යෙහෝවඃවහන්සේ සාධාරණය!
“ඉහළින් පැමිණෙන ප්‍රඥාව . . . සාධාරණය.”—යාකොබ් 3:17, NW.
1. ඇතැමුන් දෙවියන්වහන්සේ අසාධාරණ බව දක්වා ඇත්තේ කෙසේද, දෙවියන්වහන්සේ පිළිබඳව එවැනි දෘෂ්ටියක් ගැන ඔබට හැඟෙන්නේ කෙසේද?
ඔබ නමස්කාර කරන්නේ කෙබඳු දෙවි කෙනෙකුටද? එම දෙවියන්, නම්‍යසුලු නොවන, යුක්තිය අකුරටම ක්‍රියාත්මක කරන, කර්කශ, දැඩි, ස්වභාවයකින් යුත් දෙවි කෙනෙකු බව ඔබ විශ්වාස කරන්නෙහිද? රෙපරමාදු ප්‍රතිසංස්කරණයක් ඇති කළ ජෝන් කැල්වින්හට දෙවියන්වහන්සේව එසේ පෙනුණා විය යුතුය. එක් එක් පුද්ගලයා සන්තෝෂයෙන් සදාකල් ජීවත්වන්නට යනවාද නැත්නම් සදාකාලයටම නිරාගින්නක වධ කරනු ලබන්නට යනවාද කියා ඔහු ගැන කලින් තීරණය කරමින්, ඔහු සම්බන්ධව දෙවියන්වහන්සේට “සදාකාලික හා වෙනස්කළ නොහැකි සැලැස්මක්” ඇත්තේයයි ඔහු කියා සිටියේය. මේ ගැන සිතා බලන්න: මෙය සැබෑවක් වූවා නම්, ඔබ කොතරම් වෙහෙස මහන්සි වී ක්‍රියා කළත්, කොතරම් උත්සාහ කළත්, ඔබ සහ ඔබගේ අනාගතය සම්බන්ධයෙන් දෙවියන්වහන්සේගේ දිගු කාලීන දැඩි සැලැස්ම වෙනස් කිරීමට ඔබ කරන කිසිවකින් කිසිවිටෙකත් නොහැකි වන්නේය. එවැනි අසාධාරණ දෙවිකෙනෙකුට ඔබ ආකර්ෂණය වන්නේද?—යාකොබ් 4:8 සසඳන්න.
2, 3. (අ) මිනිස් ආයතනවල හා සංවිධානවල අසාධාරණබව උදාහරණවලින් විස්තර කිරීමට අපට කෙසේ හැකි වේද? (ආ) යෙහෝවඃවහන්සේගේ ස්වර්ගික රථය පිළිබඳ එසකියෙල්ගේ දර්ශනය, සුදුසු සේ සකස්වීමට උන්වහන්සේට තිබෙන හැකියාව හෙළි කරන්නේ කෙසේද?
2 බයිබලයේ දෙවියන්වහන්සේ වූකලි සාධාරණකමින් අග්‍රගණ්‍ය දෙවිකෙනෙකු බව දැනගැනීම කොතරම් සහනයක්ද! දැඩි, නම්‍යසුලු නොවීමට නැඹුරු වී සිටින්නේ, දෙවියන්වහන්සේ නොව, නමුත් තමන්ගේම අසම්පූර්ණකම්වලින් බැඳී සිටින මිනිසුන්මය. මිනිස් සංවිධාන, බඩු ගෙන යන දුම්රියවල් මෙන් පාලනය කළ නොහැකි තත්ත්වයක තිබෙන්නට පුළුවන. බඩු ගෙන යන යෝධ දුම්රියක්, එහි පීල්ල මත යම් බාධාවක් දෙසට ඇදී යමින් තිබෙන විට, එය ඉවතට හැරවීම කිසිසේත් කළ නොහැක්කක් වන අතර, එය නැවැත්වීමද එතරම් පහසු දෙයක් නොවේ. ඇතැම් දුම්රියවල් කොතරම් වේගයෙන් ගමන් කරනවාද කියතොත්, ඒවායේ තිරිංග තද කළායින් පසුත් ඒවා නතර වන්නේ සැතපුමකටත් වඩා වැඩි දුරක් ඇදී යෑමෙන් පසුවය! මීට සමානව, යෝධ තෙල් නැවක්ද, එහි ඇන්ජිම් නවතා දැමුවායින් පසුව පවා තවත් සැතපුම් පහක් පමණ ඉදිරියට ඇදී යන්නට පුළුවන. ඒවා පසුපසට යෑම සඳහා ක්‍රියාත්මක කිරීමට සැලැස්වුවද, එය තවත් සැතපුම් දෙකක් පමණ ජලය තුළින් ඉදිරියට ඇදී යෑමට ඉඩ කඩ තිබේ! එහෙත්, මේවාටත් වඩා අතිවිශාල, ගරුබිය දනවන, එමෙන්ම දෙවියන්වහන්සේගේ සංවිධානය නියෝජනය කරන වාහනයක් ගැන දැන් සලකා බලන්න.
