සෙසු ක්‍රිස්තියානින්ට මුදල් ණයට දීම
පෙඩ්රෝ හා කාලොස් හොඳ මිත්‍රයන් වූහ.a ඔවුන් හවුල් ක්‍රිස්තියානින් වූ අතර, ඔවුන්ගේ පවුල් බොහෝ විට එකිනෙකා සමඟ උණුසුම් ආශ්‍රයක් භුක්ති වින්දහ. එබැවින් කාලොස්ට තම ව්‍යාපාරය සඳහා මුදල් අවශ්‍ය වූ විට, ඔහුට ණයට දීමට ඉදිරිපත් වීමට පෙඩ්රෝ පසුබට වූයේ නැත. “අප හොඳ මිත්‍රයන් වූ බැවින්, මම එයට එකඟ වූයෙමි,” යනුවෙන් පෙඩ්රෝ පැහැදිලි කරයි.
කෙසේ වෙතත්, මාස දෙකකට පමණ පසු ව, කාලොස්ගේ ව්‍යාපාරය අසාර්ථක වූ අතර, ණය ගෙවීම ද නතර විණි. ව්‍යාපාරික නොවන ණය ගෙවීමටත් සුඛෝපභෝගි ජීවිත ක්‍රමයක් සඳහා වියදම් කිරීමටත් කාලොස් ණයට ගත් මුදලින් බොහොමයක් වියදම් කර තිබූ බව දැනගත් පෙඩ්රෝ මවිතයට පත් විණි. වසරක් තුළ බැහැදැකීම් හා ලිපි කිහිපයකට පසු ව වුවත් පෙඩ්රෝ සෑහීමකට පත්වන පරිදි කාරණය විසඳනු ලැබුවේ නැත. කලකිරීමට පත් වූ පෙඩ්රෝ, නඩු මඟට බැසීම නිසා—ඔහුගේ මිත්‍රයා හා ක්‍රිස්තියානි සහෝදරයා වූ—කාලොස් ව සිරගත කරනු ලැබීමට කටයුතු යෙදිණි.b මෙය ගැනීමට සුදුසු පියවරක් වී ද? අපි බලමු.
ලොව වටා මනුෂ්‍යයන් අතර මිත්‍රත්වයන් නැති වී යාමට බොහෝ විට පවතින හේතුව වනුයේ ණයට මුදල් දීම මත වූ එකඟ නොවීම් හා වැරදි වටහා ගැනීම් ය. ඇතැම් විට එය හවුල් ක්‍රිස්තියානින් අතර එක්සත්කම නැති වී යාමට ද හේතු විය හැකි ය. බොහෝ රටවල්වල බැංකු ණය ලබා ගැනීම අපහසු කාර්යයක් වන බැවින්, මූල්‍යමය අවශ්‍යතාවයක් තිබෙන අය ඒ සඳහා මිත්‍රයන් හා නෑදෑයින් වෙතට යාම සාමාන්‍ය දෙයකි. කෙසේ වෙතත්, ණයට ගන්න තැනැත්තා හා ණයට දෙන තැනැත්තා විසින් බයිබල් ප්‍රමිති පරිස්සමින් අනුගමනය නොකෙරේ නම්, බරපතළ ගැටලු පැන නැගිය හැකි බව, පෙඩ්රෝ හා කාලොස්ගේ කනගාටුදායක අත් දැකීමෙන් පැහැදිලි වෙයි. එසේ නම්, සෙසු ක්‍රිස්තියානියෙකු මුදල් ණයට ඉල්ලන්නේ නම් එය හැසිරවිය යුතු හොඳ ම මාර්ගය වනුයේ කුමක් ද?
