනෙක් අපි දිහා බැලුවේ සැකයෙන්. දේශපාලන ඡන්දයකින් පස්සේ, නිල ලත් නාට්සි භටයන්ගේ නියෝජිත පිරිසක් අපේ ගේ ඉස්සරහට ඇවිත් “මෙහෙ රාජද්‍රෝහියෝ ඉන්නවා” කියලා කෑගැහැව්වා. වර්ෂ 1933 දෙසැම්බර්වලදී, ජර්මන් මුරටැඹ (ඉංග්‍රීසියෙන්) පිටපතේ පළ වුණ “ඔවුන්ට භය නොවන්න” කියන ලිපිය මට විශේෂ දිරිගැන්වීමක් වුණා. අතිදරුණු තත්වයන් යටතේ පවා යෙහෝවාගේ විශ්වාසවන්ත සාක්ෂිකාරියක් හැටියට ඉන්න මට ඕනෙ වුණා.

සතුරාගේ පිළිතුර—හිරේ දැමීම

කෙම්නිට්ස්, 1935 ශරත් ඍතුව වෙන තුරු රහසිගතව මුරටැඹ නිපදවන්න හැකියාව තිබුණා. ඊට පස්සේ පාවිච්චි කරමින් හිටිය අනුපිටපත් යන්ත්‍රය අ’ට්ස්ගෙබිර්ගෙවල බය’ෆෙල්ට් වෙත ගෙනියන්න සිද්ධ වුණ අතර, එහිදී 1936 අගෝස්තු වෙන තෙක් පොත් පත් නැවත මුද්‍රණය කරන්න ඒක පාවිච්චි කළා. කාත් සහ මම තාත්තා දුන්න ලිපින හොයාගෙන ගිහිල්ලා සහෝදරයන්ට පිටපත් බෙදා දුන්නා. කාලයකට සියල්ලම හොඳින් කෙරීගෙන ගියා. නමුත්, ගෙස්ටාපෝ රහස් පොලිසිය මා ගැන සෝදිසියෙන් සිටි අතර, 1936 අගෝස්තුවේ, මගේ නිවසේදී ඔවුන් මාව අල්ලගෙන හිරේ දැම්මා; නඩු අහන තුරු මට එහි ඉන්න සිද්ධ වුණා.

වර්ෂ 1937 පෙබරවාරියේදී, සහෝදරයන් 25දෙනෙක් හා සහෝදරියන් දෙදෙනෙක්—මාත් ඇතුළත්ව—සැක්සනිවල විශේෂාධිකරණයක් ඉදිරියේ පෙනී සිටියා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානය විප්ලවකාරියි කියලා ප්‍රකාශ කරන්න යෙදුණා. මුරටැඹ නැවතත් මුද්‍රණය කරපු සහෝදරයන්ව අවුරුදු පහකට හිරේ දැම්මා. මාව දැම්මේ අවුරුදු දෙකකටයි.

මගේ සිරදඬුවමෙන් පස්සේ නිදහස් කරනවා වෙනුවට, මාව ගෙස්ටාපෝ රහස් පොලිසිය අත්අඩංගුවට ගත්තා. මම තවදුරටත් යෙහෝවාගේ සාක්ෂිකාරියක් හැටියට ක්‍රියාශීලීව කටයුතු කරන්නේ නෑ කියන ප්‍රකාශයකට අත්සන් කරන්න මට බල කෙරුවා. මම තරයේම ප්‍රතික්ෂේප කළ නිසා නිලධාරියා කේන්තියෙන් පොළොවේ අඩිය හප්පලා, මාව හිරේ දාන්න වරෙන්තුවක් නිකුත් කළා. වරෙන්තුව පින්තූරයේ දකින්න තියෙනවා. මගේ දෙමාපියන්ව බලන්න නොදී, ඒ වෙලාවෙම මාව එල්බ් ගඟ අසල ලිචන්බ’ග් ගමේ, ස්ත්‍රීන් සඳහා වූ කුඩා සිරකඳවුරකට දැමුවා. ඊට ටික දවසකට පස්සේ මට කාත්ව මුණගැහුණා. ඇය 1936 දෙසැම්බර්වල ඉඳලා මොරින්ජන් නගරයේ සිරකඳවුරේ හිටියත්, ඒ සිරකඳවුර වැහැව්වාම ඈ සහ තවත් සහෝදරියන් හුඟදෙනෙක් ලිචන්බ’ග්වලට ආවා. මගේ තාත්තත් අත්අඩංගුවේ හිටිය නිසා, 1945 වෙන තුරුම මට යළිත් ඔහුව දකින්න ලැබුණේ නෑ.

