“වැඩිමහල්ලන් ව කැඳවන්න”
“නුඹලා අතරෙහි යමෙක් රෝගාතුරව සිටින්නේද? ඔහු සභාවේ වැඩිමහල්ලන්ට හඬගසාවා [කැඳවා ගනීවා NW].”—යාකොබ් 5:14.
1, 2. (අ) දැන් යෙහෝවඃ වහන්සේගේ සේවකයන් අත්දකින්නේ කුමන අර්බුදකාරී තත්ත්වයක් ද, තව ද ඔවුන්ට ඒ ගැන හැඟී යා හැක්කේ කෙසේ ද? (ආ) දැන් පිළිතුරු අවශ්‍ය කරන්නේ කිනම් ප්‍රශ්නවලට ද?
“කටයුතු කිරීමට අසීරු කාලවල්” දැන් පැමිණ තිබේ. මෙම “අන්තිම දවස්වල” මිනිස්සු ආත්මාර්ථකාමී ලෙස, ද්‍රව්‍ය වාදී ව, අහංකාර ලෙස, බොහෝ විට නොසන්සුන්තාවය ඇති කරලමින් ක්‍රියා කරත්. (2 තිමෝති 3:1-5) වත්මන් දුෂ්ට දේවල පිළිවෙළේ ජීවත් වන ක්‍රිස්තියානින් වශයෙන්, මහත් අන්තරායන් තුනක තර්ජනයකට අප ලක් ව සිටින බව අපට පෙනේ: ඒවා නම්, සාතන් වන යක්ෂයා, අභක්තික මිනිස් වර්ගයාගෙන් සමන්විත ලෝකය, සහ අපගේ ම උරුම වූ පව්කාර නැඹුරුවාවන් ය.—රෝම 5:12; 1 පේතෘස් 5:8; 1 යොහන් 5:19.
2 මෙම අන්තරායන් මගින් තර්ජනය කරනු ලබන අපට, ඇතැම් විට මේවා මගින් සම්පූර්ණයෙන් යටපත් වී යන බවක් හැඟී යා හැක. එසේ නම්, ඇදහිලිවන්ත ව විඳදරා ගැනීම සඳහා අපට උපකාර කිරීමට අනුබලය ලැබිය හැක්කේ කොතැනින් ද? අපගේ ක්‍රිස්තියානි ක්‍රියාකාරකම් සහ අපගේ නමස්කාරය සම්බන්ධ තීරණවලට අප මුහුණ දෙන විට මඟ පෙන්වීම ලබා ගැනීම සඳහා අපට හැරිය හැක්කේ කවුරුන් වෙතට ද?
සැනෙකින් උපකාරය
3. අපට සැනසිලිදායක ධෛර්යයක් ලබාගත හැක්කේ කාගෙන් ද, තව ද ඒ කෙසේ ද?
3 යෙහෝවඃ වහන්සේ වනාහි අපගේ ශක්තියේ උල්පත යන්න දැනගෙන සිටීම අපට සැනසිලිදායක ධෛර්යයක් ලබා දෙයි. (2 කොරින්ති 1:3, 4; පිලිප්පි 4:13) දිව්‍ය උපකාරය අත්දුටුවා වූ ගීතිකාකාර දාවිත් මෙසේ ප්‍රකාශ කළේ ය: “තාගේ මාර්ගය ස්වාමීන්ට [යෙහෝවඃ වහන්සේට NW] භාරදෙව; උන්වහන්සේ කෙරෙහි විශ්වාසයද තබව [රඳා සිටින්න NW], උන්වහන්සේ එය ඉෂ්ටකරන සේක [උන් වහන්සේ ම ක්‍රියා කරනවා ඇත NW].” “නුඹේ බර ස්වාමීන් [යෙහෝවඃ වහන්සේ NW] පිට තබව, උන්වහන්සේ නුඹ උසුලන සේක. උන්වහන්සේ කිසිකලෙකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙනසේක.” (ගීතාවලිය 37:5; 55:22) එවැනි අනුබලයක් සඳහා අපට කොතරම් කෘතඥ විය හැකි ද!
4. පේතෘස් සහ පාවුල් යන දෙදෙනා ම සහනය ඉදිරිපත් කරන්නේ කෙසේ ද?
