බලා සිටීමට ඉගෙන ගැනීම පිළිබඳ ගැටලුව
අපට ඕනෑ කරන දේවල් සඳහා බලා සිටීමට ඉගෙන ගැනීම, ඇතැම් විට මනුෂ්‍යයින් වශයෙන් අප විසින් පිළිගැනීමට අවශ්‍ය කරවන දුෂ්කරතම පාඩම්වලින් එකකි. කුඩා දරුවන් ස්වභාවයෙන් ම නොඉවසිලිවන්ත ය. ඔවුනගේ අවධානයට ලක් වන කුමක් වුවත්, ඔවුන්ට එය ඕනෑ ය, තව ද එය ක්ෂණික ව ම ඔවුන්ට ඕනෑ ය! එහෙත් අත්දැකීමෙන් ඔබ අවබෝධ කරගෙන ඇති පරිදි, ඉල්ලන සැම දෙයක් ම ලබා ගත නොහැකි වීම ජීවිතයේ සත්‍යයකි. නීත්‍යානුකූල ආශාවන් සම්බන්ධයෙන් ගත් විට පවා, ඒවා තෘප්තිමත් කර ගැනීමට සුදුසු අවස්ථාව එළඹෙන තෙක් බලා සිටින්නට අප ඉගෙන ගත යුතු ය. බොහෝ දෙනෙක් මෙම පාඩම ඉගෙන ගනිති; අන්‍යයන් කවදාවත් එය ඉගෙන ගන්නේ නැත.
දිව්‍ය අනුමැතිය අත්කර ගැනීමට ඕනෑ කරන අයට බලා සිටින්නට ඉගෙන ගැනීම සඳහා විශේෂිත හේතු ඇත. යෙහෝවඃ වහන්සේගේ පූර්ව-ක්‍රිස්තියානි සේවකයෙක් වූ යෙරෙමියා මෙය අවධාරණය කළේ ය: “ස්වාමීන්වහන්සේගෙන් [යෙහෝවඃ වහන්සේගෙන් NW] වන ගැළවීම නිශ්චලව බලා සිටීම මනුෂ්‍යයෙකුට හොඳය.” පසු ව, ක්‍රිස්තියානි ශ්‍රාවක යාකොබ්, “එබැවින්, සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේගේ ඊම [පැමිණ සිටීම NW] දක්වා ඉවසාපල්ලා” යයි පැවසුවේ ය.—විලාප ගී 3:26; යාකොබ් 5:7.
දිව්‍ය අරමුණු නිම කිරීම සඳහා යෙහෝවඃ වහන්සේට තමන්ගේ ම කාල සටහන ඇත. යම් නිශ්චිත දේවල් කිරීම සඳහා උන් වහන්සේගේ නියමිත කාලය එළඹෙන තෙක් අපට බලා සිටින්නට නොහැකි නම්, අප අතෘප්තියට හා නොසෑහීමට පත් වනු ඇති අතර මෙය අපගේ ප්‍රීතිය මර්දනය කරනු ඇත. “ස්වාමීන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවීම නුඹලාගේ ශක්තියය” යනුවෙන් නෙහෙමියා සිය ගම්වැසියන්ට පැවසූ ආකාරයට, ප්‍රීතිය නොමැති නම් දේව සේවකයෙක් ආත්මික වශයෙන් දුර්වල වනු ඇත.—නෙහෙමියා 8:10.
බලා සිටින්නට ඉගෙන ගැනීමේ ඥානවන්තකම
තනිකඩ තැනැත්තෙකුට විවාහ වීමට හෝ දරුවන් නොමැති ජෝඩුවලට දරුවන් ඇති ව සිටීමට ඕනෑ වීම ස්වාභාවික ආශාවකි. එපමණක් නොව, සුදුසු ද්‍රව්‍යමය අවශ්‍යතා හෝ ආශාවන් තෘප්තිමත් කිරීමට ආශාවක් තිබීමෙහි ද වරදක් නැත. කෙසේ වෙතත්, මෙම දේවල පිළිවෙළ ඉක්මනින් අවසන් වන බව හා පැමිණෙන නව පිළිවෙළේ දී දෙවියන් වහන්සේ ‘ස්වකීය හස්තය විදහා, ජීවමාන සියල්ලන්ගේ ආශාව පූර්ණ’ කරනු ඇති බව විශ්වාස කිරීම නිසා, වඩාත් යෝග්‍ය කාලයක මෙම ආශාවන් සපුරා ගැනීමට බලා සිටින්නට බොහෝ ක්‍රිස්තියානිහු තීරණය කර ඇත්තාහ.—ගීතාවලිය 145:16.
