දෙවියන්වහන්සේ ක්‍රිස්තියානි ලෝකයේ නමස්කාරය සලකන්නේ කෙසේද?
“ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට: ස්වාමිනි, ස්වාමිනියි කියන සියල්ලෝම ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නෝය,” කියා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පැවසූසේක. “ඒ දවසේදී බොහෝ දෙනෙක්: ස්වාමිනි, ස්වාමිනි, . . . ඔබගේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා නොකෙළෙමුදැයි මට කියනවා ඇත. එවිට මම: කිසිකලෙකත් නුඹලා නොහැඳින්නෙමි. අධර්මිෂ්ඨකම් කරන්නෙනි, මා කෙරෙන් අහක්ව පලයල්ලායයි ඔවුන්ට කියන්නෙමි.”—මතෙව් 7:21-23.
දෙවියන්වහන්සේගේ පරිශුද්ධ වචනය වන ශුද්ධ බයිබලය තුළින්, ස්වකීය කැමැත්ත කුමක්ද කියා උන්වහන්සේ පැහැදිලි කර තිබෙනසේක. ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි දෙවියන්වහන්සේගේ කැමැත්ත කරමින් සිටින්නේද? එසේ නැතහොත්, යේසුස්වහන්සේ හැඳින්වූ පරිදි ඔවුහු ‘නොපනත්කම් කරන්නෝද?’
ලේ වැගිරවීම්
තම ස්වාමියාගේ මරණයට පෙර දින රාත්රියේදී, යේසුස්වහන්සේව අත්අඩංගුවට ගැනීම සඳහා එවා තිබුණු හේවා කණ්ඩායම සමඟ පේතෘස් අවි ගැටුමක් ආරම්භ කිරීමට ආසන්න තත්වයක සිටියේය. (යොහන් 18:3, 10) එහෙත් යේසුස්වහන්සේ නැවතත් සන්සුන් කර, පේතෘස්ට මෙසේ අනතුරු ඇඟවූසේක: “කඩු ගන්න සියල්ලෝ කඩුවෙන්ම විනාශවන්නෝය.” (මතෙව් 26:52) මෙම පැහැදිලි අනතුරු ඇඟවීම, එළිදරව් 13:10හි නැවතත් සඳහන් කර තිබේ. ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි මෙයට අවනත වී තිබේද? එසේ නැතහොත්, පොළොවේ විවිධ ප්‍රදේශවල සිදු වෙමින් පවතින යුද්ධවලට ඔවුන් තරමක් දුරට වගකිව යුතුද?
දෙවන ලෝක යුද්ධයේදී, සර්බිවරුන් හා ක්‍රොඇට්වරුන් සිය දහස් ගණනක් ආගමේ නාමයෙන් ඝාතනය කරනු ලැබූහ. “නාට්සි ක්රියාකලාපවලටත් වඩා ඔබ්බෙන් ක්‍රියා කළ, ‘වාර්ගික ශෝධනයේ’ ප්‍රතිපත්තියක් බලෙන් පැනවීමට, ක්‍රොඒෂියාවේ ස්වදේශික ඒකාධිපති පාලනය ඇරඹීය. . . . සර්බියානු ජනගහනයෙන් තුනෙන් එකක් රටින් පිටුවහල් කරනු ලබන බවත්, තුනෙන් එකක් රෝමානු කතෝලික භක්තිකයන් බවට හරවාගනු ලබන බවත්, තවත් තුනෙන් එකක් ඝාතනය කරනු ලබන බවත් ප්‍රකාශ කරනු ලැබීය. . . . මෙම ක්රියාකලාපවලදී, කතෝලික පූජක පක්ෂයේ පක්ෂග්රාහි මිත්‍ර සබඳතාව, පල්ලි හා ආණ්ඩු අතර පැවති සබඳතාවලට යුද්ධයෙන් පසුව බරපතළ ලෙස හානි පැමිණවීය,” යනුවෙන් ද නිව් එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා වාර්තා කරයි. මනුෂ්‍යයන් අසංඛ්යාතයකට කතෝලික ආගමට හැරීමට නැතහොත් මරණය විඳීමට බල කරනු ලැබීය; වෙනත් දහස් ගණන්දෙනෙකුට එවන් තෝරාගැනීමක් පවා නොදෙන ලදි. ගම්මාන මුළුමනින්ම—එනම් පුරුෂයන්ව, ස්ත්‍රීන්ව හා දරුවන්ව—ඔර්තඩොක්ස් පල්ලිවලට බලෙන් ගෙන ගොස් මරා දමන ලදි. විරුද්ධ පක්ෂයේ සිටි කොමියුනිස්ට් යුද හමුදාවන් ගැන කුමක් කිව හැකිද? ඔවුන්ටත් ආගමික සහයෝගය තිබුණේද?
