දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරුන් ආදර්ශයකට ගන්න
“සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] නමින් කථාකළ ප්‍රොපේතවරුන් [අනාගතවක්තෘවරුන්] පීඩාවිඳීමෙත් ඉවසීමෙත් ආදර්ශයක්කොට ගනිල්ලා.”—යාකොබ් 5:10.
1. පීඩා කරනු ලැබූ විට පවා යෙහෝවඃවහන්සේගේ සේවකයන්ට ප්‍රීතිවීමට උපකාරවත් වන්නේ කුමක්ද?
යෙහෝවඃවහන්සේගේ සේවකයෝ, මෙම අන්තිම දවස්වල ලොව සිසාරා පැතිර ඇති ශෝචනීය අන්ධකාරය අභිබවා ප්‍රීතිය විහිදුවති. මෙය මෙසේ වන්නේ, තමන් දෙවියන්වහන්සේ සතුටු කරමින් සිටින බව ඔවුන් දන්නා හෙයිනි. තම දේව සේවයට ඇතිවන පීඩා හා විරෝධතා යෙහෝවඃවහන්සේගේ සේවකයෝ ඉවසා සිටිති, මන්ද, තමන් ධර්මිෂ්ඨකමේ නාමයෙන් දුක් විඳින බව ඔවුන් දන්නා බැවිනි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සිය අනුගාමිකයන්ට මෙසේ කීසේක: “මනුෂ්‍යයන් මා නිසා නුඹලාට නින්දා පීඩාකොට නුඹලාට විරුද්ධව සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල නුඹලා ආශීර්වාදලද්දෝය [සන්තෝෂවත්වන්නෝය, NW]. ප්රීතිවෙයල්ලා, ඉතා සන්තෝෂවෙයල්ලා; මක්නිසාද ස්වර්ගයෙහි නුඹලාගේ විපාකය මහත්ය. නුඹලාට පළමුවෙන් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔව්හු එලෙසම පීඩාකළෝය.” (මතෙව් 5:11, 12) ඇත්ත වශයෙන්ම, ඇදහිල්ල සම්බන්ධව පරීක්ෂණයට මුහුණ දෙන කොයියම් අවස්ථාවක හෝ වේවා, දෙවියන්වහන්සේගේ සේවකයෝ එය ප්‍රීතියක් කොට සලකති.—යාකොබ් 1:2, 3.
2. යාකොබ් 5:10ට අනුව, ඉවසිල්ල ක්‍රියාවට නැංවීමට අපට උපකාර කළ හැක්කේ කුමකටද?
2 ශ්‍රාවක යාකොබ් මෙසේ ලීවේය: “සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] නමින් කථා කළ ප්‍රොපේතවරුන් [අනාගතවක්තෘවරුන්] පීඩාවිඳීමෙත් ඉවසීමෙත් ආදර්ශයක්කොට ගනිල්ලා.” (යාකොබ් 5:10) ඩබ්. එෆ්. ආර්න්ට් සහ එෆ්. ඩබ්. ගිංරිච් මෙහි “ආදර්ශය” (හයි·පොʹඩෙයිග්·මා) වශයෙන් පරිවර්තනය කර ඇති ග්‍රීක් වචනය “ආදර්ශයක්, ආකෘතියක්, හෝ රටාවක්, යහපත් අර්ථයක් ඇතිව, එනම්, යමෙකු විසින් අනුකරණය කිරීමට පෙලඹෙන හෝ පෙලඹවිය යුතු යමක්” වශයෙන් නිර්වචනය කරති. යොහන් 13:15හි පෙන්වා ඇති පරිදි, “එය වනාහි ආදර්ශයකට වඩා වැඩි යමකි, එය නියත වශයෙන්ම මූලාදර්ශයකි.” (තියලොජිකල් ඩික්ෂනරි ඔෆ් ද නිව් ටෙස්ටමන්ට්) මේ අනුව, ‘නපුර විඳීම,’ සහ ‘ඉවසීම ක්‍රියාවට නැංවීම’ සම්බන්ධයෙන් යෙහෝවඃවහන්සේගේ නවීන-දින සේවකයන්ට උන්වහන්සේගේ ඇදහිලිවන්ත අනාගතවක්තෘවරුන් ආදර්ශයක් කොට ගැනීමට හැකිය. අප ඔවුන්ගේ ජීවිත අධ්‍යයනය කරන විට අපට තවත් වටහා ගත හැක්කේ කුමක්ද? තවද අපගේ දේශනා ක්‍රියාකාරකම තුළ මෙය අපට උපකාරවත් වන්නේ කෙසේද?
ඔවුහු නපුර වින්දෝය
3, 4. අනාගතවක්තෘ ආමොස්, අමශියාගෙන් පැමිණි විරෝධතාවලට ප්‍රතික්‍රියා කළේ කෙසේද?
