ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w96 10/1 3-4 පි.
  • අප සිහින දැකිය යුතුය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප සිහින දැකිය යුතුය
  • 1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සිහින ලෝකය
  • සිහින—දෙවිගෙන් ලැබෙන පණිවුඩද?
    2001 පිබිදෙව්!
  • සිහින
    2014 පිබිදෙව්!
  • සිහිනවලට අනාගතය ගැන කලින් කීමට හැකිද?
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නින්ද කාලය කා දැමීමක්ද අත්‍යවශ්‍යම දෙයක්ද?
    2003 පිබිදෙව්!
තව තොරතුරු
1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w96 10/1 3-4 පි.

අප සිහින දැකිය යුතුය

ඔබ සිහින දකින්නෙහිද? බිය සැකයකින් තොරව එසේ වන බව පිළිගත හැකිය; මන්දයත් සිහින නොදකින බව කියා සිටියත්, අප සියලුදෙනාම නින්දේදී සිහින දකින බැවිනි. සිහිනවලින් සියයට 95කට වඩා වැඩි ප්‍රමාණයක් මතකයේ නොරැඳෙන බව තක්සේරු කර තිබේ. ඔබට මතක කුමන ඒවාද? ඇත්තෙන්ම, සාමාන්‍යයෙන් අපට මතකයේ තිබෙන්නේ අවදිවීමට මදකට පෙර දකින ඒවා පමණි.

නින්ද වනාහි නොකඩවා සිදු වන ක්‍රියාවලියක් බවත්, මුල් පැය කිහිපයේදී කෙනෙකු තද නින්දේ පසු වන බවත්, ඉන් අනතුරුව අඩ නින්දේ පසු වන බවත්, සිහින පිළිබඳව පර්යේෂණ පවත්වන්නන් සොයාගෙන තිබේ. විශේෂයෙන්ම ඇසේ ඉක්මන් චලන කාලපරිච්ඡේද තුළදී සිහින දැකගන්ට ලැබේ. මෙය ඇඉච (REM) නින්ද ලෙස හැඳින්වේ. මෙය ඇඉච සිදු නොවන නින්ද සමඟ මාරුවෙන් මාරුවට සිදු වේ. ඇඉච සිදු වන/සිදු නොවන සෑම චක්‍රයක්ම විනාඩි 90කට පමණ පවතින අතර, මෙම චක්‍ර රාත්‍රිය පුරා පස් හය වතාවක් නැවත නැවත සිදු වේ. අවසාන චක්‍රය සිදු වන්නේ අප අවදිවන්ට මදකට කලින්ය.

නින්දේදී ඔබේ මොළයේ ක්‍රියාකාරිත්වය පහත් මට්ටමක තිබෙනවායයි සිතීම වරදකි. අවදිව සිටින සමහර අවස්ථාවලට වඩා සිහින දකින අවස්ථාවේදී, අවධානය මෙන්ම මතකය හා සම්බන්ධ වන මොළයේ අග කොටසෙහි පිහිටා තිබෙන සමහරක් නියුරෝන හැරෙන්ට, මොළයේ අනිකුත් කොටස් ඉතා ක්‍රියාකාරි වන බව සොයාගෙන තිබේ. එම නියුරෝන ඇඉච නින්දේදී විවේක ගන්නා බවද පෙනේ. එහෙත් පොදුවේ ගත් කල, මොළයේ තිබෙන ස්නායු සෛලවල නොකඩවා අන්තර් සෛලීය සන්නිවේදනයක් සිදු වේ.

අපගේ මොළය වනාහි, ශරීරයේ තිබෙන ඉතා මවිතකර අන්දමේ සංකීර්ණ කොටසකි. තත්පරයකට, ආසන්න වශයෙන් සංඥා සියයේ සිට දෙසියයක් හෝ තුන්සියයක් දක්වා සංඛ්‍යාවක් උපදවන බිලියන ගණන් මූලද්‍රව්‍ය එයට තිබේ. මිනිස් මොළයක තිබෙන මූලද්‍රව්‍යයන්හි සංඛ්‍යාව මිහිපිට වෙසෙන මිනිසුන්ගේ සංඛ්‍යාවට වඩා වැඩිය. එහි මූලද්‍රව්‍ය බිලියන 20 සිට බිලියන 50කට වැඩි සංඛ්‍යාවක් දක්වා අඩංගු වන බව සමහර පර්යේෂකයෝ තක්සේරු කර ඇත්තාහ. මිනිස් ශරීරය සම්බන්ධයෙන් බයිබල් ලේඛක දාවිත් පැවසූ දෙය එහි සංකීර්ණත්වයෙන් සනාථ වෙයි: “මම ඔබව වර්ණනා කරන්නෙමි; මක්නිසාද මා ගරුබිය උපදවන ලෙසත් පුදුමාකාර ලෙසත් සාදන ලද්දේය. ඔබගේ කර්මාන්ත මවිතාකාරය.”—ගීතාවලිය 139:14, NW.

