යෙහෝවඃ වහන්සේ සහ ක්රිස්තුස් වහන්සේ—ප්රමුඛතම තොරතුරු දැනුම් දෙන්නෝ
“සැබවින් ස්වාමිවූ දෙවියන් වහන්සේ [ස්වාධිපති ස්වාමි වූ යෙහෝවඃ වහන්සේ NW] තමන්ගේ රහස [රහසිගත කාරණා NW] තමන් මෙහෙකරුවන්වූ අනාගතවක්තෘවරුන්ට එළිදරව් නොකර කිසිවක් නොකරන සේක.”—ආමොස් 3:7.
1. සන්නිවේදනය සඳහා අද දින භාවිතා වන ක්රම මොනවා ද?
අද දින සන්නිවේදනය වෙත් අදහස් හුවමාරුව, නොහොත් තොරතුරු දැනුම් දීම වනාහි ඩොලර් මිලියන ගණන් උපදවන ව්යාපාරයකි. පළ වෙමින් තිබෙන සියලු පොත්, නිති පතා මුද්රණය වෙමින් තිබෙන පුවත් පත් සහ සඟරා, විකාශනය කෙරෙන ගුවන් විදුලි හා රූපවාහිනි වැඩසටහන්, එමෙන් ම චලන රූප සහ නාට්ය දර්ශනයන් යන මේ සියල්ල ම අදහස් හුවමාරුවේ ප්රයත්නයන් ය. ලියා තැපැල් කරන සියලු ලිපි මෙන් ම සියලු දුරකථන පණිවුඩ සම්බන්ධ ව ද මෙය සත්යයක් වෙයි. සියල්ල ම සන්නිවේදනයට අයත් ප්රයත්නයන් ය.
2. සන්නිවේදනයේ තාක්ෂණික ක්ෂේත්රය තුළ මිනිසුන් විසින් දියුණු කර තිබෙන ඇතැම් දේවල නිදසුන් මොනවා ද?
2 සන්නිවේදනයේ තාක්ෂණික අංශයෙන් මිනිසුන් ලබා ඇති දියුණුව විස්මපත් කරවන සුලු ය. නිදසුනක් වශයෙන්, තඹ කේබල් වෙනුවට මහත් සේ දියුණු කරනු ලැබූ තන්තු-ප්රකාශ කේබල්වලට එක ම වේලාවේ දී දුරකථන සංවාදයන් දස දහස් ගණනක් රැගෙන යාමට හැකි ය. එමෙන් ම, දුරකථන, ටෙලිග්රාෆ් යන්ත්ර, ගුවන් විදුලි යන්ත්ර, සහ රූපවාහිනි සංඥා සමඟ පිළියවනය කරන [විද්යුත් තරංග මගින් සම්බන්ධ වන] උපකරණයන් සහිත සන්නිවේදන චන්ද්රිකාවන් පෘථිවිය වටා අජටාකාශයේ කක්ෂ ගත කොට ඇත. එවැනි චන්ද්රිකාවකට එක වර දුරකථන 30,000ක් හසුරු වන්නට පුළුවන!
3. අදහස් හුවමාරු කිරීමේ පරතරයන් තිබෙන විට සිදු වන්නේ කුමක් ද?
3 එහෙත් මේ සියලු සන්නිවේදන හෙවත් අදහස් හුවමාරු මාධ්යයන් තිබුණ ද, පුද්ගලයන් අතර අදහස් හුවමාරුවේ ඌනතාවයක් පවතින බැවින් ලෝකයට මහත් දුක්ඛිත භාවයක් උදා වී තිබේ. මේ හේතුවෙන්, “ආණ්ඩුකාරයන් හා ආණ්ඩු කරනු ලබන්නන් අතර වැඩෙමින් තිබෙන ආගාධයක්—‘අදහස් හුවමාරුවේ පුළුල් පරතරයක්’—තිබේ ය” යනුවෙන් අපට පවසනු ලැබ ඇත. දෙමාපියන් සහ ඔවුන්ගේ දරුවන් එකිනෙකා අතර සාර්ථක ලෙස අදහස් හුවමාරු කර ගැනීමට අපොහොසත් වීම මිස පරම්පරා පරතරය යයි හඳුන්වනු ලබන දෙයෙහි ඇති අරුත කුමක් ද? විවාහයන් හි තිබෙන ලොකු ම ගැටලුව නම්, සැමියා සහ බිරිඳ අදහස් හුවමාරු කර ගැනීමට අපොහොසත් වීම යයි විවාහ උපදේශකවරු වාර්තා කරත්. නිසි අයුරින් අදහස් හුවමාරු කර ගැනීමේ ඌනතාවය මරණයට පවා හේතු කර විය හැක. වර්ෂ 1990 හි මුල් අවධියේ දී, සිදු වූ ගුවන් යානා අනතුරක දී පුද්ගලයන් 73කට තම ජීවිත අහිමි වීමට හේතු වූයේ, මූලික වශයෙන් ම, ගුවන් නියමුවා සහ පාලන මැදිරිය අතර අදහස් හුවමාරු කර ගැනීමට අපොහොසත් වීම නිසා බව පෙනී ගියේ ය. එක් පුවත් පත් සිරස් තලයක මෙසේ ප්රකාශ කෙරිණ: “සන්නිවේදන අසීරුතාවය ශෝකාන්තයට තුඩු දුණි.”