3 මීට වසර 2,600කටත් පෙර, යෙහෝවඃවහන්සේ, ආත්ම මැවිලිවලින් සමන්විත ස්වකීය ස්වර්ගීය සංවිධානය දැක්වූ දර්ශනයක් එසකියෙල්ට දුන්සේක. එය වනාහි ගරුබිය දනවන ප්‍රමාණයන්ගෙන් හෙබි රථයක් වූ අතර, යෙහෝවඃ වහන්සේගේම එම “වාහනය” සෑමවිටම උන්වහන්සේගේ පාලනය යටතේ තිබුණි. එය චලනය වූ ආකාරය බෙහෙවින් සිත්ඇදගන්නා යමක් විය. එම යෝධ රෝදවලට පැතිහතරක් තිබුණු අතර ඒවා ඇස්වලින් පිරී තිබුණි, එම හේතුවෙන්, සැම තැනක්ම දැක ගන්නටත්, නැවැත්වීමකින් හෝ හැරවීමකින් තොරව එහි ගමන් මඟ ක්ෂණයකින් වෙනස් කිරීමටත් එයට හැකිවිණි. තවද, යෝධ තෙල් නැවක් හෝ බඩු ගෙනයන දුම්රියක් මෙන්, තම ගමන් මඟෙහි අසීරුවෙන් සෙමින් ගමන් කිරීමට මෙම පතාක යෝධ වාහනයට අවශ්‍යව තිබුණේ නැත. ඍජු කෝණාකාර හැරවීම්කරමින් විදුලි වේගයෙන් ගමන් කිරීමට ඊට හැකිකම තිබුණි! (එසකියෙල් 1:1, 14-28) යෙහෝවඃවහන්සේගේ රථය, මිනිසා විසින් සාදන ලද අපිළිවෙළකින් යුත් යන්ත්‍රවලට වඩා වෙනස් වන්නාක් මෙන්ම, උන්වහන්සේ වනාහි, කැල්වින් දේශනා කළ ආකාරයේ දෙවියන්ට වඩා ඉඳුරාම වෙනස්ය. උන්වහන්සේට පරිපූර්ණ අයුරින් තත්ත්වයන්ට අනුව සකස්විය හැක. යෙහෝවඃවහන්සේගේ පෞද්ගලිකත්වයේ මෙම අංගය අගය කිරීම, සුදුසු සේ සකස් වෙමින් සිටීමටත්, අසාධාරණකම නමැති මලපතින් වැළකී සිටීමටත් අපට උපකාර කළ යුතුය.
යෙහෝවඃවහන්සේ—විශ්වයේ වඩාත්ම සුදුසු සේ සකස්වනසුලු තැනැන්වහන්සේ
4. (අ) යෙහෝවඃවහන්සේගේ නාමයම, උන්වහන්සේ සුදුසු සේ සකස්වන දෙවි කෙනෙකු බවට හෙළි කරන්නේ කිනම් මාර්ගයෙන්ද? (ආ) යෙහෝවඃ දෙවියන්වහන්සේට අදාළ කර ඇති ඇතැම් පදවි නාම මොනවාද, තවද ඒවා ගැළපෙන්නේ මන්ද?
4 යෙහෝවඃවහන්සේගේ නාමයෙන්ම උන්වහන්සේගේ සකස්වනසුලු ගතිය අඟවයි. “යෙහෝවඃවහන්සේ” යන්නෙහි පදගතාර්ථමය අරුත නම්, “උන්වහන්සේ සිදුවීමට සලස්වන සේක” යනුයි. පෙනෙන විදිහට මින් අදහස් කරන්නේ, යෙහෝවඃවහන්සේම, තමන්වහන්සේගේ සියලු පොරොන්දු ඉටු කරන්නා බවට පත් වන බවය. මෝසෙස් දෙවියන්වහන්සේගේ නාමය ඇසූ අවස්ථාවේ, යෙහෝවඃවහන්සේ එහි අරුත මේ අයුරින් විස්තර කළ සේක: “මම යම්සේ සිටිම්ද එසේම සිටිමි.” (නික්මයාම 3:14) රොදහම්ගේ පරිවර්තනය, තියුණු ලෙස එය මෙසේ පැහැදිලි කරයි: “මම මා කැමති ඕනෑම කෙනෙකු බවට පත් වන්නෙමි.” යෙහෝවඃවහන්සේ, ස්වකීය ධර්මිෂ්ඨ අරමුණු සහ පොරොන්දු ඉටු කිරීමට අවශ්‍ය වන්නාවූ ඕනෑම කෙනෙකු බවට පත් වන සේක, නැතහොත් එසේ වීමට තෝරා ගන්නා සේක. මෙසේ, උන්වහන්සේ, මැවුම්කරුවාණෝ, පියාණෝ, පරමාධිපති සමිඳාණෝ, එඬේරාණෝ, සේනාවල යෙහෝවඃවහන්සේ, යාච්ඤා අසන තැනැන්වහන්සේ, විනිශ්චයකරුවාණෝ, උත්තරීතර ගුරුවරයාණෝ, මිදුම්කරුවාණෝ වැනි චිත්තාකර්ෂණීය පදවිනාම දරා සිටින සේක. උන්වහන්සේ මේ සියලු පදවි නාම බවට පත්වීමට තමන්වහන්සේවම සලස්වා ඇති අතර, උන්වහන්සේගේ ප්‍රේමනීය අරමුණු ක්‍රියාත්මක කරවීම සඳහා වැඩියෙන් මෙසේ කර තිබෙන සේක.—යෙසායා 8:13; 30:20; 40:28; 41:14; ගීතාවලිය 23:1; 65:2; 73:28; 89:26; විනිශ්චයකාරයන් 11:27; නිව් වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන්හි ඇපෙන්ඩික්ස් 1Jද බලන්න.
5. යෙහෝවඃවහන්සේ යම් දේවලට සුදුසු සේ සකස් වීමෙන්, උන්වහන්සේගේ ස්වභාවය හෝ ප්‍රමිති වෙනස් වේය යන්න අඟවන බවක් අප විසින් නිගමනය නොකළ යුත්තේ මන්ද?
