ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w93 4/15 19-24 පි.
  • අහිතකර සංගීතයෙන් ආරක්ෂා වන්න!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අහිතකර සංගීතයෙන් ආරක්ෂා වන්න!
  • 1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සංගීතයේ අනිසි භාවිතය
  • සුපරීක්ෂාකාරී වීමේ අවශ්‍යතාවයක්
  • රැප් සංගීතය—කැරලිකාරකමේ සංගීතය
  • හෙවි මෙටල්—ලිංගකත්වය, ප්‍රචණ්ඩත්වය, සහ සාතන් වන්දනාව
  • ඔබ වපුරන දේ කපා ගැනීම
  • ප්‍රවේසමින් සිටින්න
  • හොඳ තේරීමක්ද?
    2011 පිබිදෙව්!
  • හැම වෙලාවෙම සිංදු අහන එක වැරදිද?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
  • මං තෝරගන්න සංගීතය ගැන හිතලා බලන එක වැදගත්ද?
    යොවුන් සිතේ ගැටලු
1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w93 4/15 19-24 පි.

අහිතකර සංගීතයෙන් ආරක්ෂා වන්න!

“නුඹලා ඥානය නැත්තන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ප්‍රවේසමෙන් හැසිරෙන්ට බලාගෙන, දවස් නපුරු බැවින් [දුෂ්ට බැවින් NW] ප්‍රස්තාව අල්ලා ගනිල්ලා.”—එපීස 5:15, 16.

1. සංගීතය “දිව්‍යමය දීමනාවක්” යනුවෙන් හැඳින්විය හැක්කේ මන්ද?

“සංගීතය . . . වනාහි දිව්‍යමය දීමනාවකි.” ලුලූ රම්සි විලේ තම බයිබල් ම්‍යූසික් නම් පොතේ එසේ ලීවා ය. මුල් කාලවල පටන් ම, දේව භයැති පුරුෂයන් සහ ස්ත්‍රීන් මෙම අදහස පිළිගෙන තිබේ. මිනිසා සංගීතය තුළින් තමාගේ ගැඹුරු ම චිත්ත වේගයන්—එනම් ප්‍රීතිය, ශෝකය, වියරුව, සහ ප්‍රේමය ප්‍රකාශ කර ඇත. මෙසේ බයිබල් කාලවල දී සංගීතය වැදගත් කාර්ය භාරයක් ඉටු කළ අතර, එම ශුද්ධ පොත පුරා ම ඒ ගැන සඳහන් වෙයි.—උත්පත්ති 4:21; එළිදරව් 18:22.

2. බයිබල් කාලවල දී, යෙහෝවඃ වහන්සේට ප්‍රශංසා කිරීම සඳහා සංගීතය යොදා ගැනුණේ කෙසේ ද?

2 සංගීතය එහි උදාරතම නාදය පළ කළේ යෙහෝවඃ වහන්සේගේ නමස්කාරය තුළ ය. යෙහෝවඃ දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීමේ ලා මෙතෙක් කර ඇති ඇතැම් උතුම් ම ප්‍රකාශනයන් මුලින් ම සකස් කරන ලද්දේ සංගීතයට අනුව ය. “ගීතිකාවකින් දෙවියන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකරන්නෙමි” යනුවෙන් ගීතිකාකාර දාවිත් ලීවේ ය. (ගීතාවලිය 69:30) සංගීතය යොදා ගනු ලැබුවේ හුදෙකලාවේ යාච්ඤා පූර්වක ව මෙනෙහි කරන විට, ඒ හා කැටුව යන දෙයක් ලෙස ය. “රාත්‍රියේ මාගේ ගීතිකාව සිහිකොට, මාගේම සිත [හදවත NW] සමග කථාකරමි; මාගේ ආත්මයද ඕනෑකමින් විමසුවේය” යයි ආසාප් ලීවේ ය. (ගීතාවලිය 77:6) යෙහෝවඃ වහන්සේගේ මාලිගාව තුළ, සංගීතය මහා පරිමාණයකින් සංවිධානය කරන ලදි. (1 ලේකම් 23:1-5; 2 ලේකම් 29:25, 26) ඇතැම් අවස්ථාවල දී, නළා පිඹින්නන් 120ක් යොදා ගැනුණු දේවමාලිගාව කැප කිරීම වැනි අවස්ථාවන්හි දී, යෝධ සංගීත සේනා සංවිධානය කරන ලදි. (2 ලේකම් 5:12, 13) ඒ මහානුභාව සම්පන්න සංගීතය ගිගුම් දුන් ආකාරය ගැන කිසිදු වාර්තාවක් අපට නැත, නමුත් ද ම්‍යුසික් ඔෆ් ද බයිබල් මෙසේ නිරීක්ෂණය කරයි: “ගම්භීර අවස්ථාවල වාදනය වූ දේවමාලිගාවේ සංගීතයේ පොදු බලපෑම ගැන මතයක් ගොඩ නැඟීම අසීරු දෙයක් නොවේ . . . අපගෙන් කෙනෙකු ව එවන් දර්ශනයක් මැදට දැන් රැගෙන යා හැකි ව තිබුණේ නම්, ගෞරව සම්ප්‍රයුක්ත භයක හා උදාර බවක හැඟීමකින් අප පිරී යාම වැළැක්විය නොහැක.”a

සංගීතයේ අනිසි භාවිතය

3, 4. දේව ජනයා සහ ඔවුන්ට යාබද ව විසූ මිථ්‍යා දෘෂ්ටිකයන් විසින් සංගීතය නමැති දීමනාව වැරදි ලෙස භාවිතා කළේ කිනම් ආකාරවලින් ද?