3 යෙහෝවඃවහන්සේගේ අනාගතවක්තෘවරු නොයෙක්විට නපුර හෝ පීඩා වින්දෝය. නිදසුනක් වශයෙන්, පො.යු.පෙ. නවවන සියවසේදී, වසු නමස්කාරයේ යෙදී සිටි පූජකයෙකු වූ අමශියා දුෂ්ට අන්දමින් අනාගතවක්තෘ ආමොස්ට එරෙහි විය. රජු කඩුවෙන් මැරෙන බවටත්, ඉශ්රායෙල් ජනතාව වහල්භාවයට යනු ඇති බවටත් අනාවැකි කීම මගින් ආමොස්, IIවෙනි යෙරොබොවම්ට විරුද්ධව කුමන්ත්‍රණය කළ බවට අමශියා බොරුවෙන් කියා සිටියේය. අමශියා නිග්‍රහාත්මක අන්දමින් ආමොස්ට පිළිතුරු දුන්නේ මෙසේයි: “එම්බා දර්ශනකාරය, නුඹ යුදා දේශයට පලාගොස්, එහි කෑම කා, එහි අනාගතවාක්‍ය කියාපන්න. බෙතෙල්හි නම් නැවත තවත් අනාගතවාක්‍ය නොකියන්න. මක්නිසාද එය රජුගේ ශුද්ධස්ථානයය, එය රාජ ගෘහයය.” මෙම වාචික ප්‍රහාරයෙන් භය නොවූ ආමොස් මෙසේ පිළිතුරු දුන්නේය: “මම අනාගතවක්තෘ කෙනෙක්වත් අනාගතවක්තෘ කෙනෙකුගේ පුත්‍රයෙක්වත් නොව එඬේරෙක්ව අත්තික්කා ගස් වවන්නෙක්ව සිටියෙමි. නුමුත් බැටළු රැළ පස්සේ යෑමෙන් ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] මා රැගෙන: නුඹ ගොස් මාගේ සෙනගවූ ඉශ්රායෙල්ට අනාගතවාක්‍ය කියාපන්නැයි මට කීසේක.”—ආමොස් 7:10-15.
4 ධෛර්යයෙන් යුතුව අනාවැකි කීමට ආමොස්ට බලය දුන්නේ යෙහෝවඃවහන්සේගේ ආත්මයයි. ආමොස් මෙසේ පවසන විට අමශියාගේ ප්‍රතික්‍රියාව කල්පනා කර බලන්න: “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] වචන අසාපන්න: ඉශ්රායෙල්ට විරුද්ධව අනාගතවාක්‍ය කියන්ටවත් ඊසාක්ගේ වංශයට විරුද්ධව වචනයක් කියන්ටවත් එපායයි නුඹ කියන්නෙහිය. එබැවින් ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] මෙසේ කියනසේක: නුඹේ භාර්යාව නුවරදී වේශ්‍යාවක් වන්නීය, නුඹේ පුත්‍රයෝද දූවරුද කඩුවෙන් වැටෙන්නෝය, නුඹේ භූමිය ලණුවෙන් බෙදනු ලබන්නේය; නුඹම අපිරිසිදු රටකදී මැරෙන්නෙහිය, ඉශ්‍රායෙල්ද සැබවින්ම තමුන්ගේ දේශයෙන් වාලට යනවාම ඇත.” එම අනාවැකිය ඉටුවිණි. (ආමොස් 7:16, 17) ඇදහිල්ල අතහැර ගිය අමශියා මොනතරම් කම්පනයට පත්වූවා විය යුතුද!
5. යෙහෝවඃවහන්සේගේ වත්මන් දින සේවකයන්ගේ තත්ත්වය හා අනාගතවක්තෘ ආමොස්ගේ තත්ත්වය අතර කිනම් සමාන්තරයක් දැකිය හැකිද?
5 මෙය අදදින යෙහෝවඃවහන්සේගේ ජනයාගේ තත්ත්වයට සමානය. දෙවියන්වහන්සේගේ පණිවුඩ ප්‍රකාශ කරන්නන් වශයෙන් අපි නපුර විඳිමු, තවද බොහෝ දෙනෙක් අපගේ දේශනා ක්‍රියාකාරකම ගැන අවඥාසහගත ලෙස කථා කරති. දේශනා කිරීම සඳහා අපට දේවධර්මීය සෙමනේරියකින් අනුමැතිය නැති බව ඇත්තය. ඒ වෙනුවට, රාජ්‍යය පිළිබඳ පණිවුඩය ප්‍රකාශ කිරීමට අප පොලඹවන්නේ යෙහෝවඃවහන්සේගේ ශුද්ධාත්මයයි. අප දෙවියන්වහන්සේගේ පණිවුඩය වෙනස් කරන්නේවත්, එහි බලය අඩුකරන්නේවත් නැත. ඒ වෙනුවට, අපට සවන්දෙන්නන්ගේ ප්‍රතික්‍රියාව කුමක් හෝ වේවා, අපි ආමොස් මෙන් එය කීකරුව ප්‍රකාශ කරමු.—2 කොරින්ති 2:15-17.