5 එසේ නම්, මින් අදහස් කරන්නේ, දෙවියන්වහන්සේගේ ස්වභාවය හෝ ප්‍රමිතීන් වෙනස් වන බවද? නැත; යාකොබ් 1:17, [NW] ගෙනහැර දක්වන්නාක් මෙන්, “උන්වහන්සේ සමඟ කිසි වෙනස්වීමක්වත්, හැරීමේ ඡායාවක්වත් නැත්තේය.” මෙහි යම් පරස්පර විරෝධීතාවක් තිබේද? කොහෙත්ම නැත. නිදසුනක් වශයෙන්, තම දරුවන්ගේ ප්‍රයෝජනය උදෙසා තම කාර්යභාරය වෙනස් කොට කටයුතු නොකරන්නේ කිනම් ප්‍රේමනීය දෙමාපියාද? එක් දවසක වැඩකටයුතුවලදී, දෙමාපියෙක්, උපදේශකයෙක්, කෝකියෙක්, නිවෙස අස්පස් කරන්නෙක්, ගුරුවරයෙක්, හික්මවන්නෙක්, මිත්‍රයෙක්, කාර්මිකයෙක්, සාත්තු සේවකයෙක් බවට පත් වෙන්නට පුළුවන—ලැයිස්තුව දිගින් දිගටම යයි. මෙම තත්ත්වයන්ට වැටී කටයුතු කරන විට දෙමාපියා තමන්ගේ පෞද්ගලිකත්වය වෙනස් කරන්නේ නැත; ඔහු හෝ ඈ කරන්නේ තිබෙන අවශ්‍යතා අනුව හුදෙක් සකස්වීම පමණි. යෙහෝවඃවහන්සේ සම්බන්ධයෙන්ද එය එසේය, නමුත් එය වඩාත් උදාර පරිමාණයකින්ය. තම මැවිලිවල ප්‍රයෝජනය සඳහා තමන්වහන්සේම යම් යම් තත්ත්වයන්ට පත් වීමෙහිලා කිසිම සීමාවක් උන්වහන්සේට නැත. උන්වහන්සේගේ ප්‍රඥාවේ ගැඹුර ඇත්තවශයෙන්ම අපව මහත් විස්මයට පත් කරවයි!—රෝම 11:33.
සාධාරණකම දිව්‍ය ප්‍රඥාවේ ලකුණකි
6. දිව්‍ය ප්‍රඥාව විස්තර කරලීමෙහිලා යාකොබ් යොදා ගත් ග්‍රීක් වචනයේ පදගතාර්ථමය අරුත හා ඇඟවීම් මොනවාද?
6 ශ්‍රාවක යාකොබ්, අතිශ්‍රේෂ්ඨ සකස්වනසුලු දෙවියන්වහන්සේගේ ප්‍රඥාව විස්තර කිරීමට උනන්දුමත් වදනක් යොදා ගත්තේය. ඔහු මෙසේ ලීවේය: “ඉහළින් පැමිණෙන ප්‍රඥාව . . . සාධාරණය.” (යාකොබ් 3:17, NW) මෙහි යොදා ඇති ග්‍රීක් වචනය (එ·පි·එයි·කීස්ʹ), පරිවර්තනය කිරීම දුෂ්කරය. පරිවර්තකයන්, මේ සඳහා “මෘදු,” “තදනැති,” “ඉවසනසුලු,” “සැලකිලිමත්” යන වචන යොදා ගෙන ඇත. ද නිව් වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් පරිවර්තනය, එය “සාධාරණකම” යනුවෙන් ගෙනහැර දක්වන අතර, එහි පදගතාර්ථය වන්නේ “නැමෙනසුලු [යටත්වීමට හෝ එකඟ වීමට සූදානමින් සිටින]” යන්න බව පාද සටහනේ ඇඟවෙයි.a පොතේ නීතියටම ඇලී නොසිට, අසාධාරණ අයුරින්, දැඩි ලෙස හෝ කිසි බුරුලක් නැති අන්දමින් කටයුතු නොකිරීමේ අදහස එම වචනයේ ගැබ්වී තිබේ. නිව් ටෙස්ටමන්ට් වර්ඩ්ස්හි විශාරද විලියම් බාක්ලේ තම අදහස් මෙසේ පළ කළේය: “එපිඑයිකෙයියා යන්න ගැන තිබෙන මූලිකම හා ප්‍රධානම දෙය නම්, එය දෙවියන්වහන්සේගෙන් ආරම්භ වීමයි. දෙවියන්වහන්සේ ස්වකීය අයිතිවාසිකම් ගැන තදින් ක්‍රියා කළා නම්, වෙන කිසිවක් නොව නමුත් දැඩි නීති පද්ධතියක් දෙවියන්වහන්සේ අප මත පැනවූවා නම්, අප කොහේ සිටිනු ඇත්ද? දෙවියන්වහන්සේ වනාහි එපිඑයිකීස් සම්බන්ධව පරම මහෝත්තම ආදර්ශය වන අතර, අන්‍යයන් සමඟ එපිඑයිකෙයියා සහිතව කටයුතු කරන තැනන්වහන්සේය.”
7. යෙහෝවඃවහන්සේ ඒදන් උයනේදී සාධාරණකම විදහා පෙන්වූයේ කෙසේද?
7 මිනිස්වර්ගයා යෙහෝවඃවහන්සේගේ පරමාධිපත්‍යයට එරෙහිව කැරලි ගැසූ අවස්ථාව සැලකිල්ලට ගන්න. එම ස්තුතිවන්ත නොවූ කැරලිකරුවන් තිදෙනා වන ආදම්, ඒව සහ සාතන්ව විනාශ කර දැමීම දෙවියන්වහන්සේට කොතරම් පහසු දෙයක් වීමට තිබුණාද! එමගින් දෙවියන්වහන්සේට කොතරම් හෘද වේදනාවක් මඟ හැරීමට තිබුණාද! එවැනි දැඩි යුක්තියක් ක්‍රියාත්මක කරවීමට උන්වහන්සේට අයිතියක් නැතැයි විවාද කළ හැකිව තිබුණේ කාටද? කෙසේවෙතත්, යෙහෝවඃවහන්සේ, එම ස්වර්ගික රථය බඳු ස්වකීය සංවිධානය, කිසිම විටෙක යුක්තියේ යම් දැඩි, සකස් විය නොහැකි ප්‍රමිතියකට දමා හිර කරගෙන නැත. එම රථය, මිනිස් පවුල මතින් සහ සන්තෝෂවත් අනාගතයක් සඳහා මිනිස්වර්ගයාගේ සියලු අපේක්ෂාවන් මතින් ඉවක් බවක් නැතිව කඩා ගෙන බිඳ ගෙන ගියේ නැත. මිට වෙනස්ව, යෙහෝවඃවහන්සේ, විදුලි සැරයක වැනි ශීඝ්‍ර වේගයකින් ස්වකීය රථය හසුරුවාගත් සේක. කැරැල්ල නිමවූ සැනින්, යෙහෝවඃ දෙවියන්වහන්සේ, ආදම්ගෙන් පැවත්තෙන්නන් සියල්ලන්ටම දයාව හා බලාපොරොත්තුව දුන් දිගු කාලීන අරමුණක් සකස් කළසේක.—උත්පත්ති 3:15.
