ප්‍රීතියෙන් මොරගැසීමට අපට හේතු තිබේ
“ඔව්හු ප්‍රීතිය හා සන්තෝෂය ලබන්නෝය, දුකද සුසුම්ලෑමද පලායන්නේය.”—යෙසායා 35:10.
1. අදදින ප්‍රීතිය සඳහා විශේෂ හේතුවක් ඇත්තේ කාටද?
අදදින බොහෝදෙනෙකුට සැබෑ ප්‍රීතිය නැති බව ඔබේ සැලකිල්ලට භාජන වී තිබෙනවා විය හැක. එහෙත්, සැබෑ ක්‍රිස්තියානීන් වශයෙන්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට ප්‍රීතිය තිබේ. තවද සාක්ෂිකරුවන් සමඟ ඇසුරු කරන බව්තීස්ම නොවූ, බාල මහලු මිලියන ගණනක් වූ අමතර ජනකායක් ඉදිරියෙහිද, එම ප්‍රීතියම අත් කරගැනීමේ අපේක්ෂාව තිබේ. ඔබ මේ සඟරාවේ මෙම වදන් දැන් කියවීමේ කාරණයෙන් ඇඟවෙන්නේ, මෙම ප්‍රීතිය දැනටමත් ඔබ සතු බවය, එසේ නැතහොත් එය අත් කරගැනීමට ඔබට හැකි බවය.
2. ක්‍රිස්තියානි භක්තිකයෙකුගේ ප්‍රීතිය බහුතරයකගේ සාමාන්‍ය තත්වය හා වෙනස් වන්නේ කෙසේද?
2 තම ජීවිතයේ යම් අඩු පාඩුවක් තිබෙන බව බොහෝ ජනයාට හැඟෙයි. ඔබ ගැන කුමක් කිව හැකිද? ප්‍රයෝජනයට ගත හැකි සෑම උපකරණයක්ම, විශේෂයෙන්ම අදදින ධනවතුන් හා බලවතුන් සතු දේවල් සියල්ල ඔබට නොතිබෙනවා වන්ට පුළුවන. තවද හොඳ සෞඛ්‍යය හා වැඩි ශක්තියක් තිබෙනවාට ඔබ කැමති විය හැක. කෙසේවෙතත්, ප්‍රීතිය සම්බන්ධයෙන් ගත් කල, පොළොවේ බිලියන ගණනකින් සමන්විත වැසියන්ට වඩා, ඔබ වැඩි ධනවත්කමක් හා සෞඛ්‍යයක් භුක්තිවිඳින බව බිය සැකයකින් තොරව පැවසිය හැක. ඒ කෙසේද?
3. අපේ අවධානයට ලක් විය යුත්තේ කවර අර්ථවත් වදන්ද, තවද ඒ මන්ද?
3 යේසුස්වහන්සේගේ වදන් සිහියට නඟන්න: “මාගේ ප්‍රීතිය නුඹලා තුළෙහි පවතින පිණිසද නුඹලාගේ ප්‍රීතිය සම්පූර්ණවන පිණිසද මේ දේවල් නුඹලාට කීවෙමි.” (යොහන් 15:11) “නුඹලාගේ ප්‍රීතිය සම්පූර්ණවන පිණිස.” මොනතරම් කදිම විස්තරයක්ද! අපේ ප්‍රීතිය සම්පූර්ණව තිබීමට හේතු බොහොමයක් ක්‍රිස්තියානි ජීවන රටාව පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් මගින් හෙළි කරනු ලබනවා ඇත. එහෙත් දැන්, යෙසායා 35:10හි සඳහන් අර්ථවත් වචන සැලකිල්ලට ගන්න. අදදින වෙසෙන අපට අදාළ වන බැවින්, මේවා බෙහෙවින් අර්ථාන්විතය. අපට මෙසේ කියවීමට තිබේ: “ස්වාමීන්වහන්සේ විසින් නිදහස්කරනලද අය ගී කියමින් සියොන්ට හැරී එන්නෝය; සදාකාල ප්‍රීතිය [අනන්ත කාලයක් දක්වා ප්‍රීතිවීම, NW] ඔවුන්ගේ ඉස් පිට තිබෙන්නේය. ඔව්හු ප්‍රීතිය හා සන්තෝෂය ලබන්නෝය, දුකද සුසුම්ලෑමද පලායන්නේය.”
4. යෙසායා 35:10හි සඳහන් වී තිබෙන්නේ කවර අන්දමක ප්‍රීතියක්ද, තවද අප මෙයට අවධානය යොමු කළ යුත්තේ මන්ද?