කෙසේ වෙතත්, මෙම ස්ථිර වූ ක්‍රිස්තියානි බලාපොරොත්තුව නොමැති අය, එවන් කල්දැමීමක් හේතු රහිත දෙයක් හැටියට දකින්නට පුළුවන. “සෑම යහපත් දීමද සෑම සපුර්ණ දීමනාවද” දෙන, යෙහෝවඃ වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ලේ ඌනතාවය නිසා, කවදා පැමිණෙනු ඇද්දැයි ඔවුන් විසින් සැක කරන්නා වූ අනාගතයකට දේවල් තල්ලු කිරීමේ ඥානවන්තකම ගැන ඔවුහු ප්‍රශ්න කරති. ඔවුන් ජීවත් වන්නේ, “හෙට මැරෙන බැවින් කමු, බොමු” යන ආදර්ශ වාක්‍යය අනුව ය.—යාකොබ් 1:17; 1 කොරින්ති 15:32; යෙසායා 22:13.
සංවර්ධිත රටවල ක්ෂණික පිනවීම කෙරෙහි වූ ඉතා පැහැදිලි නැඹුරුවාවෙන් වෙළෙඳ ප්රචාරක ලෝකය ප්‍රයෝජන ගනී. මෙහි දී තමන්ට නුවුවමනා තරම් සැප සලසා ගැනීමට ජනයා ව දිරිගන්වනු ලැබේ. නවීන සැප පහසුකම් පූර්ණ අවශ්‍යතා බව විශ්වාස කිරීමට වාණිජ්‍යය අපට සලස්වයි. ණයවර පත්, වාරික ව ගෙවීමේ සැලසුම් හා “දැන් මිල දී ගෙන පසු ව ගෙවීමේ” ක්‍රම යනාදියෙන් සියල්ල ලබා ගැනීමටත්, එය දැන් ම ලබා ගැනීමටත් විශේෂාකාරයෙන් හැකියාව සලසන විට, තර්කයට ලක් වන්නේ, එය ලබා නොගැනීමට යම් හේතුවක් තිබේ ද? යන්නයි. මීට අමතර ව, ‘ඔබට ලැබිය යුත්තේ හොඳ ම දෙයයි; ඔබ ඔබට ම කාරුණික වන්න! දැන් එය භුක්ති විඳින්න, එසේ නොකළොත් කවදාවත් එය ඔබට ලැබෙන එකක් නැත!’ මෙවන් දෑ සුප්‍රකට උද්යෝග පාඨවලින් කියැවේ.
මේ අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල වාසය කරන මිලියන සංඛ්‍යාත අය අත්‍යවශ්‍ය දේවල් සමඟින්—නැතහොත් ඊටත් වඩා අඩුවෙන්—දුෂ්කර ජීවිත ගත කරති. මෙයට වැඩි යමකට මනුෂ්‍ය දේශපාලනයේ හා ආර්ථික පද්ධතියේ අසම්පූර්ණත්වය හා අයුක්තිය සවිස්තර ව අවධාරණය කළ හැකි ද?
