24වන පාඩම
පාවුල් සභාවන්ට ලියූ ලිපි
පාවුල් ලියූ ලිපිවලින් ක්‍රිස්තියානි සභාවල සිටි අය දිරිගැන්වීම් ලබයි
ක්‍රිස්තියානි සභාව පිහිටුවීමෙන් පසුව දෙවිගේ අරමුණ ඉටු කිරීම සඳහා බොහෝ වගකීම් ඔවුන්ට පැවරුණා. ඒ සමඟම ඔවුන්ට පීඩා රැසකට මුහුණ දීමට සිදු වුණා. එවැනි පීඩා හා සභාවෙන්ම පැමිණි නපුරු බලපෑම් හමුවේ ඔවුන්ට දිගටම දෙවිට විශ්වාසවන්තව සිටීමට හැකි වෙයිද? ඒ සඳහා අවශ්‍ය උපදෙස් හා දිරිගැන්වීම් ඇතුළත් ලිපි 21ක් ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ලේ සඳහන් වෙනවා.
බයිබලයේ රෝම පොතේ සිට හෙබ්‍රෙව් පොත දක්වා තිබෙන ලිපි 14ක්ම ලියනු ලැබුවේ පාවුල් විසිනුයි. ඒ ලිපි නම් කර තිබෙන්නේ ලිපි මගින් ඇමතූ පුද්ගලයාගේ නමින් හෝ සභාවේ නමිනුයි. දැන් අපි ඒ ලිපිවල සාකච්ඡා කළ විෂයන් කිහිපයක් සලකා බලමු.
ජීවත් විය යුතු ආකාරය පිළිබඳ උපදෙස්. අනාචාරයේ හැසිරෙන අයටවත් වෙනත් බරපතළ වැරදි කරන අයටවත් “දෙවිගේ රාජ්‍යය උරුම නොවන බව” එම ලිපිවල සඳහන් වෙනවා. (ගලාති 5:19-21; 1 කොරින්ති 6:9-11) දෙවිට නමස්කාර කරන අය කුමන ජාතියට අයත් වුණත් ඔවුන් එක්සත්ව සිටිය යුතු බවත් එම ලිපිවල අවධාරණය කර තිබෙනවා. (රෝම 2:11; එෆීස 4:1-6) එමෙන්ම අවශ්‍යතා ඇති අයට කැමැත්තෙන්ම උපකාර කිරීමට ඔවුන් බැඳී සිටින බව එහි සඳහන් වෙනවා. (2 කොරින්ති 9:7) “නොකඩවා යාච්ඤා කරන්න” කියාත් සිතේ තිබෙන සෑම දෙයක්ම යාච්ඤාවෙන් දෙවිට පවසන්න කියාත් පාවුල් ක්‍රිස්තියානීන්ව දිරිගැන්වූවා. (1 තෙසලෝනික 5:17; 2 තෙසලෝනික 3:1; ෆිලිප්පි 4:6, 7) නමුත් දෙවි ඒ යාච්ඤාවලට ඇහුම්කන් දීමට නම් ඔවුන් ඒවා මහත් විශ්වාසයකින් ඉදිරිපත් කළ යුතුයි.—හෙබ්‍රෙව් 11:6.
පවුල් ජීවිත සාර්ථක කරගැනීමට පාවුල් ලබා දුන්නේ මොන වගේ උපදෙස්ද? ස්වාමිපුරුෂයන් තමන්ට ප්‍රේම කරන ආකාරයටම තම භාර්යාවන්ට ප්‍රේම කළ යුතු බවත් භාර්යාවන් තම පුරුෂයන්ට ගැඹුරු ගෞරවයකින් සැලකිය යුතු බවත් පාවුල් පැවසුවා. දරුවන්ද තම දෙමාපියන්ට කීකරු වීම දෙවිට ප්‍රසන්න දෙයක් බව ඔහු සඳහන් කළා. එමෙන්ම දෙමාපියන් දෙවිගේ මඟ පෙන්වීම්වලට එකඟව දරුවන්ට උපදෙස් හා පුහුණුව ප්‍රේමණීයව ලබා දිය යුතු බව පාවුල් පැවසුවා.—එෆීස 5:22–6:4; කොලොස්සි 3:18-21.