4 “අනන්ත කාලයක් දක්වා ප්‍රීතිවීම.” “අනන්ත කාලයක් දක්වා” යන යෙදුම යෙසායා හෙබ්‍රෙව් බසින් ලිවූ දෙයෙහි නිරවද්‍ය පරිවර්තනයකි. එහෙත් වෙනත් ශුද්ධ ලියවිලි පාඨවලින් පැහැදිලි වන පරිදි, මෙම පදයෙහි අර්ථය “සදාකාලේටම” වේ. (ගීතාවලිය 45:6; 90:2; යෙසායා 40:28) එනිසා සදාකල් ප්‍රීතිවීමට ඉවහල් වන—ඇත්තෙන්ම ඒ සඳහා හේතු වන තත්වයන් යටතේ, ප්‍රීතිවීමට නිමාවක් නොතිබෙන්නේය. මෙය ඉමහත් සතුටට හේතුවක් සේ දිස් නොවන්නේද? කෙසේවෙතත්, එම පදය යථාර්ථවාදී නොවන තත්වයක් ගැන කරන අදහස් ප්‍රකාශයක් ලෙස සලකමින්, ඔබට මෙසේ හැඟීමට හේතුවක් විය හැක: ‘මගේ දෛනික ගැටලු ප්‍රශ්න මට බලපාන තරමට එය ඇත්තටම බලපාන්නේ නැහැ.’ එහෙත් මෙය සැබෑවක් නොවන බව සත්‍ය කාරණාවලින් ඔප්පු වේ. යෙසායා 35:10හි දක්නට ලැබෙන අනාවැකිමය පොරොන්දුව අදදින ඔබට අර්ථාන්විත වේ. ඒ කෙසේද කියා සොයා බැලීමට, අපි මේ අලංකාරවත් පරිච්ඡේදය, එනම් යෙසායා 35 පරීක්ෂා කරමින්, එහි එක් එක් කොටස අවස්ථා සම්බන්ධය අනුව සලකා බලමු. අප සොයන්ට යන දෙයින් ඔබ ප්‍රීතිය ලබන බවට සහතික වන්න.
ප්‍රීතිවීමට අවශ්‍යතාවක් තිබූ සෙනඟක්
5. යෙසායා 35වන පරිච්ඡේදයේ අනාවැකිය තිබෙන්නේ කවර අනාවැකිමය පසුබිමකද?
5 උපකාරයක් වශයෙන්, මෙම චිත්තාකර්ෂණීය අනාවැකියට අදාළ වන පසුබිම, එනම් ඓතිහාසික පසුතලය දෙස අපි අවධානය යොමු කරමු. හෙබ්‍රෙව් ජාතික අනාගතවක්තෘ යෙසායා, එය පො.යු.පෙ. 732දී පමණ ලීවේය. එනම් බබිලෝනීය හමුදා මගින් යෙරුසලම විනාශ කරනු ලැබීමට දශක ගණනාවකට පෙරය. යෙසායා 34:1, 2හි අඟවා තිබෙන අන්දමට, දෙවියන්වහන්සේ, යෙසායා 34:6හි සඳහන් පරිදි, ඒදොම් වැනි ජාතීන්ට එරෙහිව ස්වකීය පළිගැනීම ප්‍රකාශ කරන බව පුරෝකථනය කර තිබූසේක. එසේ කිරීමට උන්වහන්සේ පුරාතන බබිලෝනීය ජාතිකයන් උපයෝගි කරගත් බව ප්රත්යක්ෂය. ඒ හා සමානව, යුදෙව්වන් නොඇදහිලිකාරව කටයුතු කළ නිසා, යූදා විනාශ කිරීමට දෙවියන්වහන්සේ බබිලෝනිවරුන්ට සැලැස්වූසේක. ප්‍රතිඵලය? දෙවියන්වහන්සේගේ සෙනඟ වහල්භාවයට ගෙන යනු ලැබූ අතර, ඔවුන්ගේ වාසභූමිය වර්ෂ 70ක් පුරා පාළු තත්වයක පැවතිණ.—2 ලේකම් 36:15-21.
6. ඒදොම්වරුන් කෙරෙහි පැමිණීමට තිබූ දේ හා යුදෙව්වන් කෙරෙහි පැමිණීමට තිබූ දේ අතර තිබෙන්නේ කවර වෙනසක්ද?