ඔවුහු ඉවසීම ක්‍රියාවට නැංවූහ
6, 7. (අ) යෙසායාගේ අනාවැකි කීමේ ප්‍රධාන ලක්ෂණය වූයේ කුමක්ද? (ආ) යෙහෝවඃවහන්සේගේ වත්මන් සේවකයන් යෙසායා මෙන් ක්‍රියා කරන්නේ කෙසේද?
6 දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරු ඉවසීම ක්‍රියාවට නැංවූහ. නිදසුනක් වශයෙන්, පො.යු.පෙ. අටවැනි සියවසේදී යෙහෝවඃවහන්සේගේ අනාගතවක්තෘවරයෙකු ලෙස සේවය කළ යෙසායා විසින් ඉවසීම විදහාපාන ලදි. දෙවියන්වහන්සේ ඔහුට මෙසේ කීසේක: “නුඹ ගොස් මේ සෙනගට කථාකොට-නුඹලා [නැවත නැවතත්, NW] අසමින්ම තේරුම් නොගෙන දකිමින්ම දැන නොගෙන සිටිල්ලායයි කියාපන්න. මේ සෙනග තමුන්ගේ ඇස්වලින් නොදැක, තමුන්ගේ කන්වලින් නොඅසා, තමුන්ගේ සිත්වලින් [හෘදවලින්, NW] තේරුම් නොගෙන, නොහැරී, සුවය නොලැබ සිටින පිණිස, ඔවුන්ගේ සිත [හෘදය, NW] දැඩිකර, ඔවුන්ගේ කන් බිහිරිකර, ඔවුන්ගේ ඇස් අඳුරුකරපන්න.” (යෙසායා 6:9, 10) ඇත්ත වශයෙන්ම, ජනයා ප්‍රතික්‍රියා කළේ ඒ ආකාරයටයි. එහෙත්, මේ නිසා යෙසායා එය අතහැර දැමුවාද? නැත, ඒ වෙනුවට, ඔහු ඉවසීමෙන්, ජ්වලිතව යෙහෝවඃවහන්සේගේ අනතුරු ඇඟවීමේ පණිවුඩ ප්‍රකාශ කළේය. ඉහත උපුටා දක්වන ලද දෙවියන්වහන්සේගේ වදන්වල හෙබ්‍රෙව් සැකැස්ම අනුග්‍රහ දක්වන්නේ අනාගතවක්තෲන්ගේ ප්‍රකාශන “දිගුව අත්නෑර” කළ බවට යන අදහසටය. මේවා ජනයා විසින් “නැවත නැවතත්” අසන ලදි.—ජෙසෙනියුස් හීබෘ ග්‍රැමර්.
7 අදදිනද බොහෝ අය ශුභාරංචියට ප්‍රතික්‍රියා කරන්නේ, යෙසායා විසින් දැනුම් දෙන ලද යෙහෝවඃවහන්සේගේ වචනවලට ජනයා ප්‍රතික්‍රියා කළාක් මෙන්ය. කෙසේවෙතත්, එම ඇදහිලිවන්ත අනාගතවක්තෘවරයා මෙන්, අපි රාජ්‍යය පණිවුඩය “නැවත නැවතත්” කියා සිටින්නෙමු. අප මෙසේ කරන්නේ ජ්වලිතයෙන් හා නොකඩවා අත්නෑර ඉවසීමෙන්ය, මන්ද මෙය යෙහෝවඃවහන්සේගේ කැමැත්තයි.
“ඔවුහු එලෙසම කළෝය”
8, 9. යෙහෝවඃවහන්සේගේ අනාගතවක්තෘ වූ මෝසෙස් කදිම ආදර්ශයක් වන්නේ කුමන ආකාරවලින්ද?
8 අනාගතවක්තෘ මෝසෙස් ඉවසීම හා කීකරුකම අතින් මනා ආදර්ශයක් වූයේය. ඔහු වහල්භාවයේ සිටි ඉශ්රායෙල්වරුන් සමඟ ස්ථාවරයක් ගැනීමට තෝරා ගත් නමුත්, ඔවුන්ගේ ගැළවීමේ කාලය සඳහා ඉවසීමෙන් බලා සිටීමට ඔහුට සිදුවිය. ඉශ්රායෙල් ජනයා වහල්භාවයෙන් මුදවා ගැනීමෙහිලා පෙරමුණ ගැනීමට දෙවියන්වහන්සේ විසින් ඔහු යොදා ගන්නා තෙක්, හේ වසර 40ක් තිස්සේ මිදියන් දේශයේ ජීවත් වූයේය. මෝසෙස් සහ ඔහුගේ සහෝදර ආරොන් මිසරයේ පාලකයා ඉදිරියෙහි පෙනී සිටි අවස්ථාවේ, ඔවුන් කීකරු ලෙස පැවසුවේ සහ කළේ දෙවියන්වහන්සේ ආඥා කළ දෙයයි. ඇත්ත වශයෙන්ම, “ඔවුහු එලෙසම කළෝය.”—නික්මයාම 7:1-6, NW; හෙබ්‍රෙව් 11:24-29.
