ලෝක ප්‍රසිද්ධියට වඩා වැඩි හොඳ යමක්
මම යුරෝපයේ සුප්‍රසිද්ධ මූර්ති ශිල්පියෙක් බවට පත් වෙලා අවුරුදු ගණනකට පස්සේ සහකාර කලා ශිල්පියෙක් චෝදනාත්මක ලෙස මට මෙහෙම කිව්වා: “ඔයා කලා කුසලතා අපතේ යවලා!” ඔහු ඒ චෝදනාව නැඟීමට හේතුව විස්තර කිරීමට පෙර, මම මූර්ති ශිල්පියෙක් වුණේ කොහොමද කියලා පැහැදිලි කරන්න මට ඉඩ දෙන්න.
මම ඉපදුණු ඖරිසිනා ගමේ මිනිස්සුන්ගෙන් වැඩිදෙනෙක් වැඩ කළේ පැරණි ගල් පතලකයි. ඖරිසිනා පිහිටා තිබෙන්නේ උතුරු ඉතාලියේ ට්‍රිඑස්ට් අසලයි; එය පෙර යුගෝස්ලාවියාවටද කිට්ටුයි. මට 15ක් වුණහම, මමත් ගමේ පතලක වැඩ කරන්න පටන්ගත්තා. ඒ 1939 IIවන ලෝක යුද්ධය පටන්ගත් අවුරුද්දෙයි. ගල් එක්කම වැඩ කරද්දී මට ඕනෙ වුණා ප්‍රසිද්ධ මූර්ති ශිල්පියෙක් වෙන්න. මට කවදාවත් මැරෙන්නේ නැතුව ඉන්නත් ඕනෙ වුණා. මේ ආශාවන් දෙකම අත් කරගන්න බැරි බවයි පෙනෙන්න තිබුණේ.
එක්දාස් නවසිය හතළිස්පහේදී යුද්ධය අවසන් වූ විට, රෝමයේ ඉන්න මගේ අක්කා එක්ක පදිංචි වෙන්න මම රෝමයට ගියා. එහිදී, මම කලා ශාස්ත්රාලයට ඇතුල් වෙන්න බලාපොරොත්තු වුණා. මගේ ආශාව සැබෑවක් වී, අවුරුදු තුනක අධ්‍යාපනයක් ලැබීමට මාව පිළිගත් විට මට මොනතරම් සතුටක් ඇති වුණාද! මගේ අධ්‍යාපනයට මුදල් ලැබුණේ විවිධ පුණ්‍යාධාර සමිතිවල ආධාරයෙන්.
ආත්මික කුසගින්න
ගැළවීමේ හමුදාව සහ වොල්ඩෙන්සස් මෙහෙයන් ඇතුළු ආගමික මෙහෙයන්ට සහභාගි වීමෙන් මගේ ආත්මික කුසගින්න නිවාගන්නත් මම වෑයම් කළා. ජෙසුයිට් විශ්වවිද්‍යාලයක පාඨමාලා පවා හැදෑරූ මම, බිෂොප් කෙනෙක් ඉගැන්වූ දවස්-තුනක සම්මන්ත්‍රණයකටත් වරක් සහභාගි වුණා. මේ පාඨමාලාවේදී අපිට එකිනෙකා සමඟ කතා බහ කරන්න අවසර නොතිබුණු නමුත් යාච්ඤාවට, මෙනෙහි කිරීමට, පාපෝච්චාරණය කිරීමට සහ බිෂොප්ගේ ඉදිරිපත් කිරීම්වලට අපි අපව කැප කළා.
ඒකෙන් පස්සේ, මගේ ඇදහිල්ල ශක්තිමත් වෙලා නැති බව මට තේරුණා. “මා තුළ බලවත් ඇදහිල්ලක් ඇති වෙලා නැත්තේ ඇයි” කියලා මම බිෂොප්ගෙන් ඇහැව්වා.
“ඇදහිල්ල දෙවිගේ ත්‍යාගයක්, ඔහු ඒක දෙන්නේ ඔහුට ඕන කෙනාටයි” කියලා බිෂොප් පිළිතුරු දුන්නා. ඔහුගේ පිළිතුර මාව කොයිතරම් අධෛර්යයට පත් කළාද කියනවා නම්, මම දෙවිව හොයන එක පැත්තකට දාලා, මගේ කලා පාඩම්වලට සම්පූර්ණයෙන්ම මාව කැප කරන්න පටන්ගත්තා.
ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලැබීම
එක්දාස් නවසිය හතළිස්අටේදී රෝමයේ පාසැල් අධ්‍යාපනය අවසන් කළ පසු, මට ඔස්ට්‍රියාවේ වියානාවල කලා ශාස්ත්රාලයේ ඉගෙනීම සඳහා අවුරුද්දක ශිෂ්‍යත්වයක් ලැබුණා. ඊළඟ අවුරුද්දේ එතැනින් සමත් වුණ මා ස්ලොවේනියා (කලින් යුගෝස්ලාවියාවේ කොටසක්), ල්යූබ්ල්යානාවලදී තවදුරටත් මගේ පාඩම් කරගෙන යෑමට අවුරුද්දක ශිෂ්‍යත්වයක් පිළිගත්තා. එවිට මගේ ඉලක්කයව තිබුණේ ප්‍රංශයේ පැරිස්වල තිබුණ ලලිත කලා නිකේතනයට යන්නයි.
කෙසේවුවත්, 1951දී ස්වීඩනයේ ස්ටොක්හෝම්හි වැඩ කරන්න මට ප්‍රස්තාවක් ලබා දුන්නා. මම එහි පදිංචියට ගියේ, පැරිස්වලදී කලා වෘත්තිය තවදුරටත් හැදෑරීමට මට උපකාරවත් වීම සඳහා මුදල් ඉතිරි කිරීමේ අභිප්‍රායෙන්. නමුත් මට එහිදී මිකි මුණගැසුණු අතර 1952දී අපි විවාහ වී ස්ටොක්හෝම්හි පදිංචි වුණා. කුඩා වැඩපොළක රැකියාවක් මට ලැබුණා; එහිදී මම ගල්, කිරිගරුඬ සහ කළුගල්වලින් රූප නෙළුවා. මේවායින් සමහරක් ස්ටොක්හෝම් අසල, ලිඩින්ගෝ නගරයේ උද්‍යානයක් හා කෞතුකාගාරයක් වන මයිල්ස්ගෝඩන්වල ප්‍රදර්ශනය සඳහා තබා තිබෙනවා.
මම රෝමයේදී ලෝකඩ වාත්තු කිරීමේ පරණ ක්‍රමයක්—ඉටි උණු කර හැරීමේ ක්‍රමය—ඉගෙනගෙන තිබූ අතර, කලා වෘත්තීය පුහුණු පාසැලේ සහ ස්ටොක්හෝම්හි කලා ශාස්ත්රාලයේ ලෝකඩ වාත්තු කිරීම ඉගැන්නුවා. පසුව, ස්ටොක්හෝම්හි සකන්සන් එළිමහන් කෞතුකාගාරයේදී ලෝකඩ වාත්තු කිරීමට මට ඉඩ කඩ සලසා දුන්නා. එහිදී, බොහෝවිට විශාල පිරිසක් ඉදිරියේ, මම ලෝකඩ හෝ ඊයම්වලින් මූර්ති නිර්මාණ නෙළුවා. එවකට ස්වීඩනයේ සිටි VIවන ගුස්ටොව් රජට අයත් පෞරාණික මූර්ති නිර්මාණ ප්‍රතිසංස්කරණය කිරීමටත් මාව කුලියට ගත්තා. රජ මාළිගාවේ මෙන්ම ස්ටොක්හෝම්වල ඩ්රොට්නිහෝම්හි මන්දිරයේද මේවා ප්‍රදර්ශනය කර තිබෙනවා.
ජනමාධ්‍යයෙන් සහ කලාව ගැන ගුණ දොස් දක්වන්නන්ගෙන් 1954 සහ 1960 අතරතුරේ මගේ වැඩවලට ප්‍රශංසාව ලැබුණා. ස්ටොක්හෝම්, රෝමය, ල්යූබ්ල්යානා, වියානා, සාග්‍රෙබ් සහ බෙල්ග්‍රේඩ් ඇතුළු යුරෝපයේ ප්‍රධාන රටවල මගේ මූර්ති නිර්මාණවලින් බොහොමයක් ප්‍රදර්ශනය කර තිබුණා. බෙල්ග්රේඩ්වල මාෂල් ටීටෝ, ඔහුගේ පුද්ගලික එකතුව සඳහා මගේ නිර්මාණවලින් සමහරක් මිල දී ගත්තා. රෝමයේ නූතන කලාගාරයක, මා විසින් කළුගලින් නෙළූ විශාල ස්ත්‍රී කවන්ධයක් ප්‍රදර්ශනය කර තිබෙන අතර, වියානාහි ආල්බ’ටින කෞතුකාගාරයේ මගේ කලා නිර්මාණයන් ප්‍රදර්ශනය කර තිබෙනවා. ස්ටොක්හෝම්හි නූතන කෞතුකාගාරයක මගේ ලෝකඩ හා ඊයම් මූර්ති නිර්මාණයක් තිබෙන අතර, ල්යූබ්ල්යානාහි නූතන කලාගාරයේ ලෝකඩ මූර්ති නිර්මාණයක් තිබෙනවා.