6 කෙසේවෙතත්, ඒදොම්වරුන් හා යුදෙව්වන් අතර පැහැදිලි වෙනසක් තිබේ. ඒදොම්වරුන් පිට පැමිණි දිව්‍ය දඬුවම කිසිදා කෙළවර නොවන එකක් විය; කාලයාගේ ඇවෑමෙන් සෙනඟක් වශයෙන් ඔවුහු නැති වී ගියෝය. එසේය, ලෝක ප්‍රසිද්ධ පෙට්රා නටබුන් වැනි, ඒදොම්වරුන් ජීවත් වූ ස්ථාන පිහිටා තිබෙන ප්‍රදේශයේ පාළු වූ නටබුන් දැකබලා ගැනීමට ඔබට තවමත් හැකිය. එහෙත් අදදින, ‘ඒදොම් ජාතිකයන්’ වශයෙන් හැඳින්විය හැකි ජාතියක්වත් සෙනඟක්වත් නැත. අනික් අතට, දේශය සදහටම ප්‍රීතියෙන් තොර තත්වයකට හෙළමින්, බබිලෝනිවරුන්ගේ අතින් විනාශ වී ගිය යූදා සදහටම ඒ තත්වයේම පවතිනු ඇද්ද?
7. බබිලෝනියෙහි වහල්ව සිටි යුදෙව්වන් යෙසායා 35වන පරිච්ඡේදයට කෙසේ ප්‍රතිචාරය දක්වන්ට ඇද්ද?
7 මෙහිදී යෙසායා 35වන පරිච්ඡේදයෙහි සඳහන් චමත්කාරජනක අනාවැකියට උනන්දුව ගෙන දෙන අර්ථයක් තිබේ. යුදෙව්වන් පො.යු.පෙ. 537දී සිය වාසභූමිය කරා ආපසු පැමිණි විට එහි පළමු ඉටුවීම සිදු වූ බැවින්, එය ප්‍රතිසංස්කරණ අනාවැකියක් ලෙස හැඳින්විය හැක. බබිලෝනියේ වහලුන්ව සිටි ඉශ්රායෙල්වරුන්ට සිය වාසභූමිය කරා ආපසු යෑමට නිදහස පිරිනමන ලදි. (එස්රා 1:1-11) එහෙත්, එය සිදු වන තාක් කල්, මෙම දිව්‍ය අනාවැකිය සැලකිල්ලට ගත් බබිලෝනියේ වහල්භාවයේ සිටි යුදෙව්වන්, සිය ජාතික මව්බිම වූ යූදා වෙත ගිය විට කවර තත්වයන්ට මුහුණ දීමට සිදුවේවිද කියා කල්පනා කරන්ට ඇත. තවද ඔවුන් ඒ වන විට කෙබඳු තත්වයක සිටිනු ඇද්ද? ප්‍රීතියෙන් මොරගැසීමට අපට සැබවින්ම හේතුවක් තිබෙන්නේ මන්ද යන්න මත එම පිළිතුර කෙළින්ම රඳා පවතී. අපි බලමු.
8. බබිලෝනියෙන් ආපසු පැමිණි විට යුදෙව්වන් දකිනු ඇත්තේ කවර තත්වයන්ද? (සසඳන්න එසකියෙල් 19:3-6; හොෂෙයා 13:8.)
8 සිය මව්බිම කරා ආපසු යෑමට හැකි බව යුදෙව්වන්ට දැනගැනීමට ලැබූ විට පවා, තත්වය එතරම් බලාපොරොත්තු උපදවන එකක් සේ පෙනී නොගිය බව සහතිකය. ඔවුන්ගේ දේශය දශක සතක්, එනම් මුළු ජීවිත කාලයක් පුරා පාළු තත්වයක පැවතිණ. දේශයට සිදු වී තිබුණේ කුමක්ද? වගා කළ බිම්, මිදි වතු හෝ පලතුරු වතු පාළු වූ වනයක් වන්ට ඇත. ජල මාර්ගවලින් පෝෂණය වූ වතු හෝ භූමි භාග ශුෂ්ක මුඩුබිම් හෝ කාන්තාර දක්වා පිරිහෙන්ට ඇත. (යෙසායා 24:1, 4; 33:9; එසකියෙල් 6:14) බහුලව වාසය කරනු ඇති, වන සතුන් ගැනත් කල්පනා කරන්න. සිංහයන්, දිවියන් වැනි මාංසභක්ෂක සතුන් මීට ඇතුළත් වනු ඇත. (1 රාජාවලිය 13:24-28; 2 රාජාවලිය 17:25, 26; සාලමොන්ගේ ගීතිකාව 4:8) පුරුෂයෙකු, ස්ත්‍රියක හෝ දරුවෙකු මරුමුවට පත් කිරීමට හැකියාව තිබූ වලසුන්වත් නොසලකා හරින්ට ඔවුන්ට බැරි වනු ඇත. (1 සාමුවෙල් 17:34-37; 2 රාජාවලිය 2:24; හිතෝපදේශ 17:12) තවද පොළඟුන් හා වෙනත් විෂඝෝර සර්පයන් හෝ ගෝනුස්සන් ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. (උත්පත්ති 49:17; ද්විතීය කථාව 32:33; යෝබ් 20:16; ගීතාවලිය 58:4; 140:3; ලූක් 10:19) බබිලෝනියේ සිට පො.යු.පෙ. 537දී හැරී එන යුදෙව්වන් සමඟ ඔබ සිටියෙහි නම්, එවන් ප්‍රදේශයක ඇවිදින්ට ඔබ ඇතැම්විට අදි මදි කරනු ඇත. ඔවුන් පැමිණි විට එය පාරාදීසයක් නොවීය.