4. (අ) “අදහස් හුවමරුව” යන්නෙන් අරුත් දෙන්නේ කුමක් ද? (ආ) ක්රිස්තියානි අදහස් හුවමාරුවේ ඉලක්කය කුමක් ද?
4 ක්රිස්තියානි අදහස් සම්බන්ධයෙන් ගත් කල, අදහස් හුවමාරුව යනු කුමක් ද? එක් ශබ්දකෝෂයකට අනුව, “අදහස් හුවමාරුව” යනුවෙන් අදහස් කරන්නේ, “සෑහීමකට පත් වන ලෙස ග්රහණය ලබා ගැනීමට හෝ තේරුම් ගැනීමට හැකි අයුරින් තොරතුරු, කල්පනා නැතහොත් හැඟීම්, එක් තැනකින් තව තැනකට යැවීම” යි. එය වනාහි “බලපෑමකින් යුතු ව අදහස් ප්රකාශ කිරීමේ ශිල්ප ක්රමයක් ය” යනුවෙන් තවත් ශබ්දකෝෂයක් අර්ථ දක්වයි. “බලපෑමකින් යුතු ව අදහස් ප්රකාශ කිරීම” යන්න සැලකිල්ලට ගන්න. ක්රිස්තියානි අදහස් හුවමාරුවේ ඉලක්කය නම්, අපේක්ෂා කරන අයුරින් තමන් ඉගෙන ගන්නා දේ මත ක්රියා කරනු වස්, දේව වචනයේ සත්යතාවයන් සමඟින් ජනයාගේ හදවත්වලට ළඟා වීම වන බැවින්, එය බලපෑමෙන් යුක්ත වීමට විශේෂ අවශ්යතාවයක් තිබේ. එය පොළඹවනු ලබන්නේ පරාර්ථකාමීත්වය සහ ප්රේමය මගින් වීම මෙහි අති විශේෂ කරුණකි.
යෙහෝවඃ වහන්සේ, තොරතුරු දැනුම් දෙන්නෙකු වශයෙන්
5. යෙහෝවඃ දෙවියන් වහන්සේ මිනිසා සමඟ අදහස් හුවමාරු කර ගත් ප්රථම මාර්ග අතුරින් එකක් කුමක් ද?
5 යෙහෝවඃ දෙවියන් වහන්සේ වනාහි ශ්රේෂ්ඨතම තොරතුරු දැනුම් දෙන තැනැත්තාණන් බවට කිසි සැකයක් නැත. ස්වකීය ස්වරූපයෙන් සහ සමානත්වයෙන් උන් වහන්සේ අප ව මවා තිබෙන නිසා අප සමඟ අදහස් හුවමාරු කිරීමට උන් වහන්සේට හැකියාව තිබෙන අතර, උන් වහන්සේ ගැන අන්යයන් සමඟ ද අදහස් හුවමාරු කිරීමට අපට හැකියාව තිබේ. මිනිසාගේ මැවීමේ පටන්, යෙහෝවඃ වහන්සේ ස්වකීය භූමික මැවිලි සමඟ උන් වහන්සේ ගැන ම අදහස් දක්වා ඇත. උන් වහන්සේ මෙය කර තිබෙන එක් මඟක් වන්නේ උන් වහන්සේගේ දෘශ්යමාන මැවිල්ල මගිනි. මෙබැවින්, ගීතිකාකරු අපට මෙසේ පවසයි: “අහස දෙවියන් වහන්සේගේ මහිමය ප්රකාශකරයි; ගුවන්තලය උන්වහන්සේගේ හස්ත කර්මාන්තය දක්වයි. දවාල දවාලට කථාකරයි. රාත්රිය රාත්රියට ඥානය දක්වයි.” (ගීතාවලිය 19:1, 2) දෙවියන් වහන්සේගේ “අදෘශ්යමාන ගුණාංග ලෝකයේ මැවීමේ පටන් පැහැදිලි ලෙස පෙනී යන්නේ ය” යයි රෝම 1:20, NW අපට දන්වයි. “පැහැදිලි ලෙස පෙනී යන්නේ ය” යන්නෙන් අඟවන්නේ බලපෑමෙන් යුත් අදහස් හුවමාරුව ය!
6. යෙහෝවඃ වහන්සේගේ භූමික මැවිලි ඒදන් උයනේ සිටි විට, උන් වහන්සේ ඔවුන් හට දැනුම් දුන්නේ කුමක් ද?