ණයට ගැනීමේ වියදම් ගණන් බැලීම
අනවශ්‍ය ලෙස ණයට ගැනීම බයිබලය අධෛර්ය කරයි. “එකිනෙකාට ප්‍රේමවීම මිස, අන් කිසිවක් ගැන කිසිවෙකුට ණයව නොසිටිල්ලා,” යනුවෙන් ප්‍රේරිත පාවුල් අනුශාසනා කරයි. (රෝම 13:8) එබැවින් ණයට ගැනීමට පෙර, එහි වියදම ගණන් බලන්න. (ලූක් 14:28 සසඳන්න.) මුදල් ණයට ගැනීම සඳහා සැබවින් ම අවශ්‍යතාවයක් තිබේ ද? එය, ඔබගේ පවුලේ අවශ්‍යතා සැපයීම සඳහා ඔබගේ ජීවිකාව පවත්වා ගැනීමට ද? (1 තිමෝති 5:8) එසේ නැත්නම්, ඇතැම් විට සුඛෝපභෝගී ව ජීවත් වීමට ආශාවක්—යම් ප්‍රමාණයක ගිජුකමක් එයට ඇතුළත් වේ ද?—1 තිමෝති 6:9, 10.
තවත් වැදගත් හේතුවක් වනුයේ ණයට ගැනීමෙන් වැඩි පැය ගණනක් වැඩ කිරීමට ඔබ ව බල කරනු ලබන අතර එමගින් රැස්වීම් සහ ක්ෂේත්‍ර සේවය මඟ හැරීමට සිදුවේ ද යන්නයි. තව ද, තවත් කෙනෙකුගේ මුදල් අවදානමකට ලක් කිරීමට ඔබට සැබවින් ම හැකි ද? එම ව්‍යාපාරය හෝ බාරගත් කටයුත්ත අසාර්ථක වූවා නම් තත්ත්වය කුමක් ද? මෙය මතක තබා ගන්න, “දුඦ්ටයා ණය ගෙන, නැවත නොගෙවයි.”—ගීතාවලිය 37:21.
ණයට දෙන අය සමඟ ‘සැබෑව කථා කිරීම’
එවන් හේතූන් සැලකුවායින් පසු ව වුවත්, ව්‍යාපාර ණයක් අවශ්‍ය වේ යයි ඔබට හැඟෙනවා විය හැක. බාහිර ක්‍රම මගින් එය ලබා ගැනීමට නොහැකි වේ නම්, හවුල් ක්‍රිස්තියානියෙකු වෙතට යෑම අනිවාර්යයෙන් ම වැරදි දෙයක් නොවේ, මන්ද යේසුස් වහන්සේ ලූක් 11:5 හි පැවසුවා සේ, අවශ්‍යතාවය තිබෙන විටක දී මිත්‍රයන් වෙතට යෑම සාමාන්‍ය දෙයකි. එසේ වුවත් “සැබෑව කථා කිරීම” සඳහා කෙනෙකු විශේෂ පරිශ්‍රමයක් දැරිය යුතු ය. (එපීස 4:25) තොරතුරු සියල්ලක් ම—විය හැකි පාඩු—කල් ගත වී සිදු විය හැකි යයි පෙනෙන ඒවා පවා අවංක ව විස්තර කරන්න. තව ද සිද්ධිය සම්බන්ධයෙන් සැබෑ පින්තූරයක් ලබා ගැනීමට ඔහුට ස්ථිර වීමට හැකි වන ලෙසින් ණය දීමට සිටින්නා ඍජු ප්‍රශ්න බොහෝමයක් ඇසුවහොත් අමනාප නොවන්න.c
එක් කාරණයක් සඳහා ණයට ගෙන පසු ව එය වෙනත් කාරණයක් සඳහා භාවිතා කිරීම සැබෑව කථා කිරීම වෙයි ද? කිසිසේත් නැත. ලතින් අමෙරිකාවේ බැංකුකරුවෙකු මෙසේ විස්තර කරයි: “බැංකුවක් ඔබගේ ණයකර අවලංගු කරනු ඇත, තව ද, ඔබ වහා ම ඔබගේ ණය නොගෙවන්නෙහි නම්, ඔබට අයත් දේවල් පවරා ගැනීම සඳහා උසාවි නියෝගයක් ඔවුන් ලබාගනු ඇත.” ණය ලබා ගැනීම මගින් ව්‍යාපාරයක ලාභය වැඩි කළ හැකි ය යන පදනම මත මුදල් ණයට දෙනු ලබයි නම්, එය වෙනත් කාරණයක් සඳහා භාවිතා කෙරේ නම්, ණය ගෙවා නිම කිරීම සඳහා වූ ණය දුන් තැනැත්තාගේ සහතිකය සොරා ගැනීමට සමාන ය. සෙසු ක්‍රිස්තියානියෙකුගෙන් ණයට ගන්නා විටක දී නීත්‍යානුකූල ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ඇතැම් විට ඔබ බිය නොවිය හැකි බව සැබෑවකි. කෙසේ වුවද, “ණයගන්නා ණයදෙන්නාට මෙහෙකරුවෙක්” වන බැවින් ඔහු සමඟ අවංක ව සිටීමට ඔබ බැඳී සිටින්නෙහි ය.—හිතෝපදේශ 22:7.
