ඩෙංගු—දෂ්ට කිරීමකින් සෑදෙන උණක්
පිලිපීනයේ පිබිදෙව්! වාර්තාකරු විසින්
කුඩා දැරියගේ අතේ මදුරුවෙක් වසනවා කවුරුත් දැක්කේ නැහැ. මේ කෘමියා විගස ඇගේ සමට විද ලේ උරා බොයි. ටික වේලාවකට පසු මව තම දියණිය දෙස නිකමට බලද්දී, මදුරුවා ලේ උරා බොනවා දකියි. මදුරුවාට ගහද්දීම ඌ ඉගිලී යයි. කතාව එතැනින් අවසන්ද? එසේ නොවෙන්න පුළුවන්. මදුරුවා ඉගිලී ගියා වෙන්න පුළුවන්; ඒත් ඒ මදුරුවා දරුවාගේ රුධිරධාරාව ආක්‍රමණය කළ ඒ සුළු මොහොතේදී රෝග කාරක ජීවීන් රුධිරයට ඇතුල් වී හමාරයි.
සති දෙකක් ඇතුළත මේ දරුවාගේ ඇඟ සීතල වෙයි; හිසරදය හටගනියි; ඇස් යට වේදනාවක් ඇති වෙයි; ඇගේ සිරුරේ සන්ධිවල දරුණු වේදනාවක් හටගනියි; තදින් උණ ගැනෙයි. රෝගය උත්සන්න වෙද්දී, සිරුරේ රතුපාට පලු මතු වී සම්පූර්ණයෙන්ම දුර්වල වෙයි. මදුරුවෙකු දෂ්ට කිරීමෙන් සෑදෙන ඩෙංගු උණයි ඈට වැළඳී තිබෙන්නේ.
කොහොමවුණත්, කලින් මේ දරුවාට ඩෙංගු උණ සෑදී තිබුණා නම්, මේ රෝගයේ වඩාත් දරුණු තත්වයක් වන ඩෙංගු රක්තපාත උණ (DHF) ඈට සෑදෙන්න ඉඩ තිබෙනවා. මේ සමඟම කේශ නාලිකාවලින් රුධිරය වෑස්සීමේ ප්‍රතිඵලයක් හැටියට සම මතුපිටින් අධික රුධිර ගැලීමක් සිදු වෙනවා. අභ්‍යන්තර ලේ ගැලීමක් සිදු විය හැකියි. නිසි ප්‍රතිකාර නොලැබුණොත් රෝගියා දරුණු කම්පනයකට ගොදුරු වී, රුධිර සංසරණය අඩපණ වීම නිසා ඉක්මනින් මියයා හැකියි.
ඇත්තෙන්ම ඩෙංගු කියන්නේ මොකක්ද? එය ඔබට බලපාන්න පුළුවන්ද? ඔබවත් ඔබේ පවුලේ අයවත් ඔබට ආරක්ෂා කරගන්න පුළුවන් කොහොමද? අපි මෙයට සමීප බැල්මක් හෙළමු.
ඩෙංගු කියන්නේ මොකක්ද?
සන්ධිසංජ්වරය කියාද හැඳින්වූ ඩෙංගු උණ, මදුරුවෙකු දෂ්ට කිරීම මගින් ඇති වන රෝග ගණනාවකින් එකක් පමණයි. මේ රෝගයට මූලික හේතුව වයිරසයක්. රෝග වාහක මදුරුවා (එනම්, ආසාදිත පුද්ගලයෙකුට කලින් දෂ්ට කර තිබෙන මදුරුවෙක්) ඌගේ ඛේට ග්‍රන්ථි මගින් රෝගය පතුරුවනවා. ලේ උරා බීම සඳහා පුද්ගලයෙකුට දෂ්ට කිරීමේදී, ඌ ඒ තැනැත්තා තුළට වයිරසය ඇතුල් කරනවා.
ඩෙංගු වයිරසයේ ප්‍රභේද හතරක් තිබෙනවා. එක් ප්‍රභේදයකින් ආසාදිත වීම, සෙසු ප්‍රභේද තුන සඳහා ප්‍රතිශක්තියක් සපයන්නේ නැහැ. එක්වරක් ආසාදිත වීමෙන් පසු, ආසාදිත පුද්ගලයාව වෙනත් ප්‍රභේදයක් පතුරුවන මදුරුවෙක් විසින් දෂ්ට කළොත්, එහි ප්‍රතිඵලය DHF විය හැකියි.