4 මෙවැනි පරීක්ෂා සහ අන්තරායන්ට අප පමණක් තනි ව මුහුණ නොදෙන බව දැනගැනීමෙන් ද සහනය ලබා ගත හැකි ය. ප්‍රේරිත පේතෘස් සෙසු ක්‍රිස්තියානින්ගෙන් මෙසේ උදක් ම ඉල්ලා සිටියේ ය: “ලොව පුරා සිටින ඔබගේ සහෝදරයන් එම දුක් කරදරවලට ම භාජනය වන බව සිහි කර, ඔබගේ ඇදහිල්ලේ ස්ථීර ව සිට, යක්ෂයාට විරුද්ධ වන්න.” (1 පේතෘස් 5:9, නව අනුවාදය) සහතික ව ම, සියලු ක්‍රිස්තියානිහු ඇදහිල්ලේ ස්ථිර ව සිටීමට ආශා වෙත්. පාවුල්ට හැඟුණාක් මෙන්, “සෑම අයුරින් ම පීඩනයට භාජනය වන” බවක් අපට බොහෝ විට හැඟී යා හැකි බව සැබෑවකි. එහෙත්, ඔහු “සෙලවීමටවත් නොහැකි තරමට සිර වී සිටින්නේ” නැත. ඔහු මෙන්, අප ද වියවුල් සහගත තත්ත්වයකට පත් විය හැක, “නමුත් මුළුමනින් ම බලාපොරොත්තුවක් නැතුව නොවේ ය.” අපට පීඩා කරනු ලැබුවත්, අපි “අත්හරිනු නොලබමු.” “හෙළා දමනු ලැබුවත්” අපි “විනාශ නොවී සිටිමු.” එබැවින්, “අපි ක්ලාන්ත නොවෙමු.” අප දැඩි ප්‍රයත්න දරන්නේ, “අපගේ නෙත්, පෙනෙන දේවල් කෙරෙහි නොව, නමුත් නොපෙනෙන දේ මත තබා ගැනීමට ය.” (2 කොරින්ති 4:8, 9, 16, 18, NW) අපට මෙය කළ හැක්කේ කෙසේ ද?
5. යෙහෝවඃ වහන්සේ සපයන ත්‍රිවිධාකාර ආධාරය කුමක් ද?
5 “යාච්ඤා අසන තැනැන්වහන්සේ” වන යෙහෝවඃ වහන්සේ, ත්‍රිවිධාකාර ආධාරයක් සපයන සේක. (ගීතාවලිය 65:2; 1 යොහන් 5:14) පළමු ව, උන් වහන්සේ මඟ පෙන්වීම ඉදිරිපත් කරන්නේ, ස්වකීය ආනුභාවය ලත් වචනය වන බයිබලය තුළිනි. (ගීතාවලිය 119:105; 2 තිමෝති 3:16) දෙවෙනු ව, උන් වහන්සේගේ ශුද්ධාත්මය, ස්වකීය කැමැත්ත කිරීම සඳහා අප ව බලවත් කරයි. (ක්‍රියා 4:29-31 සසඳන්න.) තුන්වෙනු ව, යෙහෝවඃ වහන්සේගේ භූමික සංවිධානය අපට උපකාර කිරීමට සූදානමින් සිටී. උපකාර ලබා ගැනීම සඳහා අප කුමක් කළ යුතු ද?
“මනුෂ්‍යයන් තුළ දීමනා”
6. තබේරා යන ස්ථානයේ දී යෙහෝවඃ වහන්සේ සැපයූ උපකාරය කුමක් ද, තව ද ඒ කෙසේ ද?
6 ස්වකීය සේවකයන් සඳහා උපකාර කිරීමේ ලා යෙහෝවඃ වහන්සේ දක්වන ප්‍රේමනීය සැලකිල්ල අගය කිරීමට, අනාගතවක්තෘ මෝසෙස්ගේ දවස්වල සිදු වූ දෙයක් අපට උපකාර කරයි. එය සිදු වූයේ, “ගිනි ගැනීම, ගිනි ජාලාව, මහත් ඇවිළීම” යන අරුත් ඇති තබේරා යන ස්ථානයේ ය. සීනයි කාන්තාරයේ මෙම ස්ථානයේ දී, දෙවියන් වහන්සේ, මැසිවිලි නඟන ඊශ්‍රායෙලිතයන්ට එරෙහි ව ගිනි ඇවිළීමට සැලැස්වූ සේක. ඊශ්‍රායෙල් සෙනඟ මිසරයෙන් පිටතට පැමිණෙන විට ඔවුන් හා සමඟ පැමිණි “මිශ්‍ර සමූහයා,” දිව්‍යමය ලෙස සපයන ලද ආහාර කෙරෙහි තම අසතුට පළ කිරීමේ ලා ඔවුන්ට හවුල් වී සිටියෝ ය. දෙවියන් වහන්සේගේ උදහස දැකීමෙන් හා සෙනඟ හා ඔවුන්ගේ අවශ්‍යතාවයන් කෙරෙහි වූ වගකීමෙන් තමා මුළුමනින් ම යටපත් වී ගොස් ඇති බව හැඟී ගිය මෝසෙස් මෙසේ හඬ ගැසී ය: “තනියම මේ මුළු සෙනග දරන්ට මට බැරිය, මක්නිසාද එය මට බර වැඩිය. ඔබ මට මෙසේ කරනසේක්නම්, ඔබගෙන් මට කරුණව ලැබී තිබේනම්, වහාම මා මරන ලෙස ඔබගෙන් ඉල්ලමි; අහෝ මාගේ කාලකණිකම [විපත්තිය NW] මට දකින්ට නුදුන මැනව.” (ගණන් කථාව 11:1-15) යෙහෝවඃ වහන්සේ ප්‍රතිචාර දැක්වූයේ කෙසේ ද? “ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ගෙන් සැත්තෑදෙනෙකු” පත් කළ උන් වහන්සේ, මෝසෙස් සමඟ සුදුසු ලෙස පරිපාලන කටයුතුවල හවුල්වීමට ඔවුනට හැකි වන පිණිස, ස්වකීය ආත්මය ඔවුන් මත තැබූ සේක. (ගණන් කථාව 11:16, 17, 24, 25) එවැනි සුදුසුකම් ලත් පුරුෂයන් පත් කරනු ලැබීමත් සමඟ, ඊශ්‍රායෙලිතයන්ට හා ‘අති විශාල මිශ්‍ර සමූහයට’ වඩාත් සැනෙකින් උපකාර ලබා ගත හැකි විණි.—නික්මයාම 12:38.
