ජීවත්වීමේ හොඳ ම ක්‍රමය යෙහෝවඃ වහන්සේගේ ක්‍රමයයි
අර්කී කාන්කාන්පා විස්තර කළ පරිදි
මා දරුවෙක් ව සිටි අවධියේ පටන්, මගේ ඉලක්කය වූයේ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ෆින්ලන්ත ශාඛාවේ නැතහොත් එය හඳුන්වනු ලබන ආකාරයට බෙතෙල් හි සේවය කිරීම ය. එබැවින් එක් සංචාරක අවේක්ෂකයෙක්, 1941 ග්‍රීෂ්ම ඍතුවේ දී මගෙන්: “අනාගතය සඳහා ඔබ කර ඇති සැලසුම් මොනවා ද?” යයි ඇසූ විට, “හැම විට ම මගේ ආසාව වී ඇත්තේ බෙතෙල් නිවසට යාමටයි” කියා මම පිළිතුරු දුණිමි.
“ඔබ ඒ ගැන සිහින මවන්න එපා; ඔබට කවදාවත් ඊට ආරාධනාවක් ලැබෙන්නේ නැහැ” යයි ඔහු පිළිතුරු දුණි. මුල දී මා මහත් කලකිරීමකට පත් වුවත්, එම කාරණය යෙහෝවඃ වහන්සේගේ හස්තයට භාර කිරීමට මම තීරණය කළෙමි. ඉන් මාස කීපයකට පසු, බෙතෙල් හි සේවය කරන්නට මට ආරාධනාවක් ලැබිණි.
වර්ෂ 1941 ඉතා සීතල, නොවැම්බරයේ පැහැදිලි දිනක මා හෙල්සින්කි හි ශාඛා කාර්යාලයේ දොර සීනුව නාද කළ විට, මම ලජ්ජාශීලී, 17 වියේ ගම්බද තරුණයෙක් වීමි. වැඩිවේලාවක් යන්නට මත්තෙන්, ශාඛා අවේක්ෂක, කාර්ලෝ හාර්ටේවා මා පිළිගත්තේ ය. එවකට එම ශාඛා කාර්යාලය ෆින්ලන්තයේ සිටි සාක්ෂිකරුවන් 1,135 දෙනෙකු ව අධීක්ෂණය කරන ලදි.
ක්‍රිස්තියානි උරුමයකි
වර්ෂ 1914 මගේ පියා වොච් ටවර් ප්රකාශනයක් වන ද ඩිවයින් ප්ලෑන් ඔෆ් දි ඒජස් හි පිටපතක් ලබා ගෙන තිබුණි. කෙසේවෙතත්, ඉන් වැඩි කලක් යන්නට මත්තෙන් පළමුවන ලෝක යුද්ධය පටන් ගත් අතර, ඔහුට එය කියවන්නට අවස්ථාවක් ලැබුණේ නැත.
ජාතික නිදහස සඳහා වූ ෆින්ලන්ත අරගලය ගැටලු ඇති කළේ ය. බලගතු කණ්ඩායම් දෙකක්—සුදු හා රතු පාක්ෂිකයන්—බිහි වූහ. සුදු පාක්ෂිකයන් ධනවාදීන් හා මධ්‍යම පන්තිය නියෝජනය කළ අතර රතු පාක්ෂිකයෝ කම්කරුවන් නියෝජනය කළහ. මගේ පියා මේ කණ්ඩායම් දෙකෙන් ම ඉවත් ව මධ්‍යස්ථ ව සිටින්නට වෑයම් කළේ ය. එහෙත්, ඒ දෙකොටස ම ඔහු ව සැක සහිත කෙනෙකු ලෙස ලේඛන ගත කළහ.
දේවල් සිදු වූ ආකාරය බලන කල, පියා ව, පළමු ව සුදු පාක්ෂිකයන් විසිනුත්, පසු ව රතු පාක්ෂිකයන් විසිනුත් මරණයට නියම කරන ලදි. වරක් මනුෂ්‍යයෙකු ව ඝාතනය කරනු ලැබ, එම මිනීමරුවා අල්ලා ගත නොහැකි වූ විට, මගේ පියා ද ඇතුළු ව තරුණයන් දස දෙනෙක් මරණයට නියම කරනු ලැබිණි. ජූරි සභාවේ සාමාජිකයෙක් ව සිටි, මගේ පියාගේ ගුරුවරයෙක්, ඔහු ව නිදහස් කිරීමට නිර්දේශ කළ අතර එසේ කරනු ලැබී ය. ඉතිරි නව දෙනා මරා දැමිණි.