9. ආපසු පැමිණි අයට බලාපොරොත්තුව හා නිසැකකම සඳහා පදනමක් තිබුණේ කවර හේතුවක් නිසාද?
9 කෙසේවෙතත්, යෙහෝවඃවහන්සේම ස්වකීය නමස්කාරකයන්ව සිය වාසභූමිය කරා මඟ පෙන්වා තිබූ අතර, පාළු තත්වයක් මුළුමනින්ම වෙනස් කිරීමට උන්වහන්සේට හැකියාව තිබේ. මැවුම්කරුවාණන්ට එසේ කළ හැකි බව ඔබ විශ්වාස කරන්නේ නැද්ද? (යෝබ් 42:2; යෙරෙමියා 32:17, 21, 27, 37, 41) එබැවින් ආපසු පැමිණෙන යුදෙව්වන් හා ඔවුන්ගේ දේශය සඳහා උන්වහන්සේ කුමක් කරනු ඇද්ද—උන්වහන්සේ කුමක් කළසේක්ද? නූතන කාලවලදී දෙවියන්වහන්සේගේ සෙනඟ කෙරෙහිද, වර්තමානයෙහි හා අනාගතයෙහි ඔබේ තත්වය කෙරෙහිද මෙය බලපාන්නේ කෙසේද? පළමුව එදා සිදු වූ දෙය කුමක්ද කියා අපි බලමු.
තත්වය වෙනස් වීමෙන් ප්‍රීතිමත්ව
10. යෙසායා 35:1, 2 පුරෝකථනය කළේ කුමන වෙනසක්ද?
10 එම භයානක දේශය වෙත හැරී යෑමට කෝරෙෂ් යුදෙව්වන්ට ඉඩහළ විට කුමක් සිදුවනු ඇද්ද? යෙසායා 35:1, 2හි දක්නට ලැබෙන උනන්දුව දනවන අනාවැකිය කියවන්න: “වනාන්තරයද වියළි දේශයද ප්‍රීතිවන්නේය; කාන්තාරය ප්‍රීතිමත්වී සෙව්වන්දි මෙන් මල් දරන්නේය. සන්තෝෂයද ගී කීමද ඇතුව එය බොහෝසේ මල් දරා ප්‍රීතිමත්වන්නේය; ලෙබනොන්හි තේජසත් කර්මෙල් සහ ෂාරොන්හි අලංකාරකමත් ඊට දෙනුලබන්නේය. ඔව්හු ස්වාමීන්වහන්සේගේ තේජසද අපේ දෙවියන්වහන්සේගේ අලංකාරකමද දකින්නෝය.”
11. යෙසායා කාරණා උකහාගත්තේ දේශය පිළිබඳ කවර දැනුමකින්ද?
11 බයිබල් කාලවලදී, ලෙබනොන්, කර්මෙල් සහ ෂාරොන් හරිත වර්ණයෙන් සපිරි අලංකාරවත් දේශ වශයෙන් නම් දැරීය. (1 ලේකම් 5:16; 27:29; 2 ලේකම් 26:10; සාලමොන්ගේ ගීතිකාව 2:1; 4:15; හොෂෙයා 14:5-7) දෙවියන්වහන්සේගේ උපකාරය ඇතුව, මුළුමනින්ම වෙනස් කරනු ලැබූ දේශය කෙබඳු එකක් වේවිද කියා විස්තර කිරීමට යෙසායා එම උදාහරණවලින් ප්‍රයෝජන ගත්තේය. එහෙත් මින් අත් වන බලපෑම පසට පමණක් සීමා වනු ඇද්ද? කිසිසේත් නැත!