‘ලෝක ජනගහනයෙන් පහෙන් දෙකක්’ අනතුරේ
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) වාර්තාවලට අනුව, මිනිසුන් බිලියන 2.5කට, එනම් “ලෝක ජනගහනයෙන් පහෙන් දෙකකට” ඩෙංගු උණ තර්ජනයක් වී තිබෙනවා. ඒෂියාවීක් මෙසේ වාර්තා කළා: “නිවර්තන හා උපනිවර්තන කලාපීය රටවල් 100කට වැඩි ගණනකින් ඩෙංගු උණ පැතිරීම වාර්තා වුණා; සෑම අවුරුද්දකම රෝගීන් කෝටි ගණනක් වාර්තා වන අතර, ඔවුන්ගෙන් 95%ක්ම කුඩා දරුවන්.”
ඩෙංගු මුලින්ම හඳුනාගත්තේ කවදාද කියා පැහැදිලි නැහැ. වර්ෂ 1779දී කයිරෝහි පැවති “දණහිස් උණ” පිළිබඳ වාර්තාව යොමු දක්වමින් සිටියේ ඩෙංගු උණ රෝගයට විය හැකියි. එදා සිට ඩෙංගු උණ ලොව දස දෙසින් වාර්තා වී තිබෙනවා. විශේෂයෙන්ම දෙවන ලෝක මහා යුද්ධයෙන් පසුව, ගිනිකොනදිග ආසියාතික රටවලින් පටන්ගත් ඩෙංගු උණ මිනිසාගේ සෞඛ්‍යය කෙරෙහි ඉමහත් බලපෑමක් ඇති කර තිබෙනවා. විවිධාකාර වයිරස් පැතිරෙන්න පටන්ගත්තා; එහි ප්‍රතිඵලයක් හැටියට ඉතා අනතුරුදායක රක්තපාත විවිධ ස්වරූපයෙන් හටගත්තා. WHO මගින් පළ කරන ප්රකාශනයක මෙසේ පවසනවා: “ආසියාව තුළ මුලින්ම රක්තපාත උණ හඳුනාගත්තේ 1954දී මැනිලාහිදීයි.” පසුව, අනෙකුත් රටවලටත් පැතුරුණා; විශේෂයෙන්ම තායිලන්තය, වියට්නාමය, මැලේසියාව හා අසල්වැසි රටවලට පැතිරී ගියා. ගිනිකොනදිග ආසියාතික රටවල මෙය මුලින්ම හටගත් කාලයේදී, ආසාදිත පුද්ගලයන්ගෙන් සියයට 10 සිට 50 දක්වා ප්‍රමාණයක් මියගියත්, මේ රෝගය ගැන බොහෝ දේවල් දැනගැනීමත් සමඟ ඒ අගයන් පහත වැටුණා.
වර්ෂ එක්දහස් නවසිය හැටගණන්වල සිට, වයිරසය පතුරුවන මදුරුවන් පාලනය කිරීමේ වැඩසටහන් නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා ඩෙංගු උණ ශීඝ්‍රයෙන් වර්ධනය වුණා. ඩෙංගු උණ පැතිරීමත් සමඟම DHFද පැතිරුණා. වර්ෂ 1970ට කලින් වසංගත වාර්තා වුණේ රටවල් 9කින් පමණයි; ඒත් 1995 වන විට ඒ සංඛ්‍යාව 41 දක්වා ඉහළ ගොස් තිබුණා. WHO මගින් සිදු කරන ගණන් බැලීම්වලට අනුව, වර්ෂයකට DHF ආසාදිත වූ අය 5,00,000ක් රෝහල්ගත කිරීම අවශ්‍ය වෙනවා.