“ඇතැම් පූජකයන් විප්ලවකාරි හමුදාවල පැත්ත ගනිමින් යුද්ධයෙහි හවුල් වූ බව” හිස්ටරි ඔෆ් යුගොස්ලාවියා යන පොත වාර්තා කරයි. “සර්බියානු ඔර්තඩොක්ස් හා රෝමානු කතෝලික පල්ලිවල සිටි පූජකයන් පවා පක්ෂවාදී යුද හමුදාවට ඇතුළත් වූ බව” යුගොස්ලාවියා ඇන්ඩ් ද නිව් කමියුනිසම් නමැති පොත ප්‍රකාශ කරයි. බෝල්කන්හි යුද්ධය තව තවත් වැඩි කිරීම සඳහා ආගමික මතභේද රුකුල් දෙයි.
රුවන්ඩාව ගැන කුමක් කිව හැකිද? ජාත්‍යන්තර සබඳතා සඳහා කතෝලික ආයතනයේ ප්‍රධාන ලේකම් වන ඉයන් ලින්ඩන්, ද මන්ත් නම් සඟරාවේ පහත සඳහන් ඒත්තුගැන්වීම කළේය: “ලන්ඩනයේ ඇෆ්රිකන් රයිට්ස් [අප්‍රිකානු අයිතිවාසිකම්] මගින් සිදු කරන ලද පරීක්ෂණ, යුද භටයන්ගේ ඝාතන සම්බන්ධයෙන් උදාසීන බවක් දැක්වීමෙන් හෝ ඒ සඳහා බලය දීමෙන් ප්‍රාදේශීය කතෝලික, එංගලන්ත සභාවේ හා බැප්ටිස්ට් පල්ලි නායකයන් සම්බන්ධ වී ඇති බවට නිදසුන් එකක් හෝ දෙකක් සපයයි. . . . මීසම්වල සිටි ප්‍රසිද්ධ ක්‍රිස්තියානීන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක්, නිසැකවම ඝාතනවලට සම්බන්ධ වූ බවට කිසිදු සැකයක් නැත.” නාමික ක්‍රිස්තියානීන් අතර සිදු කෙරෙන ගැටුම්, මධ්‍යම අප්‍රිකාවට නොකඩවා බලපෑම් කරනු ලැබීම කනගාටුවට කරුණකි.
වේශ්‍යාකම හා කාමමිථ්‍යාචාරය
දේවවචනයට අනුව, ලිංගික සබඳතා සඳහා ඇත්තේ එකම ගෞරවනීය ස්ථානයක් පමණක් වන අතර, එය විවාහ බන්ධනය තුළ වේ. “විවාහය සියල්ලන් අතරෙහි ගෞරව ඇතුව, යහන නොකිලුටුව තිබේවා; මක්නිසාද වේශ්‍යාකම්කරන්නන්ද කාමමිථ්‍යාචාරිකයන්ද දෙවියන්වහන්සේ විනිශ්චයකරනසේක,” කියා බයිබලය සඳහන් කරයි. (හෙබ්‍රෙව් 13:4) පල්ලි නායකයෝ දෙවියන්වහන්සේගේ මෙම ඉගැන්වීම පිළිගනිත්ද?
යුවළක් එකිනෙකාට සම්පූර්ණයෙන්ම බැඳී සිටින්නේ නම්, විවාහයට පෙර ලිංගික සම්බන්ධකම් පැවැත්වීමේ වරදක් නැතැයි යෝජනා කළ ලිංගිකත්වය පිළිබඳ නිල ලේඛනයක්, ඕස්ට්‍රේලියාවේ එංගලන්ත සභාවේ පල්ලිය මගින් 1989දී මුදාහරිනු ලැබීය. ස්කොට්ලන්තයේ එංගලන්ත සභා පල්ලි නායකයා වඩාත් මෑතකදී මෙසේ ප්‍රකාශ කළේය: “කාමමිථ්‍යාචාරික සබඳතා පව්කාර හා වැරදි දෙයක් ලෙස පල්ලි මගින් හෙළා නොදැකිය යුතුය. කාමමිථ්‍යාචාරය අපට උරුම වී ඇති පාපය මගින් සිදු වන දෙයක් බව පල්ලිය පිළිගත යුතුය.”