6 දෙවියන් වහන්සේ සහ උන් වහන්සේගේ දිව්යමය එළිදරව් වීම් කෙරෙහි විශ්වාසයක් නැති අය, මිනිසා පැවතීමට හේතුව නිගමනය කිරීමට තමාගේ ම උපක්රමයන් හි රැඳී සිටිය යුතු බවට අප විසින් විශ්වාස කරවීමට සලස්වති. එහෙත් දෙවියන් වහන්සේගේ වචනය පැහැදිලි ව ම පෙන්වන්නේ, ආරම්භයේ පටන් ම දෙවියන් වහන්සේ මිනිසා සමඟ අදහස් හුවමාරු කර ගත් බවයි. මේ අයුරින් දෙවියන් වහන්සේ පළමු මිනිසාට හා ස්ත්රියට තම වර්ගයා ව බිහි කිරීමට මෙම ආඥාව දුන් සේක: “නුඹලා බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණකොට ඒක යටත්කරගනිව්; . . . පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහි ද අධිපතිකම් කරව්.” එක ගසකින් හැර අනෙකුත් සියලු ම ගස්වලින් තමන්ට රිසි සේ කෑමට උන් වහන්සේ ඔවුන්ට අවසර දුන් සේක. ඉන් පසු, ආදම් සහ ඒව දෙවියන් වහන්සේට අකීකරු වූ අවස්ථාවේ දී, මිනිස් වර්ගයා හට බලාපොරොත්තුවේ දහරාවක් ඉදිරිපත් කරමින්, පළමු මෙසියානු පොරොන්දුව ගැන අදහසක් පළ කොට සිටි සේක; “මම තා [සර්පයා] සහ ස්ත්රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි; ඒ වංශය තාගේ හිස පොඩිකරන්නෙහිය. තෝ ඔහුගේ විලුඹ පොඩිකරන්නෙහිය.”—උත්පත්ති 1:28; 2:16, 17; 3:15.
7. යෙහෝවඃ වහන්සේ ස්වකීය සේවකයන් සමඟ අදහස් හුවමාරු කිරීම සම්බන්ධ ව උත්පත්ති පොත හෙළි කරන්නේ කුමක් ද?
7 ආදම්ගේ පුත් කායින් මිනීමරු ඊර්ෂ්යාවකින් පිරී ගිය විට, යෙහෝවඃ දෙවියන් වහන්සේ ඔහු සමඟ අදහස් හුවමාරු කර ගත්තේ මීට සමාන දෙයක් පැවසීමෙනි: ‘ප්රවේසම් වන්න! ඔබ කරදරයකට වැටෙන්නයි යන්නේ!’ නමුත් එම අනතුරු ඇඟ වීමට කීකරු වීම ප්රතික්ෂේප කළ කායින් තම සහෝදරයා ව මරා දැම්මේ ය. (උත්පත්ති 4:6-8) ඊට පසු ව, අපරාධවලින් සහ දුෂ්ටකමින් පොළොව පිරී ගිය විට, පොළොව දූෂණය කරමින් සිටියා වූ සියල්ලන් ව ඉවත් කරමින් එය පිරිසිදු කිරීමට වූ ස්වකීය අරමුණ ගැන ධර්මිෂ්ඨ මිනිසා වූ නෝවා සමඟ උන් වහන්සේ ස්වකීය අදහස් දක්වා සිටි සේක. (උත්පත්ති 6:13–7:5) ජල ගැල්මට පසු, නෝවා සහ ඔහුගේ පවුල නැවෙන් පිටතට පැමිණි විට, ජීවිතයේ සහ රුධිරයේ පරිශුද්ධ භාවය සම්බන්ධ ස්වකීය අරමුණ ගැන උන් වහන්සේ ඔවුන්ට දන්වා සිටි අතර, මින් පසු, ජල ගැල්මක් මගින් සියලු ජීවීන් යළිත් විනාශ නොකරන බවට දේදුන්නක් මාර්ගයෙන් සහතිකයක් දුන් සේක. ශතවර්ෂ කිහිපයකට පසු ව, ආබ්රහම්ගේ වංශය කරණ කොට ගෙන මිනිස් වර්ගයාගේ සියලු පවුල් තමන්ට ම ආශීර්වාද කර ගන්නා වූ ස්වකීය අරමුණ යෙහෝවඃ වහන්සේ ආබ්රහම්ට දැනුම් දුන් සේක. (උත්පත්ති 9:1-17; 12:1-3; 22:11, 12, 16-18) සොදොම් සහ ගොමෝරාවේ සල්ලාල මිනිසුන් ව විනාශ කරන බව දෙවියන් වහන්සේ ප්රකාශ කළ විට, උන් වහන්සේ ආබ්රහම් හට ඒ ගැන ප්රේමනීය ව අදහස් දක්වමින් මෙසේ පැවසූ සේක: “මා කරන්ට යන දේ ආබ්රහම්ගෙන් සඟවම්ද?”—උත්පත්ති 18:17.
