බයිබලයේ දෘෂ්ටිකෝණය
ඔබේ කේන්තිය පාලනය කරගත යුත්තේ ඇයි?
එය නපුරක පෙර නිමිත්තක්. “මමයි මේ ගෙදර මූලිකයා; පරක්කු වෙලා ඇවිල්ලා මට ලැජ්ජා කරන්න හදන්න එපා” කියමින් ජොන් තම අලුත් මණාලිය ජින්ජ’ට කෑගැහැව්වා.a ඇයට සෝපාවේ ඉඳගෙන ඉන්න කියා තර්ජනය කරමින්, ඔහු විනාඩි 45ක් තිස්සේ ඇයට කෑගැහැව්වා. නින්දාසහගත කතාව ඔවුන්ගේ විවාහය තුළ සාමාන්‍ය දෙයක් බවට පත් වුණා. ජොන්ගේ කේන්තියෙන් පිරි හැසිරීම එන්න එන්නම වැඩි වුණ එක කනගාටුවට කරුණක්. ඔහු දොරවල් තදින් ගසා වසා දමයි; කුස්සියේ මේසෙට හයියෙන් ගහයි; සුක්කානමට වැරෙන් පහර දෙමින් වියරුවෙන් රිය පදවයි; මේ විදිහට අනිත් අයගේ ජීවිතත් උපද්‍රවයේ හෙළනවා.
ඔබ නිසැකවම දන්නා පරිදි, එවැනි දර්ශන රැසක් නිතර නිතර සිදුවීම අභාග්‍යයක්. මේ මනුෂ්‍යයාගේ කේන්තිය යුක්තිසහගතද? නැතහොත් ඔහුව පාලනය කරගන්න ඔහුට බැරුව ගියාද? සෑම කේන්තියක්ම වැරදිද? කේන්තිය පාලනයෙන් තොර වන්නේ කොයි වෙලාවටද? එය දුරදිග ගිහින් තියෙන්නේ කොයි වෙලාවෙද?
පාලනය කළ කේන්තිය සාධාරණ විය හැකියි. උදාහරණයක් හැටියට, ඉපැරණි දුරාචාර නගර වූ සොදොම් සහ ගොමොරාවට එරෙහිව දෙවිගේ කේන්තිය ඇවිළුණා. (උත්පත්ති 19:24) ඇයි? ප්‍රදේශය පුරා ඉතා ප්‍රසිද්ධව තිබුණු ලෙසම, ඒ නගරවාසීන් ප්රචණ්ඩ හා දූෂිත ලිංගික ක්‍රියාවල යෙදුණු නිසයි. නිදසුනක් හැටියට, දේවදූත පණිවිඩකරුවන් ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් වූ ලොත්ව බැහැදකින්න ගිය විට, මහල්ලන්ද ඇතුළු තරුණයන් පිරිසක් ලොත්ගේ අමුත්තන්ව කණ්ඩායමක් වශයෙන් දූෂණය කරන්න වෑයම් කළා. ඔවුන්ගේ දුරාචාරය සම්බන්ධයෙන් යෙහෝවා දෙවිට සාධාරණ ලෙස කේන්තියක් ඇති වුණා.—උත්පත්ති 18:20; 19:4, 5, 9.
පරිපූර්ණ මනුෂ්‍යයෙක් වූ යේසුස් ක්‍රිස්තුස්ට තම පියා මෙන් කේන්ති ගන්න අවස්ථා තිබුණා. යෙරුසලමේ දේවමාළිගාව දෙවිගේ තෝරාගත් අය සඳහා නමස්කාර මධ්‍යස්ථානය විය යුතුව තිබුණා. එය, පුද්ගලයන්ට පැමිණ පෞද්ගලික යාග පූජාද, දෙවිට පූජාවල්ද ඔප්පු කළ හැකි මෙන්ම ඔහුගේ මාර්ග ඔවුන්ට ඉගෙනගන්න පුළුවන්, ඔවුන්ගේ පාපවලට සමාව ලබාගන්න පුළුවන් “යාච්ඤා ගෘහයක්” විය යුතුව තිබුණා. වෙන විදිහකින් කියනවා නම්, දේවමාළිගාවේදී ඔවුන්ට යෙහෝවා එක්ක කතා බහ කරන්න පුළුවන්කම තිබුණා. ඒ වෙනුවට, යේසුගේ දවස්වල ආගමික නායකයන් දේවමාළිගාව “වෙළදාම් ගෙයක්” හා “සොරුන්ගේ ගුහාවක්” බවට හැරෙව්වා. (මතෙව් 21:12, 13; යොහන් 2:14-17) යාග පූජා ලෙස යොදාගැනීමට සිටි සත්වයන් විකිණීමෙන් ඔවුන් පෞද්ගලිකව ලාභ උපයාගත්තා. සැබෑ කාරණය නම්, ඔවුන් කොල්ලකෑමක් කරමිනුයි හිටියේ. මෙලෙස, දෙවිගේ පුත්‍රයා තම පියාගේ ගෘහයෙන් ඒ සොරුන්ව පන්නා දැම්ම විට, සම්පූර්ණයෙන්ම යුක්තිසහගත ලෙස ක්‍රියා කළා. යේසු කේන්ති ගත්තේ සාධාරණ හේතු නිසයි.