දකුණු අප්‍රිකාවේ පූජකයන් කිහිපදෙනෙක් සමලිංගික සේවනය වෙනුවෙන් නිර්භීතව කතා කර ඇත්තාහ. නිදසුනක් වශයෙන්, 1990දී, දකුණු අප්‍රිකානු යූ නමැති සඟරාව, ප්‍රසිද්ධ එංගලන්ත සභා දේවසේවකයෙකු පැවසූ දේ මෙසේ උපුටා දක්වා තිබිණ: “ශුද්ධ ලියවිලි සදහටම නියෝග පැනවීම් නොකරයි. . . . සමලිංගික සේවනයේ යෙදෙන මනුෂ්‍යයන් කෙරෙහි පල්ලිය දරන ආකල්පයෙහි හා ප්‍රතිපත්තියේ වෙනස්වීම් සිදු වනු ඇතැයි මම විශ්වාස කරමි.”—රෝම 1:26, 27හි වෙනස සසඳන්න.
නයින්ටීන් නයින්ටි ෆෝර් බ්‍රිටැනිකා බුක් ඔෆ් ද යියර් නම් පොතට අනුව, විශේෂයෙන්ම “ප්‍රසිද්ධියේ සමලිංගික සේවනයේ යෙදෙන පුරුෂයන් හා ස්ත්‍රීන් දේවගැතිවරයන් බවට පත් කිරීම, ආගමික වශයෙන් සමලිංගික අයිතිවාසිකම් වටහාගැනීම, ‘සමලිංගික විවාහවලට’ ආශීර්වාද කිරීම හා සමලිංගික ජීවනරටා නීත්‍යනුකූල කරනවාද හෙළා දකිනවාද යන්න” අමෙරිකානු පල්ලිවල ලිංගිකත්වයේ වාදයට තුඩු දෙන කාරණයක් බවට පත්ව ඇත. එනම් වැඩි ලිංගික නිදහසක් සඳහා කටයුතු කරන පූජකයන්ට, ප්‍රධාන පල්ලි නිකායන් බොහොමයක් ඉඩහරියි. නයින්ටීන් නයින්ටි ෆයිව් බ්‍රිටැනිකා බුක් ඔෆ් ද යියර් නම් පොත සඳහන් කරන අන්දමට, එපිස්කෝපල් බිෂොප්වරුන් 55දෙනෙක්, “සමලිංගික සේවනයේ යෙදෙන්නන් පූජකයන් ලෙස පැවිදි කිරීම හා සමලිංගික සේවනය පිළිගැනීම තහවුරු කරන” ප්‍රකාශයක් අත්සන් කළෝය.
යේසුස්වහන්සේ කිසිදා සමලිංගික සේවනයට විරුද්ධව කතා නොකළ බව පවසමින්, ඇතැම් පූජකවරු ඊට පක්ෂව තර්ක කරති. එහෙත් එය ඇත්තෙන්ම එසේද? දේවවචනය සත්‍යය බව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ කළසේක. (යොහන් 17:17) මෙනිසා, ලෙවී කථාව 18:22හි විස්තර කර තිබෙන සමලිංගික සේවනය සම්බන්ධයෙන් දෙවියන්වහන්සේගේ දෘෂ්ටිය උන්වහන්සේ අනුමත කළ බව මින් අදහස් කෙරේ: “ගැහැනුන් සමඟ මෙන් පිරිමින් සමඟ සංවාසය නොකරන්න. ඒක පිළිකුලක්ය.” එපමණක්ද නොව, “ඇතුළතින් නික්මී මනුෂ්‍යයා අපවිත්‍ර [කරන] නපුරු දේවල්” අතර වේශ්‍යාකම හා කාමමිථ්‍යාචාරයද තිබෙන බව යේසුස්වහන්සේ සඳහන් කළසේක. (මාර්ක් 7:21-23, NW) වේශ්‍යාකම සඳහා ඇති ග්‍රීක් වචනය, කාමමිථ්‍යාචාරය යන යෙදුමට වඩා පුළුල් අර්ථයක් ඉදිරිපත් කරයි. එය සමලිංගික සේවනය ඇතුළුව, නීත්‍යනුකුල විවාහයකට පිටතින් සිදු කරනු ලබන සියලුම ලිංගික සබඳතා විස්තර කරයි. (යූද් 7) වේශ්‍යාකමේ බරපතළකම සුළු කරන, ක්රිස්තියානියෙකුයයි කියා සිටින කිසිම ගුරුවරයෙකුට ඉඩ නොදිය යුතු බවට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සිය අනුගාමිකයන්ට අනතුරු ඇඟවූසේක.—එළිදරව් 1:1; 2:14, 20.
