“සියලු ආකාර යහපත්කම” විදහාපෑම
“ආලෝකයේ ඵල නම් සියලු ආකාර යහපත්කම . . . ය’’—එපීස 5:29.
1, 2. පුරාණ කාලවල පටන් පැවත ඇත්තේ කුමන කණ්ඩායම් දෙක ද, අද දින ඔවුන්ගේ තත්ත්වය කොතරම් වෙනස් ද?
ඒදන් උයනේ කැරැල්ලට පසුව, එනම් මීට වසර හය දහසකට පමණ පෙර, නෝවාගේ දවස්වල ජල ගැල්මට පසු යළිත් වරක්, මිනිස් වර්ගයා කණ්ඩායම් දෙකකට හෙවත් සංවිධාන දෙකකට වෙන් වී, ඉන් එකක් යෙහෝවඃ වහන්සේට සේවය කිරීමට ප්රයත්නයක් දැරුවා වූ අයගෙන් සෑදුණු අතර, අනෙක සෑදී තිබුණේ සාතන් ව අනුගමනය කළ අයගෙනි. මෙම සංවිධාන තවමත් පවතිනවා ද? සහතික ව ම ඒවා පවතී! මෙම කණ්ඩායම් දෙක ගැන සඳහන් කළ යෙසායා, අපගේ කාලයේ දී ඔවුන්ගේ තත්ත්වය පුරෝකථනය කළේ ය: “එසේය, පොළොව අන්ධකාරයෙන්ද, ජනයෝ තද අන්ධකාරයෙන්ද වසනු ලබන්නෝය. නුමුත් නුඹ කෙරෙහි ස්වාමින්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] උදාවන සේක, උන්වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි පෙනෙන්නේය.”—යෙසායා 60:1, 2.
2 එසේ ය, මෙම සංවිධාන දෙක අතර තිබෙන වෙනස, අන්ධකාරය හා ආලෝකය අතර තිබෙන වෙනස තරම් මහත් ය. ආලෝක කදම්භයක්, අඳුරේ සිටින මිනිසෙකු ව ආකර්ෂණය කරගන්නාක් මෙන්, මෙම අඳුරු ලෝකය තුළ බබළන යෙහෝවඃ වහන්සේගෙන් පැමිණෙන ආලෝකය, හරි හෘදයක් ඇති මිලියන සංඛ්‍යාත අය දෙවියන් වහන්සේගේ සංවිධානය දෙසට ආකර්ෂනය කොට තිබේ. යෙසායා පවසා තිබුණාක් මෙන්: “ජාතීන් [වෙනත් බැටළුවන්] නුඹේ ආලෝකයටද රජවරුන් [ආලේප ලත් රාජ්‍යය උරුමක්කාරයන්] නුඹේ උදාවීමේ දීප්තියටද එනවා ඇත.”—යෙසායා 60:3.
3. ක්‍රිස්තියානින් යෙහෝවඃ වහන්සේගේ මහිමය විදහා පාන්නේ කුමන මාර්ගවලින් ද?
3 යෙහෝවඃ වහන්සේගේ සෙනඟ උන් වහන්සේගේ මහිමය විදහාපාන්නේ කෙසේ ද? එක් දෙයක් නම්, ඔවුහු දෙවියන් වහන්සේගේ ස්ථාපිත කරන ලද ස්වර්ගික රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරති. (මාර්ක් 13:10) නමුත් මීටත් වඩා, ඔවුහු යහපත්කමේ පරම ආදර්ශය වන යෙහෝවඃ වහන්සේ ව අනුකරණය කරන අතර, මෙලෙසින්, ඔවුන්ගේ හැසිරීම මගින්, මොළොක් ගුණැති අය ව ආලෝකය වෙතට ඇද ගනිති. (එපීස 5:1) පාවුල් මෙසේ පැවසුවේ ය: “වරක් නුඹලා අන්ධකාරව සිටිය නුමුත්, දැන් ස්වාමීන්වහන්සේ තුළ ආලෝකයව සිටින්නහුය. ආලෝකයේ දරුවන් මෙන් හැසිරියල්ලා.” ඔහු තව දුරටත් මෙසේ පැවසී ය: “ආලෝකයේ ඵල නම්, සියලු ආකාර යහපත්කමත්, ධර්මිෂ්ඨකමත් සැබෑකමත්ය. ස්වාමීන්වහන්සේට ප්‍රසන්නව තිබෙන්නේ කිමෙක්ද කියා විභාගකරපල්ලා. අන්ධකාරයේ ඵල නැති ක්‍රියාවලට හවුල් නොවී, සිටපල්ලා.” (එපීස 5:8-11) “සියලු ආකාර යහපත්කම” යනුවෙන් පාවුල් අදහස් කළේ කුමක් ද?
4. යහපත්කම යනු කුමක් ද, මෙය ක්‍රිස්තියානියෙකු තුළ දකිනු ඇත්තේ කෙසේ ද?