අසම්පූර්ණ මනුෂ්‍යයන්ට කේන්ති යන විට
සමහර අවස්ථාවලදී අසම්පූර්ණ මනුෂ්‍යයනුත් සුදුසු ආකාරයකින් කුපිත වෙන්න පුළුවන්. මෝසෙස්ට සිද්ධ වුණ දේ සලකා බලන්න. ඉශ්රායෙල් ජාතිය ප්රාතිහාර්යමය ආකාරයකින් මිසරයෙන් මුදවනු ලැබුවා විතරයි, මිසරවරුන්ට වසංගත දහයකින් පහර දීම මගින් මිසරයේ බොරු දෙවිවරුන්ට යෙහෝවා පුදුමාකාරයකින් තම බලය පෙන්නුම් කළා. රතු මුහුද දෙබෑ කිරීමෙන් ඔහු ඉන්පසු යුදෙව්වන්ට ගැළවී යන්න මාර්ගය විවෘත කළා. ඊළඟට, ඔවුන්ව සීනයි කන්ද පාමුලට මඟ පෙන්වනු ලැබූ අතර, එහිදී ඔවුන් ජාතියක් හැටියට සංවිධානය වුණා. මැදහත්කරු වශයෙන් ක්‍රියා කරමින්, දෙවිගේ නීති ලබාගන්න මෝසෙස් කන්දට ගියා. අනිත් නීති සියල්ලමත් එක්ක, යෙහෝවා තමාම කන්දෙන් නෙළාගත් ගල් ලෑලි මත “[දෙවිගේ] ඇඟිල්ලෙන්” ලියූ දස පනත මෝසෙස්ට දුන්නා. කොහොමනමුත්, මෝසෙස් පහළට බැස්සහම ඔහුට දකින්න ලැබුණේ මොකක්ද? සෙනඟ රන් වස්සෙක්ගේ රූපයට නමස්කාර කරන්න පටන්ගෙන තිබුණා! ඔවුන්ට කොයිතරම් ඉක්මනට අමතක වුණාද! ගත වී තිබුණේ සති කීපයක් පමණයි. “මෝසෙස්ගේ උදහස ඇවුළුණේ” සාධාරණ ලෙසයි. ඔහු ගල්ලෑලි බිඳ, වසු රූපය විනාශ කර දැම්මා.—නික්මයාම 31:18; 32:16, 19, 20.
පසු අවස්ථාවකදී, සෙනඟ ජලය හිඟකම පිළිබඳව පැමිණිලි කළ විට මෝසෙස්ට ඉවසීම නැතුව ගියා. කුපිත වූ ඔහුට මොහොතකින් තමාගේ කීර්තිමත් මොළොක්කම නැත්නම් මෘදුකම නැති වී ගියා. මෙය ලොකු වරදකට මඟ පෑදුවා. යෙහෝවා ඉශ්‍රායෙල්ගේ සැපයුම්කරු හැටියට පෙන්නුම් කරනවා වෙනුවට මෝසෙස් සෙනඟට තදින් කතා කර, ඔහුගේ සහෝදරයා වූ ආරොන් හා ඔහු වෙතටම අවධානය යොමු කරගත්තා. මෙලෙස, මෝසෙස්ව හික්මවන එක සුදුසු බව දෙවිට පෙනී ගියා. පොරොන්දු දේශයට ඇතුල් වෙන්න ඔහුට ඉඩ ලැබුණේ නෑ. මෙරිබාවල මේ සිද්ධියෙන් පස්සේ, මෝසෙස්ගේ කේන්ති යෑමක් ගැන යළිත් සඳහන් වුණේ නෑ. පෙනෙන ආකාරයට, ඔහු ඔහුගේ පාඩම ඉගෙනගත්තා.—ගණන් කථාව 20:1-12; ද්විතීය කථාව 34:4; ගීතාවලිය 106:32, 33.
