ඔබගේ සියලු සිත්තැවුල් යෙහෝවඃවහන්සේ පිට තබන්න
“දෙවියන්වහන්සේ සුදුසු කාලයේදී නුඹලා උසස්කරන පිණිස උන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වෙයල්ලා; උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින්, නුඹලාගේ හැම කරදර [සිත්තැවුල්, NW] උන්වහන්සේ පිට තබාපල්ලා.”—1 පේතෘස් 5:6, 7.
1. අපට බලපෑම් කිරීමට සිත්තැවුලට හැක්කේ කෙසේද, තවද මෙය කෙසේ නිදර්ශනය කළ හැකිද?
සිත්තැවුලට අපගේ ජීවිතයට ඉතා තදින් බලපෑම් කිරීමට හැකිය. එය ඇතැම් විට ගුවන් විදුලියෙන් විකාශය වන මිහිරි සංගීතයකට ස්ථිතික විද්යුතයෙන් ඇතිවන බාධාවට සමාන කළ හැකිය. ගුවන් තරංගවලට කිසිදු බාධාවක් නොවේ නම්, මිහිරි සංගීත නාද සතුටින් ශ්‍රවණය කළ හැකි අතර, එයට සන්සුන් ස්වභාවයක් උපදවිය හැක. කෙසේ වෙතත්, හදිසියේ ස්ථිතික විද්යුතයෙන් ඇති වන සුළු කඨොර ශබ්දයකින් සුමිහිරි සංගීතයක් පවා විකෘති කිරීමට හැකි අතර, එය අප තුළ යම් කුපිත බවක් සහ කනස්සල්ලක් ඇති කරයි. සිත්තැවුලට අපගේ ශාන්තබව කෙරෙහි ඒ හා සමාන බලපෑමක් ඇති කිරීමට හැකියි. එය අපව කොතරම් මනසින් වට්ටනවාද කිවහොත්, අපට අතිවැදගත් කාරණාවලට අවධානය යොමු කරන්ට බැරිය. ඇත්තෙන්ම, “මනුෂ්‍යයෙකුගේ හෘදය තුළ තිබෙන සිත්තැවුලෙන් යුත් සැලකිල්ල ඔහුව නැමී යෑමට සලස්වයි.”—හිතෝපදේශ 12:25, NW.
2. “ජීවිතයේ සිත්තැවුල්” ගැන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පැවසුවේ කුමක්ද?
2 අන්තයට ගිය සිත්තැවුලෙන් අපගේ අවධානය වෙනතකට යොමුවී යෑමේ අන්තරාය ගැන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කථා කළසේක. අන්තිම දවස් සම්බන්ධ තම අනාවැකිය තුළ, උන්වහන්සේ මෙසේ උදක්ම ඉල්ලා සිටිසේක: “ඒ දවස මලපතක් මෙන් හදිසියෙන් නුඹලා කෙරේ නොපැමිණෙන පිණිස, අධික කෑමෙන්ද බීමත් කමින්ද මේ ජීවිතයේ වෙහෙසින්ද [සිත්තැවුල්වලින්ද, NW] නුඹලාගේ සිත් [හෘද, NW] බර නොවන හැටියට බලාගනිල්ලා. මක්නිසාද ඒක මුළු පොළෝතලය පිට වසන්නාවූ සියල්ලන් කෙරෙහි එසේ පැමිණෙන්නේය. එබැවින් ඒ සිදුවන සියල්ලෙන් ජයගෙන ගැළවෙන පිණිසද මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි සිටින පිණිසද කන්නලව්කරමින්, සැම කාලයේදීම අවදිව හිඳිල්ලා.” (ලූක් 21:34-36) අධික ලෙස කෑම හා ඉතා අධික ලෙස බීමත්කම නිසා අලස මානසික තත්ත්වයක් ඇති කළ හැකිවාක් මෙන්, ‘ජීවිතයේ සිත්තැවුල්’ සමඟින් මනසින් පහතට වැටීමේ හේතුවෙන් දේවල් ගැන හරි ලෙස පිළිවෙලින් සිතා බැලීමට නොහැකිවීමට අපහට සලස්වන අතර, බේදජනක ප්‍රතිඵල මේ සමඟ පැමිණිය හැක.
සිත්තැවුල යනු
3. “සිත්තැවුල” යන වචනය නිර්වචනය කර ඇත්තේ කෙසේද, තවද එයට මූලික හේතුකාරක සමහරක් මොනවාද?