තවත් අවස්ථාවක, පියා ව මරණ දණ්ඩනයෙන් නිදහස් කරනු ලැබී ය. ඉන් අනතුරුව ඔහු ඇත්ත වශයෙන් ම පොළොව යට ජීවත් වන්නට තීරණය කළේ ය! ඔහු හා ඔහුගේ සහෝදරයා තාවකාලික බිංගෙයක් තැනූ අතර යුද්ධය අවසන් වන තෙක් එහි ජීවත් වූහ. ඔවුන්ගේ පැවැත්ම පිණිස, ඔවුන්ට කෑම බීම සැපයුවේ ඔවුන්ගේ බාල සහෝදරයා ය.
වර්ෂ 1918 යුද්ධය අවසන් වූ පසු, පියා විවාහ වී එම තාවකාලික බිංගෙය අසල නිවසක් තනා ගත්තේ ය. පසු කාලයේ එය මගේ සෙල්ලම් පිටිය වූ බැවින්, මම එය හොඳින් දැන හැඳින ගතිමි. එහි පොළොව යට සැඟ වී සිටිය දී, තමා බොහෝ සේ යාච්ඤා කළ බව මගේ පියා මට පැවසී ය. තමා දෙවියන් වහන්සේට සේවය කරන ආකාරය ඉගෙන ගත්තේ නම්, එසේ කරන බව ඔහු උන් වහන්සේට පොරොන්දු විය.
විවාහ වීමෙන් කෙටි කලකට පසු, ව්‍යාපාරික ගමනක් යන අවස්ථාවක, කියවීම පිණිස යමක් ගෙන යාමට පියා තීරණය කළේ ය. තමා වසර ගණනාවකට පෙර මිල දී ගත් ද ඩිවයින් ප්ලෑන් ඔෆ් දි ඒජස් පොත අට්ටාලයෙන් ඔහු සොයා ගත්තේ ය. එහි “ද ඩේ ඔෆ් ජෙහෝවා” [“යෙහෝවඃ වහන්සේගේ දවස”] නම් පරිච්ඡේදය පෙරළා එය කියෙව්වේ ය. ‘මේ තමයි සත්‍යය, මේ තමයි සත්‍යය’ යයි ඔහු තමාට ම පුන පුනා කියන්නට විය. අට්ටාලයෙන් පහතට බසිමින්, ඔහු මගේ මව අමතා “මම සැබෑ ආගම සොයා ගත්තා” යයි පැවසී ය.
ඒත් සමඟ ම වාගේ පියා, පළමු ව තමාගේ ඥාතීන්ටත් අසල් වාසීන්ටත් කථා කරමින්, තමා ඉගෙන ගනිමින් සිටි දෙය ගැන අන්‍යයන්ට දේශනා කරන්නට පටන් ගත්තේ ය. අනතුරුව ඔහු ප්‍රසිද්ධ කථා පවත්වන්නට පටන් ගති. වැඩි කලක් ගත වෙන්නට මත්තෙන්, ප්‍රදේශයේ වෙනත් අය ද ඔහු හා එක් වූහ. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ව එවකට හඳුන්වනු ලැබූ ආකාරයට, බයිබල් ශිෂ්‍යයන් හා මුණ ගැසීමෙන් පසු, පියා 1923 දී බව්තීස්ම කරනු ලැබී ය. දරුවන් වශයෙන් උපත ලැබූ අපි—අන්තිමේ දී අපි හතර දෙනෙක් වීමු—පියා අපට ඉගැන්වීම නොසලකා හැරියේ නැත. ඇත්ත වශයෙන් ම සභාවක් පිහිටෙවූ පසු, සෑම රැස්වීමකට ම අප යා යුතු ව තිබුණි.