මේ නිසා, දෙවි හා මිනිසා අතරේ වෙනසක් තියෙනවා. යෙහෝවාගේ ප්‍රධාන ගුණාංගය කේන්තිය නොව ප්‍රේමය නිසා යෙහෝවාට හැකියි ‘තම කේන්තිය නවත්වගන්න;’ ඒ වගේම “උදහස්වීමට ප්‍රමාදව[න]” කෙනෙකු වශයෙන් ඔහුව විස්තර කරන එකත් සුදුසුයි. ඔහුගේ කේන්තිය හැමවිටම ධර්මිෂ්ඨයි; හැමවිටම යුක්තිසහගතයි; හැමවිටම පාලනයෙන් යුක්තයි. (නික්මයාම 34:6; යෙසායා 48:9; 1 යොහන් 4:8) පරිපූර්ණ මනුෂ්‍යයෙක් වූ යේසුස් ක්‍රිස්තුස්ට තම කේන්තිය විදහාපෑම පාලනය කරගන්න හැමවිටම හැකි වුණා; ඔහුව විස්තර කර තිබෙන්නේ “මෘදුව යටත්ව” සිටින කෙනෙකු හැටියටයි. (මතෙව් 11:29) අනිත් අතට, අසම්පූර්ණ මනුෂ්‍යයන්ට, මෝසෙස් වගේ ඇදහිලිවන්ත මනුෂ්‍යයන්ට පවා තම කේන්තිය පාලනය කරගැනීමේ අසීරුතාවක් තිබෙනවා.
තවද, ඇති විය හැකි ප්‍රතිඵල ගැන සැලකිලිමත් වෙන්න මනුෂ්‍යයන් සාමාන්‍යයෙන් අසමත් වෙනවා. කෙනෙක් තමාගේ කේන්තිය පාලනය නොකරන විට අනිසි ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. නිදසුනක් හැටියට, තමාගේ අත්මිටෙන් පහර දී බිත්තියේ හිලක් හදන තරමටම සැමියෙකුට තම බිරිඳ සමඟ කේන්ති යනවා නම් නිසැකවම ඇති වෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවද? දේපොළවලට හානි වෙනවා. ඔහුගේ අත රිදෙන්න ඉඩ තියෙනවා. නමුත් ඊටත් වඩා, ඔහුගේ හදිසි කේන්තිය මගින් ඔහු වෙත ඔහුගේ බිරිඳ තුළ තිබෙන ප්‍රේමය හා ගෞරවයට ඇති කරවන්නේ මොන වගේ බලපෑමක්ද? දවස් කීපයකින් බිත්තිය අලුත්වැඩියා කරගන්නත්, සති කීපයකින් ඔහුගේ අත සුව කරගන්නත් පුළුවන් වෙයි; නමුත් ඔහුගේ බිරිඳගේ විශ්වාසය හා ගෞරවය යළිත් ලබාගන්න ඔහුට කොයිතරම් කාලයක් යයිද?
ඇත්තෙන්ම, තම කේන්තිය පාලනය කරගන්න බැරුව ප්‍රතිඵල අද්දැක්ක මනුෂ්‍යයන්ගේ ආදර්ශවලින් බයිබලය පිරී තිබෙනවා. කිහිපයක් සලකා බලමු. කායින් තම සහෝදර ආබෙල්ව ඝාතනය කළ පසු ඔහුව පන්නා දැම්මා. ෂෙඛෙම් මනුෂ්‍යයන්ව මැරුව නිසා සිමියොන් හා ලෙවී තම පියාගෙන් ශාප ලැබුවා. උස්සියාව නිවැරදි කරන්න උත්සාහ කළ පූජකයන් එක්ක උස්සියාට කේන්ති ගියාම යෙහෝවා උස්සියාට ලාදුරුවලින් පහර දුන්නා. යෝනාට ‘කේන්ති ගිය’ අවස්ථාවේ යෙහෝවා ඔහුට තරවටු කළා. මේ සියලුදෙනාටම තමන්ගේ කේන්තිය වෙනුවෙන් උත්තර දෙන්න සිද්ධ වුණා.—උත්පත්ති 4:5, 8-16; 34:25-30; 49:5-7; 2 ලේකම් 26:19; යෝනා 4:1-11.