3 “සිත් තැවුල” යන්න නිර්වචනය කර තිබෙන්නේ, “හදිසියේ පැමිණෙන හෝ අපේක්ෂා කරන අභාග්‍යසම්පන්න යම් දෙයක් කෙරෙහි මනසේ ඇති වන වේදනාකාරි හෝ බියෙන් මුසු සැකකටයුතු අපහසුතාව” යනුවෙනි. එය වනාහි, “බියජනක සැලකිල්ලකි, හෝ උනන්දුවකි” එමෙන්ම, “බොහෝ විට (දහඩිය දැමීම, ආතතිය, හා වේගයෙන් නාඩි වැටීම වැනි) ශාරීරික ලක්ෂණ ඇතිව, තර්ජනයේ යථාර්ථය හා ස්වභාවය පිළිබඳ සැකය මගින්, හා ඊට මුහුණ දීමට තමාට ඇති හැකියාව පිළිබඳව තමා ගැනම ඇති සැකයක් මගින් ඇති වන අසාමාන්‍ය යටපත්කර දමනසුලු බියෙන් මුසු සැකකටයුතු ස්වභාවයයි.” (වෙබ්ස්ටර්’ස් නයින්ත් නිව් කොලීජියෙට් ඩික්ෂනරි) එබැවින්, සිත්තැවුල සංකීර්ණ ගැටලුවක් විය හැකිය. ඊට හේතුපාදක වන බොහෝ හේතු අතර, අසනීප, මහලු වීම, අපරාධ පිළිබඳ බිය, රැකියා අහිමිවීම් සහ තමාගේම පවුලේ සුභසාධනය පිළිබඳව ඇති කනස්සල්ල වෙයි.
4. (අ) ජනයා සහ ඔවුන්ගේ සිත්තැවුල් පිළිබඳව කුමක් මතක තබා ගැනීම හොඳද? (ආ) අපි සිත්තැවුල අද්දකිමින් සිටින්නෙමු නම්, කුමක් කළ හැකිද?
4 සිත්තැවුල පැනනැංවීමට නොයෙක් තත්ත්වයන් හා වාතාවරණයන් හේතුපාදක වන්නාක් මෙන්ම, එය විවිධ ස්වරූප ගන්නා බව පැහැදිලිය. සියලු දෙනාම එක තත්ත්වයකට එකම අන්දමින් ප්‍රතික්‍රියා කරන්නේ නැත. මෙබැවින්, අපහට යම් දෙයක් කරදර නොකරනවා වුවත්, එය අප සමඟ යෙහෝවඃවහන්සේට නමස්කාර කරන සෙසු ඇදහිලිවන්තයෙකුට ඉතා බරපතළ සිත්තැවුලකට හේතු විය හැකි බව අප තේරුම්ගත යුතුය. දෙවියන්වහන්සේගේ වචනයේ එකඟතාවෙන් යුත් සත්‍යතාවන් මත සමාහරණය කිරීමට බැරි තරමට අප සිත්තැවුලකට පත්වුවහොත් කුමක් කළ හැකිද? යෙහෝවඃවහන්සේගේ පරමාධිපත්‍යය හා ක්‍රිස්තියානි අඛණ්ඩතාව සම්බන්ධ ප්‍රශ්න මනසේ තබා ගැනීමට අපට බැරි තරමට සිත්තැවුල් අපට පහර දේ නම්, තත්ත්වය කුමක්ද? අපට අපේ තත්ත්වයන් වෙනස් කළ නොහැකිවා වෙන්ට පුළුවන. ඒ වෙනුවට, ජීවිතය කටුක ගැටලු ඇති කරන අනවශ්‍ය සිත්තැවුල සමඟ සාර්ථක ලෙස කටයුතු කිරීමට අපට උපකාරවත් වනු ඇති ශුද්ධ ලියවිලිමය කරුණු සොයා බැලීමට අපට අවශ්‍යය.
උපකාර ලබා ගත හැක
5. අපට ගීතාවලිය 55:22 සමඟ එකඟතාවෙන් ක්‍රියා කළ හැක්කේ කෙසේද?
5 ක්‍රිස්තියානීන්ට ආත්මික උපකාර අවශ්‍ය වන විට සහ සිත්තැවුල්වලින් බර වී සිටින විට, දෙවියන්වහන්සේගේ වචනයෙන් ඔවුන්ට සහනය උකහා ගත හැක. රඳාපැවතිය හැකි මඟ පෙන්වීමක් සපයන එය, යෙහෝවඃවහන්සේගේ පක්ෂපාත සේවකයන් වශයෙන් අප තනිව නොසිටින බවට බොහෝ සහතිකයන් දෙයි. නිදසුනක් වශයෙන්, ගීතිකාකාර දාවිත් මෙසේ ගායනා කළේය: “නුඹේ [පීඩාකාරි, NW] බර ස්වාමීන් [යෙහෝවඃවහන්සේ, NW] පිට තබව, උන්වහන්සේ නුඹ උසුලනසේක. උන්වහන්සේ කිසිකලෙකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙනසේක.” (ගීතාවලිය 55:22) අපට මෙම වචනවලට එකඟව ක්‍රියා කළ හැක්කේ කෙසේද? අපගේ සියලු සිත්තැවුල්, කනස්සලුභාවයන්, භීතීන් සහ බලාපොරොත්තු කඩවීම් අපගේ ප්‍රේමනීය ස්වර්ගික පියාණන් පිට තැබීම මගින්ය. සුරක්ෂිතබවේ හැඟීමක් සහ හෘදයේ සන්සුන්කමක් ඇතිව සිටීමට මෙය අපට උපකාරවත් වනු ඇත.
6. පිලිප්පි 4:6, 7ට අනුව, යාච්ඤාවලට අප සඳහා කුමක් කළ හැකිද?
