“ඔබ වරදට නොපෙලඹෙන පිණිස”
“ඔබ වරදට නොපෙලඹෙන පිණිස සෝදිසියෙන් සිට නොකඩවා යාච්ඤා කරන්න.”—මතෙව් 26:41.
දෙවිගේ පුත් යේසුස් ක්‍රිස්තුස් මීට කලින් මේ තරම් දැඩි මානසික පීඩනයක් අද්දැක තිබුණේ නැහැ. මේ අවස්ථාව වන විට පොළොව මත ඔහු ගත කළ ජීවිතය අවසන් වෙන්න ආසන්න වෙමිනුයි තිබුණේ. වැඩි වේලාවක් යන්න කලින් තමන්ව අත්අඩංගුවට ගෙන, මරණ දණ්ඩනය නියම කරන බවත් ඉන්පසු වධකණුවක ඇණ ගසන බවත් ඔහු තේරුම්ගෙන සිටියා. මේ අවස්ථාවේදී තමන් කරන සෑම ක්‍රියාවක්ම හා ගන්න සෑම තීරණයක්ම තම පියාගේ නාමයට හිතකර හෝ අහිතකර ලෙස බලපාන බවද ඔහු දැන සිටියා. ඒ වගේම මනුෂ්‍ය වර්ගයාගේ අනාගත ජීවිතය පිළිබඳ බලාපොරොත්තුව රඳා පවතින්නේ මේ අවස්ථාවේදී තමන් ගන්න ක්‍රියාමාර්ගය මත බවද ඔහු දැන සිටියා. මේ තරම් දැඩි පීඩනයකටම මුහුණ දෙමින් සිටි ඔහු කළේ කුමක්ද?
2 යේසුස් ඔහුගේ ගෝලයන් සමඟ ගෙත්සෙමන උයනට ගියා. මෙය ඔහු ප්‍රිය කළ ස්ථානයක් වුණා. එහිදී ඔහු සිය ගෝලයන්ගෙන් වෙන් වී ටිකක් ඈතට ගියා. මේ අවස්ථාවේදී තනිව සිටි ඔහු ශක්තිය ඉල්ලා සිය ස්වර්ගික පියාට යාච්ඤා කළා. යේසුස් මහත් උනන්දුවෙන් යාච්ඤා කරමින් ඔහුගේ හද පත්ලේ තිබූ හැඟීම් සිය පියාට පැවසුවා. එක වතාවක් නොව, තුන් වතාවක්ම ඔහු එසේ යාච්ඤා කළා. තමන් අද්දකින පීඩනයට තමාගේම ශක්තියෙන් මුහුණ දිය හැකියි කියා පරිපූර්ණ කෙනෙක් වුණත් යේසුස් සිතුවේ නැහැ.—මතෙව් 26:36-44.
3 අද අපිත් නොයෙක් පීඩනවලට මුහුණ දෙනවා. අප සිටින්නේ මේ දුෂ්ට සමාජ ක්රමයේ අන්තිම දවස්වල බව තහවුරු කරන සාක්ෂි මේ විවරණිකාවේ මුල් කොටස්වල අපි සලකා බැලුවා. සාතන්ගේ ආධිපත්‍යය යටතේ තිබෙන ලෝකය මගින් ඇති කරවන වරදට පෙලඹවීම් හා පීඩන එන්න එන්නම වැඩියි. සැබෑ දෙවිට සේවය කරනවා කියා පවසන අපගෙන් ඕනෑම කෙනෙක් ගන්න තීරණ හා කරන දේවල් ඔහුගේ නාමයට හිතකර හෝ අහිතකර ලෙස බලපානවා. එමෙන්ම ඔහුගේ නව ලොවේ ජීවත් වීමට අපට පෞද්ගලිකව හැකි වේවිද කියන කාරණයටත් අප ගන්න තීරණ හා කරන දේවල් දැඩි සේ බලපානවා. යෙහෝවා කෙරෙහි ප්‍රේමයක් අපිට තිබෙනවා. අපේ ජීවිතයේ හෝ වත්මන් සමාජ ක්රමයේ අවසානය යන කුමන එක මුලින් සිදු වුණත් අපිට ඕනෑ කරන්නේ ‘අවසානය දක්වා විඳදරාගන්නයි.’ (මතෙව් 24:13) ඒත් අපේ හදිසිතාවේ හැඟීම දිගටම පවත්වාගනිමින් සෝදිසියෙන් සිටින්න අපට හැක්කේ කෙසේද?