4 අපගේ ඉහත ලිපියෙන් (ජනවාරී 1, 1992 කලාපය) පෙන්නුම් කළාක් මෙන්, යහපත්කම යනු සදාචාරාත්මක උත්කෘෂ්ඨභාවයේ හෙවත් ගුණාත්මක බලයේ ගුණාංගයකි, නැත්නම් තත්ත්වයකි. සර්ව සම්පූර්ණ අර්ථයෙන් යහපත් වන්නේ යෙහෝවඃ වහන්සේ පමණක් බව යේසුස් වහන්සේ පැවසූ සේක. (මාර්ක් 10:18) කෙසේ වෙතත්, ශුද්ධාත්මයේ ඵලයක් වශයෙන් යහපත්කම වර්ධනය කිරීම මගින් ක්රිස්තියානිවරයෙකුට යෙහෝවඃ වහන්සේ ව අනුකරණය කළ හැක. (ගලාති 5:22) “යහපත්කම” යන්නට තිබෙන ඇ·ග·තොස්ʹ [a·ga·thosʹ] යන ග්‍රීක් වචනය ගැන විවරණය කිරීමේ දී, වයින්ස් එක්ස්පොසිටරි ඩික්ෂනරි ඔෆ් ඕල්ඩ් ඇන්ඩ් න ටෙස්ටමන්ට් වර්ඩ්ස් පවසන්නේ, “ස්වභාවයෙන් හෝ චරිතලීලාවෙන් යහපත්වන යමක් එහි ප්‍රතිඵලයේ දී ප්‍රයෝජන දායක ය,” යනුවෙනි. එම නිසා, යහපත්කම වර්ධනය කරන්නා වූ ක්‍රිස්තියානියෙක් යහපත් ව සිටින්නාක් මෙන් ම යහපත කරයි. (ද්විතීය කථාව 12:28 සසඳන්න.) යහපත්කමට විරුද්ධ වූ “අන්ධකාරයේ ඵල නැති ක්‍රියාවලින්” ද ඔහු වැළකී සිටිනු ඇත. “යහපත්කමේ ආකාරයන්” කියා පාවුල් පැවසුවේ, ක්‍රිස්තියානි වරයෙකුට තමාගේ හැසිරීමේ දී යහපත්කම විදහා පෙන්විය හැකි විවිධ මාර්ගයන් ය. මේවායින් සමහරක් මොනවා ද?
“යහපත කරමින් සිටින්න”
5. යහපත්කමේ එක් අංගයක් කුමක් ද, තව ද ක්‍රිස්තියානිවරයෙක් එය වර්ධනය කළ යුත්තේ මන්ද?
5 මේවායින් එකක් පාවුල් රෝම වරුන්ට ලියා යැවූ තමාගේ ලිපියේ යොමු දක්වා තිබේ. “බලයලත් මුලාදෑනින්” හට යටත් වීම ගැන කථා කිරීමේ දී ඔහු මෙසේ පැවසී ය: “නුඹ මුලාදෑනියාට භයක් නැතුව සිටින්ට කැමැත්තෙහිද? යහපත් දේ කරපන්න, [කරමින් සිටින්න NW] එවිට ඔහුගෙන් නුඹට ප්‍රශංසාව ලැබේ.” මෙහි දී ඔහු “යහපත” යන්නෙන් අදහස් කරන්නේ, ලෝක අධිකාරින්ගේ නීතිවලට හා විධිවිධානයන්ට කීකරුකම දැක්වීමයි. ක්‍රිස්තියානි වරයෙක් මේවාට යටත් විය යුත්තේ මන්ද? අධිකාරීන් සමඟ අනවශ්‍ය ගැටුම් හා ඉන් ඇති වන දඬුවම්වලින් වැළකීමටත්, මීටත් වඩා වැදගත් ලෙස, දෙවියන් වහන්සේ ඉදිරියේ පිරිසිදු හෘදය සාක්ෂියක් පවත්වා ගැනීමටත් ය. (රෝම 13:1-7) යෙහෝවඃ දෙවියන් වහන්සේ විසින් පැවතීමට අවසර දී ඇති අධිකාරීන්ට විරුද්ධ ව, උන් වහන්සේට කීකරුකම දක්වන්නා වූ ක්රිස්තියානිවරයකු කැරලි නොගසනුයේ, “රජ්ජුරුවන්ට ගෞරව කරන්න” යන සිද්ධාන්තයට කීකරුවීමක් වශයෙනි. (1 පේතෘස් 2:13-17) මෙමගින්, ක්‍රිස්තියානිහු යහපත් අසල්වැසියන් සහ යහපත් පුරවැසියන් වෙති, එමෙන් ම යහපත් ආදර්ශකයෝ ද වෙති.
අන්‍යයන් කෙරෙහි සැලකිලිමත් වීම
6. (අ) යහපත්කමේ තවත් අංගයක් කුමක් ද? (ආ) අපගේ සැලකිල්ල ලැබීමට වටින්නේ යයි බයිබලයේ සඳහන් කරන්නේ කාව ද?
