දෙමව්පියෙනි ඔබගේ දරුවාගේ සෙල්ලම් බඩු ඥානවන්තව තෝරාගන්න
දරුවන් “යෙහෝවඃවහන්සේ දෙන උරුමයක්” බව බයිබලය පවසයි. (ගීතාවලිය 127:3, NW ) එබැවින් “යෙහෝවඃවහන්සේගේ හික්මවීමෙන්ද, මානසික ශික්ෂණයෙන්ද” තම දරුවන්ව පුහුණු කිරීමට තමන්ට තිබෙන වගකීම දේව භයැති දෙමව්පියෝ පිළිගනිති. (එපීස 6:4) තම දරුවන්ගේ පෞද්ගලිකත්වයන් හැඩගැස්වීමේ වගකීම, සෙල්ලම් බඩු නිෂ්පාදකයන් අතේ ඔවුන් තබන්නේ නැත.
දරුවන්ගේ චිත්ත වේගීය මෙන්ම මානසික වර්ධනයට උපකාරවත් වීමෙහිලා සෙල්ලම් බඩුවලට වැදගත් කාර්ය භාරයක් දැරිය හැකිය. කෙසේවෙතත්, දෙමව්පියන් උසස්-තාක්ෂණික උපකරණ සඳහා මුදල් සම්බාරයක් වියදම් කළ යුතු බව මින් අදහස් කරන්නේ නැත. වඩාත්ම හිතකර මෙන්ම උනන්දුව ඇති කරන සෙල්ලම් බඩු සමහරකට වියදම් වන්නේ ඉතා සුළු ගණනකි.
සරල කාඩ්බෝඩ් පෙට්ටියකින් සෙල්ලම් නිවසක්, ගුවන් යානයක් හෝ දරුවෙකුගේ සඵල මනඃකල්පිතයෙන් මවාගත හැකි ඕනෑම දෙයක් හදාගත හැකිය. කුඩා බාල්දියක් සහ ඉස්කෝප්ප හැන්දකින් දරුවෙකුට වැලි මාළිගා ගොඩනැගීමට හැකිය. සරල සෙල්ලම් ගොඩනැගිලි ද්‍රව්‍ය, ප්‍රහේලිකා, සෙල්ලම් මැටි සහ පාට රට හුණු කූරු එයාකාරයටම පැය ගණනාවකට ගුණදායක විනෝදය ලබාදිය හැකිය. වයසින් වැඩි දරුවන්ට චිත්‍ර ඇඳීමේ ද්‍රව්‍ය සහ විනෝදාංශ මෙවලම් මලු යනාදිය, ප්‍රයෝජනවත් කුසලතා ඉගෙනගැනීමට උපකාරවත් විය හැකි අතර, දරුවෙකුගේ නිර්මාණ ශක්තිය ඔප් නැංවීමට ක්රමයක්ද විය හැකිය—මෙය පරිගණකගත රූපවලට බොත්තම් එබීම මගින් වෙඩි තැබීමෙන් ලැබෙන තෘප්තියට වඩා අපරිමිත තෘප්තියක් ඇති කරවයි.
සමහර සෙල්ලම්වලට විශේෂිත උපකරණ අවශ්‍ය වන්නේ නැත. කැලෑවක ඇවිදීමට යෑම, විශේෂයෙන් ප්‍රේමනීය, දරුවා ගැන උනන්දුමත් දෙමව්පියෙකු සමඟ යන විට, එය දරුවෙකුට සිත ප්‍රබෝධවත් කරවන අද්දැකීමක් විය හැකිය. ඇයි, මූලික ගෘහස්ත වැඩකටයුතු පවා විනෝද කටයුතු මෙන් දරුවන්ට ඉගැන්විය හැකිය. යෝර් ග්‍රොවිං චයිල්ඩ් නමැති ඇගේ පොතේ පෙනෙලපි ලීච් මෙසේ සටහන් කරන්නීය: “කේක් එකක් හෝ ආහාර වේලක් පිළියෙළ කිරීම, ගෙවත්ත උදලු ගෑම, මෝටර් රථය පිරිසිදු කිරීම හෝ සීලිමට තීන්ත ගෑම, සාප්පු යෑම හෝ ළදරුවා නෑවීම යන සියල්ල ඔබට වැඩ මෙන් පෙනිය හැකි නමුත්, ඔබගේ දරුවාට ඒවා බෙහෙවින් ප්‍රිය කළ හැකි සෙල්ලම් කිරීමේ අවස්ථා විය හැකිය.”