මුල් මතකයන්
මගේ මුල් මතකයේ හැටියට, මට අවුරුදු පහක් ව සිටිය දී, 1929 අපගේ ම ප්‍රාදේශීය සභාවේ පිළියෙළ කරන ලද එක්රැස්වීමක් මට සිහිපත් කළ හැකි ය. අසබඩ සභාවන්ගෙන් බොහෝ දෙනෙක් රැස් වූ අතර, ශාඛා කාර්යාලයෙන් පැමිණි නියෝජිතයෙක් ද එහි සිටියේ ය. ඒ කාලයේ, අඩුතරමින් ෆින්ලන්තයේවත්, එක්රැස්වීම්වල දී දරුවන්ට ආශීර්වාද කිරීම සිරිතක් විය. එබැවින් බෙතෙල් වෙතින් පැමිණි සහෝදරයා, යේසුස් වහන්සේ සිය සේවයේ කළාක් මෙන් දරුවන්ට ආශීර්වාද කළේ ය. එය කිසි දිනක මගේ මතකයෙන් ඈත් නොවෙයි.—මාර්ක් 10:16.
වර්ෂ 1931 දී යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් යන නාමය පිළිගැනීම තවත් මුල් මතකයන්ගෙන් එකකි. එම අවස්ථාවේ වැදගත්කම ගැන හොඳින් සාවධාන ව සිටි මගේ පියා, ගරුගම්භීර ව අපගේ අලුත් නාමය සම්බන්ධ නිවේදනය සභාවට කියෙව්වේ ය.
මට මතක තරම් අතීතයේ පටන්, මම දේශනා කටයුත්තෙහි මගේ පියා සමග හවුල්වීමි. මුල දී, මා ඔහුට ඇහුම්කන් දී සිටියා පමණි, නමුත් අන්තිමේ දී මම ම එය කරන්නට පටන් ගතිමි. වර්ෂ 1935, එක් සංචාරක අවේක්ෂකයෙක් අප බලන්නට පැමිණි විට, මම අපගේ අසල් වැසියන් සියලු දෙනා වෙතට ගොස්, රැස්වීම්වලට සහභාගි වෙන ලෙස ඔවුන්ට ආරාධනා කළෙමි. මා ඔවුන්ට පොත්පිංච ද ඉදිරිපත් කළ අතර, ඇතැමෙක් ඒවා පිළිගත්හ.
පාසල් යාම හා වැදගත් තීරණයක්
සාක්ෂිකාර මව්පියන් සිටින දරුවන් වශයෙන් පාසලේ සිටියේ අප හතරදෙනා පමණක් වූ අතර, ක්‍රිස්තියානි නොවන හැසිරීම්වල වෙනත් යෞවනයන් හා එක් නොවීම නිසා අපට බොහෝ විට සමච්චල් කරනු ලැබිණ. දුම්පානය කරන්නට පාසලේ ළමුන් මා දැඩි සේ පොලඹවන්නට වෑයම් කළත්, මම එසේ නොකළෙමි. අප හට සරදම් කරමින්, රසලයිට්වරුන් (රසල් වොච් ටවර් සමිතියේ පළමු සභාපති විය) නැතහොත් හාර්ටේවලයිට්වරුන් (හාර්ටේවා එවක ෆින්ලන්ත ශාඛා කාර්යාලයේ අවේක්ෂක විය) යයි අමතනු ලැබී ය. අපට සරදම් කළ සමහරක් යෞවනයන් අන්තිමේ දී සාක්ෂිකරුවන් වූ බව කියන්නට මම සතුටු වෙමි.
වැඩිදුර අධ්‍යාපනයේ යෙදෙන්නට මගේ ගුරුවරයා මට උනන්දු කළ අතර, ඉංජිනේරුවෙකු වීම ගැන වරෙක මම කල්පනා කළෙමි. එහෙත් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සමුළුවක් 1939 වසන්ත ඍතුවේ පෝරී හි දී පවත්වන ලද අතර එය මගේ ජීවිතයට නව නැම්මක් ගෙන දුන් එකක් බවට පත් විය. මගේ බාල සහෝදරයා වන, ටියුමෝ හා මම යෙහෝවඃ වහන්සේට අප ව කැප කොට, 1939 මැයි 28වන දින, එම සමූළුවේ දී වතුර බව්තීස්මයෙන් එය සංකේතවත් කළෙමු. අනතුරුව, සැප්තැම්බර් මස මුල් භාගයේ, IIවන ලෝක යුද්ධය පටන් ගත්තේ ය.