8. යෙහෝවඃ වහන්සේ පොළොව මත ස්වකීය සේවකයන්ට තොරතුරු දැනුම් දී තිබෙන්නේ කිනම් මාර්ග හතර මගින් ද?
8 මෝසෙස්ගෙන් ආරම්භ කරමින් ඊශ්රායෙල් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට, යෙහෝවඃ වහන්සේ අනාගතවක්තෘවරුන් දිගු පෙළක් පාවිච්චි කළ සේක. (හෙබ්රෙව් 1:1) “මේ වචන ලියා ගනින්න” යයි මෝසෙස්ට පවසා සිටි අවස්ථාවේ දී මෙන්, සමහර අවස්ථාවල දී උන් වහන්සේ කට වචනයෙන් තොරතුරු ඉදිරිපත් කළ සේක. (නික්මයාම 34:27) ඊට වඩා වැඩි වාර ගණන්වල දී යෙහෝවඃ වහන්සේ ස්වකීය අදහස් තමන් වහන්සේගේ කථාකරන්නා හට දන්වා සිටියේ, උන් වහන්සේ එවිටමත් ආබ්රහම් සමඟ කර තිබුණාක් මෙන් දර්ශනයන් මාර්ගයෙනි.a මිනිසුන් සමඟ අදහස් දක්වා සිටීමට ස්වප්නයන් ද යෙහෝවඃ වහන්සේ විසින් භාවිතා කරනු ලැබූ අතර, උන් වහන්සේ එසේ කළේ ස්වකීය සේවකයන් සමඟ පමණක් නොව, නමුත් ස්වකීය සේවකයන් සමඟ කටයුතු කළා වූ අය සමඟත් ය. නිදසුනක් වශයෙන්, යෝසෙප් සමඟ සිටි සෙසු සිරකරුවන් දෙදෙනෙකු හට ස්වප්න දකින්නට ද, ඔහු විසින් එහි අර්ථය විස්තර කරන්නට ද උන් වහන්සේ මං උදා කළ සේක. යෙහෝවඃ වහන්සේ ස්වකීය සේවකයන් වූ යෝසෙප් සහ දානියෙල් ලවා තේරීමට මං උදා කළ ස්වප්න ඵාරාවෝ සහ නෙබුකද්නෙශර් විසින් ද දකින්නට අවස්ථාව ලබා දුන් සේක. (උත්පත්ති 40:8–41:32; දානියෙල් 2 සහ 4 වෙනි පරිච්ඡේද) මීට අමතර ව, බොහෝ අවස්ථාවන් හි දී, ස්වකීය සේවකයන් හට අදහස් දැක්වීමට යෙහෝවඃ වහන්සේ දේවදූතයන් ව යොදා ගත් සේක.—නික්මයාම 3:2; විනිශ්චයකාරයන්ගේ පොත 6:11; මතෙව් 1:20; ලූක් 1:26.
9. යෙහෝවඃ වහන්සේගේ ම ප්රකාශනයන්ගෙන් පෙනී යන පරිදි, ස්වකීය සෙනඟ සමඟ අදහස් හුවමාරු කර ගැනීමට උන් වහන්සේ ව පෙලඹ වූයේ කුමක් ද?
9 යෙහෝවඃ වහන්සේ ස්වකීය අනාගතවක්තෘවරුන් තුළින් දැන් වූ අදහස් දැක්වීම්වලින් පිළිබිඹු කළේ, ස්වකීය ඊශ්රායෙල් ජනයා උදෙසා උන් වහන්සේ තුළ වූ ප්රේමයයි. මේ හේතුවෙන්, උන් වහන්සේ ස්වකීය අනාගතවක්තෘ එසකියෙල් තුළින් මෙසේ ප්රකාශ කළ සේක: “දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරී ජීවත්වෙනවාට මිස, දුෂ්ටයා නසිනවාට මම ප්රසන්න නොවෙමි . . . ඉශ්රායෙල් වංශය හැරියල්ලා, නුඹලාගේ නපුරු මාර්ගවලින් හැරීයල්ලා; නුඹලා නසින්නේ මක්නිසාද”? (එසකියෙල් 33:11) යෙහෝවඃ වහන්සේ ස්වකීය කැරලිකාර පැරණි ජනතාව සමඟ බොහෝ කල් ඉවසමින් අදහස් දක්වා සිටින්නෙකු වූ බව 2 ලේකම් 36:15, 16න් දැකිය හැකි ය: “ඔවුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] ස්වකීය සෙනගටත් ස්වකීය වාසස්ථානයටත් අනුකම්පාකළ නිසා උන්වහන්සේ අලුයම්හි නැගිට පණිවිඩකාරයන් අත ඔවුන්ට කියා ඇරියසේක. එහෙත් සුවයක් නැති තරම් . . . ඔව්හු උන්වහන්සේගේ වචන සුළුකර, උන්වහන්සේගේ ප්රොපේතවරුන්ට නින්දාකළෝය.”
