වෛරය—ලොව පුරා පැතිරී යන වසංගතයක්
වසංගතයක් බඳු වෛරය වෙන කවරදාටත් වඩා මහත් වේගයකින් ලොව දස දෙස පැතිරී යමින් පවතී.
බෝල්කන් අර්ධද්වීපයේ පිහිටි එක් පළාතක මෑතක සිදු වූ වාර්ගික සමූලඝාතනය නිසා ඇති වූ ඉමහත් වේදනාව එහි වැසියන්ට තවමත් දැනෙයි. සියවස් ගණනාවක් පුරා සිත් තුළ පැලපදියම් කරගෙන සිටින සතුරුවාදී හැඟීම්වල ප්‍රතිඵලයක් වශයෙන් මිනිසුන්ව බුරුතු පිටින් ඝාතනය කර තිබේ. ස්ත්‍රීන්ව දූෂණය කර ඇත. සමහරුන්ව නිවෙස්වලින් හා ගම්බිම්වලින් පන්නා දමා තිබේ. ආහාර බෝග හා සත්ව ගොවිපොළවල් විනාශ කිරීම නිසා මිනිස්සු කුසගින්නෙන් පෙළෙති. ඇතැම් ප්‍රදේශවල තවමත් බිම් බෝම්බ අඩියෙන් අඩියට වළලා තිබේ.
ගිනිකොනදිග ආසියාවේ පිහිටි නැඟෙනහිර තිමෝරයේ විසූ 7,00,000ක් පමණ දෙනා ඝාතනය කිරීම්, පහර දීම්, වග විභාගයකින් තොරව කරන වෙඩි තැබීම්වලට බියෙන් තම ගම් බිම් අත්හැර පලා ගියහ. ඔවුන් අත්හැර ගියේ කොල්ලකන හමුදාවන් විසින් විනාශ කොට පාළු කරන ලද දේශයකි. “දඩයම්කරුවෙකු දැක මරු බියෙන් පලා දුවන සතෙකුට වගෙයි මට දැනුණේ” කියා එක් මිනිසෙක් කඳුළු සලමින් පැවසුවේය.
ත්‍රස්තවාදී බෝම්බයක් පුපුරා යෑම නිසා මොස්කව්හි පිහිටි තට්ටු නිවාස සංකීර්ණයක් සුනු විසුනු වී ගියේය. මිය ගිය අහිංසක මිනිසුන්ගේ මළ සිරුරු 94ක් තැනින් තැන විසිරී තිබිණ. ඒ අතර ළමුන්ද විය. තුවාල ලැබූ පිරිස 150කට වැඩිය. ‘ඊළඟට පුපුරන බෝම්බයට කවුරු ගොදුරු වෙයිද?’ කියා එම වේදනාකාරි අද්දැකීමට මුහුණ දුන් මිනිස්සු අසති.
කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස්හිදී අවි ගත් වර්ගවාදියෙක් යුදෙව් ජාතික පාසැල් ළමුන් පිරිසකට වෙඩි තැබුවේය. පසුව ඔහු පිලිපීන ජාතික තැපැල්කරුවෙකුවද වෙඩි තබා ඝාතනය කළේය.
වෛරය නමැති වසංගතය එක රටකට පමණක් සීමා වී නැති බව ඉහත වාර්තාවලින් පැහැදිලි වේ. විවිධ ජන කොටස්වලට අයත් පිරිස් හා ආගම්වලට අයත් මිනිසුන් අතර පවතින සතුරුවාදී හැඟීම් නිසා සිදු වන විනාශයන් ගැන සෑම දවසකම පාහේ ජනමාධ්‍යවලින් වාර්තා වේ. අද ජාතීන්, ජන කොටස් හා පවුල් භේද බින්න වී තිබෙන ආකාරය අපට හොඳින් දැකගත හැක. වෙනස් වර්ගවලට අයත් මිනිසුන්ව බුරුතු පිටින් ඝාතනය කිරීම නිසා විශාල සටන් ඇති වී තිබෙන රටවල් ගැන අපි අසා ඇත්තෙමු. එපමණක්ද නොව, ඉතාමත් දරුණු අමානුෂිකකම්වලට ගොදුරු වී තිබෙන ජන කොටස් ගැනද අපි අසා ඇත්තෙමු. ඒ මිනිසුන් කුරිරු වධ හිංසාවලට ගොදුරු වීමට හේතුව ඔවුන් ‘වෙනස්’ වීමයි.
වෛරය නමැති වසංගතය මුලිනුපුටා දැමීමට නම්, අප ප්‍රථමයෙන් කළ යුත්තේ එය මුලින්ම මිනිසුන් තුළ ඇති වූ ආකාරය තේරුම්ගැනීමයි. වෛරය මිනිස් ජාන හා බැඳි යමක්ද? වෛරය අන් අයගෙන් ඉගෙනගත හැකි දෙයක්ද? වෛරය මුලිනුපුටා දැමිය හැකිද?
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Kemal Jufri/Sipa Press