ව්‍යාපාරයේ දී රන් අණ අදාළ කර ගැනීම
යේසුස් වහන්සේ මෙසේ පැවසූ සේක: “එබැවින් මනුෂ්‍යයන් විසින් නුඹලාට යමක් යමක් කරනවාට නුඹලා කැමතිද නුඹලාත් එසේම ඔවුන්ට කරපල්ලා.” (මතෙව් 7:12) අප සෙසු විශ්වාස කරන්නෙකු සමඟ ව්‍යාපාර කටයුතුවල යෙදෙන විට, මෙම ආඥාව පවත්වා ගැනීම කොතරම් වැදගත් ද! නිදසුනක් වශයෙන්, ඔබ ණයක් ඉල්ලා සිටී විටෙක සහෝදරයෙකු එය දීමට ප්‍රතික්ෂේප කළා නම් ඔබ ප්‍රතික්‍රියා කරනුයේ කෙසේ ද? ඔහු ඔබගේ මිත්‍රත්වයට ද්‍රෝහී වූ බව ඔබට හැඟෙයි ද? එසේ නැතහොත් ඔහුගේ මුදල් ඔහුට අවශ්‍ය විය හැකි බව හෝ ඔබ සිතනවාටත් වඩා බරපතළ අන්දමකින් පාඩු සිදු වේ යයි ඔහු තක්සේරු කළ හැකි යයි තේරුම් ගනිමින්, ඔබගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට වූ ඔහුගේ අයිතියට ඔබ ගරු කරන්නෙහි ද? එම මුදල් ඵලදායක අන්දමකින් හැසිර වීමට වූ ඔබගේ හැකියාව සම්බන්ධයෙන් ඔහු අවංක ව විමසිය හැකි ය. එවන් තත්ත්වයක දී ඔහු එය ප්‍රතික්ෂේප කිරීම ප්‍රායෝගික හා ප්‍රේමනීය විය හැකි ය.—හිතෝපදේශ 27:6.
ඔබට මුදල් ණයට දීමට මිත්‍රයෙකු එකඟ වෙයි නම්, ණයට ගෙන ඇත්තේ කොපමණ ද, මුදල් කෙසේ භාවිතා කෙරේ ද, ණය සඳහා ඇප වශයෙන් කුමන වත්කම් වෙන්කොට තිබේ ද, හා එය නැවත ගෙවනු ලබන්නේ කෙසේ ද හා කවදා ද, යන සියලු දේ ඇතුළත් තොරතුරු, ලිඛිත ව විස්තර කළ යුතු ය. සමහර අවස්ථාවන්හි දී නීතිඥයෙකු විසින් ගිවිසුම සැලසුම් කිරීමට හෝ බැලීමට හා අධිකාරීන් සමඟ එය ලිපි ගොනු ගත කිරීම පවා ඥානවන්ත ක්‍රියාවක් වනු ඇත. කෙසේ වෙතත්, ගිවිසුමකට අත්සන තැබුවායින් පසු ව, “නුඹලා වචනය එසේය, එසේය කියාද; නැත, නැත කියාද වේවා.” (මතෙව් 5:37) ඔබ බැංකුවක් කෙරෙහි බැඳෙනවාක් මෙන් ම, ඔබගේ මිතුරා කෙරෙහි ඇති ඔබගේ බැඳීම ගැන බරපතළ ලෙස සලකා, ඔහුගේ හොඳ හිත ගැන ඔබ දන්නා නිසාවෙන් එම බැඳීමට ඇලී සිටීමට අසමත්වීමෙන් වළකින්න.