සමලිංගික සේවනයේ යෙදෙන පුරුෂයන් හා ස්ත්‍රීන්ව පැවිද්දන් බවට පත් කිරීමේ ව්‍යාපාරයක ආගමික නායකයන් යෙදෙන විට, මෙය ඔවුන්ගේ පල්ලි සාමාජිකයන් මත, විශේෂයෙන්ම යෞවනයන් මත ඇති කරවන බලපෑම කුමක්ද? විවාහයෙන් පිටත ලිංගික සබඳතා අත්හදා බැලීම සඳහා එය පෙලඹවීමක් නොවේද? මීට පටහැනිව, “වේශ්‍යාකම කෙරෙන් පලා [දිවීමට],” දේවවචනය උදක්ම ඉල්ලා සිටී. (1 කොරින්ති 6:18) සෙසු ඇදහිලිවන්තයෙකු එවැනි පාපයකට වැටුණහොත්, දෙවියන්වහන්සේගේ අනුග්‍රහය නැවත ලබා දීමේ අරමුණෙන් එම පුද්ගලයාට ප්‍රේමනීය උපකාරය සපයනු ලැබේ. (යාකොබ් 5:16, 19, 20) මෙම උපකාරය ප්‍රතික්ෂේප කරනු ලැබේ නම් කුමක්ද? එවැනි අය පසුතැවිලි වුවහොත් මිසක, ඔවුන් “දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුමකරගන්නේ නැති බව” බයිබලය පවසයි.—1 කොරින්ති 6:9, 10.
‘විවාහ වීමට තහනම් කිරීම’
“වේශ්‍යාකම්” නිසා “කාමදාහයට වඩා විවාහය හොඳය” කියා බයිබලය පවසයි. (1 කොරින්ති 7:2, 9) මෙම ප්‍රඥාවන්ත උපදෙස තිබියදීත්, පූජකයන් බොහෝදෙනෙකුට බ්රහ්මචාරීව, එනම් අවිවාහකව සිටීමට සිදු වී තිබේ. “පූජකයෙකු, පැවිද්දෙකු හෝ කන්‍යා සොහොයුරියක ලිංගික සබඳතාවෙහි යෙදුණහොත් බ්‍රහ්මචර්යාවේ පොරොන්දුව කඩ වී නැත, . . . ” කියා ද වැටිකන් පේපර්ස් නම් තම පොතෙහි නිනෝ ලෝ බෙලෝ පැහැදිලි කරයි. “පාපොච්චාරණයේදී අවංක ප්‍රකාශයක් කිරීමෙන්, ලිංගික සබඳතා සඳහා සමාව ලබාගත හැකි වන මුත්, ඕනෑම පූජකවරයෙකුගේ විවාහයක් පල්ලිය මගින් පිළිගනු නොලැබේ.” මෙම ඉගැන්වීම තුළින් නිපදවා ඇත්තේ හොඳ ඵලද, නරක ඵලද?—මතෙව් 7:15-19.