8. (අ) සාධාරණකම පිළිබඳ ක්‍රිස්තියානි ලෝකයේ වැරදි දෘෂ්ටිය, යෙහෝවඃවහන්සේගේ අව්‍යාජ සාධාරණකමට පටහැනි වන්නේ කෙසේද? (ආ) යෙහෝවඃවහන්සේගේ සාධාරණකමෙන්, උන්වහන්සේ විසින් දිව්‍ය ප්‍රතිපත්ති පාවා දිය හැකි බවක් අඟවන්නේ නැති බව පැවසීමට අපට හැක්කේ කෙසේද?
8 කෙසේවුවද, යෙහෝවඃවහන්සේගේ සාධාරණත්වයෙන් අඟවන්නේ, උන්වහන්සේගේ දිව්‍ය ප්‍රතිපත්ති පාවාදිය හැකි බවක් නොවේ. අදදින ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි සිතන්නේ, මුළාව ගිය තම රැළවල්හි සිත් දිනාගැනීම පිණිස ඔවුන්ගේ දුරාචාර හැසිරීම කිසි ගණනකට නොගන්නා විට තමන් සාධාරණය කියාය. (2 තිමෝති 4:3 සසඳන්න.) යෙහෝවඃවහන්සේ කිසිවිටෙකත් තමන්ගේම නීති උල්ලංගනය කරන්නේ නැත, උන්වහන්සේ තමන්ගේම ප්‍රතිපත්ති පාවාදෙන්නේ නැත. ඒ වෙනුවට, නැමීමට, තත්ත්වයන්ට සුදුසු සේ සකස් වීමට, උන්වහන්සේ කැමැත්තක් පෙන්වන සේක, එවිට, එම ප්‍රතිපත්ති යුක්තිසහගත ලෙස හා දයානුකම්පිත ලෙස යන දෙයාකාරයෙන්ම අදාළ කළ හැකිවෙයි. ස්වකීය යුක්තියේ සහ බලයේ ක්‍රියාත්මක වීම, ස්වකීය ප්‍රේමය සහ සාධාරණ ප්‍රඥාව සමඟ සමබර කිරීමට උන්වහන්සේ සෑම විටම සාවධානව සිටින සේක. යෙහෝවඃවහන්සේ සාධාරණකම නිරූපනය කරන ආකාර තුනක් දැන් අපි සලකා බලමු.
‘සමාවදීමට සූදානම්’
9, 10. (අ) ‘සමාව දීමට සූදානම්ව’ සිටීම සමඟ සාධාරණකමට ඇති සම්බන්ධතාව කුමක්ද? (ආ) යෙහෝවඃවහන්සේගේ සමාව දීමට සූදානම්ව සිටීමේ ස්වභාවයෙන් දාවිත් ප්‍රයෝජන ලැබුවේ කෙසේද, තවද මන්ද?
9 දාවිත් මෙසේ ලීවේය: “මන්දයත්, අහෝ යෙහෝවඃ වහන්ස ඔබ යහපත්ය, සමාව දීමට සූදානම්ය; ඔබ අමතන සියල්ලන්ට ප්‍රේමනීය-කරුණාව ඉමහත්ය.” (ගීතාවලිය 86:5, NW) හෙබ්‍රෙව් ශුද්ධලියවිලි ග්‍රීක් බසට පරිවර්තනය කරනු ලැබූ විට, “සමාව දීමට සූදානම්” යන්න පරිවර්තනය කරනු ලැබුවේ, එ·පි·එයි·කෙස්ʹ හෙවත් “සාධාරණකම” ලෙසටය. ඇත්තෙන්ම, සමාව දීමට සූදානම්වීම සහ දයාව පෙන්වීම වනාහි සමහරවිට සාධාරණකම නිරූපනය කිරීමෙහිලා මූලිකම මාර්ගය වෙයි.
10 මේ සම්බන්ධව යෙහෝවඃවහන්සේ කොතරම් සාධාරණද යන්න ගැන දාවිත්ම හොඳින් දැන සිටියේය. දාවිත් බැත්-ෂෙබා සමඟ කාමමිථ්‍යාචාරය කොට, ඇගේ සැමියාව මැරීමට කටයුතු සැලැස්වූ අවස්ථාවේ, ඔහු සහ බැත්-ෂෙබා යන දෙදෙනාම මරණ දඬුවමට සුදුස්සෝ වූහ. (ද්විතීය කථාව 22:22; 2 සාමුවෙල් 11:2-27) දැඩි මිනිස් විනිශ්චයකරුවන් විසින් මෙම නඩුව හසුරවනු ලැබුවා නම්, මේ දෙදෙනාටම තම ජීවිත අහිමි වන්නට තිබිණි. එහෙත් යෙහෝවඃවහන්සේ සාධාරණකම පෙන්වූ සේක, වයින්’ස් එක්ස්පොසිටරි ඩික්ෂනරි ඔෆ් බිබ්ලිකල් වර්ඩ්ස් එය විග්‍රහ කළ අන්දමට, “එය ‘යම් සිද්ධියක සැබෑ කරුණු දෙස දයානුකම්පිත ලෙස හා සාධාරණ ලෙස බලමින්’ පෙන්වන සැලකිල්ලය.” යෙහෝවඃවහන්සේගේ දයානුකම්පිත තීරණයට බලපෑ සැබෑ කරුණුවලට, වැරදිකරුවන්ගේ අවංක පසුතැවිල්ලද, මීට පෙර අවස්ථාවලදී දාවිත් විසින්ම වෙනත් අයවලුන්ට දැක්වූ දයාවද ඇතුළත් වූ බව පෙනෙන්නට තිබේ. (1 සාමුවෙල් 24:4-6; 25:32-35; 26:7-11; මතෙව් 5:7; යාකොබ් 2:13) කෙසේවුවද, නික්මයාම 34:4-7හි යෙහෝවඃවහන්සේ තමන්වහන්සේ ගැනම දෙන විස්තරයට අනුව, යෙහෝවඃවහන්සේ දාවිත්ට නිවැරදි කිරීමක් දීම සාධාරණය. දාවිත් තමන්වහන්සේගේ වචනයට අවමන් කර තිබූ බව ඔහුට කාවද්දවමින්, යෙහෝවඃවහන්සේ දැඩි පණිවුඩයක් සමඟින් ප්‍රොපේත නාතාන්ව දාවිත් වෙත යැවූ සේක. දාවිත් පසුතැවිලි වූ අතර, එමනිසා ඔහු තම පාපය උදෙසා මියගියේ නැත.—2 සාමුවෙල් 12:1-14.
