අපි සැවොම එකම පවුලක්
ඔබේ සමේ වර්ණයට හෝ ජාතියට වඩා වෙනස් පුද්ගලයන් ගැන ඔබට හැඟෙන්නේ කෙසේද? ඔවුන් හා ඔබ අතර කිසි වෙනසක් නැහැයි කියා ඔබට හැඟෙනවාද? බොහෝදෙනා එවැනි අය තමන්ට වඩා පහත් කියා සිතීම කනගාටුවට කරුණක්. “ජාතිවාදය” ලෙස හඳුන්වන එය, එක් ශබ්දකෝෂයක විස්තර කර තිබෙන්නේ “ජාතියක් හෝ වර්ගයක් තව එකකට වඩා උසස් කියා සිතීම” ලෙසයි.
ජාතිවාදී හැඟීම් නිසා බොහෝදෙනා දැඩි පීඩා හිරිහැරවලට මුහුණ දී තිබෙනවා. උදාහරණයකට මහාචාර්ය වෙන් ෂින් සෙන් ඔහුගේ එක් පොතක සඳහන් කළ දෙය බලන්න. “තවත් රටක් යටත් කරගෙන එහි වැසියන්ව වහලුන් ලෙස තබාගැනීමට එම හැඟීම හේතු වී තිබෙනවා. එමෙන්ම වෙනත් ජාතියක් තමන්ට වඩා සමාජ තත්වයෙන්, ආර්ථිකමය වශයෙන් හා දේශපාලනික වශයෙන් පහත් කියා සැලකීමටද ජාතිවාදය හේතුවක් කරගෙන තිබෙනවා.” අද ලෝකයේ බොහෝ ප්‍රදේශවලද ජාතිවාදී හැඟීම දැකගත හැකියි. නමුත් තමන්ට වඩා අනික් ජාතිය පහත් කියා සිතීමට ඔවුන්ට පදනමක් තිබෙනවාද? ඒ ගැන විද්‍යාවේ හා බයිබලයේ දී ඇති පිළිතුර කුමක්ද?—එම පොත Handbook of Cultural Psychiatry.
විද්‍යාවෙන් සොයාගෙන ඇති දේ
එක් ජාතියකට වඩා තව එකක් උසස් හෝ පහත් යැයි සිතීමට කිසිම පදනමක් නැති බව ජාන පිළිබඳව කළ පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා. උදාහරණයකට ලෝකයේ ඕනෑම ප්‍රදේශයකින් තෝරාගත් මිනිසුන්ගේ DNA පරීක්ෂණවලින් හෙළි වුණේ ඔවුන්ගේ ජාන අතර ඇති වෙනස සමස්ථයක් ලෙස ගත් කළ සියයට 0.5ක් පමණ බවයි.a
“පොදුවේ ගත් කළ ජානමය වශයෙන් සියලුම මිනිසුන් එක හා සමානයි. ඒ නිසා ජාතිවාදී හැඟීම් කිසි පදනමක් නැති එකක් බව මනාව ඔප්පු කිරීමටත් එම ආකල්ප නිශ්ප්‍රභ කිරීමටත් එය කදිම සාක්ෂියක්” කියා එක් සඟරාවක සඳහන් වෙනවා.—Nature.
“පොදුවේ ගත් කළ ජානමය වශයෙන් සියලුම මිනිසුන් එක හා සමානයි”
ජාතිවාදය පරාජය කිරීමට 1950 මුල් භාගයේදීත් යම් වෑයමක් දැරුවා. එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (UNESCO) විසින් ජාතිවාදය පරාජය කිරීමට යම් ප්‍රකාශයන් මාලාවක් ඉදිරිපත් කළා. ඔවුන් එය කළේ මානව විද්‍යාඥයන්, ප්‍රවේණි විද්‍යාඥයන් හා සමාජ විද්‍යාඥයන්ගේ අධීක්ෂණය යටතේයි. නමුත් එයින්ද ජාතිවාදය පරාජය කිරීමට නොහැකි වුණා. ඉන් පැහැදිලි වුණේ ජනයාව තොරතුරුවලින් දැනුවත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවූ බවයි. ඒ වෙනුවට ඒවා ඔවුන්ගේ හදවතටම දැනෙන්න අවශ්‍ය වුණා. ‘දුෂ්ට සිතුවිලි නික්මෙන්නේ සිතින්ය’ කියා යේසුස් පැවසුවේ ඒ නිසයි.—මතෙව් 15:19, 20.
බයිබලයේ සඳහන් දේ
බයිබලයේ තොරතුරු ලියැවී ඇත්තේ මිනිසුන්ගේ හදවතටම කතා කරන ආකාරයටයි. උදාහරණයකට එහි සඳහන් මෙම විද්‍යාත්මක සත්‍යය ගැන සිතා බලන්න. “මුළු පොළෝතලයෙහි වාසය කරන පිණිස, ඔහු එක මිනිසෙකුගෙන් මුළු මිනිස් වර්ගයාවම සෑදුවේය.” එපමණක් නොව ඒ සියලු මිනිසුන් ගැන යෙහෝවා දෙවි දරන ආකල්පය ගැනද බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. ‘දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන්නේය. සියලු ජාතීන් අතරේ ඔහු කෙරෙහි භය ඇති, ධර්මිෂ්ඨකම් කරන තැනැත්තාව ඔහු පිළිගන්නේය.’ (ක්‍රියා 10:34, 35; 17:26) එතරම් යුක්තිසහගත දෙවි කෙනෙකුට ප්‍රේම කිරීමට ඔබ පෙලඹෙන්නේ නැද්ද?—ද්විතීය කතාව 32:4.
යෙහෝවා දෙවි කැමති අපත් ඔහු මෙන් අන් අයට ප්‍රේමණීයව සලකනවාටයි. බයිබලයේ අපට මෙසේ උනන්දු කරන්නේ ඒ නිසයි. ‘ඔබ ප්‍රේමණීය දරුවන් වන බැවින් දෙවිව අනුකරණය කරන්නන් වන්න. ඔබත් ප්‍රේමයෙන් යුක්තව ගමන් කරන්න.’ (එෆීස 5:1, 2) එහි සඳහන් “ප්‍රේමයෙන් යුක්තව ගමන් කරන්න” කියන විට එයින් අදහස් කරන්නේ අනික් කෙනාගේ සමේ වර්ණය හෝ ජාතිය කුමක් වුණත් දෙවි මෙන් ඔහුට ප්‍රේම කිරීමයි.—මාක් 12:31.
නමුත් අන් අයව පහත් කොට සලකමින් ඔවුන්ට වෛර කරන අයට යෙහෝවා දෙවි කැමති නැහැ. (1 යොහන් 3:15) දෙවි එවැනි අයව මේ පොළොවෙන් සම්පූර්ණයෙන්ම තුරන් කර දමන කාලය වැඩි ඈතක නොවෙයි. එවිට මේ පොළොවේ ජීවත් වන්නේ දෙවි මෙන් අන් අයට ප්‍රේම කරන අය පමණයි. ඒ කාලයේදී මුළු පොළොවෙහිම සිටින ජනයා එකම පවුලක් මෙන් ජීවත් වන අතර ඔවුන් නමස්කාර කරන්නේ එකම සැබෑ දෙවිට පමණයි.—ගීතාවලිය 37:29, 34, 38.
a ජාන පිළිබඳව කළ මෙම සොයාගැනීම් වෛද්‍ය ක්ෂේත්‍රයට ප්‍රයෝජනවත් විය හැකියි. ඊට හේතුව සමහර රෝග ජානවලට සම්බන්ධ නිසයි.