උපකාරවත් මාර්ගදර්ශක හතක්
නිෂ්පාදනය කරන ලද සෙල්ලම් බඩුවලට ස්ථානයක් ඇති බව පිළිගත යුත්තකි. එමෙන්ම ඒවා ලබාගැනීම සඳහා පවුලට ප්‍රමාණවත් මුදලක් තිබේ නම්, මිලදී ගැනීමට පෙර ඔබගෙන්ම මතු සඳහන්වන ප්‍රශ්න ඇසීමට ඔබ කැමති විය හැකිය:
1. මෙම සෙල්ලම් බඩුව ඇත්තටම මගේ දරුවාගේ කුතුහලය සහ මනඃකල්පිතය පුබුදුවාලයිද? එසේ නොවේ නම්, ඔහුට ඉක්මනින්ම එය එපා වෙයි. රූපවාහිනී වෙළඳ දැන්වීමක සෙල්ලම් බඩුවක යහපත් බවක් පෙනෙන්ට තිබුණත්, මෙය මතක තබාගන්න: “එම සෙල්ලම් බඩුව ගැන උනන්දුවක් මවාපෑමට දරු නළු නිළියන්ට ගෙවා ඇත. ඔබගේ දරුවා එයාකාරයටම ප්‍රතිචාරය නොදැක්විය හැකිය. ඔහු සෙල්ලම් කරන විට හෝ සෙල්ලම් බඩු සාප්පුවකදී ඔහුව නිරීක්ෂණය කර බලන්න. ඔහු ඇදී යන්නේ කුමනාකාරයේ සෙල්ලම් බඩු වෙතටද?”
සෙල්ලම් බඩුවකට “අධ්‍යාපනික වටිනාකමක්” නැති නම් එය නොවටින බව ඇතැම් විට දෙමව්පියන්ට හැඟේ. කෙසේවෙතත්, විශාරද ජැනිස් ටී. ගිබ්සන් අපට මෙය සිහිගන්වයි: “දරුවෝ තමන් සෙල්ලම් කරන සෑම සෙල්ලම් බඩුවකින්ම ඉගෙන ගනිති. වැදගත් දෙය වනුයේ ඔවුන්ට ප්‍රයෝජනවත් වන ආකාරයකින් නොකඩවා සෙල්ලම් කිරීම සඳහා ඉන් විනෝදයක් ලැබීමය.”
2. මගේ දරුවාගේ කායික මෙන්ම මානසික හැකියාවන්ට මෙම සෙල්ලම් බඩුව සුදුසු වේද? ඇතැම් අවස්ථාවලදී යම් විශේෂිත සෙල්ලම් බඩුවක් පරිහරණය කිරීමට දරුවෙකු ප්‍රමාණවත් අයුරින් ශක්තිමත්, ඉවසිලිවන්ත හෝ කඩිසර නොවන්ට පුළුවන. කෙසේවෙතත්, ඊට යම් හැඟීම්වලින් පෙලඹෙන ආකර්ෂණයක් තිබෙන නිසා එය මිලදී ගැනීමට දෙමව්පියෙකුට ආශාවක් ඇති විය හැකිය. එහෙත් අවුරුදු-තුනක්-වයසැති පිරිමි ළමයෙකුට විදුලි සෙල්ලම් දුම්රිය පද්ධතියක් ක්‍රියාත්මක කළ හැකිද—නැතහොත් බේස්බෝල් පිත්තකින් පහරක් එල්ල කිරීමට හැකිද? එබඳු සෙල්ලම් බඩු අගය කිරීම සඳහා ඔබේ දරුවා ප්‍රමාණවත් වයසකට පැමිණෙන තුරු බලා නොසිටින්නේ මන්ද?