සුපරික්ෂාකාරී ව ණයට දෙන්නෝ
ණයක් ලබා ගැනීම සඳහා යමෙකු ඔබ වෙතට පැමිණියා නම් තත්ත්වය කුමක් ද? සම්බන්ධිත තත්ත්වයන් මත බොහෝ දේ රඳා පවතී. නිදසුනක් වශයෙන්, ඔහුගේ අතින් කිසි ම වැරැද්දක් නොමැති ව ම, ක්‍රිස්තියානි සහෝදරයෙකු ආර්ථික පරිහානියකට ලක් විය හැකි ය. ‘ඔහුගේ ශරීරයට අවශ්‍ය දේ දීමට’ ඔබට හැකියාව තිබේ නම්, එසේ කිරීමට ක්‍රිස්තියානි ප්‍රේමය ඔබ ව පොලඹවනු ඇත.—යාකොබ් 2:15, 16.
එවන් තත්ත්වයක දී පොලී නියම කිරීමෙන් සහෝදරයෙකුගේ විපතෙන් අනිසි ප්‍රයෝජන ගැනීම කොතරම් ප්‍රේමයෙන් තොර ක්‍රියාවක් වනු ඇත් ද! යේසුස් වහන්සේ මෙසේ උදක් ම ඉල්ලා සිටි සේක: “ඔබේ සතුරන්ට ප්‍රේම කරමින් ද යහපත කරමින් ද සිටින්න, පොලී නොමැති ව හා ආපසු කිසිවක් ලැබීමේ බලාපොරොත්තුවකින් තොර ව ණයට දෙන්න.”—ලූක් 6:35, NW; ලෙවී කථාව 25:35-38, සසඳන්න.
කෙසේ වෙතත්, ව්‍යාපාරික කටයුත්තකට මූල්‍ය උපකාරය සැපයීමට පමණක් හෝ ණයක් පිය වීමට ඔබගෙන් අසනු ලැබේ නම් කුමක් ද? පොදු වශයෙන්, එවන් කාරණා මුදල් ආයෝජන වශයෙන් සැලකීම වඩාත් සුදුසු ය. බයිබලය මෙසේ පැවසීමෙන් සුපරීක්ෂාකාරී වීමට පැහැදිලි ව අනුශාසනා කරයි: “අත්ගසන්නන් අතර නොවන්න, ණය ගැන ඇපවෙන කෙනෙක්වත් නොවන්න.”—හිතෝපදේශ 22:26, NW.
තත්ත්වය එසේ වන බැවින්, ඔබට ඇත්තෙන් ම ආයෝජන මුදල සැපයිය හැකි ද කියා ඔබ මුලින් ම තීරණය කළ යුතු ය. ව්‍යාපාරය අසාර්ථක වුවහොත් හෝ නියම වේලාවට ණය ගෙවා නිම කිරීමට ණයට ගත් තැනැත්තාට නොහැකි වුවහොත් ඔබට එය ආර්ථික විනාශයක් වේ ද? ඔබට ණය සැපයිය හැකි නම් හා එයින් ලාභ උපයා ගනු ලබයි නම්, ඔබගේ ණයට සාධාරණ පොලියක් අය කිරීමෙන් එයින් කොටසක් ලබා ගැනීමට ඔබට ද අයිතියක් තිබේ. (ලූක් 19:22, 23 සසඳන්න.) හිතෝපදේශ 14:15, [NW] මෙලෙස අනතුරු අඟවයි: “අත් දැකීම් අඩු තැනැත්තා හැම වචන ම විශ්වාස කරයි; එහෙත් සියුම් නුවණ ඇති තැනැත්තා තමාගේ පියවර හොඳින් සලකා බලයි.” හවුල් ක්‍රිස්තියානින් සමඟ ව්‍යාපාරයෙහි යෙදෙන විට සාමාන්‍යයෙන් දක්ෂ ව්‍යාපාරකයින් වුවත් කිසි ම වගතුවක් නොමැති ව ක්‍රියා කර ඇත. වැඩියෙන් පොලී ගෙවන උගුල්වල ආකර්ෂණයට ඇදී ගොස් ඇති සමහරු, අපරීක්ෂාකාරී ආයෝජනයන් කිරීම නිසා, තම මුදල් හා සෙසු ක්‍රිස්තියානින් සමඟ තම මිත්‍රත්වය යන දෙක ම අහිමි කර ගෙන තිබේ.