3 කෙසේ වුවද, සංගීතය සෑම විට ම එවන් උදාර දේවල් සඳහා යොදා ගෙන නොමැත. සීනයි කන්දේදී, රන් වස්සෙකුට පිළිම නමස්කාරය පෙලඹ වීම සඳහා සංගීතය යොදා ගැනිණි. (නික්මයාම 32:18) ඇතැම් අවස්ථාවක දී, බේබදු හැසිරීම හා ගණිකා වෘත්තිය සම්බන්ධ ව පවා සංගීතය ඈඳා ගෙන තිබිණි. (ගීතාවලිය 69:12; යෙසායා 23:15) ඊශ්‍රායෙල්වරුන්ට යාබද ව ජීවත් වූ මිථ්‍යා දෘෂ්ටිකයන් ද මෙම දිව්‍ය දීමනාව අනිසි ලෙස යොදා ගැනීමේ ලා වරදකරුවන් වූහ. දි ඉන්ටර්ප්‍රිටර්ස් ඩික්ෂනරි ඔෆ් ද බයිබල් මෙසේ පවසයි: “ෆිනීෂියාවේ සහ සිරියාවේ, ජනප්‍රිය සංගීතයන් සියල්ල ම පාහේ පිළිබිඹු කළේ සශ්‍රීකත්වයේ දේවතාවිය වන ඉෂ්ටාර්ගේ නමස්කාරයයි. මෙසේ, ජනප්‍රිය සංගීතය සාමාන්‍යයෙන් ලිංගික උත්සවයන්ට ප්‍රස්ථාවක් විණි.” එසේ ම, පැරණි ග්‍රීකයෝ ද ජනප්‍රිය “කාමුක නැටුම්” සමඟ කැටුව යැවීමට සංගීතය යොදා ගත්හ.

4 එසේ ය, පෙලඹ වීමට, වසඟ කිරීමට, සහ බලපෑමට හසු කිරීමට සංගීතයට බලයක් තිබේ. දශක කිහිපයකට පෙර, ජෝන් ස්ටේනර් ද ම්‍යුසික් ඔෆ් ද බයිබල් නමැති පොතේ මෙසේ පවා පැවසීමට නැඹුරු වූයේ ය: “මෙම වත්මන් කාලයේ දී, සංගීත කලාව තරම් වෙන කිසිදු කලාවක් මිනිස් සංහතිය කෙරෙහි මෙතරම් ප්‍රබල බලපෑම් කරන්නේ නැත.” සංගීතය දිගින් දිගට ම අද දින ප්‍රබල බලපෑමක් ඇති කරයි. මෙබැවින්, වැරදි ආකාරයේ සංගීතය දේව භයැති යෞවනයන් කෙරෙහි සැබෑ අන්තරායක් ඇති කරලන්නට පුළුවන.

සුපරීක්ෂාකාරී වීමේ අවශ්‍යතාවයක්

5. (අ) බොහෝ නහඹරයන්ගේ ජීවිතවල සංගීතය කොතරම් විශාල කාර්ය භාරයක් ඉටු කරයි ද? (ආ) යෞවනයන්ගේ විනෝද වීම දෙස දෙවියන් වහන්සේ බලන්නේ කෙසේ ද?

5 ඔබ යෞවනයෙකු නම්, ඔබගේ වයසේ සිටින බොහෝ යෞවනයන්ට සංගීතය—විශේෂයෙන් ම විවිධාකාරවල පොප් හෝ රොක් සංගීතය—කොතරම් වැදගත් ද කියා ඔබ හොඳින් දන්නවා ඇත. සංගීතය, “පැඟිරන්ගේ වර්ධනයේ කොටසක්” යයි හඳුන්වනු ලැබ තිබේ. එක්සත් ජනපදවල සාමාන්‍ය යෞවනයෙක් තම පාසල් කාලයේ අවසාන අවුරුදු හයේ දී, දිනකට පැය හතරක් රොක් සංගීතයට සවන් දෙන බව ගණනය කර තිබේ! ස්ථිර ව ම ඉන් පෙන්වන්නේ සමබරකමේ ඌනතාවයකි. ඔබ ව යහපත් තත්ත්වයකට ගෙන එන හෝ සන්තෝෂවත් කරවන යම් දෙයක් රස විඳීමේ කිසිදු වරදක් තිබෙනවා යයි කියනවා නොවේ. සහතික ව ම, ප්‍රීතිමත් සංගීතයේ මැවුම්කරුවාණෝ වන, යෙහෝවඃ වහන්සේ, යෞවනයන් කනස්සල්ලෙන් හෝ දුක්ඛිත තත්ත්වයෙන් සිටීම අපේක්ෂා නොකරන සේක. ඇත්ත වශයෙන් ම, උන් වහන්සේ ස්වකීය සෙනඟට අණ කරන්නේ මෙසේයි: “ධර්මිෂ්ඨයෙනි, ස්වාමීන් [යෙහෝවඃ වහන්සේ NW] කෙරෙහි සතුටුව ප්‍රීතිවව්. අවංක සිත් [ඍජු හදවත් NW] ඇති සියල්ලෙනි, ප්‍රීතිනාද කරව්.” (ගීතාවලිය 32:11) උන් වහන්සේගේ වචනය යෞවනයන් හට මෙසේ පවසයි: “තරුණය, නුඹේ යෞවන වයසේදී ප්‍රීතිවෙයන්න; නුඹේ යෞවන දවස්වල නුඹේ සිත [හදවත NW] නුඹ සන්තෝෂකෙරේවා.”—දේශනාකාරයා 11:9.