නිවර්තන කලාපීය රටවලින් බැහැර ප්‍රදේශවල මේ රෝගය එතරම් නැති වුණත්, ඇතැම් අවස්ථාවලදී ආසාදිත වීමේ අවදානමක් තිබෙන රටවල සංචාරය කරන්නන්ට එය වැළඳී තිබෙන අතර, ඔවුන් එය තමන්ගේ මව් රටට ගෙන ගොස් තිබෙනවා. උදාහරණයක් හැටියට, 1996 අවුරුද්දේ අවසාන භාගයේදී, එක්සත් ජනපදයේ, ඔරිගන්, ටෙක්සස්, නියූ යෝක් හා මැසචූසට්ස් යන ප්‍රදේශවලින් ඩෙංගු උණ වාර්තා වුණ බව ද නියූ යෝක් ටයිම්ස් සඟරාවේ සඳහන් වුණා.
DHF හා සම්බන්ධ විශේෂ අනතුරු
කලින් සඳහන් කළාක් මෙන්, DHF කියන්නේ ඩෙංගු උණ රෝගයේ මාරාන්තික ප්‍රභේදයක්. DHF හා සම්බන්ධ එක් අනතුරක් නම්, එය එතරම් දරුණු දෙයක් කියා මිනිසුන් කල්පනා නොකිරීමයි. එය සෙම්ප්‍රතිශ්‍යාවක් කියා බොහෝදෙනෙක් වරදවා තේරුම්ගන්නවා. කොහොමවුණත්, ප්‍රතිකාර කිරීම කල්දැමීම මගින් රෝගය වඩාත් දරුණු තත්වයට පත් වෙයි; මේ අවස්ථාවේදී, රුධිර පට්ටිකා ප්‍රමාණය වේගයෙන් පහළ බැස, (අභ්‍යන්තරව හෝ විදුරුමස්වලින්, නාසයෙන් හෝ සමෙන්) අධික ලෙස රුධිරය ගලන්න පටන්ගනියි; රුධිර පීඩනයද අඩු වෙයි. රෝගියාව පණ නැති තත්වයකට පත් විය හැකියි. පවුලේ අය තත්වය බරපතළයි කියා තේරුම්ගන්නා විට, කම්පනයේ ලක්ෂණ පහළ වී හමාරයි. ඔවුන් විගස ඔහුව රෝහලට රැගෙන යයි. ඔහුගේ රුධිර සංසරණයේ අඩපණ වීමක් සිදු වී තිබෙන බව වෛද්‍යවරුන් සොයාගනියි. අසාධ්‍ය තත්වය නිසා ධමනිවලට තරල ප්‍රතිසම්පාදනය කිරීමට නියම කරයි.
ඔබේ පවුල රැකගැනීම
මේ රෝගයේ බලපෑම් අවම කරගැනීම සඳහා කරන්න පුළුවන් මොනවාද? පවුලේ අය ඩෙංගු උණ පැතිරී පවතින ප්‍රදේශයක ජීවත් වෙනවා නම්, දවසකට වැඩි කාලයක් පවතින උණක් පවුලේ සාමාජිකයෙකුට තිබෙනවා නම්, පවුලේ අය නැණවත් ලෙස වෛද්‍යවරයෙකුව හමු විය යුතුයි. අසනීප වී සිටින තැනැත්තා තුළ ඩෙංගු උණ හා සම්බන්ධ වෙනත් රෝග ලක්ෂණ වන ඇඟේ පලු මතුවීම හෝ මාංශපේශිවල හා සන්ධිවල හෝ ඇස් පිටුපස වේදනාව තිබෙනවා නම් වෛද්‍යවරයෙකු හමුවීම ඉතාමත් වැදගත්.
