සැහැසික රූපවාහිනි කාටූන් හානිදායක වේද?
බ්‍රිතාන්‍යයේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
පාසල් ළමුන් අතර සටන් සඳහා බග්ස් බනිහටදොස් පැවරේ,” යනුවෙන් ලන්ඩනයේ ද ටයිම්ස්හි සිරස් තලයේ සඳහන් විය. රූපවාහිනි කාටූන්වල සැහැසික දර්ශන අනුකරණය කරන්නේ යයි කියැවෙන, තරුණ අයගේ හැසිරීම සම්බන්ධයෙන් ගුරුවරුන්ට හැඟෙන ආකාරය එම පුවත්පතේ වාර්තා විය.
“කාටූන් වැඩිහරියක්ම සැහැසියාවෙන් යුක්තයි, ඇරත් අවසානයේදී හොඳ තැනැත්තා දිනුවත්, ඔහු එම දිනුම ලබාගන්න ආකාරය එතරම් ප්‍රියමනාප නැත,” යනුවෙන් එක් ප්‍රාථමික පාසලක උප විදුහල්පතිනියක පිළිගත්තාය. රූපවාහිනි කාටූන්වලට තිබෙන එම නැඹුරුවාව පිළිබඳව ඔබටත් හැඟෙන්නේ ඒ ආකාරයටමද?
සජීවතා දෘෂ්ටියේ, එනම් දැන් විශාල වශයෙන් වීඩියෝ මාර්ගයෙන් ලබාගත හැකි (කාටූන්වල) වැඩිවන ජනප්‍රියත්වය නිසා, බොහෝ දෙමව්පියන්ට තම දරුවන් සම්බන්ධයෙන් සැලකිලිමත්කමේ හැඟීමක් ඇතිවෙයි. ඇතමෙක් තම පොඩිත්තන්ගේ “කාටූන් මනෝභාවය” ගැන කම්පනයට පත් වී සිටින අතර, සැහැසියාව, වංචාව සහ අකීකරුකම යනාදියට අනුබල දීම හේතුවෙන් ඔවුන් කාටූන් මත දොස් තබති.
එහෙත් කාටූන් චිත්‍රපටිවල සැහැසික දර්ශන සමහරක් ඇතුළත් වූවත්, සැබවින්ම ඒවා නැරඹීමෙහි යම් හානියක් තිබිය හැකිද?
හානි තිබේද?
BBCහි (බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාව) මාර්ගෝපදේශවලට අනුව, රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදකයෝ එම වැඩසටහන් මගින් දක්වන්නා වූ සැහැසියාවේ බලපෑම් තියුණු ලෙස සැලකිල්ලට ගත යුතුය, මීට කාටූන්ද ඇතුළත්ය. “සැහැසියාවේ ප්‍රතිඵලයක් වශයෙන් මතු කරනු ලබන චිත්ත වේගයන් නිසා දක්වන තත්ත්වය කෙරෙහි අනුකම්පා සහිත හැඟීම් ඇති වීමේ හැකියාව වැඩි වේ,” යන්න පිළිගත් අදහස වේ.
ස්වභාවයෙන්ම කාටූන් චිත්‍රපටි මගින් ඉදිරිපත් කෙරෙන්නේ කල්පිත තත්ත්වයන්ය; එමනිසා ඉන් සිදුකෙරෙන හානිය අඩුම තත්ත්වයක පවතීද? දැඩි ආශාවකින් යුක්තව රූපවාහිනි කාටූන් චිත්‍රපටි නරඹන බාලයන් බොහෝ දෙනෙක් එසේ කරන්නේ විනෝදය සඳහාය. කාටූන් චිත්‍රපටි විනෝදය ලබාදෙන බව සැබෑවකි. එහෙත් ඒවාට ඊටත් වඩා වැඩි යමක් සිදු කළ හැකිද? ඇත්ත වශයෙන්ම එසේය, මන්දයත් ඕනෑම කාටූන් චිත්‍රපටියකට හැඟීම්වල කල්පවතින සටහනක් ඇති කළ හැකිය. දරුවන් නරඹන කාටූන් චිත්‍රපටි වනාහි ඔවුන්ගේ බියකරු සිහිනවල වැඩි වශයෙන්ම පවතින “බියකරු අස්වාභාවික සතුන්, හොල්මන් හෝ වනසතුන්” යනාදියට එක් හේතුවක් බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ග්‍රෙගරි ස්ටෝර්ස් රූපවාහිනි වැඩසටහන් ලැයිස්තුගත කරන TV ටයිම්ස් නමැති සඟරාවට ප්‍රකාශ කළේය.