7, 8. (අ) යෙහෝවඃ වහන්සේ පුරාණ ඊශ්‍රායෙලයේ, “මනුෂ්‍යයන්ගේ ස්වරූපය දරන දීමනා” සැපයූවේ කෙසේ ද? (ආ) ගීතාවලිය 68:18 සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල් පළමු සියවසට කළ අදාළ කිරීම කුමක් ද?
7 ඊශ්‍රායෙලිතයන් පොරොන්දු දේශය තුළ වසර ගණනාවක් වාසය කළායින් පසු, යෙහෝවඃ වහන්සේ, සංකේතාත්මක ව සියොන් කන්දට නැඟ, දාවිත් රජ වශයෙන් පත් කොට යෙරුසලම සැබෑ රාජ්‍යයක අගනුවර කළ සේක. “සර්ව පරාක්‍රමයාණන් වහන්සේ” වන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින්, දාවිත් උස් කට හඬින් මෙසේ ගායනා කළේ ය: “ඔබ උසස් ස්ථානයට නැගී ගිය සේක; වහලුන් ව ඉවතට ගෙන ගිය සේක; ඔබ මනුෂ්‍යන්ගේ ස්වරූපය දරන දීමනා රැගෙන ගිය සේක.” (ගීතාවලිය 68:14, 18, NW) ඇත්ත වශයෙන් ම, පොරොන්දු දේශය ජය ගනිද්දී, වහල් භාවයට ගන්නා ලද පුරුෂයෝ, ලෙවීවරුන්ගේ රාජකාරිවල උපකාරයට ගත හැකි ව සිටියහ.—එස්රා 8:20.
8 පොදු යුගයේ පළමු සියවසේ දී, ක්‍රිස්තියානි ප්‍රේරිත පාවුල්, ගීතිකාකරුගේ මෙම වචනවල අනාවැකිමය ඉටුවීමට අවධානය යොමු කරවූයේ ය. පාවුල් මෙසේ ලීවේ ය: “අපෙන් එක් එක්කෙනාට ක්‍රිස්තුස්වහන්සේගේ දීමනාවේ ප්‍රමාණයේ හැටියට අනුග්‍රහය දෙනලද්දේය. එහෙයින් උන්වහන්සේ කථාකොට: උන්වහන්සේ උසස්තැනට නැගුණු කල්හි වහල්කමට ගත්තවුන් වහල්කොට ගෙනගොස්, මනුෂ්‍යයන්ට තෑගි [මනුෂ්‍යයන් තුළ දීමනා NW] දුන්සේකැයි කියනසේක. (ඉතින්: නැගුටුණුසේකැයි කී බැවින් උන්වහන්සේ පොළොවේ පහත් තැන්වලට බැස්ස බවක් මිස වෙන කුමක් හැඟේද? බැස්සාවූ උන්වහන්සේ නම් සියල්ල පූර්ණකරන පිණිස සියලු ස්වර්ගවලින් ඉහළට නැගුණවූ තැනන්වහන්සේමය.)” (එපීස 4:7-10) මෙම “තැනන්වහන්සේ” කවුද? යෙහෝවඃ වහන්සේගේ නියෝජිතයා වන, උතුම් දාවිත් හා මෙසියානු රජ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිස වෙන කිසිවෙක් නොවේ. දෙවියන් වහන්සේ විසින් නැවත නැගිටුවනු ලැබූ සහ “වඩාත් උසස් තත්ත්වයකට” උසස් කරනු ලැබූ තැනැත්තා උන් වහන්සේ ය.—පිලිප්පි 2:5-11, NW.
9. (අ) පළමු සියවසේ දී, මනුෂ්‍යයන් තුළ දීමනා වූයේ කවුරුන් ද? (ආ) නවීන දින මනුෂ්‍යයන් තුළ දීමනා කවුරුන් ද?