10. යෙහෝවඃ වහන්සේ, අද දින ස්වකීය ජනයාට තොරතුරු දැනුම් දෙන්නේ කෙසේ ද, තව ද උන් වහන්සේ තොරතුරු දැනුම් දීමේ දෙවිකෙනක් වන්නේ කොතරම් ප්රමාණයකට ද?
10 යෙහෝවඃ වහන්සේ තමන් වහන්සේ ගැන ද, ස්වකීය අරමුණු පිළිබඳ ව ද, එමෙන් ම අප සඳහා තමන් වහන්සේගේ කැමැත්ත ගැන ද අපට අදහස් දන්වා ඇති දේවානුභාවය ලත් වචනය වන ශුද්ධ බයිබලය අද දින අපට තිබේ. (2 තිමෝති 3:16) ඇත්ත වශයෙන් ම අත්යුත්කෘෂ්ට තොරතුරු දැනුම් දෙන තැනැත්තාණන් ලෙස, යෙහෝවඃ වහන්සේ ප්රකාශ කරන්නේ: “සැබවින් ස්වාමි වූ දෙවියන් වහන්සේ [ස්වාධිපති ස්වාමි වූ යෙහෝවඃ වහන්සේ NW] තමන්ගේ රහස තමන් මෙහෙකරුවන්වූ අනාගතවක්තෘවරුන්ට එළිදරව් නොකර කිසිවක් නොකරන සේක.” (ආමොස් 3:7) තමන් වහන්සේ කරන්නට අරමුණු කරන දෙය උන් වහන්සේ ස්වකීය සේවකයන් හට දැනගැනීමට අවස්ථාව දෙන සේක.
දේව පුත්රයාණන්, තොරතුරු දැනුම් දෙන්නෙකු වශයෙන්
11. මිනිසා වෙත තොරතුරු දැනුම් දීමේ දී යෙහෝවඃ වහන්සේගේ ප්රමුඛතම නියෝජිතයා කවරෙක් ද, තව ද “වාක්යයාණෝ” යන උන් වහන්සේගේ පදවි නාමය යෝග්යය වන්නේ මන්ද?
11 තමන් වහන්සේගේ තොරතුරු දැනුම් දීමට යෙහෝවඃ වහන්සේ පාවිච්චි කළා වූ සියලු මාධ්යයන් අතුරින් ප්රමුඛතම තැනැත්තා වාක්යයාණෝ ය, ලොගොස් ය, එනම් පසු ව යේසුස් ක්රිස්තුස් වහන්සේ වූ තැනැත්තාණන් ය. උන් වහන්සේ ව වාක්යයාණෝ හෙවත් ලොගොස් යනුවෙන් හැඳින්වීමෙන් අඟවන්නේ කුමක් ද? එනම් උන් වහන්සේ යෙහෝවඃ වහන්සේගේ ප්රධාන කථා කරන්නා බවයි. කථා කරන්නෙකු යනු කවරෙක් ද? පැවසීම සඳහා යමෙකුට ඇති දෙයක් දැනුම් දෙන්නා ය. මෙලෙසින්, ලොගොස්, යෙහෝවඃ දෙවියන් වහන්සේගේ බුද්ධිමත් භූමික මැවිලිවලට උන් වහන්සේගේ වචනය ගැන අදහස් දක්වන්නා බවට පත් වූයේ ය. මෙම කාර්ය භාරය එතරම් වැදගත් වූ හෙයින් උන් වහන්සේ ව වාක්යයාණෝ යනුවෙන් හඳුන්වනු ලැබ තිබේ.—යොහන් 1:1, 2, 14.
12. (අ) යේසුස් වහන්සේ පොළොවට පැමිණියේ කිනම් අරමුණක් සඳහා ද? (ආ) උන් වහන්සේ එම අරමුණ විශ්වාසවන්ත ව ඉටු කළ බවට ඇති සාක්ෂිය කුමක් ද?