ඊට සමානව, දරුවෙකු චිත්‍රපටියක් නරඹන අවස්ථාවේදී ඔහු සමඟ සිටින අය, ඔහු චිත්‍රපටියෙන් ලබන බලපෑමට බලපාන බව ස්ක්‍රීන් වයලන්ස් ඇන්ඩ් ෆිල්ම් සෙන්සර්ශිප් යනුවෙන් හඳුන්වනු ලබන බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ අධ්‍යයනය ප්‍රකාශ කරයි. එමනිසා අධීක්ෂණයකින් තොරව කාටූන් චිත්‍රපටි නැරඹීමේදී එය දරුවන්ට හානිදායක විය හැකිය.
පෙර පාසල් දරුවන් තමන් නරඹන සැහැසික ක්‍රියාවන් ඉතා ඉක්මනින් අනුකරණය කරන බවත් ඊටත් වඩා වයසින් වැඩි, එනම් අවුරුදු පහක් හෝ හයක් වයසැති අය “යම් ආකාරයක චිත්ත වේගීය ‘අනුබලයක්’ ” ලැබුවහොත් ඔවුන් ඉගෙනගත් දරුණු ක්‍රියාවන්වල ඔවුන් යෙදෙනු ඇති බවත් එම වාර්තාවම කියා සිටී.
එම හේතුවෙන්, යම් කාල පරිච්ඡේදයක් පුරාම රූපවාහිනියේ දැක්වෙන සැහැසියාව නැරඹීම “විශේෂයෙන් දරුවන් සම්බන්ධයෙන්” ඔවුන්ගේ වයස කුමක් වුවත්, “අසංවේදී කරන නැතහොත් දේවල් සුළු කොට සැලකීමේ බලපෑමක්” ඇති කිරීමට තිබෙන හැකියාව ගැන ගුවන් විදුලි ප්‍රචාරකයෝ පිළිගනිති. මේනිසා ඔවුන් සැහැසියාවේ යෙදෙන විට ඒ ගැන අඩු සංවේදීතාවයක් ඇතිවීමට හෝ අන් අයට එය පමුණුවනු ලබන විට අනුකම්පා විරහිත වීමට පවා සැලසිය හැකිය.
වසර ගණනාවකට පෙර “බග්ස් බනි” හෝ “ටොම් ඇන්ඩ් ජෙරි” චරිත චිත්‍රපටි තිරය මත මුල්වරට දැක ඒවාට ඇබ්බැහි වූ තැනැත්තා, දැන් මව්පියෙකු විය හැකි අතර, බොත්තමක් එබීමකින් පමණක් ඔවුන්ගේ නවීන දස්කම් රූපවාහිනිය මත දැක ගැනීමට හැකි වේ. එහෙත් දැන් ප්‍රමිති වෙනස් වී ඇත. තම දරුවන්ගේ ශුභසිද්ධිය පෙරදැරිකරගෙන, අදදින දක්නට තිබෙන කාටූන් චිත්‍රපටිවල ඇතුළත් වී තිබෙන දෑ පරීක්ෂා කිරීම දෙමව්පියන්ට නිසැකවම වුවමනා වනු ඇත.
“ටීනේජ් මියූටන්ට් නින්ජා ටර්ටල්ස්” නමැති කාටූන් වැඩසටහන සැලකිල්ලට ගන්න. මෙම අමෙරිකානු චිත්‍රපටි චරිත අත්ලන්තික් සාගරයෙන් එහා යුරෝපා රටවල් බොහොමයක තිරගත කිරීමට අතිශයින් සැහැසික වූ බව සලකනු ලැබීය. එමනිසා, නිෂ්පාදනය කළාවූ එම කාටූන් චිත්‍රපටි මාලා බ්‍රිතාන්‍යයේ තිරගත කිරීමට පෙර, BBC ඇතැම් දර්ශන කපා හැරියේය. “නින්ජා” යන වචනය ජපන් ජාතික රණශූරයන්ට යොමු දක්වන හෙයින් එම නාමය පවා ඉවත් කරනු ලැබීය. ඒ වෙනුවට, ඔවුන්ව හඳුන්වන ලද්දේ “ටීනේජ් මියූටන්ට් හියරෝ ටර්ටල්ස්” යනුවෙනි.
