යුද්ධ වැළැක්විය නොහැකි ද?
යුද්ධ වනාහි ප්රවෘත්තිවල දක්නට ලැබෙන කලකිරීමට තුඩුදෙන අංගයකි. කෲරභාවය පිළිබඳ එම ප්රවෘත්ති නිවේදන, නිසැක ව ම ඔබ ව කලබලයට පත් කරයි. එහෙත් ආරවුල් බොහොමයක තීරකයා බවට අවි පත් විය යුත්තේ මන්දැයි ඇතැම් විට ඔබ කල්පනා කරන්නට පුළුවන. මනුෂ්‍යයන් සාමයෙන් ජීවත්වීමට කවදාවත් ඉගෙන ගන්නට යන්නේ නැද්ද?
යුද්ධයේ වසංගතය සඳහා පිළියමක් සෙවීම, ඒඩ්ස් සඳහා ප්‍රතිකාරයක් සෙවීමට වඩා දුෂ්කර බව පෙනේ. විසිවන සියවස තුළ, යුද්ධ සඳහා මුළු ජාතීන් ම සන්නාහ සන්නද්ධ වී ඇත, මිලියන සංඛ්‍යාත පුරුෂයන් ව යුද්ධයට බලෙන් යවා ඇත, එමෙන් ම නගර සිය ගණනක් සුන්බුන් බවට පත් කර ඇත. පෙනෙනතෙක් මානයක සංහාරයට නිමාවක් දක්නට නොමැත. ලාභ උපයන යුද්ධෝපකරණ වෙළඳ ව්‍යාපාරය සහතික කරනුයේ ලෝකයේ යුද්ධ හමුදා—හා ගරිල්ලා කණ්ඩායම්—දිගට ම උග්‍ර ලෙස ක්‍රියාශීලී ව සිටින්නට යන බව ය.
යුද්ධෝපකරණ වඩාත් මාරාන්තික වීමත් සමඟ, තුවාල ලබන හෝ මිය යන සංඛ්‍යාවන් ද වේගයෙන් ඉහළ ගියේ ය. පළමුවන ලෝක යුද්ධයේ සටන් කළ මිලියන 65ක් වූ යුද්ධ භටයන්ගෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයකට තුවාල සිදුවිණි, නැතහොත් මරා දැමිණි. ඉන් වසර 30කට පමණ පසු ව, හුදෙක් පරමාණු බෝම්බ දෙකක් තුළින් සාමාන්‍ය ජපන් ජාතිකයන් 1,50,000කට වඩා වැඩි සංඛ්‍යාවකගේ ජීවිත අහිමි විය. දෙවන ලෝක යුද්ධයට පසු, ආරවුල් වඩාත් ස්ථාන ගත වී ඇත. එහෙත් ඒවාට, දැන් ගොදුරු වන්නන්ගෙන් සියයට 80ක් ම ඇතුළත් වන අතර, විශේෂයෙන් ම සාමාන්‍ය රට වැසියන් සඳහා මාරාන්තික ය.
ජාතීන් අතර ආරවුල් විසඳීමේ ක්‍රමයක් හැටියට යුධ වැදීම තහනම් කිරීමට අසම සම වෑයමක් තිබෙන කාලයක මෙවන් සමූල ඝාතනයන් සිදුවීම පරස්පරවිරෝධී ය. මෑතක දී ශීත යුද්ධය අවසන් වීමත් සමඟ, අලුත්, සාමකාමි ලෝක ක්‍රමයක් බිහිවනු ඇතැයි මහත් බලාපොරොත්තු තිබුණි. ඒ කෙසේ වෙතත්, සමස්ත ලෝක සාමය පෙර තිබූ ආකාරයට ග්‍රහණය කළ නොහැකි මුළාකරවන යමක් ව පවතී. ඒ මන්ද?
ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයක් ද?