11. මනස්සේ සම්බන්ධයෙන් තමන් සමාව දීමට සූදානම් බව යෙහෝවඃවහන්සේ පෙන්වූයේ කෙසේද?
11 යුදාහි මනස්සේ රජ මේ සම්බන්ධයෙන් වඩාත් කැපී පෙනෙන උදාහරණයකි, මන්දයත්, දාවිත් මෙන් නොව, ඔහු දිගු කලක් පුරා ඉතා දුෂ්ටව සිටි බැවිනි. මනස්සේ, දේශය තුළ මිනිස් පූජාව ඇතුඵ පිළිකුල්සහගත ආගමික චාරිත්‍රවලට අනුග්‍රහ දැක්වූයේය. ඇදහිලිවන්ත ප්‍රොපේත යෙසායා ‘කියතෙන් ඉරනු ලැබීමට’ වගකිව යුත්තේ ඔහු විය හැකිය. (හෙබ්‍රෙව් 11:37) මනස්සේට දඬුවම් කරනු පිණිස, ඔහුව වහලෙකු වශයෙන් බබිලෝනියට ගෙන යෑමට යෙහෝවඃවහන්සේ ඉඩ හැරිය සේක. කෙසේවෙතත්, සිරගෙදරදී පසුතැවිලි වූ මනස්සේ, දයාව ඉල්ලා කන්නලව් කළේය. ඔහුගේ අවංක පසුතැවිල්ලට ප්‍රතිචාරය දක්වමින්, මෙම අතිශයින් අන්තයට ගොස් තිබූ තත්ත්වය තුළ පවා යෙහෝවඃවහන්සේ ‘කමාව දීමට සූදානම්’ වූ සේක.—2 ලේකම් 33:9-13.
අලුත් තත්ත්වයන් උද්ගත වන විට ක්‍රියා මාර්ගය වෙනස් කිරීම
12, 13. (අ) නිනීවය සම්බන්ධයෙන්, ක්‍රියා මාර්ගය වෙනස් කිරීමට යෙහෝවඃවහන්සේව පෙලඹවූයේ තත්ත්වයන්හි කිනම් වෙනස් වීමක්ද? (ආ) යෝනා, යෙහෝවඃ දෙවියන්වහන්සේට වඩා සාධාරණකමින් අඩු බවට සනාථ කළේ කෙසේද?
12 යෙහෝවඃවහන්සේගේ සාධාරණකම දැකිය හැකි තවත් පැත්තක් නම්, අලුත් තත්ත්වයන් උද්ගත වන විට, තමා ගැනීමට අදහස් කළ ක්‍රියා මාර්ගයක් වෙනස් කිරීමටද උන්වහන්සේ කැමැති වීමයි. නිදසුනක් වශයෙන්, ප්‍රොපේත යෝනා ඉපැරණි නිනීවයේ වීදි තුළින් ගමන් කළ විට, ඔහුගේ ආනුභාව ලත් පණිවුඩය ඇත්තෙන්ම සරල එකක් විය: එම බලවත් නුවර දවස් 40කින් විනාශ වනු ඇත. කෙසේවුවද, චමත්කාරජනක අයුරින් තත්ත්වයන් වෙනස් විය! නිනීවයේ වැසියෝ පසුතැවිලි වූහ.—යෝනා, 3වෙනි පරිච්ඡේදය.
13 යෙහෝවඃවහන්සේ සහ යෝනා මෙම තත්ත්වයන්හි වෙනස්වීමට ප්‍රතික්‍රියා කළ අන්දමේ වෙනස සසඳා බැලීමෙන් අපට යමක් ඉගෙන ගත හැකිය. යෙහෝවඃවහන්සේ තමන්ගේ ස්වර්ගික රථයේ ගමන් මඟෙහි ඇත්තෙන්ම වෙනසක් සිදු කළසේක. මේ අවස්ථාවේද, තමා “යුද්ධයේ දක්ෂයෙක්” වනවා වෙනුවට, පව්වලට කමාව දෙන්නෙක් බවට තමාවම පත්කර ගත්සේක. (නික්මයාම 15:3) අනෙක් අතට, යෝනා සිටියේ නම්‍යසුලු වීමට බෙහෙවින් අකමැති තත්ත්වයකය. යෙහෝවඃවහන්සේගේ රථය සමඟ එම වේගයෙන් ගමන් කරනවා වෙනුවට, ඔහු ක්‍රියා කළේ, පෙරදී සඳහන් කළ, බඩුගෙන යන දුම්රියක් හෝ යෝධ තෙල් නැවක් ලෙසටයි. ඔහු විනාශය ප්‍රකාශ කර තිබුණි, එසේනම් විනාශය පැමිණිය යුතුය! ගන්නට යන ක්‍රියා මාර්ගයේ යම් වෙනසක් සිදුවුණොත්, තමා නිනීවයේ වැසියන්ගේ අවමානයට ලක්වනු ඇතැයි සමහරවිට ඔහුට හැඟුණා විය හැකිය. එනමුත්, යෙහෝවඃ වහන්සේ මෙම හිතුමතේ ක්‍රියා කිරීමට කැමතිවූ ප්‍රොපේතවරයාට සාධාරණත්වයේ හා දයාවේ මතක හිටින පාඩමක් ඉගැන්වූ සේක.—යෝනා, 4වෙනි පරිච්ඡේදය.