4 එදා වගේම අද සිටින තමන්ගේ ගෝලයන්ද පීඩනවලට මුහුණ දෙන බව යේසුස් දැන සිටි නිසා “ඔබ වරදට නොපෙලඹෙන පිණිස සෝදිසියෙන් සිට නොකඩවා යාච්ඤා කරන්න” කියා ඔහු ඔවුන්ට උනන්දු කළා. (මතෙව් 26:41) අද අපට ඒ වදන්වලින් අදහස් කරන්නේ කුමක්ද? ඔබට මොන වගේ පරීක්ෂාවලට නැතහොත් වරදට පෙලඹීම්වලට මුහුණ දීමට සිදු වෙනවාද? එමෙන්ම ‘සෝදිසියෙන් සිටින්න’ ඔබට හැක්කේ කෙසේද?
වරදට පොලඹවන්නේ කුමන අරමුණක් සඳහාද?
5 ‘යක්ෂයාගේ උගුලට’ හසුවීමේ පරීක්ෂාවට අපි සෑම කෙනෙක්ම දිනපතාම මුහුණ දෙනවා. (2 තිමෝති 2:26) යෙහෝවාට නමස්කාර කරන අයව සාතන් විශේෂයෙන් ඉලක්ක කරගෙන සිටින බව බයිබලය අපට අනතුරු අඟවනවා. (1 පේතෘස් 5:8; එළිදරව් 12:12, 17) ඔහුගේ අරමුණ කුමක්ද? අපේ ජීවිතය නැති කර දැමීමම නොවේ. මන්ද අප මිය යන්නේ දෙවිට විශ්වාසවන්තව නම්, සාතන්ට ඉන් ජයක් ලැබෙන්නේ නැහැ. යෙහෝවා තමාගේ නියමිත කාලයේදී නැවත නැඟිටුවීම මාර්ගයෙන් මරණය පරාජය කරන බව සාතන් දන්නවා.—ලූක් 20:37, 38.
6 අපි දැන් භුක්ති විඳින ජීවිතයට වඩා වටිනා දෙයක් වන්නේ අපි දෙවිට අඛණ්ඩව විශ්වාසවන්තව සිටීමයි. මෙය බිඳ දමන්නයි සාතන්ට ඕනෑ කරන්නේ. යෙහෝවාට නමස්කාර කිරීමෙන් අපව ඉවත් කරන්න තමන්ට පුළුවන් බව ඔප්පු කිරීම සඳහා සාතන් දැඩි සටනක් කරනවා. මේ නිසා ශුභාරංචිය දේශනා කිරීම නතර කිරීමෙන් හෝ ක්‍රිස්තියානි ප්‍රමිති නොසලකාහැරීමෙන් හෝ දෙවිට අවිශ්වාසවන්ත වීමට අපව පොලඹවාගත්තොත්, එය සාතන්ට මොන තරම් මහත් ජයග්‍රහණයක් වෙයිද! (එෆීස 6:11-13) මේ නිසා “වරදට පොලඹවන්නා” අපව පරීක්ෂා කරනවා.—මතෙව් 4:3.
7 සාතන්ගේ “රැවටිලිකාර උපායන්” විවිධ ස්වරූපවලින් යුක්තයි. (එෆීස 6:11, ජුවිෂ් නිව් ටෙස්ටමන්ට්) ද්‍රව්‍යවාදය, බිය, සැකය හා සැප සෙල්ලම සඳහා දක්වන ඇල්ම වැනි දේවල් යොදාගැනීමෙන් ඔහු අපව වරදට පෙලඹවිය හැකියි. ඒත් ඔහු යොදාගන්න ක්‍රමවලින් වඩාත්ම සාර්ථක එකක් වන්නේ අධෛර්යය කිරීමයි. කල දුටු කල වල ඉහගන්න තැනැත්තෙක් වන ඔහු දන්නා දෙයක් වන්නේ අප අධෛර්යයට පත් වන විට අපව ආත්මිකව දුර්වල කර වරදට නම්මවාගැනීමට පුළුවන් බවයි. (හිතෝපදේශ 24:10) විශේෂයෙන් අපි චිත්තවේගීයව ‘තැළී සිටින’ විට දෙවිට නමස්කාර කිරීම අත්හැර දැමීමට ඔහු අපව පොලඹවයි.—ගීතාවලිය 38:8.