බලා සිටින්නට ඉගෙන ගැනීමේ ඥානවන්තකම දැකිය හැක්කේ එසේ කරන්නට අකැමති—නැතහොත් එසේ කිරීමට අඩු තරමින් හේතුවක්වත් නොදකින—මිලියන සංඛ්‍යාත අය, තමන්ගේ ඉක්මන් ආශාවන් තෘප්තිමත් කිරීමට යාමේ දී අධික ලෙස ණයගැති භාවයට පත්වීම තුළින් ය. රෝග නැතහොත් විරැකියාව වැනි, කලින් නුදුටු තත්ත්වයන් මහත් විපතක් අදහස් කරන්නට පුළුවන. ෆ්රාන්ක්ෆ්රර්ටර් ආල්ගෙමයින ට්සයිටුං නම් ජර්මානු පුවත් පත, ජර්මනියේ වාර්තාගත මිලියනයක් දෙනා නිවාස නොමැති ව සිටින්නට හේතුව පැහැදිලි කළේ මෙසේ ය: “නිවාස නොමැතිකම බොහෝ විට විරැකියාව නැතහොත් අධිකතර ණයගැති භාවයට පසු ව පැමිණෙන බව සාමාන්‍යයෙන් දැකිය හැකි ය.”
තමන්ගේ බිල්පත් ගෙවිය නොහැකි තත්ත්වයක සිටින, එවන් අවාසනාවන්ත පුද්ගලයින් බොහෝ දෙනෙක් නිවස හා ධන සම්පත් යන දෙක ම කනගාටුදායක ලෙස අහිමි කර ගනිති. බොහෝ විට දකින කරුණක් නම්, අධික වෙහෙස වැඩිවන විට එය පවුල අතර ආතතියට දායක වන බව ය. අස්ථිර විවාහයන් කැඩෙන්නට පටන් ගනී. අසහනකාරී කාල පරිච්ඡේදයන් මෙන් ම වෙනත් සෞඛ්‍ය ගැටලු සාමාන්‍ය දෙයක් බවට පත් වේ. ක්‍රිස්තියානින් සම්බන්ධයෙන් ගත් කල, වැරදි චින්තනයට හා නුසුදුසු හැසිරීමට මඟ පෙන්වමින් ආත්මිකත්වයට හානි සිදු වන්නට පුළුවන. අඥාන ලෙස සෑම දෙයක් ම ලබා ගැනීමට වෑයම් කිරීමෙන් මුල පිරූ අය බොහෝ දුරට කිසිවක් නොමැති තරම් තත්ත්වයකට පත්වෙති.
බොහෝ දෙනෙකුට, එය නව අභියෝගයකි
“මේ ලෝකය සම්බන්ධ කරදරද වස්තු මායාවද අනිකුත් දේවලට තෘෂ්ණාවද පැමිණීම කරණකොටගෙන වචනය යට කරනු” නොලබන පිණිස අප ප්‍රවේසමෙන් සිටිය යුතු යයි යේසුස් වහන්සේ පැහැදිලි කළ සේක. (මාර්ක් 4:19) කිසිඳු දේශපාලන ක්‍රමයක්, යේසුස් වහන්සේ කථා කළ ආර්ථික ඒවා ද ඇතුළු ව කාන්සා සාර්ථක ව ඉවත් කර නොමැති බව අප මනසේ තබා ගත යුතු ය.
දැන් නැගෙනහිර යුරෝපීය රටවල් ප්‍රතික්ෂේප කර ඇති කොමියුනිස්ට් වාදය දේවල් සමාන කිරීමට වෑයම් කළේ රාජ්‍ය-පාලනය යටතේ තිබූ ආර්ථිකයක් මාර්ගයෙනි. නිදහස් වෙළෙඳ ක්‍රමයට පටහැනි ව කලින් සඳහන් කළ ක්‍රමය, එම රටවල විසූ පුද්ගලයින්ට ධන වාදය බොහෝ විට දෙන්නට අසමත් වන යම් ආර්ථික සුරක්ෂිත භාවයක් සැපයී ය. එහෙත්, යේසුස් වහන්සේ කථා කළ කාන්සා, පාරිභෝජක භාණ්ඩවල හිඟකමේ හා පෞද්ගලික නිදහස නොමැතිකමේ ආකාරයෙන් පැවතුණි.