සිහින ලෝකය

අප අවදිව සිටින පැය ගණන පුරා, අපගේ පංචේන්ද්‍රියයන් නිරතුරුවම තොරතුරු හා චිත්තරූප මොළයට ගෙන යයි. එහෙත් නිදා සිටින අවස්ථාවේදී මෙය සිදු නොවේ. බාහිර සංවේදක ඉන්ද්‍රියයන්ගේ උපකාරය නොමැතිව මොළයෙන්ම චිත්තරූප නිපදවනු ලැබේ. එමනිසා, සමහර අවස්ථාවලදී අප සිහිනවල දකින දේවල් හා එහි අද්දකින ක්‍රියාවන් ව්‍යාජ දර්ශනවලට සමානය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සුරංගනා කතාවල චරිත මෙන් ඉගිළීම හෝ තුවාල වීමකින් තොරව පර්වතයකින් පහතට වැටීම වැනි ස්වාභාවික නියමයන් කඩ කරන දේවල් කිරීමට අපට හැකි වෙයි. කාලය විකෘති විය හැක, එනිසා අතීතයේ දේවල් වර්තමානයේ සිදු වෙනවා මෙන් පෙනිය හැක. නැතහොත් අප යම් තැනකින් පලායෑමට උත්සාහ කරන්නේ නම්, අපගේ චලනය වීම් පාලනය කළ නොහැකි සේ පෙනේ—එනම් අපගේ පාද ප්‍රතිචාර නොදක්වන බවක් පෙනේ. ඇත්තෙන්ම, අප අවදිව සිටින කාලය අතරතුරේදී සිතට හොඳින් කාවැදුණු දේවල් හා අද්දැකීම් මගින් අපගේ සිහිනවලට බලපෑමක් ඇති විය හැක. යුද්ධයේ භයානක දාමරික ක්‍රියා අද්දැක තිබෙන බොහෝදෙනෙකුට ඒවා අමතක කිරීම පහසු නැත. අපරාධකරුවෙකුගෙන් පහර ලැබූ ආකාරය සමහරෙකුට අමතක කළ නොහැක. අප අවදිව සිටින කාලයේදී සිදු වන එවන් කළඹවනසුලු අද්දැකීම් නපුරු සිහිනවලට හේතු වෙමින් අපගේ සිහිනවලදී නැවත පෙනිය හැක. අප නිදාගන්නා විට, අපගේ මනසේ තිබෙන්නාවූ සාමාන්‍ය දේවල් අපගේ සිහිනවල දැකිය හැක.

සමහර අවස්ථාවලදී ප්‍රශ්නයක් නිරාකරණය කිරීමට අප උත්සාහ කරන විට, අපේ නින්දේදී ඊට විසඳුමක් ලැබේ. ඇතැම්විට මුළු නින්දම සිහිනවලින් පමණක් සමන්විත නොවන බව මින් පැහැදිලි වනවා විය හැක. කල්පනා ශක්තියත් යම් දුරකට ක්‍රියාත්මක වේ.

සිහින හා අපගේ මොළය ගැන එක් පොතක් මෙසේ සඳහන් කරයි: “නින්දේදී වඩාත් පොදු මානසික ක්‍රියාකාරකම නම් සිහින දැකීම නොව, නමුත් කල්පනා කිරීමය. නින්දේදී කල්පනා කිරීම, ඉන්ද්‍රියයන් මගින් දකින මුළා කරවන දේවල් සමඟ එකට නොපැමිණෙන අතර, එය අරුම පුදුම දෙයක්ද නොවේ. එදිනෙදා සාමාන්‍ය සිදුවීම් හා සම්බන්ධ වීමට එයට නැඹුරුවාවක් තිබේ. බොහෝවිට ඊයේ සිදු වූ හෝ හෙට දිනයේ සිදු වන ජීවිතයේ සැබෑ සිදුවීම් පිළිබඳ සැලකිල්ලක් ඉන් පිළිබිඹු වන අතර, එය සාමාන්‍යයෙන් වැදගැම්මකට නැති නිර්මාණශීලී නොවන, නැවත නැවත සිදු වන යමකි.”

තම සිහිනවල දකින දේවල්වල තමන් සඳහා විශේෂ පණිවුඩ ගැබ්ව ඇති බව සමහර මිනිසුන්ට හැඟේ. සිහිනවල අර්ථය සොයා බැලීමට හැකි වන පිණිස, විගස ඒවා වාර්තා කිරීමේ අරමුණින් ඔවුහු සටහන් පොතක් ඇඳ අසලින් තබාගනිති. සිහිනවල දකින්ට ලැබෙන දේවල අර්ථය පහදා දීමට උත්සාහ කරන පොත්වල ප්‍රයෝජන සම්බන්ධයෙන්, ඈන් ෆැරඩේ විසින් රචිත ද ඩ්‍රීම් ගේම් නම් පොතේ මෙසේ සඳහන් වෙයි: “සිහිනවල දකින්ට ලැබෙන දේවල තේමාව හා එම දේවල් පිළිබඳ අර්ථයන් පහදා දෙන පොත් චාරිත්‍රානුකූල වුවත්, නැතහොත් යම් මනෝ විද්‍යාත්මක මූලධර්මයක් මත පදනම් වුවත්, ඒවා මුළුමනින්ම ප්‍රයෝජනයෙන් තොරය.”

මූලිකවම මොළයෙහි සිහින හටගන්නා බව පෙනෙන්ට තිබෙන නිසාම, ඒවාට අප සඳහා විශේෂ පණිවුඩ තිබෙන බව සිතීම සාධාරණ නොවේ. එය, මොළය සෞඛ්‍යසම්පන්න තත්වයක පවත්වා ගැනීම සඳහා උපකාරවත් වන මොළයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයක් ලෙස අප සැලකිය යුතුය.

එහෙත් නෑදෑයෙකුගේ හෝ මිතුරෙකුගේ මරණයක් ගැන සිහිනයකින් දුටු බවත්, එම පුද්ගලයා මැරුණු බව ඊළඟ දිනයේදී දැනගන්ට ලැබූ බවත් පවසන අය ගැන කුමක් කිව හැකිද? අනාගතය ගැන කලින් කීමට සිහිනවලට හැකි බව එය අඟවන්නේ නැද්ද? අනාවැකිමය සිහින පිටුපස තිබෙන්නේ කුමක්ද කියා අපි ඊළඟ ලිපියේ සලකා බලමු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න