යළිත් ආගම කෙරෙහි උනන්දුවක්
අපි විවාහ වෙලා අවුරුදු කීපයකට පස්සේ, ආගම කෙරෙහි මගේ යළි පිබිදෙන උනන්දුව මිකි දැක්කා. මම දිගටම මෙහෙම කල්පනා කරන්න වුණා, ‘මුල් ක්‍රිස්තියානීන් මැරෙන්න වුණත් කැමැත්තෙන් සිටි ඇදහිල්ල කොහෙද?’ නැවතත් මම පෙන්තකොස්ත සහ ඇඩ්වෙන්ටිස්ට් වැනි ආගමික මෙහෙයන්ට සහභාගි වෙන්න පටන්ගත්තා. මම ඉස්ලාම් හා බෞද්ධ ධර්මය පවා සෝදිසි කළා.
ඉතාලියේ මිලාන්හි කලා ප්‍රදර්ශනයකට සහභාගි වෙන්න ඉස්සෙල්ලා, 1959දී දවස් කීපයකට මගේ ඖරිසිනා ගමට මම ගියා. බයිබලය ගැන සෑහෙන්න දන්න කෙනෙක් ගැන ගම්මුන් මට කිව්වා. ඔහු යෙහෝවාගේ සාක්ෂිකාරයෙක්. ඔහු එක්ක කතා කරන්න මට අවස්ථාව ලැබුණු විට, මම බයිබලයේ කලින් කවදාවත් නොදැක්ක දේවල් ඔහු මට පෙන්නුවා. මනුෂ්‍යයා ප්‍රාණයක් බවත්—ඔහුට ඔහුගේ ශරීරයෙන් වෙන්ව ප්‍රාණයක් නැති බවත්—එමෙන්ම අනිත් ආගම්වල උගන්වා ඇති පරිදි මනුෂ්‍ය ප්‍රාණය අමරණීය නොව මරණීය එකක් බවත් මම ඉගෙනගත්තා.—උත්පත්ති 2:7; එසකියෙල් 18:4.
තවදුරටත්, ආදම් සහ ඒව මවද්දී දෙවිගේ අරමුණ වුණේ, ඔවුන් මියයෑම නොව, නමුත් ඔවුන් සන්තෝෂයෙන් පොළොවේ සදහටම ජීවත් වීම බව ඔහු පෙන්නුවා. පළමු මිනිස් යුවළ මියගියේ ඔවුන් අකීකරු වූ නිසයි. (උත්පත්ති 1:28; 2:15-17) මිදීමේ මිලයක් වශයෙන් දෙවි තම පුත්‍රයාව දීමෙන්, ආදම්ගේ අකීකරු වීමෙන් අහිමි වී ගොස් ඇති සදා ජීවනයේ අපේක්ෂාව භුක්ති විඳීම සඳහා ඔහු මනුෂ්‍යයා වෙනුවෙන් ප්‍රස්තාවක් උදා කළ බව මම ඉගෙනගත්තා. (යොහන් 3:16) මේ දේවල් ඉගෙනගැනීමෙන් මට මහත් ප්‍රීතියක් ඇති වුණා.—ගීතාවලිය 37:29; එළිදරව් 21:3, 4.