6. (අ) යෞවනයන් සංගීතය තෝරා ගන්නා විට සුපරීක්ෂාකාරී වීම අවශ්‍ය ඇයි? (ආ) මීට පෙර පරම්පරාවල තිබූ සංගීතයට වඩා අද දින සංගීතය වඩාත් ප්‍රශ්න කටයුතු වී තිබෙන්නේ මන්ද?

6 එසේ වුවද, ඔබ සංගීතය තෝරා ගැනීමේ දී සුපරීක්ෂාකාරී වීමට හොඳ හේතු තිබේ. ප්‍රේරිත පාවුල් එපීස 5:15, 16 මෙසේ පැවසුවේ ය: “නුඹලා ඥානය නැත්තන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ප්‍රවේසමෙන් හැසිරෙන්ට බලාගෙන, දවස් නපුරු බැවින් [දුෂ්ට බැවින් NW] ප්‍රස්තාව අල්ලා ගනිල්ලා.” එක් යෞවන ගැහැණු දැරියක් කළාක් මෙන්, ඇතැම් යෞවනයන් මීට විරුද්ධ විය හැකි ය: “අපගේ දෙමාපියන් යෞවන වියේ සිටි විට, ඔවුන් ඔවුන්ගේ සංගීතයට සවන් දුන්නා, අපට අපේ සංගීතයට සවන් දෙන්නට බැරි ඇයි?” ඔබගේ දෙමාපියන් ඔබගේ වයසේ පසු වූ විට, සවන් දුන් සංගීතයට ද ප්‍රශ්න කටයුතු අංගයන් තිබුණා වන්නට පුළුවන. සමීප පරීක්ෂණයක් කරනු ලබන විට, කලක් තිස්සේ ජනප්‍රිය වූ ගීත බොහොමයකට පුදුමයකට මෙන් ව්‍යංග්‍යයෙන් පැවසෙන ලිංගික ප්‍රකාශන ගණනාවක් තිබී ඇති අතර, සැඟවුණු අරුතින් යුතු ව දුරාචාරය ගැන කියා පෑවේ ය. එහෙත් කලක් ඇඟ වූ දෙය දැන් පැහැදිලි ව විස්තර වෙයි. එක් ලේඛකයෙක් මෙසේ නිරීක්ෂණය කරයි: “අපගේ සංස්කෘතිය කවර කලෙක හෝ දැක ඇති ඕනෑ ම දෙයකට වඩා වෙනස් ව දරුවන් හට දැන් මහා පරිමාණයේ සවිස්තර වූ නීච පණිවුඩවලින් ප්‍රබල ප්‍රහාර එල්ල වෙයි.”

රැප් සංගීතය—කැරලිකාරකමේ සංගීතය

7, 8. (අ) රැප් සංගීතය යනු කුමක් ද, එය ජනප්‍රිය වීමට හේතු මොනවා ද? (ආ) රැප් ජීවන රටාවට ඇලී සිටින්නෙකු වශයෙන් පුද්ගලයෙකු ව කුමක් මගින් හඳුන්වා දිය හැකි ද?

7 නිදසුනක් වශයෙන්, රැප් සංගීතයේ වත්මන් වියරුව ගැන සලකා බලන්න. ටයිම් සඟරාව පවසන පරිදි, රැප් සංගීතය, “සහතික ව ම ලෝක ව්‍යාප්ත රිද්ම විප්ලවයක්” බවට පත් වී ඇති අතර, බ්‍රසීලයේ, යුරෝපයේ, ජපානයේ, රුසියාවේ සහ එක්සත් ජනපදවල පුළුල් වශයෙන් ජනප්‍රිය වී තිබේ. බොහෝ විට මුළුමනින් ම තාලයකින් තොර වූ මෙම සංගීතයේ දී, ප්‍රබල රිද්මයක් හා කැටුව යමින්, පද මාලාව ගායනා කෙරෙනවා නොව, කියැවේ. එනමුත් රැප් සංගීතයේ වාණිජමය සාර්ථකත්වයට ප්‍රධාන හේතුව වී ඇත්තේ, එහි පොලඹවන සුලු ස්පන්දනය බව පෙනී යයි. එක් ජපන් යෞවනයෙක් මෙසේ කියයි: “මා රැප් සංගීතයට සවන් දෙන විට, මා ව කුල්මත් වී යනවා, මා නටන විට, මං නිදහස් බවක් මට හැඟෙනවා.”