9 මෝසෙස් ඉශ්රායෙල් ජනයාගේ දුෂ්කර වසර 40ක පාළුකරයේ ගමන, ඉවසීමෙන් යුතුව විඳදරාගත්තේය. ඉශ්රායෙල්වරුන්ගේ මණ්ඩපය ඉදිකිරීමේ හා යෙහෝවඃවහන්සේගේ නමස්කාරයේ භාවිත වූ අනෙකුත් දේවල් සෑදීමේ දිව්‍ය මඟ පෙන්වීමද ඔහු කීකරුව අනුගමනය කළේය. මෙම අනාගතවක්තෘවරයා දෙවියන්වහන්සේගේ උපදෙස් කොතරම් ළඟින් අනුගමනය කළාද කිවහොත්, අපට කියවීමට තිබෙන්නේ මෙසේයි: “මෝසෙස් මෙසේ කළේය [එලෙසම කළේය, NW]. ඔහු ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] තමා අණකළ සියල්ල ලෙස කෙළේය.” (නික්මයාම 40:16) යෙහෝවඃවහන්සේගේ සංවිධානය සමඟ ඇසුරු කරමින් අපගේ දේව සේවය කරගෙන යෑමේදී, මෝසෙස්ගේ කීකරුකම මතකයේ තබාගෙන, ‘අප අතර පෙරමුණ ගන්නා අයට කීකරු වන’ ලෙස දී ඇති ප්‍රේරිත පාවුල්ගේ උපදෙස අපි අදාළ කර ගනිමු.—හෙබ්‍රෙව් 13:17.
ඔවුන්ට ඒකාන්ත ආකල්පයක් තිබුණි
10, 11. (අ) අනාගතවක්තෘ හොෂෙයාට ඒකාන්ත ආකල්පයක් තිබූ බව අඟවන්නේ කුමකින්ද? (ආ) අපගේ බල ප්‍රදේශවල ජනයා කරා අප එළඹෙන විට, ඒකාන්ත ආකල්පයක් පවත්වා ගැනීමට අපට හැක්කේ කෙසේද?
10 අනාගතවක්තෘවරුන් විනිශ්චය පණිවුඩ මෙන්ම ඉශ්රායෙල් දේශයේ විසිර ගොස් සිටි ඇදහිලිවන්තයන් උදෙසා දෙවියන්වහන්සේගේ ප්‍රේමනීය සැලකිල්ල විදහා පෑ අනාවැකි ප්‍රකාශ කරන විට, ඔවුන්ට ඒකාන්ත ආකල්පයක් තිබීම අවශ්‍ය විය. වසර 59කට නොඅඩු කලක් මුළුල්ලේ අනාගතවක්තෘවරයෙකුව සිටි හොෂෙයා සම්බන්ධයෙන් මෙය සැබෑවක් විණි. ඔහු ඒකාන්ත අයුරකින් යෙහෝවඃවහන්සේගේ පණිවුඩ දිගටම ප්‍රකාශ කරමින් සිටි අතර, ඔහුගේ අනාවැකි පොත මෙම වචනවලින් අවසන් කළේය: “මේවා තේරුම්ගැනීමට ප්‍රඥාවන්තව, මේවා දැනගැනීමට බුද්ධිමත්ව සිටින්නේ කවුද? මක්නිසාද ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] මාර්ග හරිය, ධර්මිෂ්ඨයෝ එහි ඇවිදින්නෝය; නුමුත් අපරාධකාරයෝ එහිදී වැටෙන්නාහුය.” (හොෂෙයා 14:9) සාක්ෂියක් දීමට යෙහෝවඃවහන්සේ විසින් අපට ඉඩහරිනතාක් කල්, අපි ඒකාන්ත ආකල්පයක් තබා ගෙන, දෙවියන්වහන්සේගේ ලබන්ට නොවටිනා තරම් වූ කරුණාව ඥානවන්තව පිළිගන්නාවූ අයව සොයමින් සිටිමු.
11 ‘සුදුස්සන්ව සෙවීම’ සඳහා, අත්නෑර දිගටම කටයුතු කිරීමටත්, කාරණා දෙස ඒකාන්ත අයුරින් බැලීමටත් අපට අවශ්‍යය. (මතෙව් 10:11) නිදසුනක් වශයෙන්, අපගේ යතුරු යම් හෙයකින් නැතිවුණා නම්, අප සිටි විවිධ තැන් කරා නැවත ගොස් එම තැන්වල ඒවා තිබේදැයි අපි සොයා බලන්නෙමු. අපට ඒවා හමුවිය හැක්කේ මෙය නැවත නැවත කළායින් පසුව පමණි. ඒ හා සමානව, අපි බැටළුගුණැති අය සෙවීම අත්නෑර කරගෙන යමු. බොහෝ වතාවක් වැඩකර ඇති බල ප්‍රදේශවලදී ඔවුන් ශුභාරංචියට ප්‍රතිචාර දක්වන විට අපට කොතරම් ප්‍රීතියක් ඇතිවේද! එමෙන්ම මීට කලින් අපගේ ප්‍රසිද්ධ දේව සේවයට තහංචි පනවා තිබූ රටවල අපගේ වැඩයට දෙවියන්වහන්සේ ආශීර්වාද කරමින් සිටීම ගැන අපි කොතරම් සතුටු වන්නෙමුද!—ගලාති 6:10.