යුරෝපයේ තත්ත්වයන් චමත්කාරජනක ලෙස වෙනස් විය. ෆින්ලන්තය හා සෝවියට් සංගමය අතර තත්ත්වය අවදානම් සහිත විය. අර්මගෙදොනය ළඟා වෙමින් තිබූ බව අවධාරණය කළ මගේ පියා, පුරෝගාමි සේවයේ නියැලෙන ලෙස අප ව දිරිගැන්වී ය. එනිසා, 1940 දෙසැම්බර් මස, මගේ සහෝදරයා හා මම උතුරු ෆින්ලන්තයේ පුරෝගාමි සේවයේ නියැලෙන්නට පටන් ගතිමු.
පුරෝගාමි හා බෙතෙල් සේවය
පුරෝගාමි සේවයේ නියැලෙන අතර, අප වැඩි කාලයක් එර්ය කාලීයෝ සමඟ ජීවත් වූයෙමු. හෙතෙම වසර 30කට පෙර, එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාවේ බයිබල් ශිෂ්‍යයෙක් බවට පත් වූ සහෝදරයෙකි. එර්ය ඉතා උණුසුම් හදවතක් ඇත්තෙකු වූ අතර, ඔහු අපට ප්‍රසන්න වාතාවරණයක් ඇති කරන්නට හැකි සෑම එකක් ම කළේ ය. ඔහුගේ සහෝදරයෙක් වූ, කුයස්ටේ කාලීයෝ 1937 පටන් 1940 දක්වා ෆින්ලන්තයේ ජනාපධිපති වශයෙන් සේවය කළේ ය. හොඳ පාලනයක් හා කල්පවතින, ලෝක සාමය සඳහා ඇති එක ම බලාපොරොත්තුව දෙවියන් වහන්සේගේ රාජ්‍යය බව විස්තර කරමින්, ඔහු තම සහෝදරයාට හොඳ සාක්ෂියක් දී ඇති බව සහෝදර එර්ය අපට පැවසී ය.
කාලය ගෙවී යත් ම, බෙතෙල් පවුලේ සාමාජිකයෙක් වීමට තිබූ මගේ ආශාව වැඩෙන්නට විය. සංචාරක අවේක්ෂකගේ අනතුරු ඇඟවීම මගේ බලාපොරොත්තු පමණට වැඩියෙන් ස්ථිර කර නොගන්නා ලෙසට වුවත්, බෙතෙල් හි සේවය කරන්නට වූ මගේ අයදුම්පත පිළිගනු ලැබීම සතුටට කරුණක් විණි. මට එහි පැවරුන පළමුවන කටයුත්ත පණිවුඩ එහා මෙහා ගෙන යාම ය. කෙසේ වෙතත්, වැඩි කල් ගත වෙන්නට පෙර, මට කර්මාන්ත ශාලාවේ සේවය කිරීමේ වරප්‍රසාදය ලැබිණ. එහි මම, අපගේ කුඩා මුද්‍රණ කාමරයේ හා නැව්ගත කරන අංශයේ ද ඇතුළු ව, අංශ බොහොමයක සේවය කළෙමි.
මධ්‍යස්ථ භාවය පවත්වා ගැනීම
වර්ෂ 1942, වයස අවුරුදු 18ක් ව සිටිය දී, මට හමුදා සේවය සඳහා කැඳවීමක් ලැබුණි. නිලය භාර ගැනීම මා ප්‍රතික්ෂේප කළ නිසා, දෙවරක් මා වෙත එල්ල කරන ලද තුවක්කුවක් ද සහිත ව, මම දීර්ඝ වේලාවක් ප්‍රශ්න කිරීම්වලට ලක්වීමි. අනෙක් අවස්ථාවන්හි ශාරීරික අඩන්තේට්ටම්වලට භාජනය වීමි. තව ද දීර්ඝ ප්‍රශ්න කිරීම්වල දී, මා ව තද සීතලක් පැවති උෂ්ණ නොකරන ලද සිර මැදිරියක තබනු ලැබී ය.