සංධිස්ථානයක්
ඊට ටික දවසකට පස්සේ, මම ආයිත් ස්වීඩනයට ගියා; යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව සොයාගන්න මිකියි, මායි උත්සාහ කළා. නමුත් ඔවුන්ගේ ලිපිනයක් සොයාගන්න අපිට බැරි වුණා. කෙසේවුවත්, දවස් කීපයකට පස්සේ, අපේ දොරේ සීනුව නාද වුණා; ඔවුන් හිටියා දොරකොඩම! ඔවුන් මට දුන් පොත් පත් කියවන්න මම පටන්ගත් අතර, එහි සත්‍යය අඩංගු වෙලා තියෙන බව වැඩිකල් නොගොස් මට ඒත්තු ගියා. එහෙත්, කතෝලික අග්රබිෂොප් කෙනෙක් වන පරණ යාළුවෙක් එක්ක කතා කර මගේ අදහස ස්ථිර කරගන්න මට ඕනෙ වුණා; මම ඔහුව හඳුනාගත්තේ 1940 ගණන්වල අගභාගයේ රෝමයේ කලාව හදාරන කාලයේදීයි. ඉතින්, 1961 ජනවාරියේදී මම ඔහුව බලන්න ගියා.
ඒ වෙද්දී, මගේ යාළුවා මුළු ලෝකෙ පුරාම සියලුම කතෝලික මිෂනාරි කටයුතු භාරව වැඩ කරමින් සිටියා. මට බලාපොරොත්තු වෙන්න සිද්ධ වුණේ කොයිතරම් පුදුමයක්ද! අග්රබිෂොප්වරයාට මූලික බයිබල් දැනුමවත් නැති බව දැනගන්න ලැබීමෙන් මම පුදුමයට පත් වුණා. මරණයේදී සිද්ධ වන දේ ගැන අපි කතා කළහම ඔහු මෙහෙම කිව්වා: “දැන් අපි විශ්වාස කරන දේට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් සිද්ධ වෙන්න පුළුවන්.” ඒ වගේම “අලුත් අහසක්ද අලුත් පොළොවක්ද” සම්බන්ධයෙන් බයිබල් පොරොන්දුව වෙත ප්‍රේරිත පේතෘස්ගේ යොමු දැක්වීම ගැන අපි සාකච්ඡා කළ විට, මේ පොරොන්දුවෙන් අදහස් කළේ මොකක්ද කියන එක ඔහු ස්ථිරයෙන්ම දැන සිටියේ නෑ.—2 පේතෘස් 3:13; යෙසායා 65:17-25.
මම නැවතත් ස්ටොක්හෝම්වලට ගිය ගමන්ම, මගේ භාර්යාව සහ මම අඳුරගෙන සිටි යෙහෝවාගේ සාක්ෂිකාරයෙක් එක්ක නිතිපතා බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. පාඩම කෙරෙහි මිකිගේ උනන්දුව වැඩි වෙනවා දැකීමෙන් මට සතුටක් ලැබුණා. අන්තිමේදී, 1961 පෙබරවාරි 26වෙනිදා, වතුර බව්තීස්මයෙන් මම යෙහෝවාට මගේ කැපවීම සංකේතවත් කළ අතර ඊළඟ අවුරුද්දේදී මිකි බව්තීස්ම වුණා.
රැකියාවේ වෙනස්කම් සිදු කිරීම
අපිට 1956දී ගැහැනු දරුවෙක් ලැබුණ අතර 1961දී පුංචි පිරිමි දරුවෙක් ලැබුණා. මේ අවස්ථාවේදී අපිට පවුලක් නඩත්තු කරන්න සිද්ධ වෙලා තිබුණ නිසා මට ස්ථිර රැකියාවක් අවශ්‍යව තිබුණා. මා ඉපදුණ ගමේ විශාල ස්මාරකයක් ගොඩනඟන්න ආරාධනයක් ලැබීමෙන් මම සතුටට පත් වුණා. එය IIවන ලෝක යුද්ධයේදී මියගිය ගරිල්ලා භටයන්ව සිහි කිරීම සඳහායි. ස්මාරකය මට හොඳ ලාභයක් උපයාගත හැකි ව්‍යාපෘතියක් වෙන්න තිබුණා. නමුත් මට මාස ගණනක් මගේ පවුලෙන් සහ ක්‍රිස්තියානි සභාවෙන් ඈත්ව ඉන්න සිද්ධ වෙයි; මට නැවතිලා ඉන්න සිද්ධ වෙන්නේ කොමියුනිස්ට්වාදය වැඩිවර්ධනය වන රටක නිසා ආත්මික කටයුතු කරගෙන යන්න පහසු වෙන එකක් නෑ; මෙවැනි විවිධ සාධක සලකා බැලුවායින් පස්සේ මම එය භාරගැනීම ප්‍රතික්ෂේප කළා.