8 අප අන්තිම දවස්වලට වඩ වඩා ළං වෙද්දී අධෛර්යයට පත්වීමට බලපාන හේතුද වැඩි වන බවක් දකින්න පුළුවන්. ඒවා අපටත් බලපානවා. (“අධෛර්යයට පත්වීමට බලපාන හේතු සමහරක්” නමැති කොටුව බලන්න.) හේතුව කුමක් වුවත් අධෛර්යයට පත්වීමෙන් සිදු වන්නේ අපි ක්‍රමක්‍රමයෙන් දුර්වල වී යෑමයි. ඇතැම් අවස්ථාවලදී ඔබ ශාරීරිකව, මානසිකව හා චිත්තවේගීයව වෙහෙසට පත්ව සිටිය හැකියි. මෙවන් අවස්ථාවලදී බයිබලය අධ්‍යයනය කිරීම, ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑම හා දේවසේවයේ හවුල් වීම යනාදි ආත්මික වගකීම් ඉටු කිරීම සඳහා තිබෙන “සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන [ගැනීම]” අමාරු දෙයක් විය හැකියි. (එෆීස 5:15, 16) වරදට පොලඹවන්නාට වුවමනා කරන්නේ ඔබ දෙවිට කරන සේවය අත්හරිනවා දකින්නයි. ඒත් සේවය අඩු කිරීමට හෝ අපි ජීවත් වන කාලය සම්බන්ධයෙන් ඔබට තිබෙන හදිසිතාවේ හැඟීම නැති කරගැනීමට, මෙය කාලය නොවේ! (ලූක් 21:34-36) පරීක්ෂාවලට එරෙහිව සිටින්නත් දිගටම සෝදිසියෙන් සිටින්නත් ඔබට හැක්කේ කෙසේද? මේ සඳහා ඔබට උපකාරවත් විය හැකි පහත සඳහන් යෝජනා හතර සලකා බලන්න.
“නොකඩවා යාච්ඤා කරන්න”
9 යාච්ඤාව මාර්ගයෙන් යෙහෝවා මත රඳා සිටින්න. ගෙත්සෙමන උයනේදී යේසුස් තැබූ ආදර්ශය මතකයට නඟාගන්න. දැඩි මානසික පීඩනයකට ලක් වූ අවස්ථාවේදී ඔහු කළේ කුමක්ද? ඔහු යෙහෝවාගෙන් උපකාර ඉල්ලුවා. මොන තරම් උනන්දුවකින් ඔහු යාච්ඤා කළාද කියනවා නම් “ඔහුගේ දහඩිය ලේ බිංදු මෙන් වී බිම [වැටුණා].” (ලූක් 22:44) ඒ ගැන සිතා බලන්න. සාතන් කියන්නේ කවුද කියා යේසුස් හොඳින් දැන සිටියා. දෙවිගේ සේවකයන්ව ගොදුරු කරගැනීම සඳහා සාතන් යොදාගත් සෑම පරීක්ෂාවක්ම යේසුස් ස්වර්ගයේ සිට නිරීක්ෂණය කර තිබුණා. ඒ වුණත් තමන්ව වරදට පොලඹවාගැනීම සඳහා සාතන් යොදාගන්න ඕනෑම පරීක්ෂාවක් තමන්ට නම් පහසුවෙන් ජයගන්න පුළුවන් කියා යේසුස් සිතුවේ නැහැ. උපකාරය හා ශක්තිය ඉල්ලා දෙවිට යාච්ඤා කරන්න අවශ්‍යයි කියා දෙවිගේ පරිපූර්ණ පුත්‍රයාට හැඟුණා නම්, ඒ අවශ්‍යතාව ගැන ඔහුටත් වඩා කොපමණ වැඩියෙන් අපට හැඟිය යුතුද!—1 පේතෘස් 2:21.