දිරිගැන්වීමේ උල්පත්
12. විසිවන සියවසේ ඉටු වෙමින් පවතින්නේ යෝවෙල්ගේ කිනම් අනාවැකියද, තවද ඒ කෙසේද?
12 යෙහෝවඃවහන්සේගේ අනාගතවක්තෘවරුන්ගේ වචන අපට අපගේ දේව සේවයේදී ඉමහත් දිරිගැන්වීමක් විය හැකියි. නිදසුනක් වශයෙන්, යෝවෙල්ගේ අනාවැකිය සලකා බලන්න. ඒවායේ අඩංගු වන්නේ, පො.යු.පෙ. නව වන සියවසේ සිටි ඇදහිල්ල අතහැර ගිය ඉශ්‍රායෙලිතයන් හා වෙනත් අය වෙත යොමු කර තිබූ විනිශ්චය පණිවුඩයන්ය. එහෙත්, මෙසේද අනාවැකි කීමට යෝවෙල් ආනුභාව ලැබීය: “ඉන්පසු මාංසමයවූ සියල්ලන් කෙරෙහි [යෙහෝවඃවහන්සේ වන මම] මාගේ ආත්මය වගුරුවන්නෙමි; නුඹලාගේ පුත්‍රයෝද දූවරුද අනාගතවාක්‍ය කියන්නෝය, නුඹලාගේ මහල්ලෝ ස්වප්න දකින්නෝය, නුඹලාගේ යෞවනයන්ට දර්ශන පෙනෙනවා ඇත. ඒ දවස්වලදී දාසයන් හා දාසීන් කෙරෙහි පවා මාගේ ආත්මය වගුරුවන්නෙමි.” (යෝවෙල් 2:28, 29) පොදු යුගයේ 33 පෙන්තකොස්ත දිනයේ පටන් මෙය යේසුස්වහන්සේගේ අනුගාමිකයන් කෙරෙහි සැබෑවක් බවට ඔප්පු විණි. එමෙන්ම මෙම 20වන සියවසේදී මෙම අනාවැකියේ මොනතරම් උදාර ඉටුවීමක් අපි දකින්නෙමුද! අදදින “අනාවැකි කියන” හෙවත් යෙහෝවඃවහන්සේගේ පණිවුඩය ප්‍රකාශ කරන මිලියන ගණනක් අපට සිටින අතර, මේ අයගෙන් 6,00,000කට වඩා වැඩි සංඛ්‍යාවක් පූර්ණ කාලීන පුරෝගාමි සේවයේ යෙදී සිටිති.
13, 14. ක්ෂේත්‍ර දේව සේවය තුළ ප්‍රීතිය ලැබීමට යෞවන ක්‍රිස්තියානීන්ට උපකාරවත් විය හැක්කේ කුමක්ද?
13 රාජ්‍යය ප්‍රචාරකයෝ බොහෝ දෙනෙක් යෞවනයෝය. වයසින් වැඩි අයහට බයිබලය ගැන කථා කිරීම ඔවුන්ට සෑමවිටම පහසු දෙයක් නොවේ. ඇතැම් අවස්ථාවලදී යෙහෝවඃවහන්සේගේ යෞවන සේවකයන්ට මෙසේ පවසනු ලැබේ: ‘ඔබ දේශනා කරමින් කාලය නාස්ති කරනවා,’ ‘ඔබ වෙන මොනවා හරි කරන්නට ඕනෑ.’ එම පුද්ගලයාට එසේ හැඟීම ගැන තමන් කනගාටු වන බව යෙහෝවඃවහන්සේගේ යෞවන සාක්ෂිකරුවන්ට උපායශීලී ලෙස පිළිතුරු දිය හැකියි. දේශනාකරන එක් යෞවනයෙක්, මෙසේද කීම උපකාරවත් වන බව වටහාගනී: “ඔබ වගේ වයසින් වැඩි අය එක්ක කථා කිරීම ඇත්තෙන්ම ප්‍රයෝජනදායක බව මට හැඟෙනවා, ඒවගේම මම ඉන් සතුටක් ලබනවා.” ඇත්ත වශයෙන්ම, ශුභාරංචිය දේශනා කිරීම කාලය නාස්ති කිරීමක් නොවේ. ජීවිත තිබෙන්නේ අවදානමේය. දෙවියන්වහන්සේ යෝවෙල් තුළින් තවදුරටත් මෙසේ ප්‍රකාශ කළසේක: “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] නම කියා යාච්ඤාකරන කවුරුනුමුත් ගැළවෙනවා ඇත.”—යෝවෙල් 2:32.