එසේවුවත්, දෙමව්පියෝ යම් ප්‍රමාණයක නොසෑහීමක් ප්‍රකාශ කළහ. එක මවක් ස්කොට්ස්මන් පුවත්පතට මෙසේ ප්‍රකාශ කළාය: “දරුවන් පහසුවෙන් රැවටෙනවා. මට අවුරුදු පහේ දරුවෙක් ඉන්නවා, ඔහු ටර්ටල් උන්මත්තකයෙකි. පාසලෙන් පසු ඔහුව ගෙදර ගෙන ඒමට මං යන විට ක්‍රීඩා පිටියේ සිටින ළමයින් සියල්ලෝම එකිනෙකාට පයින් ගැසීමට බලනවා.”
දෙමව්පියන් සහ ගුරුවරුන් දක්වන සැලකිල්ලම ඇතැම් සෙල්ලම්බඩු-සාප්පුවල අයිතිකරුවනුත් දැක්වීම අනපේක්ෂිත දෙයකි. දරුවන් “එකිනෙකාට කරාටේ පයින් පහරවල් ගැසීම සහ කසළ කානුවල සැඟවීම හේතුවෙන් මරණයේ අවදානමට ලක්වීම” නිසා හටගත් බියෙන් එක් බ්‍රිතාන්‍ය සාප්පුවක් එම උරග සටන්කරුවන් අලෙවි කිරීම තහනම් කළේය. වෙනත් අන්තරායන් තිබේද?
සැඟවුණු අන්තරාවන්
“ටර්ටල්ස්” කාටූන් සහ ඊට සම්බන්ධ නිෂ්පාදනයන්ගේ අලෙවිය අතර තිබෙන සම්බන්ධය ගැන එක් පුවත්පතක් විස්තර කළේ “ඇතැම් විට කූට වූ වඩාත්ම සාර්ථක වූ ළමා වෙළඳ උපක්‍රමයක්” වශයෙනි. එවන් සම්බන්ධ කිරීම අලුත් යමක් නොවන නමුත්, “ටර්ටල්ස් සම්බන්ධයෙන් අලුත්වී තිබෙන්නේ” වෙළෙඳ පොළේ නිෂ්පාදනයන්ගේ ප්‍රමාණයයි.
මේ කාරණයේදී බලපත්‍රලත් අය ඉතා උනන්දුවෙන් සිටින්නේ, ඒවාට ආකර්ෂණය වූ පොඩිත්තන්ට විකට කථා සහ ටී-ෂර්ට් වැනි තක්සේරු කරන ලද ටර්ටල් නිපැයුම් 400ක් පමණ විකිණීමටය. එසේනම් කාටූන් චිත්‍රපටි නැරඹීම පමණක් මෙම දේවල් ලබා ගැනීමට දරුවන් තුළ ආශාවක් ඇති කරයි නම්, එම කාටූන් චිත්‍රපටිවල ඔවුන් නරඹන දර්ශන කෙසේ හෝ යම් බලපෑමක් ඇති කළ යුතුමය! කෙසේවෙතත්, මෙම නවීන පන්නයේ දේවල් බොහෝ කල් නොපවතින බව ඇතැම් අය කිව හැක.
එවන් නවීන පන්නයේ දේවල් දිගටම නොපැවතුනත්, පරණ ප්‍රියතම කාටූන් චිත්‍රපටිවලට තිබෙන ඉල්ලුම දිගටම පවතියි. “මියූටන්ට් ටර්ටල්ස් ජනප්‍රියත්වයට පත් වී ඉවත්ව යා හැකි නමුත්, ටොම් ඇන්ඩ් ජෙරි සදහටම පවතිනු ඇත” යනුවෙන් ලන්ඩන්හි ද ටයිම්ස් පුවත්පත කියා සිටියි. එබැවින් ඔබගෙන්ම ප්‍රශ්න සමහරක් ඇසීමට ඔබට අවශ්‍ය විය හැක. ඔබගේ නිවසේදී එවන් කාටූන් චිත්‍රපටි නැරඹීම චිත්‍රයට නංවා තිබෙන සෑම ක්‍රියාවක්ම ඔබ පිළිගන්නා බව ඔබගේ දරුවන්ට අඟවයිද? සතුන්ට කුරිරුකම් කිරීමේ දර්ශන සම්බන්ධයෙන් කුමක් කිව හැකිද? කාටූන් චිත්‍රපටි සැබෑ ජීවිතය සමඟ සමාන කළ නොහැකි බව ඔබ විසින් තර්ක කළ හැකි බව සැබෑවකි. එහෙත් කාටූන් චිත්‍රපටිවලට දැන් කුමක් සිදුවෙමින් පවතිනවාද කියා ඔබ දන්නවාද? ඇනිමට්රොනික්ස් (විද්‍යුත් ප්‍රාණීන්)!