වර්තමානයේ, එම රටවලින් බොහොමයක් වෙළෙඳ පොළ ආර්ථික ක්‍රම හඳුන්වා දෙමින් සිටින අතර, එසේ සිය පුරවැසියන්ට අලුත් අභියෝගයක් ඉදිරිපත් කරමින් සිටී. මෙහිලා “බොළඳකම, පරිභෝජනයේ බටහිර මිම්ම කරා ඉක්මනින් ළඟා වීමට ඇති ආශාව සමඟ සම්බන්ධ වී ඇත” යයි එක්තරා මෑතකාලීන වාර්තාවක් පවසයි. මෙය අත්කර ගැනීම පිණිස “නව ලෙන්ඩෙර් හි හෙවත් දේශයෙහි එනම්, කලින් කොමියුනිස්ට් වාදී ව තිබූ නැගෙනහිර ජර්මනියේ අලුතෙන් ඇති කරන ලද ප්‍රාන්තවල වැඩි වන්නා වූ ජන සංඛ්‍යාවක්, තමන්ට කිසිදිනක ගෙවා නිම කළ නොහැකි ණය බරට පත් වෙමින් සිටිති.” එම වාර්තාව වැඩිදුරටත් මෙසේ ද පවසයි: “නව ආර්ථික නිදහස්කම් තුළින් මුලින් ම ලැබූ ප්‍රබල උද්යෝගයට පසු ව භීතිය හා බලාපොරොත්තු රහිත භාවය දැන් පැතිර යමින් පවතී.” කාන්සා තවදුරටත් පවතී, එහෙත් දැන් ඒවාට පළඳවා ඇත්තේ ධනවාදී වස්ත්‍රයන් ය.
වඩාත් පුළුල් වූ දේශපාලන හා ආර්ථික නිදහස, ආර්ථික වශයෙන් වඩා යහපත් තත්ත්වයක් ඇති වීම සඳහා අලුත් මාවත් විවෘත කර ඇත. එබැවින්, පුද්ගලයින් බොහෝ දෙනෙක් තමන්ගේ ම ව්‍යාපාර ආරම්භ කිරීම හෝ වඩා හොඳ රැකියා ප්‍රස්තාවන් ඇති වෙනත් රටකට යාම පිළිබඳ අදහස බැරෑරුම් ලෙස සලකා බලන්නට පෙලඹීම් ලබන්නට පුළුවන.
මෙවන් තීරණ ගැනීම පෞද්ගලික කාරණයකි. ක්‍රිස්තියානියෙකුට තමාගේ ආර්ථික තත්ත්වයන් දියුණු කිරීමට උවමනා වීම වරදක් නොවේ. “යමෙක් තමාගේ අය, ප්රධානකොටම තමාගේම පවුලේ අය, රක්ෂා නොකරන්නේ නම්, ඔහු ඇදහිල්ල එපාකළේය, ඔහු නොඇදහිලිකාරයෙකුට වඩා නරකය” යන කරුණ දැන, තමාගේ පවුල රැකබලා ගැනීමට වූ ආශාවකින් ඔහු පෙලඹීම් ලබන්නට පුළුවන.—1 තිමෝති 5:8.
එබැවින්, අන්‍යයන් ගන්නා තීරණ විවේචනය කිරීම නුසුදුසු ය. ඒ සමඟ ම, තමන් ව උගුලකට ඇද දැමිය හැකි අධිකතර ණය බරට ගොදුරු වීමෙන්, ආර්ථික ගැටලුවලට සහනයක් සෙවීම අඥාන බව ද ක්‍රිස්තියානියෙක් මතක තබා ගත යුතු ය. ආත්මික වගකීම් හා කටයුතු නොසලකා හැරෙන ආකාරයකට ආර්ථික සහනයක් සෙවීම ද සමානාකාරයෙන් වැරදි සහගත වනු ඇත.