ලිචන්බ’ග්වල

ආව ගමන්ම අනිත් සාක්ෂිකාරියන් එක්ක එකතු වෙන්න මට අවසර දුන්නේ නෑ; ඔවුන්ටත් මොකක් හරි හේතුවක් නිසා දඬුවම් කරලා තිබුණා. එක ශාලාවක මම සිරකාර කණ්ඩායම් දෙකක් නිරීක්ෂණය කළා—ස්ත්‍රීන් සාමාන්‍යයෙන් මේසවලට වාඩි වෙලා හිටියා; සාක්ෂිකාරියන්ට මුළු දවස පුරාම බංකුවල ඉඳගෙන ඉන්න සිද්ධ වුණා; ඔවුන්ට කන්න මුකුත් දුන්නේ නෑ.b

කොහොමහරි කාත්ව හමුවීමේ අරමුණින්, මම දෙන ඕනෑම පැවරුමක් කැමැත්තෙන්ම භාරගත්තා. සිද්ධ වුණෙත් එයමයි. අපි දෙන්නා මුණගැහෙන කොට ඈ තවත් හිරකාරයන් දෙන්නෙක් එක්ක වැඩට යමින් හිටියා. ප්‍රීතියෙන් ඉපිලගිය මම ඇයව තදින් වැලඳගත්තා. නමුත් ආරක්ෂක භට කාන්තාව වහාම අපි ගැන වාර්තා කළා. අපෙන් ප්‍රශ්න කෙරුව අතර, එතැන් පටන් අපිව ඕනෑකමෙන්ම වෙන් කර තැබුවා. ඒක දරාගන්න ගොඩක් අමාරු වුණා.

ලිචන්බ’ග්වලදී සිද්ධ වුණ තවත් සිද්ධි දෙකක් මගේ මතකයේ රැඳිලා තියෙනවා. එක වතාවකදී, ගුවන්විදුලියේ විකාශනය කළ හිට්ල’ගේ දේශපාලනික කතාවකට ඇහුම්කන් දෙන්න හිරකාරයන් හැමදෙනාටම මිදුලේ එක්රැස් වෙන්න සිද්ධ වුණා. දේශානුරාගී වත්පිළිවෙත් ඇතුළත්ව තිබුණ නිසා, යෙහෝවාගේ සාක්ෂිකරුවන් වන අපි එය ප්‍රතික්ෂේප කළා. එනිසා දිය මුවකට සවි කළ ගිනි නිවන ජල නළවලින් ප්‍රබල ජලකන්දරාවක් අප වෙත එල්ල කළ ආරක්ෂක භටයෝ, අනාරක්ෂිත ස්ත්‍රීන් වූ අපව හතරවෙනි තට්ටුවෙන් මිදුලට එළවා දැමුවා. අපිට එතන තෙතබරිතව හිටගෙන ඉන්න සිද්ධ වුණා.

හිට්ල’ගේ උපන්දිනය ළං වෙමින් තිබුණ නිසා, මට ග’ට්රූට් අ’මෙ හා ගෙර්ටල් බ්යූලන් එක්ක එකතු වෙලා අණ දෙන නිලධාරියාගේ ප්‍රධාන කාර්යාලය විදුලි බුබුළුවලින් සරසන්න කියා නියෝග කළා. කුඩා දේවලදී ඇදහිල්ල පාවා දෙමින් අපේ අඛණ්ඩතාව බිඳීමට අපව යොදාගන්න වෑයම් කිරීමේ සාතන්ගේ උපායන් වටහාගනිමින් අපි එහෙම කරන එක ප්‍රතික්ෂේප කළා. දඬුවමක් වශයෙන්, යෞවන සහෝදරියන් වන අපි හැම කෙනෙකුටම කුඩා, අඳුරු කුටියක ඊළඟ සති තුනේ තනිවම ගත කරන්න සිද්ධ වුණා. නමුත් යෙහෝවා අප අසල සිටි අතර, එවැනි භයානක ස්ථානයකදී පවා ඔහු සරණ වෙන බව ඔප්පු කළා.