8 බොහෝ විට දූෂිත බවේ හා මුඩුක්කුවල භාවිතා වෙන භාෂාවේ නොහික්මුණු මිශ්‍රණයක් වූ රැප් සංගීතයේ පද මාලාව මෙහි ජනප්‍රියත්වයට තවත් හේතුවක් බව පෙනෙන්ට තිබේ. නහඹර වියේ ආලය එහි බොහොමයක විෂය කර ගත් සම්ප්‍රදායික රොක් සංගීත පදමාලා මෙන් නොව, රැප් සංගීත පද මාලාවලට බොහෝ විට ඇත්තේ, වඩාත් බැරෑරුම් පණිවුඩයන් ය. සමහරක් රැප් සංගීතය අයුක්තිය, ජාති වාදය, සහ පොලිස් කෲරකම්වලට එරෙහි ව කථා කරයි. එනමුත්, ඇතැම් විට, එළිසම කරන කෝරස් ඛණ්ඩයන් සිතාගත නොහැකි, ඉතා පහත් කම්පිත කරවන සුලු භාෂාවෙන් සඳහන් වේ. ඇඳුම් ඇඳීම, හිසකෙස් පීරීම, සහ ලිංගික සදාචාරය පිළිබඳ ප්‍රමිතීන්ට එරෙහි ව රැප් සංගීතය මගින් කැරැල්ලක් ඇති කරවන බවක් ද පෙනෙන්ට තිබේ. රැප් සංගීතය ඊට ආවේණික වූ ජීවන රටාවක් හට ගැන්වීමට හේතු වී තිබීම ගැන පුදුම විය යුතු නැත. එහි පාක්ෂිකයන් ව, විසිතුරු අංග චලනයෙන්, ඔවුන්ගේ පහත් මුඩුක්කු බසින්, ලොකුවට එල්ලා වැටෙන ජීන්ස් කලිසම්, ලේස් ගැට නොගැසූ අඩි උස ටෙනිස් සපත්තු, රත්රන් මාල, බේස් බෝල් ක්‍රීඩකයන් පළඳින තොප්පි, සහ අව් රශ්මියට පළඳින ඇස් කණ්ණාඩි මගින් හඳුනා ගත හැකි ය.

9, 10. (අ) රැප් සංගීතය හා එහි ජීවන රටාව, “ස්වාමීන්වහන්සේට ප්‍රසන්න” ද කියා නිර්ණය කිරීමේ දී යෞවනයන් සැලකිල්ලට ගත යුතු සාධක මොනවා ද? (ආ) යෞවනයන් විසින් සැහැල්ලුවට ගෙන ඇති බවට පෙනෙන්ට ඇත්තේ කුමක් ද?

9 “ස්වාමීන්වහන්සේට ප්‍රසන්නව තිබෙන්නේ කිමෙක්ද කියා විභාගකරපල්ලා” යනුවෙන් එපීස 5:10 හි ක්‍රිස්තියානින් හට පවසනු ලැබ තිබේ. රැප් සංගීතය ඇති කර ගෙන තිබෙන අපකීර්තිය ගැන සලකා බලන කල, ඔබ එහි නියැලීම “ස්වාමීන්වහන්සේට ප්‍රසන්නය” කියා ඔබ සිතනවා ද? ලෝකයේ සිටින බොහෝ මිනිසුන් විසින් පවා අප්‍රසන්න යයි සැලකෙන ජීවන රටාවක් සමඟින් තමා ව හඳුන්වා දෙනු ලැබීමට ක්‍රිස්තියානි යෞවනයෙකුට වුවමනා වනු ඇත් ද? රැප් සංගීත ප්‍රසංගයක් පිළිබඳ ව එක් විවේචකයෙක් එය විස්තර කළ ආකාරය සැලකිල්ලට ගන්න: “වඩාත් ම දූෂිත හා සවිස්තරාත්මක ලිංගික පදමාලා සමඟින් ඉදිරිපත් කිරීමෙන් වැඩි ම කම්පනයක් ඇති කරනු සඳහා රැප් ගායකයෝ එකිනෙකා සමඟ තරඟ කළහ. . . . වේදිකාව මත නටන පිරිමි සහ ගැහැණු ලිංගික ක්‍රියා රඟ දැක්වූවෝ ය.” එක් ප්‍රධාන පෙළේ ඉදිරිපත් කිරීමක් සම්බන්ධයෙන් ප්‍රසංගයට අනුබල දෙන්නෙක් පැවසුවේ මෙසේයි: “ඔවුන්ගේ මුවින් පිටවූ සෑම වචනයක් ම පාහේ (අසභ්‍ය ය).”