6 අපගේ සියලු සිත්තැවුල් ඇතුළු අපගේ බර යෙහෝවඃවහන්සේ පිට තැබීමට නම්, නිතිපතා කරන හෘදයාංගම යාච්ඤාව අත්‍යවශ්‍යය. මෙය අපට අභ්‍යන්තර සාමය ගෙනෙනු ඇත, මන්ද ප්‍රේරිත පාවුල් ලීවේ මෙසේය: “කිසිවක් ගැන සිත්තැවුල් ඇති කර නොගන්න, නමුත් සෑම දෙයකදීම යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද ස්තුති දීම් සමඟින් ඔබගේ ආයාචනා දෙවියන්වහන්සේට දැනගැනීමට සලස්වන්න; තවද සියලු සිතිවිලි අභිබවා යන්නාවූ, දෙවියන්වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මගින් ඔබගේ හෘදයන් හා මානසික බලයන් ආරක්ෂා කරනවා ඇත.” (පිලිප්පි 4:6, 7, NW) කිසිවකට සම කළ නොහැකි “දෙවියන්වහන්සේගේ සමාදානය” වනාහි අතිපරීක්ෂාකාරි තත්ත්වයන්හිදී පවා යෙහෝවඃවහන්සේගේ කැපවූ සේවකයන් විසින් භුක්ති විඳිනු ලබන අසාමාන්‍ය ශාන්තභාවයකි. එය දෙවියන්වහන්සේ සමඟ සමීප සබඳතාවකින් ප්‍රතිඵල වන්නකි. අප ශුද්ධාත්මය උදෙසා යාච්ඤා කර, අපව පෙලඹවීමට එයට ඉඩ හරිනවාත් සමඟම, ජීවිතයේ සියලු ගැටලු අප කෙරෙන් පහව යන්නේ නැත, නමුත් සමාදානය නමැති ශුද්ධාත්ම ඵලය අපි ඇත්තටම භුක්ති විඳින්නෙමු. (ලූක් 11:13; ගලාති 5:22, 23) අප සිත්තැවුල මගින් යටපත් වී යන්නේ නැත, මන්ද යෙහෝවඃවහන්සේ ස්වකීය ඇදහිලිවන්ත ජනයාව “සුවසේ වාසයකරවන” බවත් අපට සදාකාල හානියක් ඇති කරන කිසිවකට ඉඩ නොතබන බවත් අපි දනිමු.—ගීතාවලිය 4:8.
7. සිත්තැවුල සමඟ සාර්ථකව කටයුතු කිරීමට අපට උපකාර කිරීම සඳහා ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට ඉටු කළ හැකි දේ කුමක්ද?
7 එහෙත්, අප ශුද්ධ ලියවිලි මත මෙනෙහි කරමින්, අත්නෑර දිගටම යාච්ඤා කළත්, අපගේ සිත්තැවුල දිගටම පවතී නම් තත්ත්වය කුමක්ද? (රෝම 12:12) සභාවේ පත්කරන ලද වැඩිමහල්ලන්ද අපව ආත්මිකව උපකාර කිරීම සඳහා වූ යෙහෝවඃවහන්සේගේ සැපයුමකි. දෙවියන්වහන්සේගේ වචනය යොදා ගැනීමෙන් හා අප සමඟ සහ අප වෙනුවෙන් යාච්ඤා කිරීමෙන් අපව සැනසීමටද අපට උපකාර කිරීමටද ඔවුන්ට හැකිය. (යාකොබ් 5:13-16) ප්‍රේරිත පේතෘස් තම සෙසු වැඩිමහල්ලන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේ, දෙවියන්වහන්සේගේ රැළ කැමැත්තෙන්, උනන්දුවෙන් හා ආදර්ශවත් අයුරින් රැකබලා ගන්නා ලෙසය. (1 පේතෘස් 5:1-4) මෙම පුරුෂයන්ට අපගේ සුභසාධනය ගැන අවංක උනන්දුවක් ඇති අතර, උපකාරවත් වීමට වුවමනාය. ඇත්ත වශයෙන්ම, වැඩිමහල්ලන්ගේ උපකාරයෙන් සම්පූර්ණ ප්‍රයෝජන ගැනීමට හා සභාවේ ආත්මික අතින් හොඳින් කටයුතු කිරීමට නම්, පේතෘස්ගේ උපදෙස අදාළ කර ගැනීමට අප සියල්ලන්ටම අවශ්‍යය: “තරුණයෙනි, වැඩිමහල්ලන්ට යටත්වෙයල්ලා. එසේය, නුඹලා සියල්ලෝම එකිනෙකාට මෙහෙකරන පිණිස [මනසින්, NW] යටත්කම පැළඳගනිල්ලා. මක්නිසාද දෙවියන්වහන්සේ උඩඟු අයට විරුද්ධව සිට යටහතුන්ට [නිහතමානී අයට, NW] කරුණාව දෙනසේක.”—1 පේතෘස් 5:5.
8, 9. පළමුවෙනි පේතෘස් 5:6-11න් අපට කිනම් සහනයක් උකහා ගත හැකිද?