රැවන්ස්බ’ක්වලදී

එක්දාස් නවසිය තිස්නවයේ මැයිවලදී ලිචන්බ’ග්වල හිරකරුවන්ව, රැවන්ස්බ’ක් ගාල් කඳවුරට මාරු කළා. එහිදී තවත් සාක්ෂිකාර සහෝදරියන් කීපදෙනෙක් එක්ක මට රෙදි අපුල්ලන අංශයේ වැඩ කරන්න පැවරුවා. යුද්ධය උත්සන්න වී ටික දවසකට පස්සේ, අපිට ස්වස්තික කොඩි එකතු කරන්න නියම කළා; අපි ඒක කරන්න ප්‍රතික්ෂේප කළා. ප්‍රතිඵලයක් වශයෙන්, අපි දෙන්නෙක්ව, මීල්චන් එන්ස්ට්ව සහ මාව දණ්ඩන බැරැක්කයට දැම්මා. ඒක ලැබුණ දඬුවම්වලින් දරුණුතම දඬුවම වූ අතර, ඒකෙන් අදහස් කළේ හැම දවසකදීම, ඉරිදට පවා, මොනයම් කාලගුණයකදී වුවත් අපිට බර වැඩ කරන්න සිද්ධ වුණා කියන එකයි. සාමාන්‍යයෙන්, එහි උපරිම සිරගත කාලය මාස තුනක් වුණත්, අපි එහෙ අවුරුද්දක් හිටියා. යෙහෝවාගේ උපකාරය නොතිබෙන්න මෙලහකටත් මම මැරිලා.

වර්ෂ 1942දී, හිරකාරයන් වන අප සඳහා තත්වයන් යම් අන්දමකින් පහසු වුණ අතර, කඳවුරෙන් වැඩි ඈතක නොවූ එස්.එස්. පවුලක ගෘහපාලිකාවක් වශයෙන් සේවය කරන්න මට පැවරුවා. එම පවුල මට යම් ප්‍රමාණයකට නිදහසක් දුන්නා. උදාහරණයක් වශයෙන්, වතාවක් මම ළමයින්ව ඇවිදින්න එක්කගෙන යන කොට, මට ජෝසෙෆ් රෙවාල්ඩ් සහ ගෝට්ෆ්‍රීට් මේල්හෝන්ව මුණගැහුණා; දම්පාට ත්‍රිකෝණ ලකුණ පැළඳගෙන සිටි සිරකරුවන් දෙන්නෙක් වන ඔවුන් එක්ක මට දිරිගැන්වීමේ වචන කීපයක් හුවමාරු කරගන්න පුළුවන් වුණා.c

යුද්ධයෙන් පසු දුෂ්කර අවුරුදු

වර්ෂ 1945දී මිත්‍ර හමුදා ළඟා වෙද්දී, මා වැඩ කරමින් හිටිය පවුල පලා ගිය නිසා මට ඔවුන් එක්ක යන්න සිද්ධ වුණා. අනිත් එස්.එස්. පවුල් එක්ක, බටහිර දෙසට බේරී පලා යන විශාල කණ්ඩායමක් ඔවුන්ගෙන් හැදුණා.