6 යෙහෝවඃ වහන්සේගේ යහපත්කම, පොළොවේ සියලු වැසියන්ට “අහසෙන් වර්ෂාව සහ සාරවත් කාලවල්” ලබා දීමෙන් විදහා පා ඇත. ‘කෑමෙන්ද සන්තෝෂයෙන්ද තෘප්තිමත් වීම’ මෙහි ප්‍රතිඵලය වී තිබෙන අතර, උන් වහන්සේ සැබවින් ම සැලකිලිමත් දෙවියන් වහන්සේ වන සේක. (ක්‍රියා 14:17) අන්‍යයන් කෙරෙහි සුළුවෙන් හෝ විශාල වශයෙන් හෝ සැලකිල්ල දැක්වීමෙන් අපට මේ සම්බන්ධයෙන් උන් වහන්සේ ව අනුකරණය කළ හැක. විශේෂයෙන් කා උදෙසා ද? “නුඹලා අතරෙහි වෙහෙසගන්නාවූ, ස්වාමීන්වහන්සේ තුළ නුඹලා කෙරෙහි ප්‍රධානකම් කරන්නාවූ, නුඹලාට දැනමුතුකම් දෙන්නාවූ” වැඩිමහල්ලන් ගැන පාවුල් විශේෂයෙන් යොමු දක්වයි. “ඔවුන්ගේ වැඩේ නිසා ප්‍රේමයෙන් ඔවුන් ඉතා [සාමාන්යට වඩා NW] උතුම්කොට සලකන ලෙස” ඔහු ක්රිස්තියානින්ගෙන් උදක් ම ඉල්ලා සිටියි. (1 තෙසලෝනික 5:12, 13) අපට මෙය කළ හැක්කේ කෙසේ ද? ඔවුන් සමඟ සම්පූර්ණයෙන් ම සහයෝගයෙන් වැඩ කිරිමෙනි—නිදසුනක් වශයෙන්, රාජ්‍යය ශාලාවේ අවශ්‍ය වැඩ කටයුතුවලට හවුල් වීමෙනි. අවශ්‍ය විට දී උපකාර පතා වැඩිමහල්ලන් වෙත එළැඹීමට නිදහස් හැඟීමක් සැම විට ම තිබෙන අතර, අසාධාරණ ලෙස දේවල් නොඉල්ලිය යුතුයි. ඒ වෙනුවට, මොවුන්ගෙන් බොහෝ දෙනෙකුට සභා වගකීම්වලට අමතර ව පවුල් වගකීම් ද ඇති බැවින්, වෙහෙස මහන්සි වී වැඩ කරන මෙම එඬේරුන්ගේ බර සැහැල්ලු කිරීමට අප හැකි අයුරින් උත්සාහ කළ යුතු ය.
7. වයසක අය කෙරෙහි අපට සැලකිල්ල දැක්විය හැක්කේ කුමන මාර්ගවලින් ද?
7 ශාරීරික ලෙස මහලු වියට පත් අය ද අපගේ සැලකිල්ල ලැබීමට වටින්නහු ය. “පැසුණු හිසකේ ඇත්තා ඉදිරියෙහි නැගිට සිටපන්න, මහල්ලාගේ මුහුණට ගෞරව කරපන්න. නුඹේ දෙවියන් වහන්සේට භය වෙයන්න; මම ස්වාමින්වහන්සේය [යෙහෝවඃ වහන්සේ ය NW]” යන්න මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ නියත ආඥාවක් විය. (ලෙවී කථාව 19:32) මෙම සැලකිල්ල පෙන්විය හැක්කේ කෙසේ ද? කඩ සාප්පු යාමට සහ වෙනත් ගෙදර දොරේ වැඩ කටයුතුවලට උදව් වීමට යෞවන වියේ පසුවන්නන්ට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය හැක. මහලු වියේ පසු වන යම් කෙනෙකුට රැස්වීම්වලට සහභාගි වීම සඳහා, යම් උපකාර අවශ්‍ය වන්නේදැයි කාරුණික ව සොයා බැලීමට වැඩිමහල්ලන්ට හැක. රැස්වීම්වල දී තරුණ ශක්තිමත් පුද්ගලයන් සෙමින් ඇවිදින මහලු අය ව නොඉවසිලිවන්ත ව පොරකමින් තල්ලු කර ගෙන පසු කොට යාමෙන් වළකිනු ඇති අතර, වයසක තැනැත්තෙක් අසුන් ගැනීමට හෝ ආහාර ලබා ගැනීමට ප්‍රමාද වන්නේ නම්, ඔවුන් ඉවසිලිවන්තකම දක්වනු ඇත.
8. බයිබලයේ වෙන් කොට දක්වා ඇති, අපගේ සැලකිල්ල ලැබීමට වටින තවත් පිරිසකට, සැලකිල්ල දැක්වීමට අපට හැක්කේ කෙසේ ද?
8 සැලකිල්ල අවශ්‍ය කරවන වෙනත් පිරිසක් ගැන ගීතිකාකාරයා සඳහන් කරයි: “දිළින්දා සළකන්නා අශීර්වාදලද්දේය.” (ගීතාවලිය 41:1) පෙරමුණේ සිටින අය සහ ධනවත් අය ගැන සැලකිල්ල දැක්වීම පහසු දෙයක් විය හැකි ය, නමුත් පහත් සහ දුප්පත් අය ගැන කුමක් කිව හැකි ද? මේ අය කෙරෙහි සමාන සැලකිල්ල දැක්වීම අපගේ ධර්මිෂ්ඨකමෙහි සහ ක්‍රිස්තියානි ප්‍රේමයේ පරීක්ෂණයක් වන බව බයිබල් ලේඛක යාකොබ් ඇඟවී ය. පුද්ගලයන්ගේ තත්ත්වයන් නොසලකා ඔවුන් සියලු දෙනා ගැන ම සැලකිලිමත් වෙමින් අප මෙම පරීක්ෂණයෙන් සමත් වේවා.—පිලිප්පි 2:3, 4; යාකොබ් 2:2-4, 8, 9.