8 පේතෘස් මෙසේද ලීවේය: “එබැවින් දෙවියන්වහන්සේ සුදුසු කාලයේදී නුඹලා උසස් කරන පිණිස උන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වෙයල්ලා; උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින්, නුඹලාගේ හැම කරදර [සිත්තැවුල්, NW] උන්වහන්සේ පිට තබාපල්ලා. සිහි ඇතිව, අවදිව ඉඳිල්ලා. නුඹලාගේ විරුද්ධකාරයාවූ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය. ලෝකයෙහි සිටින නුඹලාගේ සහෝදරයන් කෙරෙහි එම දුක්ම පැමිණෙන බව දැන, නුඹලාගේ ඇදහිල්ලේ ස්ථිරව සිට, යක්ෂයාට විරුද්ධව සිටපල්ලා. එවිට ක්‍රිස්තුස්වහන්සේ තුළ තමන්ගේ සදාකාල තේජසට නුඹලා කැඳවාගත් සියලු කරුණාවේ දෙවියන්වහන්සේම, නුඹලා ස්වල්ප කලක් දුක්වින්ද පසු, [නියමිත කාලයේදී, NW] නුඹලා සම්පූර්ණකර [ඔබගේ පුහුණුවීම සම්පූර්ණ කර, NW], ස්ථිරකර, ශක්තිමත්කර පිහිටුවනසේක. උන්වහන්සේට සදාකාලේටම පරාක්‍රමය වේවා. ආමෙන්.”—1 පේතෘස් 5:6-11.
9 ‘දෙවියන්වහන්සේ අප ගැන සලකන නිසා අපගේ සියලු සිත්තැවුල් උන්වහන්සේ පිට තැබීමට’ අපට හැකි බව වටහා ගැනීම මොනතරම් සැනසිලිදායකද! අපගේ සමහරක් සිත්තැවුල් ඇති වී තිබෙන්නේ, අප මත පීඩා හා වෙනත් දුක් වේදනා පැමිණ වීමෙන් යෙහෝවඃවහන්සේ සමඟ ඇති අපේ සබඳතාව විනාශ කිරීමට යක්ෂයා දරන ප්රයත්න හේතුවෙන් නම්, අඛණ්ඩතාව රක්‍ෂාකරන්නන් සඳහා සියලු දේම හොඳ අතට හැරෙන බව දැන ගැනීම පුදුමාකාර නොවේද? එසේය, අප සුළු කලකට දුක් වින්ද පසු, ලබන්ට නොවටිනා තරම් වූ සියලු කරුණාවේ දෙවියන්වහන්සේ, අපගේ පුහුණුව අවසන් කර, අප ස්ථිර කර ශක්තිමත් කරනවා ඇත.
10. සිත්තැවුල සංසිඳවාලීම සඳහා උපකාරවත් විය හැකි කිනම් ගුණාංග තුනට 1 පේතෘස් 5:6, 7 යොමු දක්වයිද?
10 අපට සිත්තැවුල සමඟ සාර්ථකව කටයුතු කිරීමට ඉවහල්වන්නාවූ ගුණාංග තුනකට පළමුවෙනි පේතෘස් 5:6, 7 යොමු දක්වයි. එකක් නම්, නිහතමානිකමය නැතහොත් “මනසේ යටහත් පහත්කමය.” 1පේතෘ 5 හයවෙනි පදයේ, “සුදුසු කාලයේදී” යන ප්‍රකාශය ඇතුළත්ව තිබෙන අතර, ඉන් යෝජනා කරන්නේ ඉවසා සිටීමේ අවශ්‍යතාවයි. ‘දෙවියන්වහන්සේ අප ගැන සලකන’ නිසා, අපට නිසැකකමින් යුතුව අපගේ සිත්තැවුල උන්වහන්සේ පිට තැබිය හැකි බව 1පේතෘ 5 7වෙනි පදයෙන් පෙන්වන අතර, එවන් වචන යෙහෝවඃවහන්සේ කෙරෙහි අචල දැඩි විශ්වාසය තැබීමට දිරිගන්වයි. එබැවින්, නිහතමානිකම, ඉවසීම සහ දෙවියන්වහන්සේ කෙරෙහි අචල දැඩි විශ්වාසය, සිත්තැවුල සංසිඳවාලීමට උපකාරවත් වන ආකාරය අපි බලමු.
නිහතමානිකම උපකාරවත් විය හැකි අයුරු
11. නිහතමානිකම සිත්තැවුල සමඟ කටයුතු කිරීමට උපකාරවත් විය හැක්කේ කෙසේද?