අන්‍යයන්ගෙන් ඉගෙන ගැනීම
දෙවන ලෝක යුද්ධයෙන් පසු අවුරුදුවල දී, ජර්මානුවන් දහස් සංඛ්‍යාවක් යුද්ධයෙන් විනාශ වී තිබූ යුරෝපයෙන් වෙනත් රටවලට, විශේෂයෙන් ම ඕස්ට්‍රේලියාවේ හා කැනඩාවේ පදිංචියට ගියහ. එමගින් බොහෝ දෙනෙකුට තමන්ගේ ආර්ථික තත්ත්වයන් වැඩිදියුණු කර ගත හැකි වුවත්, ඔවුන්ගෙන් කිසිවෙකුටවත් යේසුස් වහන්සේ කථා කළ ආර්ථික කාන්සාවලින් සහමුලින් ම බේරීමට නොහැකි විය. ආර්ථික ගැටලු විසඳීමේ දී ඇතැම් අවස්ථාවන්හි අලුත් ගැටලු ඇති වේ—එනම් ගෙදර මතක් වීමෙන් ඇතිවන දුක, නුහුරු නුපුරුදු භාෂාවක්, අලුත් ආහාරවලට පුරුදු වීම, වෙනස් චාරිත්‍ර, අලුත් යහළුවන් සමඟ පෑහීම හෝ වෙනස් ආකල්පයන් සමඟ කටයුතු කිරීම වැනි ගැටලු ය.
මෙසේ අලුත් රටවල පදිංචියට පැමිණි අයගෙන් සමහරෙක් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් වූහ. ඔවුන්ගෙන් වැඩි දෙනෙක්, වෙනත් රටක පදිංචියට යාමේ දී නිශ්චිතාකාරයෙන් ඇති වන ගැටලුවලට තමන්ගේ ආත්මිකත්වයට බාධා කරන්නට ඉඩ නොහැරීම ප්‍රශංසා කටයුතු ය. එහෙත් වෙනස් ප්‍රතිවිපාක අත්දුටු අය ද සිටියෝ ය. සමහරෙක් වස්තුවේ මුළා කරවන බලයට ද ගොදුරු වූහ. ඔවුන්ගේ දිව්‍යාණ්ඩු ප්‍රගතියට ඔවුන්ගේ ආර්ථික සමෘද්ධිය සමඟ එකට ගමන් කළ නොහැකි විය.
ඒකාන්තයෙන් ම මෙය, අප විසින් ගත හැකි අඥාන විය හැකි තීරණයන්ට අප එළඹීමට පෙර අපගේ තත්ත්වය ප්‍රවේසමෙන් විභාග කර බැලීමේ ඥානවන්තකම පැහැදිලි කරයි. ද්‍රව්‍යවාදී නැඹුරුවාවන් මගින් මින් පසු ව කෙදිනකවත් කරන්නට නොලැබෙන ගෝලයින් සෑදීමේ කටයුත්තේ අප ව පසුබෑමට ලක් වන්නට පුළුවන. ආර්ථික කරදරවලින් නිදහස් ව පුරවැසියන් වාසය කරන කිසිදු රටක් නොමැති බැවින්, අප කොතැනක ජීවත් වුවත් මෙය සැබෑවක් වේ.
යහපත් සටනෙන් සටන් කිරීම
“ධර්මිෂ්ඨකමද භක්තිවන්තකමද [දේව භක්තිය ද NW] ඇදහිල්ලද ප්‍රේමයද ස්ථිරකමද [විඳදරා ගැනීම ද NW] මොළොක්ගුණයද පස්සේ පලයන්න. ඇදහිල්ලේ යහපත් සටනෙන් සටන්කොට සදාකාල ජීවනය අල්ලාගනින්න, ඊට නුඹ කැඳවනු” ලැබුවෙහි ය, යනුවෙන් පාවුල් තිමෝතිට අවවාද කළේ ය. කොරින්ති ක්‍රිස්තියානින්ට ඔහු මෙසේ පැවසුවේ ය: “ස්ථිරවව්, නිශ්චලවව්, නිතරම ස්වාමීන්වහන්සේගේ මෙහෙයෙහි වඩ වඩා පවතිව්.”—1 තිමෝති 6:11, 12; 1 කොරින්ති 15:58.
මෙම කදිම උපදේශය අනුගමනය කිරීම ද්‍රව්‍ය වාදය සමඟ සාර්ථක ව කටයුතු කිරීමට හොඳ ම මාර්ගය වන අතර ක්‍රිස්තියානියෙකු විසින් කළ යුතු දේවල් බොහොමයක් ඇති බව නිසැක ව ම පැවසිය හැක්කකි! එතරම් රාජ්‍යය දේශකයන් සංඛ්‍යාවක් නොසිටින ඇතැම් රටවල, විශාල ජන සංඛ්‍යාවකට සත්‍යය වෙත එළඹීමට ඔවුන්ට ලැබී ඇත්තේ සීමිත ප්‍රස්තාවකි. යේසුස් වහන්සේ නිවැරදි ව පුරෝකථනය කළේ “ගොයම නම් බොහෝය, නුමුත් ගොවියෝ ස්වල්ප දෙනෙක්ය” යනුවෙනි.—මතෙව් 9:37.