9 එසේ නම්, මෙම “මනුෂ්‍යන් තුළ දීමනා” (හෙවත්, “මනුෂ්‍යන්ගෙන් සමන්විත වන්නාවූ අය”) කවුරුන් ද? දෙවියන් වහන්සේගේ ප්‍රධාන නියෝජිතයාණන්, “සමහරුන් ප්‍රේරිතයන්ද සමහරුන් අනාගතවක්තෘවරුන්ද සමහරුන් ශුභාරංචිය ප්‍රකාශකරන්නන්ද සමහරුන් සභාපාලකයන්ද [එඬේරුන් ද NW] සමහරුන් ගුරුවරුන්ද කොට දුන් සේක. එසේ දුන්නේ, . . . ශුද්ධවන්තයන්ගේ සපුර්ණවීම [යළි සකස්වීම NW] සඳහා සේවය කිරීමේ වැඩය පිණිසත් ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය වර්ධනයවීම පිණිසත්” බව පාවුල් පැහැදිලි කරයි. (එපීස 4:11, 12) ප්‍රේරිතයන්, අනාගතවක්තෘවරුන්, ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්, එඬේරුන්, සහ ගුරුවරුන් ලෙස සේවය කළ ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයන් සියල්ලන් ම එසේ කළේ දිව්‍යාණ්ඩු මඟ පෙන්වීම යටතේ ය. (ලූක් 6:12-16; ක්‍රියා 8:12; 11:27, 28; 15:22; 1 පේතෘස් 5:1-3) අපගේ දවසේ දී, ශුද්ධාත්මයෙන් පත් කරනු ලැබූ ආත්මික සුදුසුකම් ලත් වැඩිමහල්ලෝ, ලොව වටා යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සභාවන් 70,000ක පමණ අවේක්ෂකයන් ලෙස සේවය කරති. ඔවුන් වනාහි මනුෂ්‍යයන් තුළ අපගේ දීමනා ය. (ක්‍රියා 20:28) රාජ්‍යය දේශනා කිරීමේ වැඩය ලොව වටා පුළුල් ලෙස ඉදිරියට ඇදී යනවාත් සමඟ ම, තව තවත් බොහෝ සහෝදරයෝ, “අවේක්ෂකයෙකුගේ රාජකාරිය” හා සම්බන්ධ වගකීම් අත්කර ගැනීමට “වීර්ය කරමින්” සහ ඒවාට උර දෙමින් සිටිති. (1 තිමෝති 3:1, NW) පත් කරනු ලැබීමත් සමඟ ම, ඔවුහු ද මනුෂ්‍යන් තුළ දීමනා බවට පත් වෙති.
10. යෙසායා විසින් කරන ලද ‘අධිපතීන් [කුමරුවන් NW]’ සම්බන්ධ විස්තරය, අද දින වැඩිමහල්ලන්ගේ කාර්ය භාරයට ගැලපෙන්නේ කෙසේ ද?
10 මෙම ක්‍රිස්තියානි වැඩිමහල්ලන්, හෙවත් මනුෂ්‍යන් තුළ දීමනා, රාජ්‍යය පාලනය යටතේ පරිපාලකයන්ගේ, එනම් ‘අධිපතීන්ගේ [කුමරුවන්ගේ NW]’ කාර්ය භාරය පිළිබඳ ව කලින් පැවසූ විට අනාගතවක්තෘ යෙසායා විසින් දෙන ලද විස්තරයට ගැලපේ. සෑම අයෙක් ම, “සුළඟෙන් මුවාවෙන ඉඩමක් සහ කුණාටුවෙන් ආවරණයක් මෙන්ද වියළි ප්‍රදේශයක ජල ගංගා මෙන්ද විඩාවූ දේශයක මහ පර්වතයක සෙවණ මෙන්ද” විය යුතු ය. (යෙසායා 32:1, 2) පත් කරනු ලැබූ මෙම පුරුෂයන්ගේ අධීක්ෂණය කොතරම් අනුබලය දෙන සුලු හා ප්‍රේමනීය විය යුතු ද කියා මින් හෙළි වෙයි. සම්පූර්ණයෙන් ම මින් ප්‍රයෝජන ගැනීමට ඔබට හැක්කේ කෙසේ ද?
මුල පිරීමෙන්
11. ආත්මික ව පහත් තත්ත්වයක සිටින විට, අපට කෙසේ උපකාර ලබා ගත හැකි ද?