11 අප නිහතමානි නම්, දෙවියන්වහන්සේගේ සිතිවිලි අපගේම සිතිවිලිවලට වඩා අතිශයින් උත්කෘෂ්ට බව අපි පිළිගන්නෙමු. (යෙසායා 55:8, 9) යෙහෝවඃවහන්සේ සතු සියලුම දේ ආවරණය කරන විචක්ෂණ බුද්ධි මහිමය සමඟ සසඳන කල, අපගේ සීමිත මානසික පරාසය පිළිගැනීමට නිහතමානිකම අපට උපකාර කරයි. ධර්මිෂ්ඨ මිනිසාවූ යෝබ්ගේ සිද්ධියේදී පෙන්නුම් කළාක් මෙන්, අපට නොවැටහෙන දේවල් උන්වහන්සේ දකිනසේක. (යෝබ් 1:7-12; 2:1-6) ‘දෙවියන්වහන්සේගේ බලවත් හස්තයට’ නිහතමානීව අපවම යටත් කරගැනීමෙන්, ශ්‍රේෂ්ඨ පරමාධිපතියාණන්ට සාපේක්ෂව අපගේ පහත් තත්ත්වය අපි පිළිගනිමින් සිටින්නෙමු. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, උන්වහන්සේ විසින් ඉඩ හරින ලද තත්ත්වයන් සමඟ සාර්ථක ලෙස කටයුතු කිරීමට මෙය අපට උපකාර කරයි. අපගේ හදවත් ක්ෂණික සහනයක් උනන්දුවෙන් බලා සිටිනවා වෙන්ට පුළුවන, නමුත් යෙහෝවඃවහන්සේගේ ගුණාංග පරිපූර්ණ ලෙස සමබරව තිබෙන නිසා, අප වෙනුවෙන් ක්‍රියා කළ යුත්තේ කිනම් වේලාවේද සහ කුමන ආකාරයෙන්ද කියා උන්වහන්සේ හරියටම දන්නාසේක. එසේ නම්, කුඩා දරුවන් මෙන්, අපි, අපගේ සිත්තැවුල් සමඟ සාර්ථක ලෙස කටයුතු කිරීමට යෙහෝවඃවහන්සේ උපකාර කරනු ඇති බවට නිසැක වෙමින්, නිහතමානිව උන්වහන්සේගේ බලවත් හස්තය අල්ලා ගෙන සිටිමු.—යෙසායා 41:8-13.
12. අප නිහතමානිව හෙබ්‍රෙව් 13:5හි සඳහන් වචනය අදාළ කරගන්නේ නම්, ද්‍රව්‍යමය ආරක්ෂාව පිළිබඳ සිත්තැවුලට එය බලපාන්නේ කෙසේද?
12 අපගේ සිත්තැවුල අවම කිරීමට බොහෝ විට හැකි දේව වචනයේ උපදෙස් අදාළ කර ගැනීමට කැමැත්තෙන් සිටීමද නිහතමානිකමට ඇතුළත් වෙයි. නිදසුනක් වශයෙන්, අපට සිත්තැවුල ඇති වී තිබෙන්නේ, ද්‍රව්‍යමය හඹායෑම්වල ගැඹුරින් ඇලී ගැලී සිටීම නිසා නම්, පාවුල්ගේ මෙම උපදෙස් මත අප විසින් මෙනෙහි කිරීම යෙහෙකි: “ඔබ වත්මන් දේවල් සමඟ සෑහීමට පත්ව සිටින අතරේදී, ඔබගේ ජීවිත රටාව මුදලට ප්‍රේම කිරීමෙන් නිදහස් එකක් වේවා. මන්ද [දෙවියන්වහන්සේ] මෙසේ පවසා තිබෙනසේක: “මම කිසිසේත් ඔබගෙන් ඉවත්ව නොයමි, කිසි අන්දමකින්වත් ඔබව අත් නොහරින්නෙමි.” (හෙබ්‍රෙව් 13:5, NW) එවන් උපදෙස් නිහතමානිව අදාළ කර ගැනීමෙන්, ද්‍රව්‍යමය සුරක්ෂිතභාවය පිළිබඳව බොහෝ කනස්සලුවලින් බොහෝ දෙනෙක් තමන්වම නිදහස් කර ගෙන සිටිති. ඔවුන්ගේ මූල්‍යමය තත්ත්වය දියුණු නොවී තිබෙනවා විය හැකි අතරේදී, ඔවුන්ගේ ආත්මික පරිහානියට හේතු වන පරිදි, එය ඔවුන්ගේ සිතිවිලි පාලනය කරන්නේද නැත.
ඉවසීම ඉටු කරන දෙය
13, 14. (අ) ඉවසිලිවන්ත විඳදරාගැනීම සම්බන්ධව, යෝබ් නමැති මිනිසා තැබූ ආදර්ශය කුමක්වීද? (ආ) යෙහෝවඃවහන්සේ දෙස ඉවසිලිවන්තව බලා සිටීම අපට කුමක් කළ හැකිද?
13 පළමුවෙනි පේතෘස් 5:6හි සඳහන් “නියමිත කාලයේදී” යන ප්‍රකාශය, ඉවසීමෙන් යුතුව විඳදරාගැනීමේ අවශ්‍යතාව අඟවයි. ඇතැම් අවස්ථාවලදී, ගැටලුවක් බොහෝ කලක් පුරා පවතින අතර, එය සිත්තැවුල වැඩි කළ හැක. විශේෂයෙන් එම අවස්ථාවලදී කාරණා යෙහෝවඃවහන්සේගේ හස්තවලට භාර දීමට අපට අවශ්‍යය. ශ්‍රාවක යාකොබ් මෙසේ ලීවේය: “ඉවසූ [විඳදරාගත්, NW] අය ආශීර්වාද ලද්දෝයයයි [සන්තෝෂවත් යයි, NW] අපි කියමු. යෝබ්ගේ ඉවසීම [විඳදරාගැනීම, NW] ගැන නුඹලා අසා තිබේ, ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] තීරණයද නුඹලා දුටුවහුය, ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] බොහෝ අනුකම්පාව ඇත්තාවූ දයාවන්තවූ කෙනෙක්ය.” (යාකොබ් 5:11) යෝබ් ආර්ථික විනාශය අද්දුටුවේය, දරුවන් දසදෙනාව මරණයෙන් ඔහුට අහිමි විය, අතිපිළිකුල්සහගත රෝගයකින් දුක්වින්දේය, තවද බොරු සැනසිලිකරුවන් මගින් වැරදි ලෙස හෙළා දමන ලද්දේය. අඩුතරමින් එවන් තත්ත්වයන් යටතේ යම් තරමකට සිත්තැවුලක් ඇතිව සිටීම ස්වභාවිකය.