යුද්ධයේ අන්තිම දවස් ව්‍යාකූලත්වයෙන් හා අනතුරුවලින් පිරී තිබුණා. අන්තිමේදී, යාබද නගරයේ නිදහස් පුද්ගලයෙක් හැටියට මට ලියාපදිංචි වෙන්න ඉඩහැරිය අමෙරිකානු සොල්දාදුවන් සමහරදෙනෙක් අපිට මුණගැහුණා. එහිදී මට මුණගැහුණේ කාවද? ජෝසෙෆ් රෙවාල්ඩ් සහ ගෝට්ෆ්‍රීට් මේල්හෝන්. සාක්සන්හව්සන් ගාල් කඳවුරෙන් ආව හැම සාක්ෂිකාරයෙක්ම ෂ්වැරින් වෙත ඇවිත් තිබුණේ උපද්‍රව සහිත මාරාන්තික ගමන් කිරීමකින් පසුවයි. ඒ නිසා අපි තුන්දෙනා කිලෝමීටර් 75ක් විතර ඈතින් පිහිටි ඒ නගරයට යන්න පිටත් වුණා. ගාල් සිරකඳවුරෙන් බේරී ආ කොන්රාට් ෆ්‍රාන්ක ඇතුළු ඒ විශ්වාසවන්ත සහෝදරයන් සියලුදෙනාවම ෂ්වැරින්වලදී මුණගැහෙන්න ලැබීම කොයිතරම් ප්‍රීතියක්ද!

වර්ෂ 1945 දෙසැම්බර් වෙන විට රටේ තත්වය කොයිතරම් දුරකට හොඳ අතට හැරිලා තිබුණද කිව්වොත් මට දුම්රියෙන් යන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා මම ගෙදර බලා යමින් හිටියා! කොහොමනමුත්, ගමනේදී කෝච්චි පෙට්ටියේ වහලේ දිගා වෙලා යන්නත්, පාපුවරුවේ හිටගෙන යන්නත් සිද්ධ වුණා. කෙම්නිට්ස්, මම දුම්රියපොළෙන් බැහැලා, අපි පවුලක් හැටියට ජීවත් වෙලා හිටිය තැනට ගියා. නමුත් යුධ භටයන් ඇවිත් “මෙහෙ රාජද්‍රෝහියෝ ඉන්නවා” කියලා කෑගහපු ඒ වීදියේ එක ගෙයක්වත් ඉතුරු වෙලා තිබුණේ නෑ. ගෙවල් තිබුණද කියලවත් හිතාගන්න බැරි තරමටම මුළු පදිංචි ප්‍රදේශයම බෝම්බවලින් ගිනිබත් වෙලා තිබුණා. නමුත් මේ වන විටත් ජීවතුන් අතර හිටිය අම්මව, තාත්තව, කාත්ව සහ සහෝදර සහෝදරියන්ව සොයාගන්න ලැබුණ එක මට සහනයක් වුණා.

යුද්ධයෙන් පස්සේ ජර්මනියේ ආර්ථික තත්වය පහත්ම අඩියකට බැහැල තිබුණා. එනමුත්, ජර්මනිය පුරා දෙවිගේ ජනයාගේ සභා සමෘද්ධිමත් වෙන්න පටන්ගත්තා. දේශනා වැඩය සඳහා අපව සන්නාහ සන්නද්ධ කරන්න, වොච් ටවර් සමිතිය නොකළ දෙයක් නෑ. නාට්සිවරු වසා දැමූ මැග්ඩෙබ’ග්වල බෙතෙල් එකේ වැඩ යළි ආරම්භ කළා. එක්දාස් නවසිය හතළිස්හයේ වසන්තයේදී, මට එහේ වැඩ කරන්න ආරාධනයක් ලැබුණ අතර, මුළුතැන්ගෙයි වැඩ කරන්න පැවරුවා.

තව වතාවක වැඩ තහනම යටතේ හා අත්අඩංගුවේ

මැග්ඩෙබ’ග් කියන්නේ, ජර්මනියේ කොමියුනිස්ට්වාදීන්ගේ පාලනය යටතේ තිබුණ ප්‍රදේශයක්. ඔවුන් 1950 අගෝස්තු 31වෙනිදා අපේ වැඩ තහනම් කළ අතර, මැග්ඩෙබ’ග් බෙතෙල් එක වහලා දැම්මා. වටිනා පුහුණුවක් ලැබුව කාලයක් වූ මගේ බෙතෙල් සේවය මෙසේ නිම වුණා. මම යළිත් කෙම්නිට්ස්වලට ඇවිත්, කොමියුනිස්ට්වාදීන් යටතේ පවා දිගටම සත්‍යයේ බැඳී සිටින්නත්, පීඩිත මනුෂ්‍යයන් සඳහා එකම බලාපොරොත්තුව, දෙවිගේ රාජ්‍යය බව ප්‍රකාශ කරන්නත් අධිෂ්ඨාන කරගත්තා.