11 දියේ ගිලෙන මිනිසෙක් නිතැතින් ම වාගේ උපකාරය පතා කෑ ගසයි. මෙහි දී කිසි පසුබට වීමක් නැත. ජීවිතය අන්තරායකට ගොදුරු වී තිබෙන විට, උපකාරය පතා හඬ නැඟීමට පොලඹවන්නට කිසිවෙකු අවශ්‍ය නැත. දාවිත් රජ උපකාර පතා නිරතුරු ව ම යෙහෝවඃ වහන්සේට හඬ ගැසුවේ නැත් ද? (ගීතාවලිය 3:4; 4:1; 5:1-3; 17:1, 6; 34:6, 17-19; 39:12) ආත්මික ව දුර්වල ව සිටින විට, සමහරවිට බලාපොරොත්තු නැති තත්ත්වයක් තුළට ගිලී සිටින විට, අප ද ඒ හා සමාන ව යාච්ඤාවෙන් යෙහෝවඃ වහන්සේ වෙතට හැරී, ස්වකීය ශුද්ධාත්මය මගින් අපට මඟ පෙන්වන මෙන් අපි යෙහෝවඃ වහන්සේගෙන් අයදින්නෙමු. (ගීතාවලිය 55:22; පිලිප්පි 4:6, 7) අපි ශුද්ධ ලියවිල්ලෙන් සැනසීම සොයන්නෙමු. (රෝම 15:4) ප්‍රායෝගික අවවාද සඳහා අපි වොච් ටවර් සමිතියේ ක්‍රිස්තියානි ප්‍රකාශනවලින් තොරතුරු විමසන්නෙමු. බොහෝ විට මෙය අපගේ ම ගැටලු විසඳා ගැනීමට හැකි කරවයි. එසේ නමුත්, අප දුෂ්කරතා මඟින් මුළුමනින් ම යටපත් වී ඇති බවක් පෙනෙන්ට තිබේ නම්, සභාවේ පත් කරන ලද වැඩිමහල්ලන්ගෙන් උපදෙස් පැතීමට ද අපට හැකි ය. ඇත්තෙන් ම, ‘වැඩිමහල්ලන් ව කැඳවීමට’ අපට සැබවින් ම අවශ්‍ය වන අවස්ථා තිබිය හැක. ක්‍රිස්තියානි වැඩිමහල්ලන් ව කැඳවන්නේ මන්ද? ආත්මික උපකාරය අවශ්‍ය ඇති අයට උපකාර කිරීමට ඔවුන්ට හැක්කේ කෙසේ ද?
12-14. (අ) යමෙකු අසනීප ව සිටින විට අනුගමනය කළ යුතු ඥානවන්ත ක්‍රියා මාර්ගය කුමක් ද? (ආ) යාකොබ් 5:14 හි පවසන පරිදි, “අසනීප” ක්‍රිස්තියානින් කුමක් කිරීමට අවවාද ලැබ සිටී ද? (ඇ) යාකොබ් 5:14 හි යොමු දක්වන්නේ කුමන ආකාරයේ අසනීපවලට ද, තව ද ඔබ එසේ පිළිතුරු දෙන්නේ මන්ද?
12 අප අසනීප වන විට, ශරීරයේ ප්‍රකෘතිමත් වීමේ හැකියාවන්ට ක්‍රියාත්මක වීමට ප්‍රස්තාවක් දීම සඳහා අපි විවේක ගන්නෙමු. එහෙත් අපගේ අසනීපය දිගට ම පවතී නම්, අපි ඥානවන්ත ලෙස සුදුසුකම් ලත් වෛද්‍යමය උපකාර සොයන්නෙමු. අප ආත්මික ව දුර්වල වුවහොත් අප එලෙස ම කළ යුතු නොවේ ද?
13 මේ සම්බන්ධ ව යාකොබ් අපට දෙන අවවාද සැලකිල්ලට ගන්න. ඔහු මෙසේ කියයි: “නුඹලා අතරෙහි යමෙක් රෝගාතුරව සිටින්නේද? ඔහු සභාවේ වැඩිමහල්ලන්ට හඬගසාවා; [කැඳවා ගනීවා NW] ඔව්හු ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] නාමයෙන් ඔහුට තෙල් ආලේප කොට, ඔහු උදෙසා යාච්ඤාකරත්වා.” (යාකොබ් 5:14) මෙහි දී යාකොබ් යොමු දක්වන්නේ කිනම් ආකාරයේ අසනීපයකට ද? ඇතැම් බයිබල් විචාරකයන් එවකට තෙල් ආලේප කිරීම සාමාන්‍ය වෛද්‍ය සිරිතක් යයි තර්ක කරමින් නිගමනය කරන්නේ එය ශාරීරික අසනීපයක් බව ය. (ලූක් 10:34) සුව කිරීමේ දීමනාව තුළින් ප්‍රාතිහාර්යමය සුව කිරීමක් යාකොබ්ගේ මනසේ තිබුණු බවත් ඔවුහු විශ්වාස කරති. එසේ නමුත්, මෙහි පාඨ සම්බන්ධයෙන් ඇඟවෙන්නේ කුමක් ද?
