ඔබ පෞද්ගලික පාඩමෙන් ආස්වාදයක් ලබන්නෙහිද?
දෙවියන්වහන්සේගේ ඕනෑම අවංක සේවකයෙකු පෞද්ගලික බයිබල් පාඩමට සැලකිය යුතු කාල ප්‍රමාණයක් කැප කිරීමට අතිශයින් සතුටු වනු ඇත. (ගීතාවලිය 1:1, 2) එහෙත්, තමන්ගේ කාලයෙන් හා ශ්‍රමයෙන් කළ යුතු අතිවිශාල වැඩ කොටසක් ඇති බව හැඟෙන බැවින්, බොහෝ දෙනෙක් සොයාගෙන ඇත්තේ තමන් කැමති තරම් කාලයක් හා ශ්‍රමයක් පෞද්ගලික පාඩමට වැය කිරීම දුෂ්කර බවය.
කෙසේවෙතත්, දෙවියන්වහන්සේගේ ක්‍රියාශීලී සේවකයන් හැටියට දිගටම ක්‍රියා කරනු පිණිස, සියල්ලන්ම දේව වචනයේ සත්යතාවන්හි අලුත් නැතහොත් ගැඹුරු දෘෂ්ටීන් සෙවීමෙන් දිනපතා තමන්ගේ ප්‍රීතිය හා ශක්තිය අලුත් කර ගත යුතුය. දැනට වසර ගණනාවකට පෙර ඔබ කෙරෙහි දැඩි පෙලඹීමක් ඇති කළ බයිබල් සත්‍යයන් දැන් ඔබ කෙරෙහි එතරම් පෙලඹීමක් ඇති නොකරනවා වන්නට පුළුවන. එබැවින්, අපව ආත්මික වශයෙන් ප්‍රබෝධවත් තත්ත්වයක තබා ගනු පිණිස සත්‍යය කෙරෙහි නව තීක්ෂ්ණ දෘෂ්ටියක් අත්කර ගැනීමට අප සිහිකල්පනාවෙන් යුතුවූද නිරන්තරවූද ප්රයත්නයක් දැරීම යහපත් මෙන්ම අත්‍යවශ්‍යද වන්නේය.
පුරාතනයේ විසූ ඇදහිලිවන්තයන් දේව වචනය පිළිබඳ පෞද්ගලික අධ්‍යයනයෙන් තමන්ව ආත්මික වශයෙන් ශක්තිමත් කර ගත්තේ කෙසේද? එසේම නවීන-දින යෙහෝවඃවහන්සේගේ සේවකයන්ගෙන් සමහරෙක් සිය පාඩම වඩාත් ප්‍රසන්න මෙන්ම ඵලදායී කර ගන්නේ කෙසේද? තමන්ගේ ප්රයත්න සඳහා ඔවුන් විපාක ලබා ඇත්තේ කෙසේද?
ඔවුහු තම ශක්තිය පෞද්ගලික පාඩමෙන් අලුත්කර ගත්හ
යුදාහි යොෂියා රජ රූප වන්දනාවට එරෙහි සිය ව්‍යාපාරය වැඩි ජ්වලිතයෙන් යුක්තව දියත් කළේ ‘මෝසෙස්ගේ අතින් දෙනලද ව්‍යවස්ථා පොත’ තමාට කියවනු ලැබීමට සැලැස්වීමෙන් පසුවය. නිසැකවම දේව වචනයේ මෙම කොටස ඔහු සලකා බැලූ පළමු වතාව එය නොවීය; එහෙත් නිර්මල නමස්කාරය සඳහා වූ ඔහුගේ සටනෙහි ඔහුව ප්‍රබෝධවත් කළේ එම පණිවුඩය කෙළින්ම මුල් අත්පිටපතින් ඇසීමය.—2 ලේකම් 34:14-19.