12. යෙසායා 35වන පරිච්ඡේදයේ අනාවැකිය ජනයා වටා ගෙතී පවතින බව අපට පැවසිය හැක්කේ මන්ද?
12 දේශය “සන්තෝෂයද ගී කීමද ඇතුව . . . ප්‍රීතිමත්” වන අන්දම ගැන යෙසායා 35:2හි පැවසේ. පස මෙන්ම ශාක පදගතාර්ථයෙන්ම ‘සන්තෝෂය ඇතුව ප්‍රීතිමත්’ නොවූ බව අපි දනිමු. එහෙත්, සරු මෙන්ම ඵල දරන තත්වයක් දක්වා ඒවා වෙනස්වීමෙන්, ජනයාට එලෙස හැඟී යා හැක. (ලෙවී කථාව 23:37-40; ද්විතීය කථාව 16:15; ගීතාවලිය 126:5, 6; යෙසායා 16:10; යෙරෙමියා 25:30; 48:33) දේශය තුළ සිදු වූ සැබෑ වෙනස්වීම් ජනයා තුළ සිදු වන වෙනස්වීම්වලට අනුරූප වන්නේය, මන්දයත් මෙම අනාවැකියේ ජනයාට ප්‍රධාන තැනක් හිමි වන බැවිනි. එබැවින්, ආපසු පැමිණි යුදෙව්වන් තුළ ඇති වූ වෙනස්වීම්, විශේෂයෙන්ම ඔවුන්ගේ ප්‍රීතිමත් ස්වභාවය කෙරෙහි යෙසායාගේ වදන් මූලිකව යොමු වන බව තේරුම්ගැනීමට අපට හේතු තිබේ.
13, 14. යෙසායා 35:3, 4හි සෙනඟ තුළ කවර වෙනසක් පුරෝකථනය කර තිබුණේද?
13 එහෙයින්, යුදෙව්වන් නිදහස් වූ විට හා බබිලෝනියෙන් ආපසු පැමිණි විට, මෙම පොලඹවනසුලු අනාවැකිය ඉටු වූ අන්දම දැකබලා ගැනීමට අපි එය පිරික්සා බලමු. තෙවන හා සිව්වන පදවල, එම ආපසු පැමිණෙන්නන් තුළ ඇති වූ වෙනත් වෙනස්වීම් ගැන යෙසායා කතා කරයි: “බෙලහීන අත් බලවත්කර, වෙවුලන දණහිස් සවිකරපල්ලා. භය සිත් ඇත්තන්ට කථාකොට: භයනොවී ශක්තිමත් වෙයල්ලා. බලව, නුඹලාගේ දෙවියන්වහන්සේ පළිගැනීම වන දෙවියන්වහන්සේගේ විපාකදීම ඇතුව එනසේක; උන්වහන්සේම ඇවිත් නුඹලා ගළවනසේකැයි කියාපල්ලා.”
14 භූමියේ පාළු තත්වය වෙනස් කිරීමට හැකි වූ අපේ දෙවියන්වහන්සේ, ස්වකීය නමස්කාරකරන්නන් කෙරෙහි එතරම් උනන්දු වන බව කල්පනා කිරීම ශක්තිමත් කරවන දෙයක් නොවේද? වහල්භාවයේ සිටි යුදෙව්වන්ට දුර්වලබවක්, අධෛර්යයට පත් බවක් හෝ අනාගතය ගැන කනස්සල්ලක් හැඟීමට සැලැස්වීමට උන්වහන්සේට වුවමනා වූයේ නැත. (හෙබ්‍රෙව් 12:12) එම යුදෙව් වහලුන්ගේ තත්වය ගැන කල්පනා කර බලන්න. ඔවුන්ගේ අනාගතය ගැන දෙවියන්වහන්සේගේ අනාවැකි තුළින් ඔවුන්ට උකහාගැනීමට හැකි වූ බලාපොරොත්තුවට අමතරව, ඒකාන්තව සිටීම ඔවුන්ට දුෂ්කර කාර්යයක් වන්ට ඇත. එහා මෙහා යෑමටවත් යෙහෝවඃවහන්සේට සේවය කිරීමෙහි ක්‍රියාශීලීව සිටීමටවත් බැරි, අන්ධකාර ගුහාවක ඔවුන් සිටියාක් මෙනි. ඇත්තෙන්ම ඉදිරියෙහි ආලෝකයක් නොතිබූ බව ඔවුන්ට පෙනී ගියා විය හැක.—සසඳන්න ද්විතීය කථාව 28:29; යෙසායා 59:10.