14 කෙසේවුවද, ඉවසිලිවන්ත විඳදරාගැනීම සම්බන්ධයෙන් යෝබ් ආදර්ශයක් විය. අපි ඇදහිල්ල සම්බන්ධව දැඩි පරීක්ෂණයකට මුහුණ දෙමින් සිටින්නෙමු නම්, ඔහු කළාක් මෙන්, අපට සහනය උදෙසා බලා සිටීමට සිදුවිය හැකියි. එහෙත්, දෙවියන්වහන්සේ ඔහු වෙනුවෙන් ක්‍රියා කළ අතර, අවසානයේදී යෝබ්ව ඔහුගේ දුක්විඳීමෙන් නිදහස් කරවමින් ඔහුට බහුල ලෙස විපාක ගෙන දුන්සේක. (යෝබ් 42:10-17) ඉවසිලිවන්ත ලෙස යෙහෝවඃවහන්සේ දෙස බලා සිටීම අපගේ විඳදරාගැනීම වර්ධනය කරවන අතර, උන්වහන්සේ කෙරෙහිවූ අපගේ භක්තියේ ගැඹුර හෙළිකරනවා ඇත.—යාකොබ් 1:2-4.
යෙහෝවඃවහන්සේව දැඩි සේ විශ්වාස කරන්න
15. අප යෙහෝවඃවහන්සේ කෙරෙහි අචල දැඩි විශ්වාසයක් තැබිය යුත්තේ මන්ද?
15 ‘දෙවියන්වහන්සේ තමන්ව සලකන නිසා, තම සියලු සිත්තැවුල් උන්වහන්සේ පිට තබන’ මෙන් පේතෘස් සෙසු ඇදහිලිවන්තයන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේය. (1 පේතෘස් 5:7, NW) එබැවින්, අපට යෙහෝවඃවහන්සේ කෙරෙහි අචල දැඩි විශ්වාසයක් ඇතුව සිටිය හැක, ඇරත් එසේ සිටිය යුතුය. හිතෝපදේශ 3:5, 6 මෙසේ කියයි: “නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් [හෘදයෙන්, NW] ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] කෙරෙහි විශ්වාසකරපන්න. නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකාපන්න, එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලා කරනවා ඇත.” අතීත අද්දැකීම් හේතුවෙන්, සිත් තැවුලෙන් පිරී සිටින ඇතැම් අයට, වෙනත් මිනිසුන් කෙරෙහි තම දැඩි විශ්වාසය තැබීමට අසීරු බව හැඟේ. එහෙත්, අපගේ මැවුම්කරුවාණන් කෙරෙහි, එනම් සැබවින්ම ජීවිතයේ උල්පත හා එහි පෝෂකයාණන් කෙරෙහි දැඩි විශ්වාසය තැබීමට අපට සෑම හේතුවක්ම තිබේ. අප එක්තරා කාරණයක් සම්බන්ධයෙන් අපගේම ප්‍රතික්‍රියාව ගැන දැඩි විශ්වාසයක් නොතැබුවත්, යෙහෝවඃවහන්සේ අපගේ විපත්වලින් අපව මුදවා ගන්නා බවට සෑම විටම අපට උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය හැක.—ගීතාවලිය 34:18, 19; 36:9; 56:3, 4.
16. ද්‍රව්‍යමය දේවල් පිළිබඳ සිත්තැවුල ඇති කර ගැනීම සම්බන්ධයෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කුමක් පැවසූසේක්ද?
16 දෙවියන්වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසය තැබීමට, සිය පියාණන් කෙරෙන් ඉගෙන ගත් දේ ඉගැන්වූ උන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේට කීකරුවීමද ඇතුළත් වෙයි. (යොහන් 7:16) යෙහෝවඃවහන්සේට සේවය කිරීමෙන් ‘ස්වර්ගයෙහි වස්තු තැන්පත් කරන’ ලෙසට යේසුස්වහන්සේ සිය ගෝලයන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේය. එහෙත්, ආහාර, වස්ත්‍ර සහ නිවාස හා සම්බන්ධ ද්‍රව්‍යමය අවශ්‍යතා ගැන කුමක් කිව හැකිද? “සිත්තැවුල් ඇති කර ගැනීම නවත්වන්න” යයි යේසුස්වහන්සේ උපදෙස් දුන්සේක. දෙවියන්වහන්සේ කුරුල්ලන්ව පෝෂණය කරන බව උන්වහන්සේ පෙන්නුම් කළසේක. උන්වහන්සේ මල් අලංකාර ලෙස පළඳවනසේක. දෙවියන්වහන්සේගේ මිනිස් සේවකයන් මේවාට වඩා වටින්නේ නැද්ද? ඇත්ත වශයෙන්ම ඔවුහු වටිති. මෙබැවින්, යේසුස්වහන්සේ මෙසේ උදක්ම ඉල්ලා සිටිසේක: “එසේ නම්, පළමුව රාජ්‍යයද [දෙවියන්වහන්සේගේ] ධර්මිෂ්ඨකමද සොයමින් සිටින්න, තවද අනෙකුත් සියලු දේවල් ඔබට එකතු කරනු ලබනවා ඇත.” යේසුස්වහන්සේ තවදුරටත් මෙසේද කීසේක: “එබැවින්, ඊළඟ දවස ගැන කිසිවිටෙකත් සිත්තැවුල් ඇති කර නොගන්න, මන්ද, ඊළඟ දවසට ඊට අයත් සිත්තැවුල්ම තිබෙනවා ඇත.” (මතෙව් 6:20, 25-34, NW) එසේය, අපට ආහාර පාන, වස්ත්‍ර සහ ඉඳුම්හිටුම් අවශ්‍යය, නමුත් අපි යෙහෝවඃවහන්සේ කෙරෙහි දැඩි විශ්වාසය තබන්නෙමු නම්, අප මෙම දේවල් ගැන අනවශ්‍ය ලෙස සිත්තැවුල් ඇති කර ගැනීමට යන්නේ නැත.