අවසානයේ, 1943 ජනවාරිවල, මටත් අනෙක් සාක්ෂිකරුවන්ටත් තීන්දු ප්‍රකාශය සඳහා කාලය පැමිණියේ ය. අපගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ හමුදා නිලධාරියා අපගේ සිරගත කිරීම වසර දහයකට නොඅඩු විය යුතු බව බලකර කියා සිටියේ ය. හමුදා දේවගැතිවරයා මීට වඩා දැඩි දඬුවමක් ඉල්ලා සිටියේ ය, ඔහු ලිපියක කියා සිටියේ ‘මරණ දණ්ඩනය හෝ [බොහෝ දුරට නියත වශයෙන් ම මරණය ලැබෙනු ඇති] රුසියාවට සතුරු රහස් තොරතුරු සෙවීම සඳහා පැරෂූටයෙන් එවීම ඔවුන් සඳහා ඉතා කදිම’ බවයි.
බොරු නඩු විභාගයක් පිළියෙළ කරනු ලැබී ය. අධිකරණය ඉදිරියට කැඳවනු ලැබූ මා මරණ දණ්ඩනයට නියම කරන ලදි. එම දිනයේ ම පසු අවස්ථාවක මා ව යළිත් අධිකරණය ඉදිරියට කැඳවා අවුරුදු තුනහාමාරකට දඟගෙට නියම කරනු ලැබූ බැවින්, මෙය බිය ගැන්වීමේ වෑයමක් බවට කරුණු හෙළි විණි. මා එම තීන්දුව ගැන අභියාචනයක් ඉදිරිපත් කළ අතර, එය අවුරුදු දෙකකට අඩු කරනු ලැබී ය.
සිරගෙය තුළ, ආහාර හිඟ වූ අතර, වෙනත් සිරකරුවන්ගෙන් දරුණු සහගත තර්ජන එල්ල විය. දෙවරක් මා සමලිංගිකයන්ගේ ප්‍රහාරයට ලක් වුව ද, භාග්‍යයකට මෙන් මට බේරීමට හැකි විය. ඔවුන්ගෙන් එක්කෙනෙක් මා ඔහුගේ ඉල්ලීම්වලට එකඟ නොවුණොත් මා ව මරණ බවට තර්ජනය කළේ ය. එහෙත් මගේ සියලු පීඩාවන්වල දී මා කළාක් මෙන්, මා යෙහෝවඃ වහන්සේට යාච්ඤා කළ අතර, උන් වහන්සේ මට උපකාර කළ සේක. ඇත්ත වශයෙන් ම, එම සිරකරුවා ඊට කලින් මිනීමරා තිබූ බැවින්, ඔහුගේ තර්ජනය සුළුපටු එකක් නොවී ය. ඔහු ව නිදහස් කිරීමෙන් පසු, ඔහු තවත් මිනීමැරුමක් කළ අතර, යළිත් සිරගත කරනු ලැබී ය.
මා ව ඉතා ඉක්මනින් භාරකාරයෙක් කරනු ලැබූවේ, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් කෙරෙහි විශ්වාසය තැබිය හැකි බවට ප්‍රසිද්ධියක් දරන නිසා බවට කිසි සැකයක් නැත. අනෙක් සිරකරුවන්ට නියමිත ආහාර ප්‍රමාණ නිකුත් කිරීම මගේ කාර්යය වූ අතර, සිරගෙය තුළ නිදහසේ ඇවිදින්නට මට අවසර දෙනු ලැබී ය. එබැවින් මට අවශ්‍ය තරම් ආහාර තිබුණා පමණක් නොව, මගේ ක්‍රිස්තියානි සහෝදරයන් කෙරෙහි සැලකිල්ල දැක්වීමට ද මට හැකියාව ලැබිණ. එක් සහෝදරයෙකුට සිරගෙයි සිටින අතර යම් ප්‍රමාණයක කාය වර්ධනයක් ලබා ගැනීමට ද හැකි විය, ආහාර හිඟය ගැන සැලකීමේ දී මෙය කලාතුරකින් සිදුවන්නකි!