‘නොකඩවා දයාවන්ත වන්න’
9, 10. ක්රිස්තියානිවරයෙකු දයාවන්ත විය යුත්තේ මන්ද, සහ මේ ආකාරයේ යහපත්කම පෙන්විය හැක්කේ කෙසේ ද?
9 යහපත්කමේ තවත් ආකාරයක්, යේසුස් වහන්සේගේ සමහරක් උපමාවල දක්නට ලැබෙයි. මෙයින් එකක, කොල්ලකෑමට ගොදුරු වූ, දරුණු ලෙස පහර ලැබ, මාර්ගයේ වැතිරී සිටි මිනිසෙකු ව මුණගැසුණු සමරිතානුවරයෙකු ගැන යේසුස් වහන්සේ කථා කළ සේක. තුවාල ලත් මිනිසා අසලින් ලෙවීවරයෙකු සහ පූජකයෙකු ගමන් කොට තිබූ අතර, ඔහුට උදව් කිරීමට ඔවුහු ප්‍රතික්ෂේප කළහ. මොහු ව දුටු සමරිතානුවරයා නැවතී ඔහුගේ සහයට පැමිණි අතර, සාධාරණ ලෙස අපේක්ෂා කළ හැකිවාට වඩා යමක් කළේ ය. මේ කථාන්තරය, යහපත් සමරිතානුවරයාගේ උපමාව ලෙස බොහෝ විට හැඳින්වෙයි. සමරිතානුවරයා විදහා පෑවේ කුමන ආකාරයේ යහපත්කමක් ද? දයාව ය. මේ තුවාල ලත් මිනිසාට අසල්වැසියා වූයේ කවුරුන් දැයි හඳුන්වන ලෙස යේසුස් වහන්සේ උන් වහන්සේට සවන් දුන් තැනැත්තාගෙන් ඇසූ විට, නිවැරදි පිළිතුර ලැබිණි: “දයාන්විත ව ඔහු කෙරෙහි ක්‍රියා කළ තැනැත්තා ය.”—ලූක් 10:37 NW.
10 දයාවන්ත ක්‍රිස්තියානිහු යෙහෝවඃ වහන්සේ ව අනුකරණය කරති, උන් වහන්සේ ගැන මෝසෙස් ඊශ්‍රායෙලිතයන්ට මෙසේ පැවසී ය: “නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] දයාවන්ත දෙවිකෙනෙක් බැවින් උන්වහන්සේ නුඹ අත්නොහරිනසේක, නුඹ විනාශනොකරනසේක, උන්වහන්සේ නුඹේ පියවරුන් සමග දිවුළාවූ ගිවිසුම මතකනැතිනොකරනසේක.” (ද්විතීය කථාව 4:31) දෙවියන් වහන්සේගේ දයාව අපට බල පෑ යුතු ආකාරය යේසුස් වහන්සේ අපට පෙන්වූ සේක: “නුඹලාගේ පියාණන්වහන්සේ දයාවන්තව සිටින්නාක්මෙන් නුඹලාත් දයාවන්තව සිටපල්ලා.” (ලූක් 6:36) දයාව පෙන්වීමට අපට හැක්කේ කෙසේ ද? යේසුස් වහන්සේගේ උපමාවේ අඟවූවාක් මෙන්, එක් මාර්ගයක් නම්, ඉන් අවදානමක් ඇතිවුවත්, නැතහොත් අපහසුතාවයකට පත් වීමට සිදුවුවත්, අපගේ සෙසු අයට උදව් වීමයි. යහපත් පුද්ගලයෙක්, තමාගේ සහෝදරයා දුක් විඳින විට, ඔහුට ඒ ගැන යමක් කළ හැකි නම්, ඒ ගැන නොසලකා හරින්නේ නැත.—යාකොබ් 2:15, 16.
11, 12. යේසුස් වහන්සේ වදාළ දාසයන් පිළිබඳ උපමාවට අනුව, දයාවට ඇතුළත් වන්නේ කුමක් ද, එමෙන් ම, අපට අද දින මෙය විදහා පෑ හැක්කේ කෙසේ ද?