17. පළමුව රාජ්‍යය සෙවීමට ඇති අවශ්‍යතාව අපට කෙසේ උපහැරණය කළ හැකිද?
17 පළමුව රාජ්‍යය සෙවීම පිණිස, අප දෙවියන්වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසය තැබිය යුතු අතර, අපගේ ප්‍රමුඛතාවන් නිසි තැන්වල පිළිවෙළින් තැබිය යුතුය. හුස්ම ගැනීමේ ආධාරකයක් නොමැති කිමිදුම් කරුවෙක්, වතුර මතුපිටින් එහි පතුල දක්වා රූරා පහළට යන්නේ, මුතු ඇටයක් ඇති මුතු බෙල්ලෙකු සොයාගෙනය. මෙය ඔහු තම පවුලට ද්‍රව්‍යමය වශයෙන් සපයන ක්‍රමයයි. ඇත්ත වශයෙන්ම, ඔහුගේ ඉහළ ප්රමුඛතාවකි! එහෙත්, වඩාත් වැඩියෙන් වැදගත් දේ කුමක්ද? වාතයය! තම පෙණහලු වාතයෙන් යළි පුරවා ගැනීම සඳහා ඔහු නිතර නිතර වතුරෙන් ඉහළ මතුපිටට ආ යුතුය. වාතය වඩාත් ඉහළ ප්‍රමුඛතාව වෙයි. මේ හා සමානව, අපගේ ජීවිතයේ අවශ්‍ය දේවල් ලබා ගැනීම සඳහා අප මේ දේවල පිළිවෙළ තුළ යම් තරමකට සම්බන්ධ වීමට සිදුවිය හැකියි. කෙසේ වෙතත්, ආත්මික කාරණා පෙරට ආ යුතුය, මන්ද අපගේ පවුලේ අයගේ ජීවිත රැඳී ඇත්තේ මේ දේවල් මතය. ද්‍රව්‍යමය අවශ්‍යතා සම්බන්ධ අනවශ්‍ය සිත්තැවුල්වලින් වැළකී සිටීමට නම්, අපට දෙවියන්වහන්සේ කෙරෙහි අචල දැඩි විශ්වාසයක් තිබිය යුතුය. එපමණක්ද නොව, ‘ස්වාමීන්වහන්සේ තුළ වැඩ බහුලව සිටීම’ අපගේ සිත්තැවුල අවම කිරීමට උපකාරවත් විය හැකිය, මන්ද, “යෙහෝවඃවහන්සේ කෙරෙහි ප්‍රීතිවීම” අපගේ බලකොටුව බවට ඔප්පු වන බැවිනි.—1 කොරින්ති 15:58, NW; නෙහෙමියා 8:10, NW.
ඔබගේ සිත්තැවුල යෙහෝවඃවහන්සේ පිට තබමින් සිටින්න
18. අපගේ සියලු සිත්තැවුල් යෙහෝවඃවහන්සේ පිට තැබීම අපට සැබවින්ම උපකාරවත් බවට තිබෙන සාක්ෂි මොනවාද?
18 ආත්මික දේවල් කෙරෙහි ප්රමුඛ අවධානය දෙමින් සිටීම පිණිස, අප අපගේ සියලු සිත්තැවුල් යෙහෝවඃවහන්සේ පිට තබමින් සිටිය යුතුය. උන්වහන්සේ ස්වකීය සේවකයන් කෙරෙහි ඇත්තටම සැලකිල්ල දක්වන බව සෑම විටම මතක තබාගන්න. නිදසුනක් වශයෙන්: තමා කෙරෙහි තම සැමියාගේ අවිශ්වාසවන්තභාවය නිසා, එක් ක්‍රිස්තියානි කාන්තාවකගේ සිත්තැවුල කොතරම් වැඩිවූවාද කිවහොත්, ඈට නිදාගැනීමට බැරි තත්ත්වයක් උදාවිය. (ගීතාවලිය 119:28 සසඳන්න.) කෙසේවෙතත්, ඈ සිය සයනයේදී ඇගේ සිත්තැවුල සියල්ලක්ම යෙහෝවඃවහන්සේ පිට තැබුවාය. ඈ ඇගේ හෘදය දෙවියන්වහන්සේ වෙතට වැගිරෙවූ අතර, තමා සහ තම කුඩා දැරියන් දෙදෙනා විඳින දුක්වේදනා උන්වහන්සේට පැවසුවාය. ඉතා උනන්දුවෙන් යාච්ඤා කරමින් සහනය උදෙසා හඬා කන්නලව් කළායින් පසුව, සෑමවිටම තමාට නිදා ගැනීමට හැකි විය, මන්ද යෙහෝවඃවහන්සේ තමාවත් තමාගේ දරුවන්වත් රැක බලාගනු ඇතැයි යන තද විශ්වාසය ඈට තිබුණි. ශුද්ධ ලියවිල්ලට එකඟව දික්කසාද වී සිටි මෙම ස්ත්‍රිය වැඩිමහල්ලෙකු සමඟ විවාහ වී දැන් සතුටින් සිටී.