3. සෙල්ලම් බඩුව ආරක්ෂාකාරි එකක්ද? යන්තම් ඇවිදිය හැකි කුඩා දරුවන්ට සෑම දෙයක්ම තමන්ගේ කටට දැමීමට නැඹුරුවාවක් තිබෙන අතර කුඩා ලී සෙල්ලම් කුට්ටි හෝ ප්ලාස්ටික් කැබලි පහසුවෙන්ම ඔවුන්ගේ උගුරේ හිරවිය හැකිය. තියුණු නැතහොත් උල් සහිත අයින් ඇති දෑ ඕනෑම වයසක දරුවන්ට අනතුරුදායක විය හැකිය. එම සෙල්ලම් බඩුව විසි කළ හැකිද, නැතහොත් සහෝදරයෙකු හෝ සහෝදරියකට විරුද්ධව ආයුධයක් වශයෙන් භාවිත කිරීමට හැකිද කියාත් ඔබගෙන්ම ඇසීමට ඔබ කැමති විය හැකිය.
එක්සත් ජනපදයේ, ඇතැම් සෙල්ලම් බඩුවලට ඒවා නිර්මාණය කර තිබෙන්නේ කෙබඳු විශේෂිත වයස් සීමා වලටද යන්න ඇඟවීම සඳහා ඒවාට ලේබල යොදා තිබේ. එබඳු උපදෙස්වලට අවනත වීම ඔබගේ දරුවා තුවාල ලැබීමෙන් ආරක්ෂා කළ හැකිය. සෙල්ලම් බඩුවක් ගැන ඔබට සැකයක් තිබේ නම්, ඔබට පරීක්ෂා කිරීම සඳහා ඉන් එකක් නිරූපනයට තබා තිබෙනවාද කියා අලෙවි සේවකගෙන් විමසන්න.
4. සෙල්ලම් බඩුවේ නිර්මාණය හොඳද එමෙන්ම එය කල්පවතීද? “සෑම දෙයක්ම බිම වට්ටන්න, විසි කරන්න සහ කටට දමන්න කැමති යන්තම් ඇවිදිය හැකි දරුවන් කල්පවතින්නේ නැති සෙල්ලම් බඩු විනාශ කරදැමීමට හැකිය,” යනුවෙන් පේරන්ට්ස් නමැති සඟරාව අපට සිහිගන්වයි.
5. සෙල්ලම් බඩුවට ගෙවන මුදල තරමටම එය වටිනවාද? රූපවාහිනී වෙළඳ දැන්වීම්වල මිල ගැන සාකච්ඡා කරනු ලබන්නේ කලාතුරකිනි, නමුත් සෙල්ලම් බඩු සඳහා අධික මුදලක් වැය වේ. ගෙවන මුදලින් වැඩි ප්‍රමාණයක් එය නිර්මාණය කිරීමට සැබවින්ම අවශ්‍ය වන ද්‍රව්‍යවලට වඩා වෙළඳ නාමය සඳහා වැය වේ. තවදුරටත්, වෙළඳ දැන්වීම් මගින් බොහෝ විට දරුවන්ට මහත් බලාපොරොත්තු සුන්බවක් ගෙන දිය හැකි යථාර්ථානුරූපී නොවන අපේක්ෂාවන් ඇති කළ හැකිය.
සාප්පු යන විට සිහිනුවණ ඇතිව මිලදී ගැනීමට ඔබගේ දරුවන්ට උගන්වන්න. හිතෝපදේශ 14:15හි මෙසේ පවසයි: “නුවණ නැත්තා හැම වචනම විශ්වාස කරයි; එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ පියවර හොඳට බලාගනියි.” ද නිව් යෝක් ටයිම්ස්හි ලිපියක මෙසේ සඳහන් විය: “සමහර අවස්ථාවලදී යම් විශේෂ සෙල්ලම් බඩුවක් දුර්වල ආකාරයකින් නිර්මාණය කර තිබීමට හෝ මුළාකරවන ආකාරයකින් ප්‍රචාරය කිරීමට හේතුව කල් ඇතිව දරුවාට පෙන්වා දීමට ඔබට හැකි වේ.” ටයිම්ස්හි තවදුරටත් මෙසේ සඳහන් වේ: “ගෙවීම සඳහා ඔබගේ සාක්කුවෙන් මුදල ලබාගැනීම වෙනුවට එය තමන්ගේ සාක්කුවෙන්ම ළමුන් ලබාගන්නවා නම් වඩාත් අවබෝධාත්මක පාරිභෝගිකයන් බවට දරුවන් පත්වෙනවා.”