10 “නොකඩවා යාච්ඤා කරන්න” කියා සිය ගෝලයන්ව උනන්දු කිරීමෙන් පසු යේසුස් පැවසූ මෙම වදන්ද මතක් කරගන්න. “සිත නම් කැමතිය, නමුත් මාංසය දුර්වලය.” (මතෙව් 26:41) මෙහිදී යේසුස් කතා කළේ කාගේ මාංසය ගැනද? ඔහුගේ මාංසය ගැන නොවන බව නම් ස්ථිරයි. මන්ද පරිපූර්ණ මිනිසෙකු වූ ඔහුගේ මාංසයේ කිසිම දුර්වලකමක් තිබුණේ නැහැ. (1 පේතෘස් 2:22) ඒත් ඔහුගේ ගෝලයන්ගේ තත්වය ඊට වඩා වෙනස්. ඔවුන්ට උරුම වී තිබූ අසම්පූර්ණකම හා පව්කාර නැඹුරුවාවන් නිසා ඇති වන වරදට පෙලඹීම්වලට එරෙහිව සිටීම සඳහා ඔවුන්ට විශේෂයෙන් උපකාර අවශ්‍ය වුණා. (රෝම 7:21-24) වරදට පෙලඹවිය හැකි අවස්ථාවලට මුහුණ දෙන විට උපකාර පතා යාච්ඤා කරන්න කියා ඔහු ඔවුන්ටත් ඔවුන්ට පසුව සිටින සියලුම සැබෑ ක්‍රිස්තියානීන්ටත් උනන්දු කළේ ඒ නිසයි. (මතෙව් 6:13) යෙහෝවා එවැනි යාච්ඤාවලට උත්තර දෙනවා. (ගීතාවලිය 65:2) ඒ කොහොමද? අඩුම තරමින් ආකාර දෙකකින්වත් ඔහු උත්තර දෙන බව නිසැක විය හැකියි.
11 මුල්ම ආකාරය වන්නේ වරදට පෙලඹවිය හැකි අවස්ථා හඳුනාගැනීමට දෙවි අපට උපකාර කිරීමයි. වරදට පෙලඹවීමට සාතන් යොදාගන්නා පරීක්ෂා අන්ධකාර පාරක අටවා තිබෙන උගුල් වගෙයි. ඔබ ඒවා දැක්කේ නැත්නම් ඒවාට හසු වෙන්න පුළුවන්. යෙහෝවා බයිබලය හා බයිබලය මත පදනම් ප්‍රකාශන යොදාගනිමින් සාතන්ගේ උගුල් මොනවාද කියා හෙළි කරනවා. මේ නිසා වරදට නොපෙලඹවී සිටීමට අපට පුළුවන්. වසර ගණනාවක සිට මුද්‍රිත පොත් පත්, සඟරා, සමුළු හා එක්රැස්වීම් මගින් මිනිසුන්ට භයවීම, ලිංගික දුරාචාරය, ද්‍රව්‍යවාදය වැනි අනතුරු පිළිබඳවත් අපව වරදට පෙලඹවීම සඳහා සාතන් සිදු කරන වෙනත් දේවල් පිළිබඳවත් යළි යළිත් අපව දැනුවත් කර තිබෙනවා. (හිතෝපදේශ 29:25; 1 කොරින්ති 10:8-11; 1 තිමෝති 6:9, 10) සාතන්ගේ උපක්‍රම ගැන අපව දැනුවත් කිරීම ගැන ඔබ යෙහෝවාට ස්තුතිවන්ත වන්නේ නැද්ද? (2 කොරින්ති 2:11) ඉහත සඳහන් කළා හා සමාන සෑම අනතුරු ඇඟවීමක්ම, වරදට පෙලඹෙන විට ඊට එරෙහිව සිටීම සඳහා උපකාර ඉල්ලා ඔබ කරන යාච්ඤාවලට පිළිතුරකි.