වර්ෂ 1951 අප්‍රියෙල්වලදී, මුරටැඹ පිටපත් එකතු කරන්න මම සහෝදරයෙක් එක්ක බ’ලින්වලට ගියා. අපි ආයිත් එද්දී, කෙම්නිට්ස්වල දුම්රියපොළ වටේට සිවිල් පොලිස්කාරයන්ව දාලා තිබුණා. අපි එන බව පැහැදිලිවම දැනගෙන හිටිය ඔවුන් වහාම අපිව හිරේ දැම්මා.

නඩු අහන තුරු අත්අඩංගුවේ රඳවාගෙන ඉද්දිත්, නාට්සිවරුන් මාව අවුරුදු කීපයකට හිරේ දාලා තිබුණ බවට සාක්ෂි තිබෙන ලියකියවිලි මා ළඟ තිබුණා. ප්‍රතිඵලයක් වශයෙන්, ආරක්ෂක භටයෝ මට ගෞරවයෙන් සැලකුවා. ප්‍රධාන ආරක්ෂක භට කාන්තාවක් මෙහෙම පැවසුවා: “යෙහෝවාගේ සාක්ෂිකාරයන් වන ඕගොල්ලෝ අපරාධකාරයන් නෙවෙයි; ඔයගොල්ලන්ට හිරභාරය අයිති නෑ”

එක අවස්ථාවකදී, තවත් සහෝදරියන් දෙන්නෙක් එක්ක මම හිටිය කූඩුවට ඈ ඇවිත්, ඇඳක් යට මොකක්දෝ රහසින්ම තැබුවා. ඒ මොකක්ද? ඇගේම බයිබලය අපිට තියාගන්න තියලා. තවත් අවස්ථාවකදී, මගේ දෙමාපියන් පදිංචි වෙලා හිටියේ හිරගෙදර කිට්ටුවම නිසා ඈ මගේ දෙමාපියන්ව බලන්න ගියා. මුරටැඹ කලාපයි, කෑම ටිකකුයි ඈ ඇඳුම් අතරේ සඟවාගෙන, ඒ සියල්ල මගේ කූඩුවට හොර රහසේම ගෙනත් දුන්නා.

මම සිහියට නඟන්න කැමති තවත් දෙයක් තියෙනවා. සමහරවිට ඉරිදා උදේ වරුවේ, අපි අපේ දිව්‍යාණ්ඩු ගීතිකා කොයිතරම් ශබ්ද නඟා ගැයුවද කිවතොත්, හැම ගීතිකාවකින්ම පස්සේ අනිත් සිරකරුවෝ අත්පොළසන් දුන්නා.

යෙහෝවාගෙන් ශක්තිය හා උපකාරය

වර්ෂ 1951 සැප්තැම්බර් 4වෙනිදා නඩු අසද්දී, විනිශ්චයකාරයා මේ ලිපියේ මුලදී සඳහන් කළ ප්‍රකාශය කළා. මගේ සිරදඬුවම ගෙවී ගියේ වාල්ට්හයිම්වල, ඊට පස්සේ හාලවල, අන්තිමේදී හෝඅ’නෙක්වලයි. යෙහෝවාගේ සාක්ෂිකරුවන් වන අපිට දෙවි සරණ හා ශක්තියක් වුණේ කොහොමද කියලත්, ඔහුගේ වචනය අපිව ප්‍රාණවත් කළේ කොහොමද කියලත් සුළු සිද්ධීන් එකකින් හෝ දෙකකින් පෙන්වයි.

වෝල්ට්හිම්හි සිරභාරයේදී, සාක්ෂිකාර සහෝදරියන් සියලුදෙනාම නිතිපතා එක ශාලාවකට රැස් වුණ නිසා අපිට ක්‍රිස්තියානි රැස්වීම් පවත්වන්න පුළුවන් වුණා. පැන්සල් මෙන්ම කොළ ළඟ තියාගන්න අවසර ලැබුණෙ නැති වුණත්, සහෝදරියන් කීපදෙනෙක් රෙදි කෑලිවලින් බැනරයක් හැදුවා. ඒකෙ, “ශුද්ධකමේ අලංකාරයෙන් [යෙහෝවාට] නමස්කාර කර[න්න]” කියන 1952 සඳහා වාර්ෂික පදය යොදා තිබුණා.—ගීතාවලිය 29:2.