15, 16. (අ) යෙහෝවඃවහන්සේ, ආපසු පැමිණි අයට කුමක් කළ බව අපට නිගමනය කළ හැකිද? (ආ) ආපසු පැමිණි අය ආශ්චර්යවත් කායික සුවකිරීම් අපේක්ෂා නොකරන්ට ඇත්තේ මන්ද, නමුත් යෙසායා 35:5, 6ට එකඟව දෙවියන්වහන්සේ කළේ කුමක්ද?
15 කෙසේවෙතත්, ඔවුන්ව සිය වාසභූමිය වෙත ආපසු යැවීමට යෙහෝවඃවහන්සේ කෝරෙෂ්හට සැලැස්වූ විට, එය මොනතරම් වෙනසක් වීද! දෙවියන්වහන්සේ ආශ්චර්යවත් ලෙස එහිදී ආපසු පැමිණි යුදෙව්වන්ගේ අන්ධ ඇස් පෑදූ බව, බිහිරන්ගේ කන් විවෘත කළ බව හෝ යම් අංශභාග හෝ අංගවිකල අය සුව කළ බව පෙන්නුම් කරන කිසිදු සාක්ෂියක් බයිබලයේ නැත. කෙසේවෙතත්, උන්වහන්සේ සැබවින්ම වඩාත් උදාර යමක් කළසේක. ඔවුන් බෙහෙවින් ප්‍රිය කළ දේශයේ ආලෝකයට හා නිදහසට උන්වහන්සේ ඔවුන්ව යළි පැමිණෙවුසේක.
16 ආපසු පැමිණි එම සෙනඟ, එවන් ආශ්චර්යවත් ශාරීරික සුව කිරීම් යෙහෝවඃවහන්සේගෙන් අපේක්ෂා කළ බවට කිසිදු ඇඟවීමක් නැත. දෙවියන්වහන්සේ ඊසාක්, සම්සොන් හෝ ඒලී සම්බන්ධයෙන් එසේ කර නොතිබුණු බව ඔවුන් වටහාගන්ට ඇත. (උත්පත්ති 27:1; විනිශ්චයකාරයන් 16:21, 26-30; 1 සාමුවෙල් 3:2-8; 4:15) එහෙත් උපමේය අන්දමින් ඔවුහු තම තත්වයේ වෙනස්වීමක් අපේක්ෂා කළහු නම්, ඔවුන්ගේ බලාපොරොත්තු සුන් වූයේ නැත. ඇත්තෙන්ම උපමේය අර්ථයකින් 5වන හා 6වන පදවලට සැබෑ ඉටුවීමක් තිබිණ. යෙසායා නිවැරදිව මෙසේ පුරෝකථනය කළේය: “එකල අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේය, බිහිරන්ගේ කන්ද ඇරෙන්නේය. එකල කොරා මුවෙකු මෙන් පැන යන්නේය. ගොළුවාගේ දිව [සතුටින්, NW] ගී කියන්නේය.”
දේශය පාරාදීසයක් සේ හැඩගැස්වීම
17. ප්රත්යක්ෂ ලෙස යෙහෝවඃවහන්සේ සිදු කළ භෞතික වෙනස් කිරීම් මොනවාද?
17 යෙසායා තවදුරටත් විස්තර කළ තත්වයන් සම්බන්ධයෙන් සතුටින් ගී කීමට ආපසු පැමිණි ඒ සෙනඟට නිසැකවම හේතුවක් තිබෙන්ට ඇත: “මක්නිසාද කාන්තාරයෙහි ජලයද මරුකතරෙහි දොළ පාරවල්ද බිඳඑන්නේය. මිරිඟු වැල්ල පොකුණක්ද වියළි භූමිය දිය උල්පත්ද වන්නේය. සිවලුන් ලැග්ගාවූ නිවාසයෙහි බට සහ පන් හටගන්න ඉඩමක් වන්නේය.” (යෙසායා 35:6ආ, 7) අදදින එම මුළු ප්‍රදේශය දෙස බලන විට, අප ඒ තත්වය නොදුටුවත්, යූදා වරක් “පශු පාරාදීසයක්” වූ බව සාක්ෂිවලින් යෝජනා කෙරේ.a
18. ආපසු පැමිණි යුදෙව්වන් දෙවියන්වහන්සේගේ ආශීර්වාදවලට කෙසේ ප්‍රතිචාරය දක්වන්ට ඇද්ද?