උනන්දුමත් කරුණක් නම්, ණයක් කොතරම් අවදානම් සහිත ද කියා තක්සේරු කිරීමේ දී බැංකුකරුවෝ බොහෝ විට කරුණු තුනක් සලකා බලති: (1) ණය ඉල්ලා සිටින තැනැත්තාගේ චරිතය, (2) නැවත ගෙවීමට වූ ඔහුට ඇති හැකියාව, සහ (3) ඔහුගේ ව්‍යාපාර ක්ෂේත්රයේ පැවතෙන තත්ත්වයන්. මහන්සියෙන් උපයා ගත් ඔබගේ මුදල් යමෙකුට ණයට දීමේ දී ද එයාකාරයෙන් දේවල් තක්සේරු කර බැලීම “ප්‍රායෝගික ප්‍රඥාව” දැක්වීමක් නොවනු ඇත් ද?—හිතෝපදේශ 3:21, NW.
නිදසුනක් වශයෙන්, මුදල් ඉල්ලා සිටින එම සහෝදරයාගේ කීර්ති නාමය කුමක් ද? ඔහු විශ්වාස කටයුතු, රඳා පැවතිය හැකි කෙනෙක් ද නැතහොත් අපරීක්ෂාකාරී සහ අස්ථිර කෙනෙකු ද? (1 තිමෝති 3:7 සසඳන්න.) ඔහුට ඔහුගේ ව්‍යාපාරය විශාල කිරීමට අවශ්‍ය වේ නම්, මෙතෙක් දක්වා ඔහු එය සාර්ථක ව කර තිබේ ද? (ලූක් 16:10) එසේ නොවේ නම්, වැරදි විධියට යොමු විය හැකි මුදල් ණයට දීමට වඩා, ඔහුගේ මුදල් කලමනාකරණය කිරීම සඳහා ප්‍රායෝගික උපකාරය සැපයීම ඔහුට වඩාත් උපකාරවත් විය හැකි ය.
තවත් කරුණක් වනුයේ නැවත ණය ගෙවීම සඳහා සහෝදරයාට ඇති හැකියාවයි. ඔහුගේ ආදායම කොපමණ ද? ඔහුට තිබෙන ණය මොනවා ද? ඔහු ඔබ සමඟ අවංක වේ යයි සිතීම සාධාරණ ය. එහෙත්, ක්‍රිස්තියානි ප්‍රේමය තවමත් පැවතිය යුතු ය. නිදසුනක් වශයෙන්, ඔබ එම සහෝදරයාගේ විකිණිය හැකි වත්කම්වලින් ණයට ඇපයක් නියම කිරීමට කැමති විය හැකි ය. ණයට ඇපයක් වශයෙන් මනුෂ්‍යයෙකුගේ ජීවිකාව හෝ ඔහුගේ මූලික බඩුබාහිරාදිය පැහැර ගැනීම මෝසෙස්ගේ ව්‍යාවස්ථාවේ හෙලා දකින ලදි. (ද්විතීය කථාව 24:6, 10-12) එබැවින් සහෝදරයෙකුගේ විකිණිය හැකි වත්කම්වලින් අඩක වටිනාකමට පමණක් ඔහු ණයට දෙන බව දකුණු අමෙරිකාවේ ව්‍යාපාරිකයෙකු වන සහෝදරයෙක් පවසයි. “ඔහුගේ ව්‍යාපාරයේ උපකරණ හෝ ඔහුගේ නිවස විකිණිය හැකි වත්කමක් හැටියට මම නොසලකමි,” යනුවෙන් ඔහු පැහැදිලි කරයි. “මගේ මුදල නැවත ලබා ගැනීම පිණිස මගේ සහෝදරයා ව පාරට දමා ඔහුගේ නිවස පැහැර ගැනීමට මට කොහෙත් ම වුවමනාවක් නැත.”