12 යෙහෝවා අපේ යාච්ඤාවලට පිළිතුරු දෙන දෙවන ආකාරය වන්නේ පරීක්ෂා විඳදරාගන්න අවශ්‍ය ශක්තිය ලබා දීමයි. ඔහුගේ වචනයේ මෙසේ පවසනවා: “ඔබට දරාගත හැකි තරමට වඩා පරීක්ෂා කරනු ලබන්න [දෙවි] ඉඩ දෙන්නේ නැත. ඒ වෙනුවට, පරීක්ෂාවත් සමඟම . . . ඉන් ගැලවීමට මඟද සලසා දෙන්නේය.” (1 කොරින්ති 10:13) අපි දිගටම දෙවි මත රඳා සිටිනවා නම්, යම් පරීක්ෂාවකට එරෙහිව සිටීමට අපට අවශ්‍ය ආත්මික ශක්තිය හීන වන තරමට එය දරුණු අතට හැරෙන්න ඔහු කවදාවත් ඉඩ දෙන්නේ නැහැ. ඔහු අපිට ‘ගැලවීමට මඟ සලසා දෙන්නේ’ කොහොමද? ඔහු ‘තමන්ගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මය ලබා දෙනවා.’ (ලූක් 11:13) හරි දෙය කිරීමට වූ අපේ අධිෂ්ඨානය ශක්තිමත් කරන්නත් නැණවත් තීරණ ගැනීමට ඉවහල් වන බයිබල් ප්‍රතිපත්ති මතක තබාගන්නත් ඒ ශුද්ධාත්මය අපට උපකාර කරනවා. (යොහන් 14:26; යාකොබ් 1:5, 6) වැරදි කිරීමට තිබෙන නැඹුරුවාවන් පරාජය කරන්න අවශ්‍ය ගුණාංග විදහාපෙන්වීම සඳහා අපට උපකාර කරන්න ශුද්ධාත්මයට පුළුවන්. (ගලාති 5:22, 23) ‘ශක්තිය සපයන උපකාරකයෝ’ වීමට සෙසු ඇදහිලිවන්තයන්ව පොලඹවන්න පවා දෙවිගේ ආත්මයට පුළුවන්. (කොලොස්සි 4:11) ඔබ උපකාර ඉල්ලා කරන යාච්ඤාවලට ඒ වගේ ප්‍රේමණීය ආකාරවලින් යෙහෝවා පිළිතුරු දීම ගැන ඔහුට ස්තුති කරන්න ඔබ කැමති වන්නේ නැද්ද?
යථාර්ථවාදී වන්න
13 සෝදිසියෙන් සිටින්න නම් අප යථාර්ථවාදී වීම අවශ්‍යයි. ජීවිතයේ නොයෙකුත් පීඩන නිසා සමහර අවස්ථාවලදී අපි සෑම කෙනෙකුටම වෙහෙසකාරී ගතියක් දැනෙනවා. ඒත් පහවීමට නියමිත මේ සමාජ ක්රමයේ ජීවත් වෙද්දී ගැටලු ප්‍රශ්නවලින් තොර ජීවිතයක් අපිට භුක්ති විඳිය හැකියි කියා දෙවි කවදාවත් පොරොන්දු වී නැති බව අපි මතක තබාගත යුතුයි. බයිබල් කාලවලදී පවා දෙවිගේ සේවකයන් හිංසා පීඩා, දිලිඳුකම්, මානසික අවපීඩනය හා අසනීප ඇතුළු දුක් කරදර අද්දැක්කා.—ක්‍රියා 8:1; 2 කොරින්ති 8:1, 2; 1 තෙසලෝනික 5:14; 1 තිමෝති 5:23.
14 අද අපිටත් ප්‍රශ්න ගැටලු තිබෙනවා. අපි විරුද්ධවාදිකම් අද්දකිනවා වෙන්න පුළුවන්. මුදල් ප්‍රශ්න නිසා සිත්තැවුලෙන් සිටිනවා වෙන්න පුළුවන්. මානසික අවපීඩන සමඟ පොරබදනවා වෙන්න පුළුවන්. අසනීපවලින් පෙළෙනවා හෝ තවත් ආකාරවලින් දුක් වේදනා විඳිනවා වෙන්න පුළුවන්. යෙහෝවා අපිට සිදු විය හැකි සියලු හානිවලින් අපිව ආශ්චර්යවත් ලෙස ආරක්ෂා කළා නම්, ඔහුට නින්දා කරන්න සාතන් එය හේතුවක් කර නොගනියිද? (හිතෝපදේශ 27:11) ඔහුගේ සේවකයන්ව පරීක්ෂාවලට ලක් කිරීමට හා සමහර අවස්ථාවලදී විරුද්ධවාදීන්ගේ අතින් අකාලයේ මිය යන්න පවා යෙහෝවා ඉඩහරිනවා.—යොහන් 16:2.