18 ප්‍රීතිය සඳහා හේතු සලකා බලද්දී, යුදෙව් ඉතිරි කොටස යළිත් පොරොන්දු දේශයෙහි පදිංචි වූ විට, ඔවුන් තුළ පහළ වූ හැඟීම් ගැන සිතා බලන්න! සිවලුන් හා ඒ හා සමාන වෙනත් සතුන්ගෙන් ගහණ වූ පාළු දේශය, මුළුමනින්ම වෙනස් කිරීමේ තත්වයක ඔවුහු සිටියෝය. විශේෂයෙන් ඔබේ ප්‍රයත්නවලට දෙවියන්වහන්සේගේ ආශීර්වාද තිබූ බව ඔබ දැන සිටියෙහි නම්, එවන් ප්‍රතිසංස්කරණ වැඩක නියැලීමෙන් ඔබ ප්‍රීතියක් නොලබනු ඇද්ද?
19. බබිලෝනියේ වහල්භාවයෙන් පිටත්වීම යම් කොන්දේසි මත කළ යුතු යමක් වූයේ කවර අර්ථයකින්ද?
19 කෙසේවෙතත්, බබිලෝනියෙහි සිටි සෑම යුදෙව් වහලෙකුටම එම ප්‍රීතිමත් වෙනස් වීමෙහි සහභාගි වීමට හැකි වූ බව හෝ එසේ කළ බව ඉන් අදහස් නොකෙරේ. දෙවියන්වහන්සේ යම් කොන්දේසි නියම කළසේක. බබිලෝනීය, මිථ්‍යාදෘෂ්ටික ආගමික පිළිවෙත් මගින් කෙලසී සිටි කිසිවෙකුට ආපසු යෑමට අයිතියක් නොතිබිණ. (දානියෙල් 5:1, 4, 22, 23; යෙසායා 52:11) ප්‍රඥාවන්ත නොවූ ජීවන මාර්ගයකට අනුවණ ලෙස බැඳී සිටි කිසිවෙකුටවත් ආපසු යෑමට හැකියාව නොතිබිණ. එවන් පුද්ගලයෝ සියලුදෙනාම සුදුසුකම් රහිත තත්වයකට පමුණුවනු ලැබූහ. අනික් අතට, දෙවියන්වහන්සේගේ ප්‍රමිතිවලට අනුකූල වූ අයට, එනම් සාපේක්ෂී අර්ථයකින් උන්වහන්සේ ශුද්ධ ලෙස සැලකූ අයට, යූදා වෙත ආපසු යෑමට හැකි විය. ශුද්ධකමේ මාර්ගයක් බඳු මාර්ගයක ගමන් කිරීමට ඔවුන්ට හැකි විය. මෙය 8වන පදයෙහි යෙසායා පැහැදිලි කළේය: “එහි මාර්ගයක් වන මහමාවතක් වේ, ඊට ශුද්ධකමේ මාර්ගයයයි කියනු ලබන්නේය; අපිරිසිදු කෙනෙක් එහි නොයන්නේය; ඒක ඔවුන්ටම වන්නේය. ඒ මාර්ගයෙහි යන කවුරු නුමුත් අඥානව සිටිතත් මුළාවෙන්නේ නැත [තවද එය මාර්ගයෙහි ගමන් කරන තැනැත්තා සඳහා වන්නේය, තවද ඒ මත අඥාන කිසිවෙක් සැරිසරන්නේ නැත, NW].”
20. යුදෙව්වන් ආපසු පැමිණි විට ඔවුන්ට කුමක් ගැන බියවීම අනවශ්‍ය වීද, එහි ප්‍රතිඵලය කුමක් වීද?