ආරක්ෂක භට කාන්තාවක් පුදුම වී, අපිව අල්ලගෙන, පමා නොවී අපි ගැන වාර්තා කළා. සිරභාරයේ ප්‍රධානියා ඇවිත් සහෝදරියන් දෙන්නෙක්ට බැනරය උඩට කරලා අල්ලගෙන ඉන්න කිව්වා. “කවුද මේක හැදුවේ?” ඔහු සැරෙන් ඇහැව්වා. “මේ වැඩේ තේරුම මොකක්ද?”

එක සහෝදරියකට වුවමනා වුණා අපි වෙනුවෙන් ඉදිරිපත් වෙලා වරද එයා පිට පටවගන්න; නමුත් අපි ඉක්මනින්ම අපි අතරේ රහසින් කතා කරගෙන, අපි හැමෝම ඊට වගකිව යුතු බව පිළිගන්න එකඟ වුණා. ඉතින් අපි මෙහෙම පිළිතුරු දුන්නා: “අපි ඒක හැදුවේ අපේ ඇදහිල්ල ශක්තිමත් කරගන්නයි.” බැනරය රාජසන්තක කළ අතර, දඬුවමක් වශයෙන් අපට කෑම නොදී ඇරියා. නමුත් මුළු සාකච්ඡාව පුරාම, සහෝදරියන් ඒක උඩට උස්සගෙන හිටියා, දිරිගන්වන ශුද්ධ ලියවිලි පාඨය අපිට අපේ මතකයේ රඳවාගන්න පුළුවන් වෙන්න.

වොල්ට්හිම්වල කාන්තා සිරගෙය වහලා දැම්මහම, සාක්ෂිකාරියන් වන අපිව හාලවලට මාරු කළා. මෙහෙදී අපිට බඩු පාර්සල් ලබාගන්න ඉඩ දුන්නා; සපත්තු ජෝඩුවක් ඇතුලේ දාලා මහලා මගේ තාත්තා මට එවලා තියෙන්නේ මොනවද? මුරටැඹ (ඉංග්‍රීසියෙන්) ලිපි! ඒවාවල මාතෘකාවල් තාමත් මට මතකයි, “සැබෑ ප්‍රේමය ප්‍රායෝගිකයි” සහ “බොරුව ජීවිතය නැතිවීමට සලස්වයි.” මේවා සහ අනිත් ලිපි ඇත්තෙන්ම ප්‍රණීතයි; ඒ වගේම අපි ඒවා එක් කෙනෙකුගෙන් තවත් කෙනෙකුට රහසින් යැව්වහම, එක් එක් තැනැත්තිය තමාගේම සටහන් අරගත්තා.

සෝදිසි මෙහෙයුමකදී, එක ආරක්ෂක භට කාන්තාවක් මගේ පිදුරු මෙට්ටෙ හංගලා තිබුණ මගේ පුද්ගලික සටහන් සොයාගත්තා. පසුව, ඇය මගෙන් ප්‍රශ්න කළ අතර, “1955 සඳහා යෙහෝවාට භයවෙන්නන්ට ප්‍රස්තා” යන ලිපියේ තේරුම ඇයට ස්ථිරයෙන්ම දැනගන්න වුවමනා බව කියා සිටියා. කොමියුනිස්ට්වාදියෙක් වූ ඇය, 1953දී මියගිය ඇගේ නායක ස්ටාලින්ගේ මරණය ගැන දැඩි ශෝකයකින් සිටි අතර, අනාගතය අඳුරු එකක් මෙන් පෙනෙන්න තිබුණා. අපිට නම්, සිරභාරයේ අපේ තත්වයන්වල යම් දියුණුවක් අනාගතය මගින් ගෙනැවිත් දෙන්න තිබුණත්, මම ඒ ගැන හරියට දැනගෙන හිටියේ නෑ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට අනාගතයේ තිබෙන්නේ හොඳම තත්වයන් බව මම පැහැදිලි කරන්නේ සැකයක් නැතුවයි. ඇයි? මම සඳහන් කළේ ලිපියේ තේමා ශුද්ධ ලියවිලි පාඨයෙනුයි; එනම් ගීතාවලිය 112:7: “ඔහු නරක ආරංචිවලට භය නොවන්නේය. ඔහුගේ සිත [යෙහෝවා] කෙරෙහි විශ්වාසය තබමින් ස්ථිරව තිබේ.”