වෛද්‍යවරයා රුධිර පරීක්ෂණයක් කරන්න ඉඩ තිබෙනවා. ඩෙංගු රක්තපාත උණ සෑදී නොතිබෙන අවස්ථාවකදී සුළු ප්‍රතිකාරයක් පමණක් අවශ්‍ය විය හැකියි. ඒත් DHF වැළඳී තිබෙන බව රුධිර පරීක්ෂණයෙන් ඇඟවෙනවා නම්, බොහෝදුරට වෛද්‍යවරයා සිරුරේ ද්‍රව ප්‍රමාණය පරෙස්සමින් පාලනය කිරීම නිර්දේශ කළ හැකියි. සිරුරේ ද්‍රව ප්‍රමාණය යථා තත්වයට පත් කිරීම සඳහා පාචනයේදී ලබා දෙන ඒවා හා සමාන මුඛයෙන් ලබා දෙන ද්‍රාවණ හෝ වඩාත් අසාධ්‍ය තත්වයන්වලදී රිංගර් ද්‍රාවණය, සේලයින් ද්‍රාවණය හෝ වෙනත් දේවල් යොදාගනිමින් ධමනි ඔස්සේ ද්‍රාවණයන් ප්‍රතිසම්පාදනය කිරීම යනාදිය මෙයට ඇතුළත් විය හැකියි. කම්පනය සිදු වූ අවස්ථාවල ප්‍රතිකාර කිරීමේදී, රුධිර පීඩනය වැඩි කර, රුධිර පට්ටිකා මට්ටම යථා තත්වයට පත් කිරීම සඳහා වෛද්‍යවරු නිශ්චිත ප්‍රතිකාර නිර්දේශ කළ හැකියි.
සැලකිය යුතු ප්‍රමාණයකින් රුධිරය ගලයි නම්, වෛද්‍යවරුන් රුධිර ප්‍රවේශනයක් නිර්දේශ කරන්න ඉඩ තිබෙනවා. සමහර වෛද්‍යවරු විකල්ප සොයා බලන්නේ නැතුව විගස මෙය නිර්දේශ කරන්න පුළුවන්. කොහොමවුණත්, මෙය දෙවිගේ නීතියට පටහැනියි; ඊට අමතරව සාමාන්‍යයෙන් එය අනවශ්‍යයි. (ක්‍රියා 15:29) රෝගය සෑදුණු අවස්ථාවේ සිටම සංසරණයේ ද්‍රාවණ මට්ටම පරෙස්සමින් පාලනය කිරීම ප්‍රතිකාර සැපයීමේදී ඉතා වැදගත්ම සාධකය බව අද්දැකීමෙන් පෙනී ගොස් තිබෙනවා. රෝගියා සහ වෛද්‍යවරයා සහයෝගයෙන් ක්‍රියා කිරීම, රුධිර ප්‍රවේශනය භාවිත කිරීම සම්බන්ධයෙන් පැනනඟින මතභේද නැති කර දැමීමට උපකාරවත් විය හැකියි. මේ සියල්ලෙන්ම අවධාරණය කෙරෙන්නේ යම් පුද්ගලයෙකුට DHF වැළඳී තිබෙන බවට සැක කරනු ලබන විට වහාම ක්‍රියාත්මක වීම ඉතාමත් වැදගත් බවයි.—“රෝග ලක්ෂණ මොනවාද?” නමැති කොටුව බලන්න.
වැළැක්වීමේ ක්‍රම
ඩෙංගු වයිරසය ගෙන යන ප්‍රධාන රෝග වාහකයන්ගෙන් එකෙක් නම් ඊඩිස් ඊජිප්ටයි මදුරුවායි. මේ මදුරු විශේෂය ලොව පුරා නිවර්තන හා උපනිවර්තන කලාපයට අයත් රටවල බහුලව සිටිනවා. (මේ සමඟ තිබෙන සිතියම බලන්න.) අධික ජනගහනයක් වෙසෙන ප්‍රදේශ ඊඩිස් ඊජිප්ටයි මදුරුවන්ගේ තෝතැන්නක් වෙනවා. මේ රෝගය පාලනය කිරීමට ගත යුතු ක්‍රියාමාර්ගවලින් ප්‍රධාන එකක් නම් මදුරුවන් පාලනය කිරීමයි.