15 එසේනම් යෙහෝවා අපිට පොරොන්දු කර තිබෙන්නේ මොනවාද? අපි කලින් සලකා බැලූ පරිදි අපි මුළු සිතින්ම ඔහුව විශ්වාස කරනවා නම්, මුහුණ දිය හැකි ඕනෑම පරීක්ෂාවකට එරෙහිව සිටීම සඳහා අපට අවශ්‍ය ශක්තිය සැපයීමට ඔහු පොරොන්දු වී තිබෙනවා. (හිතෝපදේශ 3:5, 6) ඔහු සමඟ තිබෙන අපේ සබඳතාව රැකගැනීමට ඔහුගේ වචනය, ශුද්ධාත්මය හා සංවිධානය මාර්ගයෙන් අපට උපකාර කරමින් ඔහු අපව ආත්මිකව ආරක්ෂා කරනවා. මේ සබඳතාව කිසිම ආකාරයකින්වත් පලුදු කරගන්නේ නැත්නම්, අපි මැරුණත් අපි දිනුම්. දෙවි ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ට ලබා දෙන විපාකය ඔහුගෙන් වළක්වාලන්න මරණය ඇතුළුව කිසිම දෙයකට නොහැකියි. (හෙබ්‍රෙව් 11:6) දැන් ඉතා ආසන්නයටම පැමිණ තිබෙන නව ලොවේදී යෙහෝවා ඔහුට ප්‍රේම කරන අයට ලබා දෙන බවට පොරොන්දු කර තිබෙන අනෙකුත් සියලුම ආශීර්වාද ලබා දෙනවා නිසැකයි.—ගීතාවලිය 145:16.
වාද විෂයන් මතක තබාගන්න
16 අවසානය දක්වා විඳදරාගැනීමට නම් දෙවි දුෂ්ටකම පැවතීමට ඉඩහැර තිබීමට හේතුව හා සම්බන්ධ අතිවැදගත් වාද විෂයන් අපි මතක තබාගත යුතුයි. අප අපගේම ගැටලු ප්‍රශ්නවලින් යට වී ඇතැයි යන හැඟීම නිසා දෙවිට කරන සේවය නතර කිරීමට අප පෙලඹෙන අවස්ථාවලදී, සාතන් යෙහෝවාගේ පරමාධිපත්‍යයේ යුක්තිසහගතභාවය වාදයකට ලක් කර තිබෙන බව අප මතක් කරගත යුතුයි. ප්‍රධාන රවටන්නා වන සාතන් දෙවිට නමස්කාර කරන අයගේ භක්තිය හා ඔහු කෙරෙහි ඔවුන් තබා තිබෙන විශ්වාසවන්තභාවය අඛණ්ඩව රැකගනීවිද යන්න ප්‍රශ්නයට ලක් කර තිබෙනවා. (යෝබ් 1:8-11; 2:3, 4) මෙම වාද විෂයන් හා මේවා විසඳීමට යෙහෝවා තෝරාගෙන තිබෙන ක්‍රමය, අපේ ජීවිතවලටත් වඩා වැදගත්කමක් ගනී. ඒ කෙසේද?
17 දෙවි තාවකාලිකව දුෂ්කරතාවලට ඉඩහැර තිබීම නිසා සත්‍යය පිළිගැනීමට තව වැඩිදෙනෙකුට කාලය ලැබී තිබෙනවා. මේ ගැන සිතා බලන්න. යේසුස් දුක් වින්දේ අපිට ජීවනය ලබාගැනීමට මඟ සලසා දීමටයි. (යොහන් 3:16) අපි එයට ස්තුතිවන්ත වන්නේ නැද්ද? එහෙත් අපි කැමතිද, තවත් අයට ජීවනයට මඟ සොයාගැනීම සඳහා කාලය අවශ්‍ය නිසා තව ටික කාලයක් දුෂ්කරතා විඳදරාගන්න? අවසානය දක්වා විඳදරාගැනීමට නම් යෙහෝවාගේ ප්‍රඥාව අපේ ප්‍රඥාවට වඩා ඉතා උසස් බව අපි තේරුම්ගත යුතුයි. (යෙසායා 55:9) ඉහත සඳහන් කළ වාද විෂයන් සදහටම විසඳීමටත් අපේ සදාකාලික ශුභසිද්ධිය සඳහා ක්‍රියාමාර්ගයක් ගැනීමටත් හොඳම කාලය පැමිණි විට යෙහෝවා දුෂ්ටකම නැති කර දමනවා නිසැකයි. මේ වාද විෂයන් විසඳීමට මීටත් වඩා හොඳ විදිහක් තියේවිද? දෙවි නම් කිසිම අයුක්ති සහගත දෙයක් කරන්නේ නැහැ!—රෝම 9:14-24.