14. යෙහෝවඃවහන්සේ, ස්වකීය ප්‍රොපේත එසකියෙල් සම්බන්ධයෙන් තම ක්‍රියා මාර්ගය වෙනස් කළේ මන්ද?
14 සාපේක්ෂ වශයෙන් ඉතා කුඩා කාරණාවලදී පවා යෙහෝවඃවහන්සේ වෙනත් අවස්ථාවන්හිදී තම ක්‍රියා මාර්ගය වෙනස් කර තිබෙන සේක. අනාවැකිමය නාට්‍යයක රඟපාන මෙන් යෙහෝවඃවහන්සේ ප්‍රොපේත එසකියෙල්ට නියෝග කළ විට, මිනිස් අසූචිවලින් තම ආහාර පිස ගන්නා ලෙසට කරන ලද විධානයක්ද යෙහෝවඃ වහන්සේගේ උපදෙස්වලට ඇතුළත් විය. මෙය ප්‍රොපේතවරයාට දැරීමට අපහසු යමක් වූයෙන්, “අහෝ, [පරමාධිපති, NW] ස්වාමිවූ දෙවියන්වහන්ස” [යෙහෝවඃවහන්ස, NW] යනුවෙන් මොරගැසූ ඔහු, එතරම්ම පිළිකුල් දෙයක් තමන් ලවා නොකරවන මෙන් ආයාචනා කළේය. යෙහෝවඃවහන්සේ මෙම ප්‍රොපේතවරයාගේ හැඟීම් වැඩකට නැති මෝඩ යමක් යයි සලකා ඒවා ඉවත දැමුවේ නැත; ඒ වෙනුවට, උන්වහන්සේ ඒ සඳහා ගොම යොදා ගැනීමට එසකියෙල්ට ඉඩ දුන් සේක, මෙය අද දක්වා බොහෝ රටවල යොදා ගන්නා පොදු ඉන්ධන මූලාශ්‍රයකි.—එසකියෙල් 4:12-15.
15. (අ) යෙහෝවඃවහන්සේ මනුෂ්‍යයන්ට සවන්දීමටත්, ප්‍රතිචාර දැක්වීමටත් කැමැත්තෙන් සිටින බව පෙන්වන්නේ කිනම් උදාහරණද? (ආ) මින් අපට කිනම් පාඩමක් උගත හැකිද?
15 අපගේ දෙවිවූ යෙහෝවඃවහන්සේගේ නිහතමානිකම ගැන ඕනෑකමින් සිතා බැලීම අපගේ හදවත් උණුසුම් කරවන්නක් නොවේද! (ගීතාවලිය 18:35, NW) උන්වහන්සේ අපට වඩා බොහෝ සෙයින් උසස්ව සිටින සේක; එහෙත් උන්වහන්සේ අසම්පූර්ණ මිනිසුන්හට ඉවසීමෙන් යුතුව සවන් දෙන අතර, ඇතැම් අවස්ථාවලදී තත්ත්වයන්ට අනුව තම ක්‍රියාමාර්ගය පවා වෙනස් කරන සේක. සොදොම් සහ ගොමොරාවේ විනාශය සම්බන්ධයෙන් මුහුණට මුහුණලා සිට තමන්වහන්සේ වෙත ආයාචනා කිරීමට උන්වහන්සේ ආබ්‍රහම්ට ඉඩ හැරිය සේක. (උත්පත්ති 18:23-33) කැරලිකාර ඉශ්‍රායෙල්වරුන්ව විනාශ කොට, මෝසෙස් තුළින් බලවත් ජාතියක් බිහි කිරීමට තමන්වහන්සේ විසින් කරන ලද යෝජනාවට විරෝධතාව පළ කිරීමට උන්වහන්සේ මෝසෙස්ට ඉඩ දුන් සේක. (නික්මයාම 32:7-14; ද්විතීය කථාව 9:14, 19; සසඳන්න ආමොස් 7:1-6.) මෙමගින් උන්වහන්සේ ස්වකීය මිනිස් සේවකයන්ට පරිපූර්ණ ආදර්ශයක් තැබූ අතර, ඔවුන්ද ඒ හා සමානව වෙනත් අයවලුන්ට සවන්දීම සාධාරණ වන විට සහ එසේ සවන්දීමට හැකියාව තිබෙන විට, එසේම කළ යුතුය.—යාකොබ් 1:19 සසඳන්න.
ක්‍රියාවට නැඟීමේදී සාධාරණ වීම
16. ස්වකීය අධිකාරය ක්‍රියාත්මක කරවන ආකාරය ගත් කල, යෙහෝවඃවහන්සේ බොහෝ මිනිසුන්ට වඩා වෙනස් වන්නේ කෙසේද?