ක්‍රිස්තියානීන් ගණන් දිය යුතුයි
ඒ වගේම, අදදින ක්‍රිස්තියානීන් තම ක්‍රියා වෙනුවෙන් දෙවිට හා තරමක් දුරට තම සෙසු ඇදහිලිවන්තයන්ට ගණන් දිය යුතුයි. බයිබලයේ කේන්තිය අඟවන ග්‍රීක් යෙදුම් භාවිතයෙන් මෙය හොඳින් දැකගන්න පුළුවන්. නිතර භාවිත කර තිබෙන වචන දෙකෙන් එකක් නම් ඕ·ගෙʹ. එය සාමාන්‍යයෙන් පරිවර්තනය කර තිබෙන්නේ “ක්‍රෝධය” ලෙසයි; නිතර පළිගැනීමේ අදහසින් අවදිව සිටීම හා හිතා මතාම එසේ කිරීම යන අදහස පවා එහි ගැබ්ව තිබෙනවා. මෙබැවින්, පාවුල් රෝමවරුන්ගෙන් මෙසේ උදක්ම ඉල්ලා සිටියා: “පළි නොගෙන, [ක්‍රෝධයට, NW] [ඕ·ගෙʹ] ඉඩහරින්න. . . . පළිගැනීම මාගේය; මම විපාකදෙමියී [යෙහෝවා කියන්නේයයි, NW] ලියා තිබේ.” තම සහෝදරයන් කෙරෙහි නපුරු හැඟීමක් ඇති කරගන්නවා වෙනුවට, “යහපත්කමෙන් නපුරුකම පරාජයකරන්න” ඔවුන්ව දිරිගැන්නුවා.—රෝම 12:19, 21.
නිතර භාවිත කෙරෙන අනිත් යෙදුම නම් තයි·මෝස්ʹ. මුල් වචනය “මුලින්ම අඟවන්නේ වාතයේ, ජලයේ, භූමියේ, සත්වයන්ගේ හෝ මිනිසුන්ගේ දරුණු ක්‍රියාකාරිත්වයයි.” මේ වචනය “වෛරයේ හැඟීම බලවත් ලෙස පිට කිරීම,” “කේන්තිය වේගයෙන් පිට කිරීම” නැතහොත් “බලවත් ව්‍යාකූල හැඟීම්, මනසේ ඒකාග්‍රතාව බිඳීම, ගෘහස්ථ හා සිවිල් කැලඹීම් හා නොසන්සුන්කම් ඇති කිරීම” වශයෙන් විස්තර කර තිබෙනවා. කලින් දැනුම් දීමකින් තොරව, අනතුරු, අංගවිකලත්වය හා මරණය ඇති කළ හැකි උණු අළු, පාෂාණ සහ ලාවා පිට කර හරින ගිනි කන්දක් යම් සේද, තම කේන්තිය පාලනය කරගත නොහැකි මිනිසෙක් හෝ ස්ත්‍රියක්ද එසේමයි. තයි·මෝස්ʹ යන්නෙහි තවත් ආකාරයක් ගලාති 5:20හි [නව අනුවාදය] යොදා තිබෙනවා; පාවුල් වේශ්‍යාකම, සල්ලාලකම සහ බීමත්කම වැනි “මාංසයේ ක්‍රියා” (19වන පදය) සමඟ “ක්‍රෝධය” ලැයිස්තුගත කරනවා. සැබවින්ම, මුලදී විස්තර කළ ජොන්ගේ හැසිරීමෙන් මනා සේ “ක්‍රෝධය” නිදර්ශනය වෙයි.
