මිනිස් දුක් වේදනා—කවදා හෝ අවසන් වේද?
සාරයිවෝහි ජනාකීර්ණ වෙළඳ පොළක බෝම්බයක් පිපිරීමෙන් පසු බිහිසුණු දර්ශන; රුවන්ඩාවේ සමූලඝාතන හා හිතාමතා සිදුකරන ප්‍රචණ්ඩකාරී ක්‍රියා; කෑම ඉල්ලා මොර ගසන සාගින්නෙන් පෙළෙන සෝමාලියාවේ දරුවන්; ලොස් ඇන්ජලිස්හි භූමි කම්පාවකින් පසු තමන්ට සිදු වූ අලාභ හානි පරීක්ෂා කරන සිහිවිකල් වූ පවුල්; ගංවතුරෙන් විනාශ වූ බංග්ලා දේශයේ අසරණයෝ. මිනිස් දුක් වේදනාවන් පිළිබඳ මෙවන් දර්ශන රූපවාහිනිය නැතහොත් සඟරා හා පුවත්පත් මගින් දිනපතා අපගේ නෙත් හා ගැටේ.
මිනිස් දුක් වේදනාවන්හි කනගාටුදායක ප්‍රතිඵලයක් වනුයේ එය දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල නැති කර ගැනීමට ඇතැමෙකුට සැලසීමය. එක්සත් ජනපදයේ වෙසෙන යුදෙව් ආගමික කණ්ඩායමක් ප්‍රසිද්ධියට පත්කළ ප්‍රකාශයකට අනුව “ඇදහිල්ලට නිතර ප්රබලතම බාධාව පමුණුවා ඇත්තේ නපුරුකමේ පැවැත්මයි.” මෙහිදී එම ලේඛකයන් යොමු දක්වන්නේ අව්ෂ්විට්ස් වැනි නාට්සි දේශපාලන සිර කඳවුරුවලත් හිරෝෂිමාහි පිපිරුණ බෝම්බය වැනි බෝම්බවලිනුත් සිදුවන මරණවලටය. “ධර්මිෂ්ඨ හා බලගතු දෙවිකෙනෙකුට මෙතරම් අහිංසක ජීවිත සංඛ්‍යාවක් සමූලඝාතනය කිරීමට ඉඩ දිය හැක්කේ කෙසේද යන ප්රශ්නය ආගමික පුද්ගලයෙකුගේ හෘදය සාක්ෂියට වද දෙමින් සිත මහත් සේ අවුල් කරවයි” යනුවෙන් එම කර්තෲහු පවසති.
නිමාවක් නොමැතිව ගලා එන ඉතා දුක්ඛිත වාර්තා මනුෂ්‍යයාගේ චිත්තවේගයන් මත හැඟීම් නොදැනෙන ස්වභාවයක් ඇති කරන්නට පුළුවන් වීම කනගාටුවට කරුණකි. තමන්ගේ මිත්‍රයන් හා ඥාතීන් ඊට ගොදුරු නොවේ නම්, බොහෝ දෙනෙකුට අන්‍යයන්ගේ දුක් වේදනාවන් පිළිබඳව එතරම් බලගතු හැඟීමක් දැනෙන්නේ නැත.