අවසාන වශයෙන්, ඔබ ජීවත්වන ප්‍රදේශයේ සාමාන්‍ය ව්‍යාපාරික තත්ත්වයන් යථාර්ථවාදී ලෙස සලකා බැලිය යුතු ය. අප ජීවත් වෙමින් සිටින්නේ මනුෂ්‍යයන් “මුදලට ප්‍රේම කරන්නෝව . . . ද්‍රෝහියෝව” සිටින “අන්තිම දවස්වල” ය. (2 තිමෝති 3:1-4) ඔබගේ සහෝදරයා අවංක විය හැකි නමුත්, ඔහුගේ ව්‍යාපාරයේ හවුල්කරුවන්, සේවකයන්, සහ සේවාදායකයන් එසේ නොවිය හැකි ය. ඔහු සමඟ තරඟ කරන්නන් තමන්ගේ ම ප්‍රයෝජනය සඳහා භාවිතා කරන උපායවල් වන—අල්ලස් ගැනීමෙහි හා බොරු කීමෙහි පිහිට ක්‍රිස්තියානියෙකු වශයෙන්, ඔහුට ලබා ගත නොහැකි ය. “කාලයත් හදිසි කාරණත්” මඟින් ඇති විය හැකි විනාශ ද සැලකිල්ලට ගත යුතු ව ඇත. (දේශනාකාරයා 9:11) වෙළඳ බඩුවල වටිනාකම හදිසියෙන් ම පහත වැටිය හැකි ය. ජවන උද්ධමනය නිසා ඔබගේ ව්‍යාපාරය විනාශයට පත් වීමට හෝ ඔබගේ ණයෙහි වටිනාකම මකා දැමීමට හැකි ය. සොරකම්, හදිසි අනතුරු, වස්තු මංකොල්ලකෑම, හා වෙනත් විපත් ද ව්‍යාපාරයක අසතුටුදායක ස්වභාවයන් ය. ඔබගේ තීරණය ගැනීමේ දී ඔබ මේ පැති සියල්ලක් ම සැලකිල්ලට ගත යුතු ය.
අසාර්ථක වීම
ඇතැම් අවස්ථාවන්හි, මේ සියලු දේ ගැන කලින් සුපරීක්ෂාකාරී වුවත්, ක්‍රිස්තියානියෙකුට ඔහුගේ ණය ගෙවීමට නොහැකි විය හැක. ඔහුගේ ණයහිමියා සමඟ නොකඩවා අදහස් හුවමාරු කිරීම සඳහා රන් අණ ඔහු ව පෙලඹ විය යුතුයි. ඇතැම් විට කලකට කළ හැක්කේ කුඩා ගෙවීම් පමණි. කෙසේ වෙතත්, කුඩා ප්‍රමාණයෙන් ගෙවන නිසා ඔහුගේ යුතුකම් ඉටුකරනු වස් සැබෑ පරිත්‍යාග කිරීමෙන් එය ඔහු ව නිදහස් කරන බව ක්‍රිස්තියානියෙක් නොසිතිය යුතු ය. (ගීතාවලිය 15:4) ක්රිස්තියානිවරයෙකු වන ණයහිමියාට ද ප්‍රේමය දැක්වීමට යුතුකමක් ඇත. තමා සමඟ වංචනික අන්දමකින් ක්‍රියා කර තිබේ යයි ඔහුට හැඟෙයි නම්, මතෙව් 18:15-17 හි ඇති උපදෙස් ඔහු විසින් අදාළ කර ගත හැකි ය.