ඒ නිසා, පුද්ගලයෙකුට හෝ තවෙකෙකුගේ දේපොළට එරෙහිව ප්රචණ්ඩ ක්‍රියා පිට පිටම කරන අයව ක්‍රිස්තියානි සභාව කෙසේ සැලකිය යුතුද? පාලනය නොකළ කේන්තිය විනාශකාරි වන අතර, පහසුවෙන්ම ප්‍රචණ්ඩත්වයට මඟ පාදයි. එහෙමනම් යේසු මෙහෙම ප්‍රකාශ කළේ හොඳ හේතු ඇතුවයි: “තමාගේ සහෝදරයාට කෝපවෙන කවරෙක් නුමුත් විනිශ්චයට සුදුස්සෙක් වන්නේය.” (මතෙව් 5:21, 22) ස්වාමිපුරුෂයන්ට මෙහෙම අවවාද කර තිබෙනවා: “නුඹලාගේ භාර්යාවන් කෙරෙහි කර්කස නොවී ඔවුන්ට ප්‍රේමකරන්න.” ‘ක්‍රෝධයට නැඹුරුවාවක්’ ඇති තැනැත්තා සභාවේ අවේක්ෂකයෙකු වශයෙන් සුදුසුකම් ලබන්නේ නෑ. මේ හේතුවෙන්, තම කේන්තිය පාලනය කරගත නොහැකි පුද්ගලයන් සභාවට ආදර්ශයක් වශයෙන් සැලකිය නොහැකියි. (කොලොස්සි 3:19; තීතස් 1:7; 1 තිමෝති 2:8) ඇත්තෙන්ම, එවැනි තැනැත්තෙකුගේ ආකල්පය, හැසිරීම හා අන්‍යයන්ගේ ජීවිතවලට ඇති වන බරපතළ හානිය සලකා බැලුවායින් පසු, පාලනය නොකළ ක්‍රෝධය ඇති පුද්ගලයෙකුව සභාවෙන් නෙරපා හැරිය හැකියි—ඇත්තෙන්ම නරක ප්‍රතිඵලයක්.
කලින් සඳහන් කළ ජොන් තමාගේ චිත්තවේගයන් කවදා හෝ පාලනය කරගත්තාද? ඔහුගේ ඉක්මන් වීම හා ක්‍රමක්‍රමයෙන් විපත්තියට ඇදවැටීම සම්බන්ධයෙන් සෝදිසි කර බලන්න ඔහුට කවදා හෝ හැකි වුණාද? කෑගැසීම තල්ලු කිරීම් දක්වා උත්සන්න වීම කනගාටුවට කරුණක්. ඇඟිල්ල දික් කිරීම, ඇත්තටම ඇඟිල්ලෙන් ඇන වේදනාකාරි තුවාල ඇති කිරීමට පාර කැපුවා. පහසුවෙන් දැකිය හැකි තැන් තුවාල නොකරන්න පරෙස්සම් වුණ ජොන්, තමන්ගේ හැසිරීම සඟවාගන්න වෑයම් කළා. එහෙත්, අන්තිමේදී ඔහු පයින් ගහන්න, අතමිට මොළවා පහර දෙන්න, කොණ්ඩෙන් අදින්න සහ ඊටත් වඩා දේවල් කරන්න පෙලඹුණා. ජින්ජ’ දැන් ජොන්ගෙන් වෙන් වෙලා.
මෙය සිදු වෙන්න අවශ්‍ය දෙයක්ව තිබුණේ නෑ. එවැනි තත්වයන්වල ඉන්න හුඟදෙනෙක්ට තමන්ගේ කේන්තිය පාලනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. එබැවින්, යේසුස් ක්‍රිස්තුස්ගේ පරිපූර්ණ ආදර්ශය අනුකරණය කිරීම කොයිතරම් වැදගත්ද? පාලනය නොකළ ක්‍රෝධය දැක්වීම සම්බන්ධයෙන් ඔහු එක වතාවක්වත් වරදකාරිබවක් ඉසුලුවේ නෑ. ඔහුගේ කේන්තිය හැමවිටම ධර්මිෂ්ඨයි; ඔහුට කවදාවත් කේන්තිය පාලනය කරගන්න බැරුව ගියේ නෑ. ඥානවන්ත ලෙස පාවුල් අපි හැමෝටම මෙහෙම උපදෙස් දෙනවා: “කෝපවුණත් පව් නොකරන්න. ඉර බසින තුරු නුඹලාගේ කෝපය පවතින්ට ඉඩ නාරින්න.” (එපීස 4:26) මෙලෙස, මිනිසුන් හැටියට අපට සීමාවන් තිබෙන බවත්, අපි වපුරන දේම කපාගන්න බවත් යටහත්ව තේරුම්ගන්නවා නම්, කේන්තිය පාලනය කරගන්න අපිට හොඳ හේතු තියෙනවා.
[පාදසටහන]
a නම් වෙනස් කර ඇත.
[18වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
සාවුල් දාවිත්ගේ ජීවිතය නැති කරන්න උත්සාහ කරයි/ The Doré Bible Illustrations/Dover Publications, Inc.