11 යේසුස් වහන්සේගේ තවත් උපමාවක පෙන්නුම් කළේ, අන්‍යයන්ට සමාව දීමට සූදානම් වී සිටීම දයාන්විත යහපත්කමට ඇතුළත් වන බවයි. තම ස්වාමියාට තලෙන්ත දස දහසක් ණය වී සිටි, වහලෙකු ගැන උන් වහන්සේ කථා කළ සේක. එය ගෙවන්නට නොහැකි වූ දාසයා දයාව අයැද සිටි අතර, ඔහුගේ ස්වාමියා දෙනාරි 6,00,00,000 වූ ඒ විශාල ණය කාරුණික ව අමතක කොට දැමී ය. නමුත් පිටත ගිය දාසයාට තමාට දෙනාරි සියයක් පමණක් ණය ව සිටි වෙනත් දාසයෙකු ව හමුවිණි. කමාව ලැබූ මේ දාසයා තමාට ණය වූ තැනැත්තා ව එම ණය ගෙවන තෙක් දයාවිරහිත ව සිර ගෙට දැමී ය. පැහැදිලි ව ම දයාව නොදැක් වූ දාසයා යහපත් මිනිසෙකු නොවූ අතර, සිදු වූ දේ ගැන ස්වාමියා හට දැනගන්නට ලැබුණු විට, ඔහු එම දාසයාට ඒ ගැන ගණන් දීමට නියම කළේ ය.—මතෙව් 18:23-35.
12 අප සිටින්නේ සමාව ලැබූ එම දාසයාග් තත්ත්වයට සමාන තත්ත්වයකයි. යේසුස් වහන්සේගේ ජීවිත පූජාවේ පදනම මත, යෙහෝවඃ වහන්සේ අප වෙනුවෙන් අපගේ මහත් පාප ණයක් අමතක කොට සමාව දී ඇත. එසේ නම්, ස්ථිර ලෙස ම, අප අන්‍යයන්ට සමාව දීමට සූදානම් ව සිටිය යුතු ය. යේසුස් වහන්සේ පැවසුවේ, අප “සැත්තෑ සත් වරක්”, එනම් සීමාවක් නැතිව සමාව දීමට සූදානම් ව සිටිය යුතු බව ය. (මතෙව් 5:7; 6:12, 14, 15; 18:21, 22, NW) එබැවින්, දයාවන්ත ක්රිස්තියානිවරයෙකු තරහ ගතියෙන් යුතු අමනාපයක් ඇති ව සිටින්නේ නැත. නරක හැඟීම් නිසා සෙසු ක්රිස්තියානිවරයෙකු සමඟ අමනාපයෙන් සිට කථා බහ කිරීම ප්‍රතික්ෂේප කරන්නේ නැත. දයාවේ එවන් ඌනතාවයක් ක්‍රිස්තියානි යහපත්කමේ ලක්ෂණයක් නොවේ.
ත්‍යාගශීලී සහ සංග්‍රහශීලී
13. යහපත්කමට ඇතුළත් වන වෙනත් දේවල් මොනවා ද?
13 ත්‍යාගශීලීත්වයෙන් සහ සංග්රහශීලීත්වයෙන් ද යහපත්කම විදහා දැක්වේ. එක් අවස්ථාවක, එක් තරුණ මිනිසෙක් උපදෙස් පතා යේසුස් වහන්සේ වෙතට පැමිණියේ ය. ඔහු මෙසේ පැවසී ය: “ආචාරින්වහන්ස, සදාකාල ජීවනය ලබාගන්න පිණිස මොන යහපත් දෙයක් කරම්ද”? ඔහු දෙවියන් වහන්සේගේ ආඥා නොකඩවා රක්ෂා කළ යුතු බව යේසුස් වහන්සේ ඔහුට පැවසූ සේක. එසේ ය, යෙහෝවඃ වහන්සේගේ ආඥාවන්ට කීකරුවීම යහපත්කමේ අංගයකි. මේ තරුණ මිනිසා සිතුවේ තමාට හැකි උපරිමයෙන් තමා එවිටමත් එය කරමින් සිටි බවයි. පැහැදිලි ව ම ඔහුගේ අසල්වාසීන් හට ඔහු යහපත් පුද්ගලයෙකු බව එවිටමත් දක්නට තිබූ නමුත්, තමා යම් දෙයකින් හීන ව සිටින බව ඔහුට හැඟුණි. එවිට, යේසුස් වහන්සේ ඔහුට මෙසේ පැවසූ සේක: “නුඹ සම්පූර්ණ වෙන්ට කැමති නම් ගොස් නුඹ සන්තක දේ විකුණ දිළිඳුන්ට දීපන්න, එවිට ස්වර්ගයෙහිදී නුඹට වස්තු ලැබෙන්නේය. නුඹ මා අනුව යන්ට වරෙන්න.” (මතෙව් 19:16-22) තරුණ මිනිසා ශෝකයෙන් ඉවත් ව ගියේ ය. ඔහු ඉතා ධනවත් ව සිටියේ ය. ඔහු යේසුස් වහන්සේගේ උපදෙස අනුගමනය කළේ නම්, ඔහු ද්‍රව්‍යවාදී පුද්ගලයෙකු නොවන බව පෙන්වනු ඇත. එමෙන් ම, ත්‍යාගශීලීත්වයේ සැබෑ පරාර්ථකාමී යහපත් ක්‍රියාවක් ඔහු විසින් කළා වන්නට තිබුණි.
14. ත්‍යාගශීලීකම සම්බන්ධයෙන් යෙහෝවඃ වහන්සේ සහ යේසුස් වහන්සේ දුන් කදිම උපදෙස් මොනවා ද?