10 එසේ වුවද, එම සැන්දෑවේ දී වාදනය වූ සංගීතය සාමාන්‍ය රැප් සංගීතය වූවා පමණි. ප්‍රසංග ශාලාවේ කළමනාකරු මෙසේ පැවසී ය: “ඔබ අසමින් සිටින දෙය රැප් සංගීතයේ සාමාන්‍යයයි—එනම් ඔවුන් සාප්පුවලින් මිල දී ගන්නා දෙය මෙන් ය.” එම සංගීත ප්‍රසංගය නැරඹීමට පැමිණි සිටි 4,000 අතුරින් යෞවනයන් සමහර දෙනෙක් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් යයි කියා සිටි අය බව වාර්තා කිරීමට සිදුවීම කොතරම් කනගාටුදායක ද! සාතන් වනාහි “ආකාශයේ බලයේ අධිපතියා” ය යන සත්‍යය සමහරුන් විසින් සැහැල්ලුවට ගෙන ඇති බවක් පෙනෙන්ට තිබේ. ඔහු, “අකීකරුකමේ පුත්‍රයන් තුළ දැන් ක්‍රියාකරන්නාවූ ආත්මය [හෙවත්, බල පවත්වන්නා වූ මානසික ආකල්පය]” ආණ්ඩු කරමින් සිටී. (එපීස 2:2) ඔබ රැප් සංගීතය හෝ රැප් ජීවන රටාවේ නියැලුණහොත් ඔබ සේවය කරනු ඇත්තේ කාගේ වුවමනාවන්වලට ද? සමහරක් රැප් සංගීතයන් එහි අඩංගු දේවල් සම්බන්ධයෙන් ගත් කල, ප්‍රශ්න කටයුතු දෙයක් එතරම් නොතිබෙන්නට පුළුවන් බව සැබෑවකි. එහෙත් ක්‍රිස්තියානි ප්‍රමිතිවලට මුළුමනින් ම පටහැනි වන්නා වූ සංගීත විලාශයක් කෙරෙහි රසාස්වාදයක් වඩවා ගැනීමේ තේරුමක් තිබේ ද?

හෙවි මෙටල්—ලිංගකත්වය, ප්‍රචණ්ඩත්වය, සහ සාතන් වන්දනාව

11, 12. හෙවි මෙටල් සංගීතය යනු කුමක් ද, එමෙන් ම ප්‍රශ්න කටයුතු කුමන දේවල් එහි අංග ලක්ෂණයන් වේ ද?

11 ජනප්‍රිය වී ඇති අනෙක් සංගීත රටාව නම් හෙවි මෙටල් [දැඩි ලෝහ සංගීතය] ය. හෙවි මෙටල් වනාහි උච්ඡ ධ්වනි හඬින් යුත් දැඩි රොක් සංගීතයට වඩා වැඩි යමකි. ද ජර්නල් ඔෆ් දි අමෙරිකන් මෙඩිකල් ඇසෝසියේෂන් හි වාර්තාවක මෙසේ පැවසේ: “හෙවි මෙටල් සංගීතය තුළ, . . . අධි ශබ්දයෙන් යුත් ස්ඵන්දනාත්මක රිද්මයක් තිබෙන අතර ම, වෛරය, අඩන්තේට්ටම්, නීච ලිංගික ක්‍රියා, ඉඳ හිට සාතන් වන්දනාව හුවා දැක්වෙයි.” ඇරත්, වඩාත් ප්‍රසිද්ධ වාදක කණ්ඩායම් කිහිපයක නාමයන් ද, මේ වර්ගයේ රොක් සංගීතය දූෂිත එකක් බවට සාක්ෂි දරයි. මේවාට, “වස,” “තුවක්කු,” සහ “මරණය” වැනි වදන් ඇතුළත් වෙයි. එහෙත්, හෙවි මෙටල් සංගීතය ත්‍රෑෂ් මෙටල් [දැඩි පහර ලෝහ] සහ ඩෙත් මෙටල් [මාරක ලෝහ]—එනම් හෙවි මෙටල් මගින් නික්ම ආ සංගීත වර්ගයන්—සමඟ සසඳන විට මඳක් හීලෑ වූ ගතියක් පෙනෙන්නට තිබේ. මෙම කණ්ඩායම්වල නාමයන්, “මිනීමස් කෑම” හා “අවමංගල්‍ය කටයුතු” යන වදන් අනිසි ලෙස යොදා ගෙන තිබේ. මෙම නම් ඉංග්‍රීසි බසින් හෝ වෙනත් විදේශීය බසකින් තිබෙන නිසා, [බොහෝ රටවල සිටින යෞවනයන්] ඒවා කොතරම් පිළිකුල් සහගතදැයි වටහා නොගන්නවා විය හැක.

12 හෙවි මෙටල් සංගීතය, නහඹරයන්ගේ දිවිනසා ගැනීම්, කලකිරීම සහ මත් ද්‍රව්‍ය අනිසි භාවිතය සමඟ නිතර නිතර සම්බන්ධ වී තිබේ. ප්‍රචණ්ඩකාරී හැසිරීම සමඟ ඊට ඇති සම්බන්ධය හේතුවෙන්, එක් ගුවන් විදුලි උපදේශකවරයෙක්, ඊට “ඔබගේ දෙමාපියන් මැරීමට හැකි සංගීතය” යයි නමක් පට බැන්දේ ය. සාතන් වන්දනාව සමඟ ඊට ඇති සම්බන්ධය, බොහෝ දෙමාපියන් හා පොලිස් නිලධාරීන් බිය කරවන කරුණකි. සාතන් වන්දනාවට යන්තමින් සම්බන්ධ වී සිටි ඇතැම් යෞවනයන් ගුප්ත දේවලට මුල පිරුවේ මෙම සංගීතය තුළින් යයි එක් පර්යේෂකයෙක් කියා සිටියේ ය. “ඔවුන් සම්බන්ධ වෙමින් සිටින්නේ කුමක් සමඟ දැයි ඔවුන් ම දන්නේ නැහැ” යයි ඔහු අවසන් වශයෙන් කියා සිටී.