දෙවිගේ අරමුණ ගැන එළිදරව් කළ දේ. මෝසෙස්ට දෙන ලද නීතියේ විවිධ පැතිවලින් ක්‍රිස්තුස් පැමිණෙන තුරු ඊශ්‍රායෙල් සෙනඟට ආරක්ෂාව හා මඟ පෙන්වීම් ලැබුණා. (ගලාති 3:24) නමුත් යෙහෝවා දෙවිට නමස්කාර කිරීම සඳහා තවදුරටත් එම නීතිය පිළිපැදීමට ක්‍රිස්තියානීන්ට අවශ්‍ය වුණේ නැහැ. පාවුල් හෙබ්‍රෙව්වරුන්ට එනම්, යුදෙව් පසුබිමකින් පැමිණි ක්‍රිස්තියානීන්ට මෝසෙස්ට දුන් නීතියේ වැදගත්කම ගැන පැහැදිලි කර දුන් අතර ක්‍රිස්තුස් තුළින් දෙවිගේ අරමුණ ඉටු වන ආකාරයද පැහැදිලි කළා. පාවුල් තවදුරටත් පැවසුවේ නීතිය යටතේ සිදු කළ බොහෝ දේවල්, ඉදිරියේදී සිදු වීමට නියමිත දේවල් සංකේතවත් කළ බවයි. උදාහරණයකට නීතිය යටතේ ඔප්පු කළ සත්ව පූජා මගින් මිනිසුන්ගේ පව්වලට සමාව ලබාගැනීමට නිසි පදනමක් සැපයූ යේසුස්ගේ ජීවිත පූජාව සංකේතවත් කළා. (හෙබ්‍රෙව් 10:1-4) ඊශ්‍රායෙල් සෙනඟ පිළිපැදීමට බැඳී සිටි නීතිය අවලංගු කිරීමට යේසුස්ගේ මරණය මාර්ගයෙන් දෙවිට හැකි වුණා.—කොලොස්සි 2:13-17; හෙබ්‍රෙව් 8:13.
සභාව නිසි ලෙස සංවිධානය කිරීම පිළිබඳ උපදෙස්. ක්‍රිස්තියානි සභාවේ වගකීම් දැරීමට කැමති අයට උසස් සදාචාර ප්‍රමිති හා ශුද්ධ ලියවිල්ලේ සඳහන් සුදුසුකම් තිබීම අත්‍යවශ්‍යයි. (1 තිමෝති 3:1-10, 12, 13; තීතස් 1:5-9) එකිනෙකාව දිරිගැන්වීම සඳහා යෙහෝවා දෙවිට නමස්කාර කරන අය නිතිපතා එකට රැස් වීමත් වැදගත්. (හෙබ්‍රෙව් 10:24, 25) එම රැස්වීම්වල සාකච්ඡා කළ යුත්තේ ගොඩනංවනසුලු මෙන්ම ප්‍රයෝජනවත් තොරතුරුයි.—1 කොරින්ති 14:26, 31.
පාවුල් තිමෝතිට යැවූ දෙවෙනි ලිපිය ලිව්වේ තීන්දුවක් ලැබෙන තුරු රෝමයේ සිරගතව සිටියදීයි. ඒ කාලයේදී ඔහුව බැලීමට ගියේ නිර්භීත කිහිපදෙනෙක් පමණයි. තමා ජීවත් වන්නේ තව කෙටි කාලයකට පමණයි කියා පාවුල් දැනගෙන සිටියා. ඒ නිසයි ඔහු මෙවැනි දෙයක් පැවසුවේ. “මම යහපත් සටනට සහභාගි වූවෙමි. එය අවසන් වන තුරුම සටන් කළෙමි. මගේ ධාවන තරඟයද නිම කළෙමි. මම සත්‍ය ඉගැන්වීම් පිළිපැද්දෙමි.” (2 තිමෝති 4:7) පාවුල් මිය යන්න ඇත්තේ එසේ පවසා කෙටි කලකට පසුවයි. නමුත් පාවුල් ලියූ ලිපිවල ඇති තොරතුරු යෙහෝවා දෙවිට නමස්කාර කරන අයට අදටත් ප්‍රයෝජනවත්.
—රෝම; 1 කොරින්ති හා 2 කොරින්ති; ගලාති; එෆීස; ෆිලිප්පි; කොලොස්සි; 1 තෙසලෝනික හා 2 තෙසලෝනික; 1 තිමෝති හා 2 තිමෝති; තීතස්; ෆිලෙමොන්; හෙබ්‍රෙව්.