12 තමා පොළොවට පැමිණීමේ ප්රධාන අරමුණ වූයේ සත්යය මිනිස් වර්ගයා වෙත දැනුම් දීම බව යේසුස් වහන්සේ ම පොන්තියුස් පිලාත්ට පැවසූ සේක. “ඒ පිණිස මම ඉපිද සිටිමි, මා ලෝකයට ඇවිත් සිටින්නේ සත්යයට සාක්ෂිදෙන පිණිසය.” (යොහන් 18:37) එමෙන් ම එම පැවරුම උන් වහන්සේ කොතරම් හොඳින් ඉටු කළා දැයි ශුභාරංචි පොත්වල සඳහන් වාර්තාවන් අපට පවසයි. උන් වහන්සේගේ කන්ද උඩ දේශනාව, මිනිසෙක් විසින් එතෙක් මෙතෙක් කළ ශ්රේෂ්ඨතම දේශනාව යයි හඳුන්වනු ලැබේ. එම දේශනාව තුළින් උන් වහන්සේ කොතරම් හොඳින් තොරතුරු දන්වා සිටි සේක් ද! “සමූහයෝ [දේශනාව ඇසූ අය] උන්වහන්සේගේ ඉගැන්වීම ගැන විස්මයට පත්වූවෝය.” (මතෙව් 7:28) වෙනත් අවස්ථාවක් සම්බන්ධ ව අපට මෙසේ කියවීමට තිබේ: “සාමාන්ය ජනයා [විශාල සමුහයක්, NW] උන්වහන්සේට සන්තෝෂයෙන් ඇහුම්කන්දුන්නෝය.” (මාර්ක් 12:37) යේසුස් වහන්සේ ව අත් අඩංගුවට ගැනීම සඳහා එක්තරා නිලධාරින් පිරිසක් යවනු ලැබූ විට, උන් වහන්සේ නොමැති ව ඔවුහු ආපසු පැමිණියෝ ය. ඒ මන්ද? ඔවුහු ඵරිසිවරුන්ට පිළිතුරු දෙමින්: “මනුෂ්යයෙක් කිසිකලක මෙසේ කථා කළේ නැත.”—යොහන් 7:46.
තොරතුරු දැනුම් දෙන්නන් වීමට බලය පවරනු ලැබූ ක්රිස්තුස් වහන්සේගේ ගෝලයෝ
13. තනි ව ම තොරතුරු දැනුම් දෙන්නෙකු වශයෙන් යේසුස් වහන්සේ සෑහීමට පත් නොවූ බව පෙනී යන්නේ කුමකින් ද?
13 තනි ව ම අදහස් හුවමාරු කරන්නෙකු වීමෙන් සෑහීමකට පත් නොවූ යේසුස් වහන්සේ, ප්රථමයෙන් ප්රේරිතයන් 12කට සහ පසු ව එවැන්ජලිස්තවරුන් 70 දෙනෙකුට රාජ්යයේ ශුභාරංචිය පිළිබඳ ව තොරතුරු දැනුම් දෙන්නෙකු වශයෙන් බලය පැවරූ සේක. (ලූක් 9:1; 10:1) ඉන් පසු ව, උන් වහන්සේ ස්වර්ගයට නැගීමට මොහොතකට පෙර, අතිශයින් වැදගත් විශේෂ කාර්යයක් සඳහා සිය ගෝලයන්ට නියෝග කළ සේක. කුමන කාර්යයක් ද? මතෙව් 28:19, 20 දී අපට කියවීමට තිබෙන ලෙස තොරතුරු දැනුම් දෙන්නන් වීමට උන් වහන්සේ ඔවුන්ට උපදෙස් දුන් අතර, තොරතුරු දැනුම් දෙන්නන් වීම සඳහා ඔවුන් විසින් අන්යයන්ට ඉගැන්වීමට තිබිණි.
14. මුල් ක්රිස්තියානි තොරතුරු දැනුම් දෙන්නන් කොතරම් බලපෑමෙන් යුක්ත වී ද?
14 ගෝලයන් බලපෑමෙන් යුත් තොරතුරු දැනුම් දෙන්නන් වූවා ද? ඔවුහු ඇත්තට ම එසේ වූහ! පොදු යුගයේ 33, පෙන්තකොස්ත දවසේ, ඔවුන්ගේ දේශනාවේ ප්රතිඵලයක් වශයෙන්, අලුතෙන් පිහිටුවනු ලැබූ සභාවට 3000ක් එකතු කරන ලදි. වැඩි කල් යන්නට මත්තෙන්, එම සංඛ්යාව මිනිසුන් 5000 දක්වා ඉහළ නැංගේ ය. (ක්රියා 2:41; 4:4) ඔවුන්ගේ ඉගැන්වීම්වලින් ඔවුන් යෙරුසලම පුරවා ඇති බවට චෝදනා කර, ඔවුන්ගේ දේශනාවලින් මුළු ජනාවාස පොළොව පෙරළා ඇතැයි ඔවුන්ගේ යුදෙව් එදිරිවාදීන් විසින් පැමිණිලි කිරීම පුදුමයට කරුණක් නොවී ය!—ක්රියා 5:28; 17:6.
15. නවීන කාලවල දී මිනිසා වෙත තොරතුරු දැනුම් දීමට යෙහෝවඃ වහන්සේ භාවිතා කොට ඇත්තේ කිනම් මාධ්යය ද?