13. හෙවි මෙටල් සංගීතයේ ඇලී ගැලී සිටීමේ ඇති අන්තරාය කුමක් ද?

13 කෙසේ වෙතත්, ක්‍රිස්තියානි යෞවනයන් “[සාතන්ගේ කපටි] උපායවල් . . . නොදැන” නොසිටිය යුතුයි. (2 කොරින්ති 2:11) මන්දයත්, “අපේ පොරබැදීම වනාහි . . . ස්වර්ගගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධව” බැවිනි. (එපීස 6:12) යමෙක් තෝරා ගන්නා සංගීතය මගින්, භූතයන්ට තමන්ගේ ජීවිතය තුළට ආරාධනා කිරීම කොතරම් අඥාන වනු ඇත් ද! (1 කොරින්ති 10:20, 21) එහෙත්, ක්‍රිස්තියානි යෞවනයන් ගණනාවක් මෙම සංගීතයට ඇල්මක් දක්වන බවක් පෙනෙන්ට තිබේ. සමහරු තමන්ගේ සංගීත රසයන් පිනවා ගැනීම සඳහා රහස් ක්‍රම පවා යොදා ගෙන ඇත. එක් යෞවන ගැහැණු ළමයෙක් මෙසේ පාපොච්චාරණය කරන්නී ය: “හෙවි මෙටල් සංගීතයට සවන් දීමට මම පුරුදු වී සිටියා, ඇතැම් විට මුළු රාත්‍රිය පුරා ම මම හෙවි මෙටල් සඟරා මිල දී ගෙන ඒවා මගේ දෙමාපියන්ට නොපෙනෙන්න සපත්තු පෙට්ටි ඇතුළේ සැඟවූවා. මම මගේ දෙමාපියන්ට බොරු කීවා. යෙහෝවඃ වහන්සේ මා සමඟ ප්‍රසන්න නොවූ බව මම දන්නවා.” පිබිදෙව්! සඟරාවේ ලිපියක් මගින් ඇගේ කල්පනාවන් නිවැරදි කරන ලදි. එවන් සංගීතය මගින් තවත් යෞවනයන් කී දෙනෙක් තවදුරටත් මීට ගොදුරු වී යාවි ද!

ඔබ වපුරන දේ කපා ගැනීම

14, 15. අහිතකර සංගීතයට සවන් දීමෙන් නිෂේධාත්මක බලපෑමක් ඇති බවට අපට සහතික විය හැක්කේ මන්ද? නිදර්ශනය කරන්න.

14 එවන් සංගීතය මගින් ඇති කළ හැකි අන්තරාය අඩුවෙන් තක්සේරු නොකරන්න. ඔබ ගීතයකට සවන් දුන් නිසා ම, යමෙකු ව ඝාතනය කිරීමට හෝ ලිංගික දුරාචාරයේ යෙදීමට ඔබ නැඹුරු නොවිය හැකි බව සැබෑ ය. එහෙත්, “තමාගේ මාංසය සඳහා වපුරන්නා මාංසයෙන් කුණුවීම කපාගන්නේය” කියා ගලාති 6:8 පවසයි. භූමික, මෘගාකාර, භූතාකාර සංගීතයට පවා සවන්දීමෙන් සිදු වන්නේ, ඔබ කෙරෙහි නිෂේධාත්මක බලපෑමක් ඇති වීම පමණි. (යාකොබ් 3:15 සසඳන්න.) සංගීතය පිළිබඳ මහාචාර්ය ජෝසෆ් ස්ටූසි මෙසේ පවසන බවට උපුටා දැක්වේ: “ඕනෑ ම ආකාරයක සංගීතයක් අපගේ මනෝ ස්වභාවය, චිත්ත වේගයන්, ආකල්පයන් හා අපගේ සම්පූර්ණ හැසිරීම කෙරෙහි බලපෑම් කරයි. . . . ‘මට හෙවි මෙටල් සංගීතයට සවන් දිය හැකියි, නමුත් එය මට බලපාන්නේ නැහැ’ කියා ඕනෑ ම කෙනෙක් කියයි නම්, ඔහු වැරදි ය. එය කෙසේ හෝ විවිධ අයට විවිධ තරමින් විවිධ ආකාරයට බලපායි.”