“දෙවිට ළං වන්න”
18 අප තුළ තිබෙන හදිසිතාවේ හැඟීම දිගටම පවත්වාගැනීමට නම් අපි යෙහෝවාට ළංව සිටිය යුතුයි. යෙහෝවා සමඟ අපට තිබෙන ශක්තිමත් සබඳතාව කඩා බිඳ දැමීමට සාතන් ඔහුට කළ හැකි සෑම දෙයක්ම කරමින් සිටින බව කවදාවත් අමතක කරන්න එපා. සාතන් කැමති වන්නේ අවසානය කවදාවත් එන්නේ නැහැ, ශුභාරංචිය දේශනා කිරීමෙන් හා බයිබල් ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වීමෙන් කිසිම පලක් නැහැ කියා අප විශ්වාස කරනවා දකින්නයි. ඒත් ඔහු “බොරුකාරයෙකි. බොරුවේ පියා” ඔහුයි. (යොහන් 8:44) “යක්ෂයාට විරුද්ධ වන්න” අපි අදිටන් කරගෙන සිටිය යුතුයි. යෙහෝවා සමඟ අපට තිබෙන සබඳතාව අපි කවදාවත් සුළු කොට නොතැකිය යුතුයි. බයිබලය ප්‍රේමණීය ලෙස අපට මෙසේ උනන්දු කරනවා. “දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වන්නේය.” (යාකොබ් 4:7, 8) යෙහෝවාට වඩ වඩා ළං වෙන්න ඔබට හැක්කේ කෙසේද?
19 යාච්ඤාපූර්වකව මෙනෙහි කිරීම අත්‍යවශ්‍යයි. ජීවිතයේ පීඩන මගින් අපි යටපත් වෙලා කියා හැඟෙන අවස්ථාවලදී අපේ හද පත්ලේ තිබෙන හැඟීම් යෙහෝවාට පැවසිය යුතුයි. යාච්ඤාවලදී ඔබ ඔහුට නිශ්චිතව දේවල් පවසන තරමට ඔබේ ඉල්ලීම්වලට ඔහු උත්තර දෙන ආකාරය දකින්න පහසු වෙයි. ඔහු දෙන උත්තරය සැමවිටම ඔබ සිතාගෙන සිටිය විසඳුමම නොවෙන්න පුළුවන්. ඒත් ඔබේ ආශාව වන්නේ ඔහුව ගෞරවයට පත් කිරීමත් ඔබේ විශ්වාසවන්තකම අඛණ්ඩව රැකගැනීමත් නම්, ඔබට අවශ්‍ය උපකාරය ඔහු සපයනවා ස්ථිරයි. ඒ උපකාරය නිසා සාර්ථකව විඳදරාගන්න ඔබට පුළුවන්. (1 යොහන් 5:14) ඔබේ ජීවිතයට ඔහුගේ මඟ පෙන්වීම ලැබෙන බව ඔබට පෙනී යන විට ඔබ ඔහුට වඩ වඩා ළං වෙන බව ස්ථිරයි. බයිබලයේ සඳහන් යෙහෝවාගේ ගුණාංග හා මාර්ග ගැන කියවීමත් ඒවා ගැන ගැඹුරින් සිතා බැලීමත් අත්‍යවශ්‍යයි. මේ විදිහට කරන මෙනෙහි කිරීම, ඔහුව වඩාත් හොඳින් හඳුනාගැනීමට ඔබට උපකාරවත් වෙනවා. ඒ වගේම එය ඔබේ සිතට ගැඹුරින්ම කාවදිනවා. එමගින් ඔහුට තිබෙන ඔබේ ප්‍රේමය තවත් වැඩි කරවයි. (ගීතාවලිය 19:14) වැරදි පෙලඹීම්වලට එරෙහිව සිටීමටත් සෝදිසියෙන් සිටීමටත් වෙන කිසිම දෙයකට වඩා එම ප්‍රේමය ඔබට මහත් පිටුවහලක් වෙයි.—1 යොහන් 5:3.