14 “හොඳ ස්වභාවය” “නපුර විඳීම” සමඟ එකිනෙකට පරස්පර විරෝධී සේ දක්වා ඇත. මින් අදහස් කරන්නේ යාකොබ් සාකච්ඡා කරමින් සිටියේ ආත්මික අසනීප ගැන බවයි. (යාකොබ් 5:13, NW) කැඳවිය යුතු ව තිබුණේ, “සභාවේ වැඩිමහල්ලන් [මේරූ පුරුෂයන් NW]” මිස වෛද්‍යවරුන් නොවේ, නැතහොත් ප්‍රාතිහාර්යමය ලෙස සුව කිරීමේ දීමනාව තිබුණා වූ අය ව වත් නොවේ. ඔවුන්ට කරන්නට තිබුණේ කුමක් ද? යාකොබ් මෙසේ පැවසුවේ ය: “ඔව්හු . . . ඔහු උදෙසා යාච්ඤාකරත්වා. එවිට ඇදහිල්ලේ යාච්ඤාවෙන් රෝගාතුරයාට [අසනීප ව සිටින්නාට NW] සුවය ලැබේ”. (යාකොබ් 5:14, 15; සසඳන්න ගීතාවලිය 119:9-16.) යාකොබ් යොමු දක්වමින් සිටින්නේ ආත්මික අසනීපවලට බව නිසැක ලෙස ඔප්පු වෙන්නේ, බලාපොරොත්තු වන සුවය ලැබීම සම්බන්ධයෙන් පව් කියා දීම සඳහා ඔහු විසින් දිරිගැන්වීම නිසා ය. ඔහු මෙසේ ලියයි: “නුඹලාගේ වරද එකිනෙකාට කියාදී, සුව ලබන පිණිස එකිනෙකා උදෙසා යාච්ඤාකරපල්ලා.” ආත්මික අසනීපයට හේතුව බරපතළ පාපයක් නම්, රෝගියාට සුවය ලැබීම සඳහා අපේක්ෂා කළ හැක්කේ, ඔහු දේව වචනය මත පදනම් වූ අනුශාසනාවලට ඒකාන්ත ලෙස ප්‍රතිචාර දක්වා, පසුතැවිලි වී, තමාගේ පව්කාර ක්‍රියා මාර්ගයෙන් ඉවතට හැරුණොත් පමණි.—යාකොබ් 5:16; ක්‍රියා 3:19.
15. යාකොබ් 5:13, 14 හි නිර්දේශ කර ඇත්තේ කිනම් ආකාරයක ක්‍රියා මාර්ගයක් ද?
15 යාකොබ් දෙන උපදෙසින් සනිටුහන් කර ගැනීමට තවත් යමක් තිබේ. නපුර නිසා දුක් විඳින විට, ක්‍රිස්තියානියෙක්, “යාච්ඤාකරාවා.” ඔහු හොඳ ස්වභාවයක සිටින්නේ නම්, “ඔහු ගී කියාවා.” මේ එක් එක් අවස්ථාවේ දී,—එනම් ඔහු නපුර නිසා දුක් විඳිතත්, නැතහොත් හොඳ ස්වභාවක සිටියත්—යම් ක්‍රියාවක් කිරීම අවශ්‍ය කරවයි. එක් පැත්තකින් යාච්ඤාව අවශ්‍ය ය, අනෙක් පැත්තෙන් සතුටුදායක ලෙස තම සිතිවිලි පළ කිරීම අවශ්‍ය ය. ඉතින්, එසේ නම්, “නුඹලා අතරෙහි යමෙක් රෝගාතුරව සිටින්නේද” යනුවෙන් යාකොබ් අසන විට අප කුමක් අපේක්ෂා කළ යුතු ද? නැවතත් ඔහු නිර්දේශ කරන්නේ ඒකාන්ත ක්‍රියාවකි, එසේ ය, මූලික පියවර ගැනීමකි. “ඔහු සභාවේ වැඩිමහල්ලන්ට හඬගසාවා [කැඳවා ගනීවා NW].”—ගීතාවලිය 50:15; එපීස 5:19; කොලොස්සි 3:16.
“වැඩිමහල්ලන්” උපකාර කරන අයුරු
16, 17. බයිබල් ප්‍රතිපත්ති අදාළ කර ගැනීමට වැඩිමහල්ලන් අපට කෙසේ උපකාර කරත් ද?
16 අපගේ පුද්ගලික තත්ත්වයන්ට බයිබල් ප්‍රතිපත්ති අදාළ කර ගන්නා ආකාරය දැනගැනීම ඇතැම් අවස්ථාවල දී අප හට අසීරු දෙයක් වෙයි. මෙහි දී, ක්‍රිස්තියානි වැඩිමහල්ලන් උපකාරයේ වටිනා ප්‍රභවයක් බවට පත්විය හැක. නිදසුනක් වශයෙන්, ඔවුන් ආත්මික අසනීප තැනැත්තා උදෙසා යාච්ඤා කරන අතර, දේව වචනයෙන් සැනසිලිදායක උපදෙස් දක්ෂ ලෙස අදාළ කිරීම මගින්, ‘යෙහෝවඃ වහන්සේගේ නාමයෙන් ඔහුට තෙල් ආලේප කිරීමට’ ඔවුන්ට හැකි ය. මෙසේ අපගේ ආත්මික සුවයට බොහෝ සෙයින් දායක වන්නට වැඩිමහල්ලන්ට හැකි ය. (ගීතාවලිය 141:5) බොහෝ විට, අපට ඇත්තෙන් ම අවශ්‍ය වන්නේ, අප හරි ක්‍රමයට තර්ක කර කරුණු දෙස බලන බවට තහවුරු කර ගැනීමක් පමණි. අත්දැකීම් ලත් ක්‍රිස්තියානි වැඩිමහල්ලෙකු සමඟ කාරණා කථා බහ කර ගැනීමෙන් හරි දේ කිරීමට අපගේ අධිෂ්ඨානය ශක්තිමත් වෙයි.—හිතෝපදේශ 27:17.