ලෝක ව්‍යාප්ත පරිමාණයකින් මදුරුවන් පාලනය කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. කොහොමවුණත්, ඔබේ නිවස ආශ්‍රිතව පවතින මේ අනතුර අවම කිරීම සඳහා ඔබට කළ හැකි දේවල් තිබෙනවා. ගැහැනු මදුරුවන් බිත්තර දමන්නේ ජලයෙයි. විසි කර දමා තිබෙන ටයර්, ඉවත දමා තිබෙන ටින් බඳුන්, බෝතල් හෝ පොල් කටු වැනි ද්‍රව්‍යවල සතියක් වැනි කාලයක් රැඳී පවතින ජලයේ කීටයන් වැඩෙන්න පුළුවන්. එවැනි ද්‍රව්‍ය ඉවත් කර දැමීම මගින් මදුරුවන් බෝවෙන ස්ථාන නැති කර දමන්න පුළුවන්. ඊට අමතරව, බාල්දි හෝ බෝට්ටු ආදිය මුණින් අතට හරවා තැබීමත් නිර්දේශ කෙරෙනවා. වැහි පීලිවල රැඳී තිබෙන ජලය ඉවත් කිරීමත් උපකාරවත් වෙන්න යනවා. මේ හේතුව නිසා, 1997/98 පාසැල් වර්ෂය ආරම්භයේදී, පිලිපීනයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් පාසැල් පංති කාමරවල මල් බඳුන් නොතබන්න කියා ඉල්ලා සිටීම සැලකිල්ලට යොමු කළ යුතු දෙයක්.
නිවසේ සිටින කෙනෙකුට ඩෙංගු උණ සෑදී තිබෙනවා නම්, ඔහුව මදුරුවන්ගෙන් ආරක්ෂා කිරීමට පියවර ගන්න. ඒකට හේතුව ඔහුට දෂ්ට කරන වෙනත් මදුරුවන්ට වයිරසය ඇතුල් වීමේ ප්‍රතිඵලයක් හැටියට අනිත් අයත් ආසාදිත වෙන්න පුළුවන් වීමයි. නිසි ලෙස තිර දමා ආවරණය කර තිබෙන හෝ වායු සමනය කළ ගොඩනැඟිල්ලක් ආරක්ෂාවක් විය හැකියි.
එන්නත් කිරීම ගැන කියන්න පුළුවන් මොනවාද? දැනට සාර්ථක එන්නතක් නැහැ. එන්නතක් නිපදවීම සඳහා පර්යේෂණ පවත්වමින් සිටියත්, සම්පූර්ණයෙන්ම ආරක්ෂා වීම සඳහා ඩෙංගු ප්‍රභේද හතරටම ප්‍රතිශක්තිකරණය අවශ්‍ය කරන නිසා එය සංකීර්ණ කාර්යයක්. එක් ප්‍රභේදයක් සඳහා පමණක් එන්නත් කිරීම මගින් DHF සෑදීමේ අවදානම ඇත්තටම වැඩි විය හැකියි. අවුරුදු පහක හෝ දහයක කාලයක් ඇතුළත සාර්ථක එන්නතක් සොයාගත හැකි වෙයි කියා පර්යේෂකයන් බලාපොරොත්තු වෙනවා.
ඇතැම් පර්යේෂකයන් තවත් ප්‍රතිකාර ක්‍රමයක් අත්හදා බලා තිබෙනවා. ජාන ඉන්ජිනේරු විද්‍යාව යොදාගනිමින් මදුරුවන්ගේ ඛේටයෙහි ඩෙංගු වයිරසය හටගැනීම වැළැක්වීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. සැලසුම් කර තිබෙන විදිහට මෙය සාර්ථක වුණොත්, ජාන ඉන්ජිනේරු විද්‍යාව මගින් බිහි කරන මදුරුවන් ඩෙංගු වයිරසය හටගැනීම මැඩපවත්වන වර්ගයක් බිහි කරාවි. යම් ප්‍රමාණයක සාර්ථකත්වයක් ලබා තිබුණත්, මෙය කොතෙක් දුරට සාර්ථක වේද යන්න ස්ථිර නැහැ.
වර්තමානයේ ඩෙංගු උණ තුරන් කර දැමීම කළ නොහැකි දෙයක් බවයි පෙනෙන්නේ. ඒත්, ප්‍රායෝගික පූර්ව ආරක්ෂක පියවර ගැනීමෙන් ඔබවත් ඔබේ ප්රේමනීයයන්වත් මදුරුවෙකු දෂ්ට කිරීමෙන් සෑදෙන උණක් වන මාරාන්තික ඩෙංගු උණෙන් බේරාගත හැකියි.
[22වන පිටුවේ කොටුව]
රෝග ලක්ෂණ මොනවාද?
