ලොව වටා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ—පුවටෝ රිකෝ
කැරිබියන් මුහුද සහ අත්ලාන්තික් සාගරය අතර, වැටී තිබෙන සාරවත් වෘක්ෂලතාදියෙන් ගහණ උෂ්ණ කලාපයට අයත් දිවයිනකි, පුවටෝ රිකෝ. ක්‍රිස්ටොෆර් කොලම්බස් 1493දී එය ස්පාඤ්ඤයට අයත් දේශයක් සේ නම් කළ අතර, යොහන් බව්තීස්තව සිහිවීමක් වශයෙන් එය සැන් හුවාන් බෞටිස්ටා ලෙස නම් කළේය. එහි විශාලතම නගරය බොහෝ කලකට හඳුන්වනු ලැබුවේ පුවටෝ රිකෝ හෙවත්, “ධනවත් වරාය” නමින්ය. කල්යත්ම, මෙම නාමය මුළු දිවයිනටම අදාළ වූ අතර, නගරය සැන් හුවාන් යනුවෙන් හඳුන්වන්ට විය.
පුවටෝ රිකෝ බොහෝ පැතිවලින් ධනවත් වරායක් බවට ඔප්පු වී තිබේ. ස්පාඤ්ඤ පාලනයේ මුල් අවුරුදුවලදී මෙහි සිට රත්රන් මහත් ප්‍රමාණයක් නැව්ගත කරන ලදි. රටේ ආර්ථිකය සඳහා මහත් සේ දායක වනුයේ නිෂ්පාදන හා සේවා කර්මාන්තය වුවද, මෙම දිවයින දැන්, උක්සීනි, කෝපි, කෙසෙල් හා පැඟිරි වර්ගයේ පලතුරු අපනයනය කරයි. කෙසේවෙතත්, පුවටෝ රිකෝ දිවයින, ඊටත් වඩා බොහෝ වැදගත් අර්ථයකින් ධනවත් වරායක් බවට ඔප්පු වී ඇත.
දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය මෙහි පළමුවරට දේශනා කරනු ලැබුවේ 1930 ගණන්වලය. අදදින, පුවටෝ රිකෝහි, ප්‍රචාරකයෝ 25,000කට වඩා සිටිති. වර්ෂ 1993දී වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලය, එහි කාර්යාල සේවක සංඛ්‍යාව 23 සිට 100 දක්වා වැඩි කළේය. ලෝවටා වෙසෙන, ස්පාඤ්ඤ භාෂාව කථාකරන 35,00,00,000ක් පමණ ජනතාවට ස්පාඤ්ඤ භාෂාවෙන් බයිබල් ප්‍රකාශන ලබාගත හැකි කරවීම පිණිස, ඒවා එම භාෂාවට පරිවර්තනය කිරීමේ කටයුතු ශාඛා කාර්යාලයට අධීක්ෂණය කිරීමට හැකි වන පරිදි, මෙම වැඩි කිරීම අවශ්‍ය විය.
නව ක්ෂේත්රයක්
ශාඛා කාර්යාලය මෙසේද වාර්තා කරයි: “පුවටෝ රිකෝහි නව ක්ෂේත්රයක් විවෘත වී තිබේ, මන්ද, රාජ්‍යය පණිවුඩය බිහිරි අයට ගෙනයෑමට අපි උත්සාහ කරමින් සිටින්නෙමු. එක් සහෝදරියක් පහත සඳහන් අද්දැකීම සඳහන් කරන්නීය: ‘මා බිහිරි අය සමඟ වැඩ කරමින් සිටි අතර, කුඩා දරුවන් දෙදෙනෙකු සිටි කාන්තාවක් බැහැදැකීමට ගියා. මා සාක්ෂිකාරියක් බව ඇය වටහාගත් වහාම, ඈ මාව ප්‍රතික්ෂේප කළා, මන්ද, බිහිරි අයෙක් වූ ඇගේ සැමියාද යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට කැමැත්තක් දැක්වූයේ නැති නිසා.
“ ‘මීට මාස කිහිපයකට පසුව, මෙම කාන්තාව, සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරමින් සිටි ඇගේ මිතුරියක් බලන්ට ගියා. ඈ බයිබල් පාඩමට සම්බන්ධ වී මහත් සතුටක් භුක්ති වින්දා. මා මෙම කාන්තාව නැවත බැහැදකින්ට ගිය අවස්ථාවේ, තම සැමියා සාක්ෂිකරුවන්ට කැමති නැති බව ඈ නැවතත් කියා සිටියා. කෙසේවෙතත්, ඇයට බයිබලය වටහාගැනීමට වුවමනා වී තිබූ අතර, ඇගේ පල්ලියෙන් බයිබලය ගැන කිසිවක් උගන්වනු නොලැබීම ගැන ඈ බලවත් කලකිරීමකට පත්ව සිටියා. පත්‍රිකාවක් යොදාගනිමින් අපි පාඩම් කරන්ට පටන්ගත්තා. තම සැමියා සෙනසුරාදා දිනවල සිටින බැවින් එදින පැමිණෙන මෙන් ඈ දිනක් මගෙන් ඉල්ලා සිටියා. “නමුත් ඔහු අපට කැමති නැහැ නේද?” කියා මා විමසුවා. ඈ පිළිතුරු දුන්නේ මෙසේයි: “මේ සියල්ල කුමක්ද කියා හරියටම දැනගැනීමට ඔහුට වුවමනා වී තිබෙනවා.”