19, 20. (අ) සිත්තැවුල සමඟ අපට සාර්ථකව කටයුතු කළ හැකි ක්‍රම සමහරක් මොනවාද? (ආ) අපගේ සියලු සිත්තැවුල් සමඟ අප කරමින් සිටිය යුත්තේ කුමක්ද?
19 යෙහෝවඃවහන්සේගේ ජනයා වශයෙන්, අපට සිත්තැවුල සමඟ සාර්ථකව කටයුතු කිරීමට නොයෙක් ක්‍රම තිබේ. දෙවියන්වහන්සේගේ වචනය අදාළ කර ගැනීම විශේෂයෙන් උපකාරවත්ය. මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල පළවෙන උපකාරවත් හා නැවුම් බවක් ගෙනදෙන ලිපි ඇතුළුව, “විශ්වාසවූ නුවණ ඇති දාසයා” තුළින් දෙවියන්වහන්සේ සපයන මහඟු ආත්මික ආහාර අපට ඇත. (මතෙව් 24:45-47) දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයේ උපකාරය අපට තිබේ. නිතිපතා ඉතා උනන්දුවෙන් කරන යාච්ඤාව අපට බොහෝ සෙයින් ප්‍රයෝජන සලසයි. ආත්මික උපකාර සහ සහනය සැපයීමට, පත්කරන ලද ක්‍රිස්තියානි වැඩිමහල්ලෝ සූදානමින්ද කැමැත්තෙන්ද සිටිති.
20 අප මුහුණ පාන සිත්තැවුල සමඟ කටයුතු කිරීමේදී අපගේම නිහතමානිකම සහ ඉවසීම බොහෝ සෙයින් ප්රයෝජනවත්ය. විශේෂකොටම වැදගත් වන දේ නම්, යෙහෝවඃවහන්සේ කෙරෙහි අචල දැඩි විශ්වාසයයි, මන්ද, අප උන්වහන්සේගේ උපකාරය සහ මඟ පෙන්වීම අද්දකිනවාත් සමඟම, අපගේ ඇදහිල්ල ගොඩනැංවේ. අනෙක් අතට, දෙවියන්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල අනවශ්‍ය ලෙස කරදරවීමෙන් අපව වළක්වාලයි. (යොහන් 14:1) පළමුව රාජ්‍යය සෙවීමටත්, ස්වාමීන්වහන්සේගේ ප්‍රීතිමත් වැඩයේ කාර්ය බහුලව සිටීමටත්, ඇදහිල්ල අපව පොලඹවන අතර, සිත්තැවුල සමඟ කටයුතු කිරීමට එය අපට උපකාර කළ හැකිය. එවන් ක්‍රියාකාරකම් තුළින් අප තුළ ඇති කරනුයේ සදාකාලයටම දෙවියන්වහන්සේගේ ප්‍රශංසා ගායනා කරනු ඇති අය අතර ආරක්ෂා සහිතව සිටීමේ හැඟීමකි. (ගීතාවලිය 104:33) එමනිසා, අපි අපගේ සියලු සිත්තැවුල් යෙහෝවඃවහන්සේ පිට තබමින් සිටිමු.
ඔබ කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත්ද?
◻ සිත්තැවුල කෙසේ නිර්වචනය කළ හැකිද?
◻ සිත්තැවුල සමඟ අපට සාර්ථකව කටයුතු කළ හැකි ඇතැම් ක්‍රම මොනවාද?
◻ සිත්තැවුල සංසිඳුවාලීමට නිහතමානිකම සහ ඉවසීම උපකාරවත් වන්නේ කෙසේද?
◻ සිත්තැවුල සමඟ කටයුතු කිරීමේදී, යෙහෝවඃවහන්සේ කෙරෙහි අචල දැඩි විශ්වාසය තැබීම අතිවැදගත් වන්නේ මන්ද?
◻ අප අපගේ සියලු සිත්තැවුල් නොකඩවා යෙහෝවඃවහන්සේ පිට තැබිය යුත්තේ මන්ද?
[24වන පිටුවේ පින්තූරය]
“සිත්තැවුල් ඇති කර ගැනීම නතර කරන්න” යනුවෙන් යේසුස්වහන්සේ පැවසුවේ මන්දැයි ඔබ දන්නෙහිද?