යුද්ධ, බේරී ජීවත්වීම සඳහා පරිණාමික අරගලයේ කොටසක් වන බැවින්, එය වැළැක්විය නොහැකි—ඇතැම් විට අවශ්‍ය වන—බව ඇතැම් ඉතිහාසඥයන් හා මානව විද්‍යාඥයන් විසින් ප්‍රකාශ කරනු ලබයි. එවන් චින්තනයකින් බලපෑම් ලැබූ, යුධ හමුදා විශ්ලේෂක ෆ්රීඩ්රිඛ් වෝන් බර්න්හාර්ඩි, 1914 දී තර්ක කරමින් කියා සිටියේ, යුධ වදින්නේ “ජීව විද්‍යාත්මක, සමාජීය හා සදාචාරමය ප්‍රගතිය වෙනුවෙන්” බව ය. මෙහිලා න්‍යාය වූයේ, යුද්ධය, යෝග්‍ය ම පුද්ගලයන්ට හෝ ජාතීන්ට ඉතිරි වීමට ප්‍රස්තාව සලසමින්, දුර්වල පුද්ගලයන් හෝ ජාතීන් උගුලා දමන ක්‍රමයක් බව ය.
මෙවන් තර්කයක් කිසිලෙසකින් යුද්ධය නිසා වැන්දඹු හෝ අනාථ තත්ත්වයට පත් ව සිටින අය ව සනසන්නට යන්නේ නැත. සදාචාරමය වශයෙන් පිළිකුල්සහගත යමක් වනවාට අමතර ව, මෙම චින්තනය නවීන යුද්ධයන්හි අමිහිරි යථාර්ථයන් නොසලකා හරී. මැෂින් තුවක්කුව යෝග්‍ය ම තැනැත්තා කෙරෙහි සුවිශේෂී ව ක්‍රියා නොකරන අතර බෝම්බය දුර්වලයන් සමඟ ප්‍රබලයන් ද විනාශ කර දමයි.
පළමුවන ලෝක යුද්ධයේ සන්සුන් කරවන පාඩම් නොසලකා, හමුදාමය ජයග්‍රහණයක් තුළින් ශ්‍රේෂ්ඨ ජාතියක් බිහි කිරීම පිළිබඳ ව ඇඩොල්ෆ් හිට්ලර් සිහින මැව්වේ ය. මයින් කාම්ප්ෆ් (මගේ සටන) නම් සිය පොතේ ඔහු මෙසේ ලිව්වේ ය: “මනුෂ්‍ය වර්ගයා ශ්‍රේෂ්ඨත්වය ලබා ඇත්තේ අඛණ්ඩ සටනක යෙදීම තුළින් ය, මෙය බිඳ වැටිය හැකි එක ම මඟ නිරන්තර සාමය පැවතීම ය. . . . ප්‍රබල තැනැත්තා බලය පැවැත්විය යුතු අතර දුර්වල තැනැත්තා සමඟ සම්මිශ්‍රණය නොවිය යුතු ය.” මනුෂ්‍ය වර්ගයා ව නගා සිටුවනු වෙනුවට, කෙසේ වෙතත්, හිට්ලර් ජීවිත මිලියන සංඛ්‍යාවක් පූජා කොට මුළු මහාද්වීපයක් ම විනාශ කළේ ය.
එහෙත්, යුද්ධය ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයක් නොවන්නේ නම්, ස්වයං-විනාශය කෙරෙහි මනුෂ්‍ය වර්ගයා ව මෙහෙයවන්නේ කුමක් ද? මෙම “ම්ලේච්ඡයන්ගේ ව්‍යාපාරය” වෙතට ජාතීන් ව තල්ලු කරන බලවේගයන් මොනවා ද?a සාමය ඇති කරන්නන්ගේ හොඳ ම වෑයම්වලට බාධා පමුණුවන්නා වූ හේතු සාධක සමහරක ලැයිස්තුවක් පහත දැක්වේ.
යුද්ධයට හේතු
ජාත්‍යාලය. බොහෝ විට දේශපාලනඥයන් මෙන් ම ජනරාල්වරුන් විසින් අවුස්සනු ලබන ජාත්‍යාලය, යුද්ධවලට අනුබල දෙන වඩාත් ම ප්‍රබල බලවේගයන්ගෙන් එකක් වේ. “ජාතික අයිතිවාසිකම්” රැකගැනීමට නැතහොත් “ජාතික අභිමානය” ආරක්ෂා කර ගැනීමට බොහෝ යුද්ධ දියත් කොට ඇත. හරි වේවා, වැරදි වේවා, මගේ රටට ජයවේවා, යන චිත්ත ස්වභාවය පවතින විට, නොසැඟවුණු සටන්කාමිත්වයක් පවා පූර්වාරක්ෂක ප්‍රහාරයක් හැටියට පැහැදිලි කළ හැකි ය.