සහෝදර හාර්ටේවා නිදහස් කරන ලද දිනයේ ම, 1944 සැප්තැම්බර් මාසයේ මා ව ද සිරගෙයින් නිදහස් කරනු ලැබිණි. මගේ නිදහස් කිරීම බෙතෙල් සේවයට හැරීයාමක් අදහස් කළේ ය. ‘බෙතෙල් හි දවසකට පැය 16ක් වෙහෙස මහන්සි වී වැඩ කිරීම සිරගෙයි ජීවිතයට වඩා මාහැඟි’ යයි මම සිතුවෙමි. එතැන් පටන් මා කිසි වැඩ කටයුත්තක් මඟහැර නැත!
විවිධ සේවා වරප්‍රසාද
වර්ෂ 1944 පසු භාගයේ දී, මගේ උනන්දුවට ප්‍රතිචාරය දැක්වූ, ලස්සන පුරෝගාමි යෞවනියක වන, මාගිට් මට හමු වූ අතර, අපි 1946 පෙබරවාරි 9, විවාහ වීමු. විවාහක යුවළක් ලෙස අපගේ පළමු අවුරුද්දේ, මා බෙතෙල් හි සේවය කළ අතර, මාගිට් හෙල්සින්කි හි පුරෝගාමියක ලෙස සේවය කළා ය. අනතුරුව, 1947 ජනවාරි මාසයේ, අපට චාරිකා වැඩකටයුතු පවරනු ලැබී ය.
සංචාරක සේවයේ දී, බොහෝ විට පවුල් සමඟ නවාතැන් ගත් අපි, ඔවුන් සමඟ එක් කාමරයක් හවුලේ බෙදා ගතිමු. ඔවුන්ට පිරිනැමිය හැකි උපරිම අන්දමින් ඔවුන් අපට සැපයූ බව අප දැන සිටි අතර, අපි කිසිවිටෙක පැමිණිලි කළේ නැත. ඒ දිනවල චාරිකාවන් කුඩා ව තිබුණි, ඇතැම් සභාවන්හි බව්තීස්ම ලත් සාක්ෂිකරුවන් කිසිවෙක් සිටියේ නැත!
වර්ෂ 1948 දී යළිත් බෙතෙල් සේවයට අප හට ආරාධනා කරන ලදි. ඉන් වසර දෙකකට පසු වොලස් එන්ඩ්‍රෙස්, එක්සත් ජනපදයේ සිට ෆින්ලන්තයට පැමිණි අතර, ඉන් වැඩිකලක් යන්නට මත්තෙන් ඔහු ව ශාඛා අවේක්ෂක ලෙස පත් කරනු ලැබිණි. ඉංග්‍රීසි දිගට ම ඉගෙන ගන්නා ලෙස ඔහු අප ව උණුසුම් අන්දමින් දිරිගැන්වූ අතර, අපි ද එසේ කළෙමු. මෙසේ, 1952 පෙබරවාරි මස, න්යූ යෝක්, දකුණු ලැන්සිං හි ආරම්භ වූ, වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ් හි 19වන මිෂනාරි පන්තියට සහභාගි වීමට අපට ඇරයුම් කරන ලදි.
එහි උපාධි ලැබීමෙන් පසු, අප ව යළි ෆින්ලන්තයට පත් කරනු ලැබී ය. කෙසේ වුවද, අප එක්සත් ජනපදයෙන් ඉවත් වන්නට පෙර, න්යූ යෝක්, බෘක්ලීන් හි, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ජාත්‍යන්තර මූලස්ථානයේ දී මුද්‍රණාලයේ වැඩ කටයුතු සම්බන්ධයෙන් මට පුහුණුවක් ලැබිණි.
ෆින්ලන්තයට ආපසු පැමිණි පසු, අපට සංචාරක කටයුතු පවරන ලදමුත්, 1955 දී ෆින්ලන්ත ශාඛා කාර්යාලයට අප ව යළි ඇරයුම් කරන ලදි. එම වසරේ මා කර්මාන්තශාලා අවේක්ෂක වූ අතර, ඉන් වසර දෙකකට පසු, 1957 දී, මා ව ශාඛා අවේක්ෂක ලෙස පත් කරනු ලැබී ය. වර්ෂ 1976 සිට, මම ෆින්ලන්ත ශාඛා කමිටුවේ සම්බන්ධීකරණ අවේක්ෂක ලෙස සේවය කර ඇත්තෙමි.