20 මෘගයන් බඳු මිනිසුන්ගෙන් හෝ මංකොල්ලකාර කල්ලීන්ගෙන් ප්‍රහාර ලැබෙයි කියා ආපසු පැමිණෙන යුදෙව්වන්ට බියවීමට අවශ්‍යතාවක් නොතිබිණ. ඒ මන්ද? මන්දයත් මුදාහරින ලද ස්වකීය ජනයා සමඟ එම මාර්ගයෙහි එවැන්නන්ට සිටීමට යෙහෝවඃවහන්සේ ඉඩ නොහරිනු ඇති බැවිනි. එබැවින් ප්‍රීතිමත් ඒකාන්තභාවයකින්, සන්තෝෂයෙන් පිරුණු අපේක්ෂාවන් සහිතව ගමන් කිරීමට ඔවුන්ට හැකිවනු ඇත. මෙම අනාවැකිය නිමාවකට ගෙනෙන විට, යෙසායා එය විස්තර කළ අන්දම සැලකිල්ලට ගන්න: “සිංහයෙක් එහි සිටින්නේවත් කිසි චණ්ඩ මෘගයෙක් එහි නැගීයන්නේවත් උන් එහි සම්බවෙන්නේවත් නැත; මුදනු ලැබූ අයවල්ම එහි ඇවිදින්නෝය. ස්වාමීන්වහන්සේ විසින් නිදහස්කරනලද අය ගී කියමින් සියොන්ට හැරී එන්නෝය; සදාකාල ප්‍රීතිය ඔවුන්ගේ ඉස් පිට තිබෙන්නේය. ඔව්හු ප්‍රීතිය හා සන්තෝෂය ලබන්නෝය, දුකද සුසුම්ලෑමද පලායන්නේය.”—යෙසායා 35:9, 10.
21. දැනටමත් සිදු වී තිබෙන යෙසායා 35වන පරිච්ඡේදයේ ඉටුවීම දෙස අදදින අප කෙසේ බැලිය යුතුද?
21 අපට මෙහි ඇත්තේ මොනතරම් කදිම අනාවැකිමය පින්තූරයක්ද! කෙසේවෙතත්, නිකම්ම යටගිය ඉතිහාසය විස්තර කරන යමක්, එනම් හරියටම අපේ තත්වය හෝ අපේ අනාගතයට අල්ප වශයෙන් අදාළ වූ රසවත් කතාවක් හැටියට අප මෙය නොසැලකිය යුතුය. මෙහිලා සැබෑ තත්වය වනාහි, මෙම අනාවැකිය පුදුම දනවන අන්දමකින් දෙවියන්වහන්සේගේ සෙනඟ අතර ඉටුවීමය, එබැවින්, එය සැබවින්ම අප සියලුදෙනාටම අදාළ වේ. ප්‍රීතියෙන් මොරගැසීමට ස්ථිරසාර හේතුවක් එය අපට සපයා දෙයි. දැනුත්, අනාගතයෙත් ඔබේ ජීවිතයට අදාළ වන මෙම අංග මීළඟ ලිපියේ සලකා බලනු ලැබේ.
[පාදසටහන]
a ප්‍රදේශය පිළිබඳව සිය අධ්‍යයනවලින් පසු, (එ.ජා. ආහාර හා කෘෂිකර්ම සංවිධානය නියෝජනය කරන) ශස්‍ය විද්‍යාඥ වෝල්ටර් සී. ලව්ඩර්මිල්ක් මෙසේ නිගමනය කළේය: “මෙම දේශය වරක් පශු පාරාදීසයක් විය.” “රෝම සමය පටන්” එහි දේශගුණය එතරම් වෙනස් වී නැති බවත්, “වරක් සශ්‍රීකව වැඩුණු දේශය වෙනුවට ඉස්මතු වූ ‘කාන්තාරය’ ස්වභාව ධර්මයාගේ ක්‍රියාවක් නොව, නමුත් මිනිසාගේ ක්‍රියාවක්” බවත් හේ ඇඟවීය.
ඔබට මතකද?
◻ යෙසායා 35වන පරිච්ඡේදය පළමුව ඉටු වූයේ කවදාද?
◻ එම අනාවැකියේ මුල් ඉටුවීම කවර බලපෑමකට තුඩු දෙනු ඇද්ද?
◻ යෙහෝවඃවහන්සේ යෙසායා 35:5, 6 ඉටු කළේ කෙසේද?
◻ ආපසු පැමිණි යුදෙව්වන් අද්දුටුවේ දේශයේ හා තම තත්වයේ කවර වෙනස්වීම්ද?
[9වන පිටුවේ පින්තූරය]
වරක් ඒදොම්වරුන් ජීවත් වූ ප්‍රදේශය වූ පෙට්රාහි නටබුන්
[හිමිකම් විස්තර]
Garo Nalbandian
[10වන පිටුවේ පින්තූර]
යුදෙව්වන් වහල්භාවයේ සිටි විට, යූදා දේශයෙන් වැඩි කොටසක් වලසුන් හා සිංහයන් වැනි රෞද්‍ර මෘගයන්ගෙන් ගහන වූ පාළු දේශයක් හා සමාන විය
[හිමිකම් විස්තර]
Garo Nalbandian
වලසා සහ සිංහයා: Safari-Zoo of Ramat-Gan, Tel Aviv