ඩෙංගු උණ මෙන්ම ඩෙංගු රක්තපාත උණ (DHF) හා සම්බන්ධ රෝග ලක්ෂණ
• හදිසියේම තදින් උණගැනීම
• දරුණු හිසරදයa
• ඇස් පිටුපස වේදනාව
• සන්ධිවල හා මාංශපේශිවල වේදනාව
• වසාගැටිති ඉදිමීම
• ඇඟේ පලු දැමීම
• මහන්සි ගතියක් දැනීම
DHF හා සම්බන්ධ වඩාත් සුවිශේෂ රෝග ලක්ෂණ
• හදිසියේම පණ නැති තත්වයකට පත්වීම
• සම මතුපිටින් රුධිරය අධික ලෙස ගැලීම
• ශරීරය පුරා රුධිරය ගැලීම
• ඇඟ සීතල වීම, සම ඇලෙනසුලු ගතියකින් යුක්ත වීම
• නින්ද නොයෑම
• කම්පනය සමඟ නාඩි වැටීම දුර්වල වීම (ඩෙංගු කම්පන සින්ඩ්‍රෝමය)
රෝග ලක්ෂණ මතු වුණොත් ප්‍රමාද නොවී වෛද්‍යවරයෙකුව හමුවන්න. විශේෂයෙන්ම දරුවන් සිටින්නේ අවදානම් තත්වයකයි
[පාදසටහන]
a ඇස්ප්‍රින් මගින් රුධිරය ගැලීම වේගවත් කරන නිසා එයින් වළකින්න කියා වෛද්‍ය අධිකාරින් පවසනවා.
[23වන පිටුවේ කොටුව]
සංචාරකයන් සඳහා උපදෙස්
නිවර්තන කලාපයේ පිහිටි රටවල සංචාරය කරන්නන්ට ඉඳහිට ඩෙංගු උණ සෑදුණත්, සාමාන්‍යයෙන් වඩාත් බරපතළ වර්ගය වන ඩෙංගු රක්තපාත උණ සෑදෙන්නේ ඩෙංගු දෙවන වරට ආසාදිත වීමෙන් පසුව බැවින්, ඔවුන්ට එය සෑදෙන්නේ ඉතාමත් කලාතුරකින්. සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා යෝජනා කිහිපයක් මතු දැක්වෙනවා:
• අත්දිග කමිස සහ දිග කලිසම් අඳින්න
• මදුරුවන් පලවාහරින ද්‍රව්‍ය භාවිත කරන්න
• අධි ජනගහනයකින් යුත් ප්‍රදේශවලින් ඈත් වී සිටින්න
• ජනෙල් වසා තැබිය හැකි, මදුරුවන්ට ඇතුල් විය නොහැකි නවාතැන්වල නතර වන්න
• මව් රට බලා ආපසු පැමිණීමෙන් පසු, ඔබට උණක් සෑදී තිබෙනවා නම් ඔබ සංචාරය කළ ප්‍රදේශ ගැන වෛද්‍යවරයාට පවසන්න
[23වන පිටුවේ සිතියම⁄පින්තූරය]
මෑතකදී ඩෙංගු උණ පැතුරුණු ප්‍රදේශ
ඩෙංගු වසංගතයේ අවදානමට ලක් වී තිබෙන ප්‍රදේශ
ඩෙංගු උණ පතුරුවන “ඊඩිස් ඊජිප්ටයි” මදුරුවන් ගැවසෙන ස්ථාන
[හිමිකම් විස්තර]
මූලාශ්‍රය: රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන, 1997
© Dr. Leonard E. Munstermann/Fran Heyl Associates, NYC
[24වන පිටුවේ පින්තූර]
බෝවීමට ඉඩ කඩ තිබෙන ස්ථාන වන්නේ (1) විසි කර දමා තිබෙන ටයර්, (2) වැහි පීලි (3) මල් බඳුන්, (4) බාල්දි හෝ වෙනත් භාජන, (5) ඉවත දමා තිබෙන ටින් (6) බැරල් යනාදියයි
[23වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
© Dr. Leonard E. Munstermann/Fran Heyl Associates, NYC