16 ඇතැම් පුද්ගලයන්ට වැඩි වැඩියෙන් අධිකාරය ලැබෙන විට, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සාධාරණකමින් අඩුවන බව ඔබ කවදා හෝ දැක තිබේද? ඊට පටහැනිව, යෙහෝවඃවහන්සේ, මෙම විශ්වයේ අධිකාරිත්වයේ ඉහළම තත්ත්වයේ සිටින සේක, එසේවුවද, උන්වහන්සේ සාධාරණකම අතින් පරමාදර්ශය වන සේක. උන්වහන්සේ ස්වකීය අධිකාරිත්වය නොවරදිනසුලු සාධාරණ අන්දමකින් ක්‍රියාත්මක කරන සේක. බොහෝ මිනිසුන් මෙන් නොව, යෙහෝවඃවහන්සේ ස්වකීය අධිකාරය සම්බන්ධයෙන් අස්ථිරව නොසිටින සේක, එනිසා, අනෙක් අයවලුන්ට අධිකාරයෙන් කොටසක් දානය කිරීමෙන් කිසියම් විදිහකින් තමන්ගේම අධිකාරයට තර්ජනයක් එල්ලවේය යන භයකින් යුතුව, ඊර්ෂ්‍යාවෙන් පිරී, එය රැකගත යුතුය යන හැඟීමක් උන්වහන්සේට නැත. ඇත්ත වශයෙන්ම, විශ්වයේ තවත් එක් තැනැත්තෙකු පමණක් සිටි විට, යෙහෝවඃවහන්සේ අතිමහත් අධිකාරයක් එම තැනැත්තාට පැවරූ සේක. උන්වහන්සේ ලොගොස්ව එනම් ස්වකීය “ප්‍රධාන කර්මාන්තකාරයා” කළ අතර, එතැන් පටන්, සියලු දේවල් පැවැත්මට ගෙන ආවේ මෙම ප්‍රේමනීය පුත්‍රයාණන් තුළිනි. (හිතෝපදේශ 8:22, 29-31; යොහන් 1:1-3, 14; කොලොස්සි 1:15-17) පසුව උන්වහන්සේ ස්වකීය පුත්‍රයාණන්ට “ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලු බලය [අධිකාරය, NW]” දානය කළ සේක.—මතෙව් 28:18; යොහන් 5:22.
17, 18. (අ) යෙහෝවඃවහන්සේ දේවදූතයන්ව සොදොම් සහ ගොමොරාව වෙත යැවුවේ මන්ද? (ආ) ආහබ්ව රැවටීම සම්බන්ධව යෙහෝවඃවහන්සේ දේවදූතයන්ගෙන් යෝජනා ඉල්ලා සිටියේ මන්ද?
17 ඒ හා සමානව, යෙහෝවඃවහන්සේ තමන් විසින්ම වඩාත් හොඳින් හැසිරවිය හැකි වැඩකටයුතු උන්වහන්සේගේ මැවිලිවලින් බොහොමයකට විශ්වාසයෙන් භාරදෙන සේක. නිදසුනක් වශයෙන්, “මම දැන් [සොදොම් සහ ගොමොරා වෙතට] බැස ගොස් මා වෙතට පැමිණි මොරගැසීම ලෙස ඔවුන් සම්පූර්ණයෙන්ම කළාද කියා බලමි, නැතහොත් දැනගන්නෙමියි” යනුවෙන් උන්වහන්සේ ආබ්‍රහම්හට කී විට, තමාම එහි යනවා කියා උන්වහන්සේ අදහස් කළේ නැත. ඒ වෙනුවට, යෙහෝවඃවහන්සේ, අධිකාරය පැවරීමට තෝරා ගත් අතර, එවැනි තොරතුරු තමන් වෙත රැගෙන ඒම සඳහා දේවදූතයන්ව පත් කළ සේක. සැබෑ කාරණා සෙවීමේ මෙම මෙහෙයේ පෙරමුණ ගෙන, එහි වාර්තාව තමන්වහන්සේ වෙතට ගෙන ඒමට උන්වහන්සේ ඔවුන්ට අධිකාරය පැවරූ සේක.—උත්පත්ති 18:1-3, 20-22.
18 තවත් අවස්ථාවකදී, දුෂ්ට ආහබ් රජුට දඬුවම් කිරීමට යෙහෝවඃවහන්සේ විසින් තීරණය කරනු ලැබූ විට, මෙම ඇදහිල්ල අත්හළ රජ, යුද පිටියේදී ජීවිතක්ෂයට පත් වන පරිදි ඔහු එම යුද්ධයට හවුල්වීම පිණිස, ඔහුව “රවටන” [NW] ආකාරය ගැන යෝජනා ඉදිරිපත් කරන ලෙස ස්වර්ගික රැස්වීමකදී උන්වහන්සේ දේවදූතයන්ට ආරාධනා කළ සේක. මෙහිදී ගත යුතු හොඳම ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් සියලු ප්‍රඥාවල උල්පත වූ යෙහෝවඃවහන්සේට කිසිම උපකාරයක් අවශ්‍ය නොවූ බව ස්ථිරය! එහෙත්, තම දේවදූතයන්ට, විසඳුම් ඉදිරිපත් කිරීමේ වරප්‍රසාදය දානය කිරීමෙන් හා තෝරාගනු ලැබූ දෙය මත ක්‍රියා කිරීම සඳහා අධිකාරය පැවරීමෙන් උන්වහන්සේ දේවදූතයන්ට ගෞරව කළ සේක.—1 රාජාවලිය 22:19-22.
19. (අ) යෙහෝවඃවහන්සේ, තමන්වහන්සේ සාදන නීති සංඛ්‍යාව සීමා කරන්නේ මන්ද? (ආ) යෙහෝවඃවහන්සේ අපගෙන් අපේක්ෂා කරන දේවල් සම්බන්ධව සලකා බලන කල, තමන්වහන්සේ සාධාරණ බව උන්වහන්සේ විසින්ම පෙන්වන්නේ කෙසේද?