මෙම රටවල ඇති ආර්ථික කාන්සාවලට දැනට කරන්නට තිබෙන ආත්මික වැඩ කටයුතුවලින් ඔවුන් ව ඉවතට හැරවීමට ඉඩදෙනු වෙනුවට, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ වත්මන් ප්‍රස්තාවන් උපරිමයට යොදා ගැනීමෙන් තත්ත්වයෙන් ප්‍රයෝජන ගනිති. තාවකාලික ව රැකියාවක් නොමැති ව සිටින විට, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තමන්ගේ දේශනා ක්‍රියාව පුළුල් කර ගනිත්. යෙහෝවඃ වහන්සේ ව ප්‍රශංසා කිරීමේ හඬ වැඩි කිරීමට අමතර ව, ඔවුන්ගේ සේවය, තමන්ගේ ම ආර්ථික ගැටලු සමඟ ක්‍රියා කිරීමට අවශ්‍ය ප්‍රීතිය ඔවුනට ලබා දෙයි.
මෙම සාක්ෂිකරුවන් දේශනා සේවයට ප්‍රමුඛත්වය දෙන අතර ආර්ථික දුෂ්කරත්වයන් දෙවන තැනට තැබීමෙන් ලෝක ව්‍යාප්ත සහෝදරත්වය නිරූපනය කොට දක්වන්නේ තමන් සඳහා සැලකිල්ල දැක්වීමට ඔවුන් නිසැක ව ම යෙහෝවඃ වහන්සේ කෙරෙහි විශ්වාසය තබන බව ය. උන් වහන්සේ පොරොන්දු වනුයේ: “පළමුකොට රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයාපල්ලා; මේ සියල්ලත් නුඹලාට දෙනු ලබන්නේය.”—මතෙව් 6:33.
වර්ෂ 1919 දී සැබෑ නමස්කාරය නැවත පිහිටුවනු ලැබීමේ පටන්, තම ජනයාට ඇණ හිටීමට යෙහෝවඃ වහන්සේ ඉඩ දී නැත. දැඩි පීඩා තුළ දී මෙන් ම දශක ගණනාවක් පුරා ඇතැම් ස්ථානවල කරන ලද රහසිගත සේවය තුළ දී ද උන් වහන්සේ ඔවුන් ව ආරක්ෂා කර ඇත. පීඩා පැමිණවීමෙන් යක්ෂයා අත්කර ගැනීමට අසමත් වූ දෙය, ද්‍රව්‍ය වාදයේ වඩා ප්‍රයෝගකාර උගුලෙන් ඔහුට අත්කර ගත නොහැකි වීමට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ අධිෂ්ඨාන පූර්වක ව සිටිති.
සෑම දෙයක් සම්බන්ධයෙන් ම බලා සිටින්නට ඉගෙනීම
ඉඩ පහසුකම් ඇති රාජ්‍යය ශාලා, මිල අධික ශබ්ද විකාශන යන්ත්‍ර, එක්රැස්වීම් ශාලා, මෙන් ම ආකර්ෂණීය බෙතෙල් නිවෙස් යනාදිය දෙවියන් වහන්සේට මහිමය ගෙනෙන අතර උන් වහන්සේ ස්වකීය ජනයාට ආශීර්වාද කරන බවට නිහඬ සාක්ෂියක් දරමින් සිටී. දීර්ඝ කාලයකට සේවය තහනම් කර තිබූ රටවල වෙසෙන යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් අන් රටවල තත්ත්වයට පැමිණීම සඳහා තමන් විසින් බොහෝ දෑ කළ යුතු බව සිතන්නට පුළුවන. එහෙත් වඩාත් වැදගත් වනුයේ ඔවුන් ආත්මික වශයෙන් දිගට ම ප්‍රගතිය ලබමින් සිටීම ය. ද්‍රව්‍යමය ආකාරයකට දෙවියන් වහන්සේගේ ආශීර්වාදයන්හි දෘශ්‍යමාන ඵල නියමිත කාලයේ දී දිස්වනු ඇත.