15 නවීන කාලයන් ගැන කුමක් කිව හැකි ද? මතෙව් 24:3, 45-47 හි පුරෝකථනය කර ඇති පරිදි, ස්වාමියා වන යේසුස් ක්රිස්තුස් වහන්සේ, තමන් වහන්සේගේ පැමිණ සිටීමේ දවස තුළ දී පොළොව මත තමාට අයත් සියල්ල ගැන රැක බලා ගැනීමට ආලේප ලත් ක්රිස්තියානින්ගෙන් සැදුම් ලත් “විශ්වාසවන්ත නුවණැති දාසයා” පත් කොට තිබෙන සේක. අද දින එම විශ්වාසවන්ත නුවණැති දාසයා යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය මගින් නියෝජනය කරනු ලබන අතර, වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්රැක්ට් සොසයිටි එහි ප්රචාරක නියෝජිත වශයෙන් කටයුතු කරයි. එම විශ්වාසවන්ත නුවණැති දාසයා ව දෙවියන් වහන්සේගේ අදහස් දැනුම් දෙන්නා වූ මාධ්යය ලෙස ද හඳුන්වනු ලැබ තිබීම ඉතා යෝග්ය ය. අනික් අතට, එය හොඳින් තොරතුරු දැනුම් දෙන්නන් වීමට අප හට දිරිගන්වයි. ඇත්තෙන් ම, සයන්ස් වොච්ටවර් ඇන්ඩ් හෙරල්ඩ් ඔෆ් ක්රයිස්ට්ස් ප්රෙසන්ස් සඟරාවේ පළමු කලාපයෙහි ම, එහි පාඨකයන් වෙත උපදෙස් දී සිටියේ මෙසේ ය: “[මෙම සඟරාවේ] උපදෙස්වලින් ප්රයෝජන ලැබිය හැකි හෝ ඒ ගැන උනන්දුවක් දක්වන්නා වූ ඔබගේ අසල් වාසියෙකු හෝ මිතුරෙකු සිටී නම්, මෙය ඔවුන්ගේ අවධානයට ලක් කිරීමට ඔබට හැක; මේ අයුරින්, ඔබට ඉඩ ප්රස්තා තිබෙන හැටියට වචනය දේශනා කිරීමෙන් සියලු මනුෂ්යයන්ට ඔබ යහපත කරන්නෙහි ය.”
16. ස්වකීය සේවකයන් හට වඩාත් බලපෑමෙන් යුතු ව තොරතුරු දැනුම් දීමට බයිබලයට වඩා යමක් දෙවියන් වහන්සේට අවශ්ය බව පෙන්වන්නේ කුමකින් ද?
16 කෙසේ වුවද, යමෙකු ව ජීවනයේ මාර්ගයට ගෙන එන ඒකාන්ත දැනුම ලබා ගැනීමට දේව වචනය නිකම් ම පෙරලීමට හුරුපුරුදු වීම හා එය පුද්ගලික ව කියවීම ප්රමාණවත් නොවේ. යෙසායාගේ අනාවැකිය කියවමින් සිටි නමුත් තමා කියවමින් සිටි දෙය තේරුම් ගැනීමට අපහසු වූ එතියෝපීය අධිකරණ නිලධාරියා ගැන මතක් කරන්න. එවැන්ජලිස්ත පිලිප් ඔහුට අනාවැකිය පහදා දුන් අතර, ඉන් පසු ව, යේසුස් වහන්සේගේ ගෝලයෙක් ලෙස බව්තීස්ම වීමට ඔහු සූදානම් විය. (ක්රියා 8:27-38) යමෙකු තමා විසින් ම නිකම් ම බයිබලය කියවනවාට අමතර ව බොහෝ දේ අවශ්ය කරවන බව එපීස 4:11-13න් දැකිය හැකි ය. මෙහි දී ක්රිස්තුස් වහන්සේ, සමහරෙකු ව ආනුභාව ලත් ප්රේරිතයන් සහ අනාගතවක්තෘවරුන් ලෙස පමණක් නොව, “සමහරුන් ශුභාරංචිය ප්රකාශ කරන්නන්ද සමහරුන් සභාපාලකයන්ද [එඬේරුන් ද NW] සමහරුන් ගුරුවරුන්ද කොට දුන්නේ ඇදහීමේද දෙවියන්වහන්සේගේ පුත්රයා දැනගැනීමේද එකමුතුකමටත්, සම්පූර්ණ පුරුෂකමටත්, ක්රිස්තුස් වහන්සේගේ සම්පූර්ණවූ උස මහතේ ප්රමාණයටත් අප සියල්ලන් පැමිණෙනතෙක් ශුද්ධවන්තයන්ගේ සම්පූර්ණවීම සඳහා සේවය කිරීමේ වැඩය පිණිසත් ක්රිස්තුස්වහන්සේගේ ශරීරයේ වර්ධනයවීම පිණිසත්ය,” බව පාවුල් එහි පෙන්වී ය.
17. මිනිස් වර්ගයාට ස්වකීය අරමුණු ගැන දැනුම් දීම සඳහා යෙහෝවඃ වහන්සේ අද දින භාවිතා කරන්නා වූ මාධ්යය අපට හඳුනා ගත හැක්කේ කිනම් හඳුනා ගැනීමේ ලකුණු මගින් ද?