15 එක් ක්‍රිස්තියානි යෞවනයෙක් මෙසේ එකඟ වෙයි: “මා ත්‍රෑෂ් මෙටල් සංගීතයට කොතරම් දරුණු ලෙස හසු වුණාද කිවහොත් මගේ මුළු පෞරුෂත්වය ම වෙනස් වුණා.” වැඩි කල් යන්නට මත්තෙන්, ඔහු භූතයන් හා සම්බන්ධ ගැටලු අත්දැකීමට පටන් ගත්තේ ය. “මා අන්තිමේ දී මගේ සංගීත තැටි, කැසට් ආදිය ඉවත දැමුවා, මා භූතයන්ගෙන් නිදහස් වුණා.” තවත් යෞවනයෙක් තම වරද ගැන කියා දෙන්නේ මෙසේ ය: “මා සවන් දීමට පුරුදු වී සිටි සංගීතය තුළ තිබුණේ එක්කෝ ආත්ම බන්ධන ක්‍රියා, මත් ද්‍රව්‍ය නැත්නම් ලිංගික දේවල්. එය තමන්ට බල නොපාන බව බොහෝ යෞවනයන් කියනවා, නමුත් එය ඇත්තට ම බලපානවා. මා මුළුමනින් ම පාහේ සත්‍යයෙන් පිටතයි සිටියේ.” එක් හිතෝපදේශයක් මෙසේ අසයි: “මනුෂ්‍යයෙක් ගින්න තමාගේ ළයට ගත්තොත් ඔහුගේ ඇඳුම් නොපිළිස්සේද?”—හිතෝපදේශ 6:27.

ප්‍රවේසමින් සිටින්න

16. අද දින සංගීත ලේඛකයන් ගායකයන් හා වාදකයන් බොහෝ දෙනෙකු ගැන කුමක් කිව හැකි ද?

16 පාවුල්, පැරණි එපීසයේ විසූ ක්‍රිස්තියානින් හට ලීවේ මෙසේ ය: “එමනිසා, මම ස්වාමීන් වහන්සේ තුළ සාක්ෂි දරමින් මෙසේ පවසමි, එනම්, ජාතීන් තම මනස්වල නිෂ්ඵල භාවයෙන් හැසිරෙන්නාක් මෙන් ඔබ තවදුරටත් නොහැසිරෙන මෙන් ය. ඔවුන් මනසින් අඳුරුව සිටින අතරේ දී, තමන් තුළ තිබෙන නොසැලකිල්ල නිසා, සහ තමන්ගේ හෘදයන්හි අසංවේදී බව නිසා, දෙවියන් වහන්සේට අයත් ජීවනයෙන් ඈත් ව සිටිති.” (එපීස 4:17, 18, NW) අද දින බොහෝ සංගීතයන්හි ලේඛකයන්, ගායකයන් හා වාදකයන් සම්බන්ධයෙන් මෙය පැවසිය නොහැකි ද? වෙන කවරදාටත් වඩා, සියලු ආකාරයේ සංගීතවල “මෙම දේවල පිළිවෙළේ දෙවියා” හෙවත් සාතන් වන යක්ෂයාගේ බලපෑම තිබේ.—2 කොරින්ති 4:4, NW.

17. සංගීතය ගැන කලින් නිශ්චය කිරීමට, හෝ පරීක්ෂා කිරීමට, යෞවනයන්ට හැක්කේ කෙසේ ද?

17 “අන්තිම දවස්,” සම්බන්ධ ව බයිබලය මෙසේ පුරෝකථනය කළේ ය: “නපුරු මනුෂ්‍යයොත් රැවටලිකාරයොත් රවටමින්ද රැවටෙමින්ද වඩ වඩා නරක්වන්නෝය.” (2 තිමෝති 3:1, 13) එසේ නම්, වෙන කවරදාටත් වඩා, ඔබ තෝරා ගන්නා සංගීතය ගැන ඉතා සුපරීක්ෂාකාරී වීම අවශ්‍ය ය. බොහෝ විට, අප්‍රසන්න තේමාවක් සහිත ඇල්බමයක් සුදුසු නොවනු ඇත. යෝබ් 12:11 හි මෙසේ අසනු ලබයි: “උඩුතල්ල කෑම රසබලන්නාක්මෙන්, කන වනාහි වචන විමසනවා නොවේද?” ඒ හා සමාන අයුරකින්, විවේචනාත්මක කනකින් යුතු ව සංගීතයේ මඳකට සවන් දීමෙන් ඔබට එම සංගීතය පරීක්ෂා කළ හැකි ය. එහි තාලය ඔබ තුළ පුබුදු වන්නේ කුමන ආකාරයේ හැඟීම් ද? එය මෘග, කැරලිකාර ස්වභාවය වන පිරිහුණු හැසිරීමකට පොලඹවනවා ද? (ගලාති 5:19-21) පද මාලාව ගැන කුමක් කිව හැකි ද? එයින් ලිංගික දුරාචාරයට, මත් ද්‍රව්‍ය භාවිතයට, හෝ “සඳහන් කරන්ටවත් බැරි තරමට ලජ්ජාසහගත” වෙනත් වැරදි දේවලට පොලඹවනවා ද? (එපීස 5:12, NW) එවැනි දේවල් දෙවියන් වහන්සේගේ සෙනඟ අතර “සඳහන් කරන්ටවත්” එපා කියා බයිබලය කියයි, එසේ හෙයින් යළි යළි වාදනය වන රිද්මයකට අනුව ඒවා සැකසීම ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. (එපීස 5:3) ඇල්බමයේ [කැසට් පටයේ] කවරයේ සැකැස්ම ගැන කුමක් කිව හැකි ද, එහි ආත්ම බන්ධන ක්‍රියාවලට සම්බන්ධ තේමාවන් හෝ ලිංගික තෘෂ්ණා අවුස්සන පින්තූර දක්නට තිබේ ද?