වාර්ගික සතුරුකම්. ප්‍රාදේශීය යුද්ධ බොහොමයක් පටන් ගන්නේත්, අනතුරුව පවත්වාගෙන යන්නේත් ජාතීන්, ගෝත්‍රයන්, හා ජනවාර්ගික කණ්ඩායම් අතර දීර්ඝ කාලයක් පුරා පවතින බද්ධ වෛරය මගින් ය. කලින් යුගෝස්ලාවියාව හැටියට පැවති දේශයේ, ලයිබීරියාවේ හා සෝමාලියාවේ ඛේදනීය යුද්ධ මෑත කාලීන ආදර්ශයන් වේ.
ආර්ථික හා හමුදාමය තරඟකාරිත්වය. පළමුවන ලෝක යුද්ධයට පෙර බැලූ බැල්මට සාමකාමි වාතාවරණයක් තිබූ දවස්වල, යුරෝපීය බලවත්හු ඇත්තට ම අතිවිශාල හමුදා බලඇණි ගොඩනගා ගත්හ. ජර්මනිය හා මහා බ්‍රිතාන්‍යය යුධ නැව් සෑදීමේ තරඟයක නිරත ව සිටියහ. යුද්ධයක් සිය බලය වැඩි වර්ධනය කර, ආර්ථික ලාභ ප්‍රයෝජන රාශියක් ක්ෂණික ව ගෙනෙනු ඇතැයි, අවසානයේ සංහාරයට සම්බන්ධ වූ සෑම ප්‍රබල ජාතියක් ම විශ්වාස කළ බැවින්, තත්ත්වයන් අරගලයක් සඳහා උචිත ස්වභාවයකට පත් විය.
ආගමික ආරවුල්. විශේෂයෙන් ජාතිවාදී බෙදීම්වලින් බල ගන්වනු ලබන විට, ආගමික වෙනස්කම් පහසුවෙන් පුපුරන මිශ්‍රණයක් නිපදවන්නට පුළුවන. ලෙබනන් හා උතුරු අයර්ලන්තයේ ආරවුල් මෙන් ම, ඉන්දියාව හා පකිස්ථානය අතර යුද්ධවල හේතු මූලය, ආගමික විරුද්ධවාදිකම් ය.
අදෘශ්‍යමාන යුද්ධ වෙළෙන්දා. “මේ පිළිවෙළේ දෙවියා” වන සාතන් නම් යක්ෂයා, පෙර කවරදාකටත් වඩා ක්‍රියාශීලී බව බයිබලය එළිදරව් කරයි. (2 කොරින්ති 4:4) තමාට “ස්වල්ප කාලයක්” පමණක් තිබෙන බව දැනීම හේතු කොට ගෙන මහත් උදහසකින් පිරී සිටින්නා වූ ඔහු, පොළොවේ දුක්මුසු තත්ත්වය වැඩි කරන්නා වූ යුද්ධයන් ද ඇතුළු ව, තත්ත්වයන් උත්සන්න කරමින් සිටී.—එළිදරව් 12:12.
යුද්ධයන් පසුපස පවතින මෙම හේතු සාධක ඉවත් කිරීම පහසු නැත. “යුද්ධයේ අවසානය දැක ඇත්තේ මළවුන් පමණක්” යයි දැනට වසර 2,000කට පෙර ප්ලේටෝ පැවසී ය. ඔහුගේ නීරස තක්සේරුව, පිළිගැනීමට අප ඉගෙන ගත යුතු අමිහිරි සත්‍යයක් ද? එසේ නැතහොත් යුද්ධ නොමැති ලෝකයක් යම් දිනක පවතිනු ඇති බව බලාපොරොත්තු වන්නට අපට හේතු තිබෙනවා ද?
[පාදසටහන්වල]
a යුද්ධය ‘ම්ලේච්ඡයන්ගේ ව්‍යාපාරයක්’ හැටියට විස්තර කළේ නැපෝලියන් ය. තමාගේ වැඩිහිටි ජීවිතයෙන් වැඩි කොටසක් හමුදාවේ මෙන් ම වසර 20කට ආසන්න කාලයක් අතිශ්‍රේෂ්ඨ හමුදා සේනාධිපතියෙක් හැටියට කටයුතු කළ ඔහු, සටන්වල ම්ලේච්ඡකම සියැසින් ම අද්දිටී ය.
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Cover: John Singer Sargent’s painting Gassed (detail), Imperial War Museum, London
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Instituto Municipal de Historia, Barcelona