එහෙත්, අඩුතරමින් අප ප්‍රේම කරන්නන් උදෙසාවත් අනුකම්පාවක් දැනෙන්නට අපට හැකියාවක් තිබෙන බවට වූ සත්‍යතාව, අපගේ සැදුම්කරුවාණන් ගැන යමක් අපට පැවසිය යුතුය. මනුෂ්‍යයාව “දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන්” හා “සමානත්ව[යෙන්]” මවනු ලැබූ බව බයිබලය පවසයි. (උත්පත්ති 1:26, 27) මනුෂ්‍යයන් පෙනීමෙන් දෙවියන්වහන්සේ හා සමානව සිටින බව මෙය අදහස් කරන්නේ නැත. එසේ නොවන්නේ මන්දයත්, “දෙවියන්වහන්සේ ආත්මයක්” බවත් “මස් හා ඇට . . . ආත්මයකට නැ(ති)” බවත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේම පැහැදිලි කළ නිසාය. (යොහන් 4:24; ලූක් 24:39) දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් සාදනු ලැබීමෙන් අදහස් කරන්නේ දෙවියන්වහන්සේ හා සමාන ගුණාංග විදහා පෙන්වීමට තිබෙන අපගේ හැකියාවයි. මේ අනුව, දුක් වේදනා විඳින අය උදෙසා සාමාන්‍ය ජනයාට දයානුකම්පාවක් දැනෙන බැවින්, අප නිගමනය කළ යුත්තේ, අපගේ මැවුම්කරුවාණන් වන, යෙහෝවඃ දෙවියන්වහන්සේ දයානුකම්පාවෙන් යුක්ත බවත්, දුක් වේදනා විඳින සිය මනුෂ්‍ය මැවිලි සඳහා උන්වහන්සේට මහත් අනුකම්පාවක් දැනෙන බවත්ය.—ලූක් 11:13 සසඳන්න.
දෙවියන්වහන්සේ සිය දයානුකම්පාව පෙන්වා ඇති එක් මාර්ගයක් වනුයේ දුක් වේදනා සඳහා හේතුව දක්වන ලිඛිත පැහැදිලි කිරීමක් මනුෂ්‍යවර්ගයාට සපයාදීමෙන්ය. මෙය උන්වහන්සේ සිදුකර ඇත්තේ, ස්වකීය වචනය වන, බයිබලය මගිනි. බයිබලය පැහැදිලිව පෙන්වන්නේ දුක් වේදනා විඳීමට නොව, ජීවිතය ප්‍රීතියෙන් භුක්ති විඳින්නට දෙවියන්වහන්සේ මනුෂ්‍යයා මැවූ බවය. (උත්පත්ති 2:7-9) දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ පාලනය ප්‍රතික්ෂේප කිරීමෙන් පළමු මනුෂ්‍යයන් තමන් මතට දුක් වේදනා පමුණුවා ගත් බවද එය වැඩිදුරටත් එළිදරව් කරයි.—ද්විතීය කථාව 32:4, 5; රෝම 5:12.
එසේ තිබියදීත්, දුක් වේදනා විඳින මනුෂ්‍යයන් උදෙසා දෙවියන්වහන්සේට තවදුරටත් දයානුකම්පාව දැනෙයි. මනුෂ්‍ය දුක් වේදනාවන්ට නිමාවක් ගෙනෙන්නට වූ උන්වහන්සේගේ පොරොන්දුවෙන් මෙය පැහැදිලිව පෙන්වා ඇත. “මෙන්න, දෙවියන්වහන්සේගේ මණ්ඩපය මනුෂ්‍යයන් සමඟය, උන්වහන්සේ ඔවුන් සමඟ වාසයකරනසේක, ඔව්හු උන්වහන්සේගේ සෙනඟ වන්නෝය, දෙවියන්වහන්සේම ඔවුන් සමඟ සිට ඔවුන්ගේ දෙවියන්වහන්සේ වනසේක. උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.”—එළිදරව් 21:3, 4; තවද යෙසායා 25:8; 65:17-25; රෝම 8:19-21ද බලන්න.
මෙම පුදුමාකාර පොරොන්දු සනාථ කරන්නේ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාගේ දුක් වේදනාවන් ගැන ඉතා සාවධානව සිටින බවත් ඒවා අවසන් කිරීමට උන්වහන්සේ අධිෂ්ඨානපූර්වකව සිටින බවත්ය. එහෙත් පළමුකොට මනුෂ්‍යයාගේ දුක් වේදනාවන් හටගැන්වීමට ඉවහල් වූයේ කුමක්ද, එමෙන්ම අපගේ දවස දක්වා දෙවියන්වහන්සේ එයට ඉඩහැර ඇත්තේ මක්නිසාද?
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Cover and page 32: Alexandra Boulat/Sipa Press
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Kevin Frayer/Sipa Press