‘යෙරුසලම පාළුව තිබෙන සම්පූර්ණ අවුරුදු ගණන’ මෙන්ම එහි ස්ථිරභාවය දිවැස්වර දානියෙල් තේරුම් ගත්තේ හුදෙක් යෙරෙමියාගේ පොතෙන් පමණක් නොව, නමුත් ‘පොත්වලින්ය.’ ලෙවී කථාව (26:34, 35), යෙසායා (44:26-28), හොෂෙයා (14:4-7) හා ආමොස් (9:13-15) වැනි පොත් බොහෝ දුරට මෙයට අයත් වන්නට ඇත. බයිබලයේ පොත් පිළිබඳ ඔහුගේ උත්සහවන්ත පාඩමෙන් ඔහු සනාථ කළ දෙය මෙම දැහැමි මිනිසාව යොමු කළේ උනන්දුමත් යාච්ඤාවෙන් දෙවියන්වහන්සේව සොයන්නටයි. ඔහුගේ ඒකාන්ත ආයාචනයට පිළිතුරු ලැබුණේ යෙරුසලෙම් නගරය මෙන්ම සිය ජනතාව පිළිබඳව වැඩිමනත් දර්ශන හා ධෛර්යවත් කිරීම මගිනි.—දානියෙල්, 9වන පරිච්ඡේදය.
“ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] ඇස් හමුවෙහි හරිව තිබුණු දේ” කළ, යොෂියාද, දෙවියන්වහන්සේ ඉදිරියේ “බොහෝ ප්රේමලද්දෙක්” විලස විසූ, දානියෙල්ද අදදින වසන අපෙන් මූලිකව වෙනස් නොවූහ. (2 රාජාවලිය 22:2; දානියෙල් 9:23) එවකට ලබා ගත හැකිව තිබූ ශුද්ධ ලියවිලි, දැඩි උනන්දුවකින් පාඩම් කිරීමේ ආකාරයෙන් පෙන්වන ලද ඔවුන්ගේ පෞද්ගලික ප්රයත්න ඔවුන්ව වැඩි ආත්මිකත්වයක් වෙතට මඟ පෙන්වූ අතර දෙවියන්වහන්සේ සමඟ ශක්තිමත් සබඳතාවක් භුක්ති විඳින්නට ඔවුන්ට උපකාර කළේය. ආසාප්ගේ වංශයේ ගීතිකාකරුවෙකු වූ, යෙප්තා, නෙහෙමියා හා ස්තේපන් වැනි, යෙහෝවඃවහන්සේගේ වෙනත් පුරාතන සේවකයන් බොහෝ දෙනෙකු ගැනද කිව හැක්කේ එයමය. මේ සියල්ලෝම තමන්ගේ කාලයේදී ලබා ගත හැකිව තිබූ බයිබල් කොටස් පෞද්ගලිකව සැලකිල්ලෙන් පාඩම් කළ බවට සාක්ෂි ඉදිරිපත් කරත්.—විනිශ්චයකාරයන් 11:14-27; ගීතාවලිය 79, 80; නෙහෙමියා 1:8-10; 8:9-12; 13:29-31; ක්‍රියා 6:15–7:53.
දේව සේවය අනුබලයක් වීමට ඉඩ දෙන්න
දැනට වසර ගණනාවක් පුරා යෙහෝවඃවහන්සේට සේවය කර ඇති උන්වහන්සේගේ සේවකයන්ගෙන් වැඩි දෙනෙකුට අදදින බයිබලය පාඩම් කිරීම සඳහා කාලසටහනක් ඇත. අවදිව සිටීමටත් සිය ක්‍රිස්තියානි වගකීම් සම්පූර්ණයෙන් ඉටු කිරීමටත් මෙය අත්‍යවශ්‍ය බව ඔවුහු සොයාගෙන ඇත්තාහ. එසේදවුවත්, පාඩම හා නොසලකා හැරිය නොහැකි වෙනත් කාරණා අතර තමන්ගේ කාලය හා ශක්තිය සමබර කිරීම එතරම් පහසු නොවන බව ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු පිළිගන්නා දෙයකි.