14 ත්‍යාගශීලීවන්ත වන ලෙස යෙහෝවඃ වහන්සේ ඊශ්‍රායෙල්වරුන්ගෙන් උදක් ම ඉල්ලා සිටි සේක. නිදසුනක් වශයෙන්, අපට මෙසේ කියවීමට තිබේ: “නුඹ ඔහුට [දුප්පත්කමින් පෙලෙන ඔබේ අසල්වැසියාට] දෙන්ටම ඕනෑය, නුඹ ඔහුට දෙන විට නුඹේ සිතේ කනගාටුවක් නොවේවා. මක්නිසාද මේ කාරණය නිසා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] නුඹේ සියලු වැඩවලදීත් නුඹේ අත තබන සියල්ලේදීත් නුඹට ආශීර්වාදකරනවා ඇත.” (ද්විතීය කථාව 15:10; හිතෝපදේශ 11:25) යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ත්‍යාගශීලීකම සම්බන්ධයෙන් පුද්ගලික ව උදක් ම ඉල්ලා සිටියේ: “දීපල්ලා, එවිට නුඹලාටත් දෙනු ලබන්නේය; ඔව්හු ඔබමින් සොලවමින් උතුරුවමින් නුඹලාගේ ඔඩොක්කුවලට හොඳාකාර මැන දෙන්නෝය.” (ලූක් 6:38) මීටත් වඩා, යේසුස් වහන්සේ පුද්ගලික ව ඉතා ත්‍යාගශීලී වූ සේක. එක් අවස්ථාවක දී, මඳක් විවේක ගැනීමට උන් වහන්සේ කාලයක් වෙන් කොට තිබුණි. උන් වහන්සේ සිටින තැන දැන ගත් සමූහයෝ උන් වහන්සේ වෙතට පැමිණියෝ ය. විවේක ගැනීම ගැන ත්‍යාගශීලී ව අමතක කර දැමූ යේසුස් වහන්සේ සමූහයා වෙනුවෙන් තමන් වහන්සේ ව ම ඉදිරිපත් කළ සේක. පසුව, එම විශාල සමූහයට ආහාර සැපයීමෙන් උන් වහන්සේ කදිම කැපී පෙනෙන සංග්රහශීලීත්වයක් පෙන්වූ සේක.—මාර්ක් 6:30-44.
15. ත්‍යාගශීලීවන්තකම විදහා පෑමෙන් යේසුස් වහන්සේගේ ගෝලයන් අති උත්කර්ෂවත් ආදර්ශයක් සැපයූවේ කෙසේ ද?
15 යෙහෝවඃ වහන්සේගේ සහ යේසුස් වහන්සේගේ උපදෙස්වලට විශ්වාසවන්ත බව පෙන්වමින්, යේසුස් වහන්සේගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් ප්රත්යක්ෂ වශයෙන් ම ත්‍යාගශීලී වූහ, සංග්‍රහශීලී වූහ. ක්‍රිස්තියානි සභාවේ පළමු දවස්වල දී, එනම් පො. යු. 33 දී පෙන්තකොස්ත මංගල්‍ය පැවැත්වීමට පැමිණ සිටියා වූ විශාල සමූහය, ප්‍රේරිතයන්ගේ දේශනාවල් අසා ඇදහිලිවන්තයන් බවට පත් වූහ. තව දුරටත් ඉගෙන ගැනීම පිණිස මංගල්‍යයෙන් පසු එහි නැවතුනු ඔවුනට කෑම බීම හිඟකමක් ඇතිවිණි. එම නිසා, එම ප්‍රදේශයට අයත් ඇදහිලිවන්තයන් තමන්ගේ දේපල විකුණා, ඒ මුදල් තම නව සහෝදරයන් වෙනුවෙන් සම්මාදම් කළේ, ඔවුන් ව ඇදහිල්ලේ වඩාත් හොඳින් ස්ථාපනය කිරීම සඳහා ය. මොනතරම් ත්‍යාගශීලීත්වයක් ද!—ක්‍රියා 4:32-35; ක්‍රියා 16:15; රෝම 15:26 ද බලන්න.
16. අද දින අපට ත්‍යාගශීලී සහ සංග්‍රහශීලී විය හැකි මාර්ග කිහිපයක් නම් කරන්න.
16 අද දින, ක්‍රිස්තියානින්, තමන්ගේ ප්‍රදේශයේ සභාවට සහ ලෝක ව්‍යාප්ත දේශනා වැඩයට තමන්ගේ කාලය හා මුදල් පරිත්‍යාග කරන විට ඒ හා සමාන එනම් ක්‍රිස්තුස් වහන්සේට සමාන ත්‍යාගශීලීත්වයක් පෙන්නුම් කෙරේ. ස්වාභාවික විපත් හෝ යුද්ධයෙන් පීඩාවට පත් සහෝදරයන්ට සහන සැලසීම සඳහා, ඔවුන් ඉදිරිපත් වන විට, මෙය ප්රත්යක්ෂ වන්නේ ය. චාරිකා අවේක්ෂකගේ විධිමත් පැමිණීමේ දී ඔහු හට සැලකිල්ල දැක්වීම තුළින්, මෙය විදහා පෙන්වනු ලැබේ. නැතහොත් ‘පියා නැති පිරිමි ළමුන්’ (එමෙන් ම පියා නැති ගැහැණු ළමුන්) වෙනත් ක්‍රිස්තියානි පවුල් සමඟින් විනෝදය හා පවුල් බයිබල් පාඩම් සඳහා ත්‍යාගශීලී ලෙස ඇරයුම් කරනු ලබන විට මෙය ද සංග්රහශීලීත්වයක් වන අතර, ක්‍රිස්තියානි යහපත්කමේ විදහා පෑමකි.—ගීතාවලිය 68:5.
