උපග්‍රන්ථය
පොරොන්දු වූ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස්
පොරොන්දු වූ ගැලවුම්කරුව හඳුනාගැනීමට අපට උපකාර කිරීම සඳහා යෙහෝවා දෙවි තම විශ්වාසවන්ත සේවකයන් මාර්ගයෙන් ගැලවුම්කරු පිළිබඳ තොරතුරු ලබා දුන්නා. ඔවුන් ඒ තොරතුරු බයිබලයේ සඳහන් කළා. ඒ තොරතුරුවලට ඔහුගේ උපත, ඔහු කරන සේවය හා ඔහුගේ මරණය යනාදිය ඇතුළත් වෙනවා. ඒ තොරතුරු සියල්ලේම ඉටු වීම අදාළ වන්නේ යේසුස් ක්‍රිස්තුස්ට පමණයි. එය සනාථ කරගැනීමට ගැලවුම්කරුගේ උපත සහ ඔහුගේ ළමා කාලය හා සම්බන්ධ සිද්ධීන් ගැන සඳහන් කළ දේවල් කිහිපයක් සලකා බලමු.
ගැලවුම්කරු දාවිත් රජුගේ පෙළපතින් පැමිණෙන බව යෙසායා පැවසුවා. (යෙසායා 9:7) ඔහු සඳහන් කළ ලෙස යේසුස් ඉපදුණේ දාවිත්ගේ පෙළපතිනුයි.—මතෙව් 1:1, 6-17.
ගැලවුම්කරු ඉපදෙන්නේ, “බෙත්ලෙහෙම් එෆ්‍රාතා” නම් ප්‍රදේශයේ බවත් පසු කාලයකදී ඔහු පාලකයෙකු වන බවත් මීකා පැවසුවා. (මීකා 5:2) යේසුස් ඉපදුණු කාලයේදී ඊශ්‍රායෙල් දේශයේ බෙත්ලෙහෙම ලෙස හැඳින්වූ නගර දෙකක් තිබුණා. එක් නගරයක් පිහිටා තිබුණේ ඒ දේශයේ උතුරු දෙසින් තිබූ නාසරෙත් නුවර අසලයි. අනික් නගරය පිහිටා තිබුණේ යූදාහි යෙරුසලම අසලයි. යෙරුසලම අසල පිහිටි බෙත්ලෙහෙම කලින් හැඳින්වූයේ එෆ්‍රාතා ලෙසයි. මීකා සඳහන් කළ ලෙසම යේසුස් ඉපදුණේ ඒ නගරයේයි.—මතෙව් 2:1.
දෙවිගේ පුත්‍රයාව, ‘ඊජිප්තුවෙන් කැඳවාගන්නා’ බව බයිබලයේ සඳහන් කර තිබුණා. කුඩා කාලයේදී යේසුස්ව ඊජිප්තුවට රැගෙන ගියා. හෙරොද්ගේ මරණයෙන් පසු ඔහුව ආපසු ඊජිප්තුවෙන් ගෙන ආවා. කලින් සඳහන් කර තිබූ ලෙස ඒ දේත් ඉටු වුණා.—හොෂෙයා 11:1; මතෙව් 2:15.
මේ පොතේ “ගැලවුම්කරු ගැන පැවසූ තොරතුරු” නමැති වගුවේ “පවසා තිබූ දේ” කියා සඳහන් කොටසේ තිබෙන බයිබල් පදවලින් ගැලවුම්කරු පිළිබඳව පැවසූ තවත් තොරතුරු සොයාගත හැකියි. “ඉටු වීම” කියා සඳහන් කොටස යටතේ තිබෙන බයිබල් පද සමඟ ඒවා සන්සන්දනය කර බලන්න. එසේ කිරීමෙන් බයිබලයේ සඳහන් සෑම තොරතුරක්ම සත්‍යය බවට වූ ඔබේ විශ්වාසය තවත් ශක්තිමත් වනවාට සැකයක් නැහැ.
ඒ සෑම තොරතුරක්ම ලියනු ලැබුවේ යේසුස් ඉපදෙන්න අවුරුදු සිය ගණනකට කලින් බව මතක තබාගන්න. යේසුස්ම ඒ ගැන මෙසේ පැවසුවා. ‘මෝසෙස්ට දෙන ලද නීතියෙත් අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලත් ගීතාවලියෙත් මා ගැන ලියා තිබෙන සියල්ල ඉටු විය යුතුයි.’ (ලූක් 24:44) ඔබ මේ තොරතුරු සෝදිසි කර බලන විට සෑම දෙයක්ම පවසා තිබූ ලෙසම ඉටු වූ බව ඔබට පැහැදිලි වෙයි.