තවද, ලෝක ව්‍යාප්තව රාජ්‍යය දේශනා කිරීම සිදුවන මෙම පරිණත අවස්ථාවෙහි, උත්සහවන්ත පෞද්ගලික පාඩමෙන් ආත්මික වශයෙන් අවදිව සිටීම ක්‍රිස්තියානි දේව සේවයේ අවශ්‍යතාවන් සමඟ කටයුතු කිරීමට අත්‍යවශ්‍ය වේ. දේව වචනය තුළට නව හා ගැඹුරු තීක්ෂ්ණ දෘෂ්ටියක් හෙළීමෙන් උද්යෝගයට පත්ව සිටින්නන්හට සාපිපාසා හෘදයන් වෙත පිවිසීමේ අභියෝගයට මුහුණ දිය හැකිය. ආත්මික වශයෙන් මසුන් ඇල්ලීමේ කටයුත්ත සම්බන්ධයෙන් හොඳ ප්‍රතිඵල බලාපොරොත්තු විය හැකි ස්ථානයක් තමන්ට පවරා තිබුණත්, පොදු උදාසීන ස්වභාවයක් පවතින හොඳින් වැඩ කරන ලද ක්ෂේත්රයක තමන් සිටියත් මෙය සැබෑවකි.
දේව වචනයෙන් නිරතුරුව පෝෂණය වන්න
අන්‍යයන් කරමින් සිටින දෙය, ඔබට ඔබගේ පාඩම් ක්‍රියා පිළිවෙළින් වැඩි ආස්වාදයක් ලැබිය හැකි ආකාරය නැතහොත් ඔබත් ඔබගේ පවුලත් පාඩම් කාලය වඩාත් ඵල දායකව පාවිච්චි කළ හැකි ආකාරය පිළිබඳව ඔබට අදහස් ඉදිරිපත් කරන්නට පුළුවන. නිතිපතා විධිමත් පදනමක් මත දෙවියන්වහන්සේගේම වචනය කියවීම දේව සේවකයෙකුට අතපසු කරන්නට වුවමනා නොවන දේවලින් එකක් වන්නේය. සෑම සතියකම අඩුතරමින් පරිච්ඡේද තුනක් හතරක් කියවීම බොහෝ දෙනෙක් ඉලක්කයක් කරගෙන ඇත්තාහ. මුළු බයිබලයම වසරකින් කියවා අවසන් කිරීමට ඔබට ඕනෑද? එසේනම් එය කියවීමෙහි වැඩි කාලයක්, ඇතැම් විට දිනකට පැය භාගයක් ගත කිරීමට ඔබ සතුටුවනු ඇත.
