උද්‍යානයට අපේ ඇල්ම
ශබ්දයෙන් හා ව්‍යාකූලව ගෙවී යන ජීවිතයෙන් තොර සරණාගත ස්ථානයක් ලෙස අලංකාර උද්‍යානයක ශාන්තභාවය සාදරයෙන් පිළිගන්න ඔබ කැමතිද? ඔබේ පවුලේ අය එක්ක විනෝද ගමනක් යන්න නැත්නම් යාළුවෙක් එක්ක විවේකීව ඇවිදින්න, තණ පිට්ටනි, මල්, සෙවණ ගෙනෙන ගස්කොළන් මෙන්ම පොකුණු සහිත නිසංසල උද්‍යාන වැනි පරිසරයකටද ඔබ කැමති වන්නේ? ඔව්, උද්‍යානය කොයි තරම් සහනය ගෙනෙන, ප්‍රබෝධය ඇති කරවන, සාමකාමී තැනක්ද! ඒ විතරක් නෙවෙයි ප්‍රතිකාරකයකුත් වන තැනක්!
සමහරවිට කාලය මදිකම නිසා සමහරු උද්‍යානයක් රැකබලා ගැනීමෙන් වැළකී සිටිය හැකි වුවත්, අපි හැමෝම වත්තේ ඇති වර්ණයන්ට, සුවඳවලට, ශබ්දවලට වගේම පළතුරුවලට ආසයි. ගෘහ නිර්මාණ ශිල්පියෙක්, විද්‍යාඥයෙක්, නීතිඥයෙක්, නිර්මාතෘ සහ එ.ජ. ජනාධිපතිවද සිටි තොමස් ජෙෆ’සන් උද්‍යානයට ඇලුම් කළා. ඔහු මෙහෙම ලිව්වා: “පොළොව වගා කරන එක තරම් මම වෙන එක වැඩකටවත් ආස නෑ. . . . මම තාමත් උද්‍යානයට කැප වෙලයි ඉන්නේ. වයසට ගිහිල්ලා හිටියත් මම තාමත් තරුණ උයන්පල්ලෙක්.”
බොහෝදෙනෙක් ඔහුගේ අදහසම දැරුවා. හැම අවුරුද්දකම ලෝකයේ ප්‍රසිද්ධ උද්‍යානවලට නරඹන්නන් මිලියන ගණන් ඇදිලා එනවා—එංගලන්තයේ ක්‍යූ උද්‍යානය (රාජකීය උද්භිද උද්‍යානය); ජපානයේ කියෝටෝවල උද්‍යානය; ප්‍රංශයේ ව’සෙල්ස්හි මාළිගාවේ උද්‍යානය; අ.එ.ජ., පෙන්සිල්වේනියාවේ ලෝන්ග්වුඩ් උද්‍යානය, ඒවායින් කීපයක්. බොහෝ රටවල, මාවත්වල දෙපස ගස් පේළිවලින් මුවා වෙලා තියෙන, එමෙන්ම පඳුරු, ගස් සහ මලින් කරන ලද කාන්තිමත් වර්ණයකින් වට වුණු ගෙවල් සහිත නාගරික ප්‍රදේශද තියෙනවා—හරියට පුංචි පාරාදීසයක් වගෙයි.
උද්‍යානවලට සෞඛ්‍ය තත්වය නංවාලන්න පුළුවන්
මල්, ගස්කොළන්, පඳුරු සහ කුරුල්ලන්ව පමණක් ජනේලයෙන් දකිනවා වුණත්, මිනිසුන් ස්වාභාවික ලෝකය එක්ක සම්බන්ධව සිටින විට, ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය වඩා හොඳ අතට හැරෙන්න පුළුවන්. මෙය නියූ යෝක් නගරයේ රෝහලක වහල මත උද්‍යානයක් පිහිටුවන්න මඟ පෑදෙව්වා. ඒක “සතුටෙන් පිළිගත්තා” කියා රෝහලේ නිලධාරියෙක් පැවසුවා. “එය ලෙඩ්ඩුන්ටත්, කාර්ය මණ්ඩලයටත් ධෛර්යය උපදවන්නක්. . . . එයට ප්‍රතිකාරක හැකියාවන් ගොඩක් තියෙන බව අපිට පේනවා.” ඇත්තෙන්ම, තම ඉඳුරන් තුළින් ස්වභාවධර්මය භුක්ති විඳීමෙන් ජනයාට ශාරීරිකව, මානසිකව හා චෛතසිකව ප්‍රයෝජන ලැබිය හැකි බව අධ්‍යයනයන් පෙන්නුම් කරනවා.
එපමණක් නොව, ආත්මික දේට නැඹුරු පුද්ගලයෙක්ට දෙවිගේ හස්ත කර්මාන්තය මධ්‍යයේ ඉන්න කොට දෙවිට වඩාත් සමීපබවක් හැඟෙන්න පුළුවන්. උද්‍යානය සම්බන්ධයෙන් මෙම බලපෑම පොළොවේ මුල්ම උද්‍යානය වන ඒදන් උයන දක්වා දිව යනවා. දෙවි මුලින්ම මිනිසා එක්ක කතා කළේ එහිදීයි.—උත්පත්ති 2:15-17; 3:8.
උද්‍යානයකට ඇල්ම මුළු විශ්වයේම පවතින එකක්. අපි බලන්න යන මේ දේ විශිෂ්ටයි. නමුත් ඒ විෂය ගැන කතා කරන්න ඉස්සෙල්ලා, ඓතිහාසික උද්‍යාන කීපයක “ඇවිදලා” හැම මනුෂ්‍ය හදවතකම පාරාදීසයකට කොයි තරම් ආශාවක් තිබෙනවාද කියලා බලන්න කියා අපි ඔබට ආරාධනා කරන්න කැමතියි.