ඇත්ත වශයෙන්ම, සෙල්ලම් බඩුවක නියම වටිනාකම එය සකස් කිරීමට අවශ්‍ය වන ද්‍රව්‍යයන් හෝ එහි නිමාවට වඩා ඔබ්බට යයි. ඔබගේ දරුවා එය කොපමණ වරක් භාවිත කරයිද සහ ඉන් ඔහුට කොපමණ සතුටක් ලැබේද යන්න වැදගත් සාධක වේ. පිටුපස මිදුලේ ඔංචිල්ලා කිහිපයක් බැඳීම සාපේක්ෂ වශයෙන් මිල අධික යමක් විය හැකි නමුත්, වසර ගණනාවක් පුරා පැය බොහොමයක විනෝදය ඉන් ලබාගත හැකිය. ඉක්මනින් ඉවත් කරනු ලබන මිල අඩු සෙල්ලම් බඩුවක් දිගු කාලීන ප්‍රයෝජන අතින් ගත් කල දුර්වල ආයෝජනයක් විය හැකිය.
6. සෙල්ලම් බඩුවෙන් කුමන සාරධර්ම සහ ප්‍රමිති උගන්වනු ලබයිද? “සෙල්ලම් බඩු මගින් දරුවන්ගේ මනඃකල්පිතය නිෂේධාත්මක ආකාරයකින් නොව, ඒකාන්ත ආකාරයකින් පුබුදුවාලීමට සැලැස්විය යුතු,” බව දරුවන් පිළිබඳ අධ්‍යයනයේ විශාරද ඩේවිඩ් එල්කින්ඩ් අනතුරු අඟවයි. භයානක මෙන්ම පැහැදිලිවම සැහැසියාවට අනුබල දෙන හෝ සූදුවේ නියැලීම වැනි වැඩිහිටි අවකල් ක්‍රියා දැක්වෙන සෙල්ලම් බඩු ගැනීමෙන් වළකින්න.
ජනප්‍රිය සුරංගනා කථා හෝ විද්‍යා ප්‍රබන්ධ මත පදනම් වූ සෙල්ලම් බඩු සම්බන්ධයෙන් කුමක් කිව හැකිද? එබඳු කථා සාමාන්‍යයෙන් නපුරට එරෙහිව යහපතේ ජයග්‍රහණය සම්බන්ධයෙන් වේ. එබැවින් ඇතැම් දෙමව්පියෝ මෙම කතාන්තරවල ඇති ‘පුදුමයන්’ ළාමක මනඃකල්පිතය උත්සන්න වන සරල අවස්ථා මෙන් සලකන බැවින් ඔවුන්ගේ දරුවන් ඒවා භුක්ති විඳීමේ කිසි වරදක් නැති බව සිතති. එම කතාන්තර මගින් ගුප්තවාදය කෙරෙහි උනන්දුවක් ඇති කළ හැකි බවට තවත් සමහරුන් බිය විය හැකිය. (ද්විතීය කථාව 18:10-13) වෙනත් අයව විනිශ්චය නොකර, මේ සම්බන්ධයෙන් දෙමව්පියන් තමන්ගේ තනි තීරණය ගත යුතු වේ, එසේ කිරීමේදී එවන් කතාන්තර—සහ ඒවා මත පදනම් වූ ඕනෑම සෙල්ලම් බඩුවකින්—තමන්ගේ දරුවන් කෙරෙහි ඇති කළ හැකි බලපෑම දෙමව්පියන් විසින් සැලකිල්ලට ගත යුතු වේ.
තවද 1 කොරින්ති 10:23හි සඳහන් ප්රතිපත්තියද මතක තබාගන්න: “සියලු දේ ගැන නිදහස තිබේ; නුමුත් සියල්ල යෝග්‍ය නොවේ.” යම් ජනප්‍රිය සෙල්ලම් බඩුවක් ගැන ඔබට විරුද්ධත්වයක් ඇති විය නොහැකි වුවත්, එය මිල දී ගැනීම සැබවින්ම ප්‍රයෝජනදායක වේද? එය අන් අයගේ සිත රිදවිය හැකිද? නැතහොත් ඔවුන්ව පැකිලීමට පත් කරයිද?