ඔබ එක් වතාවකට වැඩියෙන් මුළු බයිබලයම කියවා තිබෙනවාද? මීළඟ වතාවේ අලුත් ඉලක්කයක් නොතබන්නේ මන්ද? වෙනසක් පිණිස, එක්තරා ක්‍රිස්තියානි කාන්තාවක් බයිබලයේ පොත් ලියන ලද අනුපිළිවෙළ අනුව ඒවා කියෙව්වාය. ඊට පෙර ඇයට ලබා ගත නොහැකි වූ, කාලානුක්රම පසුබිම මත පදනම් බොහෝ තොරතුරු ඈ අත්කර ගත්තාය. තවත් ක්‍රිස්තියානි කාන්තාවක්, පසුගිය වසර පහ තුළ මුල පටන් අග දක්වා බයිබලය පස්වරක් කියවා ඇති අතර ඒ සෑම වාරයකම එසේ කර ඇත්තේ වෙනස් දෘෂ්ටිකෝණයකිනි. පළමු වතාවේ ඈ මුල පටන් අග දක්වා එය කියෙව්වාය. දෙවන කියවීම තුළ, ඈ සෑම පරිච්ඡේදයකම අඩංගු දෑ පේළියකින් හෝ දෙකකින් සටහන් පොතක සංක්ෂිප්ත කොට දැක්වූවාය. තෙවන වසරේ පටන්, ඈ යොමු සටහන් සහිත විශාල ප්‍රමාණයේ සංස්කරණයක් ලබාගෙන, මුලින් තීරු සටහනේ තෝරාගත් හරස් සම්බන්ධයන් පරීක්ෂා කරමින්ද, අනතුරුව පාද සටහන් මෙන්ම උපග්‍රන්ථයේ තොරතුරුවලට සමීප අවධානයක් යොමු කරමින්ද එසේ කළාය. පස්වන වතාවේ, භූ විද්‍යාත්මක පැත්තෙන් අවබෝධය වැඩි කර ගැනීමට ඈ බයිබල් සිතියම් පාවිච්චි කළාය. “බයිබලය කියවීම මාහට කෑම වේලක් ගැනීම තරම් ආස්වාදය සහිත යමක් විය” යයි ඈ පවසන්නීය.
බයිබලය ගැන උනන්දුවක් පෙන්වන ඇතැම් ශිෂ්‍යයන්, වැදගත් අදහස්, චින්තනය කළඹවන නිදර්ශන, නැතහොත් පසුව තමන් විසින් තොරතුරු සොයා බැලිය හැකි වෙනත් ප්රකාශනවල පිටු අංක එහි තීරුවල කෙටියෙන් සටහන් කොට තබමින්, පෞද්ගලික පාඩම සඳහාම වෙන් කරන ලද බයිබලයේ පිටපතක් ඇතුව සිටීම ප්‍රයෝජනදායක බව සොයාගෙන ඇත. එක් පූර්ණ-කාලීන සේවිකාවක් එම මාසය තුළ ඇය ඉගෙන ගත් අලුත් කරුණු සෑම මාසයකම අවසානයේ සිය පාඩම් පිටපතේ ලිවීම ආස්වාදයක් කොට සිතන්නීය. “මගේ මෙම වටිනා පැය කීපය දෙස බලා සිටීම, එම මාසය සඳහා වූ වෙනත් ඉලක්කයන් වඩාත් ඉක්මනින් අත්කර ගැනීමට මට උපකාරවත් වේ” යයි ඈ පවසන්නීය.
ඇතැම් බුද්ධිමත් අදහස්
ඔබගේ කාලසටහන දෛනිකව හා සතිපතා කළ යුතුම වැඩවලින් සපිරී ඇති බවත් ඔබගේ සීමිත කාලය වඩාත් හොඳින් වැය කිරීමට ඇතැම් ඉඟි අවශ්‍යව ඇති බවත් ඔබට හැඟෙනවාද? හොඳයි, ඔබ කියවන්නට අදහස් කරන පොත ඔබ සමඟ රැගෙන යමින්, ඔබගේ විවේක අවස්ථා ඒ සඳහා පාවිච්චි කරන්න. නිවසේ හෝ ඔබ සාමාන්‍යයෙන් පාඩම් කරන ස්ථානයේ, පොත් හා වෙනත් පාඩම් ආධාරක හැකි තරම් දුරට පහසුවෙන් ලබා ගත හැකි ආකාරයකට පිළිවෙළට තබන්න. ඔබ පාඩම් කරන ස්ථානය සැපපහසු කරගන්න, එහෙත් ඔබට නිදිබර ගතියක් දැනෙන පමණට එතරම් සැප පහසු කර නොගන්න. ඔබට කථාවක් පවරා තිබේද? ලැබෙන විට හැකි මුල්ම අවස්ථාවේ එහි තොරතුරු කියවන්න, අනතුරුව ඔබ විවේක ගන්නා විට නැතහොත් වෙනත් කටයුතු කරමින් සිටින විට අදහස් ගලා එන්නට ඉඩ හරින්න.