තවත් රැකියාවක් මට හෘදය සාක්ෂියේ ගැටලුවක් ඇති කළා. ස්වීඩනයේ අලුත් ආදාහනාගාරයකට විශාල සැරසිල්ලක් නිර්මාණය කරන්න මට පැවරුවා. මම එය අවසන් කළ පසු, මාව සමාරම්භක උත්සවයට කැඳෙව්වා. නමුත් මගේ වැඩය විවෘත කරන්න යන්නේ බිෂොප් බව දැනගත්තායින් පස්සේ, දෙවිගේ වචනයට එකහෙළාම විරුද්ධ ඉගැන්වීම් සහ සිරිත් විරිත් ඇති ජනයා සම්බන්ධ උත්සවයට හවුල් නොවීමට මම තීරණය කළා.—2 කොරින්ති 6:14-18.
මූර්ති ශිල්පියෙක් වශයෙන් ස්ථාවර රැකියාවක් ලබාගැනීමේ අස්ථිරත්වය නිසා, මගේ පවුලේ ද්‍රව්‍යමය අවශ්‍යතා ප්‍රමාණවත් ලෙස සැපයීම මට අසීරු කාර්යයක් වෙන්න පටන්ගත්තා. (1 තිමෝති 5:8) ජීවිකාව ගෙන යෑම සඳහා මට කරන්න පුළුවන් මොකක්ද කියලා මම යාච්ඤාපූර්වකව සලකා බැලුවා. ඊට පස්සේ, ගෘහ නිර්මාණ ශිල්පියෙක් ඔහු සැලසුම් කළ ගොඩනැඟිල්ලක ආකෘතියක් රැගෙන මා වෙත පැමිණියා. ඒක ඡායාරූපගත කරන්න කියලා ඔහු මගෙන් ඉල්ලුවා. මගේ මූර්ති නිර්මාණ ඡායාරූපගත කිරීමේ පළපුරුද්ද නිසා මා ඡායාරූපගත කිරීම හොඳින් දැන සිටියා; මම සතුටෙන් රැකියාව භාරගත්තා. ඒ අවුරුදු ගණන තුළ ස්වීඩනයේ ඉදි කිරීමේ වැඩය විශාල වශයෙන් කෙරීගෙන ගිය නිසා, ආකෘති ඡායාරූපගත කිරීමට අවශ්‍යතාවක් තිබුණා. මේ නිසා, ගෘහ නිර්මාණ ශිල්පීන් බොහෝදෙනෙක්ගෙන් මට වැඩ ලැබුණ අතර, මගේ පවුල හොඳින් නඩත්තු කරන්න පුළුවන්කම ලැබුණා.
දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය බෙදාගැනීමට ස්ටොක්හෝම්හි ඉතාලියානු සංස්කෘතික ආයතනයට මම ගියේ මේ කාලයේදීයි. (මතෙව් 24:14) ආයතනයේ අධ්‍යක්ෂකව මම දැන සිටි නිසා ඔහු සමඟ කතා කරන්න කටයුතු පිළියෙළ කරගන්න මට හැකි වුණා. මම තවදුරටත් මූර්ති ශිල්පියෙක් වශයෙන් වැඩ කරන්නේ නැති බව දැනගත්තහමයි “ඔයා කලා කුසලතා අපතේ යවලා” කියා ඔහු ප්‍රකාශ කළේ. දෙවි හා මගේ පවුල සඳහා මුලින්ම වගකීම් ඉෂ්ට කරන්න තියෙන බව මම පැහැදිලි කළා.
යම් කාලයක් මගේ ජීවිතයේ ඉතා වැදගත් දේ වෙලා තිබුණේ කලාව බව මම පිළිගත යුතුයි. කෙසේවුවත්, මම දිගටම මගේ වෘත්තිය හඹායමින් සිටියා නම් එය හරියට ස්වාමිවරු දෙන්නෙක්ට සේවය කිරීමට උත්සාහ කිරීමකට සමාන වේවි කියලා මට වැටහුණා. (මතෙව් 6:24) මට කළ හැකි ඉතා වැදගත්ම දෙය දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීම බව මට ඒත්තු ගියා. ඒ නිසා මූර්ති ශිල්පියෙක් වශයෙන් වූ මගේ වැඩය අත්හැරීමට මම පෞද්ගලිකව තීරණය කළ අතර, යෙහෝවා දෙවි මගේ තීරණයට මහත් සේ ආශීර්වාද කර තිබෙනවා.—මලාකී 3:10.