සත්‍යය පැවසීම
17. සත්‍යවාදිකම අද දින අභියෝගයක් වී තිබෙන්නේ මන්ද?
17 ආලෝකයේ ඵල ගැන විස්තර කරද්දී, පාවුල් යහපත්කම සමඟ ධර්මිෂ්ඨකම හා සත්‍යය සම්බන්ධ කළ අතර, සත්‍යවාදීකම යහපත්කමේ තවත් අංගයක් බව ද පැවසීම නිවැරදි ය. යහපත් අය බොරු නොකියති. කෙසේ වෙතත්, බොරු කීම හාත් පස පැතිර තිබෙන අද දින, ඇත්ත කීම සුවිශේෂ අභියෝගයක් වෙයි. බොහෝ පුද්ගලයෝ තමන්ගේ අදායම් බදු පත්‍ර පුරවන විට, බොරු කරති. සේවකයෝ තමන් කරන වැඩ ගැන බොරු කියති. සිසුවෝ තමන්ගේ පාඩම්වල දී හා විභාගවල දී, බොරුවෙන් වංචා කරති. ව්‍යාපාරිකයෝ ව්‍යාපාර ගණුදෙනු එකඟත්වයන් පිළියෙළ කරන විට, බොරු කරති. දඬුවම්වලින් බේරීමට දරුවෝ බොරු කියති. ද්වේශ සහගත ඕපා දූප පවසන්නෝ, බොරුවෙන් අනුන්ගේ හොඳ නම කැත කරති.
18. යෙහෝවඃ වහන්සේ බොරු කාරයන් ව සලකන්නේ කෙසේ ද?
18 බොරු කීම යෙහෝවඃ වහන්සේට අතිශයින් පිළිකුල් ය. උන් වහන්සේ පිළිකුල් කරන “කාරණා හත” අතර, “බොරුකාර දිව” හා “මුසාබස් නික්මවන බොරු සාක්ෂිකාරයා” ද වෙයි. (හිතෝපදේශ 6:16-19) දෙවියන් වහන්සේගේ නව ලොවෙහි කිසි තැනක් නොතිබෙන මිනීමරන්නන්, සහ කාමමිථ්යාචාරිකයන්ගේ ලැයිස්තුව අතරට “සියලු බොරුකාරයන්” ව ද දමා තිබේ. (එළිදරව් 21:8) තව දුරටත්, හිතෝපදේශය අපට පවසන්නේ: “තමාගේ ඍජුකමෙන් හැසිරෙන්නා ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] කෙරෙහි භය වෙන්නේය; එහෙත් වංක මාර්ග ඇත්තා උන්වහන්සේ සුළුකොට සලකන්නේය.” (හිතෝපදේශ 14:2) බොරු කාරයෙක් තමාගේ මාර්ගයේ ඇද ව සිටී. මෙබැවින්, බොරුකාරයෙක් යෙහෝවඃ වහන්සේ අවමානයට ලක්කරවන්නා වූ සාක්ෂි විදහා පායි. මොනතරම් භයංකර සිතිවිල්ලක් ද! අප ව හික්මවනු ලැබීමට තුඩු දුන්නත්, මුදල් අතින් පාඩු සිදු වුවත් අපි සෑම විට ම ඇත්ත කථා කරමු. (හිතෝපදේශ 16:6; එපීස 4:25) ඇත්ත කථා කරන අය, “සැබෑ කමේ දෙවි වූ” යෙහෝවඃ වහන්සේ ව අනුකරණය කරති.—ගීතාවලිය 31:5.
යහපත්කම වර්ධනය කරන්න
19. මැවුම්කාරයාණන්ට ප්‍රශංසාව ලබා දෙන අයුරින් සමහර විටෙක අද දින ලෝකයේ දක්නට ලැබෙන්නේ කුමක් ද?
19 මේවා වනාහි ක්‍රිස්තියානියෙකු විසින් වර්ධනය කළ යුතු යහපත්කමේ ආකාරයන් කිහිපයක් පමණි. ලෝකයේ සිටින ජනයා යම් ප්‍රමාණයකට යහපත්කම විදහා පාන බව සැබෑවකි. නිදසුනක් වශයෙන්, සමහරු සංග්‍රහශීලී වෙත්, වෙනත් අය දයාවන්ත ය. ඇත්ත වශයෙන් ම, යේසුස් වහන්සේ වදාළ යහපත් සමරිතානුවරයාගේ උපමාව වඩාත් කැපී පෙනෙන්නක් වූයේ, යුදෙව් සභාවේ වැඩිමහල්ලන් දයාව නොපෙන්වද්දී, දයාව පෙන්වූ යුදෙව් නොවන තැනැත්තා ගැන උන් වහන්සේ පැවසීම ය. අසම්පූර්කමේ අවුරුදු හය දහසකට පමණ පසුව පවා සමහරක් මිනිසුන් තුළ ස්වාභාවයෙන් ම එවැනි ගුණාංග තවමත් දක්නට තිබීම මිනිසාගේ මැවුම්කාරයාණන්ට ඇත්තෙන් ම උපහාරයකි.