14 තම දෙමාපියන් සමඟ රාජ්‍යය දේශනා කිරීමේ ක්‍රියාකාරකමේ හවුල් වන දරුවෝ, පෞද්ගලික ඉලක්ක තැබීමෙහිලා දෙමාපියන්ගේ උපකාර සාදරයෙන් පිළිගනිති. එවැනි යෞවනයෝ, ශුද්ධ ලියවිලි පදයක් කියවීමේ සිට බයිබලය මත පදනම් වූ තම ඇදහිල්ල පහදා දීම සහ උනන්දු අයට සුදුසු පොත්පත් ඉදිරිපත් කිරීම දක්වා පියවරෙන් පියවර ප්‍රගතිය ලබති. තමන්ගේම ප්‍රගතිය සහ යෙහෝවඃවහන්සේගේ ආශීර්වාද ඔවුන් දකින විට, යෞවන රාජ්‍යය ප්‍රචාරකයෝ ශුභාරංචිය දේශනා කිරීමෙහිලා ඉමහත් ප්‍රීතියක් ලබත්.—ගීතාවලිය 110:3; 148:12, 13.
ජ්වලිතය සහ බලා සිටීමේ ආකල්පයක්
15. රාජ්‍යය දේශනාකිරීමේ කර්තව්‍ය උදෙසා ඇති අපගේ ජ්වලිතය යළි දැල්වීම සඳහා එසකියෙල්ගේ ආදර්ශය අපට උපකාර කළ හැක්කේ කෙසේද?
15 දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරු ජ්වලිතය හා බලා සිටීමේ ආකල්පයක් යන දෙකම විදහා පෑමෙහිලාද ආදර්ශවත් වූහ. අදදින අපගේ දේව සේවය තුළද මෙම ගති ලක්ෂණ අපට අවශ්‍යය. අප දේව වචනයෙන් සත්‍යය පළමු වතාවට ඉගෙන ගත් විට, අපට ඇතිවූ ජ්වලිතය ගිනි පුපුරුමෙන් වී නිර්භීතව කථා කිරීමට එය අප පෙලඹුවා විය හැකියි. එහෙත්, එතැන් පටන් කාලයක් ගතවී තිබෙනවා විය හැකිය, තවද අප බොහෝ වතාවක් අපගේ බල ප්‍රදේශයේ සාක්ෂිදරමින් එය ආවරණය කර තිබෙනවා විය හැකිය. දැන් රාජ්‍යය පණිවුඩය පිළිගන්නේ ස්වල්ප දෙනෙක් පමණක් වන්නට පුළුවන. මේ හේතුවෙන් අපගේ ජ්වලිතය ඇල්මැරී ගොස් තිබේද? එය එසේ නම්, “දෙවියන්වහන්සේ ශක්තිමත් කරන සේක” යන අර්ථයෙන් යුත් නම දරන අනාගතවක්තෘ එසකියෙල් සලකා බලන්න. එසකියෙල් ඉපැරණි ඉශ්‍රායලයේ දැඩි හෘද ඇති ජනයාට මුහුණ දුන්නද, දෙවියන්වහන්සේ ඔහු ශක්තිමත් කර, ඔහුගේ නළල උපමාලංකාරයෙන් ගිනිගලට වඩා තද යමක් කළසේක. මෙසේ, ජනයා ඇසුවත් නෑසුවත් වසර බොහෝ ගණනක් මුළුල්ලේ තම දේව සේවය කරගෙන යෑමට එසකියෙල්ට හැකිවිය. අපටත් එසේම කිරීමට හැකි බව ඔහුගේ ආදර්ශයෙන් පෙන්වන අතර, දේශනා කර්තව්‍ය තුළ අපගේ ජ්වලිතය යළි දැල්වීමට අපට උපකාර කිරීමට එයට හැකිය.—එසකියෙල් 3:8, 9; 2 තිමෝති 4:5.
16. අප විසින් වගා කළ යුත්තේ මීකාගේ කුමන ආකල්පයද?
16 පොදු යුගයට පෙර අටවැනි සියවසේ අනාවැකි කී මීකාගේ ඉවසීමද සැලකිල්ලට ගැනීම වටී. ඔහු මෙසේ ලීවේය: “මම වනාහි ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] දෙස බලා සිට, මාගේ ගැළවීමේ දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවන්නෙමි [බලා සිටීමේ ආකල්පයක් පෙන්වන්නෙමි, NW]. මාගේ දෙවියන්වහන්සේ මාගේ වචන අසනවා ඇත.” (මීකා 7:7) මීකාගේ නිසැකකම, ඔහුගේ ශක්තිමත් ඇදහිල්ල තුළ මුල්බැසගෙන තිබිණි. යෙහෝවඃවහන්සේ අරමුණු කර ඇති දෙය උන්වහන්සේ ස්ථිරවම කරන බව අනාගතවක්තෘ යෙසායා මෙන්ම මීකාද දැන සිටියේය. (යෙසායා 55:11) එමනිසා දෙවියන්වහන්සේගේ පොරොන්දුවල ඉටුවීම කෙරෙහි බලාසිටීමේ ආකල්පයක් අපි වගාකරමු. රාජ්‍යය පණිවුඩයට මඳ උනන්දුවක් දක්වන ජනයා සිටින ප්‍රදේශවල පවා, අපි ශුභාරංචිය ජ්වලිතයෙන් යුතුව දේශනා කරමු.—තීතස් 2:14; යාකොබ් 5:7-10.