ක්‍රිස්තියානි සේවයේ වරප්‍රසාද
දකුණු හා නැඟෙනහිර යුරෝපයෙන් ස්වීඩනය බලා පැමිණෙන බොහෝදෙනෙක් 1970 ගණන්වල මුල්භාගයේදී, බයිබල් සත්‍යය කෙරෙහි උනන්දුවක් දක්වන්න පටන්ගත්තා. මෙලෙස, 1973 පටන්ගන්නවාත් සමඟම ඉතාලි, ස්පාඤ්ඤ සහ සර්බො-ක්‍රෝඒෂියානු භාෂා කතා කළ සංක්‍රමිකයන් එක්ක බයිබලය පාඩම් කිරීමේ වරප්‍රසාදය මට තිබුණ අතර, මේ භාෂා කණ්ඩායම් සඳහා අලුත් සභා සහ පාඩම් කණ්ඩායම් බිහි කරන්න මට හැකි වුණා. ඉතාලි භාෂාවෙන් ක්‍රිස්තියානි සමුළු පිළියෙළ කිරීමටත්, ඔවුන් වෙනුවෙන් බයිබල් නාට්‍යයන් මෙහෙයවීමටත් මාව පත් කෙරුවා. එක අවස්ථාවකදී, සංචාරක අවේක්ෂකයෙක් වශයෙන් ස්වීඩනයේ සභාවල සේවය කිරීමේ වරප්‍රසාදයත් මට තිබුණා.
ස්වීඩනයේ ඉතාලි සමුළු පිළියෙළ කිරීමට උපකාර කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන්, මට රෝමයේ වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලය සමඟ සබඳතා පවත්වන්න හැකි වුණා. ඉතාලියේ දේශනා වැඩය වඩාත් පුළුල් වීම හේතුවෙන්, සභා වැඩිමහල්ලන්ගේ හිඟයක් ඇති වී තිබුණ බව ඉතාලි සහෝදරයන් මට පැවසුවා. ඉතින් 1987දී මිකියි, මායි ඉතාලියේ ජෙනොවා අසල, ලිගූරියාවල පදිංචියට ගියා. ඒ වන විට අපේ දරුවන් ලොකු මහත් වී සිටි අතර ඔවුන් ගැන ඔවුන් බලාගත්තා. අපි ඉතාලියේ චමත්කාරජනක අවුරුදු දෙකක් ගත කළ අතර, ලිගූරියාවල අලුත් සභාවක් සෑදීමෙහි හවුල් වුණා. අපි හිතෝපදේශ 10:22 සම්පූර්ණයෙන්ම අද්දැක්කා: “[යෙහෝවාගේ] ආශීර්වාදය පොහොසත්කම ලබාදෙන්නේය.”
යෙහෝවාගෙන් අපට ලැබී ඇති ආශීර්වාද කැටිකොට ගැනීමට මිකියි, මමයි සමහරවිට වෑයම් කරනවා. අලුත් සභා සෑදීමේ සහභාගි වෙනවාට අමතරව, කැප වී, බව්තීස්ම වීමටත්, ඉන්පසු මේරූ ක්‍රිස්තියානීන් බවට පත්වීමටත් අපේම දරුවන් ඇතුළු කීපදෙනෙකුට උපකාර කරන්නත් අපිට හැකි වී තිබෙනවා. අපේ ප්‍රේමනීය දෙවි යෙහෝවාට සේවය කිරීමේ වඩාත් ඵලදායී වෘත්තිය තෝරාගෙන ඇති නිසා, මම සුප්‍රසිද්ධ මූර්ති ශිල්පියෙකු වශයෙන් වූ මගේ ජීවිතය අත්හැරීමට ගත් තීරණය ගැන පසුතැවිලි වෙන්නේ නෑ. යෙහෝවාට ස්තුතිවන්ත වෙන්න, මගේ ප්‍රේමනීයයන්ට හා මට මෙලෙස ශක්තිමත් බලාපොරොත්තුවක් ලැබී තිබෙනවා.—පැවසුවේ කෙලෝ ප’ටො.
[13වන පිටුවේ පින්තූරය]
1955දී මූර්ති නිර්මාණයක යෙදෙමින්
[15වන පිටුවේ පින්තූරය]
මගේ භාර්යාව සමඟ