යෙහෝවඃ වහන්සේගේ කැප වූ සේවකයින් පරීක්ෂාකාරී ව සිටිය යුතු ය, එසේ නොවන්නට පෞද්ගලික ආශාවන් ලුහුබැඳීමේ දී, ඇතැම් ද්‍රව්‍යමය දේවල් නොමැති ව තමන් ගත කළ කාලය දැන් හොඳට ම ප්‍රමාණවත් යයි ඔවුනට හැඟෙන්නට පටන් ගන්නට පුළුවන. ආර්ථික හා සමාජයීය අසමතාවයන්ගෙන් සහනය බලාපොරොත්තු වීම තේරුම් ගත හැකි යමක් වුවත්, දෙවියන් වහන්සේගේ සේවකයින් සියල්ලෝ ම සහනය බලාපොරොත්තුවෙන් සිටින බව යෙහෝවඃ වහන්සේගේ ජනයා අමතක කරන්නට යන්නේ නැත. අන්ධ අය නැවත දෘෂ්ටිය ලැබීමට ඕනෑකමින් බලා සිටිති, නිදන්ගත රෝගවලින් පෙළෙන අය සුවය ලැබීමට ඕනෑකමින් බලා සිටින්නාහ, අසහනයෙන් පසුවන්නන් කාරණා වඩාත් යහපත් අතට හැරීම ඕනෑකමින් බලා සිටින්නාහ, එමෙන් ම වියෝ දුකෙන් පසුවන්නන් තමන්ගේ මළ ප්‍රේමණීයයන් නැවත දැකීමට ඕනෑකමින් බලා සිටින්නාහ.
පවතින තත්ත්වයන් නිසා, සෑම ක්‍රිස්තියානියෙක් ම යෙහෝවඃ වහන්සේගේ නව ලොව දෙස තමාගේ ගැටලු විසඳන තෙක් යම් ආකාරයකින් බලා සිටින්නට බලකරනු ලැබ සිටී. මෙය අපෙන් ම මෙසේ අසන්නට අප ව පෙලඹවිය යුතු ය: ‘කෑම ඇඳීම මට ඇත්නම්, මා මේවායින් සෑහීමට පත් ව ආර්ථික ගැටලුවලින් සහනය ලැබෙන තෙක් බලා සිටින්නට කැමති විය යුතු නැද්ද?’—1 තිමෝති 6:8.
තමන් බලා සිටින්නට කැමති වන්නේ නම්, තමන්ගේ සියලු යෝග්‍ය ආශාවන් හා අවශ්‍යතාවයන් ඉක්මනින් ම තෘප්තිමත් කරනු ලබන බව, යෙහෝවඃ වහන්සේ කෙරෙහි පූර්ණ විශ්වාසය තබන ක්‍රිස්තියානින්ට සහතික වන්නට පුළුවන. කිසිවෙක් නිෂ්ඵල ව බලා සිටියාක් මෙන් නොසිටිනු ඇත. අපි පාවුල්ගේ වදන් නැවතත් සඳහන් කරමු: “ස්වාමීන්වහන්සේ කෙරෙහි නුඹලාගේ මෙහෙය නිෂ්ඵල නොවන බව නුඹලා දන්නා බැවින් ස්ථිරවව්, නිශ්චලවව්, නිතරම ස්වාමීන්වහන්සේගේ මෙහෙයෙහි වඩ වඩා පවතිව්.”—1 කොරින්ති 15:58.
එබැවින් බලා සිටින්නට ඉගෙන ගැනීම එතරම් විශාල ගැටලුවක් විය යුතු ද?
[10වන පිටුවේ පින්තූරය]
බලා සිටින්නට ඉගෙන ගැනීම ඔබගේ ජීවිතය බේරා දෙන්නට පුළුවන