“ඇනිමට්රොනික්ස්” යනු මනඃකල්පිත කාටූන්වලට සැබෑ පෙනුමක් ලබා දෙන විද්‍යුත් ශිල්පයකි, එය කොතරම් සැබෑ ලෙස පෙනෙනවාද කිවහොත් නරඹන්නන්ට කාටූන් සහ සැබෑව අතර තිබෙන වෙනස පවා සොයා ගැනීමට නොහැකි තරම්ය. “ළංකර දැක්වීමේදී ඇනිමට්‍රොනික් සත්ත්ව රාජධානිය කොතරම් ඒත්තුගන්වනසුලු වනවාද කිවහොත්, කල්පිත චිත්‍රපටි විජ්ජාවන්ට හුරුපුරුදු වූ, අතිශයින් විවේචනය කරන නරඹන්නන්ගේ අවධානය පවා, බොරු කැළලක් හෝ ව්‍යාජ රැළි නිසා වෙනතකට යොමු වන්නේ නැත.” මේ ආකාරයට ඉදිරිපත් කරනු ලබන සැහැසික දර්ශනවලට කම්පා ඇති කරවන යථාර්ථ බවක් තිබේ.
තවද හැසිරීම සම්බන්ධයෙන් නවීන දින කාටූන් චිත්‍රපටිවලින් ඊළඟ පරම්පරාවට ඉදිරිපත් කෙරෙන ප්‍රතිපත්ති සැලකිල්ලට ගන්න. එක් නවීන කාටූන් උමතුවක ඉදිරිපත් කෙරෙන චරිත නම් “මහ හඬින් කථා කරන, නිකරුණේ ගැවසෙන ‘මන්දබුද්ධික’ අප්‍රසන්න පවුලකි,” යනුවෙන් ලන්ඩන්හි ද ටයිම්ස් වාර්තා කරයි. ඔවුන් ආකර්ෂණයක් ඇති කිරීමට “එක් හේතුවක් වන්නේ ඔවුන් බොහෝසෙයින් ස්ථාපිත සමාජ රටාවට විරුද්ධ වීම නිසාය.”
එසේය, දෙමව්පියනි, ඔබගේ දරුවන්ගේ කාටූන් චිත්‍රපටි නැරඹීමේ පුරුදු ඔබ සැලකිල්ලට ලක් කරන විට සැලකිලිමත්වීම සඳහා ඔබට හොඳ හේතු තිබිය හැකිය. එසේනම්, ඔබට කළ හැකි වනුයේ කුමක්ද?
‘විනෝදය සඳහා සැහැසියාව’ තුරන් කරන්න
සූදානම් කරන ලද විනෝදාස්වාදයේ වාසි සහ අවාසි නිශ්චය කරගන්න. පවුලේ ශුභසිද්ධිය මනසේ පෙරදැරිකරගෙන, ඇතැම් දෙමව්පියන් රූපවාහිනියක් නොමැතිව සිටීමට තීරණය කර තිබෙනවා. තවත් අය තමන්ගේ දරුවන්ට නැරඹීමට අවසරදී තිබෙන වැඩසටහන්වල හොඳ සහ නරක නිශ්චය කරගැනීමට ඔවුන්ට උපකාර කරති. “කාටූන් චිත්‍රපටියක්, දැන්වීමක් හෝ ප්රවෘත්ති විකාශනයක් දෙස ගුණදොස් විමසීමෙන් යුක්තව මෙන්ම විස්තර විභාග කිරීමකින් යුක්තවද බැලීමට දරුවෙකු (එසේත් නැතහොත් වැඩිහිටියෙකු පවා) හොඳින් සන්නද්ධව සිටි නම්, ඔහු හෝ ඇය ජන මාධ්‍යයෙන් ලබන්නට යන ප්‍රයෝජනද අතිශයින් වැඩි වනු ඇත,” යනුවෙන් ලන්ඩන්හි පුවත්පතක් වන දි ඉන්ඩිපෙන්ඩන්ට් පැහැදිලි කරයි. මෙය කිරීමට ඔවුන්ගේ දරුවන්ට උපකාර කිරීමට හොඳම තත්ත්වයේ සිටින්නේ දෙමව්පියන්ය.