අදදින ඉවසීම ක්‍රියාවට නැංවීම
17, 18. ඉවසීම ක්‍රියාවට නැංවීම සඳහා අපට උපකාර කළ හැක්කේ කිනම් පැරණි හා නවීන ආදර්ශවලටද?
17 යෙහෝවඃවහන්සේගේ අනාගත්වක්තෘවරුන්ගෙන් සමහර දෙනෙක්, වසර ගණනාවක් පුරා තම පැවරුම් ඉවසීමෙන් යුතුව නොකඩවා කරගෙන ගිය නමුදු, ඔවුන්ගේ අනාවැකිවල ඉටුවීම නොදුටුවෝය. එහෙත්, අපගේ දේව සේවය සම්පූර්ණ කිරීමට අපටද හැකි බව වටහා ගැනීමට නොයෙක්විට පීඩා විඳගැනීමට සිදුවන අතරේදී, ඔවුන්ගේ නොපසුබට ඉවසිලිවන්තකම අපට උපකාරවත් වෙයි. මෙම 20වන සියවසේ මුල් දශකවල විසූ ඇදහිලිවන්ත අභිෂේක ලත් අයගේ ආදර්ශයෙන්ද අපට ප්‍රයෝජන ගත හැකියි. ඔවුන් අපේක්ෂා කළ ලෙසම ඔවුන්ගේ ස්වර්ගික බලාපොරොත්තු ඉටුනොවුවත්, ප්‍රමාද යයි ඔවුන්ට පෙනුණු නිසා ඇති වූ බලාපොරොත්තු කඩවුවත්, දෙවියන්වහන්සේ ඔවුන්ට හෙළිකළ පරිදි උන්වහන්සේගේ කැමැත්ත කිරීමට ඔවුන් තුළ තිබූ ජ්වලිතය නිවී ගියේ නැත.
18 වසර ගණනාවක් පුරා, මෙම ක්‍රිස්තියානීන්ගෙන් බෙහොමයක් මුරටැඹ සහ එහි සහය සඟරාව වන පිබිදෙව්! (කලින් ද ගෝල්ඩන් ඒජ් [රන්වන් යුගය] ලෙසද පසුව කොන්සලේෂන් [සැනසිල්ල] යන නමින්ද හැඳින්විණි) නිතිපතා බෙදා දුන්හ. ඔවුහු මෙම වටිනා සඟරා වීදිවලදී සහ අදදින අප හඳුන්වන සඟරා මාර්ග තුළ ජනයාගේ නිවෙස්වලදී ඔවුන්ට ලබා ගැනීමට සැලැස්වූහ. එක්තරා වයසක සහෝදරියක් තම භූමික ජීවිතය අවසන් කළ විට, ඈ වීදියේ දේශනා කරමින් සිටිනවා නිතර දැකපුරුදු අය, ඇගේ වියෝව නිසා මහත් කනගාටුවට පත්වූහ. ඇගේ ප්‍රසිද්ධ දේව සේවය නිරීක්ෂණය කර තිබූ අයගේ අගයකරනසුලු අදහස්වලින් පෙනී යන පරිදි, ඈ වසර ගණනාවක ඇදහිලිවන්ත සේවයක් කරමින් දී තිබූ සාක්ෂිය මොනතරම්ද! රාජ්‍යය ප්‍රකාශකයෙකු වශයෙන්, ඔබගේ දේව සේවයේදී ඔබට හමුවන අයට ඔබ නිතිපතා මුරටැඹ සහ පිබිදෙව්! සඟරා ඉදිරිපත් කරන්නෙහිද?
19. හෙබ්‍රෙව් 6:10-12හි අප සඳහා ඉදිරිපත් කරන දිරිගැන්වීම කුමක්ද?