17 හොඳින් වැඩුණු මිනිසෙකුගේ තත්ත්වයට පත් වනු සඳහා, ක්රිස්තියානින් බවට පත්වීමට සිටින ජනයාට උපකාර කිරීමට යෙහෝවඃ දෙවියන් වහන්සේ සහ යේසුස් ක්රිස්තුස් වහන්සේ උපයෝගි කර ගනිමින් සිටින්නේ කවුරුන් දැයි අප හඳුනා ගන්නේ කෙසේ ද? යේසුස් වහන්සේ පැවසූ ලෙස, හඳුනා ගැනීමට තිබෙන ලකුණුවලින් එකක් නම්, යේසුස් වහන්සේ සිය ගෝලයන්ට ප්රේම කළාක් මෙන්, මේ අය ද එකිනෙකාට ප්රේම කරනු ඇති බවයි. (යොහන් 13:34, 35) හඳුනා ගැනීමේ තවත් ලකුණක් නම්: යේසුස් වහන්සේ ලෝකයේ කොටසක් නොවුණාක් මෙන් ඔවුන් ද ලෝකයේ කොටසක් නොවනු ඇති බව ය. (යොහන් 15:19; 17:16) තවත් ලකුණක් වනු ඇත්තේ, යේසුස් වහන්සේ කළාක් මෙන්, ඔවුන් දේව වචනය සත්යය ලෙස පිළිගෙන, නොකඩවා එහි අධිකාරය ලබා ගැනීම ය. (මතෙව් 22:29; යොහන් 17:17) යේසුස් වහන්සේ කළාක් මෙන්, දෙවියන් වහන්සේගේ නාමය පෙරමුණට දැමීම තවත් ලකුණක් වනු ඇත. (මතෙව් 6:9; යොහන් 17:6) තවත් ලකුණක් වනු ඇත්තේ යේසුස් වහන්සේගේ ආදර්ශය අනුගමනය කරමින් දෙවියන් වහන්සේගේ රාජ්යය ගැන දේශනා කිරීමයි. (මතෙව් 4:17; 24:14) මේ අවශ්යතාවයන් සපුරා ලන්නේ එක ම කණ්ඩායමක් පමණි, ඔවුන් නම්, ජාත්යන්තර මට්ටමින් අදහස් තොරුතුරු දැනුම් දෙන්නන් හා ක්රිස්තියානි භක්තිකයන් වන යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ ය.
18. මතු ලිපිවල සලකා බලනු ඇත්තේ අදහස් හුවමාරු කර ගැනීමේ ලා වූ කුමන පැති ද?
18 කෙසේ වෙතත්, අදහස් හුවමාරුව කීමෙන් අන්යයන් කෙරෙහි ද වගකීමක් තිබෙන බවක් අඟවයි. ක්රිස්තියානින් වගකීමෙන් බැඳී සිටින්නේ කා සමඟ අදහස් හුවමාරු කර ගැනීමට ද? මූලික වශයෙන්, අදහස් උදහස් බෙදා ගැනීමේ මාර්ගයන් විවෘත ව තබා ගැනීමේ ලා ක්රිස්තියානින් සැලකිල්ල දැක්විය යුතු පැති තුනක් තිබේ. ඒවා නම්: පවුල් කවය, ක්රිස්තියානි සභාව, සහ ක්රිස්තියානි ක්ෂේත්ර සේවයයි. අපගේ විෂයේ මෙම පැති පිළිබඳ ව මතු ලිපිවල සලකා බලනු ඇත. w91 9/1
[පාදසටහන්වල]
a උත්පත්ති 15:1; 46:2; නික්මයාම 8:4; 2 සාමුවෙල් 7:17; 2 ලේකම් 9:29; යෙසායා 1:1; එසකියෙල් 11:24; දානියෙල් 2:19; ඔබදියා 1; නාහුම් 1:1; ක්රියා 16:9; එළිදරව් 9:17 බලන්න.
ඔබ කෙසේ පිළිතුරු දෙනු ඇත් ද?
◻ අදහස් හුවමාරුවේ ඌනතාවයෙන් කුමන හානිකර ප්රතිඵල ඇති විය හැකි ද?
◻ තොරතුරු දැනුම් දීමේ දී ප්රමුඛත්වය ගන්නා වූ දෙදෙනා වන්නේ කවරහු ද?
◻ මිනිසා වෙත තොරතුරු දැනුම් දීමට දෙවියන් වහන්සේ භාවිතා කොට ඇති විවිධ මාර්ග මොනවා ද?
◻ තොරතුරු දැනුම් දෙන්නෙකු වශයෙන් යේසුස් වහන්සේ නිපුණත්වයක් දැක්වූයේ කෙසේ ද?
◻ තොරතුරු දැනුම් දීමේ දී මුල් ක්රිස්තියානින් සාර්ථක වූයේ කෙසේ ද?
[18වන පිටුවේ පින්තූරය]
සිය ස්වර්ගීය පියාණන් මෙන්, යේසුස් වහන්සේ දයානුකම්පිත තොරතුරු දැනුම් දෙන්නෙකු වූ සේක