17 බැහැදැකීම් කිරීමේ අවශ්‍යතාවය පැන නගින විට, වැඩිමහල්ලන් “මානසික පීඩාවට ලක් ව සිටින ආත්මයන්ට සැනසිලිදායක අන්දමින් කථා කළ” යුතු ය. තව ද ඔවුන්, “දුර්වලයන්ට අනුබල දී සියල්ලන් උදෙසා බොහෝ ඉවසීම දක්වනවා” ඇත. (1 තෙසලෝනික 5:14, NW) “වැඩිමහල්ලන්” සහ “දුර්වලයන්” අතර පවතින එවැනි ඉතා කිට්ටු, අවබෝධයෙන් යුත් සම්බන්ධයක්, යළි සම්පූර්ණ ආත්මික සුවයකට හොඳින් ඉවහල් වෙයි.
පුද්ගලික වගකීම සහ යාච්ඤාව
18, 19. ගලාති 6:2, 5 සම්බන්ධයෙන් වැඩිමහල්ලන් ඉටු කරන කාර්ය භාරය කුමක් ද?
18 ක්‍රිස්තියානි වැඩිමහල්ලන් දෙවියන් වහන්සේගේ රැළ කෙරෙහි ඇති තම වගකීමට උර දිය යුතු ය. ඔවුන් අනුබල දී සහයෝගය දක්වන සුලු අය විය යුතු ය. නිදසුනක් වශයෙන්, පාවුල් මෙසේ පැවසුවේ ය: “සහෝදරයෙනි, යම් මනුෂ්‍යයෙක්, යම් වැරදි පියවරක් ගැන දැනගන්නට පෙර, ඔහු එම පියවර ගතහොත්, ආත්මික සුදුසුකම් ඇති ඔබ, එවන් මනුෂ්‍යයෙකු ව මොළොක් ස්වභාවයකින් යළි සකස් කිරීමට උත්සාහ දරන්න. ඔබ ද පරීක්ෂාවට හසු වේ යන බිය නිසා, ඔබත් ඔබ ගැන ම ඇසක් තබා ගන්න. එකිනෙකාගේ පීඩාකාරී වූ බර රැගෙන යමින් සිටින්න, මෙසේ ක්‍රිස්තුස් වහන්සේගේ ව්‍යවස්ථාව ඉෂ්ට කරන්න.” ප්‍රේරිත පාවුල් මෙසේ ද ලීවේ ය: “එක් එක්කෙනා තම තමුන්ගේ බර ඉසිලිය යුතුය.”—ගලාති 6:1, 2, NW, ගලා 6:5, නව අනුවාදය.
19 එකිනෙකාගේ පීඩාකාරී වූ බර රැගෙන යමින් අපගේ ම බරත් රැගෙන යාමට අපට හැක්කේ කෙසේ ද? “පීඩාකාරී වූ බර [burdens]” සහ බර [load]” යනුවෙන් පරිවර්තනය කොට ඇති ග්‍රීක් වචනවල අරුත්වල වෙනස මීට පිළිතුරු දෙයි. යම් ක්‍රිස්තියානිවරයෙක් තමාට ඉසිලීමට ඉතා දුෂ්කර වූ ආත්මික දුෂ්කරතාවයකට පත් වුවහොත්, වැඩිමහල්ලන් හා වෙනත් සෙසු ඇදහිලිවන්තයන් ඔහුට ආධාර කරනු ඇති අතර, මෙසේ ඔහුගේ පීඩාකාරී වූ “බර” රැගෙන යාමට උපකාර කෙරේ. කෙසේ වුවද, තමා විසින් දෙවියන් වහන්සේට තිබෙන වගකීමේ ඉසිලිය යුතු “බර” ඔහු විසින් ම රැගෙන යාමට ඔහුගෙන් අපේක්ෂා කරනු ලැබේ.a දිරිගැන්වීම, ශුද්ධ ලියවිලිමය උපදෙස් හා යාච්ඤාව තුළින් තම සහෝදරයන්ගේ පීඩාකාරී වූ “බර” ඉසිලීමට වැඩිමහල්ලෝ සතුටු වෙති. එහෙත්, ආත්මික වගකීම්වල අප විසින් ඉසිලිය යුතු පුද්ගලික “බර” අපෙන් ගෙන වැඩිමහල්ලන් එය ඔවුන් හට පවරා ගන්නේ නැත.—රෝම 15:1.
20. යාච්ඤාව අතපසු නොකළ යුත්තේ මන්ද?