අධ්‍යාපනික වටිනාකමක් ඇති බව කියනු ලබන සෙල්ලම් බඩුද දෙමව්පියන්ගේ සියුම් පරීක්ෂාවට යටත් විය යුතුය, විශේෂයෙන් එසේ විය යුත්තේ ඒවා ලිංගික කාරණා සහ ගර්භිණීභාවය ගැන දරුවන්ට ඉගැන්වීමට අරමුණු කර තිබෙන විටදීය. දරුවා එබඳු තොරතුරු සඳහා සූදානම්ව සිටිනවාද? ඔබ සහ ඔබගේ දරුවා අතර සාකච්ඡා මගින් එම තොරතුරු වඩා හොඳ අයුරකින් ප්‍රකාශ කරනු ලැබිය හැකිද?a ඇතැම් සෙල්ලම් බඩු මගින් එබඳු කාරණාවල ශාරීරික පැත්ත පැහැදිලි විය හැකි නමුත්, ඒවා මගින් නියම සදාචාරාත්මක ආකල්පයන් ප්‍රකාශ වෙනවාද?
7. මගේ දරුවාට මෙම සෙල්ලම් බඩුව තිබෙනවාට මං ඇත්තටම කැමතිද? ඔබගේ දරුවාට දැනටමත් සෙල්ලම් බඩු වුවමනාවටත් වඩා වැඩි ප්‍රමාණයක් තිබෙන බව, ඔබගේ තත්ත්වයන්ට එම සෙල්ලම් බඩුව ප්‍රායෝගික නොවන බව හෝ එම සෙල්ලම් බඩුවෙන් ඔබට ඉවසිය හැකි ප්‍රමාණයට වඩා වැඩි ශබ්දයක් නිකුත්වන බව ඔබට හැඟිය හැකිය. එබඳු ගැටලු නිරාකරණය කළ නොහැකි නම්, ඔබට නැත යයි කීමට වඩා වැඩි යමක් නොතිබෙන්ට පුළුවන. මෙය පහසු කාර්යයක් නොවෙයි. එහෙත් දරුවෙකුගේ ළාමක හිතුමතය සහ ඉල්ලීම්වලට සෑම විටම ඉඩ හැරීම ඔබගේ දරුවා වැඩිහිටියෙකු බවට වර්ධනය වීමට උපකාරවත් වන්නේ නැත. හිතෝපදේශ 29:21හි සඳහන් ප්‍රතිපත්තිය සලකා බලන්න: “තමාගේ වැඩකාරයා [හෝ දරුවා] බාල කාලයේ සිට සැපෙන් ඇතිකරන්නාට ඔහු අන්තිමේදී පුත්‍රයෙක් [ස්තුතිවන්ත නොවන්නෙක්, NW ] වන්නේය.”
දෙමව්පියෙකු වශයෙන් ඔබ එකම මතයකට එල්බ සිටිය යුතු හෝ සාධාරණ නොවිය යුතු බව මින් අදහස් කරන්නේ නැත. ඔබගේ දරුවාට කෝපය හැඟීමට සහ නුරුස්සන ස්වභාවයක් දැක්වීමට ඉන් සිදු කරනවා පමණි. “ඉහළින් පැමිණෙන ප්‍රඥාව . . . ඉවසිලිවන්තව [සාධාරණව, NW ] . . . තිබේ.” (යාකොබ් 3:17) ළමා සුරැකුම සම්බන්ධයෙන් එක් ප්‍රවීණයෙක් මෙසේ එය පැහැදිලි කළාය: “ඔබ කළ යුත්තේ ඔබගේ දරුවා සමඟ වාඩි වී සමහර සෙල්ලම් බඩු ඔහුට දීමට ඔබ අකමැති මන්ද කියා ඉතා පරෙස්සමින් ඔහුට පැහැදිලි කිරීමය.”
සෙල්ලම් බඩුවලට වඩා වැදගත් සමහර දෑ
ඉගැන්වීමටත් විනෝදාස්වාදයක් ලබා දීම සඳහාත් සෙල්ලම් බඩු වටිනා මෙවලම් විය හැකි නමුත්, ඒවා අප්‍රාණික දේවල් පමණි. දරුවෙකු සෙල්ලම් බඩුවකට ප්‍රිය කළ හැකි නමුත්, සෙල්ලම් බඩුවකට දරුවෙකුට ප්‍රිය කළ නොහැක. දෙමව්පියන් විසින් පමණක් දිය හැකි ප්‍රේමනීය අවධානය දරුවන්ට අවශ්‍ය වේ. ප්‍රධාන වශයෙන් දැනටමත් නිර්මාණය කර තිබෙන සෙල්ලම් බඩු අතර දෙමව්පියෙකු වඩාත්ම හොඳ සෙල්ලම් බඩුව වේ,” යනුවෙන් ආචාර්ය මැග්ඩලේනා ග්‍රේ පවසන්නීය. දෙමව්පියන් තමන්ගේ දරුවන් සමඟ සෙල්ලම් කරන විට, සමීප චිත්ත වේගීය බැම්මක් තැනීමටත් සනීපදායි ආකල්ප සහ චිත්ත වේගයන්වල වර්ධනයටත් එය දායක වෙයි.