පවුල් ජීවිතයට රූපවාහිනිය සම්බන්ධ වන ආකාරය ගැන මෑත අධ්‍යයනයක ඉගැන්වීමේ ක්‍රම දෙකක් කෙරෙහි අවධානය යොමු කෙරිණ. එකක් දරුවෙකු දස්කම් දැක්වීමේදි ඇතිවන හැඟීම සමඟම තර්ක කිරීම සහ පැහැදිලි කිරීමය. අනෙකට මූලික වශයෙන් භාවිතා කෙරෙනුයේ දඬුවම් කිරීම සහ තර්ජන කිරීමය. ප්‍රතිඵලවලින් දැක්වූයේ කුමක්ද?
තම දෙමව්පියන්ගෙන් දඬුවම් ලබන බවට තර්ජනය කරනු ලැබූ දරුවන් “රූපවාහිනියේ සමාජ විරෝධී දේවල් නැරඹීමට” වැඩි ආශාවක් දැක්වූ අතර, “මූලික වශයෙන් තර්ක කිරීම සහ පැහැදිලි කිරීම මගින් හික්මවීම පිරිනැමූ මව්වරුන් සිටි දරුවන්” එවන් දර්ශනවලින් “බලපෑම් ලැබුවේ ඉතා අඩු වශයෙනි.” එබැවින්, සැහැසික කාටූන් චිත්‍රපටි නැරඹීම ප්‍රඥාවන්ත දෙයක් නොවීමට හේතුව සැලකිල්ලට ගන්නා දෙමව්පියෝ ඒගැන තම දරුවන්ට පැහැදිලි කරති. එසේනමුත්, මෙය මතක තබා ගන්න, බාල අය උපතින්ම අන්අයව අනුකරණය කරන අය වෙත්, එමනිසා විනෝදය සඳහා සැහැසියාව නැරඹීමෙන් වැළකී සිටීමට විශාල වගකීමක් දෙමව්පියන්ට තිබේ. ඔබ එය නරඹන්නෙහි නම්, එය නැරඹීමෙහි කිසි වරදක් නොතිබෙන බව ඔබගේ දරුවන්ට හැඟෙනු ඇත.
‘එසේනම්, මගේ දරුවන්ට මා විනෝදය ලබාදෙන්නේ කෙසේද?’ යනුවෙන් ඔබ විසින් ඇසිය හැක. එක යෝජනාවක් වනුයේ: සැබෑ සතුන්ගේ සෙල්ලක්කාර ක්‍රියා නැරඹීමෙන් විනෝද නොවන්නේ මන්ද? ඔබට පවුලක් වශයෙන් නැරඹිය හැකි අභය භූමියක් හෝ සත්ත්ව උද්‍යානයක් ආසන්නයේ ඔබ ජීවත් වෙනවාද? එසේනොවේ නම්, නිවසේදී නැරඹීම සඳහා වනයේ ජීවීන් සම්බන්ධ සුදුසු වීඩියෝ පටි තෝරාගැනීමට ඔබට හැක.
අවාසනාවකට මෙන්, අප ජීවත්වන ලෝකයේ තිබෙන සැහැසියාවෙන් දැනට ගැලවීමට අපගෙන් කිසිවෙකුට නොහැකිය. එසේවුවත්, අප තරුණ හෝ මහලු වේවා, අපි එසේ කිරීමට කැමැත්තෙමු නම්, සැහැසියාවට අනුබල දෙන ඕනෑම දෙයක් නැරඹීමෙන් වැළකී සිටීමට අපට ප්‍රඥාවෙන් යුක්තව තෝරාගැනීමට හැකිය. g93 12/8
[12 පිටුවෙහි ඇති පින්තූරය]
කාටූන් චිත්‍රපටි මගින් සැහැසියාවට අනුබල ලැබේද?