20 යාච්ඤාව අත්‍යවශ්‍ය වන අතර, අතපසු නොකළ යුතු ය. එහෙත්, ආත්මික ව අසනීප ව සිටින ක්‍රිස්තියානින් බොහෝ දෙනෙකුට යාච්ඤා කිරීම අසීරු දෙයක් බවට පත්වේ. වැඩිමහල්ලන් විසින් ආත්මික ව රෝගාතුර ව සිටින තැනැත්තා වෙනුවෙන් ඇදහිල්ලෙන් යාච්ඤා කරන විට චේතනාව වන්නේ කුමක් ද? කළකිරුණු තත්ත්වයෙන් “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] ඔහු නැගුටුවනු” ඇති අතර, සත්‍යයේ සහ ධර්මිෂ්ඨකමේ ක්‍රියා මාර්ගයක් ලුහුබැඳීමට ඔහු ව ශක්තිමත් කරනවා ඇත. ආත්මික ව අසනීප ව සිටින ක්‍රිස්තියානියෙකුට වැරදි ආකල්පයක් තිබෙන්නට හැකි නමුදු, අනිවාර්යයෙන් ම යම් බරපතළ පාපයක් කර නොතිබෙනවා විය හැක, මන්දයත් යාකොබ් මෙසේ පවසයි: “ඔහු පාපයක් කර තිබේ නම්, ඒවා ඔහුට කමාකරනු ලැබේ.” දැඩි උනන්දුවකින් යුතු ව කරන යාච්ඤාව සමඟින් වැඩිමහල්ලන් දෙන ශුද්ධ ලියවිලිමය උපදෙස් හේතුවෙන් ඇතැම් විට, ආත්මික ව දුර්වල ව සිටින තැනැත්තා තමා විසින් කර ඇතුවා විය හැකි බරපතළ පව් කියා දී, පසුතැවිලි වන ස්වභාවයක් පෙන්නුම් කරන්නට පුළුවන. අනෙක් අතට, මෙය, දෙවියන් වහන්සේගේ පැත්තෙන් කමාව ලැබීමට තුඩු දෙයි.—යාකොබ් 5:15, 16.
21. (අ) ඇතැම් ක්‍රිස්තියානින් වැඩිමහල්ලන් ව කැඳවීමට පසුබට වන්නේ ඇයි? (ආ) ඊළඟ ලිපියේ සැලකිල්ලට භාජනය වන්නේ කුමක් ද?
21 ක්‍රිස්තියානි සභාවලට ඇදී එන නවකයන්ගේ විශාල සමූහයන් රැකබලා ගැනීමේ අභියෝගයට මුහුණ දීමේ දී ප්‍රමාණවත් අධීක්ෂණය සැපයීමේ ලා සිහි බුද්ධියෙන් ක්‍රියා කරන වැඩිමහල්ලන් හට බොහෝ දේ කිරීමට තිබේ. සැබවින් ම, මෙම මනුෂ්‍යයන් තුළ දීමනා, මෙම අර්බුදකාරී කාලවල විඳදරා ගැනීමට අපට උපකාර කිරීම සඳහා යෙහෝවඃ වහන්සේගෙන් ලැබී තිබෙන කදිම සැපයුමකි. එහෙත්, මෙම සහෝදරයන් වඩාත් වැඩ බහුල ව සිටී ය කියා හෝ ගැටලුවලින් වඩාත් බර පැටවී සිටී ය කියා සිතමින් ඇතැම් සහෝදරයෝ, උපකාරය පතා මොවුන් ව කැඳවීමට පසුබට වෙත්. මේ අය ක්‍රිස්තියානි සභාවේ උප එඬේරුන් වශයෙන් කැමැත්තෙන් සේවය කරන හෙයින්, උපකාර කිරීමට කැමැත්තෙන් සිටින බව අගය කිරීමට ඊළඟ ලිපිය අපට උපකාරවත් වනවා ඇත.
[පාදසටහන්වල]
a ෆ්‍රිට්ස් රයිනෙකර් විසින් රචිත ඒ ලිංග්විස්ටික් කී ටු ද ග්‍රීක් න ටෙස්ටමන්ට් නම් ප්‍රකාශනය, ෆෝර්·ටිʹඔන් නම් වදන “යමෙක් විසින් උර දේ යයි අපේක්ෂා කෙරෙන බර” යනුවෙන් නිර්වචනය කරන අතර, “එය මිනිසෙකු රැගෙන යන පොදිය හෝ සොල්දාදුවෙකුගේ මෙවලම් මල්ල සඳහා යුද්ධමය යෙදුමක් ලෙස භාවිතා කරන ලදි” යනුවෙන් ද එකතු කරයි.
ඔබ පිළිතුරු දෙනු ඇත්තේ කෙසේ ද?
◻ අපට උපකාර අවශ්‍ය විට, යෙහෝවඃ වහන්සේ සපයන ත්‍රිවිධාකාර ආධාරය කුමක් ද?
◻ නවීන දින මනුෂ්‍යයන් තුළ දීමනා කවුරුන් ද?
◻ අප වැඩිමහල්ලන් ව කැඳවිය යුත්තේ කුමන අවස්ථාවල ද?
◻ අපට ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ගෙන් කිනම් උපකාරයක් අපේක්ෂා කළ හැකි ද?
[15වන පිටුවේ පින්තූරය]
යාච්ඤාවෙන්, බයිබල් අධ්‍යයනයෙන්, සහ ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ගෙන් පැමිණෙන උපකාරයෙන් ලැබෙන ආත්මික ප්‍රයෝජන ඔබ භුක්ති විඳින්නෙහි ද?