මෙම භෝජනය ඔබට අර්ථවත් විය හැකි ද?
පුන් සඳෙහි ලා එළියෙන් දේශය නැහැවී තිබේ. පුරාතන යෙරුසලමේ නිවසක උඩු මහල් කාමරයක, මනුෂ්‍යයන් 12 දෙනෙක් මේසයක් වටේට හිඳගෙන සිටිති. සිය ගුරුවරයා අතිශය වැදගත් පිළිවෙතක් සඳහා මුලපුරමින් මහත් වැදගත්කමකින් යුත් වදන් පවසත් ම, එකළොස් දෙනෙක් දැඩි අවධානයක් ඒ කෙරෙහි යොමු කරති. එක් වාර්තාවක් මෙසේ පවසයි:
“ඔවුන් කෑම කමින් සිටිය දී ජේසුස් [ක්‍රිස්තුස්] වහන්සේ රොටි ගෙන ආශීර්වාදය පවසා ඒවා කඩා ශ්‍රාවකයන්ට දී, ‘රැගෙන වළඳන්න. මේ මාගේ ශරීරය’යි වදාළ සේක. උන් වහන්සේ කුසලානක් ද ගෙන තුති පුදා ඔවුන්ට දී ‘ඔබ සියල්ලෝ ම මෙයින් පානය කරන්න. මෙය පව් කමාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරුවනු ලබන මාගේ ගිවිසුම් රුධිරය වේ. මාගේ පියාණන්ගේ රාජ්‍යයෙහි දී මා ඔබ සමඟ අලුත් මිදියුස පානය කරන දවස එන තුරු මෙතැන් පටන් මේ මිදියුස තවත් නොබොන්නෙමි යි ඔබට කියමි’යි වදාළ සේක. ඔව්හු ගීතයක් ගයා නිම කොට ඔලීව කන්දට නික්ම ගියහ.”—මතෙව් 26:26-30, නව අනුවාදය.
මෙය සිදු වූයේ අපගේ පොදු යුගයේ 33වන වසරේ නීසාන් නම් යුදෙව් මාසයේ 14වන දින ඉරු බැස යාමෙන් පසු ව ය. ඊට මොහොතකට කලින් යේසුස් වහන්සේත්, උන් වහන්සේගේ ප්‍රේරිතයනුත් පො.යු.පෙ. 16වන ශතවර්ෂයේ මිසරයේ වහල් භාවයෙන් ඊශ්‍රායෙල්වරුන්ගේ ගැලවීම සිහිපත් කරනු පිණිස පවත්වන පාස්කුව උත්සවශ්‍රීයෙන් පවත්වා තිබුණි. ඒත් සමඟ ම ක්‍රිස්තුස් වහන්සේ ඉන් මද වේලාවකට පසු ව තමන් වහන්සේ ව පාවා දෙන්නට යන යූදස් ඉස්කාරියොත් එතැනින් ඉවත් කර තිබුණි. එබැවින් එහි සිටියේ යේසුස් වහන්සේත්, උන් වහන්සේගේ පක්ෂපාත ප්‍රේරිතයන් 11 දෙනෙකුත් පමණකි.
මෙම රාත්‍රී භෝජනය යුදෙව් පාස්කුව දිගට ම පැවැත්වීමක් නොවී ය. මෙය ස්වාමීන් වහන්සේගේ සන්ධ්‍යා භෝජනය ලෙස හැඳින්වූ අලුත් යමක් විය. මෙම පිළිවෙත පැවැත්වීම පිළිබඳ ව, යේසුස් වහන්සේ සිය අනුගාමිකයන්ට මෙසේ ආඥා කළ සේක: “මා සිහි කිරීම පිණිස මෙය කරන්න”. (ලූක් 22:19, 20, නව අනුවාදය; 1 කොරින්ති 11:24-26) උන් වහන්සේ මෙසේ වදාළේ මන්ද? එමෙන් ම ශතවර්ෂ ගණනාවක් ඉපැරණි මෙම සිද්ධිය ඔබට යම් හෙයකින් අර්ථවත් විය හැක්කේ කෙසේ ද?