එසේය, දරුවන්ට ප්‍රයෝජනවත් ආකාරයකින් සෙල්ලම් කිරීම අවශ්‍යය. එහෙත් ඊටත් වඩා වැදගත්ව ඔවුන්ට සදාචාරමය සහ ආත්මික මඟ පෙන්වීම අවශ්‍ය වේ. “සදාකාල ජීවනය නම් මේය—එකම සැබෑවූ දෙවියන්වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවනලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් ඇඳිනගැනීමය,” යනුවෙන් බයිබලය පවසයි. (යොහාන් 17:3) ජීවිත ගළවා දෙන මෙම දැනගැන්ම ලබාගැනීමට තමන්ගේ දරුවන්ට උපකාර කිරීමෙහිලා දෙමව්පියන්ට වැදගත් කාර්ය භාරයක් දැරිය හැක. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පවුල් තමන්ගේ සාමාන්‍ය දින චර්යාවට බයිබල් අධ්‍යයනය කොටසක් කිරීමට වෑයම් කරත්. බොහෝ දුරට ඔවුන් මෙය කරන්නේ මගේ බයිබල් කතන්දර පොත, ලිස්නිං ටු ද ග්‍රේට් ටීචර් සහ විශේෂයෙන් යෞවන අය සඳහා ලියා තිබෙන යෞවනයන් අසන ප්‍රශ්න ක්‍රියාවට නැගිය හැකි පිළිතුරු නමැති ප්‍රකාශන භාවිතා කිරීමෙනි.b මෙම පොත් පත් හුදෙක් විනෝදාස්වාදය පමණක් ලබා දෙන්නේ නැත—දෙවියන්වහන්සේ කෙරෙහි ශක්තිමත් ඇදහිල්ලක් වර්ධනය කරගැනීමට දහස් සංඛ්‍යාත දරුවන්ට ඒවා උපකාර කර තිබේ. බයිබල් නාට්‍ය සහ ද ග්‍රේටස්ට් මෑන් හූ එවර් ලිව්ඩ් නමැති ප්‍රකාශනයන්හි පටිගත කිරීම්වලට සවන් දීමද දරුවෝ අගය කරති.*
එබැවින් සැබෑ ක්‍රිස්තියානීහු තමන්ගේ දරුවන් සමඟ සෙල්ලම් කිරීමට වඩා වැඩි යමක් කරති—ඔවුහු දරුවන් සමඟ යාච්ඤාද කරති, ඔවුන් සමඟ ඉගෙන ගනිති එමෙන්ම ඔවුන් සමඟ කථා කරති. එබඳු ප්‍රේමනීය අවධානය දීමට කාලය සහ බොහෝ පරිශ්‍රමයක් අවශ්‍ය වේ. එහෙත් දිගු කාලීනව ගත් කල, එය දරුවාට ඕනෑම ක්‍රීඩාවකින් හෝ චිත්තාකර්ෂණීය සෙල්ලම් බඩුවකින් ගෙනදිය නොහැකි කල්පවතින ප්‍රීතියක් ගෙනදෙයි! g94 9/8
[පාදසටහන්වල]
a ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් 1992 පෙබරවාරි 22 එවේක්! සඟරාවේ ලිපි බලන්න.
b වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්‍රකාශයට පත් කරන ලදි.
[8 සහ 9වන පිටුවල ඇති පින්තූර]
නිවසේදී සකස් කරන ලද සෙල්ලම් බඩුවලට දරුවෝ ප්‍රිය කරති—කිලුටු රෙදි දමන කූඩ, මෝටර් රථ බවට පරිවර්තනය වේ; සපත්තු පෙට්ටි කෝච්චි බවට පරිවර්තනය වෙයි