20 යෙහෝවාට ළංව සිටීමට නම් අපි අපේ සෙසු ඇදහිලිවන්තයන්ට ළංව සිටීමත් වැදගත්. මේ ගැන මේ විවරණිකාවේ අවසාන කොටසේ සාකච්ඡා කරනු ලබනවා.
අධ්‍යයනය සඳහා ප්‍රශ්න
• යේසුස් ඔහුගේ භූමික ජීවිතයේ අවසන් අදියරට පැමිණ දැඩි පීඩනයකට ලක් වී සිටි අවස්ථාවේදී කළේ කුමක්ද? ඔහුගේ ගෝලයන්ට ඔහු උනන්දු කළේ කුමක් කරන්න කියාද? (ඡේද 1-4)
• සාතන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව ඉලක්ක කරගෙන සිටින්නේ ඇයි? ඔහු අපව වරදට පොලඹවන්න උත්සාහ කරන්නේ කුමන ආකාරවලින්ද? (ඡේද 5-8)
• වරදට නොපෙලඹවී සිටීමට නම්: අපි නොකඩවා යාච්ඤා කළ යුත්තේ ඇයි? (ඡේද 9-12) අපි යථාර්ථවාදී විය යුත්තේ ඇයි? (ඡේද 13-15) වාද විෂයන් මතක තබාගත යුත්තේ ඇයි? (ඡේද 16-17) ‘දෙවිට ළං විය’ යුත්තේ ඇයි? (ඡේද 18-20)
[25වන පිටුවේ කොටුව]
අධෛර්යයට පත්වීමට බලපාන හේතු සමහරක්
දුර්වල සෞඛ්‍යය හෝ වයසට යෑම. අපි නිදන්ගත රෝගයකින් වේදනා විඳිනවා නම් හෝ මහලු වීම නිසා අපිට යම් දේවල් කරන්න බැරි නම් දෙවිට වැඩියෙන් සේවය කරන්න බැරිවීම ගැන අපි දුක් වෙන්න පුළුවන්.—හෙබ්‍රෙව් 6:10.
බලාපොරොත්තු කඩවීම්. දෙවිගේ වචනය ගැන අපි දේශනා කරද්දී එතරම් හොඳ ප්‍රතිචාරයක් නොලැබෙන විට අපි අධෛර්යයට පත් විය හැකියි.—හිතෝපදේශ 13:12.
නොවටිනාබවේ හැඟීම්. වසර ගණනාවක් පුරා අන් අයගේ නපුරු සැලකිලිවලට ලක් වී තිබීම නිසා යෙහෝවාද ඇතුළුව කිසිම කෙනෙක් තමන්ට ආදරයක් පෙන්වන්නේ නැහැ කියා යමෙකුට හැඟෙන්න පුළුවන්.—1 යොහන් 3:19, 20.
සිත් රිදවීම්. සෙසු නමස්කාරකයෙකු කළ කී දෙයක් නිසා යමෙක් දැඩි සේ අමනාපයට පත් වී සිටිනවා නම්, මෙය ඔහුගේ හෝ ඇයගේ සිතට මොන තරම් දුරට බලපාන්න පුළුවන්ද කියනවා නම්, ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණීම හා ක්ෂේත්‍ර සේවයේ හවුල් වීම නතර කර දමන්න පෙලඹීමක් ඔහු හෝ ඇය තුළ ඇති විය හැකියි.—ලූක් 17:1.
පීඩා. ඔබේ ආගමේ නොසිටින අය ඔබට විරුද්ධවාදිකම් එල්ල කළ හැකියි. පීඩා කළ හැකියි. සමච්චල් කළ හැකියි.—2 තිමෝති 3:12; 2 පේතෘස් 3:3, 4.
[26වන පිටුවේ පින්තූරය]
වරදට නොපෙලඹී සිටීම සඳහා කරන සටනේදී, උපකාර පතා “නොකඩවා යාච්ඤා කරන්න” කියා යේසුස් අපට උනන්දු කළා