20, 21. (අ) ක්‍රිස්තියානි යහපත්කම, අද දින අපට ලෝකයේ දක්නට ලැබිය හැකි වෙනත් ඕනෑ ම යහපත්කමකට වඩා වෙනස් වන්නේ මන්ද? (ආ) ක්‍රිස්තියානියෙකුට යහපත්කම වර්ධනය කළ හැක්කේ කෙසේ ද, එසේ කිරීමට අප දැඩි උත්සහයක් ගත යුත්තේ මන්ද?
20 එහෙත්, යහපත්කම ක්‍රිස්තියානින්ට තිබිය හැකි හෝ නොතිබිය හැකි යම් ගුණාංගයකට වඩා වැඩි යමක් වෙයි. ඔවුන්ට දෙවියන් වහන්සේ ව අනුකරණය කරන්නන් වීමට තිබෙන බැවින් එය සෑම පැත්තකින් ම ඔවුන් වර්ධනය කළ යුතු ගුණාංගයකි. මෙය කළ හැක්කේ කෙසේ ද? අපට යහපත්කම ඉගෙන ගත හැකි බව බයිබලය පවසයි. “මට යහපත්කම ඉගැන්නුව මැනව” යයි ගීතිකාකාරයා දෙවියන් වහන්සේට යාච්ඤා කළේ ය. කෙසේ ද? ඔහු තවදුරටත් මෙසේ පැවසී ය: “මක්නිසාද ඔබගේ ආඥා කෙරෙහි මම ඇදහිල්ල තැබුවෙමි.” ඔහු මෙසේ ද එකතු කළේ ය: “ඔබ යහපත් ය, යහපත කරමින් සිටින සේක. ඔබගේ අණ පනත් මට ඉගැන්නුව මැනව.”—ගීතාවලිය 119:66, 68 NW.
21 එසේ ය, අපි යෙහෝවඃ වහන්සේගේ අණ පනත් ඉගෙන ගෙන ඒවාට කීකරු වන්නෙමු නම්, අපි යහපත්කම වර්ධනය කරන්නෙමු. යහපත්කම ශුද්ධාත්මයේ ඵලයක් බව සෑම විට ම මතක තබා ගන්න. යාච්ඤාව, ආශ්‍රය, සහ බයිබල් පාඩම තුළින් අපි යෙහෝවඃ වහන්සේගේ ආත්මයේ මග පෙන්වීම සොයන්නෙමු නම්, එවිට ස්ථිර වශයෙන් මෙම ගුණාංගය වර්ධනය කරන්නෙමු. මීටත් වඩා දෙයක් නම්, යහපත්කම බොහෝ බලවත් එකක් වීමයි. එයට නපුර පරාජය කරන්නට පුළුවන. (රෝම 12:21) එසේ නම්, සියල්ලන්ට ම, විශේෂයෙන් ම අපගේ ක්‍රිස්තියානි සහෝදරයන්ට යහපත්කම් කිරීම මොනතරම් අතිශයින් වැදගත් දෙයක් ද? (ගලාති 6:10) අපි එසේ කරන්නෙමු නම්, “යහපත්කම් කරන්නාවූ සියලු මනුෂ්‍යයන්ට” පෙරොන්දු වී තිබෙන “ගෞරවයත් මහිමයත් සමාදානයත්” භුක්ති විඳින අය අතර අප ද සිටිනු ඇත.—රෝම 2:6-11. w91 8/15
ඔබට පිළිතුරු දිය හැකි ද?
◻ බලයලත් මුලාදෑනින් සම්බන්ධ ව යහපත්කම් කරමින් අපට සිටිය හැක්කේ කෙසේ ද?
◻ අපගේ සැලකිල්ල ලැබීමට වටින අය අතර සිටින්නේ කවුරුන් ද?
◻ දයාව එය ම විදහා පාන්නා වූ මාර්ග මොනවා ද?
◻ අද ක්‍රිස්තියානින් අතර කැපී පෙනෙන්නට සලස්වන්නේ ත්යාගශීලීවන්තකමේ හා සංග්රහශීලීත්වයේ කුමන ක්‍රියාවන් ද?
◻ යහපත්කම වර්ධනය කළ හැක්කේ කෙසේ ද?
[10වන පිටුවේ පින්තූරය]
අන්‍යයන් කෙරෙහි සැලකිල්ල දැක්වීම යහපත්කමේ එක් අංගයකි
[13වන පිටුවේ පින්තූරය]
උතුම් ගුරුවරයා වශයෙන්, යේසුස් වහන්සේ තමන් ව ම ත්‍යාගශීලී ව ඉදිරිපත් කළ සේක