යෙහෝවා මගේ සරණ හා ශක්තියව සිටියි

බරපතළ රෝගයකින් පස්සේ, නියමිත කාලයට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා 1957 මාර්තුවලදී මාව සිරගෙයින් නිදහස් කළා. මා යෙහෝවාගේ සේවයේ ක්‍රියාශීලීව සිටි නිසා, නැඟෙනහිර ජර්මනියේ නිලධාරීන් යළිත් මා වෙත පීඩනය එල්ල කළා. මේ නිසා, 1957 මැයි 6වෙනිදා බටහිර බ’ලින්වලට පලා යන්න අවස්ථාව උදා කරගත් මා එතැනින් බටහිර ජර්මනියට ගියා.

මගේ ශරීර සෞඛ්‍යය හොඳ අතට හැරෙන්න අවුරුදු කීපයක් ගත වුණා. නමුත් මේ දක්වාම තවමත් සාරවත් ආත්මික රුචියක් තියෙන මම, හැම අලුත් මුරටැඹ පිටපතක්ම ලැබෙන තෙක් ආශාවෙන් බලා සිටිනවා. කලින් කලට මම මා ගැනම සෝදිසි කරලා බලනවා. මම තවමත් ආත්මික මනසක් ඇතුව ඉන්නවාද? මම යහපත් ගුණාංග වර්ධනය කරගෙන තියෙනවාද? සෝදිසි කරනු ලැබූ මගේ ඇදහිල්ලේ ගුණාංගය යෙහෝවාට ප්‍රශංසාව හා ගෞරවය සඳහා හේතුකාරකයක්ද? දෙවි සැමදා මගේ සරණ හා ශක්තිය ලෙස සිටින පිණිස මගේ ඉලක්කය නම් සියල්ලේදී දෙවිව සතුටු කරන්නයි.

[පාදසටහන්වල]

a වොච් ටවර් බයිබල් හා පත්‍රිකා සමිතියේ නියෝජිතයන්, 1914 ඉඳලා කාච හා චල චිත්‍ර අඩංගු “ඡායාරූප නාට්‍යය” පුළුල් ලෙස පෙන්නුවා.

b වර්ෂ 1940 මැයි පළවෙනිදා, ස්විට්ස’ලන්තයේ බ’න්හි වොච් ටවර් සමිතිය මගින් මුද්‍රිත ට්‍රොස්ට් (සැනසිල්ල) කියන සඟරාවේ 10වෙනි පිටුවේ වාර්තා කළේ, ලිචන්බ’ග්හි යෙහෝවාගේ සාක්ෂිකාරියන්ට එක කාලයකදී දවස් 14ක්ම දවල් ආහාරය ලැබුණේ නැති බවයි; එහෙම වුණේ නාට්සි ගී වාදනය වන විට ඔවුන් ගෞරව සංඥාවක් කරන්න ප්‍රතික්ෂේප කළ නිසයි. එතැන යෙහෝවාගේ සාක්ෂිකරුවන් 300දෙනෙක් හිටියා.

c පිබිදෙව්! 1993 අප්‍රියෙල් 8 කලාපයේ 20-3 දක්වා පිටුවල ජෝසෙෆ් රෙවාල්ඩ් ගැන වාර්තාවක් පළ වුණා.

[26වන පිටුවේ පින්තූරය]

රැවන්ස්බ’ක්වල එස්.එස්. කාර්යාලය

[හිමිකම් විස්තර]

ඉහළ: Stiftung Brandenburgische Gedenkstatten

[26වන පිටුවේ පින්තූරය]

කඳවුරෙන් පිටත වැඩ කරන්න ලැබුණ මගේ අවසරපත

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න