අන්‍යෝන්‍ය ප්‍රයෝජනය සඳහා කාලය වඩාත් හොඳින් පාවිච්චි කිරීමට අන්‍යයන්ද ඔබට සහයෝගය දක්වන්නට පුළුවන. උදාහරණයක් වශයෙන්, ඔබ සාමාන්‍ය ගෙදර දොර කටයුතුවල නිරත වන අතර හෝ ඔබගේ කාරුණික කියවන්නාට ඔබ තේපැන් සකසන අතර පහසුවෙන් තේරුම් ගත හැකි කොටස් යමෙකු විසින් කියවන්නට ඔබට සැලැස්විය හැකිය. නිසංසලව පෞද්ගලික පාඩම සඳහා නිවසේ සියල්ලන්ම යම් වේලාවක් යෙදවීමට එකඟවීම ගැන කුමක් කිව හැකිද? “ඔබ මෑතක මොන දේ කියවීමෙන් ආස්වාදයක් ලබා තිබේද?” මෙමගින් ඔබගේ මිත්‍රයන් සමඟ සංවාදයක් ඇරඹීමෙන් ඔවුන් ඉගෙනගෙන තිබෙන දේවල් ඇතැම් විට ඔබට දැනගන්නට පුළුවන් වනු ඇත.
ඔබගේ පාඩම් කිරීමේ වැඩසටහනට නව අදහස් සමහරක් හඳුන්වා දීමට ඔබ උනන්දුවෙන් සිටින්නෙහිද? බොහෝ දෙනෙක් බයිබලය ගැන අන්‍යයන්ට කථා කිරීමට කාලයක් වෙන් කිරීමේදී ඉලක්ක තබනවා වාගේම, පාඩම සඳහා කාල ඉලක්කයක් තැබීමට ඔබටත් හැකිය. පාඩමේ පැය ගණන සඳහා පූර්ණ-කාලීන (පුරෝගාමි) ප්‍රචාරිකාවක් මාසික අවම ඉලක්කයක් තබන අතර එම ඉලක්කය තමන් සපුරන බව දකිත්ම ඈ මහත් සේ ප්‍රීති වන්නීය. අන්‍යයන් රූපවාහිනිය බැලීමේ කාලය සීමා කරමින්, එලෙස පාඩම සඳහා කාලය උපයා ගනිත්. බොහෝ දෙනෙක් ශුද්ධාත්මයේ ඵල, බයිබල් පොත්වල පසුතලය, නැතහොත් ඉගැන්වීමේ කලාව වැනි තමන් යම් කලකට නොනැවතී යෙදෙන පාඩම් තේමාවක් තෝරා ගනිති. ඇතැමෙක් ඉශ්රායෙල් රජවරුන් හා දිවැස්වරුන්a එසේත් නැතහොත් ප්‍රේරිතයන්ගේ ක්‍රියා හා පාවුල්ගේ ලිපි අතර සම්බන්ධතාව පෙන්වන්නාවූ කාලානුක්රම වගු වැනි සටහන් සැකසීමෙන් ආස්වාදයක් ලබති.
යෞවනයෙනි, ඔබට වඩා ශක්තිමත් ඇදහිල්ලක් ඕනෑද? ඔබගේ මීළඟ පාසැල් නිවාඩු කාලය තුළ ගැඹුරින් පාඩම් කිරීමට ප්රකාශනයක් තෝරා නොගන්නේ මන්ද? බව්තීස්මය ලද ජ්‍යෙෂ්ඨ පාසැල් ශිෂ්‍යාවක්, වොච් ටවර් සමිතියෙන් ප්‍රකාශිත මෑන්කයින්ඩ්’ස් සර්ච් ෆෝර් ගෝඩ් නම් පොත තෝරා ගත්තාය. පරිච්ඡේදයක් පාසා, තමන් ඉගෙන ගත් දේ පිළිබඳව කෙටි සාරාංශ සටහන් පොතක ඈ සටහන් කළාය. එය අභියෝගාත්මක වූ අතර ඇය කල්පනා කළ ප්‍රමාණයට වඩා කාලයක් ගත්තේය. කෙසේවෙතත්, ඇය මුළු පොතම අවසන් කළ විට, ඈ බයිබල් පණිවුඩයේ සත්‍ය භාවයෙන් බලගතු තහවුරුවක් ලැබුවාය.