මෙම ලිපියේ ආරම්භයේ දී, පෙඩ්රෝගේ කාරණය සම්බන්ධයෙන් වූ සේ ලෞකික අධිකාරීන් ව හවුල් කර ගැනීම, සුදුසු ක්‍රියාවක් වනුයේ කලාතුරකිනි. ප්‍රේරිත පාවුල් මෙසේ පවසයි: “නුඹලාගෙන් යමෙකුට තමාගේ අසල්වාසියාට විරුද්ධව කාරණයක් ඇත්නම්, ඔහු ශුද්ධවන්තයන් ඉදිරියෙහි නොව අධර්මමිඦ්ඨයන් ඉදිරියෙහි නඩු කියන්ට භය නැද්ද? මොකද? . . . තමාගේ සහෝදරයන් අතරේ විනිවිය කරන්ට පුළුවන්වූ එක ඥානවන්තයෙක්වත් නුඹලා අතරෙහි නැද්ද? නුමුත් සහෝදරයා සහෝදරයා සමග නඩු කියන්නේය, ඒකත් නොඇදහිලිකාරයන් ඉදිරියෙහිය. ඉතින් එකිනෙකා සමග නුඹලාට නඩු ඇතුව තිබීම දැනටම මුළුමනින්ම නුඹලාට පාඩුවක්ය. ඒ වෙනුවට නුඹලා අයුක්තිය නොවිඳින්නේ මන්ද? ඒ වෙනුවට අලාභය නොවිඳින්නේ මන්ද?”—1 කොරින්ති 6:1-7.
ලෞකික උසාවියක හෝ රජයේ ආයතනයක මැදිහත්වීම මගින් විසඳිය යුතු යයි පෙනෙන—නොඇදහිලිවන්ත හවුල්කරුවන් ව, ලෞකික සපයන්නන් ව, හෝ රක්ෂණ කාරණා ආදිය සම්බන්ධ කරන—ඇතැම් තත්ත්වයන් තිබිය හැකි ය. එහෙත් බොහෝ තත්ත්වයන්හි දී, ගෙවිය නොහැකි ණයක් නිසා සහෝදරයෙකු ව උසාවියක් ඉදිරියට ගෙන යාමෙන් සභාව ලජ්ජාවට පමුණුවීමට වඩා, ක්‍රිස්තියානිවරයෙක් යම් පමණක ආර්ථික පාඩු විඳීම හොඳ ය.
බොහෝ අවස්ථාවන්හි දී එවන් උග්‍ර තත්ත්වයන් මඟ හැරිය හැකි ය. කෙසේ ද? සහෝදරයෙකුට ණයට දීමට පෙර හෝ ණය ගැනීමට පෙර, විය හැකි අවදානම් ගැන කල්පනාකාරී සුපරීක්ෂාකාරී බව සහ ප්‍රඥාව ක්‍රියාවෙහි යොදවන්න. සියල්ලට වඩා “නුඹලා කරන සියල්ලම,” ව්‍යාපාරික කටයුතු ඇතුළත් ව, “ප්‍රේමයෙන් කරනු ලැබේවා.”—1 කොරින්ති 16:14. w91 10/15
[පාදසටහන්වල]
a නම් වෙනස් කර ඇත.
b තවමත් ඇතැම් රටවල්වල, බංකොලොත්වීම හා ණය පැහැර හැරීම වැනි දේවල ප්‍රතිඵලය සිර ගත කිරීම ය.
c සමහරු ණයට දෙන්නන් බොහොමයකගෙන් කුඩා ප්‍රමාණයෙන් ණයට ගෙන ඇත. සම්පූර්ණ තත්ත්වය සම්බන්ධයෙන් මුළු විස්තරයක් නොලබමින්, ණයට ගන්නාට පහසුවෙන් ණය ගෙවීමට හැකි වේ යයි ණයට දෙන සෑම කෙනෙක් ම, සිතිය හැකි ය.