18. (අ) සංගීතය ගැන සලකා බලන විට, ඇතැම් යෞවනයන්ට කුමන වෙනස්කම් කිරීමට සිදු විය හැකි ද? (ආ) වඩාත් හිතකර සංගීතය කෙරෙහි රසාස්වාදයක් වර්ධනය කර ගැනීමට යෞවනයන්ට හැක්කේ කෙසේ ද?

18 සමහරවිට ඔබ තෝරා ගන්නා සංගීත වර්ගය ගැන යම් වෙනස්කම් කිරීමට ඔබට අවශ්‍ය විය හැක. දුරාචාරය හා භූත වන්දනාවට සම්බන්ධ තැටි, ටේප් පටි, සහ ඩිස්ක් තැටි ඔබ ළඟ තිබේ නම්, ඉක්මනින් ම ඔබ ඒවා ඉවත් කර දැමිය යුතුයි. (ක්‍රියා 19:19 සසඳන්න.) මින් අදහස් කරන්නේ, ඔබට සංගීතය රස විඳීමට නොහැකි බවක් නොවේ; සියලු ම ආකාරයේ ජනප්‍රිය සංගීත ප්‍රශ්න කටයුතු ඒවා නොවේ. ඇතැම් යෞවනයන් තමන්ගේ සංගීත රසයන් පුළුල් කර ගැනීමට ද ඉගෙන ගෙන තිබෙන අතර, සමහරක්, සම්භාව්‍ය, ජන, සරල ජෑස්, සහ වෙනත් ආකාර සංගීතවල රසය දැන් භුක්ති විඳිමින් සිටිති. වර්ධනය කරවන සුලු කණ්ඩායම් සංගීතය උදෙසා රසාස්වාදය වැඩි දියුණු කිරීමට කිංඩම් මෙලඩීස් ටේප් පටි යෞවනයන් බොහෝ දෙනෙකුට උපකාරවත් වී තිබේ.

19. සංගීතය එහි නියම තැනේ තැබීම වැදගත් වන්නේ ඇයි?

19 සංගීතය වනාහි දිව්‍ය දීමනාවක් ය. එහෙත්, බොහෝ දෙනෙකු සඳහා, එය අහිතකර වූ ඕනෑවට වඩා ඇලී ගැලී සිටින දෙයක් බවට පත් ව තිබේ. ඔවුන් හරියට, ‘කුඩා වීණාවේත් රබානෙත් නළාවෙත්’ වාදනය රස විඳි මුත්, ‘යෙහෝවඃ වහන්සේගේ ක්‍රියාව සැලකුවේ’ නැති පැරණි ඊශ්‍රායෙල්වරුන් මෙන් ය. (යෙසායා 5:12) සංගීතය එහි නිසි තැනේ තබා ගෙන, යෙහෝවඃ වහන්සේගේ ක්‍රියාවන් ඔබගේ ප්‍රධාන සැලකිල්ලට යොමු වීම ඔබගේ ඉලක්කය කර ගන්න. ඔබ තෝරා ගන්නා සංගීතය ප්‍රවේසමෙන් හොඳින් තෝරා බේරා ගන්න. මෙසේ, මෙම දිව්‍ය දීමනාව වැරදි ලෙස යොදා ගැනීමට නොව හරි ලෙස යොදා ගැනීමට ඔබට හැකි වෙනවා ඇත.

[පාදසටහන්වල]

a පෙනෙන හැටියට, ඊශ්‍රායෙල් ජාතිය සංගීත කලාව සම්බන්ධයෙන් පරතෙරට ගොස් තිබුණි. සෙනකෙරිබ් රජ, හෙසකියා රජුගෙන් කප්පමක් වශයෙන් ඊශ්‍රායෙල් සංගීතවේදීන් ව ඉල්ලා සිටි බව එක් අසිරියානු උන්නතක් [මූර්ති චිත්‍රයක්] හෙළි කරයි. ග්‍රෝව්ස් ඩික්ෂනරි ඔෆ් ම්‍යූසික් ඇන්ඩ් ම්‍යූසිෂන්ස් මෙසේ සඳහන් කරයි: “කප්පමක් වශයෙන් සංගීතවේදීන් ව ඉල්ලා සිටීම . . . ඇත්තෙන් ම අසාමාන්‍ය දෙයක් විය.”

ඔබට මතක ද?

◻ සංගීතය දිව්‍ය දීමනාවක් ලෙස හැඳින්විය හැක්කේ මන්ද?

◻ පැරණි කාලවල දී, සංගීතය වැරදි ලෙස යොදා ගැනුණේ කෙසේ ද?

◻ රැප් සහ හෙවි මෙටල් සංගීතය ක්‍රිස්තියානි යෞවනයන් හට කුමන අන්තරායන් ඉදිරිපත් කරයි ද?

◻ සංගීතය තෝරා ගැනීමේ දී සුපරීක්ෂාකාරී වීමට යෞවනයන්ට හැක්කේ කෙසේ ද?

[23වන පිටුවේ පින්තූරය]

බයිබල් කාලවල දී, සංගීතය යොදා ගැනුණේ යෙහෝවඃ වහන්සේට ප්‍රශංසා ගෙන ඒමේ මාධ්‍යයක් වශයෙනි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න