නිතර පාඩම් කිරීමට උනන්දුවෙන් සිටින්න
යෙහෝවඃවහන්සේගේ නවීන-දිනැති විශ්වාසනීය සේවකයන්ගෙන් බොහෝ දෙනෙකුට දැනටමත් “ස්වාමීන්වහන්සේගේ මෙහෙයෙහි” කිරීමට බොහෝ දෑ ඇත. (1 කොරින්ති 15:58) යළි සකස් කරන ලද කාලසටහනක් හා අවංක වෑයමකින් පසුව පවා, ආදර්ශක සතියක් තුළ ඔබ අනුගමනය කරන චර්යා ක්‍රමය අතිශයින් වෙනස් නොවන්නට පුළුවන. එහෙත් සත්‍යය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබීමටත් යෙහෝවඃවහන්සේගේ අරමුණුවල අනාවරණයට ඔබව සම්පූර්ණයෙන් එකඟව තබා ගැනීමටත් ඔබගේ පැත්තෙන් වූ ඔබගේ නොපසුබට උනන්දුව ඔබට විපුල විපාක ගෙන දෙයි.
සිය පාඩම් විලාසය දියුණු කර ගත් අයගේ විපාක ඇසීම දිරිගන්වනසුලුය. සත්‍යය පිළිබඳව ගැඹුරු අවබෝධයක් සෙවීම කෙරෙහිවූ ඒකාන්ත ආකල්පය තමා අහිමි කර ගනිමින් සිටි බව තේරුම් ගත්, එක්තරා ක්‍රිස්තියානි පුරුෂයෙක්, සිය නිදහස් කාලයෙන් වැඩි ප්‍රමාණයක් පෞද්ගලික පාඩමට වැය කළ හැකි ලෙසින් සිය ජීවිතයේ කටයුතු සංවිධානය කර ගත්තේය. ඔහු මෙසේ පවසයි: “එය මා කලින් දැන නොසිටි ප්‍රීතියක් මට ලබා දී ඇත. බයිබලයේ දිව්‍ය කර්තෘත්වය පිළිබඳ දිනෙන් දින වර්ධනය වන නිසැකකමකින් යුක්තව, සැබෑ උද්යෝගයකින් මගේ ඇදහිල්ල ගැන අන්‍යයන්ට කථා කළ හැකි බව මට දැනේ. මට හොඳ පෝෂණයක් ලැබුණු බව, ආත්මික වශයෙන් ස්ථිර හා තෘප්තිමත්ව සිටින බව සෑම දවසක් අවසානයේ මට හැඟේ.”
සභා බොහොමයකට යන, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සංචාරක අවේක්ෂකයෙක්, වෙනත් ප්‍රයෝජන විස්තර කළේ මෙලෙසය: “පෞද්ගලික පාඩමෙහි කඩිසරව සිටින්නෝ සාමාන්‍යයෙන් සිය අදහස් ප්‍රකාශ කරන විට, ප්‍රාණවත්ව හා පැහැදිලිව එසේ කරති. ඔවුහු අන්‍යයන් සමඟ වඩාත් පහසුවෙන් පෑහී කටයුතු කරන අතර වෙනත් අයගේ නිෂේධාත්මක ප්රකාශයන්ගෙන් පහසුවෙන් නොසැලෙති. ක්ෂේත්‍ර සේවයේ නිරතව සිටින විට, තමන්ට හමුවන ජනයාගේ අවශ්‍යතාවන්ට ඔවුහු සුදුසු සේ සකස් වෙති, එමෙන්ම සාවධානව සිටිත්.”