“ ‘ඊළඟ දවසේ, ඔවුන් දෙදෙනාම මගේ දොරට තට්ටු කරමින් සිටියා! ඇගේ සැමියාට බොහෝ ප්‍රශ්න තිබුණු හෙයින්, බිහිරි අය සඳහා පැවැත්වෙන අපගේ රැස්වීම්වලට පැමිණෙන මෙන් මා ඔවුන්ට ආරාධනා කළා. මා එහි යෑමටත් පෙර ඔහු එහි පැමිණ සිටි අතර, එතැන් පටන් කිසිම රැස්වීමක් අතපසු කර නැහැ. ඔහු වෙනත් බිහිරි අයට දේශනා කරමින් සිටින අතර, එක්රැස්වීමකට පැමිණියා, එමෙන්ම ඔහු දැන් බව්තීස්ම වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.’ ”
ශාඛා වාර්තාව මෙසේද පවසයි: “මේ වසරේ අපගේ දිස්ත්‍රික් සමුළුවේදී, මුළු වැඩසටහනම සංඥා භාෂාවෙන් ඉදිරිපත් කරන ලදි, එනිසා බිහිරි අය බොහෝදෙනෙක් තම පවුල්පිටින් පැමිණ සිටියා. අවසාන කථාව ඉදිරිපත් කරන විට ඉතාමත් චිත්තවේගවලින් බර වූ මොහොතක් එළඹුණා, ඒ, බිහිරි අය සඳහා කරනු ලබමින් තිබෙන දෙයත්, පැමිණ සිටි බිහිරි අයගේ සංඛ්‍යාව 70ක් බවත්, කථිකයා විසින් පැවසූ අවස්ථාවයි. මහත් අත්පොළසන් නාදයක් පැවතුණා, නමුත් කථිකයා පැවසූ පරිදි, එය ඇසීමට බිහිරි අයට හැකි වූයේ නැහැ. එබැවින්, සබය දෙසට නෙත් යොමු කරන මෙන් බිහිරි අයගෙන් ඉල්ලා සිටි කථිකයා, ‘ඔබ අතර ඔබගේ බිහිරි සහෝදරයන් සිටිනවාට ඔබ සතුටුදැයි’ යන ප්රශ්නය යළිත් විමසා, තම අත්වනමින් සතුට පළ කරන මෙන් සබයෙන් ඉල්ලා සිටියා. සහෝදර සහෝදරියන් 11,000ක් තම අත්වනමින් සතුට පළ කළ අයුරු බලා සිටීම සැබවින්ම මනරම් දසුනක් වුණා. අපගේ බිහිරි සහෝදර සහෝදරියන් ප්‍රීතියෙන් ඉපිළ ගිය අතර, තමන් ශ්‍රේෂ්ඨ සහෝදරත්වයේ කොටසක් යයි ඔවුන්ට හැඟුණා. බොහෝදෙනෙක් ප්‍රීතියේ කඳුළු වගුරවන්ට වුණා.”
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් පුවටෝ රිකෝහි ගොයම් කැපීමේ වැඩයට හවුල්වනවාත් සමඟම, එය දිගටම ධනවත් වරායක් වන බවට කිසිදු සැකයක් නැත. “ජාතීන් ආශාවෙන දේ” යයි දෙවියන්වහන්සේ විසින් හඳුන්වනු ලබන, උන්වහන්සේගේ “බැටළු[වන්]” දිගටම පැමිණෙනු ඇති අතර, එවිට යෙහෝවඃවහන්සේගේ ගෘහය තේජසින් පිරී යයි.—හග්ගයි 2:7; යොහන් 10:16.
[9වන පිටුවේ කොටුව]
රට පිළිබඳ ආකෘති සටහනක්
1994 සේවා වසර
සාක්ෂිදරන උපරිම සංඛ්‍යාව: 25,428
අනුපාතය: සාක්ෂිකරුවන් 1 අයෙකුට 139
සිහිකිරීමේ උත්සවයට පැමිණීම: 60,252
පුරෝගාමි ප්‍රචාරකයන්ගේ සාමාන්‍යය: 2,329
බයිබල් පාඩම්වල සාමාන්‍යය: 19,012
බව්තීස්ම වූ සංඛ්‍යාව: 919
සභා ගණන: 312
ශාඛා කාර්යාලය: ගුයේනාබෝ