මගේ පියා හා මව යන දෙදෙනා ම ඔවුන්ගේ මරණය දක්වා යෙහෝවඃ වහන්සේට ඇදහිලිවන්ත ව සිටීම සතුටට කරුණකි. කාලයාගේ ඇවෑමෙන්, පියාගේ ඥාතීන් සිය ගණනක් සාක්ෂිකරුවන් වූහ. අද දවස දක්වා, මගේ සහෝදරයාත්, සහෝදරියනුත්, ඔවුන්ගේ පවුලේ අයත් යෙහෝවඃ වහන්සේට සේවය කරමින් සිටිති, මගේ එක් සහෝදරියක් පුරෝගාමිකාවක් ව සිටින්නී ය.
අනර්ඝ, විපාකදායී ජීවිතයක්
ගත වූ කාලයේ අසීමිත වැඩ පැවරුම් තිබුණ ද, එම වැඩ, දෙවියන් වහන්සේගේ වැඩ බැවින්, ඇත්ත වශයෙන් ම අනර්ඝ හා විපාකදායී වී ඇත. (1 කොරින්ති 3:6-9) මගේ ජීවිතය දිගට ම පහසු හා ප්‍රසන්න වූයේ නැත. ගැටලු මෙන් ම දුෂ්කරතාවයන් ද තිබිණි. ජීවිතයේ ඉතා බාල අවධියේ දී, යමෙක් තමා ව ම හික්මවා ගැනීමට ඉගෙන ගත යුතු බව මම තේරුම් ගතිමි. ඔබ කැමති විදිහට ම ක්‍රියා කරන්නට ඔබට සෑම විට ම නොහැක. මා ව බොහෝ විට නිවැරදි කරනු ලැබූ අතර, ජීවත් වන හරි මාර්ගය ක්රමානුකූල ව මම ඉගෙන ගතිමි.
උදාහරණයක් වශයෙන්, යුද්ධය තුළ විඳි පීඩාවන් හා අගහිඟකම්, සුඛෝපභෝගි දේවල් නැති ව ජීවත්වීමට මට ඉගැන්වී ය. මම යම් දෙයක් සැබවින් ම අවශ්‍ය ද නැද්ද යන්න වටහා ගැනීමට ඉගෙන ගතිමි. මට මෙය හෝ එය අවශ්‍ය දැයි මගෙන් ම අසන පුරුද්ද මා තුළ තවමත් තිබේ. අනතුරුව, එය එතරම් වැදගත් නොවේ යයි මා තේරුම් ගත්තේ නම්, මා එය මිල දී ගන්නේ නැත.
යෙහෝවඃ වහන්සේ ස්වකීය සංවිධානය මාර්ගයෙන් සපයා ඇති මඟ පෙන්වීම සක් සුදක් සේ පැහැදිලි ය. මා ෆින්ලන්ත ශාඛාවේ සිටි කාලය තුළ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාව 1,135 සිට 18,000ක් දක්වා වර්ධනය වනු දැකීමේ ප්‍රීතිය මට තිබුණි! ඇත්ත වශයෙන් ම, මගේ සේවයට ආශීර්වාද ලැබී ඇති බව මට පෙනේ, එහෙත් ඊට ආශීර්වාද ලැබී ඇත්තේ එම කාර්යය හා ඊට හේතුව අපගේ නොව යෙහෝවඃ වහන්සේගේ වීම නිසා බව ද මම දනිමි. (1 කොරින්ති 3:6, 7) ජීවිතයේ මුල් අවධියේ පටන් මා යෙහෝවඃ වහන්සේගේ මාර්ගය තෝරා ගත් අතර, එය ජීවත්වීමට තිබෙන හොඳ ම මාර්ගය බව සැබවින් ම ඔප්පු වී තිබේ. w92 4/1
[23වන පිටුවේ පින්තූරය]
අද දින අර්කී කාන්කාන්පා, සිය බිරිඳ මාගිට් සමඟ