ඇතැමෙක් තමන්ගේම පාඩම් ක්‍රම විග්රහ කර බලන විට මනසේ තබා ගැනීමට කැමති වනු ඇති කරුණක් ඔහු එකතු කරයි. “ආත්මික දේවල් සාකච්ඡා කිරීම සඳහා වූ රැස්වීම්වලදී, බොහෝ දෙනෙක් මුද්‍රිත පිටුවෙන්ම තමන්ගේ අදහස් කියවීමට නැඹුරු වෙති. තමන් කලින් ඉගෙනගත් දෙයට නැතහොත් තමාගේම ජීවිතවලට එම තොරතුරු සම්බන්ධවන ආකාරය මත ඔවුන් මෙනෙහි කරන්නේ නම් ඔවුන් වැඩි ප්‍රයෝජනයක් ලබනු ඇත.” මේ සම්බන්ධයෙන් ඔබට වැඩි දියුණු විය හැකි යයි ඔබ සිතන්නෙහිද?
වසර 90කට වැඩි ආයු කාලයකට පසුත්, යෙහෝවඃවහන්සේගේ මාර්ග පිළිබඳව තමාට අවශ්‍ය තරම් අවබෝධයක් තිබුණේ යයි දිවැස්වර දානියෙල් කල්පනා කළේ නැත. ඔහුගේ අන්තිම අවුරුදුවලදී තමාට සම්පූර්ණයෙන්ම තේරුම් ගත නොහැකි වූ කාරණයක් ගැන ඔහු විමසුවේ “මාගේ ස්වාමිනි, මේ දේවල තීන්දුව [අවසාන කොටස, NW] කිමෙක්ද” යනුවෙනි. (දානියෙල් 12:8) නිසැකවම වැදගත් සිද්ධීන්ගෙන් සමන්විත ඔහුගේ ජීවිතය පුරා ඔහුගේ විශිෂ්ට අඛණ්ඩතාවට මූලික අනුබලයක් වූයේ දෙවියන්වහන්සේගේ සත්‍යය පිළිබඳව වැඩියෙන් ඉගෙන ගැනීමට තිබූ මෙම නොවෙනස් උනන්දුවය.—දානියෙල් 7:8, 16, 19, 20.
යෙහෝවඃවහන්සේගේ සෑම සේවකයෙක්ම උන්වහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙකු හැටියට ස්ථිරව සිටීමට ඒ හා සමාන වගකීමක් ඇතිව සිටී. ආත්මික වශයෙන් ඔබව ශක්තිමත්ව තබා ගැනීමට ඉගෙන ගැනීමට නිතර උනන්දුවෙන් සිටින්න. ඔබගේ සතිපතා, මාසික, නැතහොත් වාර්ෂික පෞද්ගලික පාඩම් වැඩසටහනට නව අංග එකක් හෝ දෙකක් එකතු කරන්නට වෑයම් කරන්න. ඔබ ගන්නා ඕනෑම කුඩා ප්රයත්නයකට දෙවියන්වහන්සේ ආශීර්වාද කරන ආකාරය බලන්න. එසේය, ඔබගේ පෞද්ගලික බයිබල් පාඩම හා එය ගෙනෙන විපාකවලින් ආස්වාදයක් ලබා ගන්න.—ගීතාවලිය 107:43.
[පාදසටහන්වල]
a ඔබගේ සවිස්තර පාඩමට පදනමක් වශයෙන්, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝක්, ඉන්ක්., මගින් ප්‍රකාශිත ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස් නම් ග්‍රන්ථයේ 1 වෙළුමේ 464-6 පිටුවල තිබෙන සටහන පාවිච්චි කරන්නට ඔබ කැමති වන්නට පුළුවන.