19 අන්‍යයන් කෙරෙහි අනවශ්‍ය පාලනයක් කිරීමට යෙහෝවඃවහන්සේ ස්වකීය අධිකාරය යොදා ගන්නේ නැත. මේ මගින්ද උන්වහන්සේ අසමසම සාධාරණත්වයක් පෙන්වන සේක. තමන්වහන්සේ විසින් ඇති කරන නීතිවල සංඛ්‍යාව පරෙස්සමින් සීමා කරන උන්වහන්සේ, මිනිසුන් විසින් ඇති කරන බර පැටවෙන නීති ඇතුළත් කිරීම මගින්, ‘ලියා තිබෙන දේ ඉක්මවා යෑම’ ස්වකීය සේවකයන්හට තහනම් කරන සේක. (1 කොරින්ති 4:6; ක්‍රියා 15:28; සසඳන්න මතෙව් 23:4හි වෙනස.) උන්වහන්සේ කිසිවිටෙකත් තම මැවිලිවලින් අන්ධ ලෙස කීකරුවීම ඉල්ලා සිටින්නේ නැත, නමුත්, මඟ පෙන්වීම පිණිස ප්‍රමාණවත් තොරතුරු ඔවුන්ට ලබාදී යම් තේරීමක් ඔවුන් ඉදිරියේ තබන්නේ, තමන්වහන්සේට කීකරුවීමෙන් ලැබෙන ප්‍රයෝජන හා අකීකරුවීමෙන් ලැබෙන අනිසි විපාක දැනගැනීමට සලස්වමිනි. (ද්විතීය කථාව 30:19, 20) වරද සහිත බව, ලජ්ජාව හෝ භය තුළින් බලහත්කාරයෙන් මිනිසුන් ලවා දේවල් කර ගන්නවා වෙනුවට, ඔවුන්ගේ හදවත් වෙතට ළඟා වීමට උන්වහන්සේ උත්සාහ කරන සේක; උන්වහන්සේට වුවමනා කරන්නේ, බලකිරීම මත මිනිසුන් තමන්ට සේවය කරනවා වෙනුවට, ඔවුන් තම අව්‍යාජ ප්‍රේමයෙන් යුතුව එසේ කරනවා දැකීමටයි. (2 කොරින්ති 9:7) එසේ මුළු ආත්මයෙන්ම කරන සේවය දෙවියන්වහන්සේගේ හෘදය සතුටු කරවයි; එමනිසා උන්වහන්සේ “සතුටු කිරීමට අමාරු,” අසාධාරණ දෙවි කෙනෙක් නොවේ.—1 පේතෘස් 2:18, NW; හිතෝපදේශ 27:11; සසඳන්න මීකා 6:8.
20. යෙහෝවඃවහන්සේගේ සාධාරණකම ඔබට බලපාන්නේ කෙසේද?
20 මැවිල්ල තුළ සිටින කිසිම පුද්ගලයෙකුට වඩා බොහෝ බලැති යෙහෝවඃ දෙවියන්වහන්සේ, කිසිවිටෙකත් බලය අසාධාරණ ලෙස යොදා නොගැනීම, අන්‍යයන් කෙරෙහි බලහත්කාරකම් කිරීමට හෝ තර්ජනය කිරීමට කිසිවිටෙකත් එය යොදා නොගැනීම කැපී පෙනෙන යමක් නොවන්නේද? කෙසේවුවද, සැසඳූ කල ඉතා කුඩාව සිටින මිනිසුන්ට, එකිනෙකා කෙරෙහි අනිසි ලෙස අධිපතිකම් කිරීමේ ඉතිහාසයක් තිබේ. (දේශනාකාරයා 8:9) පැහැදිලිවම, සාධාරණකම යනු ඉතා අගනා ගුණාංගයකි, සියල්ලටම වඩා වැඩියෙන් යෙහෝවඃවහන්සේට ප්‍රේම කිරීමට අපව පොලඹවන ගුණාංගයකි. අනෙක් අතට, මෙම ගුණාංගය අප විසින්ම වගා කිරීමට මෙය අපව පොලඹවනවා විය හැක. අපට එය වගා කළ හැක්කේ කෙසේද? මීළඟ ලිපිය මෙම කරුණ ගැන සාකච්ඡා කරනවා ඇත.
[පාදසටහන්වල]
a වර්ෂ 1769දී, ශබ්දකෝෂ කර්තෘ ජෝන් පාර්ක්හර්ස්ට්, මෙම වචනය “නැමෙනවා, නැමී යටත් වෙන ස්වභාවයකින් යුත්, මෘදු, මොළොක්, ඉවසනසුලු” යනුවෙන් නිර්වචනය කළේය. වෙනත් විශාරදයන්ද, “නැමෙනවා” යන්න නිර්වචනයක් වශයෙන් ඉදිරිපත් කර තිබේ.
ඔබ පිළිතුරු දෙනු ඇත්තේ කෙසේද?
◻ යෙහෝවඃවහන්සේගේ නාමය හා උන්වහන්සේගේ ස්වර්ගික රථය පිළිබඳ දර්ශනය, සුදුසු සේ සකස්වීමට උන්වහන්සේ සතු හැකියාව අවධාරණය කරන්නේ කෙසේද?
◻ සාධාරණකම යනු කුමක්ද, තවද එය දිව්‍ය ප්‍රඥාවේ ලකුණක් වන්නේ මන්ද?
◻ යෙහෝවඃවහන්සේ, ‘සමාව දීමට සූදානම්’ බව පෙන්නුම් කර ඇත්තේ කිනම් මාර්ගවලින්ද?
◻ යෙහෝවඃවහන්සේ, ඇතැම් අවස්ථාවලදී, තමා කිරීමට අදහස් කළ යම් ක්‍රියා මාර්ගයක් වෙනස් කිරීමට තෝරා ගෙන ඇත්තේ මන්ද?
◻ ස්වකීය අධිකාරය ක්‍රියාවට නංවන ආකාරය සම්බන්ධයෙන්, යෙහෝවඃවහන්සේ සාධාරණකම පැහැදිලි ලෙස පෙන්වන්නේ කෙසේද?
[10වන පිටුවේ පින්තූරය]
යෙහෝවඃවහන්සේ දුෂ්ට මනස්සේ රජුට සමාව දුන්නේ මන්ද?