පූජකයන් බොහෝදෙනෙක් සදාචාරමය වශයෙන් පිරිසිදු ජීවිත ගත කරන බවට සැකයක් නොමැති වුවත්, විශාල සංඛ්‍යාවක් එසේ නොකරති. නයින්ටීන් නයින්ටි ටූ බ්‍රිටැනිකා බුක් ඔෆ් ද යියර් නම් පොතට අනුව, “පූජකයන් විසින් සිදු කරන ලද ලිංගික අතවරයන් සම්බන්ධ නඩු බේරුම් කිරීම සඳහා, රෝමානු කතෝලික පල්ලියට ඩොලර් මිලියන 300ක් ගෙවීමට සිදු වූ බව වාර්තා කර තිබේ.” පසු කලකදී, 1994 සංස්කරණය මෙසේ සඳහන් කළේය: “ඒඩ්ස් රෝගය හේතුවෙන් පූජකයන් වැඩිදෙනෙකු මියගිය බැවින්, එයින් සමලිංගික සේවනයේ යෙදෙන පූජකයන් සිටින බව හෙළි වූ අතර, පූජක තන්ත්රයට සමලිංගික සේවනයේ යෙදෙන්නන් . . . අසීමිත සංඛ්‍යාවක් ඇදී එන බව නිරීක්ෂණය කර තිබේ.” ‘විවාහ වීමට තහනම් කිරීම’ ‘භූතයන්ගේ ඉගැන්වීමක්’ බව බයිබලයෙහි පවසා තිබීම අරුමයක් නොවේ. (1 තිමෝති 4:1-3) “ඇතැම් ඉතිහාසඥයන්ගේ අදහසට අනුව, ගණිකා වෘත්තිය ඇතුළු බටහිරෙහි වෙනත් කිසිදු ව්‍යාපාරයකට වඩා වැඩියෙන්, [පූජක බ්‍රහ්මචර්යාව] සදාචාරයට වඩාත් හානියක් සිදු කර තිබෙනවා විය හැකි බව,” විකාස් ඔෆ් ක්රයිස්ට් නම් තම පොතෙහි පීටර් ඩේ රෝස ලියන්නේය. . . . “ක්‍රිස්තියානි ධර්මයේ නාමයට [මෙය] බොහෝවිට කැළලක් සිදු කර තිබේ. . . . බ්‍රහ්මචර්යාව බල කර තිබෙන බැවින්, විවිධ පූජක පදවි දරන පූජකයන්ව සැමවිටම කුහකකමට මඟ පාදා තිබේ. . . . පූජකවරයෙකුට දුරාචාර ක්‍රියා බොහෝ වර කළ හැකි වුවත්, ඔහුට ධර්මවෛයිධික නීතිය යටතේ එක වතාවක්වත් විවාහ විය නොහැක.”
බාල් නමස්කාරය සම්බන්ධයෙන් දෙවියන්වහන්සේ දරන දෘෂ්ටිය සලකා බැලීමෙන් පසු, ක්‍රිස්තියානි ලෝකයේ බෙදුණු පල්ලි පිළිබඳව උන්වහන්සේ දරන දෘෂ්ටිය වටහාගැනීමට දුෂ්කර නොවනු ඇත. බයිබලයේ අවසාන පොතෙහි, සෑම ආකාරයේ බොරු නමස්කාරයක්ම, “මහා බබිලෝනියය, පොළොවේ වේශ්‍යාවන්ගේද පිළිකුල්කම්වලද මවුය” යන නාමයෙන් සම්බන්ධ කර තිබේ. “ප්‍රොපේතවරුන්ගේද ශුද්ධවන්තයන්ගේද පොළොවේ මරනලද සියල්ලන්ගේද ලේ ඈ තුළ සම්බවු[ණ]” බව බයිබලය තවදුරටත් සඳහන් කරයි.—එළිදරව් 17:5; 18:24.
මෙනිසා, දෙවියන්වහන්සේගේ සැබෑ නමස්කාරකයන් වීමට අවශ්‍ය සියලුදෙනාගෙන්ම උන්වහන්සේ මෙසේ උදක්ම ඉල්ලා සිටිනසේක: “මාගේ සෙනගෙනි, ඇගේ පාපවලට හවුල් නොවන පිණිසත්, ඇගේ පීඩාවලට අසු නොවන පිණිසත්, ඇගෙන් ඉවත්ව වරෙල්ලා. . . . මරණයද ශෝකයද සාගතයද යන ඇගේ පීඩා එක දවසේම පැමිණෙන්නේය; ඈ සහමුලින් ගින්නෙන් දවනු ලබන්නීය; මක්නිසාද ඈ විනිශ්චයකළ ස්වාමිවූ දෙවියන්වහන්සේ බලවත්ව සිටිනසේක.”—එළිදරව් 18:4, 8.
මෙම ප්රශ්නය මතු වේ: කෙනෙකු බොරු ආගමෙන් ඉවත්වීමෙන් පසු, යා යුත්තේ කොතැනකටද? දෙවියන්වහන්සේ පිළිගන්නේ කෙබඳු ආකාරයේ නමස්කාරයක්ද?
[5වන පිටුවේ කොටුව⁄පින්තූරය]
පිළිම නමස්කාරය
බාල් නමස්කාරයට පිළිම භාවිතය සම්බන්ධව තිබිණ. ඉශ්‍රායෙලිතයෝ යෙහෝවඃවහන්සේට කරන නමස්කාරයට බාල් නමස්කාරය මිශ්‍ර කිරීමට උත්සාහ කළෝය. ඔවුහු යෙහෝවඃවහන්සේගේ දේවමාළිගාවට පිළිම පවා ගෙන ආවෝය. දෙවියන්වහන්සේ යෙරුසලමට හා එහි දේවමාළිගාවට විනාශය ගෙනා විට, පිළිම නමස්කාරය කෙරෙහි උන්වහන්සේගේ දෘෂ්ටිය පැහැදිලි කරනු ලැබීය.
ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි බොහොමයක්ම පිළිමවලින් පිරී තිබේ, ඒවා කුරුස, ප්‍රතිමා හෝ මරියාගේ පිළිම වේ. එපමණක්ද නොව, පල්ලි යන බොහෝදෙනෙකුට පිළිම ඉදිරියේ වැඳ වැටීමට, දණගැසීමට හෝ කුරුස ලකුණ දැමීමට උගන්වා තිබේ. මීට පටහැනිව, සැබෑ ක්‍රිස්තියානීන්ට “රූප ඇදහීම කෙරෙන් පලා [දිවීමට]” අණ කර තිබේ. (1 කොරින්ති 10:14) ඔවුහු ද්‍රව්‍යමය දේවල උපකාරයෙන් දෙවියන්වහන්සේට නමස්කාර කිරීමට උත්සාහ නොකරති.—යොහන් 4:24.
[හිමිකම් විස්තර]
Musée du Louvre, Paris
[7වන පිටුවේ කොටුව]
“පල්ලි නායකයා දෝෂ රහිතව සිටිය යුතුයි”
මෙම ප්‍රකාශය, ටුඩේස් ඉංග්ලිෂ් වර්ෂන්ට අනුව තීතස් 1:7න් ගෙන තිබේ. ඇත්ත ඇති තැන බයිබල් පරිවර්තනයේ මෙසේ කියවීමට තිබේ: “රාජගුරු ප්‍රසාදි වරයා . . . දෝෂයක් නැත්තකු විය යුතු යි.” “රාජගුරු ප්‍රසාදි වරයා” නමැති වදන, “අවේක්ෂකයා” නම් අරුත ඇති ග්‍රීක් වදනකින් පැමිණේ. මෙසේ, සැබෑ ක්‍රිස්තියානි සභාවෙහි මුලසුන ගැනීමට පත් කර ඇති පුරුෂයෝ, මූලික බයිබල් ප්‍රමිතිවලට එකඟව ජීවත් විය යුත්තාහ. ඔවුන් එසේ නොකළහොත්, ඔවුන් තවදුරටත් “රැළට ආදර්ශ[යක්]” නොවන බැවින්, ඔවුන්ව එම අවේක්ෂක තනතුරෙන් ඉවත් කළ යුතුය. (1 පේතෘස් 5:2, 3) ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි මගින් මෙම අවශ්‍යතාව කෙතරම් බරපතළ ලෙස සලකනු ලබන්නේද?
අයි කෙයා අබවුට් යෝර් මැරේජ් නමැති තම පොතෙහි, ආචාර්ය එවරට් වර්තිංටන්, අ.එ.ජ. වර්ජීනියා ප්‍රාන්තයේ දේවගැතියන් 100දෙනෙකු සම්බන්ධයෙන් කළ සමීක්ෂණයක් වෙත යොමු දක්වයි. ඔවුන්ගෙන් සියයට 40කට වඩා වැඩි සංඛ්‍යාවක්, තම විවාහක සහකරු නොවූ වෙනත් කෙනෙකු සමඟ යම් ආකාරයක රාගය අවුස්සන හැසිරීම්වල නියැලුණ බවට පිළිගත්තෝය. ඔවුන්ගෙන් විශාල සංඛ්‍යාවක් කාමමිථ්‍යාචාරයේ යෙදී ඇත්තාහ.
“පසුගිය දශකය තුළදී, පල්ලියේ වඩාත් ගෞරවනීය ලෙස සැලකූ නායකයන්ගෙන් සමහරෙකුගේ දුරාචාර හැසිරීම් හෙළිවීමෙන්, එය නැවත නැවතත් අඩපණ වී ඇති බව” ක්‍රිස්ටියැනිටි ටුඩේ නිරීක්ෂණය කරයි. “කාමමිථ්‍යාචාරික දේවගැතිවරයන්ව නැවතත් තම තනතුරට පත් නොකළ යුතු හේතුව” නම් ලිපිය, පල්ලි නායකයන්ව “ලිංගික පාපයකට වරදකරුවන් හැටියට නියම කිරීමෙන්” පසු, නැවත වරක් ඔවුන්ව කලින් සිටි තනතුරුවලට පත් කිරීමේ ක්‍රිස්තියානි ලෝකයේ පොදු පුරුද්දට අභියෝග කළේය.