19 යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සේවය කරන සහෝදරයන්ගේ ඉවසීම සහ ඇදහිලිවන්ත සේවයද සලකා බලන්න. ඔවුන්ගෙන් කිහිප දෙනෙක් දැන් තම ජීවිතයේ නවවෙනි හෝ දසවෙනි දශකවල ජීවත් වන නමුත්, ඔවුහු තවමත් තමන්ට පැවරී ඇති වැඩරාජකාරි ජ්වලිත ලෙස බලාකියාගන්නා රාජ්‍යය ප්‍රකාශකයෝය. (හෙබ්‍රෙව් 13:7) එමෙන්ම ස්වර්ගික බලාපොරොත්තුව ඇති වෙනත් වයසක අය සහ වසර ගණනාවක් පුරා කටයුතු කර වියපත් වන, “මහත් සමූහයට” අයත් ඇතැම් අය ගැන පවා කුමක් කිව හැකිද? (යොහන් 10:16) ඔවුන්ගේ වැඩයද ඔවුන් දෙවියන්වහන්සේගේ නාමයට පෙන්නූ ප්‍රේමයද මතක නැති කරන්ට තරම් දෙවියන්වහන්සේ අධර්මිෂ්ඨ නොවන බවට සහතිකවීමට ඔවුන්ට හැකිය. සෙසු යෞවන ඇදහිලිවන්තයන් හා සමඟ, යෙහෝවඃවහන්සේගේ වයස්ගත සාක්ෂිකරුවන් දෙවියන්වහන්සේගේ සේවය තුළ ඇදහිල්ල ක්‍රියාවට නංවමින් සහ ඉවසීම පෙන්වමින් තමන්ට කළ හැකි දෙය දිගටම අත්නෑර කරමින් සිටීවා. (හෙබ්‍රෙව් 6:10-12) අනතුරුව, පැරණි අනාගතවක්තෘවරුන් මෙන්, නැවත නැගිටීමක් මගින් හෝ “මහත් පීඩාව” තුළින් කෙළින්ම බේරී ජීවත් වීම මගින් සදාකාලික ජීවිතය නමැති විපාක ඔවුන් නෙළාගන්නවා ඇත.—මතෙව් 24:21.
20. (අ) අනාගතවක්තෘවරුන්ගේ “ආදර්ශයෙන්” ඔබ ඉගෙනගෙන ඇත්තේ කුමක්ද? (ආ) අනාගතවක්තෘවරුන්ට තිබුණාවූ ඉවසීමට සමාන ඉවසීමක් අපට උපකාරවත් විය හැක්කේ කෙසේද?
20 දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරුන් අප සඳහා මොනතරම් කදිම ආදර්ශයක් තබා තිබේද! ඔවුන් දුක් විඳදරාගත් නිසාත්, ඉවසීම ක්‍රියාවට නැංවූ නිසාත්, වෙනත් දේව ගුණාංග විදහා පෑ නිසාත්, යෙහෝවඃවහන්සේගේ නාමයෙන් කථා කිරීමට ඔවුහු වරප්‍රසාද ලැබුවෝය. උන්වහන්සේගේ නවීන-දින සාක්ෂිකරුවන් වශයෙන්, ඔවුන් හා සමාන වී, මෙසේ පැවසූ අනාගතවක්තෘ හබක්කුක් මෙන් අපි අධිෂ්ඨානපූර්වකව සිටිමු: “මම මාගේ මුරපළ උඩට පැමිණ, බලකොටුව උඩ සිටගන, [දෙවියන්වහන්සේ] මට කියන්නේ මොකද කියාත් මාගේ පැමිණිල්ල ගැන මා විසින් මොන උත්තරයක් දිය යුතුද කියාත් දැනගන්ට බලාසිටින්නෙමි.” (හබක්කුක් 2:1) අප විසින් ඉවසිල්ල ක්‍රියාවට නංවා, අපගේ උත්තරීතර මැවුම්කරුවාණන් වන යෙහෝවඃවහන්සේගේ සත්කීර්තිමත් නාමය දිගටම ප්‍රසිද්ධියේ ප්‍රීතියෙන් ප්‍රකාශ කරනවාත් සමඟම, අපිත් ඒ හා සමාන අධිෂ්ඨානයක් ගෙන සිටිමු!—නෙහෙමියා 8:10; රෝම 10:10.
ඔබ මෙම කරුණු වටහා ගත්තෙහිද?
◻ අනාගතවක්තෘ ආමොස් තැබූ ධෛර්යසම්පන්න ආදර්ශය කුමක්ද?
◻ අනාගතවක්තෘ මෝසෙස් ආදර්ශවත් වූයේ කිනම් ආකාරවලින්ද?
◻ ආමොස් සහ යෙසායා මෙන් ක්‍රියා කිරීමට යෙහෝවඃවහන්සේගේ නවීන දින සාක්ෂිකරුවන්ට හැක්කේ කෙසේද?
◻ හොෂෙයා සහ යෝවෙල්ගේ හැසිරීමෙන් ක්‍රිස්තියානි දේව සේවකයන්ට ඉගෙන ගත හැක්කේ කුමක්ද?
◻ එසකියෙල් සහ මීකාගේ ආදර්ශවලින් අපට ප්‍රයෝජන ගත හැක්කේ කෙසේද?
[16වන පිටුවේ පින්තූරය]
අමශියාගේ උමතු විරෝධය අභිබවා, ධෛර්යයෙන් යුතුව අනාවැකි කීමට යෙහෝවඃවහන්සේගේ ආත්මය ආමොස්ට බලය දුන්නේය
[18වන පිටුවේ පින්තූරය]
යෙහෝවඃවහන්සේගේ සේවය තුළ ඉවසීම ක්‍රියාවට නැංවීමෙන් ඇදහිලිවන්ත අභිෂේක ලත් අය කදිම ආදර්ශයක් තබා ඇත්තාහ